කැබිනට් තීරණ ගැන කියන ‘විශේෂ මාධ්‍ය හමුව

කැබිනට් තීරණ ගැන කියන ‘විශේෂ මාධ්‍ය හමුව
Spread the love

රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම මාධ්‍ය හමුවට සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ද සහභාගී විය.

ජනගහණයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවනි මාත්‍රාව එන්නත්කරණය කළ රාජ්‍යයක් ලෙස ලෝක සිතියමෙහි රාජ්‍යයන් ඉතාම අතලොස්ස අතරට එක්වීමට අප රටට හැකිවීම භාග්‍යයක් බවද, මෙම රාජ්‍ය පද්ධතිය තුළ කුඩා දූපත් රාජ්‍ය හැරුණු කොට ඉහළින් සිටිනුයේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය, මැලේසියාව වැනි රටවල් බවත් මින් බහුතරය ජී7 (G7) කලාපයට අයත් රටවල් වන අතර එයින් රටවල් 4ක්ම එන්නත් නිපදවන රටවල් බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත්වීමක් සන්නද්ධ හමුදා මේ මොහොතේ සිදුකරන්නේ නැහැ

මේ අතර කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත්වීමක් සන්නද්ධ හමුදා මේ මොහොතේ සිදු කර නැතැයි ද ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණයෙන් පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

රටේ මේ වනවිට පවතින තත්ත්වයක් යටතේ හදිසි නීතියෙහි වගන්ති දෙකක් පමණක් සංශෝධනය කරමින් ආහාර බෙදාදීමට අදාළව හමුදා පාර්ශ්වය සම්බන්ධ කරගෙන ඇති බවද, පුරවැසියන් විසින් මෙය තේරුම්ගත යුතු අතරම එන්නත්කරණ ක්‍රියාවලියේදී හමුදාවේ මැදිහත්වීම ධනාත්මකද, සෘණාත්මකද, ඔවුන්ගේ සේවය බැහැර කළ හැකිද යන්න සිතා බැලිය යුතු බවද, ආහාර බෙදාහැරීම සම්බන්ධයෙන්ද තත්ත්වය එලෙසම බවද අමාත්‍යවරයා කීවේය.

හාල් සහ වී සම්බන්ධයෙන් ගැටලු මතුවූ අවස්ථාවේද හමුදාව සක්‍රීයව සම්බන්ධ වුණු බවද අප රට එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් එම සාමාජිකත්වය ලැබීම ගෞරවයක් ලෙස සළකන රාජ්‍යයක් බවද, එමෙන්ම එහි සමාරම්භක සාමාජිකයන් වන අප රට එයට ගෞරව කරන අතරම ඔවුන්ගේ නිරීක්ෂණ ප්‍රතික්ෂේප නොකර පිළිගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

වසර 2030 දී විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන්

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට යෝජනා කරමින් විදුලිබල ඇමතිවරයා විසින් ඊයේ (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් ප්‍රතිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලය ඉතාම ගෞරවයෙන් මෙම යෝජනාවන් අනුමත කළ බවද, ඒ අනූව වසර 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන්හරණ තත්ත්වයට පත්කිරීම මෙරට සිදුවෙන ඉතාම වැදගත් සංසිද්ධියක් බවද අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා විදේශ කටයුතු ඇමති විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව මෙම අවස්ථාවට එක්ව සිටි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සිය වාචික ප්‍රකාශනයේදී චෝදනාත්මකව අදහස් පළකළ බවට මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමේ දී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරායා මේ බව පැවසුවේය.