කොරෝනාවලට බියෙන් පියා දරු දෙදෙනා සහ බිරිද ‘වසරක් පුරා සිරකරගෙන ඉඳලා‘

කොරෝනාවලට බියෙන් පියා දරු දෙදෙනා  සහ බිරිද ‘වසරක් පුරා සිරකරගෙන ඉඳලා‘
Spread the love

වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට  බිය වූ තම සැමියා කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි බිරිඳක් ඊයේ (18) ගලේවෙල මකුලුගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසින් බැහැරවී ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම පැමිණිල්ල අනුව අද (19) දින මකුලුගස්වැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂකා ආර්. එන්. සි. දිල්හාරා මහත්මිය ඇතුළු කණ්ඩායමක් ගලේවෙල බඹරගස් වැව ප්‍රදේශයේ පිහිටි මෙම දරුවන් රඳවා ඇති නිවසට ගොස් කොරෝනා වලට බියේ සිරවී සිටින දරුවන් දෙදෙනාත් එම පියා ද පොලිසියට රැගෙන විත් ඇත.

මෙම පිරිම දරුවන් දෙදෙනා 07 හා 09 වැනි වියේ පසුවන බව පොලිසිය කියයි.

පසුගිය අගෝස්තු මස 6 වන දින ද මෙම කාන්තාව මකුලුගස්වැව පොලීසියට පැමිණ සැමියා විසින් තමන් සහ දරුවන් දෙදෙනා කුඩා කාමරයක දමා කිසිදු ආකාරයකින් තම පුද්ගලික  අවශ්‍යතාවයකට හෝ වැසිකිළි කැසිකිළි යාමට හෝ එළියට බැසීමට ඉඩ නොදී  කොරෝනා වැළඳේ යැයි බියෙන් කුඩා කාමරයක සිරකරගෙන සිටින බවට පොලිසියට පැමිණිලි කර ඇත.

පසුව පොලිසිය නිවසට ගොස් අදාළ සැමියා දැනුවත් කොට මනසික වෛද්‍යවරයකුට  පෙන්වා ප්‍රතිකාර ලබාදී නැවත නිවසට පිටත් කර ඇත.

එහෙත් මෙම පුද්ගලයා  ප්‍රතිකාර ඉවත දමා නැවතත් සුපුරුදු පරිදි කොරෝනා බෝ වීම  වැළැක්වීම සඳහා දරුවන් පාසලට නොයවා ඔහුද ( ඔහු ලංගම බස් ඩිපෝවේ කොන්දොස්තර වරයෙකු ලෙස සේවය කරයි) සේවයෙන් පවා ඉවත්ව නිවසේ රැඳී සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙම පුද්ගලයාගේ පියා පොලිස් නිලධාරීන්ට මෙසේ පවසා ඇත. ‘අපේ පුතා අපි ගෙනැවිත් දෙන ආහාර දැඩි ලෙස පිරිසිදු කොට දරුවන්ට නිවස තුළට තබා කෑමට සකසා දෙනවා. කිසිදු ආකාරයකින් නිවස ආසන්නයේ හෝ නිවෙස ඇතුළත වෙනත් බඩු මුට්ටුවක් හෝ අතපත ගෑම සිදු නොකරන ලෙස දරුවන්ට කියනවා. දරුවන් මෙන්ම ඔහු ද නිරන්තරයෙන් සබන් වතුර සහ විවිධ  විසබීජ නාශක යොදමින් පිරිසිදු වෙනවා‘

ආහර පිසීමට යොදා ගන්නා සහල් උර මෙන්ම සහල් ද උණු වතුර යොදා පිරිසිදු කිරීමෙන් පසුව නිවසට ගන්නා බවද ඔහුගේ දරුවන් හා දෙමාපියෝ පොලිසියට දන්වා ඇත.

මෙම තත්ත්වය ඉවසා ගැනීමටට නොහැකි වූ දරුවන්ගේ මව 18 දින මකුලුගස්වැව පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිසියට රැගෙන විත් සිටියදී ද මෙම පියා  කොරෝනා වෛරසය ශරීර ගත වේයැයි  දැඩි බියකින් පසුවන බවත් තමන්ට මානසික රෝගයක් නොමැති බව පවසමින් ප්‍රතිකාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටින බව පොලීසිය කියයි.

කෙසේ වෙතත් පොලිස් භාරයට ගැනුණනු මෙම දරුවන් දෙදෙනා සහ පියා වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගන්නා බව මකුලුගස්වැව පොලීසිය ප්‍රකාශ කළේය.

නිවසෙන් බැහැරව ගිය  බිරිඳට  නැවත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව මකුළුගස්වැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂකා  ආර්. එන්. සි. දිල්හාරා මහත්මිය පැවසුවාය.

පොලිසිය අවස්ථා කිහිපයකම මෙම නිවෙසට යන අවස්ථාවන්හිදී කුඩා කාමරයක මෙම දරුවන් රඳවා ගෙන සිටි බවත් එම දරුවන්ට හිරු එළිය නොවැටීම නිසාවෙන් සහ ඇවිදීමට ඉඩ පහසුකම් නොමැති නිසාවෙන් දැඩි මානසිනසික පීඩනයකට මෙන්ම ශරීර සෞඛ්‍යයද  දැඩි ලෙස හානි වී තිබූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ කියයි.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස