වකුගඩුවක් ගලවා දෙනතුරු සෞදියේ හිරකරගෙන සිටින ‍ඉන්ද්‍ර‍ාකාන්ති!

Spread the love

වකුගඩුවක් දෙනතුරු නැවත මෙරටට ඒමට නොදී සෞදි අරාබියේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියෝ තිදෙනෙක් රජයෙන් ඉල්ලා සිටිනවා. මෙසේ සෞදි අරාබියේ නිවසක සිරකර ඇත්තේ දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නම් වූ 36 හැවිරිදි තිදරු මවකි.

මේ මව තමන් පත්ව ඇති අනතුර පිළිබඳව ඉතා කෙටියෙන් සදහන් කොට කුඩා වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබිණි.

පියා අහිමි දියණියන් තිදෙනා දැඩි ආර්ථික දුෂ්කරතා මැද සිය මිත්තනිය වූ ස්වර්ණා ජයසිංහ මහත්මිය සමග හැඬූ කඳුලින් ජිවත්වනවා .මෙහිදී සෞදි අරාබියේ සිරකර සිටින ඉන්ද්‍රකාන්ති අන්තර් ජාලය හරහා සම්බන්ධකරගත්ස අවස්ථාවේ යෝගය ලැබිණ. ඇය තමන්ට සිදුවී ඇති විපත ගැන මෙසේ කීවාය .

“මම මෙහෙ ඇවිල්ල දැන් අවුරුදු දෙකකට වැඩි. මේ ගෙදර බාබලා (ස්වාමියා) මට කියනවා මගේ වකුගඩුව දෙන්නලු ඒ අයගේ කෙනකුට බද්ධ කරන්න. මට ලංකාවට යන්න දෙන්නේ නෑ වකුගඩුව දෙනතුරු”

“වකුගඩුව ගලවලා මාව මෙහේ මිනිහෙකුට බන්දලා දෙනවලු. මම ඒකට අකමැති නිසා මට ගහනවා, කන්න දෙන්නේ නෑ. දැන් මාස කීපයක ඉදලා පඩිය දෙන්නේ නෑ. කන්න නැතිව ඉන්නකොට මම අවස්ථා කීපයක් රෝහල් ගත කළා. මෙයාල කියන්නේ වකුගඩුව ගලවාගන්න කැමති වෙන්නලු .ඉතින් මට මගේ දරුවෝ නැතිව ඉන්න බැහැ “

කුඩා දියණියන් දෙදෙනොගේ පාසල් ගමනද මේ වනවිට නැවතී තිබෙනවා. සිය මව විසින් එවන ලද මුදල් වලින් නිවසක් කුලියට ගෙන සිටින බවත් දැන් මුදල් නොමැති නිසා සියල්ල අහිමි වී ඇති බවත් දරුවන් පැවසුවා.
මේ දරුවන්ගේ මිත්තනිය වන ස්වර්ණා ජයසිංහ පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළ බවත් ඒ අවස්ථාවේ වකුගඩු ඉල්ලන කතාව නොකියන ලෙස දැනුම් දුන් බවය. කෙසේ වෙතත් මෙතෙක් එම පැමිණිල්ල විභාග නොකළ බවද ඇය පැවසුවා.

පසුව අප මේ පිළිබදව විදේශසේවා නියුක්ති කාර්යංශය මාධ්‍ය ප්‍රකාශක උපාලි දේශප්‍රියගෙන් විමසීමේදී ඒ මහතා කිවේ එම පැමිණිල්ල තමන්ට නොලැබුණු බවයි. තමන් මේ ගැන කඩිනමින් සොයා බලා දන්වන බවද ඔහු පැවසුවා.

 

[rns_reactions]