තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. නිරෝෂා කියූ පුදුම කථාව….

Spread the love
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම ඇගේ අභ්‍යන්තරය ගැනත්මනා අවබෝධයක් ලබාගත හැකියි. 
 
“ඉරෝෂයි නිරෝෂයි“, ‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්ස්’, “ෂෝ ටයිම් විත් නිරෝ’, “හැපි අවර් විත් නිරෝ” මේ හැම වැඩසටහනකටම නම දා ගන්නේ ජනප්‍රිය වෙන්නද? 
(හිනැහී) ඔය කිසිම වැඩසටහනකට මගේ නම යොදන්න කියලා මම ඒ නාලිකාවලටවත් නිෂ්පාදන අංශවලටවත් කිසිම බලපෑමක් කරලා නැහැ. මගේ නම ඒ වැඩසටහනට ආලෝකයක් එකතු කරනවා ඇති. ඒක වෙන්න ඇති මගේ නමින්ම මගේ වැඩසටහන් කරන්නේ. 
 
මේ හැම වැඩසටහනක්ම විනෝදාත්මක වැඩසටහන්. ශාස්ත්‍රීය වැඩසටහන් කරන්න දැනුමක් නිරෝෂාට නැද්ද? 
මගේ දැනුම ගැන ආත්ම විශ්වාසයක් මට තියෙනවා. ගොඩක් අය යම් හැදෑරීමක් කරන්නේ ඒ තුළින් රැකියාවකට යන්න. ගණකාධිකරණය හදාරන අය බැංකුවලට යනවා. විද්‍යාව හදාරලා වෛද්‍යවරු වෙනවා. මම දැනුම එකතු කරගනිමින් අධ්‍යාපනය ලබමින් විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ලැබෙන විවේකය මොකක් හෝ හැදෑරීමක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මම මහ ලොකු වැඩ ගොඩක් භාරගන්නේ නැහැ. “සෙවණැලි“ හා “කන්දක් සේමා” චිත්‍රපට කරලා ඉවරයි. මේ දවස්වල මම ටිකක් විවේකී සුවයෙන් ඉන්නේ. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද දන්නවාද? විවේකීව ගෙවන මේ දින කිහිපය තුළ හදාරන්නේ මොනවාද කියන එක. 
 
මේ වන විට නිරෝෂා හදාරලා තියෙන්නේ මොනවාද? 
මම ඉගෙන ගත්ත දේවල් මාධ්‍යයට කියන්න මම කැමැති නැහැ. ඒත් අහපු හින්දා මම කියන්නම්. මම බැ‍ලේ, උඩරට නැටුම්, බටහිර නර්තනය, ඉන්දියන් නැටුම් හදාරලා පියානෝ, ගැටබෙර, යක්බෙර වාදනය හදාරලා තියෙනවා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ හා ජපන් භාෂා හදාරලා තියෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හදාරලා තියෙනවා. භරත නාට්‍යයම් ස්පැනිෂ් හා ඉතාලි භාෂා දෙක තරමක් දුරට හදාරලා තියෙනවා. 
 
නිරෝෂා මනෝ විද්‍යා උපදේශකවරියක් විදියට කටයුතු කරනවා කියන එක නම් හැමෝම දන්නේ නැහැ නේද?
ඉස්කෝලෙ යන කා‍ලේ ඉඳන් යාළුවෝ එයාලට ප්‍රශ්නයක් ආවාම කියන්නේ මටයි. නිරෝෂාට ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියලයි හැමෝම කියන්නේ. ඒ හින්දාමයි මට හිතුණේ මනෝ විද්‍යාව හදාරන්න. මම මනෝ විද්‍යා උපදේශනය දෙනවා තමයි. හැබැයි සතයක්වත් අය කරන්නේ නැහැ. දන්න අඳුනන අයටයි උපදෙස්. මා සොයා එන අයටත් මම දෙනවා. හැබැයි අනාගතේ දවසක මම වෘත්තීය මට්ටමේ මනෝ විද්‍යා උපදේශකවරියක් වෙන්නත් බැරි නැහැ. 
 
මනෝ විද්‍යා උපදේශනය වෙනස්ම අත්දැකීම් රැසක් නිරෝෂාට ඇති?
මනෝ විද්‍යා උපදේශනයේදි ප්‍රධානතම දේ තමයි තමන් ළඟට එන අයගේ රහස්‍යභාවය රැකීම. තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු අයටත් මම උපදෙස් දීලා හිත් හදලා තියෙනවා. ගොඩක් තරුණ ළමයින්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්න. ගෑනු ළමයි එක්ක විවෘතව ඒ ගැන කතා කළත් මාත් එක්ක කෙළින් ඒ වගේ දේවල් කතා කරන්න පිරිමි ළමයි එන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න දීර්ඝව ලියලා දෙන පිරිමි ළමයි ඉන්නවා. සමහර වෙලාවට හරිම සුළු ප්‍රශ්න මහ ලොකු ප්‍රශ්න කරගෙන විඳවන අයත් ඉන්නවා.
 
ජනප්‍රිය චරිත තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් ගන්න නිරෝෂා ළඟට ඇවිත් නැද්ද? 
මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ. 
 
ඔයාගේ නංගි ඉරෝෂා දැන් පේන්න නැත්තේ ඇයි? 
එයා අපේ පවු‍ලේ ව්‍යාපාර බලා ගන්නවා. මටත් වඩා රඟපෑමේ ආරාධනා ඉරෝෂාට එනවා. ඒත් එයා රඟපාන්නයි නිවේදනයටයි වැඩි කැමැත්තක් නැහැ.
 
නිරෝෂයි ඉරෝෂයි තවම තනිකඩයි. විවාහ වෙන්න කියලා අම්මා බලපෑම් කරන්නේ නැද්ද?
මට නම් බලපෑම් අඩුයි.බොහෝ විට මට කලින් ඉරෝෂා විවාහ වෙයි. 
 
ඒ කියන්නේ ඉරෝෂට පෙම්වතෙක් ඉන්නවා….?
මගේ පෞද්ගලිකත්වයවත් මාධ්‍යයට කියන්න අකමැති මම ඉරෝෂාගේ විවාහය ගැන කොහොමද කියන්නේ. ඒ ගැන එයාගෙන් අහන්න. 
 
එහෙනම් නිරෝෂාගේ විවාහය ගැන කතා කරමු
හෙට මම විවාහ වෙන්නත් පුළුවන්. සදාකාලිකව තනිකඩව ඉන්නත් පුළුවන්. 
 
ඇයි ඒ දෙගිඩියාව?
කෙනෙකුගේ බිරිඳ වෙලා එයාටම ජීවිතේ කැප කරනවා කියන්නේ ලොකු දෙයක්. මගේ හැමදේම අතෑරලා ඒ වගේ කැප කිරීමක් කරන්න නම් එයා මට සුවිශේෂ කෙනෙක් විය යුතුයි. මොන හේතුවක්ද මන්දා ඒ තරම් සුවිශේෂී කෙනෙක් මට හමුවෙලාම නැහැ. එහෙම කෙනෙක් හමුවුණොත් මේ හැමදේම දාලා එයාගේ බිරිඳ වෙනවා. 
 
නිරෝෂාට පෙම්වතෙක් නැහැ කියලද ඔය කියන්න හදන්නේ?
(හිනැහී) මේ වෙනකොට නම් ඒ වගේ කෙනෙක් නැහැ.
 
ප්‍රේමවන්තයෙක් ඉඳලා තියෙනවාද? 
මේ කතාව මම කාටවත් නොකියපු රහසක් අද වන තුරු මගේ හිතේ විතරයි තිබුණේ. ඒ රහස මම කියන්නම්. තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. එයාට විතරයි මම ආකර්ෂණය වුණේ. අනිත් හැමෝම මට ආකර්ෂණය වෙලා මගේ පස්සෙන් ආපු අය. ඒ අයව මම අදටත් ගණන් ගන්නේ නැහැ. 
 
ආරියවංශ කුලතිලක 
[rns_reactions]