චීන කාබනික පොහොර සමාගමෙන් තර්ජනයක්

චීන කාබනික පොහොර සමාගමෙන් තර්ජනයක්
Spread the love

චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අදපෙ (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

එම පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් තමන් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් කර එම තොගය ආනයනයට පියවරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම කාබනික පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැණුම්කරු කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු තමන්ට පවතින බවද එම සමාගම පවසයි.

එසේම පොහොර තොගයේ බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත් පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එම නිවේදනයේ දැක්වේ.

මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම්, එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බව ද ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම සිය නිවේදනයේ දක්වා ඇත.

එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධ අවදානමක් ගෙන දිය හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ලංකාදීප ඊ පුවත්පත ඇසුරිනි – ශිර්ෂ පාඨය සංශෝධනය කර ඇත.