යල කන්නයේ වී අලෙවියට සූදානම් ගොවීන්ට ‘වී අලෙවි මණ්ඩලයෙන්‘ විශේෂ දැනුම්දීමක්

යල කන්නයේ වී අලෙවියට සූදානම් ගොවීන්ට ‘වී අලෙවි මණ්ඩලයෙන්‘ විශේෂ දැනුම්දීමක්
Spread the love

මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටතේ දිවයිනේ දිස්ක්‍රික්ක 19ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සියලු ප්‍රදේශයන්හි ගබඩා සියල්ල මේ වන විට විවෘත කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත සියලු ගබඩා නිරීක්ෂණය කරමින් පවතින බව ද ප්‍රියදර්ශන මහතා කියයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරෝකථන දත්තයන්ට අනුව මෙවර යල කන්නයේ ඉතිහාසයේ වැඩිම වී ඇස්වැන්න අපේක්ෂා කර ඇති අතර එය මෙට්‍රික් ටොන් ලක්ෂ 20 ඉක්මවා ඇති බවත් මෙම ප්‍රමාණය දේශීය පරිභෝජනයෙන් මාස 6කට පමණ ප්‍රමාණවත් වන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව රජය මගින් නිකුත් කර ඇති වී සදහා වන සහතික මිල යටතේ මෙම කන්නය තුළ ඕනෑම ගොවියෙකුට තමන් කැමැති ඕනෑම වී ප්‍රමාණයක් සීමාවකින් තොරව වී අලෙවි මණ්ඩලයේ ඕනෑම ගබඩාවකට ලබාදීමට හැකි බවත් උප සභාපතිවරයා කියයි.

එසේම රජය මගින් ලබා දෙන සහතික මිලට අමතරව වී කිලෝවකට රුපියල් 1.50ක ප්‍රවාහන පිරිවැයක් ද ගොවියාට ලබාදීමට වී අලෙවි මණ්ඩලය කටයුතු ඇති බවයි ප්‍රියදර්ශන මහතා කියා සිටියේ.

කෙසේ නමුත් සහල් සදහා විධිමත් මිල පාලනයක අවශ්‍යතාවය සහ වී මෝලක් නොමැති අතරමැදියන් විසින් අසීමිත ලෙස වී තොග රැස් කිරීම පාලනය රජය මැදිහත් විය යුතු බවත් ඒ සදහා වන නීති මෙම අස්වැන්න මිලදී ගැනීමට පෙර සම්පාදනය විය යුතු බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපතිවරයා පෙන්වා දෙයි.

‘‘වී මෝල් නොමැති අතරමැදියන් විසින් අසීමිත ලෙස වී තොග රැස් කිරීම වහාම පාලනයට රජය මැදිහත් විය යුතුයි. ඒ සදහා නීති සම්පාදනය කඩිනමින් සිදුවිය යුතුයි. එසේ නොවුණහොත් වී අලෙවි මණ්ඩලය හරහා ආරක්ෂිත වී තොගයක් රැස් කිරීමට අපහසු විය හැකියි. එහි ප්‍රතිඵලය විය හැක්කේ මේ වසර අවසානය වන විට යළිත් සහල් මිල ඉහළ යාමයි‘‘ දුමින්ද ප්‍රියදර්ශන මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වී අලෙවිය සම්බන්ධයෙන් රටේ තැන තැන සිදුවන වී ගොවි මැසිවිලි ගැන අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වී අලෙවි මණ්ඩලයේ උප සභාපතිවරයා කියා සිටියේ මේ වන තෙක් එවැනි ගැටලුවක් ගැන වී අලෙවි මණ්ඩලයට වාර්තා වී නොමැති බවයි.

‘‘දැනට වී අලෙවි කිරීමට ගොවීන්ට කිසිදු ගැටලුවක් නැහැ. ඔවුන්ට සපයන ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා. ප්‍රවාහන ගැටලු තිබෙන වී ගොවීන්ට ඒ බව වී අලෙවි මණ්ඩලයට දුරකථනය මගින් දැනුම් දුන් විට ඒ සදහා ජංගම මිලදී ගැනීමේ සේවා රථ පහසුකම් ලබාගත හැකියි‘ යැයි ද දුමින්ද ප්‍රියදර්ශන මහතා කියා සිටියේය.