Author: Editor(T)

  • දේශපාලන අවස්ථාවාදයේ තරම හරියටම කියන 23ක් 20ට අත උස්සන්න සූදානම්

    දේශපාලන අවස්ථාවාදයේ තරම හරියටම කියන 23ක් 20ට අත උස්සන්න සූදානම්

    ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ බලය අඩු කිරීමට 2001 දී හදුණ්වාදුන් 17 ව්‍යවස්ථා සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නේය.

    17 න් පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට දුන් බලය 18 න් උදුරාගන්නා විට ද, එයට 2010 තේරී පත් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දය දුන්නේය. 18ට ඡන්දය දුන් බොහෝ දෙනෙකු, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කීම අසා 2015 දී, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේය. කොමිෂන් සභා පිහිටුවේය.  ජනපති බලතල කැපුවේය. අගමැති බලතල වැඩි කළේය.  මැතිවරණ නිදහස් කළේය. 

    දැන්, මේ පිරිසෙන්ම කොටසක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත ඔසවනු ඇත. Politics have no relation to morals යැයි   Niccolo Machiavelli කීවේ මෙවැනි අවස්ථාවන් ගැනය.

    හෘද සාක්ෂියක් ඇතිව හෝ නැතිව 17, 18, 19 සහ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරටම පක්ෂව ඡන්දය දීමට ලංකා දේශපාලනයේ ප්‍රතිපත්තියක් නැති කම පිළිබඳව කථාවයැයි මම සිතමි. 

    හිටපු කථානායක චමල් රාජපක්ෂ කථානායක ධූරයේ කටයුතු කරමින් 19 ට පක්ෂව ඡන්දය දෙන්නට ලැබුණේ නැත.   මහින්ද යාපා අබේවර්ධන ට ද වත්මන් කථානායකවරයා නිසා 20 ට ඡන්දය දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත.

    හිටපු ජනපති, අගමැති මහින්ද මහතා 19 සම්මත වන විට පාර්ලිමේන්තුවේ සිටියේ නැති අතර, 18 ට ද (ජනාධිපතිවරයා නිසා) ඡන්දය දී නැත. 19 ගෙනඒමට අති මහත් කැපවීමක් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ බැවින් පාර්ලිමේන්තුවේ ඡන්දයක් දෙන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

    මේ 17, 18, 19 පක්ෂව ඡන්දය දුන් හා 20 ට පක්ෂව ඡන්දය දිය හැකි කණ්ඩායම මෙසේය.  

    1.       මහින්ද සමරසිංහ

    2.       රංජිත් සියඹලාපිටිය

    3.       ප්‍රියංකර ජයරත්න

    4.       එස්.බී.දිසානායක

    5.       සුසිල් ප්‍රේමජයන්ත

    6.       ඩලස් අලහප්පෙරුම

    7.       ජොන්ස්ටන් ප්‍රනාන්දු

    8.       අනුර ප්‍රියදර්ශන යාපා

    9.       විමල් වීරවංශ

    10.   පවිත්‍රා වන්නිආරච්චි

    11.   ජොන් සෙනෙවිරත්න

    12.   දිනේෂ් ගුණවර්ධන

    13.   ගාමිණී ලොකුගේ

    14.   බන්දුල ගුණවර්ධන

    15.   ඩිලාන් පෙරේරා

    16.   ඩග්ලස් දේවානන්ද

    17.   ඒ.එල්.එම්. අතාවුල්ලා

    18.   ජී.එල්.පීරිස්

    19.   මහින්දානන්ද අලුත්ගමගේ

    20.   තිස්ස විතාරණ

    21.   නිමල්සිරිපාල ද සිල්වා

    22.   දුමින්ද දිසානායක

    23.   ජනක බණ්ඩාර තෙන්නකෝන්

    17, 18 හා 19 ට ඡන්දය දුන් රාජිත සේනාරත්න 20 ට ඡන්දය දෙන්නේ නැතැයි මා සමඟ කීවේය.  චම්පික රණවක 17 ට ඡන්දය දුන්නේ නැති අතර 20ට ත් ඡන්දය නොදෙනු ඇත.  තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස 18 ඡන්දය නොදුන් අතර 20 ට ද ඡන්දය නොදෙනු ඇත.

    19 සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන විට කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ නොසිටියේය. 19 ට එදා විරුද්ධ වූ දෙදෙනාගෙන් පෙරටුගාමී පක්ෂයේ අජිත් කුමාර මෙවර පාර්ලිමේන්තුවේ නැති නමුත් සරත් විරසේකර අමාත්‍යවරයෙකි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මහීපාල හේරත් තාත්තා සංශෝධන දෙකකට පක්ෂව ඡන්දය දී ඇති අතර, ඔහුගේ පුත් කනක හේරත් ඉතිරි සංශෝධන දෙකට පක්ෂ ය.

    වාසුදේව 17 ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර 18,19 ඡන්දය දී 20ට  ඡන්දය දීමට උනන්දුවෙන් බලා සිටින්නෙකි. 

    කෙසේ නමුත්, තිස්ස විතාරණ, වාසුදේව, රාජිත, ඇතුළු මන්ත්‍රීවරුන් විටෙක ප්‍රසිද්ධියේ ද, විටෙක පුද්ගලිකවට 18 ට අත එසවීම ගැන කණගාටුවන බව පසුව ප්‍රකාශ කර ඇති බව මාගේ මතකයි.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ  225 න් 215 ක් ඡන්දය දුන්නේය.  17 වන ව්‍යවස්ථා සංශෝධනය ලංකා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ එකම ව්‍යවස්ථා සංශෝධනය යි.

    ලැයිස්තුව දිගු බැවින් 19 හා 20 දෙකටම පක්ෂ විය හැකි මන්ත්‍රී ලැයිස්තුව මෙහි ඇතුළත් කරන්නේ නැත.

    20 වන ව්‍යවස්ථා සංශෝධනය  යනු එකමතිකව සම්මත වූ 17 හා දෙදෙනෙකු හැර අන් සියළු දෙනා පක්ෂ වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමයි. මේ තුන හතරටම ඡන්දය දෙන්නට මන්ත්‍රීවරයෙකුට හැකි වන්නේ කෙසේ දැයි ඇසිය යුත්තේ ඔවුන්ගේ හෘර්ද සාක්ෂියෙන්ම පමණී.

    රජිත කීර්ති තෙන්නකෝන්

  • යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි

    යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

    ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 කගේ වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26 ක් තරග වැදීමට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් වන අතර B සහ C කාණ්ඩ දෙකෙහි කණ්ඩායම් 6 බැගින් ඇතුළත්ව සිටියි.

    මෙම තත්ත්වය මත A සහ D කාණ්ඩ වලට මූලික වටයේ තරග 6 කටත් B සහ C කාණ්ඩවලට තරග 5 කටත් බැගින් ක්‍රීඩා කළ යුතු වන අතර අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

    මෙවර තරගාවලිය සඳහා ඉකුත්දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය නියෝජනය කරනු ඇත.

    අවසන් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී හලාවත මේරියන්ස් පිල එහි අනුශූරයින් බවට පත්විය.

    text – sri lanka cricket

  • ලෝකයේ මාරාන්තිකම’ විෂ රසායනය යළි කරළියට

    ලෝකයේ මාරාන්තිකම’ විෂ රසායනය යළි කරළියට

    රුසියාවේ විපක්ෂ නායක අලෙක්සි නවාල්නි (Alexei Navalny) රෝගාතුර වී ඇත්තේ ‘නොවිචොක්’ (Novichok) නම් වූ විෂ රසායනය ශරීරගත කරවනු ලැබීමෙන් යයි ජර්මන් ආණ්ඩුව පවසයි.

    ජනාධිපති ව්ලදිමීර් පුතින් ගේ රාජ්‍ය පාලනය දැඩිව විවේචනය කරන්නකු වන අලෙක්සි නවාල්නි පසුගිය මාසයේ සයිබීරියාවේ ‘තොම්ස්ක්’ (Tomsk) නගරයේ සිට මොස්කව් බලා ගුවන් මගින් ගමන් ගනිමින් සිටියදී, ගුවන්යානය තුළ දී හදිසියේම රෝගාතුර වූ අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා බර්ලින් නගරයට ගෙනැවිත් සිටියි. ඔහු තවමත් සිටින්නේ සිහි මූර්ඡා තත්ත්වයෙනි.

    ‘නොවිචොක්’ යන නාමය මින්පෙර අවසන් වරට කරළියට පැමිණ තිබුණේ 2018 වසරේ දී රුසියාවේ පැරණි ඔත්තුකරුවකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය වන යුලියා ( Yulia) එක්සත් රාජධානියේ ‘සැලිස්බරි’ නගරයේ දී විෂ රසායන ප්‍රහාරයකට ගොදුරුවීමත් සමඟය.

    Sergei Skripal and his daughter Yulia
    සෙර්ගේයි ස්ක්‍රිපාල් (66) සහ ඔහුගේ දියණිය යුලියා (33) විෂ රසායන ප්‍රහාරයකට ගොදුරු වූ නමුත් ජීවිත බේරා ගැනීමට සමත් විණි

    නවාල්නි පත්ව සිටින අසීරු තත්ත්වය හෝ ස්ක්‍රිපාල්ට වසදීමක් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු ආකාරයක සම්බන්ධවීමක් නැතැයි රුසියාව කියා සිටියි.

    මෙහිදී වැදගත් කරුණක් වන්නේ, යුද අවියක් ලෙස සැලකෙන ‘නොවිචොක්’ විෂ රසායනය සම්බන්ධයෙන් ලෝකය දැන සිටින්නේ කුමක්ද? යන්නය.

    සෝවියට් පාලන සමයේ නිර්මාණයක්

    රුසියානු භාෂාවෙන් ‘නොවිචොක්’ යන වචනයට ”නවකයා” යන තේරුම දෙයි. 1970 සහ 1980 දශකයන්හි සෝවියට් දේශයේ නිර්මාණය කොට වැඩිදියුණු කරන ලද විෂ රසායන වර්ග සමූහයක් අතරට මෙම ‘නොවිචොක්’ ද ඇතුළත් විය.

    එම විෂ රසායන සමූහය අයත්වන්නේ සිව්වෙනි පරපුරේ රසායනික අවි ගණයටය. එසේම ඒවා වැඩිදියුණු කරනු ලැබ තිබුණේ ‘Foliant’ යනුවෙන් නම් කරන ලද රහස්‍ය නාමයෙන් පවත්වාගෙන ගොස් ඇති සෝවියට් ව්‍යාපෘතියක් යටතේය.

    ‘නොවිචොක්’ විෂ රසායනය රුසියාව සතු බව 1990 වසරවල එරට මාධ්‍ය මගින් පළමුවරට හෙළිදරව් කරන ලද්දේ ආචාර්ය විල් මිර්ෂායානොෆ් (Dr Vil Mirzayanov) විසිනි. අනතුරුව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගියේය.’රාජ්‍ය රහස්’ (State Secrets) යන නමින් ආචාර්ය විල් මිර්ෂායානොෆ් විසින් ඇමෙරිකාවේ දී පළකරනු ලැබ ඇති කෘතියෙහි අදාළ රසායනික සූත්‍රය (chemical formula) ඇතුළත් කර ඇත.

    සෝවියට් පාලන සමයේ පවත්වා ගෙනගොස් ඇති රසායනික අවි අත්හදා බැලීමේ විශාලතම මධ්‍යස්ථානය අක්‍රියකොට විනාශකර දැමීමට සහයවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 1999 වසරේ උස්බෙකිස්ථානයට ගොස් ඇත.

    ආචාර්ය විල් මිර්ෂායානොෆ් සඳහන් කරන පරිදි, සෝවියට් පාලකයන් ‘නොවිචොක්’ විෂ රසායනයේ කුඩා සමූහයන් නිර්මාණය කිරීමට සහ අත්හදා බැලීමට එම මධ්‍යස්ථානය භාවිත කර ඇත. එම විෂ රසායන සැලසුම් කර තිබුණේ ජාත්‍යන්තර පරීක්ෂකයන්ගේ ඇසට හසුවීමෙන් වළකින පරිදිය.

    ‘නොවිචොක්’ වෙනත් රසායනයන්ට වඩා විෂකුරුය

    ‘නොවිචොක්’ පන්තියට වැටෙන වර්ග කිහිපයකට අයත් රසායන වර්ග, VX විෂ රසායනවලට වඩා පස්ගුණයේ පටන් අටගුණයක් තරම් අතිශයින් දරුණු යැයි සැලකෙයි.

    ”මෙම විෂ රසායනය සරීන් හෝ VX රසායනයට වඩා වැඩිදියුණු කරන ලද එසේම අතිශයින් දරුණු වූවක් වන අතර එය හඳුනාගැනීම දුෂ්කරය” ‘රෙඩින්ග්’ සරසවියේ (University of Reading) ඖෂධ විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ගැරී ස්ටීවන්ස් පවසයි.

    ‘නොවිචොක්’ වි බල පැවැත්වෙන කාලය

    විෂ රසායන (nerve agent) නිකුත් වූ පසු කොතරම් කාලයක් බල පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් විශේෂඥයන් අතර එකමතිකභාවයක් නොමැත.

    ආචාර්ය විල් මිර්ෂායානොෆ් තක්සේරු කරන පරිදි මාස කිහිපයක් ගතවෙන තෙක් එහි බලපෑම අවසන් නොවේ.

    ස්ක්‍රිපාල් සඳහා භාවිත කරන ලද ‘නොවිචොක්’ විෂ රසායනය සොයාගන්නා ලද්දේ තමා යයි කියා සිටින ව්ලදිමීර් උග්ලෙෆ් (Vladimir Uglev) නම් විද්‍යාඥයා පවසන ආකාරයට ”එම විෂ ද්‍රව්‍ය නොනැසී දිගුකලක් පවතී”.

    නොනැසී පවතින මට්ටමින් නිර්මාණය කරනු ලැබ ඇති එවැනි විෂ රසායන වර්ග විශේෂයෙන් ම ඇසුරුමක් තුළ බහා තැබුවහොත් මාස ගණනක් හෝ වසර කිහිපයක් වුවද දරුණු තත්ත්වයක පැවතීමට ඉඩකඩ ඇතැයි වෙනත් විශේෂඥයෝ පවසති.

    ”නොවිචොක් විෂ රසායන වර්ග වාෂ්පවෙන්නේ නැහැ.ජලයේ දී ඒවා දියවී යන්නේ නැහැ”ලන්ඩන් සරසවියේ අකාබනික රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇන්ඩ්රේයා සෙලා (Andrea Sella) ප්‍රකාශ කරයි.

    මෙහිදී පැන නගින එක් ගැටලුවක් වන්නේ, ‘නොවිචොක්’ විෂ රසායන වර්ග පිළිබඳව මනා අධ්‍යයනයක් සිදුකර නොතිබීම සහ වෙනත් විෂ රසායන වර්ග තරම් ඒවා වටහාගෙන නොතිබීමය. එසේම ඒවා කොපමණ කාලයක් බල පැවැත්වෙන්නේද? යන්න සම්බන්ධයෙන් නිල මට්ටමේ විද්‍යාත්මක තොරතුරු නොමැත.

    ‘නොවිචොක්’ ප්‍රභේ

    ඇතැම් ‘නොවිචොක්’ විෂ රසායන දියර ස්වරූපයෙන්ද, තවත් ඒවා ඝන ස්වරූපයෙන් ද පවතී. එහි තේරුම ඒවා ඉතා සියුම් කුඩක් (an ultra-fine powder)ලෙස ඒවා විසුරුවා හැරීමට හැකිවීමය.

    මේ අතර, තවත් ‘නොවිචොක්’ විෂ රසායන වර්ග ”ද්විගුණික අවියක්” (“binary weapons”) මට්ටමින් තබාගත හැකි බවක් ද වාර්තා වී ඇත. ඉන් කියවෙන්නේ, එම විෂ රසායන වර්ග විෂ අඩු රසායනික ද්‍රව්‍ය දෙකක් ලෙස තැන්පත් කරමින් වඩාත් පහසුවෙන් හැසිරවීමට,ප්‍රවාහනයට සහ ගබඩා කිරීමට හැකි පරිදි සකස්කර ගැනීමය.

    එසේ වෙන් වෙන්ව තබාගත් විෂ ද්‍රව්‍ය එකට මිශ්‍ර කළවිට බලාත්මක විෂ රසායනයක් බවට සක්‍රීය වෙයි.

    ”මෙම විෂ රසායන නිර්මාණය කරනු ලැබීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ, ඊට අන්තර්ගත ද්‍රව්‍ය කොටස් තහනම් ලැයිස්තුගත නොකිරීමයි” මහාචාර්ය ස්ටීවන්ස් පවසයි.

    Sergei Skripal
    ,ස්ක්‍රිපාල් සහ යුලියාට සැලිස්බරි නගරයේ දී විෂ අවි ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව පරීක්ෂණ සිදුකෙරුණ අවස්ථාවක්

    ඇතැම් විෂ රසායන සැණෙකින් බලපායි

    ‘නොවිචොක්’ නිෂ්පාදනය කරනු ලැබ තිබෙන්නේ වෙනත් රසායනික අවිවලට වඩා අතිශයින් විෂකාරක වන මට්ටමිනි. ඉන් ඇතැම් ඒවායේ බල පැවැත්වීම සැණෙකින් ආරම්භ වෙයි. එය තත්පර තිහේ පටන් මිනිත්තු දෙකක් අතර කාලයක් විය හැකිය.

    එම විෂ ආශ්වාස කරවීමකින් හෝ ආහාරපාන මගින් පුද්ගලයකුගේ ශරීරගත කළ හැකිවෙයි. එපමණක් නොව චර්මය ඔස්සේද එය ශරීරගත විය හැකිය.

    ‘නොවිචොක්’ වෙනත් රසායනික අවිවලට සමානය

    ‘නොවිචොක්’ විෂ රසායන අවිවර්ග වෙනත් රසායනික අවිවල බලපෑමට සමාන බලපෑමක් ඇති අවියකි. එය ශරීරගත වීමේ දී ස්නායු පද්ධතියේ සිට මාංශපේශීන් කරා පණිවුඩ ගෙනයාම අවහිර කෙරෙන අතර, සිරුරේ බොහෝ ඉන්ද්‍රියයන් අක්‍රිය කෙරෙයි.

    එවැනි විෂ ශරීරගතවීමක පළමු ලක්ෂණය ඇසේ කළු ඉංගිරියාව බෙහෙවින් හැකිළීම යැයි ආචාර්ය විල් මිර්ෂායානොෆ් පවසයි.

    එවැනි විෂ රසායනයකින් විශාල ප්‍රමාණයක් ශරීරගත වුවහොත්, එය සිරුරේ ගැස්මට සහ හුස්ම ගැනීම අවහිර වීමට ද හැකි බවද ආචාර්ය විල් මිර්ෂායානොෆ් සඳහන් කරයි.

    එසේම දිගටම සිරුරේ ගැස්ම පැවැත්ම සහ වමනය ද එහි කෙළවර මරණය වියහැකි බව ද ආචාර්ය විල් මිර්ෂායානොෆ් කියා සිටියි.

    ස්නායු විෂකාරක සිරුරට බලපාන හැටි

    ආචාර්ය විල් මිර්ෂායානොෆ් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින්, විෂ ක්‍රියාකාරිත්වය නතර කිරීමට උදව්වෙන විෂ නාෂක ඖෂධ වර්ග ඇතත් ඒවා ප්‍රතිකාර නොවන බව ද පෙන්වා දුන්නේය.

    යම්කිසි තැනැත්තකු විෂ රසයනික අවි ප්‍රහාරයකට ගොදුරු වූ අවස්ථාවක වහාම ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් ඉවත්කළ යුතුය.ඒ සමඟ සම සබන් යොදා ගනිමින් සෝදා පිරිසිදු කළ යුතුය. එසේම ඇස් සේදිය යුතු අතර වහාම සිරුරට ඔක්සිජන් සැපයිය යුතුව ඇත.

    ‘නොවිචොක්’ පහසුවෙන් නිපදවිය හැකිද ?

    ”විෂ රසායන සෙර්ගේයි ස්ක්‍රිපාල්ගේ සිරුරුගත කිරීම පිටුපස රුසියාව සිටියා වීමේ කරුණු තිබෙනවා. මොකද, රුසියාව තමයි එම විෂ රසායනය සොයාගත්තේ. ඒ ගැන විශේෂඥ දැනුම ඔවුන්ට තිබෙනවා. ඔවුන් එය අවියක් බවට පත්කර ගත්තා. එහි ක්‍රියාකාරිත්වය ගැන ඔවුන්ට පූර්ණ විශේෂඥ දැනුම තියෙනව” ආචාර්ය විල් මිර්ෂායානොෆ් පවසයි.

    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටින රුසියාවේ තානාපතිවරයා පවසන්නේ, සෝවියට් අවධියට අයත් විෂ රසායන අවි නිෂ්පාදනය 1992 වසරේ දී නතරකරන ලද බවය. එපමණක් නොව, ඒවනවිට පැවති විෂ රසායන තොග 2017 වසරේ විනාශකර දමන ලද බවත් තානාපතිවරයා ප්‍රකාශ කරයි.

    රුසියාව සතුව පැවති රසායනික අවි මෙට්‍රික් ටොන් 39,967 ක් සහමුලින්ම විනාශකර දමන ලද බව තහනම් රසායනික අවි සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය (OPCW) 2017 වසරේ සැප්තැම්බර් මාසයේ තහවුරු කළේය.

    ”එහෙත් මෙම ‘නොවිචොක්’ විෂ රසායනය පිළිබඳ කිසිදාක OPCW සංවිධානයට හෙළිදරව් කරනු ලැබ නැත. හේතුව, එම විෂ අවියේ රසායනික සංයුතිය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය හමුවේ එය කිසිදු පාලනයක කොටසක් බවට පත් නොවූ රසායනයක් වීම” යැයි ලීඩ්ස් සරසවියේ මහාචාර්ය ඇලස්ටෙයාර් හේ (Prof Alastair Hay) පෙන්වා දී ඇත.

    Navalnyy, Berlin,
    අලෙක්සි නවාල්නි සයිබීරියාවේ ‘ඔම්ස්ක්’ නගරයේ සිට ගුවන් මගින් බර්ලින් නගරය කරා ගෙනයන අවස්ථාව

    ඇතැම් ආණ්ඩු මගින් පවත්වා ගෙන යන විද්‍යාගාරයන්හි රසායනික මාත්‍රා පිළිබඳව සකස් කරන ලද ලුහුඬු වාර්තාවන්හි ඒවායේ ක්‍රියාකාරිත්වයට අදාළ තොරතුරු ඇතුළත් කර තිබීමේ ඉඩක් ඇති අතර,යම්කිසි තැනැත්තකුගේ රුධිරයෙහි නාඳුනන විෂක් ඇතැයි සොයාගනු ලැබුවහොත් පසු අදියරක දී ඒවායේ අනන්‍යතාව තහවුරුකර ගැනීමට එමගින් හැකිවනු ඇත.

    Text by bbc

  • කොරොනා ආසදනය වී සුවය ලැබූ කාන්තාවකගේ අනුවේදනීය අත්දැකීමක්

    කොරොනා ආසදනය වී සුවය ලැබූ කාන්තාවකගේ අනුවේදනීය අත්දැකීමක්

    කොරෝනාවෛරස් වසංගතය ආරම්භයේදී ම මොනික් ජැක්සන් කොවිඩ් – 19 රෝගයට ගොදුරු වූවාය. මේ වන විට මාස හයකට ආසන්න කාලයක් ගත වී හමාර නමුත් තවමත් ඇය පසුවන්නේ අසනීප තත්වයෙනි.

    මෙවැනි තත්වයකට මුහුණ දී සිටින දහස් ගණනක් පිරිස අතරින් ඇය තවත් එක් පුද්ගලයෙක් පමණි.

    ඇය සියල්ල දිනපොතක සටහන් කර තැබුවාය. තමන් මුහුණ දෙමින් සිටින රෝග ලක්‍ෂණ සහ ප්‍රතිකාර සඳහා ගත් නිෂ්ඵල උත්සාහයන් සවිස්තරාත්මකව සඳහන් වී තිබේ.

    Monique crying on the phone

    මොනික් රෝගාතුර වූයේ පසුගිය මාර්තු මාසයේදී ය. මුලදී සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන තත්වයක් තිබුන ද අද වන තුරු ඒවා පහව ගොස් නැත.

    පස්මසක් ඇවෑමෙන් පවා, තම සිරුරට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ඇයට තේරුම් ගැනීමට අපහසු වී තිබේ.

    මොනික්, සමාජශීලී සහ ඉතා ක්‍රියාශීලී කාන්තාවක් වූවාය. රෝගී වීමට පෙර ඇයගේ සාමාන්‍ය දින චර්යාවට තායි බොක්සිං සහ ජියු ජිට්සු සටන් කලාව පුහුණුවීම ද ඇතුළත්ව තිබිණි. ඊට අමතරව දිනකට සැතපුම් 12ක පමණ දුරක් පාපැදියෙන් සම්පූර්ණ වන්නේ රැකියා ස්ථානය සඳහා යාම ඒම සඳහා ය. ඇය සේවය කරන්නේ ලන්ඩන් නුවර කලාගාරයක ය.

    නමුත් පසුගිය මාස කීපය තුළ මොනික් ගේ ජීවිතය විශාල වෙනසකට භාජනය විය. දැන් ඇයට දත කට මැද ගැනීමට පවා ශරීර ශක්තිය ඉතිරි කර ගැනීමට සිදු වී තිබේ.

    “මම අලස ගැහැනියක් නොවෙයි.” මොනික් පවසන්නීය. එසේ පැවසුවත්, ඇතැම් දිනවල ඇයට කළ හැකි වන්නේ නිවසේ බිම් මහලට තරප්පුවෙන් බැසීම පමණි.

    තමන්ට සහය දීම තමන්ගේ ම සිරුර විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව තම දින චර්යාවේ තොරතුරු ලියා තැබීමට ඇය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යය තෝරා ගත්තාය.

    එමගින් තම රෝගී තත්වය පිළිබඳව තොරතුරු අන් අය හා බෙදා ගැනීමටත් එවැනිම තත්වයට පත්වී ඇති තවත් අය සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් ඇයට හැකියාව ලැබී තිබේ.

    කොරෝනාවෛරසය පිළිබඳව බොහෝ දේ හෙළිදරව් කර ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී ඇති නමුත් ඇතැමුන්ට ඉන් දීර්ඝකාලීන බලපෑමක් ඇති කිරීම තවමත් ප්‍රහේලිකාවක්ව පවතී.

    මුලදී සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කළ ද ඇතැම් පුද්ගලයන්ගෙන් එය පහව නොයන්නේ මන්ද?

    A drawing of Monique sweating

    මොනික් සහ සිය මිතුරිය කෝවිඩ් 19ට ගොදුරු වූයේ එකවර ය. ඊට පෙර දෙදෙනා එක්ව දුම්රිය ගමනක යෙදී තිබුණි. මුලදී දෙදෙනා එකිනෙකා පිළිබඳව සොයා බලමින් තොරතුරු හුවමාරු කර ගෙන තිබුණි. දෙදෙනාගේ ම රෝග ලක්ෂණ එක හා සමාන විය. පසුව එම තොරතුරු හුවමාරුව නැවතුණි.

    “මට ඒක නවත්වන්න සිද්ධ වුණා. ඒක ඔලුව විකාර කරවන දෙයක් වගේ දැනෙන්න පටන් ගත්තා.” මොනික් පැවසුවාය.

    පළමු දෙසතිය තුළ ඇයට දැනුණේ සාමාන්‍ය උණ හෙම්බිරිස්සා ගතියකි. ඇයට අධික තෙහෙට්ටුවක් දැනුණි. ඇඳෙන් බැස්සේ ඉඳහිට ය. ඒ වන විට ලන්ඩන් නුවර පැවතියේ ශීතල කාලගුණයකි. නමුත් ශරීර උෂ්ණත්වය පහළ දැමීමට අවැසි වූ හෙයින් ඇය උණුසුම් ඇඳුම් ඇඟ ලා නොගත්තාය. අයිස් සහිත කුඩා බෑගයක් හිස මත තැබුවාය.

    දෙවන සතිය වන විට හුස්ම ගැනීමේ අපසසුතා මතු විය. ගිලන් රථයක් ගෙන්වා ගත නමුත් ඇයගේ සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය නිසියාකාරව පවතින බව ඔවුන් පවසා ඇත.

    “ඒ අය කිව්වේ මම බියට පත්වෙලා කියල.” මොනික් පැවසුවාය. තමන්ට කෝවිඩ් 19 වැළඳී ඇත්දැයි සනාථ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු නොකෙරිණි. ඊට හේතුව මාර්තු මාසය වන විට එක්සත් රාජධානිය තුළ එවැනි පරීක්ෂණ මහා පරිමාණයෙන් දියත් කර නොතිබීම ය. එවැන්නක් සිදු වූයේ අසාධ්‍ය තත්වයේ පසුවන්නන් සඳහා පමණි.

    A drawing of an ambulance

    සිය තත්වය සමනය කර තබා ගැනීම සඳහා ඇය ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක් භාවිතා කළාය. අමුවෙන් සුදුලූනු කෑමට පටන් ගත්තාය. තමන්ට රසය දැනීමේ වෙනසක් ඇති බව වැටහුණේ එවිටය. ඇයට තෙහෙට්ටුව වැඩියෙන් දැනෙන්නට වූවාය.

    “ජංගම දුරකතනයෙන් දෙදෙනෙකුට කෙටි පණිවිඩ යැව්වත් මට ලොකු මහන්සියක් දැනෙනවා.”

    දෙවන සතිය ගෙවී යත්ම ඇතැම් රෝග ලක්ෂණ යටපත් වුව ද ඒ වෙනුවට වෙනත් රෝග ලක්ෂණ මතු වන්නට විය.

    “මගේ පපුව මැද්දෙන් රිදිල්ලක් දැනෙන්න ගත්තා. ඒක ටිකෙන් ටික දැවිල්ලක් බවට පත් වුනා. දත් මිටි කැවෙන තරමට වම් පැත්තෙන් වේදනාව දැනෙන්න ගත්තා. මම හිතුවා මට හෘදයාබාධයක් එනවා කියල.”

    A drawing of the feeling of heartburn

    වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මොනික් 111 හදිසි අංකය ඇමතුවාය. ඔවුන්ගේ උපදෙස වූයේ පැරසිටමෝල් වේදනා නාශකය ලබා ගත යුතු බවය. පවතින වේදනාවට හේතුව කුමක්ද යන්න ඔවුනට පැහැදිලි නැතත් පැරසිටමෝල් මගින් ඇතැමුන්ට සහනයක් ලැබෙන බව ඔවුන් පවසා තිබේ.

    පැරසිටමෝල් මගින් වේදනාව සමනය විය. නමුත් යමක් ආහාරයට ගත් වහාම ඇයගේ උදරය සහ උගුරේ “ගින්නක් වැනි” දැවිල්ලක් ඇති විය.

    මුලදී වෛද්‍යවරු සිතුවේ ඇයගේ ආමාශයේ සහ උගුරේ තුවාල ඇති බවය. නමුත් එය මෙම වෛරසය නිසා ඇතිවන රෝග ලක්ෂණයක් බව පසු කාලීනව සනාථ වී තිබේ.

    සති හයක් පමණ ඇවෑමෙන් තවත් රෝග ලක්ෂණයක් මතු විය. මුත්‍රා පහකරන විට මොනික්ට දැවිල්ලක් දැනෙන්නට විය. කොන්දේ වේදනාවක් ද හට ගත්තේය. එය බැක්ටීරියා ආසාදනයක් නොවන බව සනාථ වීමට පෙර වෛද්‍යවරු විසින් ප්‍රතිජීවක ඖෂධ (antibiotic) වාර තුනක් ම ඇයට නියම කරනු ලැබ තිබුණි.

    “ඒක දරාගන්න අසීරු වේදනාවක්. ටික දවසකට පස්සේ ඒ වේදනාව නැතිවෙලා ගියා.” මොනික් පැවසුවාය.

    Monique in hospital on an IV

    මොනික් සමාජ මාධ්‍ය භාවිතය අතහැර දැමුවාය. කෝවිඩ් 19 රෝගය පිළිබඳව යමක් ඇසෙන විට පවා ඇයට භීතියක් ගෙන දුන්නාය; එය හුස්ම ගැනීමට පවා බලපෑවේය. අනෙකුත් රෝගීන්ගේ තත්වය පාපොච්ඡාරණය කෙරෙන පුවත් ඇයට බිය ගෙන දෙන තත්වයකි.

    තමන් තවදුරටත් සමාජ මාධ්‍ය භාවිතා කළහොත් මල සිරුරු සහිත පුවත් දිගින් දිගටම දැකීමට සිදුවනු ඇතැයි ඇය බිය වූවාය.

    ටික දිනකට පසුව ඇය මිතුරියකගේ ආධාරයෙන් රටේ සිදුවෙමින් පවතින දෑ පිළිබඳව තොරතුරු දැන ගත්තාය. කෝවිඩ් 19 වැළඳී මිය යන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කළු ජාතිකයන් සහ මිශ්‍ර ජාතිකයන් බව ඇයට සැල විය. මොනික් මිශ්‍ර ජාතික කාන්තාවකි. ඇය බියට පත්වූවාය.

    “කළු ජාතිකයන් ඔක්කොම මැරිලා යන හැටි පෙන්වන බියකරු චිත්‍රපටයක් වගේ ඒක මට දැනුනේ.”

    Monique in the bath listening to podcasts

    දිනක් ඇය නාන තටාකයේ ඇලවී සිටින අතරතුර හඬ පටයකට සවන් දුන්නාය. කළු ජාතික ඇමරිකානුවන් බොහෝ පිරිසක් කෝවිඩ් 19ට ගොදුරු වී මරණයට පත් වෙමින් සිටින බව එහි කියැවුනි.

    එකිනෙහිම ඇය ජංගම දුරකථනය අතට ගත්තේ සිය කළු ජාතික ඥාතීන්ට ඊමේල් පණිවුඩ යැවීමට ය.

    මෑතක දී තමන්ට නිතර දෙවේලේ හමුවූ සියලු දෙනා සුළුජාතික ප්‍රජාව නියෝජනය කරන්නන් බව ඇයට සිහිපත් විය.

    වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් එහා මෙහා ගෙන ගිය ඌබර් රියදුරන්, තමන්ට සේවය සැපයූ රෝහල් සේවකයන්, තමන්ට අවශ්‍ය ආහාර පාන මිල දී ගන්නා වෙළඳසැලේ සිටින පිරිස …

    “මගේ කෝවිඩ් චාරිකාව තුළදී මේ හැම දෙනාම මට හමු වුනා.”

    A drawing of a hospital visit

    සතියෙන් සතිය ගෙවී යමින් පැවතිනි. ඇතැම් රෝග ලක්ෂණ වෙනුවට වෙනත් රෝග ලක්ෂණ මතු වෙමින් පැවතුනි. එන්න එන්න ම තත්වය අමුතු විය.

    බෙල්ලේ පසෙක වේදනාවක් සමඟ දෙසවන් තුළ අමුතු සංවේදනාවක් දැනෙන්නට විය.

    මොනික් ගේ දෑත නිල් පැහැ ගැන්විණි. වහා ඇය ජල කරාමයක් අසලට දිව ගියේ උණුසුම් ජලය වත් කොට නැවත දෑතට රුධිරය ගලා ඒම සැලැස්වීමට ය. වෛද්‍යවරයාට දැනුම් දුන් විට ඔහු විමසා ඇත්තේ ඒ මොහොතේ තම දෑතේ තිබූ තත්වය පෙන්වීම සඳහා ඡායාරුපයක් ගත්තේ ද යන්නය.

    “මට මතු වන අලුත් රෝග ලක්ෂණ එකින් එක දැනුම් දීමට මම ඔවුන්ට කතා කළා. ඒ අය මගෙන් අහන්නේ මගේ මානසික සෞඛ්‍යය කොහොමද කියල. මේවා දරුණු දේවල් හෝ සැබෑ වේදනාවන් නොවන බව තමයි අඟවන්නේ.” මොනික් පැවසුවාය.

    අයගේ සිරුර පුරා පලු සහ කුෂ්ඨ මතු විය. විටෙක ඇයගේ දෙපා ඇඟිලි තුඩු රත් පැහැ විය. ඇතැම් විට ඇය නින්දෙන් අවදි වන්නේ සිරුරේ යම් යම් ස්ථාන මත ඇනුම් දෙන වේදනාවක් සහිතවය.

    දිනක් රාත්‍රියේ සිය මිතුරියකට දුරකතනයෙන් කතා කරමින් සිටියදී තම මුහුණේ දකුණු පස පහළට ඇදී යන බව මොනික්ට දනුනාය. ඇය කන්නාඩියක් වෙත දිව ගියේ මුහුණ බැලීමටය. මුහුණේ කිසිදු වෙනසක් නොමැති බව ඇය දුටුවාය. තමන්ට ආඝාතයක් (stroke) ඇතිවීමට යන්නේදැයි බිය වූ නමුත් ඒ බවක් සනාථ කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට සාධක නොවීය.

    Monique looking at her face in the mirror

    ඇයගේ සිරුර පුරා පුදුමාකාර සංවේදනා දැනෙන්නට විය. ඇතැම් විට කිසිවෙකුගේ දෑතින් තම දෙපා අදින්නාක් මෙන් දැනේ. තවත් විටෙක තම කෙහෙරැලි මුහුණ මත හෝ මුව තුළ දැවටෙන බවක් දැනෙන්නට විය.

    මේ සියල්ල වෛද්‍යවරයාට පැහැදිලි කර දීමට ඇයට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. ඇතැම් විට වෛද්‍යවරයාගෙන් ලැබෙන්නේ විනාඩි පහකට හෝ දහයකට පමණක් සීමා වූ දුරකථන ඇමතුමකි. එම කාල සීමාව තුළ තම සිරුර පුරා සිදුවන වෙනස් කම් කොහෙත්ම පැහැදිලි ලෙස විස්තර කළ නොහේ.

    “අඩු තරමින් ඔවුන් මට කිව්වනම්, ඔබට වැළඳිලා තියෙන්නේ කෝවිඩ් රෝගය; අපි එකට බෙහෙත් කරන්න තවම දන්නේ නැහැ කියල, ඒ හොඳටම ඇති.” මොනික් පැවසුවාය.

    තමන්ට ප්‍රතිකාර ලැබුණු ආකාරය සාරාංශගත කිරීමට ඇයට අසීරුය. ජාතික සෞඛ්‍ය සේවයේ බොහෝ දෙනා ඇයට විශිෂ්ඨ සේවයක් සපයා ඇති බව ඇය පවසන්නීය. නමුත් තමන් මුහුණ දී සිටි තත්වයට පත් වන කිසිවෙකුට මෙම ක්‍රමය වැඩදායක නොවන බව ද ඇය පැවසීය.

    තම සිරුර තුළ තවමත් කොරෝනාවෛරසය පවතීදැයි පරීක්ෂා කර බැලීමට අවස්ථාව උදා වන විට ඇයට රෝගය වැළඳී සති නවයක් ගතවී හමාරය. ඒ කාලය ඇතුළත තමන්ගෙන් තවත් කෙනෙකුට වෛරසය ආසාදනය වේදැයි දැඩි බියකින් ඇය පසු වූවාය.

    රජයේ උපදේශය වන්නේ සත් දිනක් හුදෙකලා වී සිටිය යුතු බවය. නමුත් දින හතකින් රෝග ලක්ෂණ පහව නොයන්නේ නම් කළ යුත්තේ කුමක්දැයි ඇය සිතන්නට වූවාය.

    A drawing of the fridge

    තම මහල් නිවාසය තුළ එකට ජීවත් වන සිය මිතුරියෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම විධි අනුගමනය කරන්නට පටන් ගත්හ. ශීතකරණයේ දොර විවර කරන්නට අවශ්‍ය විට තම තමන්ට වෙන් වූ ස්ථාන සලකුණු කොට තිබුණි. ආහාර පාන රැගෙන කාමරයට ගොස් අනුභව කරති.

    දිනක් මොනික් නැවුම් වාතාශ්‍රය ලබා ගැනීම සඳහා නිවස අද්දර වූ උද්‍යානය වෙත ගියාය. එහිදී කුඩා දරුවෙකු තමා අසලට දිව එන්නට විය. මොනික් ලහිලහියේ ඒ දරුවාගෙන් ඉවතට වූ අයුරු එම දරුවාගේ මව දුටුවාය. මව ඒ දෙස බැලුවේ අමනාපයෙනි.

    “මගේ ළමය ඔයාට අහලකටවත් ආවෙ නැහැනේ?” මව නොරිස්සුම් ස්වරයෙන් කීවාය.

    හේතුව පැහැදිලි කිරීමට මොනික් උත්සාහ කළාය. තමන්ට එසේ කරන්නට සිදු වූයේ ළමයාට ඇති අකමැත්ත නිසා නොව, වෛරසයක් වේනම් දරුවාට එය බෝවීම වැලැක්වීම තමන්ගේ අරමුණ වූ බව පැහැදිලි කළාය.

    “අසනීප මිනිස්සු ගේ ඇතුළට වෙලා සිටිය යුතුයි.” දරුවාගේ මව මොනික්ට අවධාරණය කළාය.

    මෙය එතරම් පහසු දෙයක් නොවන බව තේරුම් ගැනීම සඳහා, තමන්ගේ දිනපොතේ සටහන් සමාජයට වැඩදායක වනු ඇතැයි මොනික් විශ්වාස කරන්නීය.

    Monique shouts at a child as it runs towards her in the park

    සිය මිතුරු මිතුරියන් තමන්ට උදව් උපකාර කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගත් බව මොනික් පවසන්නීය. නමුත් එය දිගටම කරගෙන යාම ඇතැමුන්ට එපා වෙමින් පවතින බව මොනික්ට දැනෙන්නට විය.

    තමන්ට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි කිසිවෙකුට වටහා ගත නොහැකි තත්වයකට පත් වී තිබේ. “එක්කෙනෙක් මට කිව්වා, මම උවමනාවට වඩා කෝවිඩ් රෝගය ගැන හිතනවා කියල” මොනික් පැවසුවාය.

    මේ මොහොත වන විට, රෝග ලක්ෂණ පෙන්නුම් කරන උදවිය වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම බ්‍රිතාන්‍ය රජය ආරම්භ කළේය. එම පුවතින් මොනික් ඉතා සතුටට පත් වුවාය.

    නමුත් ඒ වනවිට විවෘත වී තිබුනේ තමන්ගේ මෝටර් රථය තුළ සිටියදී ම පරීක්ෂණය සිදු කෙරෙන (drive-in) මධ්‍යස්ථාන පමණි. මොනික් මෝටර් රථයක් භාවිතා නොකරන හෙයින් තවත් පුද්ගලයෙකු අවදානමකට ලක් කරන්නේ කෙසේදැයි ඇය සිතන්නට විය.

    කෙසේ හෝ තම මිතුරෙකු කැමැත්තෙන් ම ඉදිරිපත් වීම නිසා ඇය වෛද්‍ය පරීක්ෂණය සඳහා අදාළ ස්ථානය වෙත ගියාය.

    Monique getting a covid test in the car with her friend

    පරීක්ෂණය සිදු කෙරෙන ස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් සිටිනු ඇතැයි අපේක්ෂා කළ නමුත් මොනික්ට දැක ගත හැකි වූයේ හමුදා සොල්දාදුවන් ය. ඔවුන් හැඳ සිටි කාකි නිල ඇඳුම් දහඩියෙන් පෙඟී තිබුණි. ඔවුන් තරුණ වියේ පසු වන්නන් බව තම පරීක්ෂණය සිදු කෙරෙන අවස්ථාවේදී මොනික්ට වැටහුණි.

    එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණි. ඉන් කියවුණේ තම සිරුරෙන් කොරෝනාවෛරසය පහව ගොස් ඇති බවය. එය මොනික්ට මහත් අස්වැසිල්ලක් විය. ඊට හේතුව සිය මිතුරන්ට සහ ඥාතීන්ට තමන්ගෙන් අවදානමක් නොමැති බව සනාථ වීමය.

    නමුත් තවමත් ඇය යථා තත්වයට පැමිණ නැත. “තමන් ආසදිතයෙක්ය යන හැඟීමෙන් මානසිකව මිදීම එතරම් පහසු දෙයක් නොවෙයි” මොනික් සිය දිනපොතේ පසුව සඳහන් කර තිබුණි.

    තමන් රෝගී වී සිව් මසක් ගතවීමෙන් අනතුරුව පදිංචිය සඳහා වෙනත් නිවසකට යාමට මොනික් තීරණය කළාය. තමන්ට තනිවම සිය නිවසේ සුළු පිරිසිදු කිරීමක් පවා කර ගැනීමට තරම් ශරීර ශක්තියක් නොමැති වීම හේතුවෙන් ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ ජීවත් වීමට පියවර ගත්තාය.

    Monique shivering in her bed late at night

    මොනික්ට තිබූ ශවසන අපහසුතා කෙමෙන් පහව යමින් තිබුණි. මීට පෙර ඇය ඉහළ මහලට යාම සඳහා තරප්පුව නගිද්දී හති ඇරීමට අතරමග නතර වීමට සිදු විය.

    ජුලි මාසය වන විට එක ගැම්මට තරප්පු පෙළ නැගීමට ඇය සමත් වුවාය. නමුත් තම කාමරය පිරිසිදු කරමින් සිටියදී ඇය ක්ලාන්තය වී අද වැටුනාය. එතැන් පටන් ඇය සති තුනක් ම ඇඳ මතට වී කාලය ගත කළාය.

    Monique calling her friend who is outside her window

    තම සෞඛ්‍යය යථා තත්වයට පත් කර ගන්නේ කෙසේදැයි මොනික්ට සිතා ගන්නට බැරි විය.

    “බොහෝ දෙනා මට කිව්වා ‘මොනික්, ඔයාට ආයෙත් බයිසිකල් පදින්න පුළුවන් වෙයි, ආයෙත් බොක්සිං සෙල්ලම් කරන්න හැකි වෙයි, සනීප ගතියක් දැනුනම අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න’ කියල. ඒත් ඒ කිසි දෙයකින් මට සහනයක් ලැබුනේ නැහැ.”

    රෝග ලක්ෂණ පහව නොයන පුද්ගලයන්ට කළයුතු ප්‍රතිකාරය කුමක්දැයි තවමත් වෛද්‍යවරුන්ට පැහැදිලි නැත.

    “කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියල තේරුම් අරගෙන ජීවත් වෙන එක විතරයි කරන්න තියෙන එකම දේ. මොන දේ සැලසුම් කළත් තමන්ගේ ශරීරයෙන් ඇතැම් දේ කරන්න කිසිම සහයක් ලැබෙන්නේ නැහැ.” මොනික් පවසන්නීය.

  • තෙල් නැවේ ගින්නේ අලුත්ම තත්ත්වය ගැන නාවික හමුදාවේ ‘නිල වාර්තාව’ මෙන්න

    තෙල් නැවේ ගින්නේ අලුත්ම තත්ත්වය ගැන නාවික හමුදාවේ ‘නිල වාර්තාව’ මෙන්න

    එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාවද මේ වන විට එම ස්ථානය වෙත ලඟා වී ඇත.

    ගිනි නිවීමේ උපාංග සහ වෘත්තීය ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ටීටීටී 1 (TTT One) නමැති තවත් ටග් යාත්‍රාවක් සහ තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක්ද අද සවස් කාලයේ මෙම ආපදා සහන මෙහෙයුමට එක්වීමට නියමිතය.

    එමෙන්ම, මෙම හදිසි ආපදා තත්වය ජාතික අවශ්‍යතාවයක් සේ සළකා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG), කොළඹ නැව් තඨාකාංගණය (CDL), ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ඉන්දියන් ඔයිල් සමාගම (IOC) යන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් මගින් ගිනි නිවීම සඳහා ලබා දුන් රසායනික ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ත්‍රිකුණාමලය වරායේ සිටත්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායට අයත් සමුද්‍රාරක්‍ෂා සහ සමාරක්‍ෂා යන නෞකාවන් හම්බන්තොට සහ කොළඹ වරායේ සිටත් ආපදා සහන මෙහෙයුමට දායක වීම සඳහා මේ වන විට පිටත් වී ඇත.

    දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් (02) , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 17වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG) අයත් රාවණා හා වසඹ යන ටග් යාත්‍රාවන් මෙන්ම ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාව සහ ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02) සහ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් ආපදාවට පත් නෞකාවේ ගිනි නි‍වීමේ මෙහෙයුමේ තවදුරටත් නිරතව සිටී.

    තවද, මෙම එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ ඇති වූ ගින්න සැළකිය යුතු ලෙස පාලනය කළ ඹ්නෑම මොහොතක එම නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. දැනට නෞකාව ගොඩබිමට නාවික සැතපුම් 22 කට ආසන්න දුරකින් (කිලෝමීටර 35) දුරකින් රඳවා තබාගෙන ඇත.

    Text – sl navy

  • Exclusive: ලංකාවට ලෝකයේ බිහිසුණුම පරිසර ව්‍යසනයට මුහුණ දීමට සිදුවෙයිද ? අලුත්ම Video මෙන්න

    Exclusive: ලංකාවට ලෝකයේ බිහිසුණුම පරිසර ව්‍යසනයට මුහුණ දීමට සිදුවෙයිද ? අලුත්ම Video මෙන්න

    බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 270,000ක් සමග ගිනි ගනිමින් පවතින ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප‍්‍රවාහන නෞකාව මගින් ලෝකයේ දරුණුතම පරිසර විනාශය සිදු කිරීමට ඉඩ ඇතැයි සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

    අද (04) පෙරවරුවේ දෙරණ නාළිකාවේ වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය. මෙම වැඩසටහනට එක් වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අදහස් දක්වමින් පවසා සිටියේ, ආරුගම්බේ, නිලාවේලී, වාකරේ සහ ත්‍රිකුණාමලය දක්වා කලාපය අවදානමේ පවතින බවයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ලහඳපුර මහත්මිය මෙසේද පැවසුවාය.

    ‘අපි උපකල්පනය කරන්න ඕනේ මේක කලාපය තුළ නෙමෙයි මේ ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය ලෙසයි. ඒ තරමට විනාශ බලගතු විය හැකියි. කිරින්දේ සිට නැගෙනහිර පැත්තට ඇති ඉතා සංවේදී පරිසර පද්ධතියට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. කාන්දුවීමක් සිදුවුවහොත් එය සිදුවුණාට පසුව සුදානම් වීමට අපිට කාලය මදි’

    ‘කාන්දුවක් ඇති උවහොත් මෙය මේ කලාපයේ ඇතිවූ විශාලම තෙල් කාන්දුව විය හැකියි, පරිසරයට ඉන් එල්ල වන බලපෑම අපට මනින්න බැහැ. ඒසදහා අපට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

    වසර 25-30 අතර දීර්ඝ කාලීන බලපෑමක්

    මේ අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ පැවසුවා. ‘තෙල් කාන්දුවු විගස ඝණ බවට පත්වෙනවා. ග්‍රීස් බවට පත්වෙලා වතුරේ පාවෙනවා. මේ ග්‍රීස් ප්‍රමාණය වෙරළ කලාප වෙන ආරුගම්බේ, නිලාවේලී, වාකරේ සහ ත්‍රිකුණාමලය දක්වා ආවොත් ඒ තෙල් අයින් කරන්නම කාලයක් ගතවෙයි. එහෙම අයින් කරත් අපිට අයින් කරන්න පුළුවන් වෙන්නේ සියයට 60ක් වැනි ප්‍රමාණයක් පමණයි. සියයට 40ක් අයින් කරන්න බැහැ. හැම වැලිකැටයක් ගානේ සුද්ද කරන්න බැහැ. ඒ පරිසරයේ තෙල් තට්ටුව ඉවත් කරලා තිබුණ තත්ත්වයට එන්න වසර 25 ක් හෝ 30ක් යයි. එසේ නැත්නම් නොඑන්නත් පුළුවන්. මේ තත්ත්වයේ තෙල් විෂවීමක් ලෝකයේ වෙනවාමයි. මේකෙන් කෙටි කාලීන නෙමෙයි දීර්ඝ කාලයක් හානි වෙනවා. තල්මසුන් හා කැස්බෑවන් වැනි සත්වයින්ට තෙල් තට්ටුව හේතුවෙන් ජලයෙන් උඩට ඒමට අවස්ථාව ඇහිරී එකත් බරපතළ ගැටලුවක්.

    ‘නෞකාවේ බඳ කොටසේ ජල මට්ටමින් යට මීටර 20ක් දක්වා වු ප්‍රමාණයක් පුරා තෙල් ගබඩා කර තිබෙනවා. පිපිරීම සිදුවු අවස්ථාවේ නෞකාවේ බොයිලේරුව තුළ පමණක් ගින්න ව්‍යාප්තව ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් එම අවස්ථාවේ දී නෞකාවේ කපිතාන්වරයා ගින්න මැඩ පැවැත්වීමට උත්සහ නොකර එම ප්‍රදේශය වසා දමා ඉවත්ව ගොස් තිබෙනවා. ගින්න එම අවස්ථාවේ දී පාලනය කර ගැනීමට අවස්ථාව තිබී තිබෙනවා‘ යැයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේය.

    ගින්න නිවන්න ලංකාවට හෝ ඉන්දියාවට පහසුකම් නෑ

    මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ  පවසන පරිදි මෙවැනි විශාල නෞකාවක ගින්නක් නිවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ ඉන්දියානු වෙරාලාරක්ෂක සේවයට පහසුකම් නොමැත. එබැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අම්පාර සිට දකුණු වෙරළ තීරයේ හම්බන්තොට දක්වා බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට අනුමාන කෙරේ.

    ‘”මෙය විශාල නෞකාවක් එය ගිනිගෙන එහි ඇති තෙල් මුහුදට මුදා හරිනු ලැබුවහොත් දැවැන්ත තෙල් කාන්දුවත් සමඟ කටයුතු කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාවට නැහැ.. එහෙත් අප එයින් ඇතිවියහැකි ආපදාවට සුදානම් වීමට අවශ්‍ය සියලුම පියවර ගන්නවා. ඒ සදහා අදාළ සියලුම පාර්ශව සමග හමුවක් හෙට උදැසන 8.30ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා,” යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

  • Picture Story: තෙල් නෞකාවේ ගළවා ගැනීමේ මෙහෙයුම

    Picture Story: තෙල් නෞකාවේ ගළවා ගැනීමේ මෙහෙයුම

    ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ඉන්ධන නෞකාව වෙත සහන සැළසීම සඳහා හදිසි සහන සැළසීමේ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට අද (03) කටයුතු කරන ලදි.

    කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත ලැබුණු මෙම ආපදා සංඥාවට අනුව, නැ‍ගෙනහිර මුහුදේ ආපදාවටපත් මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය ග්‍රීක ජාතිකයන් 05ක් හා පිලිපීන ජාතිකයන් 18ක් ඇතුළුව 23 කගෙන් සමන්විත වන අතර පැනමා ධජය යටතේ මෙම නෞකාව ලියාපදිංචි වී ඇත (IMO-9191424). මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස ආපදාවට පත්ව ඇති අතර එම නෞකාවේ භාවිතය සඳහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 1700 ක ප්‍රමාණයක්ද නෞකාවේ ගබඩා කර ඇති බව වාර්තාවී ඇත.

    මෙහිදී නාවික හමුදාවට අයත් රණරිසි නෞකාව, ආපදාවට පත් නෞකාව වෙත ළඟාවී නාවික හමුදා මුදවා ගැනීමේ කණ්ඩායම් එම නෞකාව වෙත ගොඩබස්වා අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි පිලිපීන ජාතිකයෙකු වන එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා නෞකාවෙන් මුදවා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කල්මුණේ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

    නෞකාව ආපදාවට පත්වන අවස්ථාවේ ඒ අසල යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක් වන එම්වී හෙලන් එම් (MV Helen M) නෞකාව ආපදාවටපත් නෞකාවේ කාර්යමණ්ඩලයේ ග්‍රීක ජාතිකයින් 03ක් සහ පිලිපීන ජාතිකයින් 16ක් බේරා ගැනීමට සමත් වූ අතර, එම බේරාගත් පිරිස නාවික හමුදාව මගින් ආරක්‍ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතව ඇත. තවද, ආපදාවට පත් නෞකාවේ කපිතාන් සහ තවත් කාර්යමණ්ඩල සාමාජිකයෙකු නාවික හමුදා සයුර නෞකාව මගින් ආරක්‍ෂිතව මුදවාගෙන ඇති අතර, ආපදාවට පත් නෞකාවේ එක් පිලිපීන් ජාතික නාවිකයෙකු අනතුරෙන් පසුව මේ වන තෙක් සොයා ගැනීමට හැකිවී නොමැත.

    එසේම මෙම අවස්ථාවේදී ආපදාවට පත් නෞකාව වෙත සහය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවන් දෙකක්ද (02) හම්බන්තොට වරායෙන් මෙම ආපදාවට පත් නෞකාවට සහය වීම සඳහා මේ වන විට පිටත්ව ගොස් ඇත.

    තවද, පසුගියදා සැපයුම් අවශ්‍යතාවයන් සඳහා හම්බන්තොට වරාය වෙත පැමිණි රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකාවන් ද්විත්වයක්ද (02) මෙම මෙහෙයුම සඳහා මේ වන විට හම්බන්තොට වරායෙන් පිටත්වී ඇති අතර, ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් “සෞර්යා” නෞකාව එම ස්ථානයට ළඟාවී ගින්න නිවීම ආරම්භ කර ඇත.තවද,ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවක් (01) සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුධ නෞකාවන් තුනක්ද (03) සහන සැලසීම හා ආපදා කළමණාකරනය සඳහා මෙම ස්ථානයට ළඟා වෙමින් පවතී.

    එමෙන්ම, පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව මෙලෙස මුදවාගත් ආපදාවට පත් නෞකා කාර්යමණ්ඩලයේ පිරිස් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ප්‍රථිකාර සඳහා යොමු කිරීමට සහ හුදෙකලා කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    තවද, මෙම ආපදා තත්වය හේතුවෙන් සිදුවිය හැකි තෙල් කාන්දුවීමේ අවධානම අවම කිරීම සහ කළමණාකරනය කිරීම සඳහා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

    අන්තර් ජාතික සම්මුතීන් යටතේ ඇති ජාත්‍යාන්තර බැඳීම් අනුව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර, මීට පෙරද නාවික හමුදාව මෙම කළාපය තුල ආපදාවට පත් වූ නෞකාවන් සහ යාත්‍රාවන් වෙතින් ලැබුණු ආපදා සංඥා ගණනාවකට ප්‍රතිචාර දක්වමින් එම නෞකා සහ යාත්‍රාවන් වෙත අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කර ඇත.

    Text and Pic by Sl navy

  • ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුපිරි නඩු තීන්දුවක් – රුපියලක දඩයකට යටත් කෙරුණ ‘ට්විටර්’ පණිවුඩයක්

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුපිරි නඩු තීන්දුවක් – රුපියලක දඩයකට යටත් කෙරුණ ‘ට්විටර්’ පණිවුඩයක්

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිනිශ්චය මණ්ඩලය “ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ලෙස” දැනුම් දුන් නමුත් නීතිවේදියා එය ප්‍රතික්ෂේප කළේය

    ඉන්දියාවේ සමාජ ක්‍රියාධරයකු සහ ප්‍රකට නීතිවේදියකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු කරන ලදුව ඊට සංකේතාත්මක දඬුවමක් වශයෙන් රුපියලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුණි.

    හැටතුන් හැවිරිදි (63) ප්‍රශාන්ත් භුෂාන් නම් එම නීතිවේදියා විසින් පළකරන ලද ‘ට්විටර්’ පණිවුඩ දෙකක් මගින් නොගැළපෙන ක්‍රියාවක් සිදුකරනු ලැබ ඇතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබ ඇත.

    එම ‘ට්විටර්’ පණිවුඩ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටින ලෙස අධිකරණය නීතිවේදියාට දැනුම්දෙනු ලැබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි. අධිකරණයේ එකී දැනුම්දීම බැහැරලමින් නීතිවේදියා කියාසිටියේ, “තමා විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩයේ අන්තර්ගත අදහස් තමා විශ්වාස කරන බවය. එසේම නිදහස් අදහස් ප්‍රකාශනයට අධිකරණයේ සාමාජිකයන් විවේචනය කරනු ලැබීමේ අයිතියත් ඇතුළත් වෙන බව ඔහු අවධාරණය කළේය.

    තීන්දුව ප්‍රකාර ප්‍රශාන්ත් භුෂාන් රුපියලේ දඩ මුදල සැප්තැම්බර් 15 දිනට පෙර නොගෙව්වොත් ඔහු මාස තුනක සිර දඬුවමකට යටත් කෙරෙන බවත් අධිකරණ තීන්දුවෙහි දැක්වෙයි.

    එම දඩ මුදල “ගෞරවාන්විතව ගෙවන” බව නීතිවේදියා පවසයි.

    එහෙත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “එම නියෝගයට එරෙහිව අභියෝග කිරීමට සහ තවත් අධිකරණ විමර්ශනයක් ඉල්ලා සිටීමට තමාට අයිතියක් පවතින” බවය.

    අධිකරණය නීතිවේදී භුෂාන්ට එරෙහි තීන්දුව ගෙන තිබුණේ, අගෝස්තු 14 වෙනි දිනයි. එහෙත් එල්ලවෙමින් පැවති අභියෝග හමුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීම කල්තබනු ලැබ තිබුණි.

    තුන් දහසකට ආසන්න විශ්‍රාමික විනිසකරුවන් සහ නීතිවේදීන් මෙන්ම ප්‍රකට පුරවැසියන් රැසක් ද අධිකරණය විසින් නීතිවේදී භුෂාන්ට දඬුවම් නියමකරනු ලැබීමේ තීන්දුව ප්‍රශ්න කොට ඇත. නීතිවේදියා අධිකරණයට අපහාස කළ බවට වරදකරු කිරීම, ඉහළ අධිකරණය ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයට අදාළව මහජනයා විසින් පළකරනු ලබන විවේචනාත්මක අදහස් අකර්මන්‍ය කර දැමීමක් ලෙස ඉහත කී කණ්ඩායම් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

    ප්‍රශාන්ත් භුෂාන් නීතිවේදියාට රුපියලක් දඩ ගැසීම සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී. එම නඩුව සමාජ මාධ්‍යජාලය තුළ සහ ඉන් පිටස්තරව ඉන්දියානුවන් අතර ධ්රුවී කරණයට ලක් මාතෘකාවක් බවට පත්විය.

    ඇතැමෙකුගේ මතය අනුව නීතිවේදියාට දඩ ගැසීම දිය යුතු සුදුසු දඬුවමකි. මේ අතර තවත් කොටසක මතය වුණේ, එය සිර දඬුවමකට මුහුණ දී සිටි නීතිවේදියා ලද සැබෑ ජයග්‍රහණයක් වූ බවය.

    bhushan
    ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රශාන්ත් භුෂාන් (R) මහජන ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම මගින් මහත් මහජන ගෞරවයක් දිනාගත් නීතිවේදියෙකි

    ප්‍රශාන්ත් භුෂාන් කාගේ කවුද?

    ප්‍රශාන්ත් භුෂාන් යනු මහජන ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම මගින් මහත් මහජන ගෞරවයක් දිනාගත් නීතිවේදියෙකි. එසේම ඔහු නොවලහා අදහස් ප්‍රකාශකරන්නකු ලෙස ප්‍රකටය.

    පසුගිය අවුරුදු තිහක කාලය තුළ ඔහු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම දිල්ලි මහාධිකරණය ඉදිරියේ නීතිවේදියකු ලෙස පෙනී සිට ඇත.

    “අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ඒ තුළ ක්‍රියාත්මක වෙන ආයතනයන්හි පැවැත්ම සහ අපේ රටේ අධිකරණය ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය මෙන්ම, විශේෂයෙන්ම එහි වගවීම පිළිබඳව මහජනයා තුළ පවතින මැසිවිලිවලට අදාළ බොහෝ කාරනා මම නිරන්තරයෙන්ම මතුකර තිබෙනවා,” නීතිවේදියා මෑතදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් කියා සිටියේය.

    ආණ්ඩුවේ දූෂණ, පරිසර ප්‍රශ්න, අධිකරණ කටයුතුවල විනිවිදභාවය සහ මානව හිමිකම්වලට අදාළ ප්‍රශ්න ඇතුළු කරුණු සමුදායක් සම්බන්ධයෙන් නීතිවේදී භුෂාන් වෙහෙස නොබලා කටයුතු කර ඇත.

    භුෂාන් ‘ට්විටර්’ පණිවුඩවල තිබුණේ කුමක්ද?

    නීතිවේදී භුෂාන් විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩ දෙකෙන් එකක ඇතුළත් වුනේ අගවිනිසුරු ෂරාද් බොබ්දේ (Sharad Bobde) මිල අධික යතුරු පැදියක හිඳ සිටින ආකාරයයි. භුෂාන් ගේ දෙවැනි ට්විටර් පණිවුඩයෙහි අවුරුදු හයක කාලයක් තුළ කටයුතු කර ඇති කලින් සිටි අගවිනිසුරන් හතර දෙනකුගේ හැසිරීම ගැන සඳහන් කර තිබුණි.

    එම ‘ට්විටර්’ පණිවුඩ දෙක “ශ්‍රේෂ්ඨාධිකරණයේ බල අධිකාරය සහ ගෞරවය යටපත්කර දැමීමට හේතුවෙන” බව පවසමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි මාසයේ භූෂාන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාවලියක් ආරම්භ කිරීමට යත්න දරා තිබුණි.

    තීන්දුව කුමක්ද?

    ඉහත කී කාරණය විභාගයට ගත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් භුෂාන් ගේ ‘ට්විටර්’ පණිවුඩ මගින් අධිකරණයේ බල අධිකාරියට හානි සිදුකෙරෙන බව පසුගිය අගෝස්තු 14 දින තීන්දු කර තිබුණි.

    “එකී ට්විටර් පණිවුඩ අධිකරණයේ සම්පූර්ණ පදනමට එල්ල කෙරුණ ද්වේශ සහගත සහ අශ්ලීල සිතා මතාම එල්ල කරන ලද ප්‍රහාරයක්,” වන බව පිටු 108 කින් යුත් අධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.

    එබැවින් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමට හානි සිදුකරන බවක් ද එහි දැක්වෙයි.

    නීතිවේදී භුෂාන්ට දඬුවම් නියම කරනු ලැබීමට පෙර අගෝස්ති 20 දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් “කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින ලෙස” දැනුම් දුන් නමුත් නීතිවේදියා එය ප්‍රතික්ෂේප කළේය.

    “මම අනුකම්පාවක් ඉල්ලා සිටින්නේ හෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මහාත්මභාවයක් පතන්නෙත් නැහැ. උසාවිය නියමකරන දඬුවමක් මම සතුටින් භාර ගන්නවා,” භුෂාන් කියාසිටියේ මහාත්මා ගාන්ධි උපුටා දක්වමිනි.

    bhushan
    ඡායාරූප ශීර්ෂ වැකිය,ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය ලෝකයේ බලවත් ආයතනවලින් එකකි

    තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය

    ඉන්දියාවේ ඉහළපෙලේ නීතිවේදීන්, විශ්‍රාමික විනිශ්චයකාරවරුන් ගණනාවක් සහ ප්‍රකට පුරවැසියන් රාශියක් ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විවේචනය කරමින් දැඩි විරෝධයක් පළකරනු ලැබ ඇත.

    බොහෝ දෙනකු විසින් අධිකරණ තීන්දුව දෝෂ දර්ශනයට ලක්කරනු ලැබ තිබුණේ එය විවේචන යටපත් කර දැමීමේ ප්‍රයත්නයක් සහ කිසිදු ආයතනයකට එවැනි අයිතියක් නොමැති බව පෙන්වා දෙමිනි.

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වන අර්වින්ද් ඩටාර් (Arvind Datar) ප්‍රකාශයක් කරමින්, එම නඩු තීන්දුව බරපතල පසුබෑමක් ලෙස විග්‍රහ කරමින් එය ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

    නීතිවේදී භුෂාන්ට එරෙහි පෙත්සම භාරගනු ලැබීම පවා අධිකරණ ක්‍රියාදාමය උල්ලංඝනය කිරීමක්ය යන්න ජ්‍යෙෂ්ඨ නීතිවේදී අර්වින්ද් ඩටාර් ගේ විග්‍රහය වෙයි.

    බීබීසියට ප්‍රකාශයක් කළ නීතිවේදී භූෂාන් තමාට එරෙහි පෙත්සම්කරුගේ පැමිණිල්ලේ මුල් පිටපතක්වත් තමා වෙත යොමු නොකළ බව කියා සිටියේය.

    bhushan
    ඡායාරූප ශීර්ෂ වැකිය,අරුන්දතී රෝයි (වමේ) නර්මදා වේල්ල ඉදිකිරීමෙන් ඇතිවිය හැකි හාණි පෙන්වා දුන්නාය

    අරුන්දතී රෝයි

    මෙවැනි අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ඉන්දියාවෙන් මෙයට පෙරත් වාර්තා වී ඇත. ‘බුකර්’ සම්මානලාභී ලේඛිකාවක වන අරුන්දතී රෝයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ 2002 වසරේ දී දවසක සංකේතාත්මක සිර දඬුවමකට සහ කුඩා දඩයකට යටත් කරනු ලැබුණි.

    ඉන්දියාවේ මහා විවාදයකට තුඩු දී පැවති ‘නර්මදා වේල්ල’ ඉදිකරනු ලැබීම සඳහා අධිකරණය අවසර දීම සම්බන්ධයෙන් අරුන්දතී රෝයි විසින් පළකරන ලද විවේචනාත්මක අදහස් ඇයට එම දඬුවම් නියම කිරීමට හේතු විය.

    by bbc sandesaya

  • 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය ගැන කරුණු 17ක්

    20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය ගැන කරුණු 17ක්

    • ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය.

    1.    ජනාධිපති මුක්තිය නැවත වරක් හදුන්වාදීම

    2.    ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කර  සිවිල් පුරවැසියන් ඉවතට

    3.    විගණන සේවා කොමිසම ඉවරයි.  නැවත විගණකාධිපති ධූරයට ස්ථාපනය වේ.

    4.    ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පත් කිරීම ව්‍යවස්ථා සභාව අහෝසියි

    5.    පොලිස්පති පත් කිරීම නැවතත් ජනපති අතට

    6.    නීතිපති පත් කිරීම නැවතත් සම්පූර්ණයෙන්ම ජනපති අතට

    7.    ඇමති මණ්ඩලයේ 30 සීමාව ඉවතට (කැමති ඇමතිවරු සංඛ්‍යාවක් පත් කිරිමේ බලය ජනපතිට)

    8.    රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40 සීමාව ඉවතට (ජනපතිට කැමති රාජ්‍ය/නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවක්)

    9.    පාර්ලිමේන්තුව රැස්වී අවුරුද්දකට පසු විසිරුවාහැරීමේ අවස්ථාව

    10.                       හදිසි පනත් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාව

    11.                       මැතිවරණ කොමිෂන් සභාවේ කොන්ද කඩයි. (රාජ්‍ය නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ බලය සහිත 104 උ වගන්තිය ඉවතට)

    12.                       ජනාධිතිවරයෙකු වීමට අවම වයස 35 සිට 30 දක්වා අඩු කෙරේ

    13.                       ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ වැඩ බැලීමේ පත්වීම් ජනාධිපති අභිමතයට

    14.                       අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින් ඉවත් කිරීමේ බලය ජනාධිපතිට

    15.                       පොලිස් කොමිෂන් සභාවේ බලය අඩු කර ඇත

    16.                       153 වගන්ති ඉවත් කිරීම – අතිශයින් විනාශකාරීවීම හා රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයින් හා එක්ව සිතු සේ කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.

    17.                       91 (1)      XIII ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බව ට වන කොටස ඉවත් කිරීම

    ප්‍රජාතන්ත්‍රවාදය කිසිදා, ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට යා යුතු යැයි මම නොසිතමි. නමුත්, අවාසනාවකට 20 වන ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්ලමටම, රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වයට කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව නොකියාම බැරිය.

    රජිත් කිර්ති තෙන්නකෝන්- හිටපු ආණ්ඩුකාර

  • 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම මෙන්න..

    20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම මෙන්න..

    ඊයේ (02) පැවැති කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද (03) දින නිකුත් කිරීමට රජය පියවර ගත්තා.

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූණා.

    කැබිනට් මණ්ඩයේ අනුමැතිය හිමිවීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා ඊයේ එය රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබුණා.

    ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

    20 වන සංශෝධනයට අදාළ ගැසට් ප…

  • නෝර්වේ තානාපතිනිය සහ කතානායක අතර විශේෂ හමුවක් – සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න

    නෝර්වේ තානාපතිනිය සහ කතානායක අතර විශේෂ හමුවක් – සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න

    ශ‍්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද උදෑසන පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මුණගැසුණාය.

    මෙහිදී මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සුබපැතුම් එක් කළ එම මහත්මිය පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කතානායකවරයා සමග සාකච්ඡුාවක නිරත වූවාය.

    මෙම හමුවෙහිදී දෙරටෙහි පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි සබඳතා හා සහක‍්‍රියාකාරීත්වයන් පිළිබඳවද එස්කෙඩල් තානාපතිතුමිය හා කතානායකවරයා අතර අදහස් හුවමාරු විය. ඔස්ලෝ මධ්‍යස්ථානය විසින් මීට පෙර දියත් කරන ලද වැඩසටහනක කොටසක් වශයෙන් ශ‍්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවෙහි සංචාරයක නිරත වෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණගැසුණු බවද ඇය සිහිපත් කළාය. පොදු ඒකමතිකභාවය හා සන්ධානගතවීම් ගොඩනැගීමේදී නෝර්වේජියානු සන්දර්භය තුළින් උගත හැකි වටිනා පාඩම් හඳුනාගැනීම එම සංචාරයේ අරමුණ විය.

    විවිධ රටවල් වෙතින් ප‍්‍රායෝගික අත්දැකීම් උකහා ගැනීම තුළින් ඉගෙන ගැනීමේ සහ විවිධ පාර්ලිමේන්තු ආශ‍්‍රිතව මුහුණ පෑමට සිදු විය හැකි අභියෝග හා ගැටළු වෙත සාර්ථකව මුහුණ දීම සඳහා එකී සන්දර්භයන්ට නිරාවරණය වීමේ වැදගත්කම අවධාරණය කළ එතුමිය, නෝර්වේ රාජ්‍යය ස්වකීය පාර්ලිමේන්තු අත්දැකීමෙන් උගත් පාඩම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බවද ප‍්‍රකාශ කළාය. මෙම හමුවේදී සාකච්ඡුාවට බඳුන් වූ තවත් මාතෘකා අතර ආර්ථික සංවර්ධනය, සාගරික අංශය, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මෙන්ම ශ‍්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තර කර ගත හැකි ආකාරද විය.

    නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ¥ත මණ්ඩල ප‍්‍රධානී හිල්ඬේ බර්ග්-හැන්සන් මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික බස්නායක මහතා සහ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.

  • මිරිස් වෙනුවට ගම්මිරිස් කන ලෙස ජනපති ජනතාවට කියයි

    මිරිස් වෙනුවට ගම්මිරිස් කන ලෙස ජනපති ජනතාවට කියයි

    කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සවංර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත්, විධිමත් සැලසුම් සැකසීම ගැන  දීර්ඝව සාකච්ඡා කෙරිණ.

    මෙරට වාර්ෂික බඩ ඉරිගු ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05කි. එය සපුරාගැනීමට වගා කළයුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වේ. දැනට හෙක්ටයාර 80,000ක බඩ ඉරිගු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර  එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි.

    ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහ හැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට  සැලසුම් කර තිබේ. මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරිමේ වැදගත්කම  ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

    පාකිස්ථානය මෙරට බුලත්වල ප්‍රධාන ගැණුම්කරුවෙකි. කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම නිසා අපනයනය පහත වැටිණ. ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසදුම් සොයන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    විශ්ව විද්‍යාල මගින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගය එකතුකිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ  අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    උක් කර්මාන්තයේ සහ කජු වගාවේ ප්‍රවර්ධනය

    කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු හා කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්නිලධාරීහු සහ වගා සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ප්ලාස්ටික් වෙනුවට කෙසෙල් ගසෙන් නව නිපැයුම්

    ප්ලාස්ටික් වෙනුවට කෙසෙල් ගසෙන් නව නිපැයුම්

    කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

    ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර ඇසුරුම් පෙළක් මෙරට ජනතාව ලබා දීමටත් ඉදිරියේ දී ඒවා ශ්‍රී ලාංකේය අභිමානය සහිතව විදෙස් වෙළඳාපොළට නිකුත් කිරීමටත් හැකි වනු ඇති බවට මේනක ආරියරත්න මහතා පවසයි.

    පසුගියදා අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව සිය නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මේනක ආරියරත්න මහතා මෙසේද සඳහන් කළේය.

    ‘කෙසෙල් කඳට මිල වටිනාකමක්’

    “අපි මේ වන විට කෙසෙල් කඳ යොදා ගෙන ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කොට තිබෙනවා. මේ සඳහා මෙරට කෙසෙල් ගොවීන් ඵලදාව නෙලා ගැනීමෙන් පසු ඉවත දමන කෙසෙල් කඳන් තමයි අපි යොදා ගන්නේ. මෙතෙක් කලක් කෙසෙල් ගොවියාගේ ‘කෙසෙල් කඳට’ මිල වටිනාකමක් ලැබුණේ නැහැ. නමුත් අපේ නව නිපැයුම් පෙළත් සමඟ කෙසෙල් කඳට මිල වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා කෙසෙල් ගොවියාට තම අස්වැන්න මත පදනම් නොවූ ආදායමක් ලැබෙනවා. එමගින් කෙසෙල් වගාව ප්‍රවර්ධනය වීමක් ද මෙමඟින් සිදුවේවි.

    ‘පරිසර හිතකාමී යෝගට් කෝප්පය’

    අපි මේ කෙසෙල් කඳ භාවිතා කරමින් සාදන ආහාර ඇසුරුම් පෙළ කාබනික, පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක්. මේ පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළ නිසා මෙතෙක් කලක් පරිසරයට එකතු වූ විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් නතර කරන්න පුළුවන් වෙනවා. මාසයකට ප්ලාස්ටික් යෝගට් කෝප්ප ලක්ෂ 100ක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා අපට උපකල්පනය කළ හැකියි, ‘මාසයකට පරිසරයට එකතු වන ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද’ කියා. ඒ පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීම පිළිබඳවත් සිතමින් තමයි මේ කෙසෙල් කඳ උපයෝගී කර ගනිමින් අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කොප්පය නිර්මාණය කළේ. එය ප්‍රධාන නිපැයුමයි. ඊට අමතර බත් ඇතුළු ආහාර ඇසුරුම් පෙට්ටි, ආහාර ඔතන කඩදාසි ලෙස ප්ලාස්ටික් ආශ්‍රිත ආහාර ඇසුරුම් සියල්ලට අපි විකල්ප ඇසුරුම් නිෂ්පාදනය කිරීමට සූදානම්.

    මෙම නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දීමේ අභියෝගය මා හමුවේ පැවතුණා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තුවෙන් මා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවුණා. කර්මාන්තකරුවන්ට සවියක් වීමට, ඔවුන්ගේ ගැටලු ඍජුව අමාත්‍යතුමන්ට ඉදිරිපත් කිරීමට ලබා දී ඇති ‘සඳුදා කර්මාන්තකරුවන්ගේ දිනයේ දී තමයි මා එතුමා හමුවුණේ. මා හට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිතුමා ඉතා කැමැත්තෙන් මැදිහත් වුණා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් කැඳවා අපේ මේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත ආහාර නිපැයුම් පෙළ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වන ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස එතුමන් උපදෙස් දුන්නා. ඒ නිසා මට මේ අභියෝගය ජය ගත හැකි යැයි විශාල විශ්වාසයක් ඇති වුණා. මගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් අපේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර මෙරට ජනතාව පරිසර හිතකාමී. සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයකට හුරු කර වීමයි.

    ඒ වගේම දැනටමත් ප්ලාස්ටික් යෝගට් කෝප්පය වෙනුවට අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්පය සිය නිෂ්පාදන සඳහා යොදා ගැනීමට ‘පැලවත්ත ඩෙයරි ප්‍රොඩක්ට්’ ආයතනය ගිවිසුම් ගතව සිටින බවත් කියන්න කැමතියි.”

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය

  • LPL T20 නොවැම්බරයේදී කරළියට

    LPL T20 නොවැම්බරයේදී කරළියට

    නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

    කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ සිටියි. 

    තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හි හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ඇත.

    කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට තිබෙන කණ්ඩායම් 5 සියළුම තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වෙනු ඇත.

    මෙම තරගාවලිය හරහා දේශීය තරග පිටියේ ක්‍රීඩකයින්ට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සමඟ කරට කර ක්‍රීඩා කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරන අතරම ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයින්ටද ගුණාත්මක ක්‍රිකට් තරගාවලියක් නැරඹීමේ අවස්ථාව සැලසෙනු ඇත.

  • මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඇමතිවරුන්ට ‘අනතුරු’ ඇඟයීමක්

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ඇමතිවරුන්ට ‘අනතුරු’ ඇඟයීමක්

    ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු යැයි ‘පැවිදි හඬ සංවිධානයේ’ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.

    අද (03) දින පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ මහජන මතයට කන් නොදෙන අමාත්‍යවරුන් හා නිලධාරීන් යහපාලන ආණ්ඩුවට සිදුවූ දේ ආදර්ශයට ගත යුතු බවයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේ ද සඳහන් කළහ.

    සමහර ඇමතිවරු ඉන්නවා දුරකථනයට කථා කරන්නේ නැහැ, සමහර ඇමතිවරුන්ට කථා  කරන්නවත්, පුළුවන්කමක් නැහැ. මේ මම හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  “සෞභාග්‍යයේ දැක්මට“ මේවා ගැළපෙන ඒවා නෙමෙයි”

    “ඇමතිවරු පත්කරේ ජනතාව, ජනතාවට මේ අය සේවකයෝ වෙන්නට ඕනේ, නම්‍යශීලි වෙන්නට  ඕනේ, ඇමතිලා හමුවෙන්න යන විට ඔවුන් හමුවෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මෙය  රටේ රාජ්‍ය නායකතුමාට මතක් කරනවා”

    “මේ ඇමතිවරු ජනතාවට නම්‍යශීලි වෙන්න ඕනේ, ජනතවගේ ඕනෑ එපාකම් ඉටුකරන්න ඕනේ, ජනතා සුභසිද්ධිය ගැන බලන්න ඕනේ, කාර්යාලයක නිලධාරීයෙක් හමුවෙන්නට යන විට ඔහු පුටුවේ නැහැ, වෙන දවසක එන්න කියලා කියනවා, නිලධාරියෙක් ළඟට ප්‍රශ්නයක් ගෙන ගියාම ඒ ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන සුමානයක් ඔහු ළඟට යන්නට ඕනේ”

    “ඒ නිසා මේ මහජන මතය හැමදාම එක පැත්තකට තිබෙන මතයක් නොවෙයි. මහජන මතයට කන්දෙන්න. මහජන මතයට පයින් ගහන්න එපා, නැත්නම් ඔබටත් වෙන්නේ යහපාලන අණ්ඩුවට වුණ දේ”  

  • රට නැවත අනාරක්ෂිත වීමට ඉඩ නොතබන්න – යුද හමුදාපති

    රට නැවත අනාරක්ෂිත වීමට ඉඩ නොතබන්න – යුද හමුදාපති

    ගත වු පැය 72ක කාලය තුළ විදේශයන්හි සිට පැමිණි කොවිඩ් 19 ආසාදිතයින් 89ක් හමු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    අද (03) වන විට විදේශ රටවලින් පැමිණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් සමස්ථ ගණන 1197ක් වේ. එයට විදේශිකයින් 42ක් සහ ලාංකීකයින් 1155ක් අයත් ය.

    තවදුරටත් විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් 189ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    සමාජය තුළ තවදුරටත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් අප්‍රේල් 30 වන දින සිට වාර්තා නොවන අවස්ථාවක විදේශ රටවලින් පැමිණෙන ලාංකීකයන් සහ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශකයින්ගෙන් වෛරසය දිවයිනට තුළට පැමිණෙන බව පෙනී යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    ලංකාව කොවිඩ් 19 විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කළ ආදර්ශමත් රටක් ලෙස පෙන්වා දී ඇතැයි ද පැවසු ශවේන්ද්‍ර සිල්වා මහතා, එවැනි අවධියක තවදුරටත් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වන මුඛ ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය, නිතර නිතර අත්සේදීම සහ කිවිසුම් යන විට රෙදි කැබැල්ලක් හෝ වැලමිට බාහුවෙන් නාසය සහ මුඛය ආවරණය කර ගැනීම වැනි කරුණුවලට අනුගත විය යුතු බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.

    විශේෂයෙන් දිවයින පුරා පාසැල්වල සියලූම පන්ති ආරම්භ කිරීමත් සමග විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය මඟින් පාසල් ළමුන් දැනුවත් කර දෙමව්පියන් සමග එක්ව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය අංගයක් සේ සලකා පාසල තුළ සහ ඉන් පිටත දී කටයුතු කළ යුතු බවත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එසේම කොවිඩ් පාලනය කළ රට, නැවත අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා සෑම ශ්‍රී ලාංකීකයෙකුම තවදුරටත් ක්‍රියාකල යුතු බවත් කොවිඩ් වෛරසයට ගොඳුරු නොවී සිටීම සඳහා තම සමාජ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුකල යුතු බවත් ඔහු අවධාරණය කරයි.