පහන් විජේසේකර, උපතිස්ස පෙරේරා
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී තිබේ.
ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉන්ජිනේරුවෝ පවසති.
ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන්නේ මොරගහකන්ද ජලවිදුලි බලාගාරයයි.
මොරගහකන්ද ජලාශයේ කොන්ක්‍රීට් ආස්ථරණය කරන ලද වේල්ලට යාබදව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර 4කින් විදුලිය නිපදවයි.
මෙය මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද මෙගාවොට් 5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.
මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසු නිකුත් කරන ජල ධාරාව ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 05ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසුව නිකුත් කරන ජල ධාරාව අඹන් ගඟට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ ජලාශවලට මුදාහැරේ.
මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132ක් උසකිනි. ජලාශයේ ජල ධාරිතාව මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජලවිදුලි බලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙය සතුව පවතී.
[rns_reactions]

