ඊශ්‍රායල බුද්ධි අංශ විස්මයට පත් කළ පලස්තීන සිරකරුවන්ගේ පළා යාම

ඊශ්‍රායල බුද්ධි අංශ විස්මයට පත් කළ පලස්තීන සිරකරුවන්ගේ පළා යාම
Spread the love

පලස්තීන සිරකරුවන් හය දෙනෙකු උමඟක් හාරා ඊශ්‍රායලයේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරයකින් පළා ගොස් තිබෙනවා. ඊශ්‍රායලයේ ගිල්බෝවා බන්ධනාගාරයේ රදවා සිටි මෙම පුද්ගලයින් සය දෙනා මාස ගණනාවක් තිස්සේ තම සිර මැදිරියේ සිට බන්ධනාගාරයෙන් එපිට මාර්ගයක් දක්වා උමඟක් හාරා මෙසේ පළා ගිය බවයි බලධාරීන් දැක ඇත්තේ.

මෙම සිරකරුවන් ගොවිබිම් හරහා දිව යන බව දුටු ගොවීන් විසින් නිලධාරීන්ට මේ පිළිබදව දැනුම් දී ඇති අතර ඉන් පසුව සැකකරුවන් සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පලාගිය අය අතරට අල්-අක්සා බලකායේ හිටපු නායකයෙකු සහ ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළත් වේ.

ඊශ්‍රායල් බන්ධනාගාර සේවා නිලධාරියෙකු මෙම සිදුවීම ගැන සිය බලවත් කණස්සල්ල පළ කළ අතර ” ආරක්ෂාවේ සහ බුද්ධි අංශ වල විශාල අසාර්ථක වීමක්” ලෙස අදාළ සිදුවීම විස්තර කර තිබෙනවා.

පලස්තීන සටන්කාමී කණ්ඩායම් එය “වීරෝදාර” ලෙස වර්ණනා කළ බවයි මාධ්‍ය කියන්නේ.

උතුරු ඊශ්‍රායලයේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරයක් වන ගිල්බෝවා බන්ධනාගාරය මෙම සිදුවීම ගැන අනතුරු ඇඟවීම සිදු කළේ ද අසල කෘෂිකාර්මික බිම්වල වැඩකරමින් ගොවීන්ගෙන් බලධාරීන්ට වාර්තා ලැබීමත් සමඟ බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර කාර්ය මණ්ඩලය සිරකරුවන් ගණන් කිරීමේදී, රැඳවියන් හය දෙනෙකු අතුරුදන්ව සිටින බව සොයා ගත්හ.

සිරකරුවන් තම නාන කාමරයේ බිම හාරා බෙදා හදා ගත් සිර කුටියෙන් එළියට බැස ඇතැයි විශ්වාස කෙරේ. පෙනෙන ආකාරයට උමඟ මතු වූයේ බන්ධනාගාරයට තරමක් නුදුරිනි.

ජෙරුසලමේ පෝස්ට් වාර්තා කළේ සිරකරුවන් මළකඩ හැන්දක් භාවිතා කරමින් උමග හාරා ඇති බවයි.

මේ අතර ෂින් බෙට් ආරක්‍ෂක සේවාව පැවසුවේ, ඔවුන් බන්ධනාගාරයෙන් පිටත සිටි පුද්ගලයින් සමඟ හොර රහසේ ජංගම දුරකථනයක් භාවිතා කර සම්බන්ධතා පැවැත්වූ බවට විශ්වාස කරන අතර ඔවුන් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මෙම උමඟ සිරගෙදර බිත්ති අසල ග්‍රාමීය බිම් තීරුවක මතු විය

මෙම සිදුවීම ගැන විමර්ශනයක යෙදුන ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත පැවසුවේ  ඊශ්‍රායල් ජාතිකයින්ට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් හය දෙනාගෙන් පස් දෙනකු ජීවිතාන්තය දක්වා සිරදඩුවමට ලක්කර සිටි බවයි.

ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් මහජන ආරක්‍ෂක ඇමති ඕමර් බාර්-ලෙව්ට කතා කළ අතර මෙම සිරකරුවන් යළි අත්අඩංගුවට ගැනීම කඩිනමින් කළ යුතු බව අවධාරණය කළේය.

“මෙය ආරක්ෂක අංශ විසින් දැඩි උත්සාහයක් දැරිය යුතු බරපතල සිද්ධියක්” බව අවධාරණය කළේය.

ඉස්ලාමීය ජිහාඩ් සංවිධාන මෙම සිදුවීම “වීරෝදාර ක්‍රියාවක්” ලෙස විස්තර කළ අතර එය “ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිය කම්පනයට පත් කරන දෙයක් බව පැවසුවේය.”

මේ අතර හමාස් ප්‍රකාශක ෆවුසි බර්හූම් කියා සිටියේ “එය විශිෂ්ට ජයග්‍රහණයක්” බවයි‘‘

බී.බී.සී ඇසුරිනි