‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක්

‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක්
Spread the love
  • කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ
  • කිලෝ 45 000ක් පමණ ගබඩාවේ
  • වරායෙන් නිදහස් කල විදිහක් නෑ
  • රට පුරා හෝටල් වලට අඩු මිලට

ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම ) නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතාට පසුගිය 28 වැනි දින පස්වරුවේ හැකි වී තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන අර්තාපල් අල කන්ටේනර් රථ පිටින් දඹුල්ලට රැගෙන විත් ඒවා  නැවත කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරමින් සූක්ෂම ලෙස  රට පුරා මහා පරිමාණ සහ කුඩා හෝටල් වල කෑම  නිෂ්පාදනයට අලෙවි කිරීම සිදුවන බවට  ලද තොරතුරක් මත මෙය අනාවරණයය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා  පැවසීය.

ඒ අනුව තමන් පසුගිය 28 දින පස්වරුවේ  ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක් පරික්ෂා කිරීමෙන් මෙය හෙළිදරව් කර ගැනීමට හැකිවූ බව දඹුල්ල නගරාධිපතිවරයා සඳහන් කළේය.

එදින නිවාඩු දිනයක් නිසා නගරාධිපතිවරයා සහ දඹුල්ල පහළවැව  ග්‍රාම සේවා වසමේ නාගරික මන්ත්‍රී චරිත විජේරත්න යන දෙදෙනා සමඟ මෙම අනාවරණය සිදු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූහ.

ගබඩාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම වසා පිටුපස කොටසේ කාන්තාවන් 25ක් පමණ  යොදවාගෙන ඉන්දියාවෙන් ගෙනා තිබූ මෙම අර්තාපල් අල මුල් බැස ගෝනිවලින් ගලවා  එහි ඇති මුල් සහ අලවල හටගෙන ඇති තවත් කුඩා අල ඉවත් කරමින් සිටින අයුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවෝ හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.

ොවිශාල ගබඩාව තුළ අර්තාපල් අල කිලෝ 45,000ක පමණ ප්‍රමාණයක් ගොඩගසා ඇති අයුරු තිබෙන බවත් ඒවා සියල්ල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.‍

මෙම අර්තාපල් අල ගෙන් වූ බව කියන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් බදු පදනම මත පවත්වාගෙන යන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වා ගැනීමට නාගරික මන්ත්‍රී  චරිත විජේරත්න  මහතා පියවර ගත්තේය.

ඒ අනුව එම ස්ථානයට පැමිණි  ව්‍යාපාරිකයාගෙන් නගරාධිපති ජාලිය ඕපාත මහතා   ප්‍රශ්න කිරීම් වලදී මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් දඹුල්ලට සහ වරායෙන් පිට කළ කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ව්‍යාපාරිකයා පැවසීය.

එමෙන්ම මෙම අර්තාපල් අල හෝටල් සඳහා ලබා දෙන බව පිළිගත් මෙම ජාවරම්වරු තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත් මෙම අර්තාපල් ආහාරයට නොගන්නා බවද පිළිගැනීම් විශේෂත්වයකි.

පසුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා වහාම මෙම සිද්ධිය පිළිබඳවව දුරකථනය හරහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුවත් කළේය.

ඒ අනුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල පොලිසියට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව  දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම්ක් එම ස්ථානයටට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

එම ව්‍යාපාරිකයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම අර්තාපල් මෙරටට ගෙන්වූ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

නාගරාධිපතිවරයා ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මින් ඉදිරියට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ විදේශ  රටවලින් ගෙන්වා අලෙවි කරන සෑම ආහාර ද්‍රව්‍යයකට ම  මෙරටට ගෙන්වූ දිනය වරාය පිටත් කළ දිනය සහ ආහාරයට සුදුසු බවට වරාය මහජන සෞඛ්‍යය පරීක්ෂක අංශයෙන් ලබා දුන්  ලියකියවිල්ලක් නොමැතිවව අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවය.

එමෙන්ම මෙම මහා පරිමාණ නරක් වූ කුණු අල ජාවාරම් සඳහා නගර සභාවක් ලෙස තමන්ට පමණක් වගකීම් බාරගැනීමට නොහැකි බවත් මේවා ඉන්දියාවේ සිට නැව් මගින් වරායට ලැබීමෙන් අනතුරුව වරායේ පවතින නීති පද්ධතියෙන් එළියට පැමිණ රට මැදට එන්නේ කෙසේදැයි වෙනම පරික්ෂා කළ යුතු බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.

රට පුරාම ජනතාව දැඩි  සෞඛ්‍ය ප්‍රශ්නයකට  මුහුණ දෙන බවත් මේවා දඹුල්ලට ගෙන ඉන්නේ කෙසේදැයි සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවත් පාකිස්තානය, ඉන්දියාව ඇතුළු කණ්ඩායම් වල නියෝජිතයන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා රට පුරා අලෙවි කර ගැනීම සිදුකරන බවද මෙම අර්තාපල්, ලොකු ළූණු ආදී සියල්ල මෙරටට ගෙනවිත් වියදමට වඩා අඩු  මුදලක් යටතේ අලෙවි කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

දඹුල්ල පොලීසිය සහ මහ නගර සභාව එක්ව මෙම අර්තාපල් අල ගබඩාව සම්පූර්ණයෙන්ම සීල් තබා 29 දින ඉතිරි  රාජකාරි කටයුතු සිදු කරන බව දඹුල්ල පොලීසිය පැවසීය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල