Author: Editor

  • AL නියමිත සුදුසුකම් නැති නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ – GMOA

    AL නියමිත සුදුසුකම් නැති නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ – GMOA

    උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය  උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ  ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.

  • ලොක්ඩවුන් හකුලා ගත් ‘පිළියන්දල දැල්තර’ PCR කළ 55%කට කොවිඩ්

    ලොක්ඩවුන් හකුලා ගත් ‘පිළියන්දල දැල්තර’ PCR කළ 55%කට කොවිඩ්

    පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයේ පසුගිය 30 වැනිදා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 268කින් කොවිඩ් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී තිබෙනවා. සිදුකළ පී.සීආර් පරීක්ෂණවලින් 55%ක් වැනි ආසාදිතයින් පිරිසක් හමුවීම තුළ මෙම සිදුවීම බරපතළ තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ කියන්නේ.

    පිළියන්දල පොලිස් වසයම හුදකලා කිරීමට ගත් තීරණය ‘ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් “ මත හකුලා ගැනීමට එදිනම කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවර ගත්තා. අදාළ ඉල්ලීම කළේ කම්කරු ඇමැති ගාමිණි ලොකුගේ විසින් බවයි වාර්තා වුණේ.

    මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් දින 16 කදී කොවිඩ් ආසාදිතයන් 400ක් වාර්තා වී ඇති බවත් තවත් පී.සී.ආර් පරීක්ෂණ 354ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වාර්තා කියනවා.

  • කොවිඩ් මර්දනයට ‘පොලිසියට’ තවත් බලතල

    කොවිඩ් මර්දනයට ‘පොලිසියට’ තවත් බලතල

    පසුගිය දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ්-19 මර්දන නව සෞඛ්‍ය නිර්ණායකවලට අනුව ක්‍රියාත්මක වීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පොලිස් මූලස්ථානය විසින් නව චක්‍රලේඛ දෙකක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

    නව චක්‍ර ලේඛවල අන්තර්ගතය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක වලට අනුව ගෘහස්ත උත්සව, වෙරළ සාද, එළිමහන් උත්සව, සම්මන්ත්‍රණ, සැණකෙළි සංගීත සංදර්ශන, පැවැත්වීමට ඇති හැකියාව වළක්වමින් සහ සෞඛ්‍ය උපමාන අනුව පොදු ප්‍රවාහන සහ සෙසු ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙක නිකුත් කර තිබෙන බවයි.  

    පොදු ප්‍රවාහන සේවයේදී ආසන ගණනට පමණක් මගීන් රැගෙන යා හැකි අතර මෝටර් රථ, ත්‍රී රෝද රථවල ගමන් ගැනීමට හැකිවන්නේ රියදුරු සමඟ තවත් දෙදෙනෙකුට පමණක් බවත් එම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා බලතල පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළා.

  • ‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළොත් තවත් COVID- 19 රැල්ලක්’ – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

    ‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළොත් තවත් COVID- 19 රැල්ලක්’ – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා සීග‍්‍රයෙන් කොවිඞ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළා.

    විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අද (05) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දීයි.

    මෙහිදී සිය මතය තහවුරු කරමින් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් පැමිණෙන ජනතාව ගැවසෙන ස්ථානයක්. කොරෝනා ව්‍යාප්තියේ වේගවත්ම අවස්ථාවේදී ඒවා විවෘත වුවහොත් වයිරසය පැතිරීමේ අවදානම වැළැක්විය නොහැකියි. යම් ආකාරයකින් එවන් ස්ථානයක ආසාදිතයන් සිටියහොත් වෛරසය රට පුරාම පැතිරීමට ඉඩ කඩ වැඩියි“ යැයි ද පැවසීය.

  • කොවිඩ් ආසාදිත පළමු ගැබිනි මරණය වාර්තා වෙයි

    කොවිඩ් ආසාදිත පළමු ගැබිනි මරණය වාර්තා වෙයි

    කොරෝනා-19 වයිරසය ආසාදිත 45 හැවිදිරි ගර්භණී කාන්තාවක් අද අළුයම (05) රාගම රෝහලේදී මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙය ලංකාවෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මාතෘ මරණය බවයි එම වාර්තාව කියන්නේ. මෙසේ මියගොස් ඇත්තේ රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

    ඇය මෙලෙස මරණයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිට අසාධ්‍ය වීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටියදීයි.

    මේ අතර එකම නිවසක වාසය කළ තිදෙනෙක් ද කොවිඩ්-19 ආසාදනය වීම නිසා මියගොස් තිබෙනවා.

    කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළක් සහ ඥාති කාන්තාවක් මරණයට පත්ව ඇති බවයි තලංගම පොලිසිය කියන්නේ.

    මියගිය අඹුසැමි යුවළ වයස අවුරුදු 86 ,94 වැනි වියේ පසු වූ අතර ඥාති කාන්තාව 82 හැවිරිදි වියේ පසුවී තිබෙනවා. මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයකු බවත් ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියක බවත් තලංගම පොලිසිය පැවසුවා.

  • නව වෛරස් ප්‍රභේදය:  රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගෙන් සුපිරි හෙළිදරව්වක් !

    නව වෛරස් ප්‍රභේදය: රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගෙන් සුපිරි හෙළිදරව්වක් !

    මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් රටේ පැතිර ගොස් ඇති බවත් ඉන්දියාවේ පැතිර ඇති වෛරස මේ දක්වා මෙරටින් හමුවී නැති බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) දින කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ පැවසීය.

    මෙහිදී වැඩි දුරටත් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා, ‘‘බ්‍රිතාන්‍ය ප්‍රභේදය අද ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මෙම බ්‍රිතාන්‍ය ප්‍රභේදය නිසා. ඉන්දියානු ප්‍රභේදය වෙනස්වීම් දෙකකට ලක්ව ඇති බවයි මේ වන විට සොයා ගෙන තිබෙන්නේ.

    ‘‘අත්‍යවශ්‍ය ඖෂධ රටේ නැතැයි විපක්ෂය නගන චෝදනාව අමූලික බොරුවක්. අත්‍යවශ්‍ය ඖෂධ 646න් හිඟයක් පවතින්නේ නමයක පමණයි. මේ කලාපයේ එන්නත් කරන වැඩපිළිවෙල මුලින්ම ආරම්භ කළේ ශ්‍රී ලංකාව යි. ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වය නිසා අප ගැටලුවකට මුහුණ දී ඇති බව ඇත්තක්. ඒ නිසා එන්නත් ලක්ෂ හයක අඩුවක් අපට තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතලබාගැනීමට ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යනවා. ජනාධිපතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා නිසා අපට පහසුවෙන් මේ ඉලක්කයට යන්න පුළුවන්‘ යැයි ද කීවේය.

  • අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට

    අගමැති මහින්ද ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට

    ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අද (05) පස්වරුවේ පැවති  54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය.

    මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තනතුරට පත්වනවිට ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු (ADB)අධිපතිධුරය හොබවමින් සිටියේය.

    ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමානයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.  ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ඒ.ඩී.බී අධිපතිවරුන් මෙම රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත්වූහ.

    ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතය.

    ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ආයුබෝවන් !

    ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් මගේ අදහස් බෙදා ගැනීමට හැකිවීම භාග්‍යයක් කොට සළකමි. ලබන වසරේ මෙම රැස්වීම කොළඹ දී පැවැත්වීමට නියමිත නිසා එය තවත් විශේෂිත වේ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන්  පෙර නොවූ විරූ ලෙස මිනිස් ජීවිත අහිමි වී ඇති අතර අපේ ජන ජීවිතය,සමාජය,ආර්ථිකය මෙන්ම වටිනා හර පද්ධති සහ අපගේ සංස්කෘතික භාවිතයන් සියල්ල කඩාකප්පල් වී ඇත. එවැනි පසුබිමක් තුළ නැවත සාමූහිකව නැගී සිටීමට සුදුසුම කාලය මෙය බව මම විශ්වාස කරමි.

    මෙම සියවස ආසියානු සියවසයි. අපේ කලාපය බොහෝ අර්බුයන්ට මුහුණ දී තිබෙනවා. ඒ වගේම ඒවාට  ඔරොත්තු දීමේ හැකියාව සඳහාත් ආසියාව ප්‍රසිද්ධියක් උසුලනවා. එබැවින් වර්තමාන වසංගත තත්ත්වය තුළ පවා අපගේ කලාපය ලෝක වර්ධනයට නායකත්වය දීම පුදුමයක් නොවේ.

    අධිපතිවරුනි,

    නැගී එන ආසියාවට ලෝකය මෙහෙයවීමේ වගකීමක් තියෙනවා. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසරයක් උදෙසා අප විසින් තිරසාර භාවිතයන් සහතික කළ යුතුයි.

    අපගේ ප්‍රතිපත්තිමය විසඳුම් පාරිසරික හා සමාජීය වශයෙන් තිරසාර විය යුතුයි. අනාගත පරපුර සඳහා අපගේ ජීවන රටාව අප විසින් ආරක්ෂා කළ යුතු වෙනවා.  දැන් අවශ්‍යවන්නේ අපගේ පොදු ගැටලු විසඳාගැනීම සඳහා සාමූහිකව සහයෝගයෙන් කටයුතු කිරීමයි.

    මෙම ඉලක්කය කරා යාමට ස්වාභාවික සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා අපට උපකාරී වන භාවිතයන් සහ තාක්ෂණය අනුගමනය කිරීමට අප සූදානම් විය යුතුයි.

    ඒ නිසා “හරිත ආර්ථිකයක්” තුළ සේවාවන් සැපයීම පහසු කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම ශ්‍රී ලංකාව දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අපගේ රජය රාජ්‍ය අංශයේ මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීම වේගවත් කර තිබේ.

    ඊට අමතරව අප සියලු දෙනාම පොසිල ඉන්ධන මත යැපීම අඩු කළ යුතු වෙනවා.  පොසිල ඉන්ධන භාවිතය අඩුකරමින් පුනර්ජනනීය බලශක්තිය දක්වා යොමුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවලට සහයෝගය දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

    නැගී එන ආසියාවේ පරිසර හිතකාමී තිරසර නගර බිහි කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විශාල සහයොගයක් දිය යුතු යැයි අප විශ්වාස  කරනවා. එය නව ප්‍රවේශයක් වනවා මෙන්ම ඒ තුළින් විධිමත් ලෙස සම්පත් කළමනාකරණය සිදුවනු ඇත.

    අවධානය යොමු කළ යුතු තවත් වැදගත් අංශයක් වන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමයි. සාධාරණ සමාජයක් වෙනුවෙන් කාන්තාව ඉටුකරන තීරණාත්මක කාර්යය භාරය අප හඳුනාගත යුතුයි.

    ආසියානු කලාපය මේ සම්බන්ධව සැළකිය යුතු ප්‍රගතියක සිටිය ද ඔවුන් වෙනුවෙන් තව තවත් සම්පත් යෙදවිය යුතු බව මම විශ්වාස කරමි.

    මෙම වසංගත තත්ත්වය හමුවේ ඉතා කඩිනමින් සාමාජික රටවල සහයට ඩොලර් බිලියන 20 ක් බෙදාහරිමින් ආසියානු සංවර්ධන බැංකුව දුන් සහයෝගය අපි සිහිපත් කළ යුතුයි.

    එන්නත්කරනය සඳහා ශ්‍රී ලංකාවට සහ තවත් බොහෝ රටවලට ඩොලර් බිලියන 9ක්  ලබා දී ඇති අතර එම සහයෝගයට ආසියානු සංවර්ධන බැංකුව සඳහා ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගමි.

    අප ඉදිරියේ ඇත්තේ භයානක අභියෝගයකි. කෙසේ වෙතත් අපට එක්ව මෙම අභියෝගයට කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මුහුණ දීමට හැකියාව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ඇති බවත් මට විශ්වාසයි.

    අවසාන වශයෙන්, ලබන වසරේ කොළඹ දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීමට ඔබ සැමට ආරාධනා කිරීමට ලැබීම සතුටට කරුණකි.

    මෙම වැදගත් සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අතර ඔබ සැමට ආරක්ෂිත සහ නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමි.

  • වරාය නගර පනත සම්මත කර ගන්න ආණ්ඩුවට මේ තරම් තදියමක් ඇයි ? ජවිපෙ නායකයා කරන සුපිරි හෙළිදරව්ව !

    වරාය නගර පනත සම්මත කර ගන්න ආණ්ඩුවට මේ තරම් තදියමක් ඇයි ? ජවිපෙ නායකයා කරන සුපිරි හෙළිදරව්ව !

    කොළඹ වරාය නගර සංවර්ධන පනතට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වල තීන්දුව ප්‍රකාශ කිරීමටත් පෙර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය තුළින් එහි භයානකකම තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පවසා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (04) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

    එහිදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය….

    “ආණ්ඩුව විසින් පසුගිය අප්‍රෙල් මස 08වැනිදා කොළඹ වරාය නගරය කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම පනත මගින් ලංකාවේ බදු පනත් 07ක් එම ප්‍රදේශයට අදාළ නොවන බවත් තවත් පනත් 14ක් මෙම ප්‍රදේශය තුළ වෙනස් කිරීමට හෝ නිදහස් කිරීම්වලට යටත් බවත් යෝජනා කර තිබුණා. මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වීමේ අනතුරක්ද මේ තුළ තිබුණා. එසේම මෙම ප්‍රදේශය ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ පරිපාලන ව්‍යූහයකට ඇතුළත් නොවන බවද ප්‍රකාශ වුණා. මෙම ප්‍රදේශය තුළ පදිංචි පුරවැසියන්ට ඡන්ද බලය අහිමි වනවා. මේ සියල්ල වෙනුවට 05-07 අතර පිරිසකගෙන් යුත් කණ්ඩායමකට මෙම ප්‍රදේශයේ අධිකාරි බලය හිමිවන බව මෙයින් යෝජනා කෙරුණා. එම කෙටුම්පතට අනුව එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවීමටද ඉඩ තිබුණා. මෙම පිරිසෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වන බවට ආණ්ඩුව එය සංශෝධන කරන බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවටද වාර්තා වුණා. මෙමගින් මෙතරම් අතිශය අහිතකර බලපෑම් සහිත අධිකාරියකට විදේශිකයන්ද ඇතුළත් බව ඉතාම පැහැදිලියි.

    මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මුල් අවස්ථාවේ සිටම ආණ්ඩුවේ යටි අරමුණක් තිබුණා. ඒ මෙම පනත පිළිබඳව සමාජය තුළ විධිමත් සංවාදයකට ඉඩක් නොතැබීමයි. නිදසුනක් ලෙස ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ පසුගිය අප්‍රේල් 08වැනිදායි. ව්‍යවස්ථාව අනුව පනතකට එරෙහිව පුරවැසියෙකුට අධිකරණයට යා හැක්කේ එම දිනයේ සිට සතියක් තුළයි. ඒ අනුව 09වැනි සිකුරාදා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් තිබුණේ නැහැ. 10 සහ 11යන දිනයන් සෙනසුරාදා සහ ඉරිදා වුණා. 12වැනි දින ආණ්ඩුව විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කළා. 13 සහ 14 අලුත් අවුරුදු නිවාඩුව ලෙස පැවතියා. ඒ අනුව මෙම පනතට එරෙහිව අධිකරණයට යා හැකි දිනයක් ලෙස ඉතිරිව තිබුණේ 15වැනිදා පමණයි. ඒ අනුව ආණ්ඩුව මෙම අවුරුදු සමය තුළ නීතිඥයින් ඇතුළු සියලු දෙනා නිවාඩු ලබා තිබියෙදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත්වීම වැළැක්වීමට කූට ලෙස උත්සාහ දැරුවා. නමුත් පක්‍ෂයක් ලෙස අපද ඇතුළත්ව කිහිප දෙනෙක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ එම උත්සාහය පරාජයට පත්කළා.

    එම කෙටුම්පතට අදාළ ශේ්්‍රෂ්ඨාධිකරණ තීන්දුව දින 21ක කාලයක් තුළ කථානායකවරයාට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. පසුගිය සිකුරාදා (30) පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව මෙම තීන්දුව 04වැනිදා කථානායකට ලැබෙන බවත් ඒ අනුව 05වැනිදා විවාදයට දින වෙන්කරන බවත් කිවුවා. මෙවැනි වැදගත් පනතක් සඳහා එක් දිනයක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා අවම වශයෙන් 05 සහ 06 (බදාදා සහ බ්‍රහස්පතින්දා) දින දෙකක් අවශ්‍ය බව අප විසින් අවධාරණය කළා. නමුත් කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකකට වඩා රැස්කළ නොහැකි බව ආණ්ඩුව පාර්ශ්වයෙන් දැඩිව කියා සිටියා.

    අද (04) මේ පිළිබඳ ශේ්්‍රෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෙත ලැබී නැහැ. ඒ අනුව හෙට දිනයේ මේ විවාදය පැවැත්විය නොහැකියි. බොහෝ විට අද (04) සවස පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා 06වැනි බ්‍රහස්පතින්දා මේ පිළිබඳ විවාදය ලබාදීමට ආණ්ඩුව උත්සාහ කළ හැකියි. ආණ්ඩුව විසින්ම දින දෙකකට පාර්ලිමේන්තුව රැස්කිරීමට අදාළව දමාගත් සීමාව අද ආණ්ඩුවට බාධාවක් වී තිබෙනවා. ඒ අනුව බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුව සදාචාරාත්මක අයිතියක් නැහැ. නමුත් ආණ්ඩුව තමන්ගේ වුවමනාකම් වෙනුවෙන් සදාචාරය සම්බන්ධව තැකීමක් නොකරන බව අපි දන්නවා.

    ආණ්ඩුවට මෙම වරාය නගරය පනත ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක් යැයි මෙය සම්මත කර ගැනීම හදිස්සි කළ හැකියි. නමුත් අපට මේ සම්බන්ධව වෙනස් මතයක් තිබෙනවා. මෙය විසින් රටේ ස්වෛරීභාවය සම්බන්ධ ප්‍රශ්න මතු කරනු ඇති බවටත් කළු ආර්ථික මධ්‍යස්ථානයක් විය හැකි බවටත් අදහස් තිබෙනවා. අධිකරණයෙන් ලැබෙන්නේ මෙම පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන කරුණ පිළිබඳ තීරණය පමණයි. ඒ නිසා පනත සම්මත කිරීමට පෙර මේ පිළිබඳව ජනතාව සමග පුළුල් සංවාදයක් පැවැත්විය යුතුව තිබෙනවා. පසුගිය 23වැනි දිනත් අප මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් සූදානම් කළා. නමුත් කොවිඩ් තත්වය හමුවේ එය අවලංගු කිරීමට සිදුවුණා. මෙය රටට හිතකර පනතක් නම් ආණ්ඩුවට පනත සම්මත කර ගැනීම විනිවිද පෙනෙන ලෙස කිරීමටත් ජනතාව පුළුල් සංවාදකින් අනතුරුව එය සිදුකිරීමත් කළ හැකියි. නමුත් ආණ්ඩුවේ මෙම සැඟවීම සහ හදිසිය පිටුපස ඇත්තේ මෙම පනතේ භයානකකමයි.

    තමන්ගේ ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම රටේ නීතියක් නොවන ජනාධිපතිවරයා දැනගත යුතුයි

    උපාලි අබේරත්න හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් පැවති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනවාරි 15වැනි දින කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එහි එක් නිර්දේශයකින් මා ඇතුළු තවත් පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ඉල්ලුවා. මේ සඳහා පදනම් කරගනු ලැබුවේ මීට වසර 40කට පමණ පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක විපක්‍ෂ නායකවරියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාවිච්චි කරන ලද පනතයි.

    ඒ අනුව පසුගිය ජනවාරි 29වැනිදා ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 03කුගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කළා. ඔහුගේ හදිසිය නිසා බොහෝ විට කරගන්නා පරිදි එයටද සංශෝධනයක් ගෙන ඒමට පෙබරවාරි 05 වැනිදා නැවත ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඔහුටම ගැලපෙන දිනයේ අප්‍රේල් 01වැනිදා එම කොමිෂන් සභාවට අදාළ නැවත සංශෝධනයක් සිදුකළා. මෙමගින් ඔහු මෙම ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සිටි බව පෙනී යනවා. කෙසේ වුවද අප්‍රේල් 29වැනිදා වන විට මෙම කොමිෂන් සභාවේ කාලය අවසන් වුණා. එහි වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුන්නාද? අප දන්නා පරිදි නම් එක් දිනක් හෝ මෙම කොමිෂන් සභාව රැස්වුණේ නැහැ. එයට අපව කැඳෙව්වෙත් නැහැ. ඒ නිසාම එහි වාර්තාවක් තිබෙන්නට විදිහකුත් නැහැ. මේකත් සරත් වීරසේකරගේ වගේම ගෝඨාභය රාජපක්‍ෂගේ පුස් වෙඩිල්ලක්.

    ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා කළ පරිද්දෙන් මෙම පනත උපයෝගී කර ගනිමින් දේශපාලන නායකයින් දඩයම් කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ අරමුණු කරගෙන සිටියා. 20වැනි සංශෝධනයෙන් ලැබුණු බලයත් 2/3 පාර්ලිමේන්තු ජන වරමත් ඒ සඳහා පාවිච්චි කිරීමට ඔහු අපේක්ෂා කළා. මේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම අරමුණු කරගත් කැබිනට් පත්‍රිකාව ගෙන ආ කැබිනට් මණ්ඩලයේ 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්‍ෂත් හිටියා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව ඔහු හඬ නැගුවා. ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් අපේ හඬ යටපත් කළ හැකියැයි ඔවුන් සිතනවා විය හැකියි. අපට දේශපාලනය කිරීමට ප්‍රජා අයිතිය නැමති ලයිෂන් එක අවශ්‍ය නැහැ. එයට කළ යුත්තේ කුමක්දැයි අපි මෙයට පෙර කියා තිබෙනවා.

    දැන් මෙම විශේෂ ජනාධිපති කොමිසම කල් ඉකුත්වූ කොමිෂන් සභාවක්. එයට කළ හැකි දෙයක් නැහැ. පළවැනි වතාවට ජනාධිපතිවරයෙකු විසින් කිසිවක්ම සිදු නොවූ ස්වයං මරණයක් අත්වූ කොමිසමක් පිහිටවූවා. මෙය ස්ථාපිත කළ මොහොතේම අපි මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව පරාජය කරන බව කිවුවා. තමන්ගේ ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම මේ රටේ නීතියක් නොවන බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා දැනගත යුතුයි.

  • අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. 2020 උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන සිසුන්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල බලා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

  • 2021දී ලංකාවේ කාන්තාවොත් ෆේල් – ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර ස්ථාන 113කින් ලංකාව පසුපසට

    2021දී ලංකාවේ කාන්තාවොත් ෆේල් – ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර ස්ථාන 113කින් ලංකාව පසුපසට

    කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය පිළිබඳ වාර්ෂික වාර්තාවකට අනුව 2006 වසරේ සිට 2021 වන විට ශ්‍රී ලංකාව ස්ථාන 113ක් පහත වැටී තිබේ.

    2021 ලෝක ආර්ථික සංසදය (WEF) නිකුත් කළ වාර්තාවට අනුව, 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ පරතරය අවම මට්ටමක තිබුණු අතර ලෝකයේ රටවල් 156ක් අතරින් 13 වෙනි ස්ථානයේ පසු විය.

    නමුත් 2021 වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 116 වෙනි ස්ථානයයි. වසර පහළොවක් ඇතුළත ස්ථාන 113ක් ශ්‍රී ලංකාව පහත බැස තිබේ. එමෙන්ම, වසරක් තුළ ස්ථාන 14ක් පහත වැටීම ද අවධානයට ලක් විය යුතු කරුණකි.

    වාර්තාවේ සඳහන් වන පරිදි මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකයට කාන්තාවන්ගේ ඇති අවම සහභාගිත්වයයි.

    කෙසේනමුත්, පසුගිය අවුරුදුවල පහළ ස්ථානවල සිටි රුවන්ඩාව, බංග්ලාදේශය සහ පිලිපීනය වැනි රටවල් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පසු කර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ඉහළට ගොස් තිබේ.

    ශ්‍රම බලකාය

    පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි.

    එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවකට අනුව, දැරිය හැකි මුදලකට ගුණාත්මක දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ ළමාරක්ෂක සේවා නොමැතිකම, නිවසේ රාජකාරි බෙදා ගැනීමට සහාය නොලැබීම සහ සේවිකාවන්ට අවශ්‍ය සහාය නොදක්වන සමහර සේවා ස්ථාන සංස්කෘතීන් වැනි බොහෝ සාධක නිසා රට තුළ ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය අවම වී තිබේ.

    Gender Gap in Sri Lanka 2021
    “නිවසේ රාජකාරි බෙදාගෙන සිදු කිරීමක් නැහැ”

    බොහෝ කාන්තාවන් ස්ථීර ආදායමක් නොලැබෙන රැකියාවල නිරත වන බැවින්, කොවිඩ්-19 වැනි අර්බුද ශ්‍රී ලංකාවේ පවුල් 1/4 වැඩි ප්‍රමාණයකට අයත් කාන්තාවන්ට දැඩි ලෙස බලපා ඇතැයි වාර්තාවේ දැක්වේ.

    ගෘහ මූලිකයා කාන්තාව වූ විට ඔවුන්ගේ පවුලට සහයෝගය දැක්වීමේදී තුන් ගුණයක බරක් දැරීමට මෙම කාලය තුළ සිදුව ඇතැයි එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

    “මම දරුවන් දෙදෙනෙක්ගේ තනි මවක්. දික්කසාද වුණාට පස්සේ, දරුවන් බලාගන්න, ගෙදර කටයුතු වගේම රස්සාවත් මට තනියම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම දිනකට කරන වැඩකොටස පිරිමි කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. දරුවෝ බලන්න නැනී කෙනෙක්ගේ සහය ලබාගන්නවා, නමුත් ඒ මොනවා තිබුණත් දවසට පැය විස්සක්වත් මම වැඩ. ඒ කියන්නේ වැඩි වැඩ ප්‍රමාණයක් කරන්නේ පඩි නැතිව,” මිනූ යැයි තමන් හඳුන්වන ලෙස ඉල්ලීමක් කළ කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය.

    කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් තිබියදීත්, තවමත් ඔවුන්ගේ ශ්‍රමය බොහෝවිට වැයවන්නේ නිවසේ එදිනෙදා වැඩකටයුතුවලටය.

    කාන්තාවන්ගේ සමාජ භූමිකාව පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹීම හේතුවෙන් අදටත් ඔවුන්ට බොහෝ අවස්ථා මග හැරෙන අතර, විවිධ තහංචි මධ්‍යයේ දිවි ගෙවීමට සිදුව තිබේ.

    Gender Gap in Sri Lanka 2021
    “ඇත්තටම බැලුවොත් රටෙන් 52%කින් හරිහැටි වැඩක් ගන්නේ නැහැ”

    “ලංකාවේ ගැහැණු කෙනෙක් රස්සාවකට යන්න නම් බඳින්න කලින් යන්න ඕනේ. නැත්නම් ඉන්ටර්වීව් එකකින්වත් පාස් වෙන්න බැහැ. බැඳලා ළමයි ලැබෙනකොට රැකියාව මඟ හැරෙනවා කියලා කොම්පැණිවලින් බඳවා ගන්නේ නැහැ. මම පෞද්ගලිකව මෙය අත්වින්ඳා. ඉහළට ඉගෙනගෙන ඒ හැමදේම නිවසේ වැඩකටයුතුවලට විතරක් දිය කරලා දානවා වගේ හැගීමක් මට තියෙන්නේ,” උපාධිධාරිණියක වන බුද්ධිකා පෙරේරා පැවසීය.

    “ඉගෙනගත්ත දේ තමයි වටින්නේ වගේ දේවල් අපේ සමාජයේ නිතර ඇහුණත්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඉගෙනීමට නිසි වටිනාකමක්, ගෞරවයක් ලබා දීලා එයින් ප්‍රයෝජන අරගෙන නිසි රැකියාවක නිදහසේ නිරත වෙන්න බැහැ තවමත්. ඇත්තටම බැලුවොත් රටෙන් 52%කින් හරිහැටි වැඩක් ගන්නේ නැහැ. ඉතින් 2021 දීත් හැමෝම ඉදිරියට යද්දී අපි රටක් හැටියට පස්සට යන එක අරුමයක් නොවෙයි,” ඇය තවදුරටත් පැවසුවාය.

    ඈන් ටී කුරියාකෝස්, ජෝර්ජ් ජෝසෆ් සහ ජෙනිෆර් එල් සොලොටරොෆ් රචිත ‘Getting to Work: Unlocking Women’s Potential in Sri Lanka’s Labor Force’ නම් කෘතියෙහි ශ්‍රී ලංකාවේ කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධ නොවන හේතු මෙන්ම ඔවුන් සම්බන්ධ කරගත හැකි ක්‍රම ද දක්වා තිබේ.

    කාන්තාවන්ගේ අධ්‍යාපනයේ ප්‍ර‍ගතිය හා යහපත් සෞඛ්‍ය ‍ප්‍ර‍තිලාභයන්ගේ ප්‍රගතිය ශ්‍රී ලාංකික කාන්තාවන්ට, වඩා ඉහළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා පරිවර්තනය වී නොමැති බව මෙම කෘතියේ සඳහන් වේ.

    ජනගහනයෙන් 52%ක් වූ කාන්තාවන්ගේ කුසලතාවන් ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිය පූර්ණ සාර්ථකත්වය කරා ළඟා වීමට නොහැකි වන බව ද එහි වැඩි දුරටත් සඳහන් වේ.

    “කාන්තාවන්ට රැකියා ලබා දීම යනු මානව අයිතීන්ට ගරු කිරීමක් පමණක් නොව ආර්ථික දියුණුවේ පෙරදැක්මක්. ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය සඳහා ඇති බාධක ඉවත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නංවා, ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමට ඉඩ සැලසෙනවා.”

    මෙම තත්වය මඟ හරවා ගැනීමට නම් අදාළ රාජ්‍ය අමාත්‍යාංශ, අධ්‍යාපනය සඳහා වන සැපයුම්කරුවන්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් ඇතුළු පාර්ශ්වකරුවන් ඵලදායී, ආරක්ෂිත හා සාධාරණ වැටුපක් සහිතව කාන්තාවන් සේවයේ යෙදවිය හැකි අවස්ථා පුළුල් කිරීම සිදු කළ යුතු බව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන විශේෂඥවරියක සහ කතුවරියක වන ජෙනිෆර් එල් සොලොටරොෆ් මෙම කෘතියේ සඳහන් කර ඇත.

    කෘෂිකර්මයට කාන්තා දායකත්වය

    Gender Gap in Sri Lanka 2021
    ශ්‍රී ලංකාවේ මිලියන 2.1ක් වන කෘෂිකාර්මික යැපුම් මාර්ගයක් ඇති නිවෙස් අතරින් 19%ක්ම කාන්තා ගෘහ මූලිකත්වයකින් යුතු පවුල් වීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා සම්බන්ධ සමීක්ෂණ පවත්වන මධ්‍යස්ථානය (Centre for Women’s Research/ CENWOR) මඟින් සිදුකළ ‘ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවයෙන් යුත් කෘෂිකර්ම ප්‍රතිපත්ති’ (Gender Equitable Agricultural Policies) සහ යුරෝපා සංගමය මගින් සිදුකළ 2018 කෘෂිකාර්මික ප්‍රතිපාදනවල ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සාධකය (Gender Responsiveness of 2018 Agriculture Sector Budget) යන අධ්‍යයන දෙකෙන් හෙළි වී ඇති කරුණු අනුව කෘෂිකර්මාන්තයට අදාළ සෑම අංශයකම සේවයේ නියුතු කාන්තාවෝ, පුරුෂ පාර්ශ්වය හා සමානව කැපවී කටයුතු කරන බව හෙළි වී තිබේ.

    එම අධ්‍යයනවලට අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 7.7%ක කොටසක් හිමි කෘෂි ක්ෂේත්‍රය තුළ සමස්ත ජනගහනයෙන් 27%ක් සේවයේ නියුතුව සිටිති. ඉන් 38%ක්ම කාන්තාවෝ වෙති.

    තව ද ශ්‍රී ලංකාවේ මිලියන 2.1ක් වන කෘෂිකාර්මික යැපුම් මාර්ගයක් ඇති නිවෙස් අතරින් 19%ක්ම කාන්තා ගෘහ මූලිකත්වයකින් යුතු පවුල් වීම විශේෂත්වයකි. මූලිකව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් අතුරින් 75%ක් පුරුෂයින් ද 25% ස්ත්‍රීන් ද වන නමුත් ගෘහ මූලිකයාට අමතරව පවුලේ ආර්ථිකයට දායක වන සේවා නියුක්තිකයින් අතුරින් 78.9%ක්ම කාන්තාවන් වීම (පිරිමි 21.1%) තවත් කැපී පෙනෙන කරුණකි.

    කෙසේනමුත්, කෘෂිකාර්මික කටයුතුවල නියුතු කාන්තාවන්ගෙන් බහුතරයක් යැපුම් කෘෂි කටයුතුවල නිරත වේ. එය කුඩා ආර්ථික ලාභයක් සහිත සේවා නියුක්තියක් ලෙස සැලකෙන අතර ඇස්තමේන්තුගත කාන්තා පිරිමි ආදායම් ඉපැයීමේ අනුපාතය 0.31%කි.

    එමෙන්ම ඉඩම් ලබාගැනීම හා වගා ව්‍යාපෘති සම්බන්ධයෙන් කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙන අතර, කෘෂි බෝග අලෙවිකරණයේදී මතුවන ගැටලු සහ වාණිජ කෘෂි වගාව, ඔවුන් අතර ප්‍රවර්ධනය නොකිරීම ද ඔවුන් මුහුණපාන ප්‍රධාන ගැටලුවකි.

    මේ අතර කාන්තාවන් බොහෝවිට කෘෂිකර්මාන්ත අංශය තුළ නුපුහුණු ශ්‍රමිකයින් වීම ද ගැටලුවක්ව පවතී. එහෙයින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයම එක සමාන අයුරින් සුහුරු වගා භාවිතා සහ ඩිජිටල්කරණය වූ කෘෂිකාර්මික භාවිතාවක් සඳහා පුහුණු කිරීමේ කාලීන අවශ්‍යතාවක් පවතින බව ද මෙම අධ්‍යනයවලින් හෙළි වී තිබේ.

    “මෙය විසඳන්න දුර දකින නායකත්වයක් අවශ්‍යයි”

    සමාජ ක්‍රියාකාරිනියක සහ ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ අනාගතය ගැන පැහැදිලි දර්ශනයක් ඇති නායකත්වයක් තුළින් මෙම ගැටලු බොහොමයකට පිළිතුරු සෙවිය හැකි බවය.

    Gender Gap in Sri Lanka 2021
    “කාන්තාවට අඩු සැලකීමක් දක්වන්නේ පිරිමි. ඔවුන් දැනුවත් කර බලාත්මක කිරීමයි ඇත්තටම සිදු වෙන්න ඕනේ.”

    “බලය විතරක් තියෙන නායකත්වයක් නෙමෙයි, හදවතින් සෘජුව තීන්දු ගන්නා නායකත්වයක් අවශ්‍යයි. නායකත්වය බිඳ වැටුණු තැන සමාජයේ මුලින්ම අවදානමට ලක්වන්නේ කාන්තාවන් සහ දරුවන්. පීතෘ මූලික අපේ වගේ සමාජයක කොහොමත් කාන්තාවන්ට අයත් වන්නේ දෙවෙනි පෙළ. ඉතින් රට අර්බුදයකට මුහුණ දෙන විට ශක්තිවන්තයා කොහොමත් ජයගන්නවා. මෙතනදී ශක්තිවන්තයා පිරිමියා.”

    “ජන සංහාරයක් වුණ රුවන්ඩාව වගේ රටක පාර්ලිමේන්තුවේ 60%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ඉන්නේ ඒ රටවල පසු කාලීනව බිහි වුණ දැක්මක් තියෙන නායකයන් නිසයි. ඒ වගේම අපි හැම වෙලාවේම කාන්තාවන් බලාත්මක කළ යුතුයි කිව්වට, මෙතන දී ඇත්තටම බලාත්මක කරන්න ඕනේ පිරිමින්ව. කාන්තාවට අඩු සැලකීමක් දක්වන්නේ පිරිමි. ඔවුන් දැනුවත් කර බලාත්මක කිරීමයි ඇත්තටම සිදු වෙන්න ඕනේ.”

    හැබැයි දරදඬු පාලනයක් තුළ අපි කෙතරම් බලාත්මක වෙන්න හැදුවත් එය සිද්ධ වෙන්නේ නැහැ. අපේ ගැටලුවලට ඇහුම්කම් දෙන්න කෙනෙක් නැත්නම් මේ ස්ත්‍රී පුරුෂ අසමානතා විසඳන්නේ කොහොම ද?,” වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය.

    කාන්තා දේශපාලනය

    2021 ලෝක ආර්ථික සංසද වාර්තාවට අනුව දකුණු ආසියානු රටවල දේශපාලනය තුළ අවම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේය.

    “ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය අවම වෙන්න බොහෝ හේතු තිබෙනවා. හැබැයි අපි ප්‍රායෝගික පැත්ත කල්පනා කරලා බැලුවොත් ලංකාවේ දේශපාලනයට කාන්තාවකට නිදහසේ ඇතුළු වෙන්න පුළුවන් ද? මේ රටේ දේශපාලනය තනිකර මඩ ගොහොරුවක්. චරිත ඝාතනය, හොරකම්, මැරකම් වගේම අනිසි බලපෑම්වලින් පිරුණු දේශපාලනයකට සාමාන්‍යය ගැහැනියකට පය තබන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්,” නීතීඥ ලක්ෂිකා ඩයස් පැවසීය.

    Gender Gap in Sri Lanka 2021
    ලෝකයේ පාර්ලිමේන්තු අතරින් වැඩිම කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන රට රුවන්ඩාව වන අතර, එය 61.3%ක් වේ.

    “දේශපාලනය හා සම්බන්ධ වංචාවලින් ලෝකයේ ඉහළින්ම තියෙන රටක් මේක. ඉතින් පවුල් උරුමයෙන් දේශපාලනයට එනවා මිස සාමාන්‍යය කාන්තාවකට මේ දූෂිත දේශපාලනය ඇතුළේ පවතින්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට උරුම නිවසේ වැඩ කියන දේ තවමත් පිළිගන්නා රටක දේශපාලනයේ දී ඔවුන්ට පවුලේ අයගේ සහය පවා ලැබෙන්නේ නැහැ. මේ ගෝත්‍රිකත්වයෙන් මිදෙන්න අපිට තව ශතවර්ෂ ගණනාවක් ගතවෙයි.”

    “අඩුම තරමේ කාන්තා කටයුතු ඇමතිවත් මේ රටේ කාන්තාවක් ද? අඩු තරමේ එය කැබිනට් අමාත්‍යංශයක්වත් නෙමෙයි,” ඇය තවදුරටත් පැවසීය.

    2020 වසර අග භාගයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශයක් බවට පත්කිරීමට රජය පියවර ගත්තේය. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාය.

    1931 දී 4%ක් වූ කාන්තා නියෝජනය තවමත් පාර්ලිමේන්තුව තුල 6%කට වඩා වැඩිකර ගැනීමට නොහැකි වී තිබේ.

    2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% දක්වා වැඩි වුව ද වර්තමානයේ දී එය 5% දක්වා පහත වැටී තිබේ.

    ලොව පළමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක තේරී පත්වූයේ මීට අවුරුදු 61කට පෙර එනම්, 1960දීය.

    එතැන් සිට අවුරුදු 34 ක් ගෙවී ගිය තැන ඇයගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දී අගමැතිනිය ලෙස පත්වීමෙන් නොනැවතී රටේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස තේරී පත් වූවාය. එතැන් සිට ඇය 2005 නොවැම්බර් මස දක්වා රට පාලනය කළාය. රටේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට හැම වරකම පාර්ලිමේන්තුවේ කාන්තාවන් කීපදෙනෙක් හෝ සිටියහ.

    බලයට පත් සෑම රජයක්ම දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට විවිධ පොරොන්දු මෙන්ම උත්සාහයන් දැරුවද අද වන තෙක් ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත.

    යුරෝපීය රටවල් බොහොමයක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 30% වඩා වැඩි බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.

    තවමත් බොහෝ රටවල නායකත්වයට පුරුෂයන් පත්වී සිටිය ද 2021 වර්ෂය වන විට රටවල් 22ක කාන්තා නායකත්වයක් දැකිය හැකි විය.

    Gender Gap in Sri Lanka 2021
    ප්‍රතිසංවිධානය කරන ලද අමාත්‍යාංශයේ ප්‍රධානත්වය දරණු ලබන්නේ නව රජයේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් විසිනි. කාන්තා හා ළමා සංවර්ධනය සම්බන්ධ කර්තවයන් රාජ්‍ය අමාත්‍යවරයා වන පියල් නිශාන්ත ද සිල්වා යටතේ සිදු කෙරේ.

    කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වන්නේ ඇයි?

    කාන්තා අයිතිවාසිකම් යනු මානව හිමිකම්මය

    ඔවුන් අන් පුද්ගලයන්ගෙන් වෙනස් නොවන නමුත්, සමාජ, ආර්ථික, අධ්‍යාපන සහ දේශපාලනික වශයෙන් ඔවුන්ට තවමත් බොහෝ විට ලැබෙන්නේ පසු පෙළ අසුනකි. මේ හේතුවෙන්, කාන්තාවන් වෙනුවෙන් වෙනම හඬක් නැගීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ.

    සෑම කෙනෙකුම නිදහස් හා සමාන වන තුරු අපට නිදහස් හා සමාන සමාජයක් තිබිය නොහැක. පුරුෂයන්ට සමාන අයිතිවාසිකම් කාන්තාවන් භුක්ති විඳින තුරු, මෙම අසමානතාව සෑම පුද්ගලයෙකුගේම ගැටලුවක් බවට පත් වේ.

    කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කරයි

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සහ ගැහැණු දරුවන් සවිබල ගැන්වීම හුදෙක් ඉලක්කයක් නොව, එය තිරසර සංවර්ධනය, ආර්ථික වර්ධනය, සාමය සහ ආරක්ෂාව සඳහා යතුරක් වේ”.

    කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර, එයට වටිනාකමක් දෙමින් සලකන විට සමාජයේ සෑම කෙනෙකුටම යහපත් සිදු වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කාන්තා අයිතීන් ගැන නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

    ‘එකට වැඩ කරන විට අපි ශක්තිමත් වෙනවා’

    “වෙනසක් ඇති කිරීම සඳහා මේ වන විට බිම් මට්ටමේ ව්‍යාපෘති බොහෝමයක් ක්‍රියාත්මක කර ඇතත්, සෑම කෙනෙකුම කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට සහයෝගය දක්වන්නේ නම් අපට සමාජයක් ලෙස වඩාත් ශක්තිමත් විය හැකිය.” ඉහත කී වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.

    Text by bbc sandesaya

  • කොවිඩ් සුනාමිය අස්සේ ‘අගමැති මෝදිට’ ප්‍රාන්ත මැතිවරණවලිනුත් රතුඑළි !

    කොවිඩ් සුනාමිය අස්සේ ‘අගමැති මෝදිට’ ප්‍රාන්ත මැතිවරණවලිනුත් රතුඑළි !

    ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි විය. මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි.

    එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය.

    භාරතීය ජනතා පක්ෂය (බීජේපී) අසාමයේ බලය රැක ගත්ත ද සෙසු ප්‍රාන්ත තුළ කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට අපොහොසත් විය.

    ඉන්දියාවේ පවතින කොරෝනා අර්බුදය මැද අගමැති මෝදිගේ පසුබෑමක් ප්‍රදර්ශනය කෙරෙන සංඥා ලබා දෙන්නේදැයි සොයා මෙම ප්‍රාන්ත මැතිවරණය සමීපව නිරීක්ෂයට ලක්ව තිබිණි.

    නොවනවත්වා 10 වෙනි දිනටත් ඉන්දියාවේ දෛනික රෝගීන් සංඛ්‍යාව 300,000 ඉක්මවනු ලැබීය. ඉන්දියාවෙන්, ඉරිදා (මැයි 02) වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,689 කි. එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. රෝහල් දරුණු ලෙස ඇඳන් සහ ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටින අතර ඉන්දියානුවෝ බොහෝ දෙනෙකු සමාජ ජාල ඔස්සේ උපකාර අයදින අයුරු දැකිය හැක.

    මැතිවරණ රැළි සහ ඡන්දය, කොරෝනා වෛරස් රෝගීන්ගේ ඉහළ යාමට බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති.

    බෙංගාලයේ සිදු වූයේ කුමක්ද?

    බොහෝ දුරට ඡන්ද ගණන් කිරීම අවසන් වී තිබියදී, ප්‍රාන්ත සභාවේ ආසන 294 න් 200 කට අධික සංඛ්‍යාවක් තහවුරු කර ගැනීමට මමතා බෙනර්ජිගේ ට්‍රිනමූල් කොන්ග්‍රස් (ටීඑම්සී) පක්ෂයට හැකිව ඇත.

    ප්‍රතිඵල අනුව බෙනර්ජි තෙවන වරටත් බටහිර බෙංගාලයේ නායිකාව වීමට නියමිතය. ඇය ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයක් දරන එකම කාන්තාව ද වෙයි.

    ලක්ෂ නවසීයක් වෙසෙන බටහිර බෙංගාලය වෙත මැතිවරණ නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබිණි. එම ප්‍රාන්තය, අගමැති මෝදි බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවකට හිමිකම් නොකියන ප්‍රාන්ත කීපයෙන් එකකි. එමෙන්ම බටහිර බෙංගාලය, මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විසින් කිසිදා පාලනය කරනු ලැබ නොමැත.

    පරාජයට පත් වුව ද මැතිවරණයෙන් ආසන 80 ක් පමණ දිනා ගනිමින් බරහිර බෙංගාලයේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට බීජේපිය සමත්ව තිබේ. 2016 වසරේ මැතිවරණයෙන් එම පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 03 ක් පමණි.

    Text by – bbc

  • කොවිඩ්-19 ආරක්ෂා වීමට ‘ගර්භණී මවුවරුන්ට‘ විශේෂ උපදෙස් මාලාවක්

    කොවිඩ්-19 ආරක්ෂා වීමට ‘ගර්භණී මවුවරුන්ට‘ විශේෂ උපදෙස් මාලාවක්

    මේ වන විට රෝහල් කිහිපයකින්ම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ සිල්වා මහත්මිය මෙසේ ද පැවසුවාය. ‘‘විශේෂයෙන් ම මේ වන විට පවතින කොවිඩ් වෛරසය දරුවන් ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගැබිනි මව්වරු විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම ඔවුන් මුව ආවරණයක් භාවිතා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නිතරම සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතුයි. ඒ වගේම ගමන් බිමන් සීමාකර කණ්ඩායම් එක්රැස් වන ස්ථානවලට යාමෙන් වැළකී සිටිය යුතුයි‘

    මෙහිදී ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියා සිටියේ ගැබනි මවුවරු කෘත්‍රීම ආහාර ගැනීමෙන් වැළකී නිවසේදී පිළියෙළ කරන ආහාර ගැනීම වඩාත් වැදගත් බවයි.

  • වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

    වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

    මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (03) වාර්තා වී තිබෙනවා. අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ අද දින නව කොවිඩ් ආසාදිතයින් 1913 දෙනකු වාර්තා වූ බවයි.

  • ඇතෙක් විදුලි රැහැනකට බිලි වෙයි !

    ඇතෙක් විදුලි රැහැනකට බිලි වෙයි !

    තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් තිබෙනවා. මෙම ඇතාගේ වයස අවුරුදු 25ක් පමණ වන බවත් පසුගිය 02 වැනිදා අලුයම මෙම ඇතා ඝාතනය වී ඇති බවත් වනජීවී නිලධාරීන් පවසනවා. ලංකාව ලෝකයේ වැඩියෙන්ම අලි ඝාතන කරන රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබුණත් දෛනිකව සිදුවන මෙවැනි අලි ඝාතනවලට එරෙහිව තිරසර පියවරක් ගන්නා බවට පෙනී නොයන බවයි පරිසරවේදීන් කියන්නේ.

  • පූජිත්ට සහ හේමසිරිට ‘චෝදනා 1728ක් යටතේ නඩු – මිනී මැරීම හා මිනී මැරීමට තැත් කළ බවටත් චෝදනා !

    පූජිත්ට සහ හේමසිරිට ‘චෝදනා 1728ක් යටතේ නඩු – මිනී මැරීම හා මිනී මැරීමට තැත් කළ බවටත් චෝදනා !

    ඉතා පැහැදිලි බුද්ධි අංශ වාර්තා ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිවිරෝධී නොසලකාහැරීම හේතුවෙන් පුද්ගලයන් 275කට ජීවිතවලින් වන්දි ගෙවීමට ද තවත් 500 කට බරපතල තුවාලවලට ලක්වීමට ද සිදුව ඇති බව නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරණ මෙම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන්  ඉල්ලීමක් කර තිබෙනවා.

  • උද්දච්ඡකම්වලින් වසංගතයට මුහුණ දිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි

    උද්දච්ඡකම්වලින් වසංගතයට මුහුණ දිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි

    අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය තම නොහැකියාව හා උද්ධච්ච හැසිරීම වසා ගැනීමට පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා‘‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී විය.

    එහිදී බිමල් රත්නායක සහ නලින්ද ජයතිස්ස කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

    ‘‘රට පුරා භයානක අන්දමින් වර්ධනය වෙමින් තිබෙන, ඒ වගේම අයාලේ යාමට ඉඩ හැර තිබෙන කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනතාව සහ අදාල බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මේ මාධ්‍ය හමුව පවත්වනවා. පසුගිය සති තුනකට ආසන්න කාලයක් තුළ සතියක් තුළදී කොරෝනා ආසාධිතයින් 10,000කට වැඩි ප්‍රමාණයක් බැගින් වර්ධනය වෙමින් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය මෙම ආසාධිතයින් සංඛ්‍යාව පී.සී.ආර්. පරීක්‍ෂණ 15,000 වගේ මට්ටමක් තුළ වාර්තා වන බව ප්‍රකාශ කර තිබෙනවා. ලෝකයේම ගත්තත් ආසාධිත ප්‍රතිශතය ඉහළ අගයකට ගොස් තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කරුණු දෙකක් අවධාරණය කරනවා.

    එකක් තමයි පී.සී.ආර්. පරීක්‍ෂණවලින් වාර්තා වන ප්‍රමාණය “ඊයේ” කියලා සඳහන් නිවේදනවල වාර්තා වෙන්නේ දින තුනකට පෙර ආසාධිතයින් බව. මේක බරපතළ තත්වයක්. අපේ රටේ වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගෙන මාස 15කට පස්සෙත් ඊයේ තිබිච්ච තත්වය හරියට කියන්න බැරිනම් ආණ්ඩුවේ කලමණාකරණය පිළිබඳ බරපතළ ගැටලුවක් පැන නගිනවා. වේගයෙන් පැතිරෙන වසංගත තත්වයක් හමුවේ මෙය ඉතා භයානක තත්වයක්. ඊයේ(02) මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමේ ප්‍රකාශයක් උපුටාගෙන මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බිම් මට්ටමේ රාජකාරී කරන දත්ත අනුව කොරෝනා මරණ ප්‍රමාණය පිළිබඳව සැකයක් තිබෙන බවයි. අපිටත් මේ බරපතළ සැකය තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අහඹු පරීක්‍ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් රිමෝට් කන්ට්‍රෝල් එක වගේ දත්ත වැඩි කරන, අඩු කරන තත්වය ගැන අනතුරු අඟවා තිබෙනවා. ආසාධිතයන් අඩුවෙන් කියන්න ඕනෑ නම් ඒ වෙනුවෙන් මොන ප්‍රදේශවල පී.සී.ආර්. කළ යුතුද කියලා දැන් දන්නවා. ආසාධිතයින් වැඩියෙන් දක්වන්න ඕනෑ නම් ඒ පී.සී. ආර්. සංඛ්‍යාවම කළ යුත්තේ මොන ප්‍රදේශවලද කියලත් දන්නවා.

    පී.සී.ආර්. ප්‍රමාණය උඩ පහළ යවමින් සහ තම තමන්ට ඕනෑ ප්‍රදේශවල පී.සී.ආර්. කරමින් දේශපාලන සූදුවක් ආණ්ඩුව කරන බව පැහැදිලි වෙනවා. තමන්ගේ අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයේ මේ හැසිරීම වහගන්න පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා. මේ තත්වය තුළ මරණ ප්‍රමාණය ඉතා බරපතළ තත්වයක්. මේ නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්ට අවබෝධයක් ලැබී තිබෙනවා. වෘත්තීය සමිති නැති ක්‍ෂේත්‍රවලට තමන් දකින බරපතළ තත්වය කියා ගන්න බැරිව ඉන්නවා. කාර්ය සාධක බලකායක් තියෙනවා. හමුදාපතිවරයා විවිධ දේවල් කියනවා. දෙහිඅත්තකණ්ඩියේ රෝගීන් හැටකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පහසුකම් නැතිව පැය හයක් තිස්සේ මුළු රැයක් පුරා කැබ් රථයක ගෙනගිය ආකාරය ඡායාරූපත් සමග වාර්තා කර තිබුණා. මේ වගේ වාහනයකින් රෝගීන් ප්‍රවාහනය කරනවා නම් තිබෙන තත්වය මොකක්ද? බස් එකක්, ඇම්බියුලන්ස් එකක්, වෑන් එකක් දෙන්න බැරිනම් මේ කාර්ය සාධනය මොකක්ද? මෙහෙමද ලෙඩ්ඩු ප්‍රවාහනය කරන්නේ?

    තමන්ගේ නොහැකියාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාමත් සරල තැන්වලින් පවා එළියට ඇවිල්ලා තියෙනවා. අපි මෙතන ප්‍රශ්න කරන්නේ එන්නත ගැන නෙවෙයි. නමුත් කාර්ය සාධනය කරන්නේ මෙහෙමද? කොරෝනා පිළිබඳව අඩුම ගානේ 06දෙනෙක් ප්‍රකාශ නිකුත් කරනවා. හමුදාපතිවරයා, ජනාධිපති මාධ්‍ය අංශය, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, චන්ද ජයසුමන අමාත්‍යවරයා සහ කොරෝනා සම්බන්ධම රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ නිකුත් කරනවා. එකම ප්‍රශ්නය ගැන මේ හය දෙනා විවිධ දේවල් කියනවා. මේ ඔක්කොටම අමතරව මැදිහත් වෙමින් ජනාධිපතිවරයාට හිතෙන දේවල් කියනවා. මේක ජංජාලයක් වෙලා තියෙන්නේ. එක මොහොතකදී සම්පූර්ණ උත්සව නතර කරන බව කිවුවා. ඊට පස්සේ විවාහ මංගල උත්සවවලට බලපාන්නේ නැහැ කියලා හමුදාපතිවරයා කිවුවා. මේ නිසා බිම් මට්ටමේ පී.එච්.අයි මහත්වරු, එම්.ඕ.එච්. කාර්යාලවල ඉන්න වෛද්‍යවරු බැනුම් අහනවා. අඩු ගානේ මේ තුන්වැනි රැල්ලටවත් එක ප්‍රකාශකවරයෙක් පත්කර නැහැ.

    අපිට එන්නත් ලැබුණේ ලක්‍ෂ දොළහයි. ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබුණේ මරණ අඩු කරගන්න මුලින්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ අය සහ වැඩිහිටියන්ගෙන් පටන් ගන්න කියලා. නමුත් ලක්‍ෂ 12ක් එන්නත් ආවාට පස්සේ මුල් අදියරේදී ලක්‍ෂ 06කට ලබාදී ඉතිරි ලක්‍ෂ 06 දෙවැනි අදියරේදී දෙන්න සැලසුම් කර තිබුණා. නමුත් ජනාධිපතිවරයා ඒක ඇනුවා. එන්නත් ඕනෑ තරම් ලැබෙනවා කියලා. වයස අවුරුදු 30ට වැඩි අයටත් දුන්නා. කොළඹ නගරයේ එක පෝලිමක වයස අවු. 60ට වැඩි අයට දෙන අතර තවත් ග්‍රාම සේවක වසමක වයස අවු. 30ට වැඩි අයටත් දුන්නා. මේ රාජ්‍ය පාලනයද? ඊයේ පෙරේදා දෙවැනි මාත්‍රාව දෙන්න පටන්ගෙන තිබෙනවා. ඊට අවශ්‍ය ප්‍රමාණය තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. මුල් වටයේ දුන් වැඩිහිටයන්ගේ දෙවැනි මාත්‍රාව ලබාදිය යුතු කාලය ඉක්ම ගොස් තිබෙනවා. මගේ මවටත් එහෙමයි. නොමිලේ ලබාදුන් එන්නත් ටික හරියාකාරව කරන්න නොදී ආණ්ඩුවෙන් ඇනුවා.

    අනික් පැත්තෙන් ආණ්ඩුව වානිජ අරමුණු වෙනුවෙන් රට ඉබාගාතේ ඇරියා. පළවැනි රැල්ල, දෙවැනි රැල්ල ඇතිවූ අවස්ථාවල හැඳින්වූයේ කොරෝනා පොකුරු කියලා. මාස 10ක් විතර තිස්සේ පෑලියගොඩ පොකුර කියලා ආණ්ඩුව හඳුන්වමින් තිබුණා. රටේ කොහෙන් හමුවුණත් ඒ හැඳින්වීම වැරැද්දක්. අඩු ගානේ මේ සම්බන්ධයෙන් හඳුන්වන්න තැනක් තිබුණා. ලෝකය පුරා කොරොනා පොකුරු කියන්නේ ඇයි? මේ සාහිත්‍යාර්ථයකින් නම් දැම්මා නෙවෙයි. නිශ්චිත ප්‍රදේශයක පවතින තත්වය ගැන නිවැරදි අදහසක් දෙන්න. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ වියත් මග ආණ්ඩුව දැන් “අවුරුදු පොකුර” කියලා දැම්මා. අවුරුදු පොකුර කොහෙද තියෙන්නේ? සෞඛ්‍ය නිලධාරීන්ට මෙහෙම පොකුරක් හොයන්න තියෙන්නේ කොහෙන්ද? මේ නාමකරණයේ තිබෙන මගපෙන්වීම මොකක්ද? දැන් ඊළඟට එන්නේ වෙසක් පොකුරද? ඉන්දියාවේ ඉන්නෙත් මේ ජාතියේම උද්දච්ඡ තකතීරු තීන්දු ගන්න පාලකයෝ. අති දැවැන්ත සම්පත් තියෙද්දී, අබ්දුල් කලාම්ලා වගේ ඉහළම විද්‍යාඥයෝ නායකත්වය දැරූ රටක අද ඔක්සිජන් නැතිව මිනිස්සු මැරෙනවා. එවැනි වූ ඉන්දියාව කුම්භ මේලා පොකුර කියලා නාමකරණයක් කළේ නැහැ. ධම්මික පැනිය වගේම තමයි ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවේම කොවිඩ් පරිපාලනය. මුලු ආණ්ඩුවම ධම්මික පැණයක්.

    අති විශිෂ්ඨ කාර්ය මණ්ඩලයක් ඉන්න, නොමිලයේ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන සැකිල්ල හරි තියෙන රටක, සාක්‍ෂරතාවය 95% පැනලා තියෙන රටක මොනවද මේ කරන්නේ? රට විද්‍යානුකූලව පරිපාලනය කරලා ගෙනියන්න තිබුණු තත්වය අවුල් කළේ මේ ආණ්ඩුව. මේ සෞඛ්‍ය ඇමතිතුමිය ධම්මික පැණිය බීලා, ආණ්ඩුවේ සහ පෞද්ගලික නාලිකා යොදාගෙන ජනතාව අතරට ප්‍රචාරයන් යැව්වා. බොරු දේශප්‍රේමී කතන්දර වපුරලා මුළු රටක් රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පිස්සුව පස්සේ එළෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ? මේවට ආණ්ඩුව සහ නාලිකා වගකියන්න ඕනෑ නැද්ද? ආණ්ඩුවම ධම්මික පැණිය වගේ තමයි. මේව සරල නැහැ. ව්‍යසනය පාලනය කරන්න ක්‍රම ලෝකය පුරා තියෙද්දී ඒවා නොකර ආණ්ඩුව සහමුලින්ම මේක අවුල් කළා.

    ඒ වගේම කොරෝනා තත්වය හමුවේ ජනතාවට ලබාදිය යුතු අත්‍යාවශ්‍ය සහන තවම ලබාදෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් සියලුම දරුවන්ගේ ඉගැන්වීම් රූපවාහිනියෙන් කරන්න කියලා අපි ඇතුලු බොහෝ දෙනක් පෙන්වා දුන්නා. දරුවන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න කීවා. අවුරුද්දක් තිස්සේ පොඩි දරුවන්ගේ අධ්‍යාපනය සහමුලින් බිඳවැටිලා ඉවරයි. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග, එයින් කරන ගසාකෑම් වගේ මාස 14කට පසු ආණ්ඩුව අනාගෙන තිබෙන කරුණු රැසක් තිබෙනවා. අඩියක් අඩියක් ගානේ, වචනයක් වචනයක් ගානේ අපි යමින් සිටින්නේ ඉන්දියාව ගිහින් තියෙන මාර්ගයේම තමයි. ඒ නිසා අපි බරපතල අනතුරු ඇඟවීම් සිදුකරනවා.

    උද්දච්ඡකම්වලින් වසංගතයට මුහුණ දිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

    අපට බලපා තිබෙන වසංගතයේ ගැඹුර පිළිබඳව සමාජයට අවබෝධයක් ඇතැයි අපි සිතනවා. කොරෝනා වසංගය මර්දනය කරගැනීමේ වාසිදායක සාධක තුනක් අපේ රටට තිබෙනවා. පළමුවැන්න ලංකාව දූපතක් වීම, දෙවැන්න බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක සෞඛ්‍ය යාන්ත්‍රණයක් තිබීම සහ තෙවැන්න උපදෙස්වලට අනුගත කරගැනීමේ හැකියාව ඇති ජනතාවක් සිටීමයි. නමුත් මේ වාසිදායක සාධක කිසිවක් අද කොවිඩ් පාලනයේදී යොදාගන්නා බව පේන්නේ නැහැ.

    මෙය වෛරස්වලින් ව්‍යාප්ත වන රෝගී තත්වයක්. වෛරසයක් නිරතුරුව වෙනස් වෙනවා. එම නිසා වෛරස් නිට්ටාවටම සුව කළ හැකි ඖෂධ තවම ලෝකයේ සොයාගෙන නැහැ. මේවා අලුත් කරුණු නෙමෙයි, ලෝකයම දන්න විද්‍යාත්මක කරුණුයි. අපි වසංගතයට මුහුණ දිය යුතු වන්නේ මේ කරුණු දැනගෙනයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයක් තිබෙනවා. රටේ ඒ පිළිබඳ වෛද්‍යවරුන් සිටිනවා. ඒ වගේම ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාලවල වෛරස් හා වසංගත පර්යේෂණ ඒකක තිබෙනවා. අපේ රටේ වසංගත මර්දනය කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේ මේ සියලු දෙනා සම්බන්ධ කර ගනිමිනුයි. නමුක් දැන් සිදු නොවන දෙය වන්නේත් එයයි. මේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය මාස 04කට පමණ පෙර ලංකාවට ඇතුල් වී තිබෙනවා. පසුගිය අප්‍රේල් 08වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම මේ ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් ඇති බව රටට කියා තිබුණා. පීසීආර් මගින් මේ වෛරසය සොයා ගැනීමෙන් පසුව ඔවුන් එය ආණ්ඩුව ප්‍රමුඛ කාර්ය සාධක බලකායට, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

    ඒත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීන්දුව කුමක්ද? මේ නව ප්‍රභේදය වැඩිපුර පැතිරෙන බවත් වඩා මාරාන්තික බවත් තරුණ අයට පවා වැළඳෙන බවත් ලෝකය ඒ වන විටත් සොයා ගෙන තිබුණා. ඒ නිසා අපි ඉන්නේ මුල් යුගයේ මෙන් මේ පිළිබඳ තොරතුරු නොදන්නා කාලයක නෙමෙයි. ඒ තොරතුරු තිබියෙදී තීන්දු ගැනීමේ ගැටලුවක් ඇති බව පේනවා. කොවිඩ් වෛරසය ලංකාවට ඇතුල්වී මාස 14කට පස්සෙත් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් කණ්ඩායමකට මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ වගකීම පවරා දෙන ලෙසයි.

    වසංගත රෝග ඒකකය පවත්වා ගෙන යන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් කියාගන්න සහ සාධාරණීකරණය කරගන්න නෙමෙයි. දෙවැනි රැල්ල ආ පසු ආණ්ඩුව එයට කිරිබත්ගොඩ/පෑලියගොඩ පොකුර ලෙස හැඳින්වූවා. රට පුරා කොහෙන් අහුවුණත් එම පොකුරට දැම්මා. ඒ වෙලාවෙ ආණ්ඩුවට වුවමනා වුණේ රෝගය සමාජ ගත වී නොමැති බව කීමටයි. තව පොකුරු රට පුරා හමුවන බව කිවුවානම් රෝගය සමාජගත වී ඇති බව පේනවා. ඒ අවස්ථාවට අනුව ගත හැකි පියවර තිබුණා. නමුත් ආණ්ඩුවට රෝගය සමාජගත වී නැතැයි රටට කියන්න අවශ්‍ය වුණා. සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු හමුවූ සියලු ආසාධිතයින් ආණ්ඩුව ඒ පොකුරට ඇතුළත් කළා. ආණ්ඩුවේ මතය තහවුරු කරගන්න සෞඛ්‍ය අංශ පාවිච්චි කරගත්තා.

    අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිවරුන් හතරදෙනෙක් සිටිනවා. ඒ අය අතර වසංගත රෝග පිළිබඳව, ප්‍රජා සෞඛ්‍යය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් ඉන්නවා. කොවිඩ් පිළිබඳ රාජ්‍ය ආමාත්‍යාංශය භාරව සිටින්නේ ඇයයි. කොවිඩ් වසංගතය පිළිබඳව තීන්දු ගන්නා අය අඩුම කරමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය කියන දේවල්වලටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශ විසින් සංචරණ සීමා පැනවිය යුතු බවට යෝජනා කළ විට ඒ යෝජනාව පරාජයට වී තිබෙනවා. සෞඛ්‍ය අංශවලින් කරන ලද යෝජනාව පරාජය වූ නිසා මම මහත් කණස්සල්ලෙන් සිටින බව ඇය එළියට පැමිණ මාධ්‍යයට කියනවා. එවැනි විශේෂඥයින්ගේ යෝජනාවක් විසි කර දමන්න තරම් හැකියාවක් ඇත්තේ කාටද? අපි හිතන්නේ ඒ හමුදාපතිවරයා නෙවෙයි; ඒ ඔහුටත් උඩින් ඉන්න ජනාධිපතිවරයා විය යුතුයි. ඔහුගේ සිතැඟියාවන් තමයි ක්‍රියාත්මක වන්නේ. ඔහු දන්නා හා නොදන්නා දේ තිබිය හැකියි. හැම දෙයක්ම තමන් දන්නවා යැයි සිතා කටයුතු කිරීමට ගියහොත් ඒ වරදින්නේ රටටයි. මේ ගන්නා තීන්දු වැරදීමෙන් ජනතාවගේ ජීවිත අහිමි වූ විට තවත් අවුරුදු තුනකින් හතරකින් ජනාධිපතිවරුන්ට. මැති ඇමතිවරුන්ට පාඩම් ඉගැන්වීමෙන් පලක් නැහැ. ඒ අහිමි වන ජීවිත අපිට ගන්න බැහැ. ඒ ජීවිත රැකගත හැක්කේ විද්‍යාත්මක පදනමක් මත ඒ මොහොතේ තීන්දු තීරණ ගැනීමෙන් පමණයි.

    අපි මාස 14කට කලිනුත් ආණ්ඩුවට යෝජනා කළා, මේ වසංගතයට මුහුණ දීම සඳහා මේ වෙනුවෙන් කැපවිය හැකි, දැනුම තිබෙන, විශේෂඥභාවය ඇති සියලු දෙනා සම්බන්ධ කරගත් යාන්ත්‍රණයක් පිහිටුවන්න කියලා. නමුත් තවමත් ආණ්ඩුව එවැන්නකට සූදානම් නැහැ. අපි නැවතත් ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ වසංගතයට මුහුණ දීමේදී වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ කර ගත් යාන්ත්‍රණයක් සකස් කරන්න කියලයි. ප්‍රකාශ නිකුක් විය යුත්තේ එතැනිනුයි.

    බොහෝ විට තවමත් කෙරෙන්නේ අශ්වයා පලා ගිය විට ඉස්තාලය වසා දමනවා වැනි තීන්දු ගැනීම්. සංචරණ සීමා පැනවෙන්නේ රෝගීන් ගණනාවක් එම ප්‍රදේශයෙන් වාර්තා වූවාට පසුවයි. තත්වය මෙසේ වන්නේනම් අපට තවත් සෑහෙන කාලයක් පාසල්, විශ්වවිද්‍යාල විවෘත කිරීමට ලැබෙන එකක් නැහැ. මේ සමාජය සාමාන්‍යකරණය කරන්න හිතනවානම් ආණ්ඩුව විසින් කළ යුතු වන්නේ රෝගීන් විශාල ලෙස වාර්තා වීමට පෙර පියවර ගැනීමයි. රෝගය පැතිරීම පිළිබඳව සංඥා ලැබුණු විගසම සමහර ප්‍රදේශ වසා දැමීමට, සංචරණ සීමා පැනවීමට සිදු විය හැකියි. පසු ක්‍රියාමාර්ග ගැනීමෙන් එතරම් ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ.

    පීසීආර් පරීක්ෂණවලින් අපි යම් තොරතුරක් ලබාගන්නවානම් අවම තරමින් ඒවායේ ප්‍රතිඵල පැය 24ක් තුළ ලබා ගත යුතුයි. ඒ නිසා තමයි මේ රටේ ජනතාව පීසීආර් යන්ත්‍ර ප්‍රමාණය වැඩිකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ. ඇතැම් තැනක පරිත්‍යාගශීලීන් එකතු වී රෝහල්වලට යන්ත්‍ර අරන් දුන්නා. ගම සමග පිළිසඳරේදී මීමුරේ ගම්වැසියෙක් ජනාධිපතිවරයාගෙන් තමන්ගේ රෝහලට යන්ත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලුවා. ජනාධිපතිවරයා එතරම් කල්පනා නොකළ නිසා පීසීආර් යන්ත්‍ර අනවශ්‍ය බව කිවුවා. අද ඒවා නොමැතිකමේ ප්‍රතිඵල පේනවා. අදටත් පීසීආර් සිදුකෙරෙන්නේ 15,000-20,000 අතර ප්‍රමාණයක්. පැය 24ක් ඇතුළත මේවායේ ප්‍රතිඵල ගැනීමට හැකිනම් සෞඛ්‍ය බලධාරීන්ට රෝගයේ ව්‍යාප්තිය හා ප්‍රමාණය පිළිබඳව අදහසක් ජනතාවට කිව හැකියි. තවමත් ප්‍රමාණවත් තරම් පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි වී නැහැ. එය වහාම කළ යුතුයි.
    මේ වන විට සමහර රෝගවලට අවශ්‍ය ඖෂධ හිඟයක් ඇතිවී තිබෙනවා. කොවිඩ් රෝගය සමග එන සමහර ස්වශනාබාධ හා සංකූලතා සඳහා අවශ්‍ය ඖෂධ හිඟ වී තිබෙනවා. ඒවා සොගැනීමට ජනතාවට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. කොවිඩ්වලට සම්බන්ධ නැති වෙනත් රෝගවලට අදාළ ඖෂධ හිඟයක්ද තිබෙනවා. සංචරණය සීමා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කිවුවත් රෝගීන්ට ඖෂධ සොයමින් සංචාරය කිරීමට සිදුව තිබෙනවා. මෙය ඔවුන් කොවිඩ් අවදානමට ලක්වීමට හා එම රෝගවලින් සංකූලතා ඇතිවීමට අවසානයේ මරණය පත්වීමට හේතුවනවා. මේ පිළිබඳව ආණ්ඩුවේ අවධානය වහාම යොමු විය යුතුයි.

    එන්නත් සම්බන්ධ ප්‍රශ්නය බරපතළ වී තිබෙනවා. එන්නත් නිෂ්පාදනයේ ගැටලුව, එන්නත් නිෂ්පාදනයේදී මේ අමනෝඥ ආණ්ඩු විසින් කළ හැකි ව්‍යාකූලත්වය හඳුනාගත් නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා බෙදාහැරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් යෝජනා කළා. පළමුවෙන්ම ඒවා සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන ලෙස ඉල්ලුවා. ඊළඟ කොටස 60ට වැඩි අයටත් ඊළඟ කොටස නිදන්ගත රෝග තිබෙන අයටත් දෙන ලෙස ඉල්ලුවා. මේක එන්නත පිළිබඳ පර්යේෂණ කරන කාලෙදිම කියපු දෙයක්. නමුත් ආණ්ඩුව එන්නත් ලක්ෂ 12ක් හමුවූ විට හැමෝටම එය විදින්න උත්සාහ කළා. අද දෙවැනි මාත්‍රාව දිය යුතු කාලය තීරණය කරන්නේ ආණ්ඩුවට ඒ එන්නත් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ කවදාද කියන එක අනුවයි. විශේෂඥයින්ගේ තීරණය අනුව නොවෙයි. මුලින් කිවුවේ සති 03කින් දිය යුතු බවයි. අද සති 12ක් වී තිබියෙදීත් පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව ලැබී නැහැ. අද ආණ්ඩුව පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා ගහලා දෙවැනි එක වෙනත් එකක් ගැහුවාට කමක් නැහැ කියන තැනට ඇවිත් ඉන්නවා. ආණ්ඩුව ජනතාවට ප්‍රමාණවත් තරම් එන්නත් ලබා දීමට කඩිනමින් මැදිහත් විය යුතුව තිබෙනවා.

    ඔක්සිජන් සැපයීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. ඔක්සිජන් පිළිබඳ ගැටලුව වන්නේ ඒවා ප්‍රවාහනය හා ගබඩා කිරීම පිළිබඳ ගැටලුවයි. නව බි්‍රතාන්‍ය ප්‍රභේදය වැනි නිව්මෝනියා තත්වයට වේගයෙන් පරිවර්තනය වන රෝගී තත්වයකදී අපට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය හා ලබා දිය හැකි ආකාරය පිළිබඳව ආණ්ඩුවට තක්සේරුවක් තිබිය යුතුයි. සමහරු මේ සිලින්ඩර් ගබඩා කර තබාගැනීමටත් උත්සාහ කරන බවට වාර්තා වනවා. මේ නිසා මේ ගැටලුව බරපතළ ලෙස සලකන මෙන් අපි ආණ්ඩුවට කියනවා.
    ලංකාවේ අයිසීයූ ඇඳාන් නිෂ්පාදනය කරන බවට ආණ්ඩුව දේශපාලන සංදර්ශන කළා. කර්මාන්ත ඇමතිවරයා ඇඳන් නිරීක්ෂණය කරන ආකාරය අපිට පෙන්නුවා. ඒ ඇඳන් කොහෙද? එහෙමනම් රෝගීන් ඇඳන් නැතුව මිය යන්නේ ඇයි? කොවිඩ් ආසාධියන් රෝහල් ගත කිරීමේ හා මධ්‍යස්ථානයන්ට යොමු කිරීම ව්‍යාකූල වී තිබෙනවා. කොළඹින් පොසිටිව් වන රෝගීන් මඩකලපුවට, පොළොන්නරුවට යවනවා. රෝගීන් රට පුරා නොයවා ඔවුන්ට ළඟ තැනක පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. සංකූලතා සහිත රෝගීන් රෝහල්වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

    වසංගත රෝග විශේෂඥයින් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මීට සම්බන්ධ සියලු දෙනා විසින් සකස් කරන සැලැස්මකට අනුව තීන්දු තීරණ ගැනීමට රෝගීන් පිළිබඳ දත්ත සහිත පිරිස, විශේෂඥ දැනුම සහිත පිරිස, ක්‍රියාත්මක වීමේ හැකියාව සහිත පිරිස සම්බන්ධ කර ගත් පුළුල් වැඩපිළිවෙළක් දැන්වත් සකස් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිනවා. උද්දච්ඡකම්වලට, අපරිණතකම්වලට ප්‍රශ්න විසඳිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

    ඊයේ(02) හවස ඉඳලම හොයල බලපු තොරතුරු අනුව ප්‍රදේශ වහන එක සහ අරින එක කිසිම විද්‍යාත්මක පදනමකට සිදු නොකරන බව පැහැදිලි වෙනවා. ග්‍රාම සේවා වසම් විවෘත කළත් ආසන්න නිවාස ගණනාවක් නිරෝධායනයකට ලක්කර තිබෙන බව හෙළිවී තිබෙනවා. මම එක දෙයක් පැහැදිලි කරන්න ඕනෑ. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය දීර්ඝ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එය ඔක්සිජන් සම්බන්ධ ප්‍රශ්නය මුල් කරගෙන නිකුත් කරලා තිබෙන්නේ. ඒ අතරේ පැහැදිලිවම කියන්නේ මෙයට මුහුණ දීමට නිසි සැලැස්මක් නැහැ කියන එක. අනික් පැත්තෙන් ලංකාව හමුවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ඔක්සිජන් නොවන බවත් කියනවා. සෞඛ්‍ය අංශවලට විතරක් දවසකට ටොන් 25ක් අවශ්‍යයයි. නමුත් ලංකාවේ තිබෙන ඔක්සිජන් නිෂ්පාදන සමාගම් දෙකෙන් දවසකට ටොන් 100ක් නිෂ්පාදනය කරනවා. කොම්පැනියේ ඔක්සිජන් හැදුවාට ලෙඩාට යන්නැත්නම් වැඩක් නැහැ. මේ වෙනුවෙන් නිලධාරීන් අවශ්‍යයි. ඉන්දියාවේ විශාලා මහනුවර පෙනි පෙනීත් අපේ රටේ තාමත් සැලැස්මක් නැහැ කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. දේශපාලන මැදිහත්වීම් තුළ ඇතිවී තිබෙන්නේ මේ වගේ තත්වයක්.

    ආණ්ඩුව සහමුලින්ම ජනතාව බිලිදී තිබෙනවා කියන එක කියන්න වෙන්නේ. සමහර රෝගීන් ගෙනියන්න එන්නේ නැහැ. ආශ්‍රිතයන් පී.සී.ආර්. කිරීමේ ක්‍රමවේදයක් නැහැ. කරන පී.සී.ආර්.වල ප්‍රතිඵල එන්න සමහර තැන්වල සතියකට වඩා යනවා. ලංකාවේ ඉතාම ධන කුවේරයින් පිරිසක් මොන තත්වයක් යටතේවත් ඔවුන්ගේ ව්‍යාපාරවලට බලපෑම් නොවෙන්න දැඩි බලපෑම් කර තිබෙනවා. ඉන්දියාවේ ඒ වැනි අයගේ ව්‍යාපාර පවත්වාගෙන යන අතරේත් ඒ ව්‍යාපාරිකයෝ පැනලා යනවා. ඒක විශේෂයක්. එංගලන්තයට, මැඩගස්කරයට, සමහර විට ලංකාවට පවා ආව ධන කුවේරයන් ගැන විස්තර තියෙනවා. ඩොලර් 20,000 ගෙවලා රටෙන් පැනලා ගිහිල්ලා ඉන්දියාවේ තියෙන පැක්ටරි වහලා නැහැ. ලංකාවේ පැක්ටරිවල එක ලයින් එකක එක් අයෙකුට කොවිඩ් වැළඳුනොත් එයාව අයින් කරලා ලයින් එක වැඩ කරනවා. බෝඩිංවල සීයක් වගේ ඉන්න තැන්වල වැළඳුනොත් ඒ අය අයින් කරලා අනික් අයව තියාගෙන වැඩ කරනවා. මෙයින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුව, ජනතාව බිලි දීලා තියෙන බව. මේ මාධ්‍ය හමුව පවත්වා ආණ්ඩුව මේ කරන අනතුරුදායක සෙල්ලම පිළිබඳව නැවතත් කරුණු ඉදිරිපත් කර ජනතාවට පැහිදිලි කරන්න අපි තීරණය කළා. ජනාධිපතිවරයා මීමුරයට ගිහිල්ලා කිව්වේ පී.සී.ආර්. වැඩක් නැහැ කියලා. අද අපිට එන්නත් ලක්‍ෂ 50ක් හම්බ වුණත් මේව දෙන්නම කොච්චර කාලයක් යනවාද? තව අවුරුද්දක් යනකං පී.සී.ආර්. පරීක්‍ෂණවල වැදගත්කම කවුරුත් කියනවා. ජනාධිපතිවරයා ඔලුව ඉදිමුවාගෙන පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩක් නැහැ කියනවා. එවැනි උද්දච්ඡ පුද්ගලයෝ තමයි තීන්දු-තීරණ ගන්නේ.