ඉහළ ඡායාරූපය – උතුරු කොරියානු නායක කිම් ජොන් උන් 2019 දී බඩ ඉරිඟු අස්වැන්නක් සොයා බලයි
උතුරු කොරියාව යළිත් මාරාන්තික සාගතයක් අභියස සිටින බව වාර්තා වන අතර උතුරු කොරියානු නායකයා විසින් ද ඉදිරියේදී දැඩි ආහාර හිගයක් ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.
බාහිර පාර්ශ්වයන් සමග සීමිත සම්බන්ධතා ඇති, දැඩි මාධ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන උතුරු කොරියාවෙන් විශ්වාසදායක තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු නිසා තත්ත්වය ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීම අපහසු වී තිබෙනවා.
උතුරු කොරියාව තුළ ආහාර හිඟයේ පැහැදිලි දර්ශකයක් වන්නේ මූලික ආහාරවල මිල ඉහළ නිරීක්ෂණය කළ විටයි. උතුරු කොරියාව තුළ ඇති රහසිගත සම්බන්ධතා වලින් තොරතුරු එක්රැස් කරන දකුණු කොරියානු NK Daily අඩවියේ දත්ත වලට අනුව, බඩ ඉරිඟුවල මිල පසුගිය පෙබරවාරි මාසයේ දී තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා. බඩ ඉරිගු කිලෝවක මිල ඩොලර් 2ක් බවයි එම වාර්තාව කියන්නේ.
ඒෂියා ප්‍රෙස් වෙබ් අඩවියට අනුව ජුනි මස මැද භාගයේදී මිල නැවතත් තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඉරිඟු සහල් වලට වඩා අඩු ප්‍රමුඛ ආහාරයක් වන නමුත් එය බොහෝ විට පරිභෝජනය කරනුයේ එය ලාභදායී නිසයි. මේ අතර, අගනුවර වන ප්යොංයැං හි සහල් වල මිලදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන්නේ එහි ඉහළම අගයයි.
වෙළඳපල මිල අධීක්ෂණය කිරීම ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ හොඳම දත්ත කිහිපයක් සපයනවා. බොහෝ උතුරු කොරියානුවන් ඔවුන්ගේ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ රජය විසින් ලබා දෙන සලාකයෙන් පිට විකල්ප මාර්ගවලින් මිලදී ගන්නා බව උතුරු කොරියාව පිළිබද විශේෂඥ බෙන්ජමින් සිල්බර්ස්ටයින් පවසනවා.
“සාමාන්‍ය ජනතාවට රජය විසින් ලබා දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට සාපේක්ෂව සුළු කොටසක් පමණයි” ඔහු කියනවා.
රජය විසින් සපයනු ලබන සලාක බොහෝ කුටුම්භයන් සඳහා ප්‍රමාණවත් නොවන අතර ග්‍රාමීය ප්‍රදේශවල එය බරපතළ තත්ත්වයක්. මෙයින් අදහස් කරන්නේ බොහෝ අය ඔවුන්ගේ ආහාර වේලට අතිරේකව අවිධිමත් වීදි වෙළඳපොලවල් මත විශ්වාසය තබන බවයි.
දරුණු කාලගුණය නිසා බෝග වලට හානි සිදුවී ඇත
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය වසරේ සුළි සුළං හා ගංවතුරෙන් අස්වැන්නට ඇති වූ බලපෑම ගැන සඳහන් කළා. පැරිස් මූලස්ථානය කරගත් කෘෂිකාර්මික අධීක්ෂණ සංවිධානයක් වන GEOGLAM දත්තවලට අනුව, 2020 අප්‍රියෙල් සිට සැප්තැම්බර් දක්වා වාර්තා වී ඇත්තේ 1981න් පසු වැඩිම වර්ෂාපතනයක් සහිත කාල පරිච්ඡේදයක් බව සදහන් වෙනවා.
කොරියානු අර්ධද්වීපයට සුළි සුළං තර්ජන තුනකට මුහුණ දීමට සිදු වූ අතර අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකක කාලය තුළ නායයෑම් ද බහුලව වාර්තා වුණා. මෙම කාල පරිච්ඡේදය සහල් සහ ඉරිඟු අස්වැන්න නෙළීමට ආසන්න කාලය වීම හානිය තවත් තීව්‍රර කළා.
පසුගිය සරත් සෘතුවේ අස්වැන්න අඩු මට්ටමක පැවතීම නිසා ජුනි මාසය වන විට ආහාර හිඟ විය හැකි බවයි විශ්වාස කරන්නේ.
පසුගිය අගෝස්තු මස මුලදී හගුපිට් සුළි කුණාටුව ඇති වූ අතර ඒ සමග ඇති ගංවතුරෙන් වගාබිම් හෙක්ටයාර් 40,000ක් සහ නිවාස 16,680ක් විනාශ වූ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළත් පසුකාලීන කුණාටු පිළිබද තොරතුරු ලබා දීමෙන් රාජ්‍ය මාධ්‍ය වැළකී සිටියා.
දශක ගණනාවක සිට උතුරු කොරියාව තුළ සිදුවන දැවැන්ත වන විනාශය නිසා මෙම සිදුවීම්වල බලපෑම වඩාත් නරක අතට හැරී ඇති බවයි විශේෂඥයින් කියන්නේ. 1990 දශකයේ ආර්ථික අර්බුදය නිසා ඉන්ධන සඳහා පුළුල් ලෙස ගස් කැපීම සිදු වූ අතර, නිතිපතා ගස් සිටුවීමේ ව්‍යාපාර තිබියදීත්, වනාන්තර විනාශය අඛණ්ඩව සිදු වෙනවා. මෙය ගංවතුර වැනි ස්වභාවික ව්‍යසනවලට ප්‍රබල හේතුවක්.
Global Forest Watch සංවිධානය විසින් පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, 2019 දී හෙක්ටයාර් 27,500ක වන ආවරණයක් උතුරු කොරියාවට අහිමි වූ අතර 2001 සිට මේ දක්වා හෙක්ටයාර් 233,000ක් අහිමි වී තිබෙනවා.
උතුරු කොරියාව කේන්ද්‍ර කරගත් blog 38ට අනුව උතුරු කොරියාව එහි ආපදා කළමනාකරණය වැඩිදියුණු කර ඇතත්, එය තවමත් දුක්ඛිත ලෙස ප්‍රමාණවත් නොවන බව සදහන්.
පොහොරවල බරපතල හිඟයක්
උතුරු කොරියාවේ කෘෂිකාර්මික අංශය මුහුණ දෙන එතරම් ප්‍රසිද්ධ නැති ගැටලුවක් වන්නේ බෝග අස්වැන්න වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමාණවත් පොහොර ලබා ගැනීමේ දුෂ්කරතාවයි.
2014 දී කිම් ජොන් උන් විසින් ලියන ලද ලිපියක් මගින් කෘෂිකාර්මික අංශයේ නායකයින්ට මතක් කර දුන්නේ පහසුවෙන් ලබාගත හැකි පොහොර ප්‍රභවයන් සොයා ගත යුතු බවයි.
“ගෘහස්ථ සත්ව අපද්‍රව්‍ය, මිනිස් මළ, කොම්පෝස්ට් සහ මතුපිට පස් වැනි පොහොර ප්‍රභවයන් භාවිතා කරන්න” යනුවෙන් ඔහු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය KCNA විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියේ සඳහන් කර කළා.
පොහොර නිෂ්පාදනය අතින් උතුරු කොරියාව ස්වයංපෝෂිත නොවන අතර, පසුගිය පෙබරවාරි මාසයේ එහි පොහොර නිෂ්පාදනය කරන ප්‍රධාන කර්මාන්තශාලා වලින් එකක් අමතර කොටස් නොමැතිකම හේතුවෙන් වසා දැමීමට සිදුවුණා.
කෝවිඩ් වසංගතය හේතුවෙන් 2020 ජනවාරි මාසයේදී එහි විශාලතම වෙළඳ හවුල්කරුවා වන චීනය සමඟ දේශ සීමාව වසා දැමීම නිසා අර්බුදය තවත් තීව්‍රර වී තිබෙනවා.
සම්බාධක මගින් වෙළඳාම දැඩි ලෙස සීමා වේ
උතුරු කොරියාව සිය ප්‍රධාන වෙළෙද හවුල්කරුවා වන චීනය සමග සිදුකරන සමස්ත අපනයනය මෑත වසරවලදී ඩොලර් බිලියන 2.5 සිට ඩොලර් බිලියන 3.5 දක්වා පරාසයක පවතී. චීන නිල රේගු දත්ත වලට අනුව පසුගිය වසරේ එම අගය ඩොලර් මිලියන 500 ට වඩා අඩු වුණා.
දේශ සීමාවේ දෙපස (සිනුයිජු සහ ඩැන්ඩොං හි) චන්ද්‍රිකා නිරූපණය 2019 හා සසඳන විට වාහන ගමනාගමනයේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනවා. උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ (CSIS) වාර්තාවකට අනුව , දේශ සීමාව වෙළඳාම සඳහා වසා දමා ඇති බවට එය සාක්ෂි සපයනවා.
පර්යේෂකයන් 2019 සැප්තැම්බර් මාසයේදී රේගු ප්‍රදේශවල වාහන 100 කට වඩා ගණන් කර ඇති නමුත් 2021 මාර්තු මාසයේදී එය 15ක් දක්වා අඩුවී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුළ එකම ස්ථානයක ඡායාරූප සමඟ සසඳන විට මාර්තු මාසයේදී තවත් දුම්රිය මැදිරි දැකගත හැකි වුණා. එමඟින් වෙළඳාම නැවත ආරම්භ විය හැකි යැයි නිරීක්ෂකයින් විශ්වාස කිරීමට හේතු වී තිබෙනවා. එතැන් සිට, ඕනෑම වේලාවක දේශ සීමාව නිසි ලෙස විවෘත වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව උතුරු කොරියාවේ නිරීක්ෂකයෝ පවසනවා.
ආහාර ආධාර ගැටළු
සංවෘත දේශසීමා නිසා උතුරු කොරියාවට ආහාර ආධාර ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා. එරට විශාලතම පරිත්‍යාගශීලියා චීනය වන අතර වසංගතය ආරම්භයේ සිට උතුරු කොරියාවට චීන ආහාර අපනයනය 80% කින් පහත වැටී තිබෙනවා.
පසුගිය දශකය තුළ ආධාර දෙන රටවලින් උතුරු කොරියාවට ආධාර ගලා ඒම ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. බොහෝ ජාත්‍යන්තර ආහාර ආධාර සංවිධානවලට දැනට උතුරු කොරියාවේ වැඩ කිරීමට නොහැකි වී ඇති අතර, කෝවිඩ් සීමාවන් නිසා මෙහෙයුම් සාමාන්‍ය මට්ටමට වඩා දුෂ්කර වී තිබෙනවා.
ලෝක ආහාර වැඩසටහනේ කුන් ලී බීබීසීයට පැවසුවේ වසංගතයට පෙර සිටම ගෘහස්ථ ආහාර සමීක්ෂණ පැවැත්වීමට WFP ට නොහැකි වී ඇති බවයි.
“අභියෝග මධ්‍යයේ වුවද, 2020 දී ලෝක ආහාර සංවිධානයේ සීමිත සැපයුම් 730,000 කට ආසන්න පිරිසකට ළඟා වුණා‘ ඇය පැවසුවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවකට අනුව උතුරු කොරියාවට මාස දෙකක හෝ තුනක සැපයුම් වලට සමාන ආහාර හිඟයක් පවතී .
“මෙම පරතරය වාණිජ ආනයන සහ / හෝ ආහාර ආධාර මගින් ප්‍රමාණවත් ලෙස ආවරණය නොවන්නේ නම්, 2021 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ උතුරු කොරියානු වැසියන්ට දැඩි සාගත කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවිය හැකියි‘‘ ලෝක ආහාර සංවිධාන ප්‍රකාශකයෙක් සදහන් කළා.
බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ