ගෑස් ටැංකි පිිපිරීම ගැන චම්පික කළ සුපිරි හෙළිදරව්ව

ගෑස් ටැංකි පිිපිරීම ගැන චම්පික කළ සුපිරි හෙළිදරව්ව
Spread the love

ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ගෑස් කාන්දුවීමෙන් සිදුවූ විනාශයට අමතරව ලිට්‍රෝ සමාගම විසින් මිලියන 300 ක පමණ අයථා ලාභයක් ද ලබා ඇති බව රණවක මහතා පෙන්වා දෙයි.

“දැන් මේ රටේ ආණ්ඩුවේ නායකයෝ නොයෙක් අවස්ථාවල උත්සාහ කළා විශේෂයෙන්ම වෙළඳ ඇමතිවරයා, රාජ්‍ය ඇමතිවරයා ආදීන් උත්සාහ කළා ඔය ගෑස් පිපිරීම් ආදිය සාමාන්‍ය දෙයක් කියලා. නමුත් ඒ පෙන්නපු සංඛ්‍යාලේඛන වලට අනුව නම් මාසෙකට වෙන්න ඕන ගෑස් කාන්දු වීම් දෙකයි. නමුත් දැන් අද දවසකට දහයක් පහළොවක් ගිනි ගැනීම් සිදුවෙන තත්වෙට පත්වෙනවා. ඊට පස්සේ මේක පෙන්නන්න හැදුවා ලිප් වල වරදක්. එහෙම නැත්නම් ගෑස් ටැංකි වල වරදක්. එහෙම නැත්නම් පාරිභෝගිකයන්ගේ වරදක්. එහෙමත් නැත්නම් ගෙදර තියෙන විදුලි පරිපථ වල වරදක් හැටියට පෙන්නන්න උත්සාහ කළා. නමුත් මේ රටේ ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයින් බොහොම නිවැරදිව පෙන්නලා දුන්නා මේ කිසිම හේතුවක් නිසා නෙමෙයි මේක වෙන්නේ වෙන්නේ ඉතාම බරපතළ වංචනික ක්‍රියාවලියක් මේ ගෑස් ආයතන විශේෂයෙන්ම රජයට අයත් මුදල් අමාත්‍යාංශයට අයත් රක්ෂණ සංස්ථාවට අයත් ලිට්රෝ ගෑස් සමාගම හරහා සිදු කරගෙන යන වංචනික ක්‍රියාවලියක් නිසා බව පෙන්නලා දීලා තියෙනවා.”

මේ සඳහා හේතු ගණනාවක් බලපාන බව රණවක මහතා පෙන්වා දෙයි. සාමාන්‍ය ගෑස් ටැංකියක ස්වරූපය අනුව සහ ප්‍රමිතිය අනුව 85% ක් දියරයකින් සම්පූර්ණයෙන්ම පිරී පවතී. එම දියරය ප්‍රොපේන් සහ බියුටේන්වල එකතුවකි. ඉතිරි 15% හිස් අවකාශය තිබීම අවශ්‍යය. මේ 85% තිබෙන ද්‍රවය කාමර උෂ්ණත්වයේ දී වාෂ්ප වීමෙන් ඉහළින් තිබෙන කොටසේ වාෂ්පයක් ලෙස රැඳී තිබීම ගෑස් ටැංකියක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියයි.

“එතකොට අපි ලිප දැල්ලුවහම රෙගියුලේටරය හරහා, අපේ ලිපට ඒ ගෑස් වාෂ්පය ඉතාමත් පුංචි අංශු හැටියට ලැබිලා දහනය වෙනවා. ඕක තමයි ක්‍රියාවලිය. මේ පිපිරීම හෝ ලීක් වීම හෝ අනෙකුත් දේවල් වෙන්නේ කොහොමද? මෙතන තියෙනවා ඇත්තටම කරුණු ගණනාවක්. ඒකේ පළවෙනි කාරණය තමයි, මේ ගෑස් වල සංයුතිය මාරු කළා කියන එක. සාමාන්‍යයෙන් අපේ ලිට්රෝ ගෑස් ආයතනයට කලින් තිබිච්ච ෂෙල් ආයතනය කාලේ ඉඳන් තිබිච්ච සම්මුතිය තමයි ප්‍රොපේන් බියුටේන් සංයුතිය ඒ කියන්නේ ප්‍රොපේන් කියන්නෙ එක්තරා දියර ගෑස් තත්ත්වයක් බියුටේන් කියන්නේ තවත් තත්ත්වයක්. මේකෙන් ප්‍රොපේන් ඇත්තටම බර වැඩි ශක්තිය වැඩි තත්වයක්. ප්‍රොපේන් බර අඩු තත්වයක්. එතකොට මේ ගෑස් සම්මුති දෙකේ මිශ්‍රණය 70 : 30 හැටියට තමයි බොහෝවිට තිබුණේ. ඒ වගේම මේ ගෑස් ටැංකියක බර අපි කවුරුත් දන්නවා 12.5 යි කියලා තමයි අපිට එළියේ ගහලා තියෙන්නේ සාමාන්‍ය ගෑස් ටැංකියක්. අනිවාර්යෙන් එකේ පරිමාව වෙන්න ඕනේ ලීටර් 26.2 ක්. එතකොට ලීටර් 26.2 ක් වෙන්න ඕන පරිමාව, බර වෙන්ඩ ඕනේ ගෑස් ටැංකියේ 12.5 ක්. ඉතින්මේක තනිකරම ප්‍රොපේන් වලින් පිරෙව්වොත් කාබන් අංශු තුනක් තියෙන ප්‍රොපේන් වලින් පිරෙව්වොත් මේ ලීටර් ප්‍රමාණය අර 85:15 අනුපාතෙට බර වෙන්නේ 11.31යි. ඒ වගේම බියුටේන් වලින් ඒ කියන්නේ ඒක බර වැඩි එකක්. ඒකෙන් පිරෙව්වොත් 100% ක්ම බර වෙන්නේ 13.01 යි. එතකොට ප්‍රොපේන් 30%යි බියුටේන් 70% පිරෙව්වම තමයි 12.5 ක් වෙන්නේ බර. එතකොට දැන් මේ ක්‍රමයට මේ අනුපාතය වෙනස් කළා නම් මොකක්ද වෙන්න තියෙන දේ? මේ අනුපාතය 50:50 තත්වෙට වෙනස් කළා නම්; ඇතැම් පරීක්ෂණ වලින් ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒක ලිට්රෝ ආයතනය ඇතැම් අයත් පිළිඅරගෙන තියෙනවා. 50: 50 තත්වෙ ඇති කරානම් මෙන්න මේ වාෂ්ප අවකාශයේ තියෙන පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. එතකොට ඒ ඒ වාෂ්ප අවකාශයේ තියෙන සාමාන්‍ය පරිමාණයට වඩා පීඩනය වැඩි වෙන්නේ මේ ආංශික පීඩන තත්ත්වය මේ බියුටේන් ප්‍රොපේන් වල වෙනස් වෙන නිසා. ඒක ඇත්තටම කවුරුත් දකින්න ඇති අපේ විද්‍යාඥයො ඒක දාලා තිබුණා ඒ පීඩන තත්වය වෙනස් වෙන වක්‍ර මේ විදිහට තියෙන්නේ.  ඒ වක්‍ර දෙක මේ විදිහට තියෙන්නේ. අපිට පේනවා ඒ වක්‍ර වලට අනුකූලව අනුපාත වෙනස් වෙනකොට අභ්‍යන්තර පීඩනය වෙනස් වෙන ආකාරය. එතකොට අභ්‍යන්තර පීඩනය වෙනස් වෙනකොට අනිවාර්යෙන්ම අර රෙගියුලේටරය හරහා ගෑස් කාන්දුවක් වීමේ ඉඩකඩ තියෙනවා. එතකොට මේගොල්ලෝ මුල් අවස්ථාවේදී මොකද කළේ? ලීටර 26.2 ක් වන මේ ධාරිතාවම පුරවන්නැතුව ලීටර් 18 ක් පිරෙව්වා. ඒ හරහා ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයාව රැවටීමට ලක් කළා විතරක් නෙමෙයි. අයථා ලාභයක් උපයා ගත්තා ඒ හරහා. ඊළඟට මේ පිළිබඳව උසාවි නියෝගයක් ආවහම ඔවුන් ලීටර් 26 ම එන විදිහට ඒ කටයුත්ත කළා. ඒ  26 න් 85% ක් පිරෙන විදිහට. එතකොට මොකද වෙන්නේ? එතකොට අර 50: 50 ගෑස් දැම්මනම්, ඒ අනුපාතයට අනුව මේ 85% නෙවෙයි මේ ද්‍රව පිරෙන්නේ. 90% කට ආසන්න ප්‍රමාණයක් පිරෙනවා. එතකොට මේ වාෂ්ප අවකාශය අඩු වෙනවා. වාෂ්ප අවකාශය අඩුයි පීඩනය වැඩියි. ඒ නිසා මෙතනින් ගෑස් කාන්දු වීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඒක තමයි දෙවැනි කාරණය. ඒ වගේම මේ හරහා තව වංචාවක් කලා. ඒක තමයි මේ තාපාංකය. එහෙම නැත්නම් එක ඒකකයක දියර ගෑස් ඒකකයක තියෙන ශක්ති ප්‍රමාණය අඩු කිරීම. ඇත්තටම ලීටරයක තියෙන ශක්ති ප්‍රමාණය ගත්තොත් 30 :70 නම් එහි තියෙන ශක්ති ප්‍රමාණය; අපි ඒකට කියනවා කැරලිසික් වැලියු එක කියලා. ඒක ආසන්නයෙන් 28.02 ක් වෙන්න ඕනේ. හැබැයි 50:50 කලහම ඒක 27.3ක් වෙනවා. මේ අනුව එතනත් මෙගාජූල් ගානක වංචාවක් සිද්ධ කළා මේ කණ්ඩායම එතෙන්දි.

ඊළඟට මේ විදිහට ඇත්තටම අපි ගත්තොත් ඔය  රෙගියුලේටරය ඇත්තටම මේ කාරණා තුන විසින් ආසන්නයෙන් මාසෙකට ගෑස් ටැංකි 250,000 ක් නිකුත් කරනව කියන උපකල්පනය අපි කළොත් මිලියන 300 ක පමණ පමණ අයථා ලාභයක් මේ කාරණා තුන හරහා ලබාගෙන තියෙනව ගෑස් වලින් ඇතිවෙච්ච විනාශයට අමතරව මේ ලිට්‍රෝ සමාගම.

ඊළඟට අපිට පේනවා අපේ රෙගියුලේටරය නමින් හඳුන්වන දේ. ඒක  නිකන් මතුපිටින් බැලුවහම සාමාන්‍ය දෙයක් හැටියට තිබුනට සංකීර්ණ ක්‍රියාදාමයක් අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒ කියන්නේ මේ රෙගුලේටරය විසින්, අභ්‍යන්තරයේ පීඩනය, ඉතා අධික පීඩනය, සරල පීඩනයක් කරලා ලබාදෙනවා අපේ ලිපට. ඒක තමයි එහි කාර්යභාරය. එතකොට, ඒ වගේම මේ අධික පීඩනයට ලක් කරපු හැටියේ, රෙගියුලේටරයට ඇතිවෙන බලපෑම වැඩියි. ඒ බලපෑමත් එක්ක ඇත්ත වශයෙන්ම පිපිරීමේ අනතුරක් රෙගියුලේටරය හරහා ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඔය සිලින්ඩරයයි, ලිපයි යා කරන ඒ රබර් නලයත් එක්ක තියෙන අර රබර් ගෑස්කට් එක, ඒ රබර් ගෑස්කට් එකටත් ඒකෙන් තමයි මේ හිර කරලා තියන් ඉන්නේ. මේ මේක හිර කරලා තියන් ඉන්නේ රබර් ගෑස්කට් එකෙන්. ඒ රබර් ගෑස්කට් එකටත් අතිරේක පීඩනයක් මේකෙන් එල්ල වෙනවා. ඉතින් රබර් වලට කාලයක් පාවිච්චි කිරීමත් එක්ක එතනත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අනිවාර්යෙන්ම මේ ගෑස් කාන්දු වීම් සිදු වෙනවා. ඒ ගෑස් කාන්දු වීම් සිදු වෙන්න මේ අනුපාත මාරු කිරීම නිසා ඇතිවෙන පීඩනය වැඩිවීම බලපාලා තියෙනවා. ඒ වගේම අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි වහාම.”

එමෙන්ම ගෑස් පෝළිම් තිබුණු කාල සීමාව තුළ දී මේ ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොමැතිව තොග පිටින් මෙවන් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකූත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විභාග කර සොයා බැලිය යුතු බව ද රණවක මහතා අවධාරණය කරයි.

ෂෙල් සමාගම කාලයේ පටන් මෙහි සිටින කාර්ය මණ්ඩලය ඉතාමත් පළපුරුදු කාර්යමණ්ඩලයක් වන අතර, පාලකයන් විසින් වැරදි උපදෙසක් ලබා නුදුන්නේ නම් මෙසේ ක්‍රියාකිරීමේ හේතුවක් ඔවුන්ට නොමැත.

“තමන්ගේ අමාත්‍යාංශයේ නොවුනත් වෙළඳ අමාත්‍යාංශයේ ඇමතිවරයා, රාජ්‍ය ඇමතිවරයා මේ ජනතාව නොමඟ යැවීම ගැන මේ පිළිබඳ කියාමාර්ග නොගැනීම ගැන පාරිභෝගික අධිකාරිය, ඔවුන්ට සම්පූර්ණ වගකීම තියෙනවා. ඒ වගේම මේ ආයතනය අයිති මුදල් අමාත්‍යාංශයට, ඒ වගේම රක්ෂණ සංස්ථාවට එරෙහිව අනිවාර්යෙන්ම මේ රටේ ජනතාවට වගකිමේ තත්වය අද ඇතිවෙලා තියෙනවා. ඒකත් අපි ප්‍රකාශ කරන්න ඕන ඇමතිවරයත් එක්ක.”

ආණ්ඩුව වහාම කළ යුතු වන්නේ මේ නිකුත් කරන ලද ගෑස් ටැංකිය ආපහු කැඳවා නිශ්චිත පරීක්ෂණයක් කොට නියම සං‍යුතියෙන් යුතු 30:70 සං‍යුතියෙන් යුතු, නියම පීඩනයෙන් යුතු නිවැරදි රෙගියුලේටර සහිත ගෑස් ජනතාවට ලබා දීම සිදු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.