FACE BOOK / FAKE BOOK ගැන තරු කියූ කථා..

Spread the love

FACE BOOK ද? FAKE BOOK ද?

බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.

ෆේස්බුක් හෙවත් මුහුණුපොත එක කාසියක දෙපැත්ත වගේ. එකිනෙකට වෙනස්. හොඳත් තියෙනවා නරකත් තියෙනවා. සමහරු ප්‍රසිද්ධියේ කියාගන්න බැරි දේවල් ෆේස්බුක් හරහා ප්‍රකාශයට පත් කරනවා. ඇතැම් අය තමන්ගේ මතවාද ඉදිරිපත් කිරීමට ෆේස්බුක් භාවිත කරනවා. ඒ වගේම ෆේස් බුකියට නොවැදගත් පින්තූර එකතු කරමින් සිඟිති තෘප්තියක් ලබා ගන්නෝ ද එමටයි. අප රටේ සිටින ප්‍රසිද්ධ අය බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.

දැන් මඳකට නවත්වලා

ටෙනිසන් කුරේ

මං ෆේස්බුක් ඉන්නවා මේ නමින්ම. හැබැයි පසුගිය දින කිහිපය ඉඳලා මං මඳකට ෆේස්බුක් යෑම නවත්වලයි තියෙන්නේ. එයට හේතුව මේකයි. මං ෆේස්බුක් එකට එකතු කරන පින්තූරවලට එක එක අය විවිධ කමෙන්ට් දානවා. ඔය අතරේ අපි දර්ශන තලවලදී අලුත් නිළියො එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා. ඒවා ඒ අය ඒ අයගේ ෆේස්බුක්වලට දාපුවම ‘ආ ටෙනීත් දැන් මෙහෙමද’ වගේ කමෙන්ට් දානවා. ඒ වගේ ඒවා දැක්කම ෆේස්බුක් යන්න හිතෙන්නේ නැහැ.

සුදුසු අය විතරයි ඉන්නේ

බුද්ධදාස විතානාච්චි

මම ෆේස්බුක් එකේ ඉන්නවා. මං මෙය භාවිත කරන්නේ තෝරාගත් වැදගත් මිත්‍රයොත් එක්ක අදහස් සහ ඡයාරූප එකතු කරගන්න. ෆේස්බුක් ගිනුම හදපු කාලේ මං එක්තරා මෝඩ වැඩක් කරගත්තා. ඒ තරාතිරමක් හොයලා නොබලා මට ආව සෑම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්ම ඇක්සෙප්ට් කිරීම. දැන් එහෙම කරන්නේ නැහැ. සුදුසු අය පමණයි ඇතුළත් කරගන්නේ.

මගේ නමින් තියෙන්නේ බොරු ගිනුමක්

චන්න පෙරේරා

මට නම් ෆේස්බුක් ගිනුමක් නැහැ. මගේ පෞද්ගලික දේවල් ෆේස්බුක් එකට මොකට දානවද. අනික මට ඒ වැඩේට යොදවන්න කාලයකුත් නැහැ. මට කියන්න තියෙන්නේ මගේ නමින් ඇති ෆේස්බුක් ගිනුම් බොරු ඒවා කියන කාරණය.

ඇත්ත එකක් තියෙනවා

ඩිනක්ෂි ප්‍රියසාද්

මගේ නමින් ව්‍යාජ එකවුන්ට් සීයක් විතර තියෙනවා. මගේ නමින් තිබෙන ෆෑන් පේජ් එක ගියාම මගේ ඇත්ත ෆේස්බුක් එකවුන්ට් එක හොයාගන්න පුළුවන්. මගේ අලුත් නිර්මාණ ගැන දාන්න තමයි මං ෆේස්බුක් එක යොදා ගන්නේ.

මට ගිනුමක් නැහැ

රවීන්ද්‍ර රන්දෙණිය

සරසවිය පත්තරෙන් මේ වගේ පුවත්පත් ලිපියක් කරන එක හොඳයි. මටත් එහි ඉඩක් දුන්නට තුති. මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මම ෆේස්බුක් එකේ නැහැ කියන එක. නමුත් මගේ නමින් ගිනුම් කිහිපයක්ම තියෙනවා. ඇතැම් විට සමහරු මම කියලා රැවටිලා ඒ ගිනුම් හරහා අදහස් හුවමාරු කරගන්නවත් ඇති. මම ඒ ගිනුම් පිරික්සලත් තියෙනවා. මට ඉන් කරදරයක් නැති නිසා මං නීතිමය පැත්තට ගියේ නැහැ.

බොරු ඒවා අහක් කළා

රොෂාන් ප්‍රනාන්දු

මේ නමින් ෆේස්බුක් ගිනුමක් සහ ෆෑන් පේජ් එකක් තියෙනවා. දිනෙන් දින මගේ ඡායාරූප මං අප්ඩේට් කරනවා. ඒ ඔස්සේ මගේ ඇත්ත ගිනුම හඳුනගන්න පුළුවන්. මේ ළඟදී දවසක මගේ නමින් ඇති ව්‍යාජ එකවුන්ට් පහලොවක් මං තහනම් කළා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කරලා. ඒත් තව එකක් දෙකක් තියෙනවා.

රසිකයන් දැනුවත් කරනවා

උරේෂා රවිහාරි

මං ෆේස්බුක් ඉන්නවා. මගේ අලුත් තොරතුරු, පවත්වන සන්දර්ශන ගැන රසිකයන්ව දැනුවත් කරන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ.

කාලෙකින්  ගියේ නැහැ

දර්ශන් ධර්මරාජ්

මගේ නමින් ෆේස්බුක් ගිනුමක් තියෙනවා. නමුත් අවුරුද්දක් පමණ මං ෆේස්බුක් ආවේ නැහැ. මං මේ දිනවල ඉන්දියන් නිෂ්පාදනයකට දායක වී සිටිනවා. ඔවුන් එක්ක වැඩ කරද්දී ෆේස්බුක් තහනම්.

මං ඉන්නවා

රන්ජන් රාමනායක

දැන් අවුරුදු හතරක පහක සිට මං ෆේස්බුක් එකේ ඉන්නවා. ඒ වගේම මට ෆෑන් පේජ් එකකුත් තියෙනවා. එහි රසික රසිකාවන් හය ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ෆේස්බුක් ගැන කතා කළොත් එහි හොඳ සහ නරක කියන පැති දෙකම තියෙනවා. මං ගැන අනන්තවත් ව්‍යාජ තොරතුරු පළ වෙනවා. ඒ ගැන මට ගාණක් නැහැ. නරක පැත්ත 10%, 90% හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. මගේ ගිනුමේ නිල්පාට මාර්ක් එකක් තියෙනවා. මං එය ලබා ගත්තේ ෆේස්බුක් ආයතනය හරහා. එමඟින් පුළුවන් මගේ ඇත්ත ගිනුම හඳුනාගන්න.

හැක් කරලද දන්නෙත් නැහැ

මහේන්ද්‍ර පෙරේරා

මමත් ෆේස්බුක් එකේ ඉන්නවා ලොකු අයියේ. මං ගිටාර් එකක් අරගෙන ගත්තු ඡායාරූපයක් සහිත ගිනුම තමයි මගේ ඇත්ත ගිනුම. මගේ මිත්‍රයෝ එක්ක අදහස් හුවමාරු කරගන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ. මේ වන විට හැක් කරලද දන්නෙත් නැහැ. ටික කලකින් යන්නත් බැරි වුණා.