දිනෙන් දින උග්‍රවන ලාබයි බාලයි මාෆියාවේ නුදුටු පැත්ත…

Spread the love

විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන බාල පාරිභෝගික භාණ්ඩ රට තුළට වැද්ද නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවේ වගකිවයුතු අංශ දැන් අවධානය යොමු කර තිබේ. මේ බාල බඩු වසංගතය රටක දේශීය නිෂ්පාදනය අඩාල කරන අතරම බලවත් පාරිසරික ව්‍යසනයකට ද මඟ පාදයි.

රටතුළට බාල පාරිභෝගික භාණ්ඩ ගලා ඒම නැවැත්වීම සඳහා විවිධ රටවල් විවිධ නීති රීති හා තත්ත්ව පරීක්ෂණ රෙගුලාසි පනවා ඇතත්, මේ ව්‍යසනයෙන් මිදීම ලේසි පහසු කටයුත්තක් නොවන බව නැගෙනහිර අප්‍රිකානු රටවලින් පැහැදිලි වේ.

බුරුන්ඩි, කෙන්යා, රුවන්ඩා, ටැන්සානියා සහ උගන්ඩා යන රටවල් පහ මේ සඳහා දැන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අරඹා තිබේ. ඔවුනගේ උත්සාහය බාල රෙදිපිළි, පරණ ඇඟලුම්, ඉලැක්ට්‍රොනික් උපකරණ, පාවහන් ආදිය තම රටවලින් 2019 වනවිට සහමුලින්ම තුරන් කර දැමීමය. එහෙත් රටවල් පහේ දේශපාලන නායකත්වය ඍජු පිළිවෙතක පිහිටා කටයුතු කරන්නේද යන්න දැන් මතුව ඇති ප්‍රශ්නයයි.

මෑතක දී උගන්ඩා පරිසර අධිකාරිය වාර්තා කෙළේ වාර්ෂිකව විවිධ ඉලැක්ට්‍රොනික් උපකරණ, රූපවාහිනි ආදි දෑ මෙට්‍රික් ටොන් දසලක්ෂ 50ක් පමණ කැළිකසළ ලෙස බැහැර කෙරෙන බවත්, ඒවා බොහොමයක් අප්‍රිකාවේ නොදියුණු රටවලට විවිධ මාර්ගවලින් ගලා එන බවත්ය. මේවා ප්‍රතිචක්‍රීකරණයට ලක්කිරීම ඉතා වියදම් අධික කටයුත්තකැයි ද එම උගන්ඩා වාර්තාව කියයි.

අප්‍රිකාව පමණක් නොවේ. ඉන්දියාව ද මේ ප්‍රශ්නයට මුහුණ දෙයි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත 2016 අප්‍රියෙල් 26 වනදා ඉන්දියාවට බාල චීන භාණ්ඩ ගලාඒම ගැන ලිපියක් පළ කළේය.

ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නීති අනුව රටක භාණ්ඩ සඳහා තහනමක් ක්‍රියාත්මක කිරීම අසීරු බව ‍එම ලිපියේ දී පෙන්නා දී තිබේ. මේ බව ඉන්දියා වානිජ ඇමැතිනි නිර්මලා සීතා රාම් මහත්මිය ද ලෝක් සභාවේ දී ප්‍රකාශ කර ඇත.

එහෙත් ඉන්දියාවට එරට කර්මාන්ත, පරිසරය, ගහ කොළ සහ සතා සිව්පාවා රැක ගැනීමට අයිතියක් ඇතැයි ද එතුමිය පවසා තිබේ. සමහර ජංගම දුරකතන සහ ලෝහ නිෂ්පාදන රටතුළට ගලා ඒම නවත්වා ඇති බවද සීතාරාම් මහත්මිය අවධානය කර තිබේ.

ඔස්ට්‍රේලියාව නිෂ්පාදන ආරක්ෂාව නම් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. බොහෝ රටවල මෙවැනි නීතිරීති පනවා ඇති අතර කුඩා ළමයින් සඳහා වන ක්‍රීඩා භාණ්ඩ පිළිබඳව ඉතා සැලකිලිමත් වන රටවල් ද තිබේ. බාල ක්‍රීඩා භාණ්ඩ ළමා සෞඛ්‍යයට ද තර්ජනයකි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස බලන කල නිසි ප්‍රමිතියකින් තොර භාණ්ඩ වෙළෙඳ පොළට පිටාර ගලමින් තිබෙන බව පෙනේ. රුපියල් 50 – 100 අතර මිල ගණන්වලට අත් ඔර්ලෝසු ද, රුපියල් 1000ට පාවහන් ද ඒ හා සමාන මිලට ජංගම දුරකතන ද කොළඹ දී මිලට ගැන්මට පිළිවන. එසේම මෝටර් රථ අමතර කොටස්, ව්‍යාජ තීන්ත, ව්‍යාජ ඉලැක්ට්‍රොනික් පරිපථ, ව්‍යාජ බල්බ් පමණක් නොව ව්‍යාජ ලේබල් සහිත රටබීම හා දුම්වැටි ද බහුල ලෙස රටතුළ සංසරණය වේ.

පරිගණක ‍ක්ෂේත්‍රයට සම්බන්ධ අංශයන්ගෙන් දැනගැනීමට ලැබුණ අන්දමට නිසි ප්‍රමිතියට නැති පරිගණක හා පරිගණක උපාංග රට පුරා භාවිතා වේ. මෙවැනි බාල උපාංග නිසා පරිගණක මෙවලම් අක්‍රියවීමට ඉඩ තිබේ.

පරිගණක මිලට ගන්නාගේ දැනීම අඩුකම නිසා මෙවැනි උපකරණ හා උපාංග අලෙවි කිරීම ලේසි පහසු කටයුත්තකි. මෘදුකාංග මෙන්ම දෘඪ(හාඩ්වෙයාර්) අංශයේ අධ්‍යාපනය ද පුළුල් කළ යුතුව තිබේ.

එසේම ජංගම දුරකතන නිසා ශ්‍රවණාබාධ, මොළයට හානි පමණක් නොව හෘදයාබාධ ද ඇතිවිය හැකි බව දැන් සොයා ගෙන ඇත. විශේෂයෙන් මේ අවදානම පවතින්නේ කුඩා දරුවනට යැයි මහින්ද රාමනායක මහතා කියයි. ජාත්‍යන්තර මට්ටමේ අගනා නීති පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ නියාමනය වන නමුත් තත්ත්වයෙන් බාල සන්නිවේදන උපකරණ හා ජංගම දුරකතන රට තුළ සංසරණය වන බව ඔහු කියයි.

උසස් තත්ත්වයේ සන්නාම සහිත ව්‍යාජ උපකරණ භාවිතාව දක්නට ලැබෙන බව කියන ඔහු බාල උපකරණවල ආයුෂ කාලය අඩු නිසා පාරිභෝගිකයා පාඩු විඳින බවද උසස් නිෂ්පාදනය සහ ව්‍යාජ නිෂ්පාදනය හඳුනා ගැනීමට පාරිභෝගිකයා දැනුවත් කිරීම් කළ යුතු බවද කියයි.

අප්‍රිකාව පසුගිය දසකය තුළ ඍජු විදේශ ආයෝජන උකහාගැන්ම මධ්‍යම පරිමාණ කර්මාන්ත ඇදගැනීම නිසා පිබිදෙන ආර්ථිකයක් සහිත මහාද්වීපයකි. විශේෂයෙන් නයිජීරියාව, දකුණු අප්‍රිකාව පරාජය කරමින් 2016 අග කාර්තුවේ විශිෂ්ට සංවර්ධනයක් අත්කර ගත් රාජ්‍යයකි. ඉන්දියාව, චීනය, බ්‍රසීලය,මලයාසියාව සහ තුර්කිය යන රටවල ආයෝජන සහිත නයිජීරියාව ඉලැක්ට්‍රොනික් විප්ලවයට පිවිසීම සමග ඉලැක්ට්‍රොනික් සුනාමියට ද ගොදුරුව සිටී.

බාල උපාංග, නීති විරෝධි ජංගම දුරකතන ආදියෙන් දැන් ශ්‍රී ලංකාව විඳින පීඩාවට සමාන වේදනාවක් අප්‍රිකාවේ පිබිදෙන රටවල ද දක්නට ලැබේ. ඒ ඒ රටවල විදුලි සංදේශ නියාමන දැඩි අයුරින් නීති රීති ක්‍රියාත්මක කළ ද උවදුර අඩුව නැත.‍

ඉන්දියාව 2016 අප්‍රියෙල් මාසයේ දී සිය රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවනගේ අභිවෘද්ධියට හානිදායක නිෂ්පාදන ලෙස සලකා විදේශීය නිෂ්පාදන රාශියක් සිය රටට ගෙන්වීම තහනම් කළේය. ඒ භාණ්ඩ අතර ජංගම දුරකතන වර්ග කීපයක් ද වේ.

රටවල් 140කින් භාණ්ඩ වර්ග 6000 ක් සිය රටට ගෙන්වන ඉන්දියාව ඒ සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 390 ක් වැය කරන රටකි. 2015 මැයි මාසයේ දී ඉලැක්ට්‍රොනික් භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.85ක් වැය කළ අතර එම වසරේ සැප්තැම්බරය වනවිට බිලියන 4 දක්වා එය වැඩිවිය. එහෙයින් ඉන්දියාවේ පියවර සිය වත්කම් රඳවා තබා ගැනීම යැයි ද කිව හැකිය. මෙය අප රටට ද ආදර්ශයකි.

මේ වනවිට ශ්‍රී ලංකාව ද එබඳු ‘ආරක්ෂණවාදි’ ක්‍රියා පිළිවෙතකට අවතීර්ණවීමේ නැඹුරුවක් අවශ්‍ය වන්නේ විදේශ ආයෝජනය සහිත සමාගම් ඉදිරියේ දී සිය නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට ද යම් ප්‍රතිශතයකින් මුදා හරින බැවිනි. එම මුදා හැරීම් සඳහා ඉදිරිපත් වන දේශීය පාරිභෝගිකයා විදේශීය බාල භාණ්ඩ වෙනුවෙන් කරන වියදමට සරිලන උසස් නිෂ්පාදනයක් ඔහුට ලබාදීම නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාට ද වාසියකි.

විදේශීය භාණ්ඩ රටතුළට ගෙන එන සංවිධානය වූ මාෆියාවක් ලොව පුරාම ක්‍රියාත්මකය. මේ ව්‍යාපාරය මොනතරම් බලවත් ද කිවහොත් ටැන්සානියා වරායවලින් අතුරුදන් වූ කන්ටේනර් සංඛ්‍යාව එක් වසරකදී 20000 – 27000 අතර ප්‍රමාණයකි. යුරෝපය කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයේ විවිධ සමාජ සේවා සංවිධාන මගින් කරන පරිත්‍යාග පවා ඔවුනගේ කන්ටේනර් වල අසුරා තිබුණු බව හෙළිවිය. පරණ ඇඳුම් හා පාවිච්චි කළ විවිධ භාණ්ඩ අප්‍රිකාවට විකිණීම ජාත්‍යන්තර වෙළෙඳාමකි. අප්‍රිකාවේ දේශීය ඇඟලුම් ව්‍යාපාරයට ඇති ලොකුම බාධාව මේ පරණ ඇඳුම් ජාවාරමයි.

මේ අයුරින්ම ශ්‍රී ලංකාවද පාවහන් මාෆියාවකට සහ නීති විරෝධී දුම්වැටි මාෆියාවකට ගොදුරුව සිටී.

නැ‍ඟෙනහිර අප්‍රිකානු රටවල දියුණු පශු කර්මාන්තයක් තිබේ. එහෙත් ඔවුනට එම පශු කර්මාන්තය ආශ්‍රිත යම් කර්මාන්තය දියුණු කර ගත නොහැකිව තිබේ. හේතුව ව්‍යාජ සම්භාණ්ඩ ගලාඒමය. එම නිසා සාමුහික ව්‍යාපාරික පිළිවෙතක් අනුගමනය කරන මෙන් දැන් නැගෙනහිර අප්‍රිකානු රටවල් අප්‍රිකානු සංගමයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ශ්‍රී ලංකාවේ ද දියුණු පාවහන් කර්මාන්තයක් තිබේ. අපනයනයට පවා සම්බන්ධ මහා පරිමාණ පාවහන් කර්මාන්ත ශාලා 10ක් ද සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා 30 ක් ද ගෘහස්ත කර්මාන්ත විශාල ප්‍රමාණයක් ද පාවහන් නිෂ්පාදනයට සම්බන්ධය. ලක්ෂ 2ක් පමණ එමගින් යැපෙති.

එහෙත් කොරියාව, තායිලන්තය, පාකිස්ථානය යන රටවලින් වෙනවෙනම පාවහන් කොටස් ගෙන්වා මෙරට දී සපත්තු සෙරෙප්පු එකලස් කිරීමක් සහ ඒවා අඩුමිලට වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් උත්සව කාලයට දක්නට ලැබේ. මේ ඇතැම් නිෂ්පාදන ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාම සහිත ඒවා බවද කරන ලද සමීක්ෂණයන්හිදී හෙළි වී තිබේ.

ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ සහ පාවහන් ඉතාලිය, එක්සත් ජනපදය, ප්‍රංශය යන ප්‍රධාන අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කර ඇත. එහි ධාරිතාව වසරකට නිෂ්පාදන යුගල (පාවහන්) දසලක්ෂ 15කි. මෙතරම් දැවැන්ත කර්මාන්තයක් අප සතු වුවද, බාල නිෂ්පාදන සමග තරග කිරීමට සිදුවීම ගැන සිතා බලන විට ආරක්ෂණවාදි වැඩපිළිවෙළකින් එය වඩාත් ශක්තිමත් කිරීම අවශ්‍ය වේ.

අයවැය යෝජනා සඳහා ‘තම තමන්ගේ අදහස් විමසන අවස්ථාවේ දී පවා දේශීය පාවහන් කර්මාන්තය මුහුණ දෙන මේ ගැටලුවට විසැඳුම් ඉල්ලා තිබුණි. එහෙත් ගැටලුව තවම හරිහැටි විසැඳී නැති බව පෙනෙන්නේ මේ දිනවල කොළඹ නගරයට පිටාර ගලා ඇති “විදේශීය” පාවහන් සුනාමියේ තරම දුටුවිටය.

සම්භාණ්ඩ හා පාවහන් කර්මාන්තය ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්නයට නිසි විසඳුමකි. විශාල කර්මාන්ත ශාලා මගින් කොන්ත්‍රාත් පදනමට ඇණවුම් ලබාගෙන පාවහන් නිෂ්පාදනය කරන උප කොන්ත්‍රාත් ක්‍රමයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ.

දේශීය විශාල සමාගම් විදේශීය බාල නිෂ්පාදන සමග තරගයක යෙදී සිටින අතර මේ බාල ව්‍යාජ නිෂ්පාදන වගකිවයුතු අංශවල ඇසට වැලි ගසමින් හොර පාරෙන් වෙළෙඳ පොළ ආක්‍රමණය කර අඩුමිලට භාණ්ඩ අලෙවි කරයි. මේ නිසා දේශීය සමාගම්වල ව්‍යාපාරික අංශ දුර්වල වේ. අලෙවිය ද අඩුවේ.

මේ නිසා විශාල සමාගම් මෙන්ම කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවෝ ද අමාරුවේ වැටී සිටිති. කුඩා කොන්ත්‍රාත්කරුවන් 500ක් පමණ මේ කර්මාන්තයේ රැඳී සිටි නමුත් දැන් ඒ සංඛ්‍යාව හරි අඩකටත් වඩා අඩුව ඇතැයි ක්ෂේත්‍රයේ කතාබහක් පැතිර තිබේ. මේ හැම උප කොන්ත්‍රාත් ආයතනයකම අඩු වශයෙන් සේවකයෝ පස්දෙනෙක්වත් රැකියාව කළහ.

ශ්‍රී ලංකාව දේශීය පාවහන් අවශ්‍යතාවෙන් සියයට 70ක්ම සපුරයි. අපනයනය කිරීම් මගින් විශාල ආදායමක් ද උපයයි. එසේ තිබියදී රටරටවලින් පාවහන් කොටස් ආනයනය කර දේශීයව පාවහන් එකලස් කර නිමිභාණ්ඩ ලෙස වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට එරෙහිව නිසි ප්‍රමාණවත් පියවර ගැනීම තවත් ප්‍රමාද නොකළ යුතු යැයි දේශීය නිෂ්පාදකයෝ මෑතකදී යළිත් ඉල්ලා සිටියහ.

රටට බාල භාණ්ඩ ගෙන එන මාෆියාව දැන් ව්‍යාජ දුම්වැටි දෙසට හැරී තිබේ.

පසුගිය පෙබරවාරි 09 වැනි දින දුම්වැටි පෙට්ටි 5000ක් රැගෙන මත්තල ගුවන් තොටුපළෙන් රටට ඇතුල්වීමට තැත් කළ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර නොවැම්බර් මස අගභාගයේ කටුනායකින් මෙරටට ඒමට තැත් කළ දුම්වැටි 36,000ක් අත්අඩංගුවට ගන්නා ලදී.

පසුගිය නොවැම්බරයේ පමණක් අත්අඩංගුවට ගත් ව්‍යාජ දුම්වැටි ප්‍රමාණයේ වටිනාකම රුපියල් දස ලක්ෂ 150 කැයි රේගුව සඳහන් කර ඇත. මේ අයුරින්ම රටතුළට ජංගම දුරකතන හොරෙන් රැගෙන ඒමේ සිද්ධි රාශියක් ද වාර්තා වේ.