ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 දා) පස්වරුවේදී තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 177 ක් ලබා සමස්ථ තරගයේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187 කින් පෙරමුණට පැමිණිමට සමත්විය.
තරගය නිමා කරන විට පළමු ඉනිමේදී ශතක ලාභීන් දෙදෙනා වූ නායක නජ්මුල් හොසේන් ශැන්ටෝ ලකුණු 56 ක්ද හිටපු නායක මුෂ්ෆිකර් රහීම් ලකුණු 22 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
කඩුලු 4 ක් දැවී ලකුණ 368 ක් ලබා සිව්වැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම දිවා භෝජනයෙන් මද වේලාවකට පසු ලකුණු 485 කදී නිමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ. දිනය ආරම්භයේදී වේලාසනම ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රබල පිතිකරුවන් සිව් දෙනෙකු දැවී ගියද කමිඳු මෙන්ඩිස්ට එක් වූ මිලාන් රත්නායක 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමේ වැඩි කාර්යය භාරයක් ඉටු කළහ.
දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා පිල සතුව කඩුලු 6 ක් ඉතිරිව තිබියදී මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව හැරුණු කොට සෙසු පිතිකරුවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි. මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් තම ටෙස්ට් තරග දිවියේ හය වැනි ශතකය ආසන්නයට පැමිණ අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු 148 කට මුහුණ දුන් වමත් පිතිකරුවා තම ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් කර තිබුණේය.
මෑතක සිට තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ අඩුව පිරිමසමින් ක්‍රීඩාවේ නියැළෙන මිලාන් රත්නායක ලකුණු 39 ක් ලබා ගත්තේ තමන් එම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානයට හොඳම ආදේශකයා වන බවට ඉඟි පළ කරමිනි. මේ වන විටත් අර්ධ ශතකයකට හිමිකම් කියන වමත් පිතිකරුවා තම ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහරකින් වර්ණවත් කර ගත්තේය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නයීම් හසන් ලකුණු 121 ක් ඇතුළත කඩලු 5 ක් බිඳ හෙළුවේය. බංග්ලාදේශ පන්දු යවන්නා එසේ දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 50 ට වැඩි ඉනිම අවස්ථා 10 ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට සමත්වූවේය. කමිඳු විසින් මෙම දක්ෂතාවය දක්වන ලද්දේ ක්‍රීඩා කරන ලද 22 වැනි ඉනිමේදී විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ රෝයි ඩයස් වන අතර ඔහු මීට වසර 40 කට පෙර ඉනිම 23 කදී මෙම වාර්තාව පිහිටුවා තිබුණේය.
බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 153.4කදී සියලු දෙනා දැවී ලකුණු 495 යි – (නජ්මුල් හොසේන් ශන්ටෝ 148, මුෂ්ෆිකර් රහීම් 163, ශද්මන් ඉස්ලාම් 14, අනමුල් හක් 00, මොමිනුල් හක් 29, ලිටන් දාස් 90, ජකර් අලී 08, නයීම් හසන් 11, ටයිජුල් ඉස්ලාම් 06, හසන් මහමුදු 07*, නහිඩ් රානා 00, තරිඳු රත්නායක 193/3, අසිත ප්‍රනාන්දු 86/4, මිලාන් රත්නායක 39/3, ප්‍රභාත් ජයසූරිය 154/0, ධනංජය ද සිල්වා 7/0)
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම පන්දු වාර 131.2 කදී සියලු දෙනා දැවී ලකුණු 465 යි – පැතුම් නිශ්ශංක 187, ළහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් නොදැවී 87, ධනංජය ද සිල්වා 19, කුසල් මෙන්ඩිස් 05, මිලාන් රත්නායක 39, තරිඳු රත්නායක 00, ප්‍රභාත් ජයසූරිය 11*, අසිත ප්‍රනාන්දු 04, හසාන් මහමුද් 74/3, තයිජුල් ඉස්ලාම් 156/1, නයීම් සහන් 121/5, මොමිනුල් හක් 28/1)
බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 57 කදී කඩුලු 3 ක් දැවී ලකුනු 177 යි – (ශද්මන් ඉස්ලාම් 76, අනමුල් හක් 04, මොමිනුල් හක් 14, නජ්මුල් හොසේන් ශන්ටෝ 56*, මුෂ්ෆිකර් රහීම් 22*, ප්‍රභාත් ජයසූරිය 48/1, තරිඳු රත්නායක 51/1, මිලාන් රත්නායක 13/1)