කොවිඩ් සහ ටීනියා දිලීර රෝගය අතර සෘජු සබඳතාවක් නැහැ

කොවිඩ් සහ ටීනියා දිලීර රෝගය අතර සෘජු සබඳතාවක් නැහැ

දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොවිඩ් වසංගත රෝගය සමග සෘජු සම්බන්ධතාවයක් නැතැයි  චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

උතුරුමැද පළාත මුල් කරගෙන ශ්‍රී ලංකාව පුරා දිලීර රෝගයක් පැතිර යන බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය වීමත් සමග කොවිඩ් වසංගතය හමුවේ ජනතාව අතර ව්‍යාකූලතාවක් ඇතිවීම නිසා ටීනියා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස අද (04) පස්වරුවේ “ Covid සහ ටීනියා දිලීර රෝගය අතර සබැඳියාව ඇත්තක්ද?” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වෛද්‍යවරු මේ මතය පළ කළහ. සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

Loading...

ටීනියා යනු දිලීරයක් නිසා සමෙහි ඇතිවන ආසාදනයකි. මිනිසුන්, සතුන් හා පස ඇතුළු බාහිර පරිසරයේ පවතින ඩර්මටොෆයිට් (Dermatophyte) නම් දිලීර විශේෂයක් නිසා ඇතිවන රෝගය මනුෂ්‍යයාගේ නිය, හිසකෙස් සහ සමෙහි බාහිර ස්ථරය තුළ වැඩෙමින් පැතිර යයි.

කැසීමක් සහ රතු පැහැති ලප ලෙස හටගන්නා රෝගය ඉකිලි, කිහිලි වැනි දහදිය දැමීම අධික සිරුරේ නැමෙන ස්ථානවල පළමුව හටගෙන පසුව සිරුරේ ඕනෑම තැනකට පැතිරී යනු ඇත. ඕනෑම වයස් කාණ්ඩයක පසුවන අයෙකු රෝගයට ගොදුරු විය හැකි අතර කුඩා ළමුන්ට හිස්කබල ආශ්‍රිතව රෝගය හට ගැනීමට වැඩි ඉඩකඩක් පවතී.

රෝගය ඇතිවීමට වැඩි ඉඩක් පවතින අවස්ථා ලෙස දහදිය දැමීම අධික කාලගුණික තත්ත්වයන් පුද්ගලික පිරිසිදුකම අඩුවීම, සිරුරට තදවන කෟත්‍රිම ඇඳුම් භාවිතය, ඇඳුම් හුවමාරු කර ගැනීම, සිරුර එකට ගැටීම බහුලව සිදුවන රග්බි, පාපන්දු වැනි ක්‍රීඩාවල නිරතවීම, සිරුරේ ප්‍රතිශක්තිය අඩුවන රෝගවලින් හා දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙලීම ආදිය දැක්විය හැකිය.

රෝගය වැළඳුණු අයගේ සම හෝ ඔවුන් භාවිත කළ ඇඳුම්, පනාව, හිස් ආවරණ වැනි සම සමඟ සෘජුව ගැටෙන දෑ මගින් රෝගය තවත් අයෙකුට බෝවීමට පිළිවන. ඊට අමතරව වැසිකිළි ආසන, ඇඳ වැනි හවුලේ පරිහරණය කරන ගෘහ උපකරණ මගින්ද රෝගය පැතිර යා හැකිය.

දිලීර නාශක ඖෂධ නිසි ලෙස භාවිත කිරීමෙන් රෝගය නිට්ටාවට සුව කළ හැක. පවුලේ කිහිප දෙනෙකුට රෝගය ආසාදනය වී ඇත්නම් එකවර ප්‍රතිකාර ආරම්භ කළ යුතු අතර වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදිය යුතුය. වෛද්‍ය උපදෙස්වලින් තොරව ෆාමසිවලින් ලබා ගන්නා හෝ නිවසේ තිබෙන විවිධ ආලේපන පාවිච්චි නොකළ යුතුයි. එබඳු ආලේපන භාවිතය නිසා රෝගය සිරුර පුරා පැතිරයාමේ ඉඩකඩ පවතී. ලපවල ස්වභාවය වෙනස්වීම  රෝග නිසි අයුරින් හඳුනා ගැනීමට බාධාවකි. එවන් අවස්ථාවක මිල අධික දිලීර නාශක ඖෂධ දීර්ඝ කාලයක්  ගැනීමට සිදු විය හැකිය.

සම පිරිසිදුව හා තෙත් බවෙන් තොරව පවත්වා ගැනීම, ඇඳුම් හවුලේ පරිහරණයෙන් වැළකීම, සිරුරට හිර නොවන කපු යට ඇඳුම් භාවිතය, පාද ආවරණය නොවන පාවහන් පැළඳීම, සුරතල් සතුන් අනවශ්‍ය ලෙස සිරුරට ලංකර නොගැනීම වැනි රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට ඉවහල් වෙයි.

චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සම ලේකම් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය දීපානී මුනිදාස,  කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට,  රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ යන මහත්ම මහත්මීහූ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ සාකච්ඡාවට එක්ව සිටියහ.

Loading...