සැප්තැම්බර් 2 වන දා සිට, ශ්‍රී ලංකාවේ වයස අවු. 20 – 30 කාණ්ඩයේ පුද්ගලයින්ට ද දිස්ත්‍රික් මට්ටමෙන් කොවිඩ් එන්නත ලබාදීම ඇරඹුණි. මෙහිදී යුද හමුදාවේ මූලිකත්වයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පිරිසට පළමු මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සිදුවිය.
කෙසේ නමුත් ඒ පිළිබඳ විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන් තුළින් සේම වෛද්‍ය වෘත්තිකයින් අතරින් ද මතුවනු දක්නට ලැබුණි.
මෙම තීරණයට විරෝධය දක්වමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ වෛද්‍ය විශේෂඥන්ගේ සංගමය, සයිනොෆාම් එන්නත හරහා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන වයස අවු. 20 – 30 ජනගහණයට ෆයිසර් එන්නත ලබාදීම විද්‍යාත්මක දත්ත අභිබවා යෑමක් බව සඳහන් කළේ ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රකාශකර සිටියේ, වයස අවු. 20 – 30 පුද්ගලයින් එන්නත්කරණය ආරම්භකර ඇත්තේ ප්‍රමුඛතා දිස්ත්‍රික්කයකින් නොවන අතර, එම තීරණ කාගේ උපදෙස් මත ගන්නා ඒවාදැ යි තමන් නොදන්නා බව යි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා ගෙන් තොරතුරු විමසීම සඳහා දුරකථනය ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සහ සාර්ථක නොවිය.
අප කළ විමසීමක දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ, හම්බන්තොට පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබාදෙන්නේ “සම්පූර්ණයෙන්ම කාර්ය සම්පාදන ගැටලුවක් නිසා” බව යි.
හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම ගැන සමාජ මාධ්‍ය ජාලාවන්හි උපහාසාත්මක පෝස්ටු සහ කමෙන්ටු පළවී තිබුණි
අද මුහුණදෙන ව්‍යසනයට ලක් වී සිටින්නේ ඇයි?
හම්බන්තොට ප්‍රදේශයේ වෙසෙන වයස අවුරුදු විස්සත් තිහත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදීමට විරෝධය පළකරමින් වෛද්‍ය විශේෂඥන්ගේ සංගමය පසුගිය දා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළේ ය. ඔවුන් පවසන්නේ වයස අවු. 60ට වැඩි පිරිසට සහ බෝ නොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට එන්නත්කරණයේ දී ප්‍රමුඛත්වය ලබාදෙන්නැ යි තම සංගමය විසින් සිදුකෙරුණු යෝජනාව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ලංකාව දැනට මුහුණ පා ඇති ව්‍යසන තත්ත්වයට ලක් වී සිටින බව යි.
“එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මඟින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර, මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මඟින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීම යි,” එම සංගමය විසින් නිකුත් කෙරුණු ප්‍රකාශයේ දැක්වේ.
එන්නත්කරණය විද්‍යාත්මකව සිදු කිරීම ඉතා වැදගත් බව එම සංගමය අවධාරනය කරයි. එහිදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගය නම්, එන්නත් නොලැබූ නමුත් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක පසුවන අය සඳහා ප්‍රමුඛත්වය ලබාදීමත්, ඉන්පසුව දැනට එන්නත්කර ඇති නමුත් වෙනත් රෝගාබාධ හේතුවෙන් කොවිඩ් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම බවත් ඔවුන් ප්‍රකාශ කරයි.
එසේම, වකුගඩු බද්ධ කිරීම සහ පිළිකා වැනි වෙනත් ආබාධවලින් පෙලෙන රෝගීන්ට ද, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයට ද අවශ්‍ය නිසි ප්‍රතිශක්තිය සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙක මඟින් සම්පූර්ණයෙන් නොලැබෙන බව පෙනී යන බැවින් එම කණ්ඩායම් සඳහා ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, හෝ මොඩර්නා එන්නත් වලින් තුන්වන මාත්‍රාව ලෙස ලබාදීම අත්‍යවශ්‍ය බව එම සංගමය යෝජනාකර සිටියි.
“අපට ලැබී ඇති AstraZeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිත යි. මෙම තත්ත්වය යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මඟින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක,” යනුවෙන් එම සංගමය ප්‍රකාශ කරයි.
ෆයිසර් පාසැල් දරුවන්ට?
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කරන්නේ ෆයිසර් එන්නත පාසැල් යන වයසේ දරුවන්ට ලබාදිය යුතු බව යි.
“දරුවන්ව පාසැල්වලට ගේන්නත්, රට සාමාන්‍ය තත්ත්වයට ගේනකොටත්, අපි වැක්සීන් කරද්දී එන්නත් ප්‍රමාණය නිවැරදි වයස් කැටගරිවලට ලබාදෙන්න ඕනේ. හිටපු ගමන්ම, ඒ තීරණය ගත්ත තැනක් දන්නෙත් නෑ, ඒ තාක්ෂණික තීරණය කාගෙ ද දන්නෙත් නෑ, විවිධ වයස් කාණ්ඩ අඳුරගෙන ෆයිසර් එන්නත විදිනවා. එතකොට සයිනොෆාම් විදින්න පුළුවන් පිරිසකට ෆයිසර් එක විදින්න තියෙන හේතුව තාක්ෂණිකව පැහැදිලි විය යුතු යි,” එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් සොයිසා ප්‍රකාශ කළේ ය.
දරුවන්ට ලබා දීමට නිර්දේශ වී ඇති එකම එන්නත හම්බන්තොටට ලබාදුන්නේයැ යි විරෝධයක් නැගී ඇත
ලෝක සෞඛ්‍ය සංවිධානය අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට ලබාදීමට නිර්දේශකර ඇත්තේ ෆයිසර් එන්නත පමණක් බව එම සංගමය කියයි.
“ලංකාව පුරා දරුවන් 180ක් පමණ ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඒ අතරින් 25ක් පමණ මරණයට පත්වෙලා තියෙනවා. මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් හතරදෙනෙක් පමණ සිටිනවා. දැන් දැන්, දරුවන්ට මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා,” සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය.
ඔක්තෝබර් මාසයේ දී ෆයිසර් එන්නත් මිලියන 4ක් මෙරටට ලැබෙන බව පැවසූ ඔහු, වයස අවු. 12 – 18 අතර පාසැල් දරුවන් එන්නත්කරණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණය එමඟින් පහසුවෙන් ලබාගත හැකි බව ද කියා සිටියේ ය.
“ඉතාමත් සංවේදී කාරණයක් වන දරුවන්ගේ මරණ වලක්වා ගැනීමට මේ මොහොතේ ඇති හොඳම විසඳුම වනුයේ Pfizer එන්නත, වයස අවුරුදු 20-30 කාණ්ඩයට නාස්ති නොකර, වයස අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයට ලබාදීමට කටයුතු කිරීමයැ”යි එම සංගමය ප්‍රකාශ කරයි.
“අපි ගත් තීරණයක් නෙවෙයි” – කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී
හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳව අප ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසූකල ඇය පවසා සිටියේ එය තමාගේ අමාත්‍යංශයෙන් ගත් තීරණයක් නොවන බව යි. ඒ සම්බන්ධයෙන් ලිඛිත උපදෙසක් දී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා බැවින්, ඒ පිළිබඳව ඔහුගෙන් විමසන ලෙස අමාත්‍යවරිය අප වෙත දැනුම් දුන්නා ය.
අප එම ප්‍රශ්නයම සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත යොමු කළ විට ඔහු ප්‍රකාශ කළේ “ඒක සම්පූර්ණයෙන් ලොජිස්ටික් ඉෂූ එකක්” නිසා සිදුකෙරුණු බව යි.
“දැන් මේ වෙනකොට මිලියන 18ක් විතර හම්බවෙලා තියෙනවා සයිනොෆාම් එන්නත. එතකොට තව මිලියන දෙකකට හෝ ඊට කිට්ටු ප්‍රමාණයකට ලැබිලා තියෙනවා ඇස්ට්‍රාසෙනෙකා. නමුත් ෆයිසර් වැක්සීන් එක තාම අපට ලැබිලා තියෙන්නේ, යන්තම් අපි ගහලා තියෙන්නේ ලක්ෂ තුනකට පොඩ්ඩක් වැඩියෙන්. එතකොට ඒවා පොඩි ප්‍රමාණවලින් හම්බවෙන්නේ. එතකොට ඒ ඒ තැන්වල ඉලක්කගත ජනගහණය අඩු ප්‍රදේශවලින් තමයි මේක පටන්ගන්න වෙලා තියෙන්නේ. ඒක යි අපි පළවෙනිම තොගය ආපු වෙලාවේ මන්නාරමට දුන්නේ,” ඔහු පැහැදිලි කළේ ය.
සැප්තැම්බර් 9 වන දා තෙක් ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව
ඡායාරූප මූලාශ්‍රය,HEALTH MINISTRY, SRI LANKA
එපමණක් ද නොව, ෆයිසර් පුත්තලමට ද ලබා දී ඇතැ යි ඔහු සඳහන් කළේ ය.
“අපි කරන්නේ, අපට එන්නත් හම්බවෙන්නේ 200 නම් ටාගට් පොපියුලේෂන් එකක් හඳුනාගෙන සියදෙනෙක් විතර ඉන්න, අපි ඒක ඒ ප්‍රදේශයට දෙනවා. මොකද අපට එන්නත් දෙක දෙක දීලා ඒක කවර් කරන්න පුළුවන්. දැන් අපට මේ ෆයිසර් එන්නත් ලක්ෂයක් ආපුවාම කොළඹ දිස්ත්‍රික්කය වාගෙ එකකට දුන්නොත් මොකද වෙන්නේ? රණ්ඩුකරගන්නවනේ මිනිස්සු ඊළඟට. අපට එන්නත් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ පාලනයෙන් තොර ක්‍රියාවලියන් හරහා. ඉතින් ඒ නිසා යම් යම් ප්‍රදේශවලට එන්නත් වෙන් කරනකොට අපට ප්‍රයෝගිකව, ගැටලුවලින් තොරව මේ එන්නත් ලබාගැනීමට සහ දීමට අවශ්‍ය කරන ගොඩක් සාධක සලකලා බලලා තමයි මේවා මේ විදියට වෙන් කරන්නේ,” ඔහු තව දුරටත් විස්තර කළේ ය.
ෆයිසර් දෙන්න ඕනේ කාට ද?
ෆයිසර් එන්නත හම්බන්තොටට ලබාදීමට එරෙහිව විශාල විරෝධයක් මතුවීමට හේතු කාරණා වූයේ, ෆයිසර් එන්නත සයිනොෆාම් එන්නත මෙන් නොව යම් යම් විශේෂ අවස්ථාවන්හි දී ලබාදීමට නිර්දේශ කරන එන්නතක් වීම සහ එයින් මෙරටට ලැබෙන තොග ද සීමිත වීම යි.
මෑතක දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂඥ වර්තාවක සඳහන් වන පරිදී,
1. සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් වයස අවු. 60ට වැඩි පුද්ගලයින්ට
2. වයස අවුරුදු 12ට වැඩි, ප්‍රතිශක්ති දුර්වලතාවයෙන් පෙලෙන සහ ඕනෑම එන්නතක මාත්‍රා දෙකක් ලබා ඇති පිරිස්වලට
ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, හෝ මොඩර්නා යන එන්නත් වර්ගවලින් තෙවැනි මාත්‍රාවක් ලබාදිය යුතුයැ යි නිර්දේශ වී තිබේ.
එසේම, අවුරුදු 12ත් 18ත් අතර වයසේ සහ ප්‍රතිශක්ති ඌණතා සහිත රෝගී තත්ත්වයන්ගෙන් (නිධන්ගත වකුගඩු රෝග, පිළිකා, දියවැඩියාව, නිධන්ගත පෙනහැලි රෝග, මස්තිෂ්ක අංශභාගය,නිධන්ගත අක්මා රෝග, නිවැරදි නොකළ හෘද රෝග, තැලසීමියා) පෙලෙන, එන්නත් නොකළ ළමුන් සඳහා ෆයිසර් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බවත් එම කමිටුවේ නිර්දේශය වේ.
මෙවැනි රෝගීන් සඳහා ෆයිසර් එන්නත් ඉතිරිකර ගැනීම සිදුකළ යුතු නොවේදැ යි අප විමසූ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ මෙවැන්නකි: “මේකේ දී ප්‍රශ්නේ තියෙන්නේ, එකක් තමයි, ඕක ගබඩා කරලා තියාගන්න ලොකූ වියදමක් යනවා, -70°Cවල යනකොට. අපට මිනිස්සුන්ට මේක දීලා ඉවර කරන්න ඕනේ. මොකද අපේ එන්නත්කරණය ඉවර කරන්නත් ඕනෙනෙ.”
ශ්‍රී ලංකාවට ලැබුණු පළමු ෆයිසර් එන්නත් තොගය ගබඩා කිරීමට යොදා ගන්නා අධිශීතකරණ
විදේශගත වීමේ දී යම් යම් රටවල් යම් යම් එන්නත් ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බැව් ද, ලංකාවේ දී ලබාදෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කෙරුණු එන්නත් ද නිසා මෙම අසාධාරණය පිළිබඳව එම සංවිධානය සමග ද සාකච්ඡාකර තිබේයැ යි ඔහු පවසයි. “ඒ අතරතුර යම් පුද්ගලයෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක (ෆයිසර් එන්නත) දෙන එක කරගෙන යනවා කොහොමත්,” ඔහු සඳහන් කරයි.
“සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්තුමා පැහැදිලි ලිපියක් ලියලා තිබ්බා කොවිඩ් ටාස්ක් ෆෝස් එකේ දී ගත්ත තීරණයක් අනුව තමා හම්බන්තොටට මේක දෙන්න තීරණය කළේ කියලා… එතකොට ඒක (කෝවිඩ් මර්දන කාර්ය සාධන බලකාය) මේ හැමෝම සහභාගී වෙන එකක් මිස දේශපාලන අය සහභාගී වෙන එකක් නෙවෙයිනේ. මේක හොඳට පැහැදිලි කරලා දෙන්න ඕනේ, මොකද සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා එල්ල වෙනවා දේශපාලන බලයකට යටත්වෙලා මේක ක්‍රියාත්මක වෙනවා කියලා,” ඔහු ප්‍රකාශ කළේ ය.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා එසේ පැවසුවා ද, ඊයේ (සැප්තැම්බර් 9) මාධ්‍ය හමුවකට එක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ හම්බන්තොටට ෆයිසර් එන්නත දීමට තීරණය කළේ “රජය විසින්” බව යි.
“කොයි එන්නත ද කොයි ප්‍රදේශයට ද යවන්නේ කියන එක අපේ අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛව තියෙන එම බලකායෙන් තමයි තීරණය කරනු ලබන්නේ. නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ, එම ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගමට අනුව නෙවෙයි අපි ඒ තීරණය ගන්නේ,” ඔහු පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉතාමත් සීඝ්රයෙන් සිදුකෙරෙමින් පවතින්නේ ය. සැප්තැම්බර් 9 වන දා වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක වයස අවු. 30ට වැඩි ජනගහණයෙන් 100%කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැ යි ජනාධිපති කාර්යාලයය ප්‍රකාශ කරයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් ලක්ෂ 3කට කෝවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ තවමත් ලැබී නැති බව යි.
බී.බී.සී සන්දේශය වාර්තාවකි