ශ්‍රී ලංකාව ගැන කළ ප්‍රකාශයට චීනය ඇමෙරිකාවට යළි ගොරවයි

ශ්‍රී ලංකාව ගැන කළ ප්‍රකාශයට චීනය ඇමෙරිකාවට යළි ගොරවයි
Spread the love

උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් අත්පත්කර ගැනීම සඳහා අමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන සුප්‍රසිද්ධ භූ දේශපාලන තරගය මධ්‍යයේ තවත් මතගැටුමක් නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය උද්ගත වූයේ, චීන මහජන විමුක්ති හමුදාව (PLA) හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරීත්වය පිළිබඳව පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් අනතුරුවයි.

Loading...

පෙන්ටගනයෙන් කොංග්‍රසයට වාර්තාවක්

පෙන්ටගනය එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය වෙත 2021 වර්ෂය සඳහා සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් අනාවරණය කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

චීනයේ හමුදා හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම වාර්තාව සකස්කර තිබේ.

එහි සඳහන් වන්නේ චීනය තමන්ගේ හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක සිය හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකාව සමග කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්ථානය ඇතුළු රටවල් 13ක් චීනය මේ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව අමෙරිකානු වාර්තාවේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ, චීනය තමන්ගේ නාවික, යුද සහ ගුවන් හමුදා ශක්තිය වැඩි කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බවයි.

පෙන්ටගනයෙන් කොංග්‍රසයට වාර්තාවක්

චීනයේ ජාතික හා ආරක්ෂක උපාය මාර්ග

පෙන්ටගන් වාර්තාවට අනුව, චීන උපායමාර්ගය වන්නේ 2049 වර්ෂය වන විට “චීන ජාතියේ මහා පුනර්ජීවනය” සාක්ෂාත් කර ගැනීමයි.

එය, බීජිංහි අධිකාරීවාදී පද්ධතියට සහ ජාතික අභිලාශයන්ට වඩාත් වාසිදායක වන ලෙස ජාත්‍යන්තර පිළිවෙල සංශෝධනය කිරීම, අමෙරිකානු ගෝලීය බලපෑම සහ බලයට සමවන ලෙස හෝ අභිබවා යාම මෙන්ම, ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක හවුල්කාරීත්වය සහ අමෙරිකානු සන්ධාන විස්ථාපනය කිරීම මඟින් සිදුකෙරේ.

චීනය සිය ආරක්ෂක ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අභිලාෂයන් සුරක්ෂිත කිරීමයි. චීනයේ මිලිටරි උපායමාර්ගය “ක්‍රියාකාරී ආරක්ෂාව” වන සංකල්පය මත පදනම් වේ.

දළ වශයෙන් මිලියන දෙකක පමණ සාමාජිකයින්ගෙන් යුත් නිත්‍ය බලකායන් ඇති චීන විමුක්ති හමුදාව සිය හැකියාවන් නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට උත්සාහ කරමින් ඇතැයි පෙන්ටගනය පවසයි.

ඒ, ඒකාබද්ධ බලවේගයක් ලෙස ගොඩබිම, ගුවන් සහ සමුද්‍ර මෙහෙයුම් මෙන්ම අභ්‍යවකාශය, ප්‍රතිඅවකාශය, ඉලෙක්ට්‍රොනික යුද්ධ (EW) සහ සයිබර් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම උදෙසායි.

චීන නාවික හමුදාව

පෙන්ටගනයට අනුව චීනයේ මහජන විමුක්ති නාවික හමුදාවට (PLAN) සංඛ්‍යාත්මකව ලොව විශාලතම නාවික හමුදාව යි. චීනය සතුව ඇති නැව් සහ සබ්මැරීන සංඛ්‍යාව දළ වශයෙන් 355 කි.

චීන නාවික හමුදා සබ්මැරීනවලට දිගු දුර ගොඩබිම් ඉලක්ක වෙත නිරවද්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති බවද අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙයි. තවද චීනය සබ්මැරීන විනාශ කිරීමේ (ASW) යුද හැකියාවන් සහ ආරක්ෂාව සඳහා නිපුණතා වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින බවද පෙන්ටගන් වාර්තාවේ සඳහන් වෙයි.

චීන න්‍යෂ්ටික ශක්තිය

පෙන්ටගන් වාර්තාව අනාවරණය කළේ, ඉදිරි දශකය තුළ චීනය සිය න්‍යෂ්ටික බලය, නවීකරණය, විවිධාංගීකරණය සහ පුළුල් කිරීමට අරමුණු ඇති බවයි.

2027 වන විට න්‍යෂ්ටික බෝම්බ 700ක් චීනය සතුවනු ඇති බවත්, 2030 වන විට අධිබල බෝම්බ 1,000ක් චීනය සතුවනු ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන් ය.

චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට දක්වන පෙන්ටගන් වාර්තාවට කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා ඇත.

ට්විටර් පනිවඩයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ “සොරෙකු විශ්වාස කරන්නේ හැමෝම සොරකම් කරන බව” යන්නයි.

“ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදා කඳවුරු සහ හමුදා ඉවත් කර ගත්තද, එක්සත් ජනපදය විදේශයන්හි හමුදා කඳවුරු 750ක් පමණ පවත්වාගෙන යන” බවත් එහි දැක්වෙයි.

“A thief believes everybody steals.” Despite the withdrawal of US military bases and troops from Afghanistan, the US continues to maintain about 750 military bases abroad. These bases are costly in a number of ways: financially, politically, socially, and environmentally.  https://t.co/OiOMvstPj7 pic.twitter.com/VFKrqo0Fe2— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) November 5, 2021

“අංශ කිහිපයකින් මෙම කඳවුරුවල පිරිවැය අධික වේ: එනම් මූල්‍යමය, දේශපාලනික, සමාජීය සහ පාරිසරික වශයෙනි,” ට්විටර් පනිවිඩයේ වැඩිදුරත් සඳහන්

කොළඹ චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටියේ, 2020 වර්ෂයේ අමෙරිකානු හමුදාව සතු විදෙස් කඳවුරු පිළිබඳ සිතියමක්ද ඉදිරිපත් කරමිනි.

චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන චීන-ඇමරිකා ගැටුමේ පළමු අවස්ථාව නොවන අතර මීට පෙරද දෙපාර්ශවය අතර ට්විටර් පනිවිඩ ඔස්සේ වචන හරඹයක් පැවතිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 2020 ඔක්තෝම්බර් මාසයේදී කොළඹට කළ සංචාරයකදී, චීනය ශ්‍රී ලංකාවේ “විලෝපිකයෙකු” ලෙස හැඳින්වූ අතර, එක්සත් ජනපදය “මිතුරෙකු” බව කියා සිටියේය.

චීන තානාපතිගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාඩමක්

මේ අතරේ පසුගිය බදාදා (නොවැ. 10) මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත්කළ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, “ප්‍රජාතන්ත්‍රවාදය යනු කොකා කෝලා නොවේයැ”යි පැවසුවේ ය.

චීන තානාපති කී. සෙන්හොංග් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? යනුවෙන් තම ටුවිටර් ගිණුමේ පළ කළ ප්‍රකාශයේ ඇතැම් කොටස් පහත පරිදි වේ:

“සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? එය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේ ද? රටවල් කිහිපයක් විසින් “ප්‍රජාතන්ත්‍රවාදය” සහ “මානව හිමිකම්” යන වචන මැදිහත්වීම් සිදුකිරීමට සහ සිය ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, ලෝකය කැළඹීමට සහ අවුල් කිරීමට නිතර භාවිතා කරන ආකාරය දකින විට, අපගේ මනසට ප්‍රශ්නාර්ථයක් නැඟේ.”

“ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යනු මනුෂ්‍යත්වය විසින් බෙදාහදා ගන්නා වටිනාකම් ය. රටරටවල ඉතිහාසය, සංස්කෘතිය, සංස්ථාපිතයන්, සහ සංවර්ධන මට්ටම අනුව, ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද සහ එය ළඟාකර ගන්නේ කෙසේ ද යන්න ගැන එම රටවල ජනතාවට ස්වභාවිකම ඇත්තේ එකිනෙකාට වෙනස් අවබෝධයකි.”

“ප්‍රජාතන්ත්‍රවාදය යනු, ලොව පුරාම එක වට්ටෝරුවකට අනුව, එකම රසක් එන සේ නිපදවන කොකා-කෝලා නොවන බව මින් තීන්දු වෙයි.”

“ප්‍රජාතන්ත්‍රවාදයට යන මාර්ගයන් ද එකිනෙකට වෙනස් ය. එය රටවල සුළුතරයකට වෙන්කර ඇති වරප්‍රසාදයක් නොව, සිය පොදු ගමනාන්තය කරා ගමන් කරන්නේ කෙසේ ද සහ කුමන මාර්ගය ඔස්සේ ද යන්න තීරණය කිරීමට මිනිසුන්ට ඇති නීත්‍යානුකූල අයිතියයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු අලංකාරයට ඇති සැරසිල්ලක් නොව, මිනිසුන් මුහුණපානා ගැටලු විසඳීමට ඇති මාර්ගයකි.”

“ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන අතර, චීනය කිසිවිටෙකත් එයටම ආවේණික වූ ලක්ෂණ ඇති සිය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැංවීම නවතන්නේ ද නැත. විවිධ ශිෂ්ටාචාරවල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධය පුළුල් මනසකින් යුත් ඉවසීම ධෛර්යයමත් කිරීමේ, සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගේ අධ්‍යයනයන්ට ගරු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල්වල ජාතික කොන්දේසි මත පදනම්ව ප්‍රජාතන්ත්‍රවාදී සහ දේශපාලන ක්‍රම ගොඩනැංවීම සඳහා ඔවුන් හා ගනුදෙනු කිරීමට චීනය කැමැත්තේ ය…”

බී.බී.සී. සන්දේශය ඇසුරිනි

Loading...

Post Comment