2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතයි

2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතයි
Spread the love

2022 වර්ෂය සඳහා  විසර්ජන පනත් කෙටුමිපත පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ මුදල්  පිළිබඳ කාරක සභාවේදී  අනුමැතිය හිමිවිණි.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුමිපත 2021.09.29 දින ගැසට් පත්‍රයේ  අතිරේකයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර  එය අයවැය පළමු වර කියවීම ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා  ඉදිරිපත් වූ මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇතුළත්  ඇස්තමේන්තුගත වියදම්  අනුව, සමස්ත වියදම රු.බි. 5134 ක් වන අතර එයින් රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වියදම රු.බි. 1521 ක් වන බව සඳහන්ය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා  පනත් කෙටුම්පත තුළ  වන පුනරාවර්තන  වියදම් කාරක සභික මන්ත්‍රීවරුන් වෙත පැහැදිලි කළ අතර එහි ප්‍රධාන වශයෙන්  රාජ්‍ය සේවක වැටුප්  ගෙවීම පිණිස වූ රු.බි.980.2 ක් අන්තර්ගත වන බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම, රාජ්‍ය ණය පොලී ගෙවීම පිණිස  රු. බි.1001 ක් ද විශ්‍රාම වැටුප්   හා ආබාධිත රණවිරු සුබසාධන ගෙවීම් සඳහා වන  රු. බි.310 ක් ‍වෛද්‍ය සැපයුම් සඳහා  රු.බි68 ක්  මෙන්ම සහනාධාර වන සමෘද්ධිය  සඳහා  රු. බි.50 ක් , පොහොර සඳහා රු.බි.35 ක් සහ වෙනත් සහනාධාර සඳහා රු.බි.69 ක් ලෙස ප්‍රතිපාදන වෙන් කර ඇති බවද  හෙතෙම තවදුරටත් කාරක සභාව ඉදිරියේ  පැහැදිලි කළේය.

වරක් මෙරට අමාත්‍යවරයකු සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාව දරුවාගේ ගැබෙහි සිට  සුසානය දක්වා සහනාධාර සලසන රාජ්‍යයක් බව පෙන්වා දුන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙවරද කිසිදු වෙනසකින් තොරව අධ්‍යාපනය, සෞඛ්‍යය සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමෙහි ඉලක්කගත රජයේ ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙන බව අවධාරණය කළේය. සමහරුන් මතුකරන ආකාරයට, පුනරාවර්තන වියදම් තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ මුදල් අමාත්‍යාංශයේ වැය බර පුළුල්ව  පෙනෙන්නේ, ආරක්ෂක අමාත්‍යාංශයේ වැටුප් ගෙවීම් නිසා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ  වැය බරෙහි ණය මුදල් ගෙවීම් ඇතුළත් නිසා බවද  හෙතෙම විශේෂයෙන් කාරක සභාවේ  අවධානයට ලක් කළේය.

මෙහිදී සිය අදහස් දක්වමින් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ, මෙම පනත් කෙටුම්පත කාරක සභාවේදී අනුමත කර දිය හැකි නමුත් පවත්නා කොවිඩ් තත්ත්වය හමුවෙහි ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම් රටවල්  මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය සුළුපටු නොවන බවයි.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා භාණ්ඩාගාර ලේකම්වරයා ට සඳහන් කර සිටියේ,  රාජ්‍ය අමාත්‍යංශ විසින්  සිදු කරන ව්‍යාපෘති සඳහා  මුදල් සීමා කිරීම මඟින්  පෞද්ගලික ආයෝජකයන්  සමඟ   කටයුතු කිරීම සඳහා  පහසු වටපිටාවක් නිර්මාණය කිරීමට මුදල් අමාත්‍යාංශය ද මැදිහත් වීමක් සිදු කළ යුතු බවය. එය කාරක සභාවේ පක්ෂ – විපක්ෂ සියලු මන්ත්‍රීවරයන්ගේ ඇගයීමට ලක් වූ අතර සෑම  සුළු හෝ ඉතිරි කිරීමක්ම මෙවැනි අවස්ථාවක  වැදගත් බව අවධාරණය කෙරිණි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී පෙන්වා දුන්නේ, මෑතකදී  රජය විසින් කිරිපිටි, සීනි,සහල් ආදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වලට පැනවූ පාලන මිල ඉවත් කිරීම ඉතා ඉදිරිගාමී පියවරක් බවයි.

නව ලිබරල්වාදී අර්ථ රටාවක් තුළදී රජයක්  එසේ කටයුතු කිරීමේ වරදක් තමා නොදකින බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා රජය නුදුරේදීම  ස්ථාවර ආර්ථිකයක් සඳහා  නිසි පියවර ගැනීමට 2022 අයවැය හේතු වනු ඇති බව   පෙන්වා දුන්නේය .

පසුගියදා (21) කලකට පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවති රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය රංජිත් බණ්ඩාර ,ඉසුරු දොඩංගොඩ , අනුප පැස්කුවල් ආදීහු සම්බන්ධ වූහ.

මෙම පනත් කෙටුම්පත  සඳහා  ‍රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙහි අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල සහ ආචාර්ය කපිල සේනානායක ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක්ද සහභාගීව සිටියහ .