ආබාධිත රණවිරුවා වසර 13ක් තිස්සේ ‘රෝගී බිරිඳ ජීවත් කරවන්න කරන මහා සටන‘

ආබාධිත රණවිරුවා වසර 13ක් තිස්සේ ‘රෝගී බිරිඳ ජීවත් කරවන්න කරන මහා සටන‘
Spread the love

තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

වසර 22ක් රට වෙනුවෙන් කැපකිරීම් කර යුද  හමුදාවෙන් විශ්‍රාම ගිය ආබාධිත සෙබළෙකු වසර  13ක් පුරා වකුගඩු රෝගයෙන් පීඩා විඳින තම ආදරණීය බිරිඳගේ  දිවි රැක ගැනීමේ සටනක නිර්තව සිටින පුවතක් ගලේවෙල අළුත්වැව බඹරගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන එච්. එම්. සී. ටී. විජේරත්න නම් රණවිරුවා වසර  හතක කාලයක් දැඩිව යුද්ධය පැවති අවස්ථාවේදී රට වෙනුවෙන් එක් පාදයක කොටසක්,  හිස සහ ශරීරයේ ස්ථාන රැසක මස් ලේ පූජා කළ අයෙකි.

යුද හමුදාවේ නම වෙනි  සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ඔහු එකල යුද හමුදාවේ තුළ “අලි පැටියා “නමින් සියලු නිලයන් අතර ජනප්‍රිය ක්‍රියාශීලී අයෙකි. යාපනයේ පැවති යුද්ධය උණුසුම් අවස්ථාවක දී ඔහුගේ පාදය මෙන්ම හිසට ද වෙඩි වැදී මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවේ.

වසර   විසි දෙකක සේවා කාලයෙන් පසුව දරු තිදෙනා සහ බිරිඳ සමඟ සතුටෙන් ජීවත් වීමට  වීශ්‍රාම ගිය මෙම යුධ හමුදා සෙබලාට නොසිතූ දෙයකට මුහුණ පාන්නට  සිදුව තිබේ. එනම් තම ආදරණීය බිරිඳ කේ.ජී. ශ්‍රියානි කුමාරි (40) යන අය තුන්වැනි දරුවා  බිහි කිරීමට සූදානම් වෙද්දී වකුගඩු රෝගියෙකු බව හඳුනා ගැනීම නිසාවෙනි.

දැනට  වසර  දහ තුනක කාලයක් වකුගඩු රෝගයෙන් පෙළෙන ඇය වසර පහක පමණ කාලයක සිට සතියට දෙවතාවක් ලේ මාරු කර ගැනීම් මෙන් ජීවිතය බේරා ගෙන සිටින බව ආබාධිත රණවිරු විජේරත්න මහතා අප සමඟ පැවසීය.

තමන් මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වය ගැන අප හමුවේ කරුණු පැහැදිලි කළ ඔහු මෙසේ පැවසුවේය.

‘අපි ජීවත් වන ගලේවෙල, අළුත්වැව, බඹරගස්වැව ප්‍රදේශයේ සිට බිරිදව මහනුවර මහ රෝහලට සතියකට අවස්ථා දෙකක් ලේ මාරු කිරීම සඳහා  රැගෙන යා යුතුයි. ඒ සඳහා එක් අවස්ථාවකට රුපියල් 5000 ක පමණ මුදලක් වැයවන වෙනවා. මගේ විශ්‍රාම වැටුපෙන් මේ වියදම් දරා ගැනීමට බැහැ. ඒ නිසා මම මේ වන විට ගමේ බොහෝ දෙනකුට ණය වී අවසානයේ මා සන්තකව තිබූ ත්‍රිරෝද රථයද උකසට තබා තිබෙනවා. මම වසර පහක පමණ කාලයක් එක දිගටම මේ ආකාරයෙන් අති විශාල මුදලක් වියදම් කරමින් බිරිඳ ජීවත් කරවීමට උත්සාහ කරනවා. ඒ නිසා දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සමග තව දුරටත් එය සිදු කර ගැනීම්ට නොහැකි තරම් අසරණ තත්ත්වයකටයි මා පත්ව සිටින්නේ. එනිසාම කළ හැකි අන් යමක් නැති නිසයි මම අද මහජනතාවගෙන් සහ යුද හමුදාවෙන් සහයෝගයක් ඉල්ලා සිටින්නේ‘‘දැඩි වේදනාවෙන් යුතුව විජේරත්න මහතා පැවසීය.

පසුගිය යුධ සමයේ තමා මුහුණ දුන් අත්දැකීම් රැසක් හෙළි කරමින් ඔහු කියා සිටියේ තමා සමග එකට යුද හමුදාවේ සිටි මිතුරා තමන් ඉදිරියේම ‍ ත්‍රස්තවාදී  ප්‍රහාරයකට ලක්ව මිය ගිය බවය.

‘‘ඒක හරිම අනුවේදනීය අවස්ථාවක්. ඊට පස්සේ මම මගේ මිතුරාගේ නිවසට ගියා. ඒ අවස්ථාවක මිතුරාගේ මව කරන ලද ඉල්ලීමකටයි ඇයගේ දියණිය, ඒ කියන්නේ මගේ මිතුරාගේ නැගණිය මම විවාහා කර ගත්තේ. මම විවාහ වන තෙක් ශ්‍රියානිව දැකලා තිබුණෙත් නැහැ. මගේ මිතුරාට තිබුණු ආදරය නිසා ඔහුගේ නැගණිය පණ මෙන් ආරක්ෂා කරමින් රැක ගත්තා‘‘ ඔහු දැඩි සංවේගයෙන් යුතුව අප සමග පැවසීය.

තමන් යුද හමුදාවෙන් ගත් ආභාෂය නිසාම මෙම බරපතළ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින බවත් එසේ නොවන්නට මේ වන විට වෙනත් අයකු නම් තම බිරිඳ ජීවත්  කරවීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

මෙම දෙපළගේ වැඩිමහල්මහල් දියණිය උසස් පෙළ දෙවැනි වර පෙනී සිටීම සඳහා  සූදානම් වන අතර දෙවැනි පුතා දහ වැනි වසරේ ඉගෙනුම ලබයි. තුන්වෙනි දියණිය තවමත් හත්වැනි වසරේ අධ්‍යාපනය ලබන දියණියකි.

මෙම ආබාධිත රණවිරු පවුල පවතින ජීවිත අවදානම පිළිබඳව සොයා බලා හැකි ආකාරයෙන් උදව් කරන්නැයි  ඔහු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

ඔවුන්ගේ ලිපිනය එච්. එම්. සි. ටි. විජේරත්න, අලුත්වැව ,බඹරගස්වැව, ගලේවෙල, දුරකථන අංකය  076 1263 394- බැංකු ගිණුම් අංකය 00000 21 88 602

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස