රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් මෙන්න !

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් මෙන්න !
Spread the love

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 හි සම්මානිත ග්‍රන්ථ ලේඛනය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2020 වසරේ ප්‍රකාශිත කෘතීන් අතරින් හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය සම්මානනීය ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන මහත්මිය විසින් රචිත ‘ඉවුරු ගඟ සිඳී ගියදා’ නව කතාවට හිමිව ඇති අතර පසුගිය වසරේ හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය ලෙස සුමුදු නිරාගි සෙනෙවිරත්න මහත්මිය රචනා කළ ‘සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්’ කෘතියත්, හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය ලෙස එරික් ඉලයප් ආරච්චි මහතා රචනා කළ ‘හම්බාවා’ කෘතියත් නම්කර තිබේ.

සම්මානිත කෘතීන් පිළිබඳව මෙරට සාහිත්‍යධරයින් මෙන්ම පාඨකයින්ද නිරන්තරයෙන් මේ පිළිබඳ විමසීම් කළ නිසා එම ග්‍රන්ථ ලේඛනය ජනගත කිරීමට රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංවිධායක ආයතන එක්ව තීරණය කළ බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය පැවසුවාය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවත 2020 රාජ්‍ය සාහිත්‍ය ප්‍රදානෝත්සවය පැවැත්වීමට සිවු වරක්ම කටයුතු සංවිධානය කළත් එය පැවැත්වීමට නොහැකිවීම නිසා සම්මාන උළෙලට පෙර සම්මානිත කෘතීන් ප්‍රකාශයට පත්කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ජීවිතයේ එක් වරක් පමණ පිරිනැමෙන සාහිත්‍යරත්න සම්මානය ද මෙවරත් ප්‍රවීණ සාහිත්‍යධරයන් තිදෙනකු උදෙසා පිරිනැමේ. සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඩබ්ලිව් .ඒ අබේසිංහ, ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් නාමෙල් වීරමුණි, දෙමළ සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් කේ.එස් සිව කුමාරන් යන සාහිත්‍යවේදීන් මෙවර සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

කොවිඩ් වසංගත තත්වය පහව් ගිය සැණින් මෙම සම්මාන උත්සවය පැවැත්වීමට පියවර ගන්නා බවත්, 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන වෙනුවෙන් කෘතීන් තේරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය පැවසුවාය.

ග්‍රන්ථ ප්‍රකාශකයන්ට හා කර්තෘවරුන්ට සාහිත්‍ය තම කෘතීන් අලෙවි කරගැනීමේ අවස්ථා පවතින බැවින් ඊට සහයෝගයක් ලෙස මෙම ලේඛනය එළිදැක්වීමට සංවිධායකයන් තීරණය කර ඇත.

එම ලේඛනයට අනුව පසුගිය වසරේ ප්‍රකාශිත හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය බුවනෙක වන්නිආරච්චි මහතා විසින් රචිත ‘හත F’ ය.

හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා කෘතිය ලෙස කුසුම් පීරිස් මහත්මියගේ ‘සිහිනයකි ඔබ’ කෘතියත්, ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙස චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ කෘතියත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීමට නියමිතය.

වසරේ හොඳම විද්‍යා සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සම්මානය මනෝජ් ප්‍රසන්න රත්නායකගේ ‘මගේ රොබෝ ප්‍රේමිය, කෘතියටත්, ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය කෘති I කාණ්ඩය යටතේ හොඳම කෘතිය ලෙස මහේෂ් පතිරත්නගේ ‘ලස්සන ගමේ හපන්නු’ කෘතියත්, ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය කෘති II කාණ්ඩය යටතේ හොඳම කෘතිය ලෙස මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ ‘කලන්දාගේ ලෝකය’ කෘතියත් නම් කර ඇත.

මීට අමතරව හොඳම ශාස්ත්‍රීය හා පර්‍යේෂණ කෘතිය ලෙස ආචාර්‍ය නිශ්ශංක අබේරත්නගේ ‘මහනුවර යුගයේ කවිකාර මඩුව ආශ්‍රිත සංගීතය’, හිඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය ලෙස ගාමිණී වේරගම මහතා රචනා කළ ‘දේශීය සිනමා වංශය’ කෘතියත්, හොඳම පරිවර්තන නවකතාව ලෙස ඩබ්ලිව්.ඒ අබේසිංහ මහතාගේ ‘මුල් කවය 11/1 කෘතියත්, හොඳම පරිවර්තිත කෙටිකතා කෘතිය ලෙස සංජය රංගලාල් නිශ්ශංකගේ ‘වෙරළ’ කෘතියත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කරගෙන ඇත.

පසුගිය වසරේ ප්‍රකාශිත හොඳම පරිවර්තිත පද්‍ය කෘතිය ලක්ෂාන්ත අතුකෝරළගේ ‘සිපුම් සීරුම් කෙනිත්තුම්’ වන අතර හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය ලියනගේ අමරකීර්ති මහතාගේ රළ නගන මිනිස්සු කෘතියයි.

විජිත ගුණරත්න මහතා විසින් රචිත චූටි මල්ලී සහ වහල උඩ කාල්සොන් කෘතිය හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය වන අතර ඒ.ජී නාලිනී මහත්මියගේ ‘කෞටිල්‍ය (චානක්‍ය) අර්ථ ශාස්ත්‍රය කෘතිය හොඳම පරිවර්තිත ශාස්ත්‍රීය හා පර්‍යෙෂණ කෘතියයි.

විවිධ විෂයක ග්‍රන්ථ – සමාජ ශාස්ත්‍ර අංශය යටතේ හොඳම කෘතිය ලෙස මිල්ටන් ප්‍රනාන්දු මහතාගේ ‘ආහාරපාන පුරාණේ’ කෘතියත්, විවිධ විෂයක ග්‍රන්ථ – මානව ශාස්ත්‍ර අංශය යටතේ හොඳම කෘතිය ලෙස එරික් ඉලයප් ආරච්චි මහතාගේ ‘මන්ටො’ කෘතියත්, විවිධ විෂයක ග්‍රන්ථ – පරිවර්තන අංශය යටතේ හොඳම කෘතිය ලෙස කුඩගම්මන සීලරතන හිමියන් විසින් රචිත ‘ප්‍රමුදිත ජීවිතයක්’ කෘතියත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා තේරී තිබේ.

හොඳම පිටකවරය සහිත කෘතිය ලෙස ගංගා ෂයිනි ගමගේ මහත්මිය රචනා කළ මෞ.ල සෙනෙවිරත්න මහතා කවර නිර්මාණය කළ ‘තාත්තා- දුවකගේ චමත්කාර ලෝකය’ කෘතියත්, හොඳම නිමාවෙන් සහ පිටු සැකසුමෙන් යුත් කෘතිය ලෙස එරිච් ජෝසප් රචනා කළ, කසුන් බෙනරගම පිටු සැකසුම් කළ ‘සිම්පනි ඔෆ් සෙරන්ඩිබ්’ (Symphony of Serandib) කෘතියත් මෙවර සම්මාන හිමි කරගෙන ඇත.

1957 වසරේ දී ආරම්භ කෙරුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, සස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව වාර්ෂිකව පවත්වනු ලබයි.

අදාළ වර්ෂය තුළ ප්‍රකාශිත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය කෘතීන් අතුරින් හොඳම කෘතීන් සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරේ.

ලංකාදීප ඊ පුවත්පත ඇසුරිනි