ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලකට අලෙවි නොකළහොත් ලබන සතියේ පාන් සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බේකරි හිමියන්ට ඊයේ (28) අනතුරු ඇඟවීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්යක්ෂ සංජය ඉරසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විදුලිය සහ ඉන්ධන සඳහා සහන ලබාදී ඇති අතර එහි ප්‍රතිලාභය පාන් රුපියල් 130ට අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් වෙත ලබාදිය යුතු බවයි.
“මිල අඩු කිරීමට පෙර පාන් ගෙඩියක සිල්ලර මිල රුපියල් 140ක් වුණා. මිල අඩු කිරීමෙන් පසු එය රුපියල් 130ක් විය යුතුයි. නමුත් සමහර ප්‍රදේශවල පාන් රුපියල් 150ට අලෙවි කරන අතර දැන් ඒවායේ මිල රුපියල් 140ක්ව තිබෙනවා. මෙය පිළිගත නොහැකි යි. ග්‍රෑම් 450කය පාන් ගෙඩියක සිල්ලර මිල රුපියල් 130 ක් විය යුතුයි‘‘
එම නිසා රුපියල් 130ක උපරිම සිල්ලර මිලකට පාන් අලෙවි කරන ලෙස වෙළෙඳුන්ට සහ බේකරිවලට දැනුම් දීමට අධිකාරිය තීරණය කර ඇත.
“අපි මේ සතිය ඇතුළත මිල ගණන් පරීක්ෂා කරනවා. මිල අඩු නොකළහොත් ලබන සතිය වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් බේකරි සඳහා පාලන මිලක් පනවනවා. රුපියල් 130ක පාලන මිලක් පැනවීමෙන් පසු එම අගය කඩ කරන බේකරි හිමියන්ට සහ වෙළඳුන්ට රුපියල් 100,000 ක උපරිම දඩයක් සහ මහා පරිමාණ සමාගම් හෝ බේකරි සඳහා දඩ මුදල රුපියල් 500,000ක් ගෙවීමට සිදුවිය හැකියි‘
ඉන්ධන සහ විදුලි මිල අඩු කිරීමේ ලාභය උපරිම කර ගැනීමට උත්සාහ නොකර එහි ප්රතිලාභ පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙස ඔහු බේකරි හිමියන්ගෙන් සහ වෙළඳුන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ නොමැති නම්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විමර්ශනයක් සිදු කර නිෂ්පාදන පිරිවැය සහ ලාභ ආන්තිකය සලකා බලා මිලක් ප්‍රකාශයට පත් කරන බව ඔහු අවධාරණය කළේය.