මොන මොන සෙල්ලං දැම්මත් බැඳුම්කර හොරේ වහන්න බෑ – විගණනාධිපතිගෙන් ප්‍රකාශයක්

Spread the love

 

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළව රජයේ විගණාකාධිපතිවරයා සකස්‌ කළ විශේෂ විගණන වාර්තාව පසුගිය සතියේ කොමිසම හමුවේ සලකුණු කර ඒ පිළිබඳ රජයේ විගණාකාධිපති ගාමිණී විෙ-සිංහ මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සිදු විය. එහිදී විගණකධිපතිවරයා විසින් තමන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට වාචිකව සහ ඔහු විසින් සකස්‌ කළ රූප රාහු ඇසුරින් පිළිතුරු ලබා දීම සිදු කරන ලදී. ඔහුගේ සාක්‍ෂි විමසීම ඉකුත් සඳුදා (12දා) ආරම්භ කරන ලද අතර එදින සිට පෙරේදා (16දා) දින දක්‌වා පුරා දින පහක්‌ තිස්‌සේම විගණකාධිපතිවරයාගෙන් සාක්‍ෂි විමසීම සිදු විය. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙය වීම යටතේ රජයේ විගණකාධිපතිවරයා සාක්‍ෂි ලබා දීම සිදු කරන ලදී. එසේ කොමිසම හමුවේ ඉදිරිපත් වූ ප්‍රශ්න සහ ඒවාට ඔහු විසින් ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය – විගණකාධිපතිට බලතල පැවරී ඇත්තේ කවරාකාරයෙන්ද?

රජයේ විගණකාධිපති – ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 153 වන වගන්තිය යටතේ ව්‍යවස්‌ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිතුමා විසින් විගණකාධිපතිව පත් කරනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව රජයේ කිසිදු අමාත්‍යාංශයක්‌ යටතට වැටෙන්නේ නැහැ. රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනයට ලක්‌ කර ඒවා වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රධාන කාර්යයි. රජයේ විගණනකාධිපතිගේ වාර්තා පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ ගිණුම් කාරක සභාව රාජ්‍ය ආයතනවල කාර්යසාධනය පරීක්‍ෂාවට ලක්‌ කරනවා. එහිදී එම කෝප් සහ කෝපා යන කමිටුවලට විගණකාධිපති සහාය ලබා දෙනවා.

ප්‍රශ්නය – බැඳුම්කර නිකුතු ගැන ඔබගේ විගණාකාධිපති වාර්තාව ඉදිරිපත් කළේ කවදාද? රජයේ

විගණකාධිපති – 08 වන පාර්ලිමේන්තුවේ 2016 මැයි 06 දින රැස්‌ වූ කෝප් කමිටුවේ උපදෙස්‌ අනුව 2016 ජුනි 29 වැනිදා විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කළා. එහි වැඩිදියුණු කළ යාවත් කාලීන වාර්තාව 2016 සැප්තැම්බර් 30 දින කෝප් කමිටුවට ඉදිරිපත් කළා.

ප්‍රශ්නය – එම විගණන වාර්තාවෙන් මූලික වශයෙන් අවධානය යොමු කළ කරුණු මොනවාද?

රජයේ විගණකාධිපති – අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු එම මුදලට අගයක්‌ ලැබෙන පරිදි සිදු කර තිබෙනවාද, මහ බැංකුව රජය වෙනුවෙන් අවම පිරිවැයට ණය රැස්‌ කිරීම සිදු කර තිබෙනවාද, මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් මේ ගනුදෙනුවලදී සද්භාවයෙන් කටයුතු කර තිබෙනවාද, එහිදී නිසි ක්‍රමවේද අනුගමනය කරමින් විනිවිදභාවයෙන් කටයුතු කර තිබෙනවාද සහ භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය ගෙන ඇත්තේ රටේ අවශ්‍යතාවට අනුවද යන කරුණු ගැන මෙහිදී මූලික අවධානය යොමු කළා.

ප්‍රශ්නය – මෙම විගණන වාර්තාව සැකසීමට අනුගමනය කළ ක්‍රමවේදය කුමක්‌ද?

රජයේ විගණකාධිපති – අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් නිකුත් කළ සහතික කරන ලද ලේඛන සහ මුල් පිටපත්, මහ බැංකුවේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවල ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳපොළ තොරතුරු, නිලධාරීන් සමඟ සාකච්ඡා කර ලබා ගන්නා ලද තොරතුරු 07 වන සහ 08 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවලට දෙන ලද සාක්‍ෂි සහ පිටිපන කමිටුවේ වාර්තාව ඇතුළු තොරතුරු මෙහිදී අප සැළකිල්ලට ගත්තා.

විගණනයේදී 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්‌වා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතු ගැන අපේ අවධානය යොමු කළා. එයිනුත් මහ බැංකුව මුලින් ප්‍රකාශ කළ අගයට වඩා ලංසු වැඩියෙන්ම පිළිගත් අවස්‌ථා දෙකක්‌ අපි තෝරා ගත්තා. එනම් 2015.02.27 දින සහ 2016.මාර්තු 29 දින පැවැති වෙන්දේසි දෙකයි.

ප්‍රශ්නය – 2015 මාර්තු මාසයේ රජයේ අරමුදල් අවශ්‍යතාව කොපමණද?

රජයේ විගණකාධිපති – 2015 පෙබරවාරි 20 දිනට අනුව 2015 මාර්තු මාසයේ අරමුදල් අවශ්‍යතාව රු. බිලියන 261.683 ක්‌. ඉන් රු. බිලියන 172 ක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කරවලින් සහ ඉතිරි රු. බිලියන 89.683 භාණ්‌ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන්ද ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. දේශීය ණය කළමනාකරණ කමිටුවේ නිර්දේශය වී තිබුණේ භාණ්‌ඩාගාර බැඳුම්කරවලින් ලබා ගත යුතු රු. බිලියන 172න් රු. බිලියන එකක්‌ වෙන්දේසියෙන් සහ ඉතිරි රු. බිලියන 171 සෘජු නිකුතු ක්‍රමයෙන් ලබා ගැනීමටයි.

2015 මාර්තු 02 දිනට අවශ්‍ය පැවැති රු. බිලියන 13.55 ක අරමුදල් අවශ්‍යතාව සපුරා ගැනීමට අපේක්‍ෂා කළේ රු. බිලියනයක්‌ වෙන්දේසියෙන් සහ ඉතිරි රු. බිලියන 12.55 ක මුදල සෘජු නිකුතු ක්‍රමයෙනුයි. අධිපති 2015 මාර්තු 02 දින මාර්තු මස ණය වැඩසටහනට අනුමැතිය දී තිබුණා.

2015.02.23 දින මුදල් මණ්‌ඩල රැස්‌වීමේ සටහන්වලට අනුව තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කරයක්‌ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙහිදී අධිපතිවරයාගේ (අර්ජුන මහේන්ද්‍රන්) අදහස වී තිබුණේ මීට විදේශ ආයෝජකයින් සහභාගී වනු ඇති බවයි. එහෙත් මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2016 ජුනි 07 දින කෝප් එකට දී ඇති සාක්‍ෂි සටහන් අනුව එය අධිපතිවරයාගේ අදහස වුවත් තිස්‌ අවුරුදු බැඳුම්කරවලට විදේශ ආයෝජකයින්ගේ උනන්දුවක්‌ නැති බව සඳහන් කර තිබෙනවා. එසේම 2015 වසර වෙනුවෙන් නිකුත් කළ මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ 2015 වසරේදී විදේශ ආයෝජකයින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් බැඳුම්කර විකුණා ඔවුන් වෙළෙඳපොළෙන් ඉවත්ව ගොස්‌ ඇති බවයි.

එම කරුණට අදාළ මහ බැංකු වාර්තාවේ උපුටා ගැනීම් ද රජයේ විගණකාධිපතිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කළේය.

ප්‍රශ්නය – 2015.02.27 දින වෙන්දේසියේ කූපන් අනුපාතය කුමක්‌ද?

රජයේ විගණාකාධිපති – එය සියයට 12.5 ක්‌. එහෙත් සියයට 12.5 ක අනුපාතය තීරණය කිරීමට කවර ක්‍රමයක්‌ අනුගමනය කළේද යන්නට තහවුරු කළ හැකි ලේඛන මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කළේ නැහැ. ඒ වන විට පැවැති සාමාන්‍ය ඵලදා අනුපාතය සියයට 9.48 යි. ඒ 2015.02.18 දිනෙන් අවසන් වන සතියේ ද්විතියික වෙළෙඳපොළ දත්ත අනුවයි.

ප්‍රශ්නය – 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ලංසු ලැබී ඇත්තේ කවරාකාරයෙන්ද?

රජයේ විගණකාධිපති – එදින රු. මිලියන 20708 ලංසු මහ බැංකුවට ලැබී තිබුණා. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම මෙහිදී තමා විසින් සහ ලංකා බැංකුව හරහා ලංසු ඉදිරිපත් කර තිබුණා. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින්ම රු. මිලියන 200 ක (රු. බිලියන 2 ක) ලංසු සහ ලංකා බැංකුව හරහා තවත් රු. බිලියන 13,000 ක (රු. බිලියන 13 ක) ලංසු ඉදිරිපත් කර තිබුණා. එක්‌ ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ (Primary dealer) වෙනුවෙන් තවත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ ලංසු ඉදිරිපත් කළ ප්‍රථම අවස්‌ථාව මෙයයි. අනෙකුත් ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර තිබූ ලංසු ප්‍රමාණය රු. මිලියන 5708 ක්‌. ඒ අනුව ඉදිරිපත්ව තිබූ මුළු ලංසු ප්‍රමාණයෙන් අනෙකුත් සියලුම ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර තිබුණේ සියයට 27 ක්‌ පමණයි. පර්පෙචුවල් ට්‍රෙෂරීක්‌ සමාගම තමන් විසින්ම සහ ලංකා බැංකුව හරහා සියයට 73 ක මුළු ලංසු ප්‍රමාණයක්‌ වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත්ව තිබූ ලංසු අතුරින් ලංසු පිළිගැනීම සැළකුවොත් මුළු පිළිගත් ලංසු ප්‍රමාණයෙන් සියයට 50 ක්‌ම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඉදිරිපත් කළ ලංසුයි. (පර්පෙචුවල් ට්‍රෙෂර්ස්‌ සමාගම සහ එම සමාගම ලංකා බැංකුව හරහා ඉදිරිපත් කර තිබූ ලංසු) අනෙකුත් සියලුම ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කළ ලංසුවලින් පිළිගත් ප්‍රමාණය, එදින වෙන්දේසියේදී පිළිගත් මුළු ලංසුවලින් සියයට 50 ක්‌ පමණයි.

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ඉදිරිපත් කළ සියලු ලංසු පිළිබඳ විස්‌තර රජයේ විගණකාධිපතිවරයා කොමිසමට ඉදිරිපත් කළේය. මෙ දින වෙන්දේසියේ පළමු විනාඩි 146 දී රු. බිලියන 7.108 ක ලංසු ලැබෙන විට අන්තිම විනාඩි 08 දී රු. බිලියන 13.6 ක ලංසු ලැබී තිබෙනවා. පළමු විනාඩි 146 දී ඉදිරිපත්ව ඇති රු. බිලියන 7.108 ක ලංසු ප්‍රමාණයෙන් රු. බිලියන දෙකක ලංසු ඉදිරිපත් කර ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමයි. අනෙකුත් ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර ඇති ලංසු ප්‍රමාණය රු. බිලියන 5.108 ක්‌.

වෙන්දේසියේ අවසාන මිනිත්තු 08 දී ඉදිරිපත්ව ඇති රු. බිලියන 13.6 ක මුළු ලංසු ප්‍රමාණයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලංකා බැංකුව හරහා රු. බිලියන 13 ක ලංසු අසාමාන්‍ය ඉහළ ඵලද අනුපාත යටතේ ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් එම අන්තිම විනාඩි 08 දී අනෙකුත් ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර ඇති ලංසු ප්‍රමාණය රු. බිලියන 0. 6 ක්‌ පමණයි.

මෙදින (2015.02.27දින) වෙළෙඳපොළ මෙහෙයුම් කමිටු රැස්‌වීම උදේ පැවැත්වෙනවා. එම කමිටු රැස්‌වීමට උදේ 9.00 යට පමණ ප්‍රථම වතාවට (හිටපු) අධිපති පැමිණෙනවා. ඔහු එම කමිටුවේ සාමාජිකයෙක්‌ නොවේ. එසේ පැමිණ නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය (SDFR) වෙනස්‌ කිරීමට උපදෙස්‌ දෙනවා. ඒ සඳහා සකස්‌ කළ චක්‍රලේඛනයට අධිපති අවසර දෙනවා. එම වෙනස්‌ කළ පොළි අනුපාතිකය 2015.03.02 දින සිට ක්‍රියාත්මක වෙනවා. එය 2015.03.06 දින මුදල් මණ්‌ඩලය පසුව අනුමත (Ratified) කරනවා.

ප්‍රශ්නය – 2015.02.27 දින වෙන්දේසිය සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශය කුමක්‌ද?

රජයේ විගණකාධිපති – ඔවුන් නිර්දේශ කර තිබුණේ රු. බිලියන 2.608 ක ලංසු පිළිගැනීමටයි. මෙහිදී අධිපතිතුමාගේ මැදිහත් වීම ගැන රාජ්‍ය ණය අධිකාරිවරිය නිර්දේශ ලේඛනයේ (Option sheet) සටහනක්‌ යොදා තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ රු. බිලියන 10 ක්‌ දක්‌වා ලංසු පිළිගන්නා ලෙස අධිපතිවරයා උපදෙස්‌ දුන් දුන් බවයි. රාජ්‍ය ණය අධිකාරිවරිය කෝප් එකට දුන් සාක්‍ෂි අනුව ඇයි ඔබලා බිලියන 10 ක්‌ නොගන්නේ කියා විමසා තිබෙනවා. එවිට අතිරේක රාජ්‍ය ණය අධිකාරි ආචාර්ය ආසිම් මහතා එම ප්‍රමාණයන් වැඩි බව අධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනා. බිලියන 10 පිළිගත්තා. කීමටත් පෙර අධිපතිවරයා බිලියන 20 කම ලංසු පිළිගන්න කියාත් මුලින් ප්‍රකාශ කර තිබෙනවා.

මීට අදාළ කෝප් සාක්‍ෂි සටහන් ද රජයේ විගණකාධිපතිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කරන ලදී.

ප්‍රශ්නය – 2015.02.27 දින වෙන්දේසියේදී කොපමණ ලංසු පිළිගෙන තිබෙනවාද?

රජයේ විගණකාධිපති – කලින් සැලසුම් කළ පරිදි රුපියල් බිලියනයක්‌ වෙනුවට රු. බිලියන 10.058 ක ලංසු මහ බැංකුව විසින් පිළිගෙන තිබෙනවා. එය ඉදිරිපත් කළ වටිනාකම මෙන් සියයට 905 කින් ලංසු වැඩිපුර පිළිගැනීමක්‌. එසේම බිලියන 12.55 ක්‌ සෘජු නිකුතු ක්‍රමයෙන් ගැනීමට සැලසුම තිබුණත් අවසානයේදී සෘජු නිකුතු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර නැහැ. රු. බිලියන 2.608 ක මූලික නිර්දේශය පිළිගන්නා නම් ඵලදා අනුපාතය වන්නේ සියයට 10.724 යි. එහෙත් වෙන්දේසියෙන් බිලියන 10.058 ක ලංසු පිළිගත් නිසා එම ඵලදා අනුපාතය සියයට 11.727 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා. වර්ෂ 2008 සිට වර්ෂ 2014 දක්‌වා ඉදිරිපත් කළ වටිනාකමට සාපේක්‍ෂව සියයට 905 ක වැඩිම ප්‍රතිශතයකින් ලංසු පිළිගෙන ඇත්තේ මේ අවස්‌ථාවේදීයි.

මෙසේ සෘජු නිකුතු ක්‍රමයෙන් ලංසු පිළිනොගෙන ඇත්තේ තාවකාලිකව එම ක්‍රමය අත්හිටුවීමට ගත් තීරණයක්‌ නිසා බව කියා වෙනවා. ඒ බව 2015.03.02 දින හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙනවා. එහෙත් භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය අත්හිටුවීමට මුදල් මණ්‌ඩලය තීරණයක්‌ අරන් නැහැ. ඒ බව අධිපතිවරයා මුදල් මණ්‌ඩලයට දැනුම් දීමයි සිදුව ඇත්තේ. බිලියන 10.058 ක ලංසු මහ බැංකුව විසින් පිළිගත් නිසා ඵලදා අනුපාතය සියයට 9.35 සිට සියයට 11.727 දක්‌වා ඉහළ ගියා. ඉහළ වට්‌ටමකට යැමට සිදුවීම නිසා රු. බිලියන 10.058 ක මුහුණත වටිනාකම ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා රජයට ලැබුණේ වෙන්දේසියෙන් රු. බිලියන 9.658 ක මුදලක්‌ පමණයි. එතනම රු. බිලියන 0.4 ක (රු. කෝටි 40 ක) අඩුවක්‌ සිදුව තිබෙනවා.

ප්‍රශ්නය – මහ බැංකුව මුලින් ප්‍රකාශ කළ පරිදි රු. බිලියනයක ලංසු පිළිගත්තා නම් තත්ත්වය කොහොමද?

රජයේ විගණකාධිපති-එහෙම නම් රු. බිලියන 1.3 ක්‌ දක්‌වා ලංසු 07 ක්‌ පිළිගැනීමට ලක්‌ වෙනවා. ඒ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීක්‌ සමාගමේ ලංසු නැහැ. මෙසේ ප්‍රකාශ කළ අගයට පමණක්‌ ලංසු පිළිගැනීම මහ බැංකුව විසින් සීමා කළා නම් රජයට පාඩුවක්‌ සිදු වන්නේ නැහැ.

මේ අවස්‌ථාවේ අලාභ ගණනය කිරීම සඳහා යොදාගත් සූත්‍රය රජයේ විගණකාධිපතිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කරන ලදී. එම අලාභ ගණනය කිරීමේ පදනම 2017.03.06 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී පිළිගෙන ඇති බවද රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා කොමිසමට කීවේය.

ප්‍රශ්නය – එම පදනම මත රු. බිලියන 10.058 ක්‌ දක්‌වා ලංසු මහ බැංකුව විසින් පිsළිගැනීම නිසා රජයට සිදුව ඇති පාඩුව කොපමණද?

රජයේ විගණකාධිපති – මුලින් ප්‍රකාශ කළ වටිනාකම වන රු. බිලියනයක්‌ ලබා ගැනීම සඳහා රු. බිලියන 1.308 ක ලංසු පිළිගන්නවා වෙනුවට රු. බිලියන 10.058 ක ලංසු පිළිගත් නිසා රජයට රු. 889,353,050 ක අලාභයක්‌ සිදුව ඇති බවට ගණනය කර තිබෙනවා. එසේම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ රු. බිලියන 2.608 ක නිර්දේශ කළ අගය දක්‌වා ලංසු පිළිගන්නවා වෙනුවට රු. බිලියන 10.058 ක ලංසු පිළිගැනීම නිසා රජයට රු. 688,538, 600 ක අලාභයක්‌ සිදුව ඇති බවට ඇස්‌තමේන්තු ගත කර තිබෙනවා.

අපට මේ බැඳුම්කර නිකුතුවලට අදාළ ද්විතියික වෙළෙඳපොළ දත්ත ලබාදීම මහ බැංකුව විසින් ප්‍රතිෂේප කළා. අප එම දත්ත ඉල්ලා සිටියත් එම දත්ත ඔවුන් සතුව නැති බව ලිකිතව අපට දැන්වුවා. එම දත්ත ලැබුණොත් අපට තවදුරටත් අපේ අලාභ ගණනය කිරීම ඉදිරියට ගෙන යන්න පුළුවන්.

මේ අනුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිපිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ ඉල්ලීම අනුව අදාළ බැඳුම්කරවල ද්විතියික වෙළෙඳපොළ ගනුදෙනුවලින් රජයට සහ/ හෝ ව්‍යවස්‌ථාපිත ආයතනයකට යම් පාඩුවක්‌ සිදුව තිබේද එසේ නම් එම පාඩුව කොපමණ ද යන්නත් ගණනය කර කොමිසමට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා රජයේ විගණකාධිපති ගාමිණී විෙ-සිංහ මහතාට නියෝග කළ අතර එම අලුත් විගණනය කිරීමට එරෙහිව පර්පෙචුවල් ට්‍රෙෂරීක්‌ සමාගම වෙනුවෙන් ඉදිරිපත් වන ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා යන මහත්වරුන් විසින් කොමිසම හමුවේ මතු කරන ලද විරෝධතා කොමිසම විසින් ප්‍රතික්‍ෂේප කළේය.

[rns_reactions]