ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක්

ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක්
Spread the love
  • වරායෙන් නිදහස් කරගත ආකාරය සැකයි
  • කුණු ළුෑණු ගෙනාවෙත් මෙම ජාවාරම්කරු
  • ‘ජාවාරම්කරු දෙයියෙක් – කුණු අල ශුද්ධ කළ කාන්තාවෝ

ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී දඹුල්ල මහ  නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ඊයේ (16) පස්වරුවේ සොයා ගෙන තිබේ.

දඹුල්ල  නගරාධිපති ජාලිය ඕපාත මහතාට  ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩාවක මෙම අල තොගය ගබඩා කර තිබුණේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාලිය ඕපාත මහතා, ‘දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශයට ලැබුණු තොරතුරක් මතයි අපි මේ වැටලීම කළේ. ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මෙම අර්තාපල් තොගයම කිසිම අයුරකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකයි තිබෙන්නේ. ඒවා පැළවෙලා, රිකිලි දාලා තිබෙන්නේ.නමුත් කාන්තාවන් යොදා මේ රිකිලි කඩා ඉවත්කර නැවත වෙළෙඳපොළට යැවීමටයි ආනයනකරු සූදානම් වෙමින් සිටියේ’

සොයාගත්  අල කන්ටේනර් රථයේ කිලෝ 40,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා සියල්ල කන්ටේනර් රථය තුළ ම බෙහෙවින් නරක් වී, පැළ වී ඕජස් ගලන මට්ටමේ තිබෙන බව එය විවෘත කර බැලීමේදී දැක ගැනීමට හැකි වූ බව නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මීට පෙර ද මෙම ගබඩා හිමිකරු සහ මෙම කන්ටේනර් රථ රියදුරු මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් පාකිස්ථානයෙන් ගෙන්වා සූක්ෂම ලෙස වෙළඳපොලට යැවීම සඳහා සූදානම් කරද්දී නගර සභාව සෞඛ්‍ය අංශ අත්අඩංගුවට ගෙන තිබුණු බවද නගරසභා සෞඛ්‍ය නිලධාරීන් පවසති.

මෙසේ අර්තාපල්  අල තොගය ඉන්දියාවෙන් ගෙන්වා  දඹුල්ලට ප්‍රවාහනය කොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හරහා රට පුරා අලෙවි කිරීම සිදුකරන බවත් ට පෙර මෙවැනි ම ලොකු ළුෑණු කන්ටේනර් රථයක් තමන් ප්‍රවාහනය කළ බවත් ඒවා අත්අඩංගුවට පත්වූ බවත් එහි රියදුරු ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සිට කොළඹ  වරායට ගෙනවිත් තිබූ මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනර් රථය 15 දින  පස්වරුවේ වරායේ සියලු පරීක්ෂණ වලින් නිදහස් කොට ආහාරයට සුදුසු බවට නිර්දේශ කර ලබා දුන් ඒවා බව එහි රියදුරු සෞඛ්‍ය අංශ නිලධාරීන් කරන ලද ප්‍රශ්න කිරීම් වල දී ප්‍රකාශ කළේය.

මෙම අර්තාපල් අල තොගය දඹුල්ලට ගෙනැවිත් තිබූ පෞද්ගලික ව්‍යාපාරිකයා කාන්තාවන් විශාල පිරිසක් යොදාගෙන නරක් වී ඇති අර්තාපල් අල සහ පැළ වී තිබූ අර්තාපල් අල  සුද්ද පවිත්‍ර කරමින් හොඳ අර්තාපල් අල වලට කලවම් කොට  ඇසුරු කරමින් සිටින ස්ථානයද දඹුල්ල මහනගර  සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීය. එම අවස්ථාවේදී අර්තාපල් අල සකස් කරමින් සිටි කාන්තාවන් නගරාධිපතිවරයා සමග කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම් නිසා තමන්ගේ රැකියාව අහිමි වන බව ය.

මෙසේ නරක් වූ අර්තාපල් අල ගෙෙන්වීම නිසා තමන්ට රැකියාවක් පවතින බවත් එසේ ගෙන්වන ව්‍යාපාරිකයින් දෙවිවරුන් බවද එම කම්කරු කාන්තාවෝ   නගරාධිපතිවරයාට පැවසීමත් සමඟ නගරාධිපති ජාලිය ඕපාත මහතා එම කම්කරුවන්ට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ තමන්ගේ රැකියාව ගැන පමණක්  බැලීම වැරදි බවත් රටේ සමස්ත ජනතාවට ආහාරයට නුසුදුසු ද්‍රව්‍ය ලබා දීමෙන් මුළු සමාජය ම රෝගීන් බවට පත්වන බවය.

දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ මගින් අත්අඩංගුවට ගත් මෙම කන්ටේනර් රථ සහ අර්තාපල් අල කිලෝ 40,000 දඹුල්ල පොලිසියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ 17 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි නීතිමය පියවර ගන්නා බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.

මෙම අර්තාපල් අල තොගය මෙරටට ගෙන්වීමේ දී වරායෙන් නිකුත් කළ කිසිදු ලිපි ලේඛනයක් මෙන්ම මිනිස් පරිභෝජනයට සුදුසු බවට සිදුකරන ලද  නිර්දේශ හෝ ආනයනය කළ පුද්ගලයා  පිළිබඳව කිසිදු තොරතුරක්, ලියකියවිල්ලක් මෙම පුද්ගලයන් සතුව නොමැති බවත් එමගින් බරපතල සැකයක් මතු වන්නේ මේවා වරායෙන් ඉවත් කොට විනාශ කිරීම සඳහා යොදාගත් අර්තාපල් අල දැයි සැකයක් මතුවන බව නගරාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ දිනවල රටපුරා අර්තාපල් හිගයක් පවතින අතර කිලෝවක් රුපියල් 200 ඉක්මවා අලෙවි වීම විශේෂත්වයකි. එවැනි වකවානුවක මේ ආකාරයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් තවදුරටත්   සෝදිසි කිරීම් සිදුකරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල