ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සඳහා ‘එන්නත් මාත්‍රා දෙකක්‘ ප්‍රමාණවත් ද ?

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සඳහා ‘එන්නත් මාත්‍රා දෙකක්‘ ප්‍රමාණවත් ද ?
Spread the love

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වැළඳුණු රෝගීන් සම්බන්ධ මුල් විශ්ලේෂණයන්ගෙන් පෙන්නුම්කර තිබුණේ, නව ප්‍රභේදය වැළැක්වීමට එන්නත් එතරම් ඵලදායී වී නැති බව යි.

නමුත්, බූස්ටර් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ගෙන් 75%කට පමණ කොවිඩ් රෝග ලක්ෂණ ඇතිවී නැත.

මේ අතර, පසුගිය දා සංවර්ධිත රටවල ප්‍රධාන අමාත්‍යවරුන් එක්ව පැවති රැස්වීම මුලසුන දැරූ එක්සත් රාජධානියේ නිවාස සහ ප්‍රජා අමාත්‍ය මයිකල් ගෝව්, එක්සත් රාජධානිය “දැඩි ලෙස සැලකිලිමත් විය යුතු තත්ත්වයකට” මුහුණ දෙමින් සිටින බවට අනතුරු ඇඟවූයේ ය.

එක්සත් රාජධානි රජයේ හදිසි තත්ත්ව පිළිබඳ කමිටුවේ රැස්වීමකින් පසුව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සියල්ල “සමානුපාතික” නමුත් අමාත්‍යවරුන් සියලුම දේ “සම්පූර්ණයෙන්ම” සමාලෝචනයට ලක් කරමින් සිටින බව යි.

“ක්‍රියාත්මක වීම අතිශයින්ම අත්‍යවශ්‍ය යි. නව දත්ත ලැබෙනකොට, ඒ දත්තවලට අනුව අප ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැ යි අපි සලකා බලනවා,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

එක්සත් රාජධානියෙන් තහවුරු වූ තවත් ඔමික්‍රෝන් රෝගීන් 448ක් හමුවී ඇති අතර, ඒ සමග මේ වන විට වාර්තා වී ඇති සම්පූර්ණ ඔමික්‍රෝන් සිදුවීම් සංඛ්‍යාව 1265 දක්වා ඉහළ ගොස් තිබේ. සිකුරාදා වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 58 194ක් වන අතර, එය ජනවාරි 9න් පසු වාර්තා වූ ඉහළම සංඛ්‍යාව යි.

එංගලන්තයේ රැකවරණ නිවාස සඳහා වන මාර්ගෝපදේශ යාවත්කාලීන කරන බව ද එරට රජය පවසා තිබේ. එක් නිවැසියෙකු හමුවීමට අවසර ඇති අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීම සහ “වර්තමානයේ ඇති වී ඇති කොවිඩ්-19 අවදානම සමතුලිත කිරීම සඳහා” වැඩි වශයෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම ද මෙයට අයත් වේ.

දැඩි ලෙස විකෘති වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථමයෙන් හමුවූ දා සිට ඇති ප්‍රධාන ගැටලුවක් වූයේ එය එන්නත්වල ඵලදායී බව අඩුකරනු ඇති යන්න යි.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සි වාර්තාව මඟින්, නව ප්‍රභේදයට එරෙහිව එන්නත් කෙතරම් ඵලදායී ද යන්න ගණනය කිරීම සඳහා ඔමික්‍රෝන් රෝගීන් 581කගේ සහ ඩෙල්ටා රෝගීන් දහස් ගණනකගේ දත්ත විශ්ලේෂණය කර තිබේ.

විශ්ලේෂණය පදනම් වී ඇත්තේ සීමිත දත්ත මත වුවත්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායීතාවයේ විශාල පහත වැටීමක් සහ ෆයිසර් මාත්‍රා දෙකක් සඳහා සැලකිය යුතු මට්ටමේ ඵලදායීතාව පහත වැටීමක් ඉන් පෙන්නුම්කර ඇත.

බූස්ටර් මාත්‍රාවකින් පසුව කොවිඩ් රෝග ලක්ෂණවලට එරෙහිව පෙන්වූ 75%ක් වූ ආරක්ෂාව, පෙර ප්‍රභේදවලට එරෙහිව පෙන්වූ ආරක්ෂාව තරම් ඉහළ මට්ටමක පැවතියේ ද නැත.

මොඩර්නා හෝ ජැන්සන් එන්නත්වල ඵලදායීතාව විශ්ලේෂණය කිරීමට ප්‍රමාණවත් දත්ත නොතිබුණ ද, ඒවායේ ප්‍රතිඵල ද මෙයට වඩා වෙනස් වෙතැ යි අනුමාන කිරීමට හේතුවක් නොමැත.

කෙසේ වෙතත් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසන්නේ, රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වන අන්දමේ දරුණු කොවිඩ් තත්ත්වවලට එරෙහිව එන්නත් තවමත් හොඳ ආරක්ෂාවක් ලබා දීමට ඉඩ ඇති බව යි.

මේ වන විට මිලියන 22ක පමණ ජනතාවකට බූස්ටර මාත්‍රාව ලැබී ඇති නමුත්, සෑම කෙනෙකුම බූස්ටර මාත්‍රාව ලබා ගත්ත ද එන්නත් ඵලදායීතාව අඩුවීම නිසා තවත් මිලියන ගණනක් රෝගයට ගොදුරුවීමට ඉඩ තිබේ.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් ලබාගත් ප්‍රතිදේහවල වෛරසයට එරෙහිවීමේ හැකියාව 40 ගුණයකින් අඩුවීමක් පෙන්නුම් කළ අතර, රසායනාගාර අධ්‍යයනයන්ගෙන් සැබෑ ලෝකයේ දත්ත සනාථ වී ඇත.

එනමුත්, කොවිඩ් වැළඳුන ද එන්නත් මඟින් බොහෝදෙනා රෝහල්ගත කිරීමට තරම් අසාධ්‍ය තත්ත්වයකට පත්වීමෙන් වළකනු ඇති බවට තව දුරටත් ශුභවාදී අදහස් පළ වී තිබේ. තත්ත්වයේ බරපතලකම පිළිබඳ දත්ත ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

ඔමික්‍රෝන් රැල්ල එතරම් බරපතල නොවූවත්, එය ගැටලුකාරී විය හැකි ය. විශාල සහ හදිසි රැල්ලක දී, දැනටමත් අවදානමට ලක්ව සිටින සෑම කෙනෙකුටම එකවර රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමේ ඉඩකඩක් තිබේ.

BBC Graph

ඔමික්‍රෝන් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීම, එන්නත් මඟින් ලබා දී ඇති ආරක්ෂාව මෙම ප්‍රභේදයට එරෙහිව ප්‍රමාණවත් නොවන බව දැනටමත් ඉඟිකර තිබේ.

සෑම දින දෙකතුනකටම වරක් ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බව ද මේ වන විට ගණන් බලා ඇත.

එ.රා. සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය ඇස්තමේන්තුගත කරන්නේ දෙසැම්බර් මැද වන විට එරට සියලුම රෝගීන්ගෙන් අඩකට වඩා ඔමික්‍රෝන් ආසාදිතයින් වනු ඇති අතර, ප්‍රභේදයේ පැතිරීම අඛණ්ඩව පැවතුණහොත් මාසය අවසන් වන විට දිනකට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවනු ඇති බව යි.සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ ප්‍රතිශක්තිකරණට පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මේරි රැම්සේ පවසන්නේ, “මේ මුල් ඇස්තමේන්තුව ඉතා සැලකිල්ලෙන් විමසා බැලිය යුතු යි. එයින් පෙන්නුම් කරන්නේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස කිහිපයකට පසුවත්, ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඕමික්‍රෝන් ප්‍රභේදය වැළඳීමේ වැඩි අවදානමක් තිබෙන බව යි.”

“කොවිඩ්-19හි දරුණු සංකූලතාවලට එරෙහිව එන්නත් මඟින් ඉහළ ආරක්ෂාවක් පෙන්වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙනවා. ඔබ තවමත් ඔබේ පළමු මාත්‍රා දෙක ලබාගෙන නැති නම් කරුණාකර වහාම ඒවා ලබාගන්න.”

මෙම පර්යේෂණය සිදුකෙරෙන්නේ එක්සත් රාජධානිය සිය ඔමික්‍රෝන් රෝගීන්ගේ වැඩිවීම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන මොහොතක ය. “කොවිඩ් සුනාමියක්” පිළිබඳව අනතුරු අඟවන ස්කොට්ලන්තයේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටර්ජන්, හුදකලා නීති දැඩිකරමින් නත්තල් සාද සැලසුම් අවලංගු කරන ලෙස ජනතාව දිරිමත්කර තිබේ.

bbc sandesaya