හර්ෂණ – වොල්ගා කැදැල්ලේ ෆේස්බුක් අවනඩුව

Spread the love

 

හර්ෂණ මොකක්ද මේ ෆේස්බුක් අවනඩුව?

මම ෆේස්බුක් එකේ නැහැ. මගේ බිරිඳ වොල්ගත් නැහැ. නමුත් අපේ පිංතූර දාගෙන කවුදෝ පෙනී සිටිනවා. මගෙ යාළුවො එහෙම හමුවුනාම ආ ඔයා ඊයේ චැට් කළානෙ අපි එක්ක. ඇයි අර වගේ පිංතූර එහෙම දාන්නෙ කියලා ඇහුවාම තමයි අපි ඒ සිදුවීම දැනගත්තෙ. කොහොම හරි මම යාළුවන් හරහා අපේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයින්ව දැනුම්වත් කළා. කවුරු නමුත් මායි වොල්ගයි ජීවත්වන විදියට ඊර්ෂ්‍යා කරන මානසික අසහනකාරී කෙනෙක් තමයි එහෙම කරනවා ඇත්තෙ. මොකද යහපත් මිනිසෙක් කවදාවත් අනෙක් කෙනෙකුගේ ජීවිතයට අගෞරවයක් වන විදියට කටයුතු කරන්නෙ නැහැ.

තරහකාරයින් ඔබට ඉන්නවද?

මම දන්නා තරමින් නම් එහෙම නැහැ. මම හිතන්නෙ එහෙමයි. ඒත් තරහකාරයින් ඉන්නවා නම්? ඒ අපි දෙන්නගෙ හැකියාවට, ඉන්න විදියට ඊර්ෂ්‍යා කරන නිසා වෙන්න ඇති.

වොල්ගා ඔබට තරහකාරයින් ඉන්නවද?

මට පුද්ගලිකව තරහාකාරයෝ කියලා හිටියෙ නැහැ. ඒත් අපි දෙන්නගෙ විවාහයෙන් පසුව, කසාදයක් කරගන්න බැරි, හරිහමන් බිරිඳක් නැති, රස්තියාදුකාර චරිත තමයි ඔය විදියට කරනවා ඇත්ත. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් කවදාවත් ඔය වගේ පහත් වැඩ කරන්නෙ නැහැ. තමන්ට දෙයක් කර ගන්න බැරි මිනිස්සු තමයි ඔහොම කරන්නෙ.

වොල්ගා’’ ඔබ හර්ෂණ එක්ක විවාහයට පෙර ඒ කාලයේ ජීවිතය ගත කළ හැටි සිහිපත් කළොත්?

පාසල් කාලයේදි මම ටිකක් දඟකාර චරිතයක් වුණා. ඒත් වැරදි වැඩ මොනවත් කළේ නැහැ. මගේ මිතුරියකට පෙම්වතෙක් සිටියා නම්? අනේ මටත් පෙම්වතෙක් හිටියොත් හොඳයි කියලා හිතිච්ච අවස්ථා තිබුණා. ඒත් මගේ ජීවිතයේ මට මගේ තාත්තා වගේ රැකවරණය, සෙනෙහස ඇතිව මට ආදරය හිමිවුණේ හර්ෂණගෙන්. ඒක මගේ ප‍්‍රථම පේ‍්‍රමය වගේම විවාහයෙන් කෙළවර වුණා. ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි. මගේ තාත්තාගෙන් පසුව ඒ ගුණාංග ඇති මා දුටු එකම පිරිමියා හර්ෂණයි. මට දැඩි ලෙස ආදරය කරනවා.

‘‘හර්ෂණ’’ ඇයි දැඩි ලෙස ආදරය කරන්නෙ?

විවාහ ජීවිතයට එළැඹුනාම දෙදෙනාට දෙන්නාම විතරයි. අම්මා – තාත්තා වගේම වටපිටාවේ සිටි ඥාතීන් පවා අපෙන් දුරස් වෙනවා. නමුත් ජීවිතේ වැටීම්, නැගිටීම්, දුක – සැප, පරාජයන් මේ සියල්ල වගේම අසනීපයක් වුණත් අන්තිමට ළඟ ඉන්නෙ බිරිඳ විතරයි. වොල්ගා කවදාවත් වෙනස්වන කෙනෙක් නෙවෙයි. එයාටත් ආදරය ගොඩාක් අවශ්‍යයි. කවදාවත් එයා එහෙම වෙනස් වන කෙනෙක් නෙවෙයි. එයා මට පුදුම විදියට ආදරෙයි. අපි දෙන්නට දෙන්නා නොසෑහෙන්න ආදරය කරමින් තමයි ජීවත් න්නෙ. මැරෙන මොහොතෙන් අපි දෙන්නට දෙන්නා ඒ විදියට බැඳී සිටිය යුතුයි කියලයි අපි දෙන්නා හිතන්නෙ.

දැන් ඔබ දෙපෙළගෙ විවාහයේ පළමු සංවත්සරය සමරන්න නේද සූදානම් වන්නෙ?

මේ මැයි මාසෙට අපි විවාහ වෙලා අවුරුද්දයි. ඒක ඇත්තටම අපි සමරන්න තමයි හදන්නෙ.

‘වොල්ගා’’ මොන විදියට එය සමරන්නද හදන්නෙ?

සමහර වෙලාවට අපේ යාළුවො විහිළුවට අහනවනෙ ‘‘ආයෙ බඳින්නෙ නැද්ද?’’ කියලා. ඉතින් අපි මොකක්ද කරන්න හදන්නෙ කියලා දැන්ම කියන්නෙ නැහැ. මැයි මාසයේදි ඒ ගැන කියන්නම්.

වොල්ගා, සැමියා ගැන අද ඔබට හැ‍ඟෙන්නෙ මොන විදියටද?

අපි දෙන්නගෙ හමුවට වසර ගණනාවක් වෙනවා. කුඩා කාලයේදිම අපි දැන ගෙන හිටියා. පසු කාලයක යාළුවෝ වුණා. ඉන්පසුව පෙම්වතුන් වුණා. දැන් විවාහකයි. අමුත්තක් නැහැ.

එදා ඉඳලා දැකලා – දැකලා එපා වෙලා නැද්ද කියලා කවුරුහරි ඇහුවොත්?

ඒක තමයි ප‍්‍රශ්නෙ. හර්ෂණ කියන්නෙ හරියට ඊයේ හමුවුණා වගේ කියලයි. ඒක ඇත්තටම හරි පුදුම දෙයක්. හර්ෂණ හරි නිර්මාණශීලීි චරිතයක්. ඉතින් අපි දෙන්නගෙ ආදරය පවා අර්ථාන්විත කරන්න එයාට පුළුවනි. අනෙක අපි දෙන්නා යාළුවොත් වගේනෙ. ඒ නිසා හරි ප‍්‍රීතිමත්.

හර්ෂණ එය ඔබට හැගෙන්නෙ මොන විදිහටද?

ජීවිතයේ නිතරම දකින කෙනා එපාවෙනවා. කරන දේ එපා වෙනවා. ඔන්න එතකොට තමයි වෙන වෙන දේ කෙරෙහි හිත ගිහින් ජීවිතය විනාශ වන්නෙ. ඒ නිසා එක දිගට අපට ෂූටිං ගිහින් ඉඳලා මහන්සි නම් ඒක ඒකාකාරි වගේ නම් එක පාරටම අපි දෙන්නා කොහේ හරි සංචාරයක යෙදෙනවා. ඒක කලින් ප්ලෑන් කරලා කරන දෙයක් නෙවෙයි. ජීවිතය ඒ විදියට ගත නොකළොත් තමයි ඒකාකාරී වෙන්නෙ. ඒකාකාරී නොවීමට අපිට සැළැස්මක් අවශ්‍ය නැහැ. නමුත් යම්කිසි ක‍්‍රමවේදයක් අවශ්‍යයි.

දවස සැළසුම් කරගෙනද ජීවිතය ගත කරන්නෙ?

අනිවාර්යයෙන්ම අපි දෙන්නා හෙට දවස අද ප්ලෑන් කරනවා. ඒ කාල සටහනට අනුව ගියාම හරි ලෙහෙසියි.

හර්ෂණ කැමතිම කෑම වේල වොල්ගා හදනවා වගේම වොල්ගා කැමති කෑම වේලත් හර්ෂණ හදලා දෙනවා කියන්නෙ?

ඔව්. ඒක අපි දෙන්නා කැමැත්තෙන් කරන අවස්ථා තියෙනවා. ඕක නිතරම සිද්ද වෙන්නෙ නැහැ. මාසයකට සැරයක් වගේ වෙන්නෙ. නැත්නම් බොහෝ දවස්වලට අපි එක්කෝ අපේ අක්කලගෙ ගෙදරින් කන්නෙ. මොකද කාර්ය බහුල නිසා. පිටතින් අවන්හලකට ගිහින් කෑම කන්නෙ නැහැ කියලා කොච්චර ප්ලෑන් කළත් අපි දෙන්න කාර්ය බහුල වුණොත් එළියට ගිහින් කෑම කාලා එනවා.

ඒ වගේ අවස්ථාවලදි දෙන්නගෙ රුචි – අරුචිකම් මොන වගේද?

මම කැමතිදේට වඩා වොල්ගා කැමති දේ වෙනස්. ඉතින් එයා කැමති වට්ටෝරුව ඕඩර් කළාම අන්තිමට මගේ කෑම එකත් එයා කනවා. දෙන්නාම ඔහොම තමයි ඉතින්. අන්තිමට වෙලාවකට එයා ඕඩර් කළ එක මම කනවා. දෙන්ටම හිනා ඉතින්.

දෙන්නා ළඟ පැරණි ගීත එකතුවකුත් තියෙනව නේද?

ඔව්. දෙන්නගෙම තේරීම් බොහෝ වෙලාවට එක වගේ වෙනවා.

සටහන සඳුන් ගමගේ