‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ

‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ
Spread the love

රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය.

පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය.

රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම කරුණු ද්විත්වයම සපුරාලීමට අපොහොසත්  නිසා ඒවා කාබනික පොහොර නොව රසායනික පොහොර බවත් රසායන විද්‍යාවට අනුකූලව යූරියා ද කාබනික සංයෝගයකක් වුවද රසායනිකව නිශ්පාදනය කරන බව ද පැවසුවාය.

එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් මහාචාර්යවරිය පවසන්නීය.

මෙලෙස ගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් වන බවද ඇය වැඩිදුර පැහැදිලි කරමින් කියා සිටියාය.

කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නොමැති බැව් අනුමාන කළ හැකි වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මහාචාර්යවරයෙකු බව කී මාහාචාර්ය මෙත්තිකා මහත්මිය පැවසුවේ වරායට ළගා වී ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර කාබනික පොහොර යැයි පැවසීම මුසාවක් බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් අද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ මෙවර මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර ඇති බවයි.

එම නිවේදනයේ මෙසේ ද සදහන් විය.

කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බවද ඔහු අවධාරණය කරයි.

ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු මෙ.ටොන් 30,000 ක ධාරිතාවෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වැරදි තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය. මෙනිසා මෙම පෙහොර රසායනික පොහොරක් ලෙස හැදින්වීම වැරදි අවබෝධයක් නිසා සිදු කරන ප්‍රකාශයක් බවය