රසායනික පොහොර යථාර්ථය

රසායනික පොහොර යථාර්ථය
Spread the love

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව, බංගලාදේශය හා ඉන්දියාව වුවත් අපට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඇත. මීට ප්‍රධාන හේතුව නම් ලංකාවට ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂ හා බද්ධ වූ ප්‍රතිපත්ති මාලාවක් තිබීමය. පෙර සඳහන් කළ සියලු රටවල් වර්තමාන දියුණුව අත්පත් කරගත්තේ තමන්ගේම වූ ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියා කිරීමෙනි.

ආණ්ඩුකරණයේ දේශපාලන පක්ෂය වෙනස් වූවද ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස් වූයේ නැත. එහෙත් අපේ රටේ තත්ත්වය වෙනස්ය. සෑම වසර පහකටම වරක් ජාතික යැයි කියන ප්‍රතිපත්ති වෙනස් වේ. එවිට ලියුම් කවරයේ සිට ලිපි ශීර්ෂ දක්වා සියල්ල වෙනස් වේ. එසේ වෙද්දී රටකට පැවැත්මක් සෙවීම කොහොමටත් දුෂ්කරය. රටක් සැබෑ දියුණුවක් ලබාගැනීමට නම් නිසැකයෙන්ම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මයට, කර්මාන්තවලට යනාදී වශයෙන් ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. විද්‍යාත්මක පදනමකින් ගොඩනැගිය යුතු මෙම ජාතික ප්‍රතිපත්ති වෙනස් කිරීමට දේශපාලන පක්ෂ කටයුතු නොකළ යුතුය. මන්දයත් ඒවා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් කාලානුරූපව රටේ දියුණුව සඳහා සකසා ඇති බැවිනි. එහෙත් අවාසනාවට අපේ රටේදී ජාතික යැයි කියන ප්‍රතිපත්ති ආණ්ඩු අනුව පමණක් නොව ඒ ඒ ආණ්ඩුවල ඇමැති මාරුවේදී පවා යළි වෙනස්වේ.

Loading...

යම්කිසි දේශපාලන පක්ෂයක් බලයට පත්වන්නේම රටේ තත්ත්වය දැනගෙනය. රටේ ආදායම වියදම ණය බර ආදිය ගැන ඔවුහු හොඳින් දනිති. ඒ නිසා රටක් පාලනය කිරීමට පත්වන ආණ්ඩුවකට ඒ රට පරීක්ෂණාගාරයක් හැටියට භාවිත කළ නොහැකිය. එහෙත් අවාසනාවට ලංකාවේදී බලයට පත්වන බොහෝ පිරිස් ආණ්ඩුකරණයේ බොහෝ දේ අත්හදාබැලීමට භාවිත කරන්නේ රට හා ජනතාවයි.
මේ ආණ්ඩුව එසේ අත්හදාබැලීමට භාවිත කළේ රටේ ජීවනාලිය බඳු කෘෂිකර්මාන්තයයි.

මෙය ඉතා භයානක ක්‍රීඩාවකි. කෘෂිකර්මාන්තය යනු ලංකාවට අදාළව ගත්කල අතිශය සංවේදී විෂයකි. ඒ ගැන තීන්දුවක් ගන්නේ නම් එය කළයුත්තේ සංයුක්තව සිතා බලා දූරදර්ශී ලෙසිනි. නොඑසේව හීනෙන් අවදි වූවන් ලෙසින් කෘෂිකර්මාන්තයට අදාළව තීන්දු ගත නොහැකිය.

ලංකාවේ කෘෂිකර්මාන්තය යනු වසර හැත්තෑවක් පමණ දිගු කාලයක් තිස්සේ කෘත්‍රිම පොහොර මත යැපෙන කෘෂිකර්මාන්තයකි. ඊට හේතු සාධක ද ඇත. මේ මුළුලොවම රසායනික පොහොරවල නැඹුරු වූයේ හරිත විප්ලවය හෙවත් කෘෂිකාර්මික විප්ලවයත් සමගය.

ඊට හේතුවූයේ ලොව ජනගහනය ඉතා වේගයෙන් වැඩිවෙද්දී ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වීමය. මෙය ලංකාවට ද අදාළය. මුළුමනින් කාබනික කෘෂිකර්මාන්තයකට යන්නට හැකි නම් මුළු ලොවම ඊට කැමැති වනු ඇත. එසේ නම් අප විමසිය යුත්තේ එවැන්නකට යථාර්ථයේදී ඉඩක් තිබේද කියාය.

කාබනික පොහොර භාවිතයේදී එක්වරම පසට අයන පෝෂණය නිදහස් කරන්නේ නැත. කාබනික පොහොරෙන් ඒවා නිදහස් කරන්නේ ඉතාම මන්දගාමීවය.

ගසකට කාබනික පොහොර යෙදූ විට ඒවා පාංශු ජලය ඔස්සේ උරාගන්නා අතර ඊට මාස තුනක් වැනි සැලකිය යුතු කාලයක් ගතවේ. එය කිසිසේත් කෙටිකාලීන බෝගවලට ගැළපෙන්නේ නැත.

එසේ වුවහොත් අප වෙනස ආරම්භ කළයුත්තේ බීජවල සිටමය. මගේ විද්‍යාත්මක දැනීම හා අත්දැකීම අනුව නම් එසේ නොවුවහොත් සිදුවන්නේ සමස්ත කෘෂිකාර්මික පද්ධතියම බිඳවැටීමයි. අද වනවිට එම ඛේදනීය තත්ත්වයට රට ඇද දමා තිබේ. ඊට හේතුව නම් කෘෂිකර්මයෙහි භාවිත පොහොර ගැන ඉදිරිපත් කළ කුප්‍රකට තර්කයි.

මේ අමුතු තර්ක ඉදිරිපත් කළ පිරිස කියන ආකාරයට පොහොරවලින් පසට බැර ලෝහ විශාල ප්‍රමාණයක් පැමිණ තිබේ. එනිසා පොහොර හා ඒවායේ සංයුතිය ගැන යම් දළ අදහසක් ඇතිකරගැනීම සාමාන්‍ය ජනයාට ද වටී. කෘත්‍රිම පොහොර හැටියට අප ප්‍රධාන වශයෙන්ම යොදන්නේ එන්.පී.කේ. ය. නයිට්‍රජන් සඳහා යූරියාත් පොස්පරස් සඳහා පොස්පරස් පොහොරත් පොටෑසියම් සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් හෝ ඊට අන්තර්ගත කළ වෙන යම් ලවණයකි.

යූරියා යනු කෘත්‍රිමව පර් යේෂණාගාරයේ නිපදවන්නකි. මෙසේ කෘත්‍රිමව නිෂ්පාදනය කරන පොහොරේ කිසිදු අවස්ථාවක බැර ලෝහ අඩංගු වන්නේ නැත. බැර ලෝහ අඩංගුවීමට නම් එය ස්වාභාවික පරිසරයෙන් ගත් එකක් විය යුතුය. බැර ලෝහ යනු ස්වාභාවික පසේ තිබෙන දෙයකි. එසේ ස්වාභාවික ලෙස බැර ලෝහ නිෂ්පාදනය වන්නේ කෙසේද? පස නිර්මාණය වන්නේ පාෂාණවලිනි. නැතහොත් පාෂාණ ජීර්ණයවීමෙනි. පාෂාණ ජීර්ණය වෙද්දී නොයෙකුත් බැර ලෝහ සහ අකාබනික මූලද්‍රව්‍ය විවිධ සාන්ද්‍රණවලින් පවතී.

පාෂාණය ජීර්ණයවීමත් සමග ඒ සංයුතීන් ද ස්වාභාවිකවම පසට ලැබේ. එය ස්වාභාවික ක්‍රියාවලියකි. ජපානය වැනි රටවල පස්වල බැර ලෝහ සාන්ද්‍රණය වැඩිය. මේ බැර ලෝහ පැමිණෙන්නේ නිතර ඇතිවන භූමිකම්පා හා ගිනි කඳු මගින් එන කැඩ්මාවලිනි. එසේ බලද්දී ජපානයේ පසෙහි බැර ලෝහ අන්තර්ගතය ලංකාවේ පසට වඩා කීප ගුණයකින් වැඩිය. එසේය කියා ජපන් වැසියන්ට අපට මෙන් වකුගඩු රෝග තිබේද? නැත. එසේනම් මේ කුප්‍රකට තර්කවලින් මෙතෙක් කර ඇත්තේ මහජනයා මුළා කිරීමය. මේ අයුරින්ම පොහොර සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් ගන්නේ නිධිවලිනි. එය ලවණයකි. ලවණවල බැර ලෝහ අඩුය. බැර ලෝහ පැමිණිය හැකි යැයි සිතිය හැකි පොහොරක් වන්නේ පොස්පේට් පොහොරය. ලංකාවේ එප්පාවල පොස්පේට් නිධියේ බැර ලෝහ කිසියම් ප්‍රමාණයක් ඇත. එහෙත් එසේ බැර ලෝහ තිබුණේ යැයි කියා ද එම අන්තර්ගතයන්ගෙන් නිෂ්පාදනය කෙරෙන පොහොරෙන් පසට බලපෑමක් වන්නේ නැත.

මිනිස් සිරුරක් රෝගී වීමට කොපමණ බැර ලෝහ ප්‍රමාණයක් ඇතුළත් විය යුතුදැයි මේ වනවිට විද්‍යාඥයෝ ගණනය කර ඇත්තාහ. නිදසුනකට එකවරම ආසනික් විශාල ප්‍රමාණයක් මිනිස් සිරුරට ඇතුළු කළහොත් පුද්ගලයා මිය යයි. ඉතාම සුළු සාන්ද්‍රණයකින් වසර ගණනක් තිස්සේ භාවිත කිරීමෙන් ද මිනිසකු මරණයට පත්විය හැකිය.

නිදසුනකට බංගලාදේශයේ පසේ ආසනික් සාන්ද්‍රණය ඉතා අධිකය. ඉන්දියාවේ, පාකිස්ථානයේ, තායිලන්තයේ, වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ ඇතුළු වී වගා කරන රටවල් රැසක්ම මෙසේ පසේ ආසනික් සාන්ද්‍රණය වැඩි ස්ථානවලට නිදසුන් ලෙස දැක්විය හැකිය.

ඊට බලපා ඇති භූවිද්‍යාත්මක හේතු ගණනාවක් ද ඇත. එවිට එම පස්වල වගා කරන වී වල නිරන්තරයෙන්ම ආසනික් සාන්ද්‍රණය අධිකය. මෙසේ ආසනික් සාන්ද්‍රණය වැඩි නිසා බංගලාදේශයේ මිනිසුන් ලක්ෂ ගණනකට පිළිකා හටගෙන ඇත. එහෙත් පිළිකා යැයි කී විට ද අප තේරුම් ගත යුතු කරුණක් තිබේ. එනම් පියයුරු පිළිකා, මොළේ පිළිකා, පෙණහලු පිළිකා, බඩවැල් පිළිකා ආදී වශයෙන් පිළිකා වර්ග ද ගණනක් ඇත.

ආසනික් වැඩිවීමෙන් හටගන්නේ ආසාපෝසික් නමැති සමේ පිළිකාය. මෙම පිළිකාව ලංකාවේ කිසිම තැනක දකින්නට ලැබී නැත. එහෙත් බංගලාදේශයේ ලක්ෂ ගණනක් මිනිසුන්ට මෙම පිළිකාව හටගෙන ඇත. ඊට හේතුව ආසනික් සහිත ජලය පානය හා ආසනික් සහිත සහල් පරිභෝජනයයි.

ලංකාවේ අපි කෘත්‍රිමව නිර්මාණය කරගත් ප්‍රශ්නය නිසා නම් දැන් මුහුණදීමට සිදුවන්නේ උත්ප්‍රාසජනක ඉරණමකටය. කාබනික වගාවට යනවා යැයි කියා අනුගමනය කළ පියවරවලින් සිදුවූයේ අස්වැන්න අඩුවීමය. දේශීය පරිභෝජනයටත් සහල් අඩු වූ විට යළිත් කරන්නේ විදේශවලින් සහල් ආනයනය කිරීමයි. එසේ ආනයනය කරන සහල් වගා කළේ කාබනික පොහොරවලින්ද? ඒ ආනයනික සහල් වගා කර ඇත්තේ ආසනික් සාන්ද්‍රණය අධික පසකදැයි අප දන්නවාද? මේ ආදී වශයෙන් ගත්විට අප විසින් කරනු ලැබ ඇත්තේ බලෙන් ප්‍රශ්න රැසක් නිර්මාණය කරගැනීමය.

කුප්‍රකට උගතුන් කී පරිදි පොහොරෙන් බැර ලෝහ පැමිණියේ නම් අවුරුදු හැත්තෑවක් තිස්සේ දේශීය ගොවිතැනට යෙදූ පොහොරවලින් කොපමණ විශාල බැර ලෝහ ප්‍රමාණයක් ලක් පොළවේ තිබිය යුතුද? වෙනත් රටවල පස්වලත් කොපමණ විශාල ප්‍රමාණයක් බැර ලෝහ තිබිය යුතුද? පොහොරවලින් මේ කියන පරිදි බැර ලෝහ පාංශුගත වන බවට ඔප්පු කිරීමට ලොව කිසිම තැනක කළ විද්‍යාත්මක පරීක්ෂණයක් නැත. මේවා අමූලික බොරුය.

මෙහි වේදනාව බොහෝදුරට අත්විඳින්නට අපට සිදුවන්නේ ලබන වසරේදීය. දැනටමත් වගාවේ නිරත ගොවීහු සිටින්නේ අතිදුෂ්කර අඩියකය. මේ ඇතැම් ගොවීහු වකුගඩු රෝගවලින් පෙළෙන්නෝය. ඔවුන්ට පානය කිරීමට පිරිසුදු ජලයවත් නැත. පීඩිතයෝය. එහෙත් දියුණු රටවල නම් ගොවීහු වනාහි සුඛෝපභෝගී රථ වාහනවලින් යනෙන දියුණු ආර්ථික ජීවිත හිමි පිරිසකි.

ඊට හේතුව නම් ඒ රටවල ප්‍රතිපත්ති සකසන්නන් විසින් සිය ගොවියා ව්‍යවසායකයකු දක්වා වර්ධනය කරනු ලැබීමය. අවාසනාවට දේශීය ගොවියා මේ අසරණ අඩියට තල්ලු කරනු ලැබ තිබෙන්නේ ද දේශපාලකයන් විසින්මය. එක කන්නයක් වගා නොකළහොත් ඊළඟ කන්නයේදී ජීවත්වෙන්නටවත් ලංකාවේ ගොවියාට නොහැකිය. දැන් බෙල්ලෙන් අල්ලන්නට හදන්නේ ඒ ගොවියාගේය.

රසායනික පොහොර නිසා බැර ලෝහ එන්නේ යැයි මොහොතකට සිතමු. එවිට ඔවුන් ඊට විකල්පය ලෙස යෝජනා කරන්නේ කාබනික පොහොරයි.

කාබනික පොහොර යනු මොනවාද? දියර පොහොර, කොම්පෝස්ට්, වසුරු කාබනික පොහොර වර්ග කීපයකි. මේවායේ වස විස නැද්ද? මගේ එක් පර් යේෂණ ක්ෂේත්‍රයක් නම් කසළ කඳුවලින් සිදුවන පරිසර දූෂණයයි. මගේ පර් යේෂණවලදී දුටු දෙයක් නම් මේ කසළ කඳුවලින් ගලා යන ජලයේ බැර ලෝහ අනන්තවත් ඇති බවය.

ලංකාවේ කසළ කඳු 260කට අධික සංඛ්‍යාවක් ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පවත්වාගෙන යන්නේ ඉන් දෙකක් පමණි. කොම්පෝස්ට් සැකසීමට මේ කසළ කඳුද භාවිත කරයි. කොම්පෝස්ට් සම්බන්ධයෙන් මා කළ පර් යේෂණවේදී දැකගැනීමට හැකිවුණේ ඒවායේ මයික්‍රොප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් අන්තර්ගත බවයි. මයික්‍රොප්ලාස්ටික්වලටත් අමතරව මේ කොම්පෝස්ට්වල බැර ලෝහ ඉතා අධික සාන්ද්‍රණවලින් පවතී. කසළ කඳුවලින් සැකසූ මේ කොම්පෝස්ට්වලින් ඇත්තටම කෙරෙන්නේ කුණු ගොඩේ පවතින බැරලෝහ ගොවිබිමට මුහු කිරීමය.

ලංකාවේ කසළවලින් සකසන කොම්පෝස්ට්වල බැර ලෝහ තිබේ නම් චීනයෙන් ගෙනෙන කොම්පෝස්ට්වල ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. තවද මයික්‍රොප්ලාස්ටික් හා බැඳුණු ටැලේට් වැනි විෂ කාබනික සංයෝග ද මේ හරහා ගොවිබිමට පැමිණේ. (පොලිතින් හා ප්ලාස්ටික්වල නම්‍යශීලීත්වය වර්ධනය කරනු ලබන්නේ ටැලේට් විසිනි.) මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නැත. ඌරු හා කුකුල් කොටුවලින් ගන්නා වසුරු පොහොරවල කතාව ද මීට වෙනස් නැත. මේ සත්ව ගොවිපොළවලදී හෝමෝන හා ප්‍රතිජීවක යනු නිතර භාවිතයට ගන්නා දේය.

මේ සතුන්ගේ වසුරුවල අදාළ හෝමෝන හා ප්‍රතිජීවක අධිසාන්ද්‍රණවලින් තිබේ. පරීක්ෂණ මගින් අප ඒ බව සොයාගෙන ද ඇත. මේ වසුරු පොහොර කුඹුරට එකතු කළ විට පෙර කී හෝමෝන හා ප්‍රතිජීවක ජලය මගින් වී පැළයට උරාගන්නා අතර ඒවායේ අවසාන නැවතුම මිනිස් සිරුරයි. මෙසේ ආහාරයෙන් ප්‍රතිජීවක සිරුරට පැමිණීමේ අවුල නම් රෝගයක් වැළඳුණු අවස්ථාවක ඖෂධයක් හැටියට අප ගන්නා ප්‍රතිජීවකවලින් අපට ඵලක් නොවීමයි. කාබනික කෘෂිකර්මයක් ගැන කතා කරන්නෝ මේවා ගැන සොයා තිබේද?

මට හිතෙන හැටියට නම් රට මේ තැනට වැටීමට අප සියලුදෙනාම වගකිව යුතුය. නිදසුනකට අතීතයේදී අමාත්‍යාංශ ලේකම්වරයකු යනු පරිපාලනය පිළිබඳ කප්පිත්තෙකි. ඒ කප්පිත්තා තීන්දු ගැනීමට අදාළ ප්‍රතිපත්ති සැකසුම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා දැනුවත් කරයි. එහෙත් දැන් තත්ත්වය තිබෙන්නේ කනපිට පෙරළිලාය. තනතුරුවලට පැමිණෙන්නෝ එක්කෝ ඇමැතිගේ හෙංචයියෙකි. නැත්නම් පක්ෂයේ හෙංචයියෙකි. මෙයින් සිදුවන්නේ එම තනතුරේ වගකීම ඉටු නොවීමය. මේ නිසා අද වනවිට ලංකාවේ ජනප්‍රිය කර ඇති වැරැදි මත ප්‍රචාර රැවටීම් රැසකි. ඒවාට කිසිදු විද්‍යාත්මකභාවයක් නැති අතර ඇත්තේ හුදු දේශපාලනයම පමණි.

රජරට ජලයේ ආසනික් ඇතැයි නාථ දෙවියන් කළ අනාවරණය ඊට එක් කුප්‍රකට උදාහරණයකි. පර් යේෂණ කිරීමට ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී. නාථ දෙවියන් හෝ කතරගම දෙවියන් කීවා යැයි කෙරෙන පර් යේෂණ ගැන අපි නම් දන්නේ නැත. සාමාන්‍ය ජනයා මෙවැනි විප්‍රකාරවලින් රැවටීම පසුපස ඇත්තේ ද දේශපාලනයයි. ඒ දේශපාලනයේ ඇත්තේ කොමිස්, තනතුරු, වරදාන, වරප්‍රසාද මිස ජනතා සේවයක් නම් නොවේ. ඉතින් මා සිතන්නේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යනු සාමාන්‍ය ජනයාට මේ දුර්මත ගැන ඇත්ත කීමට ප්‍රාමාණිකයන් පෙරට පැමිණිය යුතු අවස්ථාවක් බවය.

සමාජයට දේශපාලනයට විද්‍යාවට අදාළ විෂය රැසකි. ඒවායේ ප්‍රාමාණිකයෝ වනාහි ඒ ඒ විෂයෙහි දැනුම ප්‍රතිනිෂ්පාදනය කරමින් අත්දැකීම් ලැබුවෝය. එවිට තමන්ට අදාළ නොවන විෂය ගැන තීරණාත්මක මැදිහත්වීම් කිරීම රටකට අදාළව ගත්විට ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වුව පාර කැපිය හැකිය.

අප වෛද්‍යවරුන්ගේ කාරිය කරන්නට ගියහොත් සිදුවන්නේ මහා විනාශයකි. මේ තර්කය කෘෂිකර්මයටත් පොදුය. මේ රටේ කෘෂි විද්‍යාඥයන්, ස්වාභාවික සම්පත් පිළිබඳ විද්‍යාඥයන්, පාංශු විද්‍යාඥයන්, පරිසරය පිළිබඳ විද්‍යාඥයන් සිටින්නේ ඒ පිළිබඳ කතා කිරීමටය. පොහොරෙන් බැර ලෝහ එන බවට තර්ක කරමින් කාබනික කෘෂිකර්මයට යන්නට වැරැදි තර්ක හැදුවෝ අයත්වන්නේ ද මේ විෂය පටලවාගත් ගොඩටය. මේ තර්කයෙන් සිදුවූයේ සාමාන්‍ය ජනයා මුළා කිරීම පමණි. ඒ අර්ථයෙන් බලද්දී මෙතෙක් අපෙන් ඉටු නොවූ වගකීම ඉටු කිරීමට අපට එළඹී ඇත්තේ ද ස්වර්ණමය අවස්ථාවකි. නාථ දෙවියන්ගෙන් ආසනික් මතුවීමත් පොහොරවලින් බැර ලෝහ මතුවීමත් යන නාටකීය දේශපාලනයේ ඇත්තේ එකම පදනමකි. එහි නිරුවත් ඇත්ත ජනයා හමුවේ හෙළිදරව් කිරීම සෑම විෂය ප්‍රාමාණිකයකුගේම වගකීමකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

සංවාද සටහන බිඟුන් මේනක ගමගේ – ලංකාදීප පුවත්පත ඇසුරිනි

Loading...

Post Comment