‘මේදා පාර අපි වගා කරන්නේ අපිට කන්න‘ – කාබනික ගොවීන්

‘මේදා පාර අපි වගා කරන්නේ අපිට කන්න‘ – කාබනික ගොවීන්
Spread the love

දඹුල්ල ගොවිතජන සේවා බල ප්‍රදේශයයට අයත් පහලවැව වැවේ  මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම් අද (06) දින  උදෑසන ගොවි  සංවිධාන නියෝජිතයන් විසින් සිදු කරනු ලැබූහ.

රජය මගින් ලබාදී ඇති කාබනික පොහොර යොදා ගෙන මෙම වැව යටතේ පවතින සෑම කුඹුරුක් ම වගා කිරීම් සඳහා පහලවැව පාදෙණිය ගොවි සංවිධානය තීරණය කළ බව එහි සභාපති එම්.ජී. කරුණාදාස මහතා පැවසීය.

ගොවීන් පිරිසක් වැව් බැම්ම අසල පහන් දල්වා ආගමික වතාවත් ඉෂ්ඨ සිද්ධ කිරීමෙන් පසුව මහ කන්නය සඳහා මංගල දියවර නිකුත් කිරීම් සිදුකරනු ලැබූ අතර මේ වනවිටත් එම පහලවැව වෙල්යාය අහස් දියෙන් පළමු  හීය  සීසෑම  සිදුකර ඇති බවද ගොවීහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පහලවැව ගොවි සංවිධානයේ වෙල් මුලාදෑනි තැන වන වි. ජි. දයාරත්න මහතා මෙසේ පැවසුවේය. ‘‘රජය ලබාදුන්  කාබනික පොහොර 50%ක් මේ වන විට ගොවි සංවිධානය සතුව තිබෙනවා. අපි මේ වන විටත් අහස් දියෙන් පළමුව කුඹුරු මුලික  වැඩ ආරම්භ කරලා තිබෙනවා. අද සිට වැව් දියවරින් ඉදිරි වැඩ ඉතා පරිස්සමෙන් සිදුකර ගනිමින් ලබන කන්නයට ද වැව් ජලය ආරක්ෂා කරගනිමින් කළමනාකරණය කරමින් වැඩ කිරීමට අපි කටයුතු කරනවා.

‘‘රසායනික පොහොර නොමැති බව ප්‍රකාශ කරමින් ගොවීන් වන අපිට නිවසට වී සිටීමට නොහැකියි. වෙළඳසැල්වලින් සහල් මිලදී ගෙන කන්න අපි සූදානම් නැහැ. ඒ නිසා ගොවි සංවිධානයක් ලෙස අපි අපේ ආහාර ටික හෝ නිෂ්පාදනය කර ගැනීමට පියවර ගන්නවා‘‘

එම ගොවි සංවිධානයේ සභාපති එම්.ජී. කරුණාදාස මහතා කියා සිටියේ කාබනික පොහොර වලින් වගා කිරීම් සඳහා උත්සාහ කර  බැලිය යුතු බව ය.

‘කිසිම උත්සාහයක් නොකොට රසායනික පොහොර ඉල්ලා කෑ ගසලා කුඹුරු වැඩ වලින් ඉවත්වීම නොකළ යුතු දෙයක් කියලයි අපි හිතන්නේ. ඒ නිසා කාබනික වගාව ගැන අත්දැකීම් ලබා ගන්නත් එක්ක අපි වගා කටයුතු ආරම්භ කරනවා‘ යැයි කරුණාදාස මහතා පැවසුවේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල