වරක් භාවිතා කර ඉවත ලන ‘ප්ලාස්ටික් නිෂ්පාදන තහනම’ අද හෙටම

වරක් භාවිතා කර ඉවත ලන ‘ප්ලාස්ටික් නිෂ්පාදන තහනම’ අද හෙටම
Spread the love

වරක් භාවිතා කර ඉවත ලන තවත් ප්ලාස්ටික් නිෂ්පාදන හතක් ශ්‍රී ලංකාව තුළ  නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම  තහනම් කිරීමේ ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුනු වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද එම තහනම සඳහා ලැබුණු බවද ඇමැතිවරයා කීය.

පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සතිපතා මාධ්‍ය හමුවේදීය.

නව තීරණය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පරිසර අමාත්‍යවරයා  ‘ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන භාවිතය පාලනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ගෙන යන ලද වැඩ පිළිවෙළෙ යටතේ එක්වරක් පමණක් භාවිතා වන තවත් නිෂ්පාදන වර්ග හතක් තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය සතියේ ලැබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලද පසු ඊට අදාළ ගැසට් නිවේදනය වහාම නිකුත් කරන්න අපි කටයුතු කරනවා.

ඒ අනුව පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන්, ප්ලාස්ටික්වලින් නිපදවන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු,  ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, ප්ලාස්ටික් කෘත්‍රිම තණ ඇතිරිළි,  පොලිතීන් මල්මාලා, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, සහ 12X 05X 10  ප්‍රමාණයේ පොලිතීන්වලින් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි බෑග් හා සිලි සිලි බෑග්  තහනම් කිරිම සිදු වනවා.

අපේ රටේ අවිධීමත් ලෙස පරිහරණය කරන එක් වරක් පමණක් භාවිතා කරන මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවනවා.  විශේෂයෙන් මේවායින් සියයට සියයක්ම නැවත එකතු කරන්නේ නැහැ. සිදු කරන්නේ ගිනි තැබීම හෝ පරිසරයට බැහැර කිරීම පමණයි. එනිසා අවසානයේ පානීය ජල මූලාශ්‍රවලට හා සාගරයට මේවා එක්වනවා.

අද අපේ සාගරය හරියට මින් පෙර තිබු බේරේ වැව වගේ වෙලා. 2050 වනවිට සාගරයේ මසුන්ට වඩා පොලිතීන් හා ප්ලාස්ටික් වැඩි වෙයි කියළයි අන්තර් ජාතික සංවිධාන කියන්නේ.  එමනිසා අප රටේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ගන්නා ලද  මෙම පියවර සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි.

අපි මෙම තීරණ ගත්තේ අදාල සමාගම් සමග සාකච්ඡා කර ඉන් අනතුරුවයි. බොහෝ ආයතන දැනටමත් ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගෙන විකල්ප නිෂ්පාදන ආරම්භ කර තිබෙනවා. මේ නිසා අභාවයට ගිය අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා නැවතත් අවස්ථාවන්  සැළසෙමින් තිබෙනවා .

එක්වරක් පමණක් භාවිතා වන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05ක් ‘පසුගිය මාර්තු 31 දා සිට අප තහනම් කළා. පරිසරයට විශාල විනාශයක් කළ  සැෂේ පැකට් අපි එම ලැයිස්තුව යටතේ තහනම් කළා. දැන් වෙළෙඳපොළේ ග්‍රෑම් 20ට අඩු ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට් අලෙවි කරන්නේ නැහැ. අදාළ සමාගම් ඒවා නිෂ්පාදනය හා බෙදාහැරීම  අත්හිටවනු ලැබ තිබෙනවා. ඒ වගේම අගෝස්තු 01 සිට අපි පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් තහනම් කළා.දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ දිරාපත්වන ලන්ච්ෂීට් පමණයි’‘ යැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.