‘සැර කොවිඩ් ප්‍රභේදය’ ආසාදිත 05ක් දෙමටගොඩින් හමුවෙයි

‘සැර කොවිඩ් ප්‍රභේදය’ ආසාදිත 05ක් දෙමටගොඩින් හමුවෙයි
Spread the love

ඉන්දියාවේ විනාශකාරී කොවිඩ් දෙවැනි රැල්ලට හේතු වූ ”ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය” ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මේ අතර බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් පිරිසක් කොළඹ 6, කොළඹ 8 ,කොළඹ 10, මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලින් හදුනාගත් බවයි ජීවන්ද මහතා කියා සිටියේ.

කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා වන්නේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතායි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා, ‘‘ඉන්දියාවේ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මෙයට පෙර නිරෝධාන මධ්‍යස්ථාන දෙකකින් හමු වුණා. මෙම ප්‍රභේදය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නවා වගේම එමගින් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩියි. ඒ වගේම තමයි එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ප්‍රභේදය පාලනය කළ නොහැකියි‘‘

මෙම සැර කොරෝනා වෛරස ආසාදනවූ පුද්ගලයන් පිළිබඳ ජාන විශ්ලේෂණ වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් අද (17) පෙරවරුවේසී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට බාරදී තිබෙනවා.

මේ සැර කොරෝනා ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් හමු වීමෙන් පසුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.