“පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා” රහල් කියූ පුදුම කථාව

Spread the love

එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා.

මොකක්ද රහල් මේ කරගත්තේ?

ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.

වැඩසටහනේදී රහල්ගේ කටින් පිටවුණු වචන නොහිතා පිට කරපු වචන කියලා අත පිහිදා ගන්න බැහැ නේද?

මම එහෙම කියලා අත පිහිදා ගන්නවා නෙවෙයි. ඇත්තටම මම නිවේදකයෙක් නෙවෙයි. මම ගායන ශිල්පියෙක්. මම මේ වගේ දේකට කලින් මුහුණ දීලා තිබ්බේ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම් අඩුකම ඒ සිද්ධ වුණු දෙයට බලපාන්න ඇති.

ඒ කියන්නේ රහල් පිළිගන්නවද වුණේ වැරැද්දක් කියලා?

ඔව්. මම වැරැද්දක් කළොත් සමාව ගන්නවා. මම මගේ ෆේස්බුක් එකෙනුත් සමාව ගත්තා වුණු දෙයට. මං ගැන දන්න අය මම කොහොම පුද්ගලයෙක්ද කියලා දන්නවා. මින් ඉදිරියට මගෙන් ඒ වගේ දෙයක් සිද්ධ නොවන තැනට මම කටයුතු කරනවා.

මාළුවා නහින්නෙත් කට නිසා කිව්වලු. කොහොමින් කොහොම හරි රහල් වැඩ වරද්ද ගත්තෙත් කට නිසා නේද?

කට නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මම ඒ වෙලාවේ හිටපු මානසිකත්වය වෙන්නත් පුළුවන්.

ඒ වෙලාවේ හිටපු මානසිකත්වය කියලා කිව්වේ?

මම සජීවී වැඩසටහන ඉදිරිපත් කරන්න එන්න කලින් නිදිමරලා හිටියේ. මේ ඉන්ටවිව් එක ගන්න මොහොතෙත් මම ගංවතුරෙන් පීඩාවට පත් වෙච්ච අයට උදවු කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් එදා මගේ අතින් නොවිය යුතු දෙයක් සිද්ධ වුණා. පළපුරුදු නිවේදකයෙක් නම් ඒ අවස්ථාවේදී ලස්සනට වචන ගළපන්න තිබ්බා. පළපුරුද්දක් නැති නිසා වැරැදි ප්‍රකාශයක් මගෙන් පිට වුණා.

බැරි දේවල් කරන්න ගිහින් අනාගත්තා කියලා දැන් හිතෙනවද?

මෙහෙමයි. මම මාස හතක් ඒ වැඩසටහන ඉදිරිපත් කළා. සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු අභියෝගය මම ඉටු කළා. මම හැමෝම එක්ක මිත්‍රශීලීව තමයි ඒ වැඩසටහන කළේ. ඒත් එදා ඒ ප්‍රේක්ෂිකාවකගෙන් ආව දුරකතන ඇමතුමට මම පිට කළ වචන වැරැදියි. හැබැයි ඒ හිතාමතා ප්ලෑන් කරලා ගත්ත දුරකතන ඇමතුමක්ද කියලත් හිතෙනවා. නමුත් වෙච්ච දේ වෙලා ඉවරයි.

රහල් සැබෑ ජීවිතෙත් ඔය වගේ පුංචි දෙයටත් තරහා අරගන්න නාහෙට අහන්නේ නැති චරිතයක්ද?

එක එක පුද්ගලයා වෙනස්නේ. අසාධාරණයන් වෙද්දී මම ටිකක් හැඟීම්බරයි. ඒ වගේම මම සංවේදී. තරහා යන ගොඩක් අය සංවේදී. කොහොම වුණත් මේ වුණා වගේ වැරැද්දක් ඉදිරියේදී සිද්ධ නොවෙන්න මම වගබලා ගන්නවා. මම පොළාවේ පය ගහලා ජීවත් වෙන චරිතයක්. වැරැද්දක් වුණා නම් ඒක හදා ගන්නත් ඉඩ ලැබෙන්න ඕන.

කට වරද්දගත්ත නිසා දැන් රහල්ට විවේචන ගොඩකට මුහුණ දෙන්නත් වෙලා නේද?

ඔව්. එල්ල වුණු හැම විවේචනයක්ම මම තනියෙන් විඳදරා ගත්තා. මව්බිමෙන් කතා කරලා මේ වෙච්ච දේ අහද්දි තමයි මට කඳුළු ආවේ. මට දුකයි මේ වෙච්ච දේ ගැන. හැබැයි මම මේ සිද්ධ වුණු දේවල් ජීවිතයට හොඳ පාඩමක් කර ගන්නවා.

රහල්ගේ පැත්තට කතා කරන්න හිත මිත්‍රයන්වත් හිටියේ නැද්ද?

මං වෙනුවෙන් කතා කරපු පිරිසක් හිටියා. ඒ අය මං වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළා. හැබැයි ඒ අයටත් සමහරු අසභ්‍ය වචනයෙන් කතා කරන්න ගත්තා. ඊට පස්සේ මම ඒ මිත්‍රයන්ට කිව්වා මං වෙනුවෙන් පෝස්ට් එකක්වත් දාන්න එපා කියලා.

මේ වෙච්ච සිද්ධියෙදි මාධ්‍ය ආයතනයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද රහල්ට ලැබුණේ?

මේ වෙනකල් මාධ්‍ය අයතනයෙන් මුකුත් කිව්වේ නැහැ.

රහල් ඉදිරියේදී නිවේදන කටයුත්තෙන් ඉවත් වෙයිද?

මම හිතාගෙන ඉන්නවා ඊළඟ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේදී මම ආයෙත්, වුණු වැරැද්දට සමාව ගන්නවා. ඊට පස්සේ වැඩසටහනෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉන්නේ. මනස හදාගන්න ටික කාලයක් නිදහසේ ඉන්න ඕන.

රහල්ට ඔය වැටුණු තැනින් ගොඩ එන්න පහසු වෙයිද?

මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මම අමාරුවෙන් මේ තැනට ආවේ. නමුත් මම වැටුණා. මාව වැට්ටුවා. මුළු සමාජයම මාව පෑගුවා. ඒ ගැන කිසිම තරහක් නෑ. ඉස්සරහට හොඳ වැඩ කරගෙන ජීවත් වෙනවා. අමාරුවෙන් හරි ආයෙත් නැඟිටිනවා.

ඉදිරියේදී කරන කියන දේවල් ගැනත් මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි නේද?

අනිවාර්යයෙන්ම. මම ඒ දේවල් හදාගන්නවා. එදා වුණු දේ ආයෙත් වෙන එකක් නැහැ. මම මේ වෙලාවේ දෙයක් කියන්න ඕන.

ඒ මොකක්ද?

සමාජ මාධ්‍යවල පේජ් කරන ඇඩ්මින්වරු ගැන දෙයක් කියන්න ඕන. ඒ අය ගොඩක් දක්ෂයි. ඔවුන්ට මේ රට ඉදිරියට ගෙනියන්න ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.

රහල්ට පන්න පන්න ගැහුව පේජ් ඇඩ්මින්වරුන්ගේ ඔළුව අතගාන්නද ඔය ලෑස්ති වෙන්නේ?

නෑ. නෑ. ඒ පේජ් කරන කොල්ලෝ තමයි මට පන්න පන්න පහර ගැහුවේ. ඒත් එයාලා කළ දේ හරි. පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා.

ලැබුණු පබ්ලිසිට්යත් අරගෙන රහල් ගීත එකපිට එක ජනප්‍රිය කරගන්නත් උත්සාහ ගනියිද?

ඉදිරියට මගේ හොඳ ගීත කිහිපයක් එන්න තිබ්බා. මම මල් ගායකයෙක්, ඵථඵ වලින් ආපු ගායකයෙක් කියලා ගොඩක් අය කිව්වා. ඒත් මම අහිංසක ගමනක් ආවේ. මේ වෙලාවේ ගීත එළියට ගේන්න උචිත නෑ. මට නිහඬව ටික කාලයක් ඉන්න ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

[rns_reactions]