මියන්මාර ආණ්ඩුව ‘අශින් විරතු හිමියෝ‘ නිදහස් කරති

මියන්මාර ආණ්ඩුව ‘අශින් විරතු හිමියෝ‘ නිදහස් කරති
Spread the love

ජාතිකවාදී හා මුස්ලිම් විරෝධී අදහස් දැරීම සම්බන්ධයෙන් ප්‍රකට හා විවාදාත්මක බෞද්ධ භික්ෂුවක් වන අශින් විරතු හිමි මියන්මාරයේ මිලිටරි ජුන්ටාව විසින් නිදහස් කරනු ලැබ තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණු සිවිල් රජයට එරෙහිව රාජද්‍රෝහී ක්‍රියාකාරකම් වල නියැලීමේ චෝදනාව එහිමියන්ට මීට පෙර එල්ල වී තිබුණි.

කැරලිකාර භික්ෂුවක් ලෙස හැදින්වෙන විරතු හිමි මිලිටරි හිතවාදී අදහස් දරන්නකු ලෙස ද ප්‍රසිද්ධය. විශේෂයෙන් රෝහින්ග්‍යා වැසියන් ඇතුළු මුස්ලිම්වරුන් ඉලක්ක කර ගත් ප්‍රකාශ හේතුවෙන් එහිමි “බෞද්ධ බින් ලාඩන්” ලෙස ද හැඳින්වේ. මෑත වසරවලදී ඔහු මිලිටරි හිතවාදී රැලිවලට සහභාගී වෙමින් ජාතිකවාදී කථා පැවැත්වූ අතර එවක නායිකා අවුං සාන් සුචී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගය විවේචනය කළේය.

2019 දී සිවිල් රජයට එරෙහිව “වෛරය පැතිරවීම සහ අපහාස කිරීම” සම්බන්ධයෙන් විරතු හිමිට චෝදනා එල්ල විය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බලධාරීන්ට යටත් වීමට පෙර විරතු හිමි සැඟවී සිටියේය. එතැන් සිට ඔහු නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියේය.

විරතු හිමිට එරෙහි සියලු චෝදනා ඉවත් කර ඇති බව සඳුදා (සැප්. 06) හමුදා රජය පැවසුවද එයට කිසිදු හේතුවක් ඉදිරිපත් කළේ නැත. එහිමි හමුදා රෝහලක ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් සඳහන් වූ අතර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා නොවේ.

මියන්මාරයේ මුස්ලිම් සහ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවට විරතු හිමිට චෝදනා එල්ල වී ඇති අතර, බෞද්ධයින්ට තම ආගම තුළ පමණක් වෙළෙඳාම් කිරීම, දේපල විකිණීමට හා විවාහ වන ලෙස ඉල්ලා සිටින බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයක් වන 969 ව්‍යාපාරයේ එක් කැපී පෙනෙන චරිතයක් විය.

ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාව වන විට, සමාජ මාධ්‍ය ඔස්සේ මාර්‍ගගතව විරතු හිමිගේ දේශන නැරඹීම හෝ එහිමිගේ රැළි වලට සහභාගී වීම සඳහා දස දහස් ගණන් අනුගාමිකයෝ එක්වූහ.

2012 දී විරතු හිමිගේ කථා හේතුවෙන් රඛයින් ප්‍රාන්තයේ මුස්ලිම්වරුන්, ප්‍රධාන වශයෙන් රෝහින්ග්‍යා වැසියන් සහ බෞද්ධයින් අතර මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ විට එහිමි මහජන අවධානයට ලක් විය.

ඊළඟ වසරේදී, ටයිම් සඟරාව විරතු හිමි තම මුල් කවරයට එක් කළේ “බෞද්ධ භීෂණයේ මුහුණ ද?” යන සිරස්තලය සමගිනි.

2017 දී මියන්මාරයේ ඉහළම බෞද්ධ අධිකාරිය විසින් විරතු හිමිට වසරක දේශනා තහනමක් පනවන ලද අතර 2018 දී වෛරී ප්‍රකාශ හේතුවෙන් ෆේස්බුක් සමාඟම එහිමිගේ පිටුව ඉවත්කර දැමීය.

මිලියන 54 ක පමණ ජනතාවක් ජීවත් වන මියන්මාරයේ ප්‍රධාන ආගම බුද්ධාගමය.

BBC