රටට ඩොලර් ගෙනා වෑවලවැල පලතුරු ගම්මානයේ අවනඩුව

රටට ඩොලර් ගෙනා වෑවලවැල පලතුරු ගම්මානයේ අවනඩුව
Spread the love

දඹුල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි  ගොවීහු පවසති.

විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන  කාලයක් තිස්සේ වෑවල වැව ප්‍රදේශයේ ගොවීහු පේර, අඹ, කටු අනෝදා, ගස්ලබු , දෙළුම් ආදී පලතුරු වගාවන් ආරම්භ කොට තිබිණි.

වසරක  පමණ කාලයක සිට පවතින කෘමිනාශක, දියර පොහොර සහ පලතුරු ගස් වලට අවැසි පොහොර වර්ග නොමැතිවීම හේතුවෙන් තම වගාවන්හි නිෂ්පාදන විවිධ කෘමීන්ගෙන් සහ පිටි මකුණන්ගෙන්  විනාශ  වෙමින් පවතින බවත් වසර ගණනාවක් සිට මෙරටට ඩොලර් උපයා දුන් සියලු පලතුරු අස්වැන්න ගස් යට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

පිටි මකුණු රෝගයට හසුව ඇති පේර ගෙඩි

රටේ ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක ඩොලර් රටට ගෙනදුන්  පලතුරු මෙසේ ගස් යට විනාශ වීම නිසා දඹුල්ල්ල වෑවල වැව ප්‍රදේශයේ ඩොලර් ගස් යට වැටී ඇති බව පෙන්වා දෙමින් එම ඩොලර් අහුලාගෙන යන්නැයි ගොවීහු මුදල් අමාත්‍යවරයාට, පාරිභෝගික අමාත්‍යවරයාට මෙන්ම කෘෂිකර්ම  අමාත්‍යවරයාට ද පවසති.

දඹුඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පේර ගොවීන් තම වගාවන් වල අස්වැන්න නෙළන සමය මේ වන විට උදාවී තිබේ. ඔවුන් සඳහන් කර සිටින්නේ පෙරදා ඉතා අලංකාර පෙනුමැති කිලෝ පේර විදේශ රටවලට පැටවීම සඳහා සූදානම් කළ ද මේ වන විට ඒවා දේශීය වෙළඳපොළට ඉතා අඩු මුදලකට මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයින් පැමිණෙන බවය. කෙසේ වෙතත් මීට පෙර එක මුරයකට නෙළාගත් කිලෝ 4000ක පමණ අස්වැන්න මෙවර කිලෝ 800ක් දක්වා අඩුවී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ ආකාරයෙන් අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වී ඇත්තේ පොහොර සහ කෘමිනාශක දියර පොහොර හිඟය නිසා බව ද ඔවුහු පෙන්වා දෙති.

විනාශ වෙමින් පවතින පේර වගාවක්

විදේශීය රටවල් රැසක ඉහළ ඉල්ලුමක් ඇති ටෝම්ජේසි  අඹ වර්ගය මෙම ප්‍රදේශයේ බහුලව වගා කොට තිබේ. කුඩා අවධියේ සිට දැඩි පරිස්සමෙන්  නිෂ්පාදනය කරන මෙම  අඹ ගස්වල විනාශ වී ගස් යට වැටී තිබෙන අයුරු ගොවීහු පෙන්වති. එමෙන්ම කවර වලින් ගෙඩියෙන් ගෙඩිය ආවරණය කොට නිෂ්පාදනය කරන විදේශ විනිමය ගෙනදෙන මෙම අඹ පිටිමකුණා විසින් විනාශ කොට ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

වෑවල වැව ප්‍රදේශයේ විදේශ වෙළ ඳපොළ ඉලක්ක කරගෙන විශාල වශයෙන් කටු අනෝදා වගාව සාර්ථකව සිදු කරමින් සිටි බවත් මේ වන විට එම කටු අනෝදා අස්වැන්න රුපියල් 25කට හෝ අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

කටු අනෝදා ද අලෙවි කිරීමට නොහැකි වී ඇත්තේ එම අස්වැන්න ද පිටිමකුණාගේ සහ කුහුඹුවන්ගේ ප්‍රහාර එල්ල වී ගෙඩි ඉතාමත් අසම්පූර්ණ වීම නිසාවෙන් බව පෙන්වා දෙති.

වෑවල වැව ප්‍රදේශයේ කටු අනෝදා වගා කරන ගොවීන් ද කියා සිටියේ රටේ ඩොලර් හිඟයද විසඳුම දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ පවතින බවය. මුදල් අමාත්‍ය අමාත්‍යවරයාට වෑවල වැවට පැමිණ තම වගාවන් වල වැටී ඇති ඩොලර් කොළ අහුලාගෙන යන්නැයි කටු අනෝදා ගොවීන් ද පැවසූහ.

දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන වෑවලවැව ප්‍රදේශයේ බහුලව ගස්ලබු වගාව ද සිදු කරති. මේ වන විට පවතින පොහොර සහ දියර පොහොර වර්ග නොමැතිවීම නිසා ගස් ලබු ඵලදාව ඉතාමත් හීනවෙමින් ගෙඩි කුඩා වී අලෙවි කර ගැනීමට  නොහැකි තත්ත්වයේ පසුවන බව ගස්ලබූ ගොවීන් පෙන්වා දෙති. ඔවුන් ද කියා සිටියේ විදේශ වෙළෙඳපොළ තියා දේශීය වෙළෙඳපොළ හෝ ගස්ලබු වලට  නොමැති නිසා තම අස්වැන්න වගා  බිම තුළම විනාශ කර දැමීමට සිදුව ඇති බව ය.

විදේශ රටවල අවශ්‍යතාවය ඉලක්කගත කරගෙන පසුගිය කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද  දායකත්වය ඇතිව වෑවෑවල වැව පළතුරු ගම්මානයක් බවට පත් කරමින් විවිධ පලතුරු වගාවට ගොවීන් හුරු කරමින් විශාල වශයෙන් විදේශ විනිමය එම ප්‍රදේශ වලට ලැබී තිබිණි. මෙම ක්‍රියාවලිය නිසා සිදුව ඇත්තේ පලතුරු ගොවීන්ට දැඩි ආර්ථික පීඩනයක් බව ඔවුහු පවසති.

ජේ. එම්. දසනායක ගොවි මහතා

පේර වගා කරන ගොවියෙකු වූ  ජේ. එම්. දසනායක මහතා. ” අපි වසර ගණනාවක් ඉදලා පේර වගා කරලා තියෙනවාවා, මම අක්කර හතරකට වැඩිය වගා කරලා  තියෙන්නෙ. ඒ දවස් වල එක  මුරයකට කිලෝ හාර දහසකට වැඩිය ප්‍රමාණයක් අස්වනු ගත්තා. දැන් අපි ලබාගන්නේ කිලෝ හය හත්සීයක්. ඒකත් බොහොම අමාරුවෙන්. ඒවත් විශාල වශයෙන් විනාශ වෙනවා. මේවා ඇපල් වගේ හරිම ලස්සනයි. හැබැයි දැන් වකුටු ගැහිලා. මිනිස්සු සල්ලි දීල මේ පේර අරගන්නෙ නෑ. ඒ වගේම තමයි පේර පිටරට ගෙනියන්න තමයි අපෙන් ගත්තේ. අවසාන්යේදී දැන් රට යවන්න තියා ලංකාවේවත් මිනිස්සු ගන්නෙ නෑ. පහුගිය දවස් වල පෙර වලට හොඳ ඉල්ලුමක් වගේම මිලක් තිබ්බා. දැන් මිල අඩුවෙලා ඉල්ලුමත් අඩුවෙලා.”

“මේක කියන්න කෙනෙක් නෑ. අපි වගාවට  හුරු වුණේ රසායනික පොහොර දියර පොහොර සහ පලතුරු වලට වෙනම පෝර දාලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි අපිව මේවට හුරු කළේ. දැන් කාබනික පොහොර සහ අනෙකුත් දේවල් යොදන්න කිව්වට අපට මොනවද යොදන්නේ කියලා තාම කිසිම කෙනෙක් ඇවිල්ලා කියලා දීලා නෑ. ඒ නිසා අපි කියන්නේ  රසායනික පොහොර නැත්නම් පිටි මකුණු මේ කුහුබුවන් මර්ධනය කරලා ගෙඩිය ලස්සන වෙන්න මොනවද කරන්න ඕන කියලා කියලා දෙන්න. එහෙම නැතුව අපිට වෙන කරන්න දෙයක් නෑ. සිද්ධ වෙන්නේ පේර ගස් ටික ඔක්කොම කපලා දාලා වෙන මොනව හරි වගා කරන්න.”

සුනිල් කුලරත්න පළතුරු ගොවි මහතා

ටොම්ජේසි, අඹ සහ පේර වගා කොට ඇති ගොවියෙකු වූ සුනිල් කුලරත්න මහතා –  “වෑවලවැව කියන්නේ එළවළු වගේම පලතුරු වගාකරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වලා දීලා තියෙන කෘෂි ගම්මානයක්. අපේ බොහෝ දෙනෙක් ටොම්ජේසි අඹ වගා කළා. ඒ වගේම පේර, කටු අනෝදා, ගස්ලබු, දෙළුම් ආදී ගොඩක් වගා කරලා තියෙනවා. මගේ අක්කර 10ක් විතර තියෙනවා පලතුරු. අවසානයේදී මේ දවස් වල සිද්ධ වෙලා තියෙන්නේ ඩොලර් ගෙනාපු වගාව සියල්ල වගා බිමේ ම විනාශ වෙනවා දකින්න “

“අපි රජයෙන් රස්සා ඉල්ල ගෙන ගියේ නෑ.  වෙනත් වරප්‍රසාද ඉල්ලුවෙත් නෑ. රටට අවශ්‍ය ඩොලර් ගෙනාවා ගමේ ඉඳ.ලා දැන් මේ ඩොලර් කොළ ඔක්කොම ගස් යට විනාශ වෙනවා‍. බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට, කෘෂි කෘෂිකර්ම ඇමතිතුමාට වගේම මුදල් ඇමතිතුමාටත්, රජයටත් අපි කියනවා වෑවල වැව පලතුරු ගම්මානයේ  ඕනෑ තරම් ඩොලර් වැටිලා තියෙනවා ඒවා අහුලගෙන යන්න කියලා. වෙන කියන්න දෙයක් නෑ. අපිට පොහොර  හදාගන්න විදිහක් නෑ. පොහොර සල්ලි වලට ගන්නවත් නෑ. ඇතැම් තැන්වල පොහොර මිටියක් රුපියල් පහළොස් දහසකටත් වැඩිය ගාණකට විකුනන්නේ. ඒ වගේම කෘමිනාශක ෙහොර රහසේ ගෙනල්ලා විකුනනවා. ඒවා හොයල බලන්නෙ නෑ. මිල අහන්නවත් බෑ. ඒ තරම් මිලයි. මුහුදෙන් පිටරටවල් වලින්  ගෙනල්ලා වැඩි මුදලට විකුණනවා. අද අපේ පළාත් හොර පොහොර කෘමිනාශක ගේන ජාවාරම්කරුවන්ට තෝතැන්නක් වෙලා. අපිට තේරෙන්නෑ රජයට මේවා තේරෙන් නැද්ද කියලා. ඕනෑ තරම් රටේ ආරක්ෂක අංශ ඉන්නවා, බුද්ධි අංශ ඉන්නවා හොයලා බලන්න කොහොමද මේවා එන්නේ කියලා. එහෙම නම් ඒ එන ඒවා වත් අඩුම තරමේ මේ ගොවීන්ට දෙන්න කියන්න.”

ඊ. ඒ. ගුණවර්ධන ගොවි මහතා  – “ගොවීන් කම්මැලියෝ නෙවෙයි. වැඩ කරලා මේ රටට ඩොලර් ගෙන එන පලතුරු ගම්මානෙට මේ වගේ කරන්න එපා. මොකද අපි ලංකාවේ වෙළෙඳපොළ බලාගෙන පලතුරු වගා කරපු මිනිස්සු නෙවෙයි. විදේශ රටවල්වල අවශ්‍යතාවයට ඉතා අලංකාරව, ගුණාත්මකව තමයි අපි වගා කරන්නේ. මොකද ජේසි අඹ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. පිටිමකුණු ඇවිල්ලා, කුහුඹුවෝ  ඇවිල්ලා ගස් යටම විනාශ වෙනවා. විශාල මුදලක් වියදම් වෙනවා මේවා ගෙඩියෙන් ගෙඩිය රකින්න. ඒ නිසා රජයේ වගකීමක් තමයි ඩොලර් නැති වෙලාවක මේ පලතුරු පිටරට යවලා ඩොලර් ගෙන්න  ගන්න එක. ඒත් ඉතිං කාටද කියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. කිසිම බලධාරියෙක් ඇවිල්ලා හොයලා බලලා හෝ දේශීය නිෂ්පාදන කරන පොහොර දියර පොහොර කෘමි මර්දන කරන්නේ  කොහොමද කියලා අපට කියලා දීලා නැහැ. ඒ නිසා අපි මේවා දන්නේ නෑ.”

පලතුරු වගා ගොවියෙකු වූ උපුල් කුමාර මහතා. ” අපි තරුණ ගොවියෝ හරිම සතුටෙන් තමයි වගාවට බැස්සේ. අපි වෙන රස්සාවක් සොයාගෙන  පිටරටවල්වල යන්නේ නෑ. රටේ  තරුණයෝ  රට යන්න පොරකන වෙලාවක අපේ ගම්වල තරුණයෝ ඉගෙන ගෙන රස්සා  හොයා ගෙන ගියේ නෑ. ගමේ ඉඳලා රටට ඩොලර් ගෙනාවා. අද සිද්ධ වෙලා තියෙන්නේ අපපේ ඩොලර් ගස් යට කුණුවෙලා වෙලා විනාශ වෙනවා. හැබැයි රජයට මේවා පේන්නේ නෑ. සමහර විට ඕනෑ තරම් කෘෂි නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ගම්වල ඉන්නවා. ඒ අයවත් ඔය ඇමතිවරුන්ට කියලා දෙන්න ඕන මේ වගේ විශාල මහා පරිමාණයේ වගාවන් වල අස්වැන්න රට යවලා ඩොලර් ගේනවා කියලා.”

උපුල් කුමාර තරුණ ගොවි මහතා

“අද කටු අනෝදා කිලෝවක් රුපියල් 25කට වත් විකුණන්න බෑ. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පිටිමකුණා ගහලා. කටු අනෝදා වලට පුදුමාකාර ඉල්ලුම්ක් තිබුණේ පිටරටවල් වල. දැන් ලංකාවෙවත් විකුණන්නත් බෑ. ඒ වගේම තමයි ගස්ලබුවලට පිටරටවල්වල ඉල්ලුම තිබුණා. දැන් ඒවා ගස්ලබු නෙවෙයි පුවක් ගෙඩි වගේ ගස් යටම කුණුවෙලා විනාශ වෙනවා. මේවා දකිනකොට ඇත්තටම තරුණයන් හැටියටයට හරිම දුක්ක් වේදනාවක් දැනෙන්නේ. මේ විනාස වෙන්නෙ අපේ රටේ සල්ලි. විදේශ රටවල් වලින් එන සල්ලි. හැබැයි ඩොලර් නෑ කියලා අඬ අඬ ඉන්නේ. මේ වෙලාවේ අඩුම තරමේ අපනයනය කරන පලතුරු වගාවන්වලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා රසායනික පොහොර වර්ග, කෘමිනාශක වර්ග ලබා දෙන්න බැරි නම් අඩුම තරමේ දේශීයව මේ තත්ත්වය ගොඩනඟා ගන්න උදව් කරන්න කියලයි ඉල්ලන්නේ.”

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස