කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි

Spread the love

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ දී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා පියවර ගෙන තිබිණි.

වෘත්තිය සමිති මෙහි දී රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර  පවතින ගැටලු බලපා ඇති අකාරය ද මෙහි දී පැහැදිලි කෙරිණි.

රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහි දී අදහස් පළ කළහ.

මේ පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේ දී ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය. ජිවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.

කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් පිළිබඳ සොයා බලන බව සඳහන් කළේය.