චයිනා ටෙලිකොම්‘ ඇමෙරිකාවෙන් පන්නා දමයි

චයිනා ටෙලිකොම්‘ ඇමෙරිකාවෙන් පන්නා දමයි
Spread the love

ජෙසිකා රොසෙන්වෝසල්ගේ ප්‍රධාන ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව චීන ටෙලිසන්නිවේදන සමාගම් කීපයකටම එරෙහිව පියවර ගෙන ඇත

ඇමරිකා එක්සත් ජනපද රජය “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් කරුණු දක්වමින්, චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක එක්සත් ජනපද බලපත්‍රය අහෝසිකර ඇත. ‘චයිනා ටෙලිකොම්’ නම් එම සමාගම එක්සත් ජනපදය තුළ සේවා සැපයීම දින 60ක් තුළ නවතා දැමිය යුතුයැ යි නියෝගකර තිබේ.

බලධාරීන් පවසන්නේ, එම සමාගමේ පාලනය චීන රජයසතු වීම නිසා “එක්සත් ජනපද සන්නිවේදන කටයුතුවලට ප්‍රවේශ වීමට, දත්ත ගබඩාකර ගැනීමට, බාධා එල්ල කිරීමට, සහ/හෝ වැරදි මඟට යොමු කිරීමට” එම සමාගමට අවස්ථාව ලැබෙනබව යි.

එමඟින් ඔවුනට “එක්සත් ජනපදයට විරුද්ධව ඔත්තු බැලීමට සහ වෙනත් හානිකර ක්‍රියාකාරකම්හි යෙදීමට” ඉඩකඩ ලැබේයැ යි ඔවුහු පවසති.

වසර 20ක කාලයක් පුරාවට එක්සත් ජනපදය තුළ සේවා සපයා ඇති චයිනා ටෙලිකොම් සමාගම පවසන්නේ මෙය “කළකිරවන සුළු” තීරණයක්බව යි.

“අපි අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව සේවය කරනා අතරම, හැකි සෑම විකල්පයක්ම හඹා යෑමට සැලසුම් කරමු,” යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

‘චයිනා ටෙලිකොම්’ යනු චීනයේ සන්නිවේදන සේවා සැපයුම් කරුවන් අතර ආධිපත්‍යය දරන සමාගම් ත්‍රිත්වයෙන් එකකි. මෙම සමාගම බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතාවන්ගේ සිට ජංගම සහ ස්ථාවර දුරකථන සේවා දක්වා සේවාවන් සපයන අතර, රටවල් 110ක මිලියන සිය ගණනක් දෙනා ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙයි.

මෙම තීරණය නිවේදනය කෙරුනේ, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් චීනයේ උප අගමැති ලියු හේ සමග ගෝලීය ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව සිදුකළ සාකච්ඡාවකින් පැය කීපයකට පසුව ය.

මෙම හමුව සැලකුනේ මෑතක දී වෙළඳාම් කටයුතුත්, තායිවානය සම්බන්ධවත් එකිනෙකාට එරෙහි ඇනුම්පද සහ වාග් ප්‍රහාරයන් එල්ලකර ගනිමින් සිටි සුපිරි බලවතුන් දෙදෙනා අතර සබඳතාවය යහපත් අතට හැරීමේ සලකුණක් ලෙස යි.

2020 වසරේ අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව චයිනා ටෙලිකොම් ඇමරිකාස් සමාගම වසා දමනබවට අනතුරු ඇඟවූයේ, එම සමාගම “චීන රජයේ උපයෝජනයට, බලපෑම්වලට, සහ පාලනයට යටත්” බව පවසමිනි.

එම සමාගම “ස්වාධීන අධිකරණ අධීක්‍ෂණයකින් තොරව චීන රජයේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා බලහත්කාරයෙන් යොමු කිරීමට විශාල ඉඩකඩක් ඇතිබව” කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

ජාතික ආරක්ෂාව හේතු ලෙස දක්වමින් එක්සත් ජනපද නිලධාරීන් විසින් ඉලක්ක කෙරුනු නවතම චීන ටෙලිසන්නිවේදන සමාගම එය යි.

පසුගිය වසරේ කොමිෂන් සභාව විසින් Huawei සහ ZTE යන චීන ටෙලිසන්නිවේදන සමාගම් එක්සත් ජනපදයේ සන්නිවේදන ජාලයන්ට තර්ජනයක් ලෙස නම් කෙරිනි. මෙනිසා එක්සත් ජනපද සමාගම්වලට එම සමාගම්වලින් උපකරණ මිල දී ගැනීම දුෂ්කර විය.

2019 දී මෙම කොමිෂන් සභාව විසින් චයිනා මොබයිල් සමාගමේ එක්සත් ජනපද බලපත්‍රය අත්හිටවුණා සේම, චීන රජයේ සහාය ලබන චයිනා යුනිකොම් ඇමරිකාස් සහ පැසිෆික් නෙට්වර්ක්ස් නම් සමාගම් දෙකක බලපත්‍ර අත්හිටුවීමට ද කොමිසම කටයුතු කරමින් සිටියි.

මේ සෑම අවස්ථාවකදීම එක්සත් ජනපද නිලධාරීන් විසින් ඉස්මතු කෙරුනේ එම සමාගම් හරහා ඇමරිකාවේ ඔත්තු බැලීමට හෝ ජාතික යහපතට හානි කිරීමට චීන රජයට හැකියාව ඇතිබව යි.

bbc