Author: Editor(T)

  • එජාපයට නව නායකයෙක් සමඟ පූර්ණ පක්ෂ ප්‍රතිසංවිධානයක් ඕනෑ – රනිල්

    එජාපයට නව නායකයෙක් සමඟ පූර්ණ පක්ෂ ප්‍රතිසංවිධානයක් ඕනෑ – රනිල්

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේදී පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැහැදිලිව ම පෙන්වා දුන් බවත් එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙසත් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කොට ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දුන් බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය පමත දැක්වේ.

  • SJB මන්ත්‍රීධුරවලින් 43%ක් ‘සුළුජන පක්ෂ’ ගිලිගත්තේ මෙන්න මෙහෙමයි !

    SJB මන්ත්‍රීධුරවලින් 43%ක් ‘සුළුජන පක්ෂ’ ගිලිගත්තේ මෙන්න මෙහෙමයි !

    පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ.

    ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන පක්ෂ මෙන්ම සුළු පක්ෂයක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය පවා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටීමය. ඔවුන් මෙහිදී ‘මස් රාත්තලම‘ ඉල්ලමින් අවධාරණය කරන්නේ සන්ධානගත වීම සදහා ඇතිකර ගත් එකගත්වය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් තමන් ‘ස්වාධීන කණ්ඩායමක්‘ ලෙස වෙන්ව යන බවයි.

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක හා ඩයනා ගමගේ ගේ නම් සාකච්ඡා වීමත් සමඟම සමගි ජන බලවේගයෙන් තරඟ කළ කුඩා පක්ෂ විරෝධය පා, තම පක්ෂ සමග ඇතිකරගත් එකඟතාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදිය යුතු බව ප්‍රකාශකිරීමත් සමගම එම පක්ෂයේ ජාතික ලැයිස්තුව අවසන් කීරීමේ ගැටළුවක් මතුවී ඇති බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    මේ තත්ත්වය සමගි ජන බලවේගය සහ සන්ධානගත පක්ෂ අතර දැඩි ආතතියක් මෙන්ම සමගි ජන බලවේගයේ අනාගතය පිළිබද බරපතළ අනතුරක් නිර්මාණය කර ඇති බව දේශපාලන නිරීක්ෂකයින්ගේ අදහසයි.

    ‘තත්ත්වය ඉතාම පැහැදිලිය. සජිත් ප්‍රේමදාසගේ අඩු දේශපාලන අත්දැකීම් සහ අති උද්දච්ච ස්වභාවය අනුව තාවකාලික සංහිදියාවක් නිර්මාණය කර ගත්තත් ඔහුට ඒක දීර්ඝ කාලීනව කරගෙන යාමට බැහැ. හේතුව ආණ්ඩුවට 3/2ක බලයක් තිබෙනවා. විපක්ෂ නායකයා ලෙස ඔහුට තිබෙන්නේ මන්ත්‍රීධුර 54ක් පමණයි. එයින් අඩකට ආසන්න ප්‍රමාණයක්, සුළුජන පක්ෂවලටයි හිමිවෙලා තිබෙන්නේ. මේ තත්ත්වය තුළ සුළුජන පක්ෂ සජිත්ව බිත්තියට හේත්තු කරන බව පැහැදිලියි‘ ප්‍රවීන දේශපාලන විශ්ලේෂක භාතිය බරුකන්ද අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

    එහිදී ඔහු අවධාරණාත්මකව කියා සිටියේ වත්මන් ආණ්ඩු පාලනය තුළ සුළු ජන ආතතිය වඩාත් තීව්‍රර වන තත්ත්වයක් තුළ සජිත ප්‍රේමදාස මහතාට මෙම සුළුජන පක්ෂ සමග දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවීම අනිවාර්ය බවයි.

    අර්බුදය ගැන ගැඹුරින්

    සමගි ජන බලවේගය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව අපේක්ෂා කළාට වඩා විශාල වශයෙන් අඩුවීමත්, ඒ නිසාම දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති මන්ර්‍තීධුර සංඛ්‍යාව අඩුවීමත් නිසා මේ අර්බුදය තීව්‍රර වී තිබේ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට දැඩි කැප කිරීමක් කළ කලුතර දිස්ත්‍රික් ප්‍රබලයා වන අජිත් පී. පෙරේරා, කොළඹ දිස්ත්‍රික්කයේ සුජීව සේනසිංහ මෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද පරාජිතයින් අතර සිටින අතර මාතලේ රංජිත් අලුවිහාරේ, ගම්පහ අජිත් මාන්නප්පෙරුම, යූ. ජෝර්ජ් පෙරේරා ද පරාජිතයින් අතර සිටී.

    මේ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට සමගි ජන බලවේගයේ මහ ලේකම් මොනරාගල නායක රජිත් මද්දුම බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් නායක හරීන් ප්‍රනාන්දු මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ඉමිට්යාස් බාකීර් මාකර්, ඉරාන් වික්‍රමරත්න වගේම පක්ෂයේ ඩයනා ගමගේ සහ මයන්ත දිසානායකත් පෙරමග බලා සිටී.

    විශේෂයෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරන්ත, තිස්ස අත්තනායක සහ හරීන් ප්‍රනාන්දු නොසලකා හැරීමට කිසිදු අවකාශයක් නැත. පරාජිතයින්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා නොදෙන බව සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති නිසා අජිත්. පී.පෙරේරා, සුජීව සේනසිංහ, කරුණාරත්න පරණවිතාන සහ හිරුණිකාගේ දේශපාලන අනාගතය දැන් පැහැදිලිය.

    සමගි ජන බලවේගයේ අදහස

    වත්මන් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන තෙක් නිල ප්‍රකාශයක් කර නැතත් සමගි ජන බලවේගයේ නායකයින් කිහිප දෙනකුම පසුගිය දිනවල වත්මන් තත්ත්වය දැඩිව විවේචනය කරමින් සිටී. ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පිළිබද අර්බුදයට වඩා සමගි ජන බලවේගයෙන් පත්ව ඇති (මනාපයෙන්) සුළුජන පදනමක් ඇති මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හා ප්‍රතිශයයය. සුළුජාතීන්ට අයත් මන්ත්‍රීධුර සංඛ්‍යාව සහ ප්‍රතිශතය තමන් ද කම්පනයට පත්කර ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රබලයින් කිහිප දෙනකුම පවසා ඇත.

    මේ තත්ත්වය දැඩිව විවේචනය කරමින් දිනපතා දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාලිත රංගේ බණ්ඩාර කියා තිබුණේ ‘සමගි ජන බලවෙගය නොව මුස්ලිම් – දෙමළ ජන බලවේගය‘ ලෙස සජිත්ගේ පක්ෂය හැදින්විය යුතු බවයි.

    මෙය පාලිත රංගේ බණ්ඩාරගේ හුදකලා ප්‍රකාශයක් නොව පසුගිය දිනවල ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය පමණක් නොව සමගි ජන බලවේගයේ ප්‍රබලයින් අතර ද දැඩිව සංවාදයට ලක් වූ මාතෘකාවක් බවට පත්ව ඇත.

    හුදු දේශපාලන ප්‍රලාපවලට සීමා නොවී අපට පසුගිය මහ මැතිවරණයෙන් සමගි පෙරමුණින් ජයග්‍රහණය කළ ‘සිංහල නොවන‘ අපේක්ෂකියින් සහ ඔවුන්ගේ ශක්තිය ගැන නිසි අවබෝධයක් පහත වගු සටහන මගින් ලබා ගත හැකිය.

    (මෙහි වන්නි දිස්ත්‍රික්ක ජයග්‍රාකයා වූ රිෂාඩ් බදුර්දීන්ගේ නම ඇතුළත් වී නැත)

    ඉහත වගු සටහන අනුව සමගි ජන බලවේයග කොතරම් දුරට සුළුජන ග්‍රහණයට ලක්ව ඇත් ද යන්න පැහැදිලිව වටහා ගත හැකිය.

    සමගි ජන බලවේගය විසින් ජයග්‍රහණය එකම දිස්ත්‍රික්කය වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ (86,394/68.681 – පොහොට්ටුව) ජයග්‍රහණයට ඍජුව හේතු වූයේ ( සේරුවිල සහ ත්‍රිකුණාමලය පරාජය වූ විට පවා) මුතූර් ඡන්ද කොට්ඨාශයෙන් ලබාගත් ඡන්ද 51,330යි.

    මේ තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවට අයත් ඡන්ද කොට්ඨාශ වූ උතුරු කොළඹ, මැද කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ, බොරැල්ල සහ දෙහිවල යන ඡන්ද කොට්ටාශවලදී ද ප්‍රතිනිර්මාණය වූ අතර එහිදී අදාළ ඡන්ද කොට්ඨාශවල අති බහුතර සුළුජන ඡන්ද අදාළ ජයග්‍රහණ සදහා පදනම වූ බව පැහැදිලිය.

    මේ තත්ත්වයම සිංහල ජනතාව බහුතරයක් ජීවත් වන දිස්ත්‍රික්ක වන මහනුවර, අනුරාධපුරය මෙන්ම කෑගල්ලේද ප්‍රතිනිර්මාණය වූ බවක් පෙනේ.

    මෙසේ වාර්ගිකත්වය අනුව (පොදුවේ පක්ෂ අනුව නොවේ) සමගි ජන බලවේගයෙන් තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මන්ත්‍රීවරුන් 47/19ක් ම සුළු ජාතීන් වශයෙන් සැලකිය හැකි බවයි. (කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන්, මනෝ ගනේෂන් ආදීන් පොදුවේ ගෙන ඇත)

    ඉහත වගු සටහන නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ සමගි ජන බලවේගයෙන් මනාප අනුව පත්ව ඇති (දිස්ත්‍රික් ප්‍රතිඵල මත) නියොජ්තයින් ගෙන් 40%ක් සුළුජාතීන්ට අයත්ව ඇති බවයි.

    සන්ධානගත වීමේදී ඇතිකර ගත් බව කියන එකගතා අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 03ක් සුළුජන පක්ෂවල දී තවත් එක් මන්ත්‍රීධුරයක් සදහා ඉමිටියාස් බාකීර් මාකර් මහතා (ඔහු කිසිසේත් පටු ජාතිවාදී මානසිකත්වයෙන් ක්‍රියා නොකරන බව ගෞරවයෙන් සදහන් කළ යුතුය) ද පත් කළහොත් සුළුජන වර්ගවලට සමගි ජන බලවේගයේ සමස්ත මන්ත්‍රීධුරවලින් 43%ක් හිමිවන අතර එය සමගි ජන බලවේගයේ නායකයින් පමණක් නොව පොදුවේ සමස්ත ජනතාවම තිගැස්මට පත් කිරීමට හේතුවක් වනු ඇති බව පැහැදිලිය.

    මනාප අනුව පත්වීම

    ඉහත සදහන් තත්ත්වය මනාප අනුව සැලකීමේදී ද සංකීර්ණ තත්ත්වයක් මතුව ඇති බව පෙනේ. ඊට හේතුව වශයෙන් දක්වන්නේ සුළුජනතාව ඉතා දැඩිව වාර්ගිකත්වය අනුව අගතිගාමී වෙමින් මනාප සලකුණු කළ බවට පැහැදිලි සාක්ෂි තිබීමයි. මෙම ලියුම්කරු සමග අදහස් ප්‍රකාශ කළ කෑගල්ලේ වෘත්තිකයෙක් සදහන් කළේ කබීර් හෂීම් මහතා ඉතාම පැහැදිලිව ‘එක් මනාපයක් – තමාට‘ ලකුණු කරන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටි බවයි. (ඊට හේතුව කෑගල්ලේ ප්‍රබල මුස්ලිම් අපේක්ෂකයෙකු නොවීමයි)

    මේ තත්ත්වය, කොළඹ, මහනුවර, අනුරාධපුරය ආදි බහුතරය සිංහලයින් ජීවත් වන සමගි ජන බලවේගයෙන් සුළුජන මන්ත්‍රීවරුන් පත්වූ දිස්ත්‍රික්කවල සේම, නුවරඑළිය සහ බදුල්ලේ ද (නුවරඑළියේ පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනාම වතු දෙමළ අපේක්ෂකියින් වන අතර බදුල්ලේ අපේක්ෂකයින් තිදෙනාගෙන් වැඩිම මනාප ලබාගත් දෙදෙනා වතු දමිළ අපේක්ෂකයින් වේ) සුළුජනතාව අතිෂය අන්තවාදී ලෙස තම ජනවර්ගයට අයත් අපේක්ෂකයින් වෙනුවෙන් පමණක් (කොළඹ දිස්ත්‍රික් නායක සජිත්ට ඡන්දය දී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි වුවද එය ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු වේ)

    ඒ බව කොළඹ දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහතාට පසුව පත්වූ වැඩිම මනාප ඡන්දලාබීන් දෙදෙනාම මුස්ලිම් වීම තුළින් ද පොදුවේ කොළඹින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් 6/3ක්ම සුළුජාතීන් වීම තුළින්ද පැහැදිලි වේ.

    මෙය තව දුරටත් විග්‍රහ කළහොත් මහනුවර දිස්ත්‍රික්කය තුළින් ද මනාව ප්‍රකට වේ. සමගි ජන බලවේගය මහනුවරින් ජයග්‍රහණය කළ මන්ත්‍රීධුර 4/3ක් සුළුජන මන්ත්‍රීවරුන් වන අතර, කෑගල්ල 2/1, අනුරාධපුරය 2/1, බදුල්ල 3/2ක් ආදි වශයෙන් වේ.

    මේ තත්ත්වය තුළ බොහෝ දේශපාලන නිරීක්ෂකයින් සහ ජනතාව ප්‍රකාශ කරන්නේ සුළුජන කොටස් ඉතාම පැහැදිලිව තම වාර්ගික අපේක්ෂකයා ඉලක්ක කොට මනාපය ප්‍රකාශ කරද්දී සිංහල බහුතර මනාප බෙදී යාම නිසා බහුතරයක් සිංහල දිස්ත්‍රික්කවලින් ද මුස්ලිම් අපේක්ෂකයින් පත්වූ බවයි. එසේම නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ද සිංහල ඡන්ද විසිරී යාම නිසා (3/2, 3/3ක්) වශයෙන් සුළුජන අපේක්ෂකයින් ඉදිරිපයට පැමිණි බවයි.

    හොදම පරාජිතයා

    මනාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ ඊළගට වැඩිම මනාප ගත් අපේක්ෂකයා ‘හොදම පරාජිතයා‘ ලෙස සැලකේ.

    සමගි ජන බලවේගයේ හොදම පරාජිතයින් විමසා බලන විට, කොළඹ (ෆවුසි), කලුතර (ඉෆිටිකාර්) වන්නි (ෆාරුක් හුනයිස්), දිගාමඩුල්ල (ෆයිසාල්) සහ ත්‍රිකුණාමලයේ සියලු දෙනා ම ඉදිරියෙන් සිටී

    යම් කිසි ඍණාත්මක අදහසක් ඉදිරිපත් කරමින් සටහන් කළහොත් සිංහල බහුතර දිස්ත්‍රික්ක 02ක් වන කොළඹ සහ කලුතරින් අනාගතයේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් බිහිවීම වැළැක්විය නොහැකි වන්නේ ඔවුන් මනාප ලැයිස්තුවේ ඊළගට සිටින බැවිනි.

    මේ තත්ත්වය අර්බුදයක් ද ? වාසියක් ද ?

    ඊනියා ජාතික සංහිදියාව වැනි පටු කෝණවලින් බලන විට සමගි ජන බලවේගය (සමගි ජන බලවේගයට ආශිර්වාද කළ බහුතර අතර ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද සිටින නිසා) ජාතික සංහිදියාවේ සලකුණක් වශයෙන් සැලකිය හැකිය. එහෙත් ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය සහ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය දෙස බලන විට මේ තත්ත්වය කිසිසේ යහපත් තත්ත්වයක් නොවේ. ඊට හේතුව වන්නේ සුළුජන පක්ෂ අතිෂය පටු සහ අවස්ථාවාදී ලෙස ජාතික පක්ෂ ග්‍රහණය කර ගැනීම සහ මෙරට බහුතරය වන සිංහල බෞද්ධ ජනතාවගේ සැකයට අදාළ පක්ෂ හා දේශපාලන නායකත්ය ලක්වීමය.

    එහෙත් යථාර්ථයෙන් ගැළවීමට හෝ පිටුපෑමට සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ සිංහල බෞද්ධ අති බහුතරය (මෙරට දේශපාලන බලය සුජාතකරණය කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද විසිනි) පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙම මහ මැතිවරණයේදී ද සජිත් ප්‍රේමදාස මහතාගේ ඊනියා මතවාද දැඩිව ප්‍රතික්ෂේප කිරීමයි.

    මෙම මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද 27,71,989 හෙවත් 23.90% තුළ ඇති සුළුජන ඡන්ද ඉවත් කළ විට සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය කොතරම් සුළු ද යන්න වටහා ගැනීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. ඒ සසහා රටේ ‘සාම්ප්‍රදායික දකුණ‘ තද රතු පැහැයෙන් දක්වන 2020 මහ මැතිවරණ ඡන්ද ප්‍රතිඵල මත පදනම් වූ සිතියම දෙස ඇසිල්ලකින් බැලීම ප්‍රමාණවත් වේ.

    අනෙක් අතින් මෙම මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනාගත් ඡන්ද අතර ඇති එක්සත් ජාතික පක්ෂ ඡන්ද ඔහුට පහසුවේ රදවා ගත හැකි ඡන්ද ද නොවේ. එක්සත් ජාතික පක්ෂයට වඩාත් ආකර්ෂණීය නායකත්වයක් ලද වහාම ‘කැපුවත් කොළ‘ ඡන්ද දායකයින් ‘පුංචි මහින්ද‘ සහ ‘පුංචි ප්‍රේමදාස වීමට දගලන දේශපාලන ළදරුවෙකු වන සජිත් ප්‍රේමදාස – චම්පික රණවක කල්ලිය හැරදමා යළි අලියා වෙත යන බව නිසැකය. ඊට පැහැදිලිම හේතුව වන්නේ වෙන කිසිවක් නොව ‘සජිත් ‍ප්‍රේමදාසගේ ළදරු දේශපාලනනයි.

    අවසන් කිරීම

    දේශපාලන ගැන සිතියම් ඇදීම කිසිසේත් නොකළ යුත්තක් වුවත් ඒ ගැන අනාවැකි පළ කිරීම කිසිසේත් අසීරු තත්ත්වයක් නොවේ. එහෙත් අද හෙට හෝ තවත් කෙටි කාලයකින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීධුර 54ක් හිමි විපක්ෂ නායකයා නොවන බව නම් කැටතතා කිව හැකිය.

    වත්මන් ආණ්ඩුවට 3/2 පැහැදිලි බහුතරයක් ඇති නිසා ද සිංහල බෞද්ධ ජාතිකවාදීන් දැඩිව ශක්තිමත්ව ඇති නිසාද හකීම් – බදුර්දීන් තුරුළට ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොවුණත් හකීම් – බදුර්දීන්ට නම් සජිත් – චම්පික සමග දීග කෑම වඩාත් අසීරු වනු ඇත. ඊට හේතුව වන්නේ ඔවුන්ට හුරු පුරුදු දේශපාලන ප්‍රාඥවෙකු වූ රනිල් වික්‍රමසිංහ වෙනුවට දේශපාලන ළදරුවෙකු සමග කටයුතු කිරීමට සිදුවීමයි. ජාතික ගැටලුව ගැන කිසිදු අදහසක් නැති අයෙකු සමග ගනුදෙනු කිරීමට සිදුවීමයි.

    සටහන – තුෂාර වල්ගම

  • අපේ ජන පක්ෂයේ මහ ලේකම් හිමයෝ අතුරුදන් – ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය යළි අවුලක

    අපේ ජන පක්ෂයේ මහ ලේකම් හිමයෝ අතුරුදන් – ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය යළි අවුලක

    අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව ඇතැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද (10) මාධ්‍ය හමුවකදී හෙළි කළහ.

    මේ තත්ත්වය තුළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමට නොහැකි වී නව ගැටලු කිහිපයක් මතු වී ඇති බව ද උන් වහන්සේ සදහන් කළහ.

    ‘පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අපි ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය වෙනුවෙන් නම් කරලා තිබෙනවා. ඒ බව මැතිවරණ කොමිෂම වෙත නිල වශයෙන් දැනුම්දීමේ වගකීම තිබෙන්නේ අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් වෙතයි. ඒත් මේ වනවිට උන් වහන්සේ ආගිය අතක් සොයා ගැනීමට නැහැ. අතුරුදන්ව සිටිනවා.

    මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා. ඊට හේතුව වුණේ අපේ පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි විසින් තමන් වහන්සේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සදහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත යැවීමයි.

    ඒත් පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එය වලංගු නොවන බවට මැතිවරණ කොමිසමට කරුණු දැක්වීමට පියවර ගැනීම සමග ඒ ගැටලුව නිමා වුණා. ඊට පසුවජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ සාමාජිකත්වය දරන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට ඊයේ (09) රැස් වුණ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒත් දැන් අලුත් ගැටලුවක් මතු වෙලා තිබෙනවා. මහ ලේකම් හිමියන් සොයා ගන්නා තෙක් කිසිවක් කළ නොහැකියි‘

  • රනිල්ගේ අවසන් තීන්දුව සමග එජාපයේ යළි බල අරගලයක්

    රනිල්ගේ අවසන් තීන්දුව සමග එජාපයේ යළි බල අරගලයක්

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නව නායකයා පිළිබද තීරණය ලබන බදදා දැනුම් දෙන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිිටියේ අද (10) එජාප මූලස්ථානයේ, සිරිකොත මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡුාවකදී එජාප නායකයා තම තීරණය දැනුම් දුන් බවයි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප ජ්‍යෙෂ්ඨයා මෙසේද පැවසුවේය. ‘එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගැනීම සදහා අද පෙරවරුවේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ රැුස්වීමක් පැවැත් වුණා. ඒ සදහා එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහභාගී වුණා. එහිදී පක්ෂයේ වත්මන් තත්ත්වය සහ අනාගතය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

    ඒ අවස්ථාවේ තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කිව්වේ තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බවත් ලබන බදාදා නව නායකයෙක් නම් කරන බවත්. මෙහිදී නායකතුමා සාකච්ඡාවට පැමිණ සිටි අයගෙන් ඉල්ලීමක් කළ පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් අයෙක් සිටී නම් ඉදිරිපත් වෙන්න කියලා.

    එහිදී බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණ විදිහට අකිල, දයා ගමගේ, රවී වගේම වජිරත් තමන් පක්ෂ නායකත්වය භාර ගැනීමට සූදානම් බව ප‍්‍රකාශ කළා. ඒ නිසා නායකතුමාට ඒ අවස්ථාවේ තීරණයක් ගැනීමට නොහැකි වුණා. ඒ නිසා අදාළ තීන්දුව ලබන බදාදා දැනුම් දෙන බව ප‍්‍රකාශ කළා‘

    මේ අතර අප සමග අදහස් දක්වමින් තවත් එජාප ප‍්‍රබලයෙක් කියා සිටියේ අද පක්ෂ නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් වූ කිසිවෙකුට ඒ සදහා පොදු අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

    ‘අපි දැන් බින්දුවෙන් පටන් ගත යුතුයි. තුනෙන් දෙකේ ආණ්ඩුවක් සමගයි අපිට හැප්පෙන්න වෙන්නේ. පාර්ලිමේන්තු නියෝජනයක් වගේම අපිට ප‍්‍රාදේශීය සභා නියෝජනයක් පවා නැහැ. හැමදේම විනාශ වෙලා. ඒ නිසා ඒ හැම දෙයක්ම අලුතින් පටන් ගන්න පුළුවන්, ජනතාව විශ්වාස කරන නායකයෙක් තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒ නිසා ලබන බදාදත් අවසන් තීන්දුවක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ’ යැයි ප‍්‍රකාශ කළේය.

    මේ අතර පසුගිය දා මාධ්‍ය කිහිපයක් හෙළි කළේ එජාප නායකත්වය නියම සුදුස්සා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා බවයි. ආණ්ඩුවට බියක් නැති, ආණ්ඩුව අභියෝග කළ හැකි එකම පුද්ගලයා ඔහු පමණක් බව එජාප ජ්‍යෙෂ්ඨයින් සහ තරුණ කණ්ඩායම්වල මතය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තාකර තිබුණේය.

  • මංගලගෙන් ජනපතිට සුභ පැතුම් සමග නිහඬ දේශප්‍රේමී බහුතරයට විශේෂ ඉල්ලීමක්

    මංගලගෙන් ජනපතිට සුභ පැතුම් සමග නිහඬ දේශප්‍රේමී බහුතරයට විශේෂ ඉල්ලීමක්

    ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට  සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත්  ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයි
    මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.- මංගල සමරවීර

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මගේ සුභාශිංෂණය පිරිණමමි. එසේම, මෙවැනි ජය ලබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් මෙම ජයග්‍රහණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත් ශ්‍රී ලාංකීය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතර ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

    ලෝක මට්ටමින් මුහුණ දෙන කොරෝනා වෛරස් අවධානම ඉදිරියේ වුවද මැතිවරණ සමයේදී මෙන්ම ඡන්දය දිනය තුළත් ඉතාමත්ම කාර්යක්ෂම සේවයක් සැපයූ සියලුම රාජ්‍ය ආයතන, විශේෂයෙන් මැතිවරණ කොමිසම හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්,  සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ  ශ්‍රී ලංකා පොලීසිය, හමුදාමය මැදිහත් වීමකින් තොරව කාර්යක්ෂම සිවිල් පාලනයක්,  සිවිල් සේවයක් ලබා දෙන්නට පුළුවන් බව ඒ තුළින් ඔප්පු කළා. ඔවුන්ගේ කාර්යශූර සේවයට ද පැසසුම් එක්කරමි.

    මේ  ජයග්‍රහණයට සුබ ප්‍රාර්ථනා කරනවා වගේම මා තුළ  මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශාල බියක් ද හට ගෙන  තිබෙන බව ද අවන්කවම ප්‍රකාශ කළ යුතුය. මක්නිසාද යත්,මේ දැවැන්ත ජයග්‍රහණය රටේ තවත් දැවැන්ත පරාජයක, එසේ නැතිනම් තවත් මහා පසු පිම්මක පෙර නිමිත්තක් වනු  ඇතයි අපගේ දේශපාලන අතීතය ආවර්ජනය කරන විට  මට සැකයක් මතුවේ.

    මා මේ කියන්නේ ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති සහ මා විශ්වාස කරන සාරධර්මයන්  සහ ප්‍රතිපත්ති හාත්පසින්ම වෙනස් නිසා විතරක් නෙමෙයි. මෑත ඉතිහාසයේ අත්දැකීම් අනුව මේ රට තුළ 2/3 ක හෝ දැවන්ත


    දේශපාලන බලයක් ලබා ගෙන පිහිටවූ හැම රජයක් විසින්ම මේ රටට සේම රටේ අනාගතයට බලපාන සේවයකට වඩා, වාසියකට වඩා  විශාල හානියක් හෝ අවාසියක් වූ බව පැහැදිලිය.  එසේ දැවැන්ත ජය ලබාගත් පක්ෂ නායකයන් රටේ ජනතාවගේ අපේක්ෂාවන් හා රට නඟන ප්‍රතිපත්ති  පසෙකලා තම බලය තහවුරු කර ගැනීමේ පටු අරමුණින් ක්‍රියාකිරීම එය ට ප්‍රධාන හේතුවක් විය.

    1956 මහ මැතිවරණයෙන් විපක්ෂය ආසන 8කට සීමා කරමින් ලැබු දැවැන්ත ජයග්‍රහණයත් සමගම එදා දේශපාලනයට පංච මහා බලවේගයේ නාමයෙන් එළි දැක්වූ ජාතිවාදය ආගම් වාදය සහ සංස්කෘතික කුහකත්වයේ පල විපාක  අදත් වසර 60 ට පසුව ද මේ රටේ සමස්ත ජනතාවටම විඳින්නට සිදු ව තිබෙනවා.

    එම නව ප්‍රවනතාවයෙන් පසුව ජාතිවාදී දේශපාලනයට නිල ආරම්භයක් ලැබීය. සිංහල භාෂාවට මුල් තැන දීම අගය කල යුතු ක්‍රියාවක්  වුවද දෙමල භාෂාවට සම තැන නොදීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ බෙදුම්වාදය සහ ත්‍රස්තවාදී ගැටලු රට තුළ නිර්මාණය විය. එපමණක් නොව එනිසාම ඉංග්‍රීසි භාෂාව සුපිරි පාසල්වලට යන ළමුන්ට පමණක් සීමාවී අද මේ රට තුළ ඉංග්‍රීසි කථා කරන සහ කථා නොකරන භේදය රටේ සමාජයේ පන්ති භේදයට වඩා එය දරුණු වී ඇත.  ඉංග්‍රිසි භාෂාව කතාකිරීම ‘කඩුවෙන් කොටනවා’ වැනි යැයි පොදු සමාජය තුළ ව්‍යවහාරයට එක් වීම හරහා කියාපාන්නේ ද මෙම අසාධාරණ වූ සමාජ වටපිටාවය.

    ඒ වගේම 1970 මහ මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබාගත් සමගි පෙරමුණ රජය ඒ ජනවරමේ  එවකට තිබූ වාමංශික හවුලේ පටු අරමුණු සාක්ශාත් කරගැනීමටත් ආගමික හා ජාතිවාදී බහුතරවාදයක් ස්ථාපිත කිරීමේ අරමුණින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් කටයුතු කරන ලදී. ඒ  ව්‍යවස්ථාව හරහා ඇත්ත වශයෙන්ම මේ රටේ එතෙක් ස්වාධීනව පැවති අධිකරණය, රාජ්‍ය සේවය සහ පොලීසිය දේශපාලනීකරණය කිරීමේ ආරම්භය ද ඇති විය.එපමණක් නොව  ඇතිකරගත් සංවෘත ආර්ථිකය නිසා රට ආර්ථික වශයෙන් ද මහා අගාධයකට තල්ලු කරන ලද අතර තවද, 1960 වන විට ආසියාවේ වඩාත් දියුණු ආර්ථිකයක් පැවති ශ්‍රී ලංකාව එකී ජයග්‍රහණයේ නාමයෙන් ආපස්සට යෑමද ආරම්භ විය.

    ඉන් පසුව 1977 වසරේ දී 5/6 ක බහුතර බලයක් ලබා ගත් ආණ්ඩුව විසින් රට තුළ ප්‍රජාත්නත්‍රවාදී මූලධර්මයන් ක්‍රමානුකූලව බිඳ දැමූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අතර එමඟින් හඳුන්වා දුන් විධායක ජනපති ක්‍රමය අද මේ රටේ පවත්නා බොහෝ ප්‍රශ්නවලට තවත් මූලශ්‍රයක් ලෙස සැලකිය හැක. මුලින් ආසියාවේම විවෘත වෙළඳපොල ආර්ථිකයක් හඳුන්වාදීමේ ගෞරවය එම රජයට ලැබිය යුතු ය. නමුත් වෙළඳපොල ආර්ථිකයක තිබිය යුතු සංවරණ හා තුළණයන් දුර්වල කිරීම

    නිසා ඉහල මට්ටමේ දූෂණ හා වංචා වැඩිවීම හරහා ආර්ථික  අවපාතයක ගමන් කළ බව පැහැදිලිය. එසේම අසීමිත ජනවරමක් ලබාගැනීම තුළ බලයෙන් මත් වූ ඇතමුන්ගේ ක්‍රියාකලාපය නිසාම සංවර්ධනයීය ආර්ථිකයක් වෙනුවට ගජ මිතුරු ආර්ථික ක්‍රමයක් මේ රට තුළ බිහි විය.

    2010 දී මහ මැතිවරණයෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු තම පාර්ශ්වයට භාගෙන 2/3 බලයක් කෘතිමව අටවාගත් රජය විසින් ගජ මිතුරු ආර්ථික ක්‍රමය, වඩාත් ශක්තිමත් කර රට තුළ තහවුරු කළේය. එදා 2/3 බලය උපයෝගි කරගත්තේ රටට ජනතාවට සේවය කර, ජනතාවට වරප්‍රසාද ලබා දීම වෙනුවට එවක ජනාධිපතිවරායාගේ ධූර කාලය සඳහා පැවති සීමාව අහෝසි කරමින්, විශේෂයෙන්ම පූර්ණ බලය සහිත අධිකරණය පවා බල රහිත කරමින් විධායක ජනාධිපති ධූරය වඩාත් ශක්තිමත් කරගැනීම වෙනුවෙනි.

    මෙවැනි අතීත අත්දැකීම් සහිත රටක, අසීමිත බලයක් ලැබී ඇති වර්තමාන රජය කෙරෙහි ද  මේ මොහොතේ රටේ අනාගතය පිළිබඳ සුබවාදී හැඟීමක් ඇති සැබෑ දේශප්‍රේමීන් තුළ බියක් ඇතිවීම සාදාරණ නොවේ ද?.

    මගේ හදවතේ මෙවැනි බයක් ඇති වුවද ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමා ලබාගත් මේ දැවැන්ත ජනවරම පසුගිය රාජ්‍ය නායකයන් මෙන් නොමැතිව ඇත්තවශයෙන් ම මේ ජනවරම මේ රටේ අනාගත දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් යොදා ගනු ඇතැයි මම සැබවින්ම ප්‍රාර්ථනා කරනවා.

    ඊනියා දේශප්‍රේමීන්ගේ සහ අවස්ථාවාදී බහුතරවාදීන්ගේ සිරකරුවෙක් නොවී සැබෑ ලෙසම රට දියුණු කරන්නාවූ සැබෑ දේශප්‍රේමී න්‍යාය පත්‍රයකට අනුව එතුමා කටයුතු කරනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.

    වර්තමාන ලෝකයේ ශක්තිමත් නායකයෙකු වීමට නම් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ද විය යුතුමය. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස නැති රටකට ආයෝජකයන් එන්නේ නැත; ජනතාවගේ නිදහස හා මානව අයිතීන් සීමා කරන රටවල් සමග බොහෝ රටවල් ගනුදෙනු කරන්නේ ද නැත; මානව අයිතීන් පමණක් නොව සත්වයන්ගේ අයිතීන් උල්ලංගණය කරන රටකට සංචාරකයන් පවා අද එන්නට අකමැතිය.

    නීතියේ ආධිපත්‍ය නැති රටකට නූතන ලෝකයේ ඉදිරි ගමනක් ද නැත; ඒ නිසා අපට අවශ්‍යව ඇත්තේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ නව ව්‍යවස්ථාවක් මිස විධායකය වටා බලය කේන්ද්‍ර කරගත් ඒකාධිපති ව්‍යවස්ථාවක් නොවන බවට තේරුම් ගත යුතුයි. ව්‍යවස්ථාදායකය හා අධිකරණය විධායකයේ අතකොළු බවට යළි වතාවක් පත් නොවිය යුතුය.

    මේ රට තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇතිකර තිබෙන ස්වාධීන කොමිසම් ආපස්සට හැරවීම නොව, තව තවත් ස්වාධීනව ක්‍රියා කරවීමට අවශ්‍ය ශක්තිය ලබාදීම කළ යුතුව ඇත.

    නීතියේ ආධිපත්‍ය ස්ථාපිත නොවෙන රටකට ඉදිරි ගමනක් නැත. රටක නීතිය “රජ තුමාටත්, සොල්දාදුවාටත්, පැවිදි පාර්ශ්වයට වූවද” සමාන විය යුතුය; රටේ නීතිය ඇමති දරුවා සිට කම්කරුවාගේ දරුවා දක්වා සමානව ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම අධිකරණය තව තවත් ස්වාධීන විය යුතුය.

    විවිධ ජාතීන් වසර දහස් ගණනක් තිස්සේ එකට ජීවත් වන ශ්‍රී ලංකාව වැනි රටක සියලු ජාතීන්ට තමන්ගේ ජාතිය ආගමික සංස්කෘතික අනන්‍යතාවය රැක ගනිමින් පෞඪ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ජීවත් වන්න පුළුවන් විය යුතුය.

    1956 න් අරඹා රට තුළ මුල් බැසගත් බහුතරවාදී ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ එකම ප්‍රතිඵලය වනු ඇත්තේ ජාතිකත්වය සහ ආගම මුල්කරගත් තව තවත් අන්තවාදී කණ්ඩායම් පෝෂණය වීම පමණි.

    අද අප ජීවත් වන්නේ විශ්ව ගම්මානයකය. අප වැනි දියුණුවන කුඩා රටකට ජාත්‍යන්තරව හුදකලා වී ගමනක් යෑම විනාශයේ පෙර නිමිත්තකි. ප්‍රබල ගෝලීය බල අරගලයක් ඇතිවෙමින් තිබෙන මොහොතක භූගෝලීය වශයෙන් ඉතාමත්ම කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති අපගේ පුංචි දූපත කිසිම බලවතෙකුගේ අත කොලුවක් නොවිය යුතුය. සියලුම බල පාර්ශ්වයන් සමඟ මිත්‍රත්වය වඩ වඩාත් දියුණු කරගැනීම තුළින් මේ රට තුළ දියුණුව ළඟා කරගත හැකියි. ඒ වෙනුවෙන්  මුලු ජාත්‍යන්තරය සමග එක්ව අත්වැල් බැඳගෙන ගෙන යන විදේශ ප්‍රතිපත්තියක් තව දුරටත් ක්‍රියාත්මක කළ යුතුය.

    සාධාරණ හා සෞභාග්‍යමත් සමාජයක් දැන් හෝ අපගේ අනාගත පරම්පරාවට ලබා දෙන්නට නම් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාවය හා සධාරණත්වය යන ප්‍රධාන කුලුණු සතර එවැනි සමාජයක අත්තිවාරම විය යුතුය.

    රටක් හැටියට ඊනියා දේශප්‍රේමීන්ගේ ඝෝෂාව ප්‍රතික්ෂේප කරමින් වැඩවසම් ගෝත්‍රික ආකල්ප සහ පශ්චාත් 56 යුගයේ “කුඩා ලිඳ තුළ විසල් මැඩි මානසිකත්වය” ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී ලංකාවක ඉලක්කයන් හා අභිලාශයන් පිළිඹිමු කිරීමට ජනධිපතිවරයා නායකත්වය ලබා දිය යුතුය. අපගේ එක් එක් පෞරාණික සංස්කෘතික සහ ආගම්වල විවිධත්වයන්ට හා මහිමයට ගරු කරමින් නව සැබෑ දේශප්‍රේමීත්වය මත පදනම් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමෙන් සමෘද්ධිමත් හා සෞභාග්‍ය කරා යන ගමනකට මේ රටේ ඡන්දය පාවිච්චි කරපු, නොකරපු  සහ ප්‍රතික්ෂේප කරපු සියලු දෙනා එක්සත් වන බවට නිසැකය.

  • කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න

    කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ බෙදා දෙන්නේ මෙහෙමයි – සම්පූර්ණ ගැසට් නිවේදනය මෙන්න

    අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මධ්‍ය අංශය නිවේදනය කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.

    අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ.

    අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන තිබේ.

    එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

    අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.

    එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

    අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    ඔබට අදාළ ගැසට් නිවේදනය මෙම Link එක ඔස්සේ කියවිය හැකිය. Gazette Sinhala 

  • අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් – ඇමැති දිවුරුම බදාදා

    අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් – ඇමැති දිවුරුම බදාදා

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.

    අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

    අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.

    සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

    අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙති.

  • ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

    ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ.

    ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් භාර ගත්තේය.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ  අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් විය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක්  හදාරා තිබේ.

  • SLPP කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් 12 වැනිදා දිවුරුම් දෙයි

    SLPP කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් 12 වැනිදා දිවුරුම් දෙයි

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අභිනව කැබිනට් මණ්ඩලය 12 වැනිදා මහනුවර ශ‍්‍රී දළඳා මාළිඟාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත අතර නව රජයේ කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇති බව ද වාර්තා වේ.

    12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 25 දෙනා පමණක් දිවුරුම් දීමට නියමිත අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවී සිටින සෙසු පක්ෂවල කැබිනට් අමාත්‍යවරුන් පසුව දිවුරුම් දීමට නියමිතව තිබේ.

    නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ගැන අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුව පිහිටුවන විට පත් කළ හැකි වන්නේ කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනකු පමණක් බැවින් කැබිනට් මණ්ඩලය 30 දෙනකුට පමණක් සීමා කිරීමට සිදු වූ බවයි.

  • ජනපතිටත් – ජනතාවටත් වගේ වගක් නෑ – බ්‍රසීලයේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

    ජනපතිටත් – ජනතාවටත් වගේ වගක් නෑ – බ්‍රසීලයේ කොරෝනා මරණ 100,000 ඉක්මවයි

    බ්‍රසීලය කොවිඩ් මරණ 100,000 පසුකළ දෙවන රට බවට අද (09) පත් වුණා. බ්‍රසීල සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දින සිට මාස තුනක් ඇතුළත 50,000කට අධික පිරිසක් මියගිය අතර එම සංඛ්‍යාව පසුගිය දින 50 තුළ දෙගුණ වී තිබෙනවා.

    ‘බ්‍රසීලය තුළ වසංගතය තවමත් එහි උපරිමයට පැමිණ නැහැ. ඒත් රට තුළ දැඩි අගුළු දැමීමක් ද සිදුවන්නේ නැහැ. කඩ සාප්පු විවෘතව ඇති අතර ජනතාව ද සාමාන්‍ය ජීවිත ගත කිරීමට උත්සාහ කරමින් සිටිනවා‘ බ්‍රසීලයේ බී.බී.සී වාර්තාකරු පැවසුවා.

    අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ වෛරසයේ බලපෑම අවතක්සේරු කරන අතර ආර්ථිකයට බලපෑම් සිදුවන ක්‍රියාමාර්ග ගැනීමට දැඩිව විරෝධය දක්වමින් සිටී. කොවිඩ් -19 මර්දනය කිරීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් පනවා තිබූ සීමාවන්ට එරෙහිව සටන් කරමින් සිටින ජනපතිවරයා පසුගිය දා ඔහු කොවිඩ්-19 සදහා ධනාත්මක ලක්ෂණ පළ කළ ද ඇතැම් විට මුහුණු ආවරණයක් නොමැතිව ආධාරකරුවන්ගේ හමුවට යාම සිරිතක් කරගෙන සිටී.

    අර්බුදයට බ්‍රසීලය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

    සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවනු ලබන්නේ මහජන සෞඛ්‍ය පිළිබඳ අත්දැකීම් නොමැති හමුදා ජෙනරාල්වරයෙකු විසිනි. මීට පෙර අමාත්‍යවරුන් දෙදෙනෙකු, ( ඔවුන් දෙදෙනාම වෛද්‍ය වෘත්තිකයින්ය) අමාත්‍යධුරවලින් ඉවත් වූයේ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ එකඟ නොවීම හේතුවෙන් ඇති වූ මත භේද නිසාය.

    කොවිඩ් -19 “කුඩා උණ” ලෙස හැඳින්වූ ජනාධිපති බොල්සොනාරෝ, පුපුරා යෑමට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විවේචනවලට ලක්ව ඇත.

    පසුගිය දා කොවිඩ් -19 සදහා ධනාත්මක ලක්ෂණ පළ කළ ජනාධිපතිවරයා පසුව කියා සිටියේ මැලේරියාවට ප්‍රතිකාර කිරීමට ගන්නා ඖෂධයට ස්තූතිවන්ත වෙමින් තමා ආසාදනයෙන් සුවය ලබා ඇති බවයි.

    “ලෝක යුද්ධයක් වැනි ඛේදවාචකයක් නිසා අපෙි බලාපොරොත්තු සුන් විය යුතුයි. නමුත් බ්‍රසීලය සාමූහික නිර්වින්දනයකට ලක්ව තිබෙනවා” යැයි බෝවන රෝග සංගමයේ ජ්‍යෙෂ්ඨ සමාජික වෛද්‍ය හොසේ ඩේවි උර්බාස් රොයිටර් පුවත් සේවයට පැවසීය.

    “අද රජයේ පණිවුඩය නම්: ඔබ බරපතළ ලෙස ආසාදනය වී නොමැති නම් කරුණාකර කලබල නොවී සුපුරුදු ලෙස කටයුතු කරන්න. එය බරපතල නම් දැඩි සත්කාර ඇත‘යන්නයි. එය අපට ගැටලුකාරී‘ ඔහු වැඩි දුරටත් පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මේ වන විට බ්‍රසීලයෙන් කොවිඩ් වෛරස් ආශ්‍රිත මරණ 100,477 ක් හා රෝගීන් 3,012,412 ක් වාර්තා වී ඇත. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.

    යබ්‍රසීලයේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා

    උණුසුම් ස්ථාන කොහිද?

    මෑත සතිවල ගම්බද ප්‍රදේශවල, විශේෂයෙන් දකුණු හා බටහිර ප්‍රාන්තවල ආසාදනයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති අතර, වැඩිම ජනගහනයක් සිටින සාඕ පවුලෝ හි තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පෙනේ.

    මේ අතර, ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඩු වී ඇත. වෛරසය මුලින්ම ව්‍යාප්ත වූ ඇමසොනාස් ඇතුළු රියෝ ද ජැනෙයිරෝහි ජනතාව යළි මුහුදු වෙරළට සහ මත්පැන් හල් වෙත ගමන් කරමින් සිටින අතර එය බරපතළ විවේචනයට ලක්ව ඇත.

    පසුගිය සෙනසුරාදා වින්දිතයින්ට උපහාරයක් වශයෙන්,‘ රියෝ ද පාස්‘ නම් රාජ්‍ය නොවන කණ්ඩායම රියෝ හි සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ වැලි මත කුරුස තබා රතු බැලූන් 1,000 ක් අහසට මුදා හැරියේය.

    “අපි ව්‍යවසනය කරා ළගා වෙමින් සිටියත් රජය සහ අපේ ජනතාව අතර ඒ ගැන එතරම් තැකීමක් නැති බව පෙනෙනවා. මරණය සාමාන්‍ය තත්වයට පත්වෙලා” 56 හැවිරිදි මාර්සියෝ ඩූ නැසිමෙන්ටෝ සිල්වා පැවසීය.

    ඔහු කුලී රථ රියදුරෙකු වන අතර වසංගතයෙන් දරුවන් අහිමි විය.

    වෛරසය බ්‍රසීලයේ කළු ජනතාවට පහර දී ඇති අතර දුගී දුප්පත් ජනතාව වසංගතයට බහුලව ගොදුරු වේ. එය තවමත් ආදිවාසී ප්‍රජාවන් අතර ව්‍යාප්ත වෙමින් පවතී. අවම වශයෙන් ආදිවාසීන් 22,300 ක් ආසාදනයට ලක් වී ඇති අතර 633 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රසීලයේ ප්‍රධාන ආදිවාසී සම්මේලනය වන අබිබ් පවසයි.

    සෙනෙට් කථානායක ඩේවි ඇල්කොලුම්බ්‍රේ දින හතරක ශෝක කාලයක් ප්‍රකාශ කළ නමුත් ජනාධිපති බොල්සොනාරෝ තවමත් අදහස් දක්වා නැත. මෙම සතිය මුලදී ඔහු සියලු මරණ ගැන කණගාටු වන බව පැවසූ නමුත් “අපි අපේ ජීවිත ඉදිරියට ගෙන යා යුතුයි” යනුවෙන් යෝජනා කළේය.

    සාඕ රයිමුන්ඩෝ නොනාටෝ නගරයට ගිය සංචාරයකදී සිය ගණනක් දෙනා විසින් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පිළිගන්නා බ්‍රසීල ජනාධිපති ධුරය මගින් ලබා දුන් අත් පත්‍රිකාවක්
    ජනාධිපති බොල්සොනාරෝ පසුගිය මාසයේ කොවිඩ් -19 වෙතින් සුවය ලැබීමෙන් පසු සිය පළමු සංචාරයේදී ආධාරකරුවන්ට ආචාර කළේය

    නායකත්වය නොදුන් නායකයා

    විශ්ලේෂණ පෙට්ටිය දකුණු ඇමරිකානු වාර්තාකරු කැතී වොට්සන් විසිනි

    බ්‍රසීලය මරණ 100,000 ඉක්මවා ඇති බවට ප්‍රවෘත්ති ලැබෙන අතර සාඕ පවුලෝ හරහා ප්‍රීති ඝෝෂ සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්විණි. නැත, මෙය කොවිඩ් -19 හි කිසියම් අශෝභන සැමරුමක් නොවේ. පාපන්දු කණ්ඩායම වන පල්මෙයිරාස් දැඩි දඩුවම් පහරකින් පසුව ප්‍රතිවාදී කොරින්තිවරුන්ට එරෙහිව රාජ්‍ය ශූරතාවය දිනා ගෙන තිබුණි.

    බ්‍රසීලයේ ජනප්‍රියම ක්‍රීඩාව කෙරෙහි ඇති ආශාව යටපත් කළ යුතු නැත. (විශේෂයෙන් මේ මොහොතේ මිනිසුන්ව සතුටු කිරීමට තවත් දෙයක් නොමැති විට) නමුත් ජෙයාර් බොල්සොනාරෝ සිය සුබ පැතුම් පිරිනැමීමෙන් ජයග්‍රහණය සනිටුහන් කළද, දුක්ඛිත සංඛ්‍යා ගැන නිහඩය. මේ නිහඩ බව වසංගතය ගැන බොහෝ දේ පවසයි. වසංගතය දෙස ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරයේ කිසිම වෙනසක් මේ දුක්ඛිත සංඛ්‍යා ලේඛන සමග වුව ද ප්‍රකාශ නොවීය.

    ඉරිදා පුවත්පත්වල කතුවැකි ජනාධිපතිවරයා පිළිබද විවේචනවලින් පිරී තිබේ. ඔහුගේ උදාසීනත්වය සහ සංවේදනය නොමැතිකම දැඩිව විවේචනයට ලක් වේ. වසංගතය ජය ගැනීම සදහා ඔහුගේ නායකත්වය නොමැතිකම දැඩි කනස්සල්ලට හේතු වී ඇත. විශේෂයෙන් රට නැවත විවෘත වීම සහ වෛරසය තවමත් පාලනය කර නොමැති බව පෙනේ.

    ලතින් ඇමරිකාවේ වෙනත් තැනක සිදුවන්නේ කුමක්ද?

    ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල වාර්තා වී ඇති කොරොන වයිරස් ආශ්‍රිත මරණ වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් බ්‍රසීලයට ඇති බව වාර්තා වේ. ලෝකයේ තුන්වන වැඩිම මරණ සංඛ්‍යාව වන 52,000 පේරු වෙතින් වාර්තාවන අතර කොලොම්බියාව සහ චිලී යන රටවල්වලින් ආසාදිතයින් 476,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    විශේෂඥයන් පවසන්නේ ජනාකීර්ණ නගර, දරිද්‍රතාවය සහ සෞඛ්‍ය සේවාවල දුර්වලතා වෛරසයේ දැඩි ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඍජුව බලපාන බවයි.

    බී.බී.සී. වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

    ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

    මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    මහ මැතිවරණයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

    අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට අතුරලියේ රතනහිමියන් ද සටන් කළේය.

  • මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – Special Pictures

    මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි – Special Pictures

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුද බිමේ දී සිදු කෙරිණ.

    දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට සිය ආචාරය පුද කළහ.

    මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හා නව රජයට සහාය පළ කරන නව මන්ත්‍රීවරු සහ පවුලේ ඥාතීහූ ඇතුළු පිරීසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

  • කොරෝනා වසංගත සමයේ ‘මවුකිරි දෙන මවුවරුන්ට’ විශේෂඥ උපදෙස් 04ක්

    කොරෝනා වසංගත සමයේ ‘මවුකිරි දෙන මවුවරුන්ට’ විශේෂඥ උපදෙස් 04ක්

    COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

    මව්කිරි දීම

    මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. COVID-19 වසංගතය තුළ මව්කිරි දීම පිළිබඳව සමාලෝචනය කර ඇති සියලුම පර්යේෂණ හා සාක්ෂි වලින්, (WHO, යුනිසෙෆ් සහ අනෙකුත් ගෝලීය සංවිධාන) මව්කිරි දීම, මව සහ දරුවා එකම කාමරයක වාසය කිරීම, දරුවා වඩා ගැනීම ආදි සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස මවුවරුන්ට නිර්දේශ කර ඇත.

    මාතෘ COVID තත්ත්වය, එනම් මවට කොවිඩ් ආසාදනය වී තිබේද යන්න ගැන නොසලකා නිසි පූර්වාරක්ෂාවන් සමඟ. මව සහ දරුවා එකට ජීවත්වීම දරුවාට වඩාත් සුවපහසුවක් (දරුවාගේ වඩා හොඳ උෂ්ණත්ව පාලනයක්),මවට ඇති ආතතිය අඩු කිරීමට සහ සාර්ථක මව්කිරි දීම සඳහා උපකාරී වේ. 

    COVID-19 වසංගතය තුළ ළදරු කිරි ආදේශක සහ කෘත්‍රීම ආහාර ප්‍රවර්ධනය කිරීම හා බෙදා හැරීම හානිකර වන අතර එය හෙළා දැකිය යුතුය.

    මව්කිරි දීම

    COVID-19 සහ මව්කිරි දීම පිළිබඳව නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයකට මගේ පිළිතුරු මෙන්න

    1. COVID-19 මව්කිරි හරහා ගමන් කළ හැකිද?
    නැත. මව්කිරි මගින් COVID වෛරසය ආසාදනය වන බව මෙතෙක් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී නොමැත. (සීමිත සාක්ෂි කිහිපයක් සොයාගෙන ඇති අතර එය ළදරුවා තුළ ආසාදන ඇති කළ හැකි ශක්‍ය හා ආසාදිත වෛරසයක් සොයා ගැනීමට සමාන නොවේ) එබැවින් මව COVID ධනාත්මක බව අනාවරණය වුව ද මව්කිරි දීම නැවැත්වීමට හේතුවක් නැත. 

    COVID-19 හා සම්බන්ධ සම්ප්‍රේෂණය හා රෝගාබාධවල අවදානම මව්කිරි දීමේ ප්‍රතිලාභ ඉක්මවා යයි.

    2. සැක සහිත හෝ තහවුරු කරන ලද COVID-19 සහිත කාන්තාවන් ආරක්ෂිතව මව්කිරි දෙන්නේ කෙසේද?
    වෛරසය මව්කිරි හරහා ආසාදනය නොවුණ ද ශ්වසන ජල බිඳිති / ස්පර්ශය හරහා පැතිරීමේ අවස්ථාවක් තිබේ. ආසාදන වැළැක්වීම සහ පාලන පියවරයන් නිරීක්ෂණය කළ හොත් එය අවම කර ගත හැකිය:

    සබන් හා ජලය සමග නිතර අත් සෝදන්න නැතිනම් මත්පැන් මත පදනම් වූ දියරයක් භාවිතා කරන්න. දරුවා ස්පර්ශ කිරීමට පෙර අත් හොදින් සබන් ගා සෝදා ගන්න. මව්කිරි දීම ඇතුළුව ළදරුවා සමඟ පවත්වන ඕනෑම සම්බන්ධතාවයකදී වෛද්‍ය මුහුණු ආරණයක් පැළඳ ගන්න. මව ස්පර්ශ කළ පෘෂ්ඨයන් නිතරම විෂබීජහරණය කරන්න.

    3. COVID-19 වසංගතය අතරතුර මව්කිරි දීම වැදගත් වන්නේ ඇයි?
    මවට නිරාවරණය වන ආසාදනයට විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවී සාධක, සයිටොකයින මව්කිරි වල අඩංගු වේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ආසාදනය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ මව්වරුන්ගේ මව්කිරි තුළ COVID-19 වෛරසයට විශේෂිත ස්‍රාවය වන ප්‍රතිදේහවල ප්‍රබල ප්‍රකාශනයක් ඇති බවයි. 

    උපතින් පැයක් ඇතුළත මව්කිරි දීම ආරම්භ කිරීමට මව්වරුන්ට සහාය විය යුතු අතර, දරුවාට වයස මාස හයක් වන තුරු මව්කිරි දීම පමණක් කළ යුතුය. පසුව වයසට ගැළපෙන අනුපූරක ආහාර සැපයීම ආරම්භ කළ යුතු අතර, දරුවාට වයස අවුරුදු දෙකක් වන තුරු මව්කිරි දීම දිගටම කරගෙන යා හැකිය. .

    මව්කිරි දීම

    4. මව්කිරි දීමට මව / ළදරුවා අසනීප නම් කුමක් කළ යුතුද?
    මෙහිදී ගත හැකි හොදම පියවර වන්නේ කාමර ගත කිරීම, එනම්, ළදරුවා සහ මව එකම කාමරයක, එකිනෙකාට යාබදව, කැපවූ COVID පශ්චාත් ප්‍රසව වාට්ටුවක, විශේෂිත හා බාධාවකින් තොරව මව්කිරි දීම සහතික කිරීමයි.  COVID ධනාත්මක, නමුත් බරපතල ලෙස රෝගාතුර නොවූ මව්වරුන් සදහා මෙය ක්‍රියාත්මක කළ හැකිය. 

    කෙසේ වෙතත්, මව සහ දරුවා වෙන් කළ යුතු අවස්ථාවන්හිදී, මවට දැඩි සත්කාර අවශ්‍ය වේ නම්, ඊළඟ හොඳම විකල්පය වනුයේ ප්‍රකාශිත මව්කිරි භාවිතා කිරීමයි (මවගෙන් දොවාගත් කිරි හැන්දක ආධාරයෙන් දරුවා පෙවීම කළ යුතුය). 

    ළදරුවා වෙනත් ආකාරයකින් සෞඛ්‍ය සම්පන්න නම් සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය නොවන්නේ නම්, මවගෙන් දොවාගත් මගින් ළදරුවා පෝෂණය කළ යුතුය. මවගෙන් දොවාගත් මව්කිරි දීමට මවට නොහැකි නම් හෝ නොමැති නම්, වෙනත් මවකගෙන් ලබා ගත් මවුකිරි ලබාදීම වඩාත් සුදුසුය. 

    ළදරුවන් තුළ COVID-19 ආසාදනය වීමේ අවදානම අඩු ය. ආසාදනය සාමාන්‍යයෙන් මෘදු වන අතර ඉහත විස්තර කර ඇති පරිදි සුදුසු පූර්වාරක්ෂාවන් මගින් එය වළක්වා ගත හැකිය. 

    අනෙක් අතට, මව්කිරි ලබා නොදීමේ ප්‍රතිවිපාක දරුණු විය හැකි අතර, මව්කිරි වලින් ආරක්ෂා වන අනෙකුත් සියලුම ආසාදන වලට ළදරුවා අවදානමට ලක්විය හැකිය, විශේෂයෙන් සෞඛ්‍ය හා ප්‍රජා සේවා කඩාකප්පල් වන සහ / හෝ සීමිත කාලයක මෙය බරපතළ ගැටලුවක්, අවදානමක් විය හැකිය.

    femina.in ඇසුරිනි – සකස් කළේ – තුෂාර වල්ගම

  • චම්පිකගේ දේශපාලන ගමනත් අවසන් ද ?

    චම්පිකගේ දේශපාලන ගමනත් අවසන් ද ?

    තුෂාර වල්ගම

    මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.

    පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ ජාතික හෙළ උරුමයේ සහ එහි නායක චම්පික රණවක මහතාගේ දේශපාලන අනාථභාවය ද මෙම මහ මැතිවරණයේදී සනාථ වීමයි.

    1994 සිට මෙරට දේශපාලන තීරණාත්මක භූමිකාවක් ඉටුකළ, 2004 මහ මැතිවරණයේදී එහි උපරිමය සටහන් කළ, බෞද්ධ භික්ෂුව පෙරටු කොටගත් සිංහල ජාතිකවාදී දේශපාලනයේ ‘නිල අවසානය‘ මෙම මහ මැතිවරණයේදී සටහන් වූ බව පැහැදිලිය.

    ජාතික හෙළ උරුමය

    1994 දී ‘සිහළ උරුමය‘ බිහි වූ දා සිට සිංහල බෞද්ධ ජාතිකවාදයේ කොඩිය අතට ගැනීමට, එකට තිලක් කරුණාරත්න, එස්. එල්. ගුණසේකර සහ චම්පික රණවක උත්සාහ කළ ද පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නොව අවම නියෝජනයක් හෝ ලබා ගැනීමට ඔවුනට හැකියාවක් නොවීය.

    එහෙත් ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අභාවය සමග නිර්මාණය වූ පසුබිම තුළ 2004 මහ මැතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනීමට චම්පික රණවක විසින් නායකත්වය දුන් බෞද්ධ ජාතිකවාදී පෙරමුණට හැකි වූ අතර පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීධුර 09ක් නියෝජනය කිරීමට ඔවුට අවස්ථාව හිමිවිය.

    එතැන් සිට, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඍජුව සහයෝගය දෙමින් දේශපාලන ධාරාවේ ඉහළටම ගමන් කිරීමට චම්පික රණවකට අවස්ථාව උදාවූ අතර කැබිනට් අමාත්‍යධුරයක් ද දරමින් තම පදනම ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවූ අතර 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ද තම බලය සැලකිය යුතු ලෙස තහවුරු කර ගැනීමට චම්පික රණවක සමත් විය.

    එහෙත් 2014 අවසාන භාගයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ චම්පික – රතන හිමි ප්‍රමුඛ ජාතික හෙළ උරුමය එවකට මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරයට එක් වුව ද ජාතික හෙළ උරුමයේ ප්‍රබල චරිතයක් වූ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යළි මහින්ද රාජපක්ෂ සමග එක්විය.

    ඒ අනුව උදය ගම්මන්පිල මහතා ‘පිවිතුරු හෙළ උරුමය‘ පිහිටුවාගෙන 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඍජුව සහාය දුන් අතර ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට කැදවා ගැනීමේ ව්‍යාපාරයේ දිදුලන තාරකාවක් බවට පත්විය. ඒ අනුව 2015 මහ මැතිවරණයෙන් පහසුවෙන් පාර්ලිමේන්තුවට යාමට ගම්මන්පිල මහතාට අවස්ථාව උදාවිය.

    2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ හා ප්‍රබල භූමිකාවක් ජාතික හෙළ උරුමයට හිමි වූ අතර චම්පක රණවක ප්‍රබලතම කැබිනට් අමාත්‍යාංශයකින් ද තවත් හෙළ උරුමය නායකයෙක් වූ කරුණාරත්න පරණ විතාන නියෝජ්‍ය අමාත්‍යධුරකින් ද පිදුම් ලැබුවේය. ඒ සමග අතුරලියේ රතන හිමි ද ජනාධිපති උපදේශකයෙක් ලෙස ‘වසවිස නැති ගොවිතැන‘ කරළියට ගනිමින් ආණ්ඩුව තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කිරීමට සමත් විය.

    සජිත් සමග එක්වීම

    ලංකා දේශපාලනයේ අවස්ථාවාදී චරිතයක් වන අතුරලියේ රතන හිමි ආණ්ඩුව සමග දීග කෑමෙන් පසු තවත් වසර කිහිපයකින් ආණ්ඩු විරෝධයක් කරට ගෙන විපක්ෂය වෙත බැල්ම හෙළන විට චම්පික ද එජාප නායකත්ව අර්බුදයේදී තමාට වඩාත් වාසිදායක සහ අනාගතයක් ඇති (අනාගත දේශපාලන නායකත්වයට) සජිත් ප්‍රේමදාස සමග සන්ධාන ගත වූ අතර සජිත් විසින් නායකත්වය දුන් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා බව ද පත්විය.

    මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.

    එහෙත් පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණය චම්පික රණවකගේ දේශපාලන සිහින සුනුවිසුණු කළා පමණක් නොව ඔහුගේ දේශපාලන අනාගතය ද, සැබෑ ශක්තිය ද හෙළිදරව් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ, ඊනියා ජාතික නායකයෙක් වූ චම්පික රණවකට ලබා ගත හැකි වුණේ, සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් දිනාගත් මන්ත්‍රීධුර 06න් -05 වන ස්ථානය වන අතර (කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය විසින් මන්ත්‍රීධුර 06ක් දිනාගත් අතර එහි මුල් තැන මනාප ඡන්ද 305,744ක් දිනාගත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ද දෙවන ස්ථානය මනාප ඡන්ද 96,916ක් දිනාගත් එස්.එම්. මරික්කාර මහතා විසින් ද දිනාගෙන තිබේ. තෙවන ස්ථානය මනාප ඡන්ද 87,589ක් දිනා ගත් මුජිබර් රහුමාන් මහතා විසින් ද සිවුවන ස්ථානය මනාප ඡන්ද 82,845ක් දිනාගත් ආචාර් හර්ෂ ද සිල්වා විසින් ද පස්වන ස්ථානය මනාප ඡන්ද 65,574ක් දිනාගත් චම්පික රණවක මහතා විසින් ද සයවන ස්ථානය මනාප ඡන්ද 62,091ක් දිනා ගත් මනෝ ගනේෂන් මහතා විසින් ද දිනාගෙන ඇත) ඔහුට ලබාගත හැකි වුණේ ද මනාප ඡන්ද 65,574ක් පමණකි.

    මේ තත්ත්වය තුළ චම්පික රණවකගේ ජනප්‍රියත්වය සේම ජාතික නායකත්ව භූමිකාව ද අභියෝගයට ලක්වන අතර සමගි ජන බලවේගය තුළ ඔහුගේ ශක්තිය පරීක්ෂාවට ද ලක්කර ඇත. ඒ අනුව තව දුරටත් චම්පික යනු ‘පොරක්‘ හෝ අනාගත නායකයෙක් නොවනු ඇති අතර ඔහුව සරත් ෆොන්සේකා (ගම්පහ පළමු මනාප) වැනි නායකයින් හමුවේ දියවී යන බව පැහැදිලිය.

    හෙළ උරුමයෙන් චම්පික පමණයි

    මෙම මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තරග කළ අපේක්ෂකයින්ගෙන් චම්පික හැර වෙනත් කිසිවෙකු තේරී පත් නොවීම ද හෙළ උරුමයේ හෙළුව පෙන්වන කරුණක් ලෙස සැලකිය හැකිය.

    උදාහරණ ලෙස හෙළ උරුමයේ ජාතික තලයේ නායකයින් වන, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, කලුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරාළ හෝ හිටපු රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතානට හෝ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැත.

    මේ තත්ත්වය මත චම්පිකගේ හෙළ උරුමය ද ‘තනි මන්ත්‍රී‘ පක්ෂයක් බවට පත්ව ඇත.

    අතුරලියේ රතනට යන එන මං නැතිවීම

    ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට මෑතදී පාවී ආ අතිෂය අවස්ථාවාදී හා අන්තවාදී භික්ෂුවක වන අතුරලියේ රතනට හිමියන්ට මෙවර මහ මැතිවරණයේදී තමන්ගේ ‘නියම තරම‘ මනාව හදුනා ගැනීමට හැකි වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදය නියෝජනය කළ, ගලගොඩඅත්තේ ඥානසාර – අතුරලියේ රතන, පාහියන්ගල ආනන්ද ආදි භික්ෂූන්ට ද තමන්ගේ ‘නියම තරම, ශක්තිය වටහා ගැනීමට පහසු අවස්ථාවක් උදාවී ඇත.

    මෙම මැතිවරණයෙන් අතුරලියේ රතන- ගලගොඩඅත්තේ ඥානසාර‘ නායකත්වය දුන් අපේ ජන බලවේගය පක්ෂය දිනාගත්තේ (කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප විය) ඡන්ද 67,758ක් හෙවත් 0.58%ක් පමණක් වන අතර අහඹු ලෙස හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට කාකොටා ගන්නා ආකාරය (මෙය 1994දී ද සිදුවිය) අනුව එම පක්ෂයේ අනාගතය තීන්දු වනු ඇත.

    සටහන – තුෂාර වල්ගම

  • 09 වැනි පාර්ලිමේන්තුව: වාර්තා රැසක් අලුත් වෙයි – ගිනස් වාර්තාවකුත් ඒ අතර

    09 වැනි පාර්ලිමේන්තුව: වාර්තා රැසක් අලුත් වෙයි – ගිනස් වාර්තාවකුත් ඒ අතර

    පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතර සුවිශේෂතා රැසක් දක්නට ලැබෙන අතර එය පසුගිය පාර්ලිමේන්තුවල දක්නට නොලැබුණු සුවිශේෂ තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් සේම පොදු ජනතාව ද සදහන් කරති.

    ඒ අතර මුහුණු පොතේ වේගයෙන් හුවමාරු වන පෝස්ට් එකක දැක්වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව තුළ ‘හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සිටින බව‘යි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (2005-2015) මහතා සහ මෛත්‍රීපාල සිරිසේන (2015-2019) මහතාය. මෙය ඇතැම් විට ලෝකයේ කිසිම පාර්ලිමේන්තුවක දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයක් බව සාමාන්‍ය ජනතාවගේ අදහසයි.

    මේ තත්ත්වය යම්කිසි හාස්‍යයකින් විස්තර කළ මුහුණු පොතේ පෝස්ට් සටහන් කර තිබුණේ ‘දැන් ඉතිං ලංකාව ගොඩදානන් පුළුවන්. අපිට එක් ජනාධිපතිවරයෙක් නෙමෙයි තුන් දෙනෙක්ම ඉන්නවා. මෙහෙම අවස්ථාවක් කවදාවත්, කාටවත් ලැබෙන්නේ නැහැ‘ යනුවෙනි.

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සමග ජනාධිපති ධුරයේ බොහෝ අත්දැකීම් ඇති තිදෙනෙක් දැන් රටට හිමිව ඇති අතර දැන් ඔවුන්ට රට වඩාත් හොද තත්ත්වයක් කරා ගෙන යාමට අවස්ථාව ලැබී ඇත.

    මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ ‘මිලිටරි නියෝජනය‘ ගැන ද අදහස් දක්වා ඇති අතර හිටපු යුද්ධ හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානී, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඒ අතර ඉදිරියෙන්ම සිටී. ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වූ මේජර් ප්‍රදීප් උදුගොඩ (පොහොට්ටුව) සහ වන්නියෙන් ද හමුදා නියෝජනයක් සිදුව ඇත.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තා පොත අලුත් කරමින් පිය පුතු යුගල 4ක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිය පුතු යුගල 4ය.

    වෛද්‍යවරුන් 08 දෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර රමේෂ් පතිරණ, සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සීතා අරඹේපොල, උපුල් ගලප්පත්ති, ගයාෂාන් නවනන්ද, තිලක් රාජපක්ෂ, කාවිද් ජයවර්ධන සහ රාජිත සේනාරත්න ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන්ය.

    ඉංජිනේරුවරුන් කිහිපදෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර නාලක ගොඩහේවා, නාලක කෝට්ටේගොඩ, ඉසුරු දොඩංගොඩ, අනූප පස්කුවල්, ගාමිණි වලේබොඩ, යදාමිණි ගුණවර්ධන සහ පාඨලී චම්පික රණවක ඒ යටතට අයත් වේ.

    මීට අමතරව කලාකරුවන්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම විශේෂත්වයකි.

    මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇත. ඒ කාන්තාවන් දස දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, මුදිතා සොයිසා, රෝහිණි කවිරත්න, තලතා අතුකෝරල, මංජුලා දිසානායක, සීතා අරඹේපොල, ඩයනා ගමගේ යන අය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.

    මරණ දඩුවම නියම වී සිිටින රත්නපුරය දිස්ත්‍රික්කයෙන් (පොහොට්ටුව) දෙවැනි ස්ථානට පත් වූ ප්‍රේමලාල් ජයසේකර, හිටපු එල්.ටී.ටී.ඊ සටන්කාමියෙකු වන පිල්ලෙයාන් සහ ද්වත්ව පුරවැසිභාවය හේතුවෙන් පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය අහිමි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සුවිශේෂත්වයකි.

    එසේම 1977 සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය නොකිරීම කාගෙත් අවධානයට ලක්ව ඇත.

    මේ අතර ඇතැම් දේශපාලන විචාරකයින් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලින් ආණ්ඩු බලය හුවමාරු වන ලෝකයේ ප්‍රධාන ධාරාවෙ දේශපාලන පක්ෂයක්, දශක ගණනාවක් ආණ්ඩු බලය අල්ලා ගෙන සිටි, ජාතික තලයේ දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයකින් වාර්තා කළ අවම ජයග්‍රහණය මෙවර ලංකාවෙන් වාර්තා වූ බවය.

    1947 දී බිහිවී එම වර්ෂයේම පැවැති මහ මැතිවරණයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගෙන 1947-1956, 1960 මාර්තු – ජූලි, 1965, 1970, 1977-1994, 2001 දෙසැම්බර් 05 – 2004 අප්‍රෙල් දක්වා ආණ්ඩු බලය දැරූ, 2015 -2019 නොවැම්බර් දක්වා ආණ්ඩු බලය දැරූ එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් එකම ආසනයක් හෝ ජයග්‍රහණය නොකළ අතර හිමි වුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් පමණි.

    ඒ අනුව 1947 සිට 2020 දක්වා පැවැති මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය අවම ඡන්ද සංඛ්‍යාවක් ලැබූ මහ මැතිවරණය බවට (1956 සහ 1970) 2020 මහ මැතිවරණය පත්වීම ද විශේෂ තත්ත්වයකි.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ සන්ධාන ගතව තරග කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නිල වශයෙන් දිනා ඇත්තේ වන්නි යාපනය දිස්ත්‍රික්කයේ 01ක් මන්ත්‍රීධුරයක් වීම ද විශේෂත්වයකි.

    1952 දී බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන 1956, 1960 ජූලි, 1970-77, 1994 සිට 2019 දක්වා ජනාධිපති ධුරයට හිමිකම් කී අතර 1977 මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලනිපය අන්ත පරාජයක් ලැබූ මහ මැතිවරණය බවට මෙය පත්විය. (එහෙත් මෙය කිවිවෙකුගේ අවධානයට ලක් නොවීය)

    සටහන – තුෂාර වල්ගම

  • නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

    නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දිවුරුම් දෙන ලද්දේ සිව්වන වරටයි.