නව ගෑස් ප්‍රමිතිය කෙටුම්පතේ හිරවේ

නව ගෑස් ප්‍රමිතිය කෙටුම්පතේ හිරවේ
Spread the love

ජනාධිපතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් මීට පෙර සකස් කර තිබූ ප්‍රමිතිය සමාලෝචනය කර නව ප්‍රමිති කෙටුම්පතක් සකස්කර තිබුණද එය ප්‍රමිතියක් වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මෙම ආයතනය භාර රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එල්පී ගෑස් සම්බන්ධයෙන් වූ නව ප්‍රමිති කෙටුම්පත සකස්කර ඇති අතර එය මහජන අදහස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කර ඇත. ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය නොවැම්බර් මස 15 වැනිදා අවසන් වී ඇත. ද්‍රවිකෘත පෙට්රෝලියම් ගෑස් පිරිවිතර ශ්‍රී ලංකා ප්‍රමිති 712/2021 ලෙස එම කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබේ. එය එල්පී ගෑස් සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය වශයෙන් නම්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද්‍රව්‍ය, යාන්ත්‍රික පද්ධති හා ඉංජිනේරු නිෂ්පාදන පිළිබඳ ආංශික කමිටුව මෙම කෙටුම්පත සකස් කර ඇති අතර එම කෙටුම්පතට එහි පාලක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

මෙම ප්‍රමිති කෙටුම්පත තුළ ගෑස් සිලින්ඩරයක් තුළ තිබිය යුතු උපරිම පීඩනය හා අනිකුත් සංඝටක ප්‍රතිශතයන් ගැන එහි සඳහන් කර ඇතත් බියුටේන් හා ප්‍රොපේන්හි ප්‍රතිශතයන් ගැන එහි සඳහන් කර නැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රමිති ආයතනයේ ආංශික කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කර ඇති අයකු පැවසුවේ ඒ ඇයිද යන්න ප්‍රශ්නයක් බවයි.

එසේම සෑම ගෑස් සිලින්ඩරයක්ම වසර පහකට වරක් නැවත පරීක්ෂා කර වලංගු කළ යුතු යැයි එම ප්‍රමිතියේ සඳහන් කර තිබේ. එසේම සිලින්ඩරයේ එම නැවත වලංගු කළ දිනය සඳහන් කළ යුතු යැයිද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එහි ආංශික කමිටුවක නිර්දේශ මත හෝ යම් ආයතනයක ඉල්ලීමක් මත යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් ප්‍රමිති සෑදිය හැකි අතර ඒවා මහජන අදහස් සඳහා යොමු කිරීමද සිදුවේ. එසේම හදිසි අවශ්‍යතාවලදී මහජන අදහස් නොවිමසා ප්‍රමිති ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවද පවතී. මෙසේ ප්‍රමිතියක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නිෂ්පාදකයන් හෝ ආනයනකරුවන් එම ප්‍රමිතිය ස්වෙච්ඡාවෙන් පිළිගැනීමකට ලක්කළ හැකි අතර එම ද්‍රව්‍යය හෝ භාණ්ඩය සම්බන්ධයෙන් යම් නියාමන ආයතනයක් තිබේ නම් ඔවුන්ටද එම ප්‍රමිතිය පිළිගත හැකිය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ඉල්ලීමක් අනුව සමාලෝචනය කර නැවත සකස් කරන ලද මෙම එල්පී ගෑස් පිළිබඳ ප්‍රමිතිය ගැන එහි සභාපති ජනක රත්නායකගෙන් විමසීමට උත්සහ කිරීමේදී ඔහු ප්‍රකාශ කළේ එම ආයතනය ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් 02 දින නිවේදනයක් නිකුත් කරන බවත් එය පළකරන ලෙසත්ය. අප විමසන ප්‍රශ්නයට පිළිතුරු එහි නොතිබිය හැකි බැවින් අපගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලූ විට ඔහු කීවේ අපේ ප්‍රශ්නවලට ඔහු උත්තර නොදෙන බවත් ඔහුගේ නිවේදනය පළකරන ලෙසත්ය. එම ආයතනය මහජන දේපලක් බැවින් එහි ප්‍රධානියා ලෙස පිළිතුරු ලබාදීමට ඔහු බැඳී සිටින බව අප පැවසූ විට ඔහු කීවේ ඔහු පිළිතුරු ලබානොදෙන බවය. එසේ ලියන්නදැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ ‘ඕන කෙහෙල්මලක් දාගන්නවා’ යන්නය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලකගෙන් කරන ලද විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ඔහු ප්‍රතිපත්තිමය තීරණ පමණක් ගන්නා බවත් තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් පත්කර ඇති අධ්‍යක්ෂ ඉංජිනේරු සුනන්ද ප්‍රනාන්දුගෙන් විමසන ලෙසය. ඒ අනුව ඔහුගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ කාලයෙන් කාලයට ප්‍රමිති සමාලෝචනයට ලක්කිරීම් යටතේ එල්පී ගෑස් පිළිබඳ ප්‍රමිතිය සමාලෝචනයට ලක්කළ බවත්, එහි ක්‍රමවේදය යටතේ මහජන අදහස් දැක්වීම සඳහා මාස දෙකක කාලයක් ලබාදුන් බවත් හා එම කාලය අවසන් බැවින් එම ප්‍රමිතිය නැවත කමිටුවට යොමුකර ඇති බවත්ය.

කෙටුම්පත් ප්‍රමිතිය තුළ ප්‍රොපේන් හා බියුටේන් අඩංගුවිය යුතු සංයුති ප්‍රතිශතය නැත්තේ මන්දැයි කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ භාවිතය අනුව ලෝකයේ බොහෝ රටවල එය නිශ්චිතව නම් නොකරන බවත් ගෑස් සිලින්ඩරයේ පීඩනය පිළිබඳ නියමයන් වැදගත් බවය. ප්‍රොපේන් මගින් වැඩි පීඩනයක් ලැබෙන බැවින් පීඩන නියමයන් මගින් එය පාලනය වන බව ඔහු පැවසීය. එසේම වත්මන් තත්වය අනුව ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය සම්බන්ධයෙන් පරාසයක් ලබාදිය හැකිද යන්න සලකා බැලිය හැකි බව ඔහු පැවසීය.■

අනිද්දා ඊ පුවත්පත ඇසුරිනි