Author: Editor

  • සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැතිගෙන් සුපිරි පැහැදිලි කිරීමක්

    බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බවත් ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා කිවේය.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (15) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

    මෙහිදී වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

    ‘ බොර තෙල්වලින් ඉන්ධන නිෂ්පාදනය කළ හැක්කේ බොර තෙල් ප‍්‍රමාණයෙන් සියයට 43ක් පමණයි. ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ බොරතෙල් වෙනුවට ඉන්ධන ගෙන්වීමට තීරණය කළේ විනිමය කළමණාකරණය කළ යුතු නිසයි. කෙසේ වෙතත් සපුගස්කන්ද පිරිපහදුව වසා දමන බව රටට නොකිව්වේ එය රටේ තෙල් සැපයුමට බලනොපාන අභ්‍යන්තර කාරණයක් වන නිසයි.

    රටේ ඇති සීමිත විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍යයි. වසර 51ක් පැරණි තෙල් පිරිපහදුවෙන් බොර තෙල්වලින් සියයට 37 ක් නිපදවන්නේ දැවිතෙල් හා නැප්තායි. සියයට 19 ක් ගුවන් යානා තෙල් නිපදවනවා. මේ දිනවල වැස්ස ඇති බැවින් විදුලිය නිපදවීම ජලවිදුලියෙන් සිදුවන නිසා දැවිතෙල් අවශ්‍ය නැති බව විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා, ගුවන් යානා තෙල් ගුවන් ගමන අරඹන රටෙන් ලබා ගත හැකියි. දිගු ගමන් සඳහා පමණයි ගුවන් යානා තෙල් ලබා ගන්නේ. ඒ නිසා බොරතෙල් අවශ්‍ය නොවන බවට තීරණය කළා.

    ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකම් ලබා ගැනීමට මේ වනවිට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. දිගින් දිගටම පාඩු ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කරයි. ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතා පහළ මට්ටමක ඇති බැවින් ණය ලබා ගැනීම වඩාත් දුෂ්කර වී තිබෙනවා. බොරතෙල් ගෙන්වීම නැවැත්වීමෙන් පැට‍්‍රල් හෝ ඞීසල් හිඟයක් ඇති වන්නේ නැහැ. වෘත්තිය සමිති නායකයකු මාධ්‍යයට කී කතාවක් හේතුවෙනුයි මෙසේ ඉන්ධන සඳහා පෝලිම් ඇති වුණේ දින හතලිහකට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ රට තුළ තිබෙනවා‘‘ යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

  • රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

    රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

    කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

  • ‘ජන බලවේගය කොළඹට: කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

    ‘ජන බලවේගය කොළඹට: කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

    ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විය.

    බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවිදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුදුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන 18ක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේය.

    උද්ඝෝෂකයින් සෞඛ්‍ය නිති රිතී උල්ලංඝණය කරන්නේ නම්, පොලිස් බලතල ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළ අධිකරණය පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමීය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් කොරෝනා රෝගයට අදාළව සෞඛ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව යමෙකු එය උල්ලංඝණය කරන්නේ නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් අධිකරණය සදහන් කළේය.

    මේ අතර සමගි ජනබලවේගය පක්ෂය විසින් ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත උද්ඝෝණයට සමගාමීව කඩුවෙල, නවගමුව, මාළඹේ, සහ අතුරුගිරිය යන පොලිස් බල ප්‍රදේශයන්හී උද්ඝෝෂණ නොපවත්වන ලෙසට නියෝග කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (15) ආඥාවක් නිකුත් කළේය.

    ඒ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කඩුවෙල, නවගමුව, තලංගම, මාළඹේ සහ අතුරුගිරිය යන පොලිස් ස්ථාන කළ ඉල්ලීමකට අනුවය.

    1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (1) (3) (5) වගන්ති ප්‍රකාරව මෙලෙස ආඥාවක් නිකුත් කර ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන්, සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකටය.

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා

    රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය

    කොවිඩ් මේ මොහොතේ පාලනය වෙලා තියෙනවද කියන එකටත් වඩා කොහොමද මේ තතත්ත්වය ඇති වුනේ කියන එක තමයි අපිට වැදගත් වන්නේ. ඒකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් වාර්තා වෙන දත්ත අනූව ජනගහනය අධික ප්‍රධාන දිස්ත්‍රික්ක වල පමණක් මෑත කාලයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කොවිඩ් ආසාදනය වෙලා වගේ පේන නිසා කොවිඩ් පැතිරීම විශාල වශයෙන් පාලනය වෙලා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.

    මේක තාවකාලික තත්ත්වයක්. හැදිච්ච අයට ආපහු කොවිඩ් හැදෙන්නේ නෑ කියලා තහවුරු වෙලා නෑ. එන්නත් ගහපු අයට කොවිඩ් හැදෙන්නේ නෑ කියල තහවුරු වෙලත් නෑ. ඒ වගේම A-30, Delta+ වගේ එන්නත් ප්‍රතිරෝධි කොවිඩ් රැලි දැනටමත් ලොව පුරා පැතිරෙමින් තියෙනවා. හොයා ගත්ත සහ ඉදිරියේදී සොයා ගන්න අළුත් ප්‍රභේද ඇති වෙන එක කෝවිඩ් වල සාමාන්‍ය තත්ත්වයක් කියලා අපි දැනටමත් දන්නවා. ඒනිසා මේ තාවකාලික කොවිඩ් විරාමය ඇතුලේ අපි සියල්ල අතෑරලා වැඩ කරන එක හරියට වතුර රත්වෙන තුරු කකුළුවා දිය හැලියේ නටමින් ඉන්නවා වගේ එකක්.

    කවුද මේවට වගකියන්න ඕන කවුද මේවයින් බැට කන්නේ?

    බැලූ බැල්මට කොවිඩ් පාලනය වෙලා කියලා හිතුවට ඒක රටේ සාමාන්‍ය පුරවැසියෙකුගේ කියවීමක් හා සමානයි. නමුත් අපි සෞඛ්‍ය වෘත්තිකයෝ විදියට කල්පනා කරනවා නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපතිවරයා, රජය කොවිඩ් පාලනය වෙලාද කියල බලද්දි ඒ වගේ සරල උත්තරයකින් සෑහීමකට පත්වෙන්න බෑ. එහෙම සරල උත්තරයක් ඔලුවෙ තියාගෙන රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න එකෙන් රටම අමාරුවේ වැටෙනවා. මතක තියාගන්න ඕන කාරණය තමයි අවසානයේදී දුක් විඳින්නේ ඔය වැරදි තීරණ ගන්න අය හෝ මහජන මුදලින් නඩත්තු වෙන ගමන් තීරණ නොගෙන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න අය නොවේ කියන එක

    කොවිඩ් කියන්නේ ලංකාවේ සමාජගත වෙච්ච වසංගතයක් ඒක විද්‍යාත්මකව කියව ගන්න ඕන. හැබැයි ඒක විද්‍යාත්මකව කියව ගන්න ඕන දත්ත සහ තොරතුරු නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒක ස්වේච්ඡා සේවාවක් නෙමේ. ඒ වෙනුවෙන් මහජන මුදලින් පඩි නඩි වරප්‍රසාද දීලා විශාල නිළධාරීන් සහ වෘත්තිකයන් පිරිසක් නඩත්තු කරනවා. සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු ඒ අය ගන්න ඕන තීරණය නොගන්නව නං හෝ ප්‍රමාද වෙලා ගැනීම නිසා රටේ වසංගතය යලි යලි හිස ඔසවනව නං බේරගන්න පුළුවන් එක ජීවිතයක් හරි අහිමි වෙනවනං ඒක සාපරාධී ක්‍රියාවක්. එලෙස පරිපාලකයන් වැඩ නොකර සිටීමෙන් සිදුවන හානිය මනින්න අවාසනාවකට අපේ රටේ ක්‍රමවේදයක් නැති වුනත්, දියුණු රට වල මේවා දඩුවම් ලැබිය යුතු වැරදි.

    කෝවිඩ් පාලනය කරන්න මිනිස්සුන්ට වගකීමක් නැද්ද?

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු ගොඩාක් අය අපි දකිනවා උදේ හවා පොඩි එහා මෙහාවක් ගිය ගමන් ජනතාවට බැනලා ජනතාවගේ පිට වරද පටවලා අත පිහිදා ගන්න තත්ත්වයක්. හැබැයි මිනිස්සුන්ට කොවිඩ් විද්‍යාත්මකව කියව ගන්න අවශ්‍ය තොරතුරු ටික දෙන්නේ නැතිව රසායනාගාර වල පරීක්ෂණ ටික වත් කරන්නේ නැතිව රෝගය පුරෝකථනය කරල ඇත්ත අදහසක් රට තුල නිර්මාණය කරන්නේ නැතිව ජනතාවට එහෙම නිකම්ම බනින එකේ තේරුමක් නෑ. රටේ හැම පුරවැසියෙකුටම ලෙඩ රෝග ගැන විද්‍යාත්මකව කියව ගන්න හැකියාවක් නැහැ. ඒක කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ මොහොතේ ඒක කරන්නේ නැතිව මහජනතාවට බැන බැන ඉන්න එක එක්තරා විදියක ඛේදවාචකයක්. අපි කියන්නේ මේ අඩු පාඩුව නිසාම කෝවිඩ් යලි හිස ඔසවන එක වලක්වන්න බෑ. හැදිච්ච අයට ආයේ කොවිඩ් හැදෙන දවස වෙනකොට එන්නතේ බලය නැති වෙන කාලය වෙන කොට අළුත් ප්‍රභේද එන කොට නැවත කෝවිඩ් පැතිරෙරෙනවා. හැබැයි සැලසුම් සහගතව වැඩ කරොත් ඒක රැල්ලක් විදිහට විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙන එක නවත්තන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන්.

    අපි මෙහෙම කියන්නේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් විද්‍යාත්මකව කියවගන්න තියෙන තැන් වුවමනාවෙන්ම වලක්වපු තැන් ඉතා පැහැදිලිව පෙනෙන්න තියෙන නිසා. කොවිඩ් පාලනය වෙලාද කියන ප්‍රශ්නයට දෙන්න තියෙන හරිම උත්තරය නම් අපි තවම ඒක විද්‍යාත්මකව කියවල නෑ කියන එක තමයි. අපි එහෙම කියවන්න උත්සහ කරලත් නෑ, එහෙම කරන පාටක් පේනනත් නෑ.

    එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගතව වැඩකරන්නේ නැද්ද?

    සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම සැළසුම් සහගතව වැඩකරන්නේ නැහැ කියන්න හේතු ගණනාවක් පෙන්නල දෙන්න පුළුවන්. එකක් අහඹු පරීක්ෂණ සහ නියැදි පරීක්ෂණ වුවමනාවෙන්ම සිදු නොකරන එක. මේක සමාජගත වෙච්ච වසංගතයක් නිසා ලෙඩේ තියෙනව කියල තමටන්ම දැනිල හෝ සැක හිතිල රෝහලට එන කිහිප දෙනෙකුගේ පරීක්ෂණ කරල ලැබෙන දත්ත වලින් මේ වසංගතය කොහොමටවත්ව විද්‍යාත්මකව කියව ගන්න බෑ. ඒ ක්‍රමයට අනූව අපි 80% – 90% ආසාදිතයෝ මඟහැරලා තමයි වසංගතය කියවා ගන්නේ. එහෙම ගන්න තීරණ කිසිසේත්ම නිවැරදි තීරණ වෙන්නේ නෑ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම කරන්නේ අහඹු පරීක්ෂණ හෝ නියැදි පරීක්ෂණ කරන්න පහසුකම් හෝ මුදල් නැති නිසා නෙමේ. පැහැදිලිවම කිව්වොත් වුවමනාව නැති නිසා සහ හැමෝගෙම අදහස් සළකා බලල හරි දේ හරි වෙලාවට කරන්න හිත හදා ගන්න බැරි උද්දච්ච පාලනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙලා ගෙන තියෙන නිසා.

    රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට ඔයාලටත් බැරිද මීට වඩා දෙයක් කරන්න.

    අපි, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෝ විදිහට අහඹු පරීක්ෂණ හෝ නියැදි පරීක්ෂණ රට පුරා කරල දීමේ වගකීම කරට අරගෙන ඒකට අවශ්‍ය ජංගම රසායනාගාර කිහිපයක් ඉල්ලන්නේ කාලාන්තරයක ඉඳලා. හැබැයි ඒඅවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කිසිවෙක් මැදිහත්වුනේ නෑ. මේ ගැන අපි ආයතන ගණනාවකට ලිව්වාම සමහර සමාගම් එකඟවෙලා තියෙනවා මිලියන 80ක් විතර වටින ජංගම රසායනාගාර කිහිපයක් නොමිලේ දෙන්න. ඒක කොහොමත් කරන්න දෙන්නේ නෑ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච සිතුවිල්ල කෝවිඩ් වසංගතයටත් වඩා කොච්චර බරපතලද කියනව නං. නොමිලේ දෙන බස්රථ ටිකවත් මේ වැඩේට යොදව ගන්න සෞඛ්‍ය ලේකම්වරයාගෙන් අවසරයක් නැහැ. කැබිනට් ඇමතිවරයා ඒකට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාන්න නියෝග කරලත් තවම ඒ වැඩේ වෙලා නැහැ. සමහර වෙලාවට ඔහු ජනාධිපතිතුමාට කියනව ඇති සල්ලි ඉතුරු කරන්න තමයි මම එහෙම කරන්නේ කියලා. හැබැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ වැරදි තීරණ නිසා රටට, ආර්ථිකයට, ජන ජීවිතවලට වෙන හානිය රුපියල් වලින් ගණන් හදල මේ නිළධාරීන්ට පෙන්නල දෙන්න කියලා. ඒ උදාහරණයම ඇති වසංගතය විද්‍යාත්මකව තේරුං ගන්න අපේ රටට බැරිවෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගැනීම සඳහා

    මොකද්ද මේ ගුවන් මගීන්ගේ “On arrival” පීසීආර් කරන්නේ නෑ කියන කතාව

    නැවත කෝවිඩ් රැල්ලක් ඇති වෙන්න අදාල වෙන තවත් එක් ප්‍රධාන හේතුවක් තමයි නව ප්‍රභේද සහ අළුත් ආසාධිතයන් ගුවන් තොටුපල පරිශ්‍රයෙන් රටට ඇතුළුවීම. වර්ධනය වෙමින් පවතින කොවිඩ් රැල්ලට ඒක මූලිකම හේතුවක් උනා වෙන්නත් පුළුවන්. ඉදිරියේදී මේක තවත් භයානක තත්ත්වයකට පරිවර්තනය වෙන්නත් පුළුවන්. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අළුත්ම රෙගුලාසි නිසා රටට ඇතුළු වෙන බහුතරයක් පරීක්ෂාවට ලක් කෙරෙන්නේ නෑ. එන්නත්කරණය මඟින් රෝගය වැළඳීම පාලනය කල නොහැකිය කියන එක පැහැදිලිව සනාථ වෙලා තියෙද්දී විදේශයක සිය පැමිණෙන එන්නත් ගහපු අයට පරීක්ෂණ සිදු කිරීම අත්හිටෙව්වා. ඔවුන් හරහා A-30 එන්නත් පුළුවන් Delta+ එන්නත් පුළුවන්, අපි දන්නේම නැති එකක් එන්නත් පුළුවන්.

    හැබැයි අවසනාව කියන්නේ ඒ අය පරීක්ෂාකරන එක නැවතිලා තියෙන්නේ ඒ සඳහා උපරිම පහසුකම් ගුවන් තොටුපල පරිශ්‍රයේ උපරිමයෙන් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය නීති මඟින් එහෙම කරන එක වැලැක්වුයේ මෙම රසායනාගර පහසුකම් පිළිබඳ මනා දැනුමක් ඇතිව. මේ තීරණය විතරක් සලකල බැළුවත් ඇයි එහෙම කරන්නේ, මොකද්ද ඒකෙන් ඇති වාසිය කියන එක පිළිබඳව අඩුම තරමේ ජනාධිපතිවරයාවත් සළකා බලන්නේ නැති එක ගැන අපිට හරි පුදුමයි. සමහරු පෙන්නන්න හදනවා පීසීආර් පරීක්ෂණ කරන එක සංචාරක ව්‍යාපාරයට බාධාවක් කියලා, හැබැයි සංචාරකයෝ විතරක් නෙමෙයි අපේ රටේ විදේශ ශ්‍රමිකයෝ පවා ගෙනල්ලා පීසීආර් පරික්ෂණය දඩමීමා කරගෙන දින සති ගණන් හෝටල් වල බලෙන් රඳවාගෙන ගසාකමින් සිටින කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ තීරණය ගත්තේ නෑ. දැං අපිට පීසීආර් පරීක්ෂණය පැය 2ක් 3ක් ඇතුලත දෙන්න පුළුවන් රසායනාගාර දෙකක් ගුවන් තොටුපල පරිශ්‍රයේ තිබියදී මේ විදියට කිසිඳු පරීක්ෂාවකින් තොරව කොවිඩ් ආසාදිතයන් රටට ඇතුළු කර ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරෝතු වෙන්නේ මොන වගේ කෝවිඩ් පාලනයක්ද කියන එක පැහැදිලි වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ වැරදි තීන්දු සහ ගතයුතු තීන්දු නොගෙන සිටීම නිසා මේ කෝඩිඩ් වසංගතය අනවශ්‍ය ලෙස යලි යලිත් හිස ඔසවනවා කියලා

    මොනවද ඔයාලගේ යෝජනා?

    අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ කොව්ඩ් පාලනය සඳහා සූදානම් හැමෝගෙන්ම ඉල්ලන්නේ නැවත රට වසා තැබීමකට මෙහායින් මේ මතුවෙමින් තිබෙන වසංගතයේ ප්‍රවණතාවය වලක්වා ගැනීම සඳහා සංවේදී වෙන්න කියලයි. මේ සඳහා අඩුම තරමින් රට පුරා අහඹු සහ නියැදි පරීක්ෂණ වහාම ආරම්භ කරන්න, රටට ඇතුළු වන සියළු පුද්ගලයන් පරීක්ෂා කිරීමට නොහැකි වන අයුරින් දාල තියෙන රෙගුලාසි කඩිනමින් ඉවත් කරන්න, ජනාධිපතිවරයාට, ආණ්ඩුවට හෝ තීරණ ගන්න ප්‍රධාන බලධාරීන්ට අවම තරමින් මාසයකට සැරයක් විද්‍යාත්මකව එකතු කරගත්ත දත්ත මත පදනම් වුනු වසංගත විශ්ලේෂණයක් සහ පුරෝකථනයක් අඛණ්ඩව ලබා දෙන්න, ඒකට අවශ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට බාධා කරන්නේ නැතිව ධනාත්මකව එක කරන්න පුළුවන් නිළධාරියෙකු යටතට මේ යාන්ත්‍රණය පවරන්න. එහෙම කලොත් අඩුම තරමින් වසංගතය පැතිරෙන එක වලක්වන්න බැරි වුනත් අළුත් රැල්ලක් ඇති වෙන ස්ථානය කල්තියා හඳුනා ගැනීමෙන් අවම තරමින් රටම ලොක් ඩවුන් කිරීම වෙනුවට නගරයක්, ප්‍රදේශයක් හෝ ආයතනයක් ලෝක් ඩවුන් කරල විශාල රැලි ඇති වෙන එක වලක්වා ගන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. එහෙම නැති වුනොත් දෙසැම්බරය වන විට බලෙන්ම තව රැල්ලක් හදා ගෙන ආපහු රටම ලොක් ඩවුන් කරල මිනිස්සුන්ගේ සහ රටේ ආර්ථිකය විනාශ කරල ජීවිත ගණනාවක් බිලි දීල. ඒ මිනිස්සුන්ටම බැන බැනා ඉන්නවා හැර වෙනත් විකල්පයක් අපට ඉතිරි වන්නේ නැත.

    රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය

  • දේශීය ලොකු ළුෑණු ගොවියාට වළ කපන දඹුල්ල ආර්ථිකේ සුපිරි ජාවාරම

    දේශීය ලොකු ළුෑණු ගොවියාට වළ කපන දඹුල්ල ආර්ථිකේ සුපිරි ජාවාරම

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය.

    දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබී ඇති මොහොතක ඉන්දියාව,  පාකිස්තානය, ඊජිප්තුව හා ඕලන්දය යන රට වලින්  ලොකු ළුෑණු ගෙන්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගසා අඩු මුදලට අලෙවි කිරීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.

    කාබනික වගා ක්‍රම්ය යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ දේශීය ලොකු ළුෑණු වගාව ආරම්භ කළ ද එහි අස්වැන්න අලෙවි කර ගැනීමට යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පාකිස්තථානයෙන් සහ ඉන්දියාවෙන් ලොකු ලූණු විිශාල වශයෙන්  ගෙන්වා  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට අසූවක් පමණ වෙළඳසැල්වල ගොඩ ගසා ඉතා අඩු මුදලකට අලෙවි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම් නිසා තමන්ට ඉදිරියේදී දේශීය ලොකුළ ලූනු වගාවෙන් ඉවත් වීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  පාකිස්ථානයෙන් ගෙන්වා ඇති ලොකු  ලොකු ළුැණු කිලෝවක් රුපියල් එකසිය 110 – 115 ත් අතර මිලකට අලෙවි කරන බව ද ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ලොකු ළුෑණු රුපියල් 160 ක මිලකට අලෙවි කරන බවද අනෙකුත් රටවලින් ගෙන්වන ලද ළුෑණු රු 110 සිට 120 දක්වා අලවි කරන බව  පෙන්වා දෙන ගොවීන් දේශීය ලොකු ළුෑණු සඳහා රුපියල් 130 ක 180ක මිලක්  ගොවීන් ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් තම ලොකු ළුෑණු මිලදී ගැනීමකින් තොරව අඩු මුදලට ඇති පකිස්තානයෙන් ගෙන් වූ ළුැණූ මිලදී ගැනීම සිදු කරන බව ද දේශීය ලොකු ළුෑණු ගොවියෝ පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුැණු ගෙන්වන බොහෝ ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්තථානයෙන් ගෙන්වා ඇති ළුැණූ වල මිල අඩුවීම නිසා ඒවා ට ඉල්ලුම පවතින බවය.

    ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ළුැණු සහ පාකිස්තානයෙන් ගෙන්වා  ඇති ළුැණු වලට    ඉල්ලුමක් පැවැතියද දේශීය ලොකු ළුෑණු සඳහා ද ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමක් පවතින බවද ඇතැම් තවත් ව්‍යාපාරිකයන් පිරිසක් අප සමග පැවසූහ.

    කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු වගා කළ ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ දින ගණනාවක් තම දේශීය ලොකු ළුෑණු අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බව ද තවත් ඕනෑතරම් නිෂ්පාදන ගබඩාවල, තම නිවෙස් වල ගොඩගසාගෙන සිටින බව දේශීය ලොකු ළුෑණු ගොවීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    දේශීය ලොකු ළුෑණු මෙන්ම අනෙකුත් වගාවන් සඳහා කාබනික පොහොර නිර්දේශ කොට රසායනික කිසිදු ද්‍රව්‍යයක් දේශීය වගා කරන සියලු වගාවන්ට  රසායනික පොහොර හෝ කෘමි නාශකයක් යෙදීම කින් තොරව වගා කෙරෙන ලෙස උපදෙස් ලබා දී රජය ව්‍යාපාරිකයන් සමඟ එක්ව මෙරට දේශීය වගා කරන බෝග  නිෂ්පාදන වෙළඳපොළට එද්දී කිසිදු සොයා බලමින් තොරව විදේශ රටවල වගා කරන  ආහාර ද්‍රව්‍ය මෙරටට රැගෙන එන්නේ කාබනික රසායනික හෝ කුමන  ආකාරයකට වගා කළ ඒවා ද යන්න සොයා බැලීමකින් තොරව බවත් ආහාරයට ගැනීමට පවා නුසුදුසු කන්ටේනර් පෙට්ටි වල ඇති ළුැණු තොග මෙරටට ගෙන්වා ජනතාවට ආහාර සඳහා ලබාදීම සිදුකරන බවද දේශීය ලොකු ළුෑණු වගාකරුවෝ චෝදනා කරති.

    දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික ප්‍රජාව ද දේශීය ගොවීන් ආරක්ෂා කිරීම් සඳහා බව පවසමින් ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙළඳසැල් ලබාගෙන එහි අරමුණු පවා වෙනස් කොට වෙළෙඳ  ස්ථාන පාකිස්ථානය, ඉන්දින්දියාව වැනි අනෙකුත් රටවල ගොවීන්ගේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට දඹුල්ල පත්කොට ඇතැයි ගොවීහු වැඩි දුරටත් කියා සිටිති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට හැත්තෑවක් පමණ මේ වන විටත් විදදේශීය රටවලින් ගෙන්වා ඇති අල, ළුෑණු සහ අනෙකුත් ද්‍රව්‍ය සඳහා වර්ග රැසක් ගොඩ ගසා ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

    ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතාගෙන් අප මේ පිළිබඳවව විමසීමේ දී කියා සිටියේ විවෘත වෙළඳපළ නිසා ඕනෑම භාණ්ඩයක් ගෙන්විත්  අලෙවි කිරීම්ට හැකි හැකියාව පවතින බව ය. ඒ අනුව  පාකිස්ථානය සහ අනෙකුත් රටවල් ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමියන් සමග ලොකු ළුෑණු ගෙන්වා අලෙවි කරන බවද ඒ මහතා සඳහන් කළේය.

    දඹුල්ල ආර්ථථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුෑණු, අර්තාපල් ආදී ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ එම්. අයි. එම්. කෙයාස්  මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ඉන්දියාවේ සිට ලංකාවට ලොකු  ළුෑණු කිලෝවක් ගෙන්වීම සඳහා 165ක මුදලක් ද පාකිස්ථානයෙන් ලංකාවට ලොකු ළුණු ගෙන්වීමේදී කිලෝවකට රුපියල් 135ක මුදලක්ද ඕලන්ද ළුෑණු කිලෝ එකක් ගෙන්වීමේදී රුපියල් 150ක මුදලක් ද  තුර්කියෙන් ලොකු ළුණු ගෙන්වීමේදී රුපියල් 130ක මුදලක් වැය වන බව ය.

    කෙසේ වෙතත්  දේශීය ලොකු ළුෑණු ගොවීන් ප්‍රශ්න කර සිටින්නේ රුපියල් එවැනි වැඩි මුදලක් වියදම් කොට මෙරටට ලොකු ළුෑණු ගෙන්වා  රුපියල් 110 ක අඩු මුදලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විදේශීය ලොකු ළුෑණු අලෙවි කරන්නේ කෙසේද යන්නය.

    එ සේ නම් මෙම ලොකු ළුැණු කන්ටේනර් සමග වෙනත්  දේ  ලැබෙනවා දැයි දේශීය ලොකු ළුෑණු ගොවීන් රජයෙන් ප්‍රශ්න කළේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළඳ සැල් රැසක මේවන විට පාකිස්තානය, තුර්කිය,  ඉන්දියාව, සහ ඕලන්ද රටවලින් ගෙන්වා ඇති ලොකු ළුෑණු තොග අලෙවි කිරීම සිදු කෙරෙන නිසා අප එම වෙළඳ සැල් වලට ගොස් විමසීමක් කළේමු.

    එම ලොකු ළුෑණු  අලෙවි කිරීම සහ මිල උස් පහත් වීම සම්බන්ධයෙන්ය එම වෙළඳ සැල් පවත්වාගෙනගෙන යන සියලු දෙනාම මෙන් කියා සිටියේ තමන් එම  ලොකු ළුෑණු විදේශ රට වලින් ගැන්වීමක් සිදු නොකරන බවත් වෙනත් අතරමැදි කණ්ඩායමක් ගෙන්  කොමිස් පිට අලෙවි කිරීම සිදු කරන බවය.

    තවත් පිරිසක් කියා සිටියේ පාකිස්ථානයේ සිටින ව්‍යාපාරිකයන් මෙරට තම වෙළෙඳ සැල්වලට ලොකු ළුෑණු ඒවා ඒවා අලෙවි වීමෙන් පසු ඔවුන්ගේ ගිණුම් වලට පකිස්ථානයට මුදල් යැවීම සිදු කරන බවය.

    මුදල් වියදම් කිරීමකින් තොරව විදේශීය ලොකු ළුෑණු තමන් අලෙවි කරන බවත් මෙම වෙළෙඳුන් පැවසූහ. කෙසේ වෙතත් මෙම සෑම වෙළඳසැලකම  දේශීය එළවළු, පලතුරු අලෙවි කිරීම සඳහා රජය සමග ගිවිස ගෙන වෙළඳසැල් ලබා ගෙන තිබෙන බවත් හෙළිදරව් විය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳසැල් දෙකට බෙදාගෙන විදේශීය රටවල  ව්‍යාපාරිකයන්ට ලබාදී ඇති බව ද තොරතුරු අනාවරණය වීම විශේෂත්වයකි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය. ඉදිරියේදී කළමණාකරන භාරය තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ඒ මහතා කීවේය. කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු ගොවියාට සාධාරණයක් ඉටු කරදීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන බවද සඳහන් කළේය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ?

    අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ?

    2022 අය වැය – පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම

    ඉබ්බාට පියාසර කිරීමත්  රාජපක්ෂලාට රාජ් පාලනයත් කළ නොහැක

    ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් වන මහ බැංකුව ඇතුළුව සමස්ථ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අවිනිශ්චිතය. ඉහළ යන ජීවන වියදම හා කිරිපිටි, සීනි, ගෑස් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ජනතාවට විශාල පීඩනයක් එල්ල කර ඇත. ගොවිබිම්, පොහොර හා රසායනික, බීජ නොමැතිව අරගල බිම් බවට පත්වෙමින් පවතී. සිමෙන්ති හා යකඩ හිඟය විසින් ඉදිකිරීම ක්ෂේත්‍රය අර්බුදයට යවා ඇත. තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අත ළඟය.

    මෙවැනි අර්බුද රැසක් හමුවේ ඉදිරිපත් කරන ලද මෙම අයවැය (2022) මෙම ප්‍රශ්න කිසිවක් හඳුනාගත් බවක් නොපෙනේ. එසේ නැතහොත් වෙනත් ග්‍රහලෝකයක සිට වෙනත් රටක් සඳහා පිළියෙළ කළ බව පෙනී යයි. ජීවන බරෙන් පෙළන ජනතාවට හෝ ණය බරෙන් පෙළෙන රටට කිසිඳු මඟපෙන්වීමක් අය වැයෙන් ලැබී නොමැත. පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය හා ණය අර්බුදය විසඳීමට විධිමත් යෝජනාවක් ඉදිරිපත් කර නොමැත. රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය කිසිම ආකාරයකින් සැලකිල්ලට ගෙන නැත.

    අය වැයේ ප්‍රධානම වියදම් කේන්ද්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ජාවාරම්කරුවන් අතට මුදල් ලබාදී ඊළඟ මැතිවරණයට ඔවුන් සූදානම් කිරීමේ වෑයමයි. රජයේ නව වියදම් යෝජනාවල අදාල ප්‍රතිපාදන වලින් තුනෙන් එකක් වෙන්කර ඇත්තේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනි.

    ආර්ථිකය කළමනාකරණය කරගත නොහැක්කේ රජයේ සේවකයන් නිසාද?

    එමෙන්ම ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීමට රාජ්‍ය සේවකයින්ට අපහාස කරමින් ඇත. මුදල් ඇමතිවරයා රාජ්‍ය වියදම පිළිබඳ සාකච්ඡා කිරීමේදී රජයේ සේවකයින් රජයට දරාගත නොහැකි බරක් බවත්, තව වසරක් පමණ යනතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයේ මුදල් සෘජුව වෙන්කළ නොහැකි බවටත් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවයේ නියුතු සියළු දෙනාම කාර්යක්ෂම නොවන, ජනතා මුදල් කාබාසිනියා කරන පිරිසක් බවට චෝදනාවක්ද එල්ල වී ඇත.

    2006 හා 2020 කාලසීමාව තුළ සංඛ්‍යා ලේඛන බැලූ විට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 59% කින් වැඩි වී ඇත. එනම් 750,284 සිට 1,195,863 ක් දක්වා වැඩිවී ඇත. මෙම වැඩි වී ඇති සේවක සංඛ්‍යාවෙන් 86% ක් වැඩි වී ඇත්තේ මුදල් ඇමතිවරයා විවිධ තනතුරු දැරූ රාජපක්ෂ ආණ්ඩු සමයේය. 2020 වසරේ පමණක් නව ආණ්ඩුව 55,000 කින් රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇත. රාජ්‍ය සේවය භාණ්ඩාගාරයට බරක් නම්, එයට මුදල් ඇමතිවරයාද සෘජුව වගකිව යුතු බව පැහැදිළිය.

    බැංකු පද්ධතිය විනාශ කිරීම

    රටේ බැංකු පද්ධතිය අධි අවධානම් තත්ත්වයක පවතී. රජය දේශීය ණය හා විදේශ විනිමය වශයෙන් ගත් ණය නිසා බැංකු පද්ධතිය ණය බරෙන් පිරී ඇත. රජයේ විදේශ ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 02 ක්, ස්වෛරී බැඳුම්කර වලින් ඩොලර් බිලියන 02 ක්, අක්වෙරළ බැඳුම්කර වලින් ඩොලර් බිලියන 1.3 ක් ලෙස) බැංකු පද්ධතිය ඩොලර් ණයබරක හිර කර ඇත. එමෙන්ම භාණ්ඩාගාර සුරැකුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු පද්ධතියේ ද්‍රවශීල වත්කම් ලෙස අන්තර්ගතවී ඇත. තවද, රාජ්‍ය ව්‍යවසායන්ට බැංකු පද්ධතිය හරහා ඩොලර් බිලියන 04 ක පමණ විදේශ විනිමය ලබාදී ඇත. මින් ප්‍රධාන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන  සෘණ 03 ඉක්මවා ගොස් ඇත. රජයේ ආදායම් වැඩිකර ගැනීමට තවත් බැංකුවලින් බදු අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය බැංකු පද්ධතිය අස්ථාවරත්වයට හේතුවන මරු පහරක් වනු ඇත. යෝජිත අධිභාර බද්ධ (Surcharge Tax), සමාජ සංරක්ෂණ දායක මුදල් හා එකතුකළ අගය මත බදු යන බදු තුනම සියළු ප්‍රධාන බැංකු වලට බරක් වනු ඇත. මෙයට අමතරව මහ බැංකුව විසින් බැංකුවල සංචිත වලින් 2% ක් තමන් සතු කරගැනීම නිසාද අයවැයට පෙරම බැකු පද්ධතියට අතිරේක බරක් එක් විය.

    2019 ජනාධිපතිවරණයෙන්පසු ලබාදුන් බදු සහන පැකේජය අත්වැරැද්දක් බව පිළිගෙන එය නිවැරදිකිරීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් මේ රටේ බැංකු පද්ධතිය විනාශ කිරීමට දරන තැත රාජ්‍ය මූල්‍ය අස්ථායීකරණය වේගවත් කරනු ඇත.

    එමෙන්ම, 2022 වර්ෂයේ විදේශ ණය පියවීමට ඩොලර් මිලියන 750 ක් (අය වැයට අනුව) විදේශ වෙළෙඳපොළෙන් ලබාගැනීම පිළිබඳව ඇති බලාපොරොත්තුවද හීනයකි. අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට වැටී ඇති බුන්බත්වීමට ආසන්නයෙන් සිටින රටකට ණය ලබාදීමට ඉදිරිපත්වන ආයෝජකයන් වෙනත් ග්‍රහලෝකයකින් සොයාගත යුතුව ඇත. ලංකාවේ එතෙර බැඳුම්කරවල ද්විතීයක වෙළෙඳපොළේ ඵලදායී අනුපාතය / පොලී අනුපාතය 40% ඉක්මවා ඇත. මෙවැනි තත්ත්වයකට පාර කැපුවේ රජයේ අදූරදර්ශී ක්‍රියාප්‍රතිපත්තිය නිසා බව පැහැදිළිය. ඒ නිසාම ශ්‍රී ලංකාව අද ණය ආපසු ගෙවීමේ අධිඅවධානම් තත්ත්වයට ගොදුරු වී තිබේ.

     

    VAT වෙනුවට පිරිවැටුම් බදු

    සමාජ සංරක්ෂණ දායක මුදල් නමින්  පනවා ඇති බද්ද ආර්ථිකයේ දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරනු ඇත. පිරිවැටුම් බද්දක් ලෙස පනවා ඇති මෙම බද්ද ඕනෑම කර්මාන්තයක සෑම මට්ටමකදීම වර්ෂයට මිලියන 120ට වඩා පිරිවැටුම ඇති ව්‍යාපාර වලින්  ‘පිරිවැටුම’ මත අය කරන නිසා භාණ්ඩ වල මිල VAT බද්දට වඩා ඉහළ දමනු ඇත. පිරිවැටුම් බද්දට සාපේක්ෂව VAT බද්දේ ඇති සාධනීය ගුණාංගයක් වන්නේ සෑම මට්ටමකදීම ‘එකතු කළ අගය’ මත පමණක් බදු අය කර ගැනීමයි. මෙම වාසිය නිසා අප්‍රිකානු රටවල් පවා VAT බදු ක්‍රමයට මාරු වී සෑහෙන කාලයකි. පිරිවැටුම් බදු පනවා අපි නැවත දශක දෙකක් බදු ක්‍රමයේ පසු පසට තල්ලු වෙමින් පවතී. එකක් කඩතොළු වසා ගන්නට ගොස් දෙකක් කඩතොළු ඇති කරගත් ඉඳුරුවේ ආචාරියා සේ VAT මහා ඝෝෂාවක් පවත්වා අඩු කොට නැවත පැනවීමට ඇති ලැජ්ජාව නිසා රජය පිරිවැටුම් බද්දක් අයකොට ජනතාව තවත් අමාරු වේ දමා ඇත. මෙවැනි අමන රාජ්‍ය මුල්‍ය තීරණ වලට උපදෙස් දෙන නිලධාරීන්ද ජනතා අධිකරණයකට පමුණුවා දඬුවම් දිය යුතුව ඇත.

    මීට අමතරව, රජයේ ප්‍රධානම බදු උපයා ගැනීමට අදාළ යෝජනාව වන මෙම පිරිවැටුම් බද්දට අදාළ බදු ප්‍රතිශතය වත් නිවැරදිව අය වැයට ඇතුළු කර ගැනීමට හැකි වී නැත. අය වැය කතාවේ 2.5% ලෙසත් ඇමුණුමෙහි 3% ලෙසත් මෙම බදු ප්‍රතිශතය දක්වා ඇත.  රජයේ සහ මුදල් අමාත්‍යoශයේ නොහැකියාවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ.

    අය වැය යනු ඉලක්කම් විජ්ජාවකි.

    මීට පෙර අප කීපවරක් පෙන්වාදී ඇති ආකාරයට මෙවර අය වැය ද ඉලක්කම් විජ්ජාවකි. මුදල් ඇමතිවරයාට අනුව 2021 ට සාපේක්ෂව රජයේ මුළු ආදායම 46% කින් පමණ, එනම්රුපියල් බිලියන 723 කින් 2022 වර්ෂයේදී වැඩිවීමට නියමිතය. එය ඉතිහාසයේ නොවූ විරූ ආදායම් වර්ධනයක් වන අතර කිසිසේත් ළඟකරගතහැකි ඉලක්කයක් නොවේ. යෝජිත ආදායම් යෝජනා වලින් සිදුවන්නේ රුපියල් බිලියන 333 ක් වැඩිවීම පමණි. එනිසා සියළුම යථාර්ථවාදී ගණන් කිරීම්වලට අනුව රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවීම සිදුනොවිය හැක්කකි. මීට අමතරව රුපියල් ට්‍රිලියනයකට ආසන්න යෝජිත රජයේ මුළු ප්‍රාග්ධන වියදමෙන් බිලියන 600 කට වඩා ආයෝජනය කිරීම රජයට කළ නොහැක.

    මේ අනුව ඉලක්කම් විජ්ජා පෙන්වා රට රැවටීමකට ලක්කරන උත්සාහය මුදල් අමාත්‍යාංශය වහා නැවැත්විය යුතුය. රටට අවශ්‍යව ඇත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී නොවන විසඳුම් නොවේ. එමෙන්ම ඉලක්කම් විජ්ජාවලින් සුරංගනා කතා මවන ලෝකයක් ද නොවේ.

    අපට අවශ්‍ය වන්නේ මහපොළොවේ ක්‍රියාත්මක කළ හැකි දිඟුකාලීන ප්‍රමුඛතා හඳුනාගත්, ඒ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ලබාදෙන, රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී, යථාර්ථවාදී අයවැයකි. රටේ නැතිවී ගොස් ඇති ආයෝජන විශ්වාසය දේශීය හා විදේශීය වශයෙන් ගොඩනැංවීමට හැකි වනුයේ එවැනි අයවැයකිනි. රාජපක්ෂවරුන්ට රට ගොඩනැංවීමට දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ දැනුමක් නොමැති බවට නැවත නැවතත් තහවුරුකොට අවසන්ය. දැන් අවශ්‍ය වනුයේ, දැනුම, බුද්ධිය සහ ජන දුක ගැන සහකම්පනය පෙරටුකරගත් කුසලතාවාදී පරපුරකට රට භාරදී එය නැවත ගොඩනැගීම පමණි.

     

  • කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළ යාම ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් රතු එළි

    කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළ යාම ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් රතු එළි

    එන්නත් ලබාදුන්නත් දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව කඩිනමින් පාලනය නොකළ හොත් ඉදිරියේදී රට නැවත බරපතළ අර්බුදයක් කරා ගමන් කරනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවති.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ COVID රෝගීන් රෝහල් ගත කිරීමේ සුළු වැඩිවීමක් පවතින බවයි.

    “මෙය ඇත්ත වශයෙන්ම අනතුරු ඇඟවීමේ සංඥාවක්. තත්වය නරක අතට හැරීමට පෙර අපි එය පාලනය කිරීම අත්‍යවශ්‍යයි. එසේ නොවුවහොත්, මාස කිහිපයකට පෙර අප සිටි අඳුරු යුගයට රට අනිවාර්යයෙන්ම ඇදගෙන යා හැකියි, ”වෛද්‍ය හම්දානි අවධාරණය කළේය.

    එබැවින් රට පාලනය කරන තත්ත්වයකට පැමිණීමට නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ භාවිතයන් දැඩි ලෙස පිළිපදින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

  • වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

    වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

    වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවැසීය. මොටර් රථ ආනයනය කිරීම සදහා මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද ආටිගල මහතා සඳහන් කළේ‍ය.

  • බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි

    බොරතෙල් නැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි

    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය බව ද ඔහු සදහන් කළේය.

    බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව බව ද රන්වල මහතා පැවසීය. දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙට්‍රික් ටොක් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

  • ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

    ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා

    ගල්නෑව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වැටකොළුවාගම  ගම්මානේ ජන දුක පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව එම් ගම්මානයේ අසරණ පවුල් හයකට ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවාස භාරදීම ඊයේ (13) දින සිදුකෙරිණි.

    මෙම ගම් ගම්මානයේ  ජනතාව වසර ගණනාවක් තිස්සේ මූලික පහසුකම් නොමැති වීම නිසා දැඩි අසරණව සිටින බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීම්ත් සමඟ නෙදර්ලන්තයේ හා ශ්‍රී ලංකා පිරිසක්  විසින් පවත්වාගෙන යන පිකාස්පෝන්  පදනමේ නිවාස  ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානයේ නිවාස නොමැති පවුල් තිහකට නිවාස ඉදි කිරීම ආරම්භ කෙරිණි.

    ඒ අනුව මීට පෙර අංග සම්පූර්ණව නිමකළ නිවාස 07ක්  ජනතාවට ලබා දුන් අතර තවත් නිවාස හයක් ජනතාවට අතරට ලබාදීම් නෙදර්ලන්ත ජාතික පීටර් වැන්ඩර් මහතා, පිකස්පොන් පදනම ශ්‍ර  ලංකා නියෝජිතවරිය වන ශාමනි  පානබොක්කේ  ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස භාරදීම සිදු කෙරිණි.

    අංගසම්පූර්ණ නිවාස ඉදිකිරීම් සඳහා ගාල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකරන කණ්ඩායම්කට ලබා දී එම පිරිස ගල්නෑව වැටකොළුවාගම ගම්මානයේ රැඳී සිටිමින් මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිදු කළ බව පිකස්පොන්  පදනම කියයි.

    මෙම වැටකොළුවාගම ගම්මානේ ජනතාව අහස් දියෙන් ගොවිතැන් බත් කරගෙන දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවත් උග්‍ර ආහාර හිඟයකට ලක්ව සිටින බවද බොහෝ දෙනාට නිවසක් නොමැති වීම නිසා එක කුඩා නිවෙස් වල පවුල් කිහිපයක් ජීවත්වන බව පසුගිය කාලයේ ජනමාධ්‍ය හරහා හෙළිදරව් කෙරිණි.

    නෙදර්ලන්තයේ සිට නිවාස භාර කිරීම් සඳහා  මෙරටට පැමිණි  පිටර් වැන්ඩර් මහතා  මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ පැවසීය

    “වසර ගණනාවක් ඉඳලා මම ලංකාවට එනවා, ඒ වගේම ලංකාවට  ආදරය කරනවා ලංකාවේ මිනිස්සු හරිම සුන්දරයි. ඒ නිසාත් තමයි මම ලංකාවේ අසරණ පවුල් වලට  දරුවන්ට උදව් කරන්නේ. මම ලංකාවට උදව් කරන්න  ඇවිල්ලා  නෙදර්ලන්තයෙන් මට ලැබෙන විශ්‍රාම වැටුප පවා අඩු වෙලා තියෙනවා මම ගොඩක් කැපකිරීම් කළා ලංකාවේ ජනතාවට”

    “මම ලංකාවෙ ගෙවල් නැති අසරණ පවුල්  හාරසීයකට  පමණ දැන් නිවාස හදලා ඉවර කරලා තියෙනවා. ඒ ජනතාවට  භාර කරලා තියනවා. ඒ වගේම පාසල් රැසක් ඉදි  කරල දීලා තියනවා තවත් විශාල සේවාවන් ඉටුකළා.”

    ‘වැටකොළුවාව    ගම්මානය  පිළිබඳව  මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාගේ ප්‍රවෘත්තිය අපේ  පදනම දැකලා තිබුණා. ඒ අනුව ඒ පුවත අපි දැක්කා මම කාංචනත් එක්ක  මේ ගම බලන්න ඇවිල්ලා මම තීරණය කළා මේ ගමේ පවුල් තිහකට නිවාස හදලා දෙන්න. ඒ අනුව තමයි දැන් නිවාස 13ක වැඩ ඉවර කළේ. කොරෝනා වසංගතය ආවේ නැත්නම් අපට මේවා කලින්ම හදලා දෙන්න තිබුණා. ඒත් මුළු ලෝකයම කොරොනා වලින් ආපස්සට ගියා නේ.”

    “අපි ඉදිරියටත්  නෙදර්ලන්ත  ජනතාවත් එක්ක එකතු වෙලා ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. මට දැන් වයස  අවුරුදු 70 ක් වෙනවා පුළුවන් තරම් මම ලංකාවේ ජනතාවට වැඩ කරනවා.”

    මාධ්‍යවේදියෙක් හැටියට කාංචන කුමාර ආරියදාස මහතාගේ හෙළිදරව් කිරීම් රැසකට  මම උදව් කළා. ගලේවෙල පැත්තේ විශාල පාසලකුත් හැදුවා. ඒ වගේම අසරණ මිනිස්සු රැසකට අපට ඒ මාධ්‍ය වාර්තා නිසා පිහිට වෙන්න  හැකියාව ලැබුණා. අපේ  නෙදර්ලන්ත  ජනතාවගෙත්  පිකාස්පෝන්  පදනමෙ  ස්තූතියි අපි පුදකර සිටිනවා.”

    මෙම ගම්මානයේ ජනතාව කියා සිටියේ තම ප්‍රදේශයට ජනමාධ්‍ය වේදීන් පැමිණීම නිසා විශාල සහනාධාර ලැබුණු බවය. නිවාස ලැබුණු සතුට නිසා එම ගම්මානයේ බොහෝ දෙනෙක් ඉතා සංවේදී වූ අතර නෙදර්ලන්තයේ සිට පැමිණි පීටර් වැන්ඩර් මහතා එම පිරිස සනසලන්නට ද විය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ විශේෂ සංචාරයක

    රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ විශේෂ සංචාරයක

    පුටින්ගේ අපේක්ෂිත සංචාරයේදී ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඉඩ ඇත.

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ වාර්ෂික ද්විපාර්ශ්වික සමුළුව සඳහා දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණෙනු ඇතැයි පැවසේ.

    සමුළුවට පෙර, ඉන්දියාව සහ රුසියාව මංගල ටුප්ලස් ටු (two-plus-two) විදේශ සහ ආරක්ෂක අමාත්‍ය සංවාදය පැවැත්විය හැකි අතර ඒ සඳහා දිනය සහ ස්ථානය තවමත් අවසන් කර නොමැත.

    දෙරට අතර විශේෂ සහ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරිත්වයට නව ජවයක් එක් කිරීමට ටූප්ලස් ටු සංවාදය හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

    රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි

    ජූනි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ පැවති සමුළු මට්ටමේ රැස්වීම සඳහා ජිනීවා සංචාරයෙන් පසු මෙම වසරේ රුසියානු ජනාධිපති පුටින්ගේ දෙවන විදේශ සංචාරය ඉන්දීය සංචාරය වනු ඇත.

    S-400 ගුවන් ආරක්ෂක පද්ධතියේ පළමු කණ්ඩායම මේ වසර අවසන් වන විට ඉන්දියාවට ළඟා වීමට නියමිතව තිබියදී මෙම සංචාරය සිදුවනු ඇත. 2018 වසරේදී පුටින් අවසන් වරට ඉන්දියාවට පැමිණ ඇත්තේ වාර්ෂික සමුළුව සඳහාය.

    කොවිඩ්-19 අර්බුදය හේතුවෙන් පසුගිය වසරේ වාර්ෂික සමුළුව පැවැත්වීමට නොහැකි විය.

    ඉන්දියාවට අදාළ රටවල් අතර මාරුවෙන් මාරුවට වාර්ෂික සමුළු මට්ටමේ යාන්ත්‍රණයක් ඇති එකම රටවල් දෙක ජපානය සහ රුසියාවයි.

    ඉන්දියාව සහ රුසියාව මේ වන විට වාර්ෂික සමුළු විස්සක් පවත්වා ඇත.

    2019 දී, අගමැති මෝදි ඈත පෙරදිග රුසියානු නගරයක් වන ව්ලැඩිවොස්ටොක් වෙත ගොස් ඇති අතර පස්වන නැගෙනහිර ආර්ථික සංසදයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ද විය. රුසියාවේ සංවර්ධනය සඳහා ඉන්දියානු ව්‍යාපාරික සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 1 ක ණය පහසුකමක් ප්‍රකාශයට පත් කළේය.

    indanewsnetwork

  • ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශනය මගින් ‘සාමකාමී ඇෆ්ගනිස්ථානයක්’ ඉල්ලා සිටී

    ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශනය මගින් ‘සාමකාමී ඇෆ්ගනිස්ථානයක්’ ඉල්ලා සිටී

    ඇෆ්ගනිස්ථානයේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ත්‍රස්තවාදය, රැඩිකල්කරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පැන නගින තර්ජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

    ඇෆ්ගනිස්ථානය සහ එහි භූමිය කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා නවාතැන් දීම, පුහුණු කිරීම, සැලසුම් කිරීම හෝ මුදල් සැපයීම සඳහා භාවිතා නොකළ යුතුය බව බදාදා ප්‍රකාශයට පත් කරන ලද රටවල් අටක ජාතික ආරක්ෂක උපදේශකයින් හෝ එම රටවල ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරුන් සහභාගී වූ දිල්ලි කලාපීය ආරක්ෂක සංවාදයේදී ප්‍රකාශයට පත් කෙරිණි .

    ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරන අන්දමට කලාපයේ රැඩිකල්කරණය, අන්තවාදය, බෙදුම්වාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ උවදුරට එරෙහිව සාමූහික සහයෝගීතාවයක් ඉල්ලා සිටින ‘ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශය’ ඒකාබද්ධ ප්‍රකාශයක් වේ .

    එය සියලු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දැඩි ලෙස හෙළා දකින අතර ඇෆ්ගනිස්ථානය කිසිදා ගෝලීය ත්‍රස්තවාදයට ආරක්ෂිත තෝතැන්නක් බවට පත් නොවන බව සහතික කිරීම සඳහා ත්‍රස්තවාදයට මුල්‍ය සැපයීම, ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීම සහ රැඩිකල්කරණයට එරෙහිව සටන් කිරීම ඇතුළු එහි සියලු ආකාරගේ ප්‍රථික්‍රියාවන් සහ ඔවුන්ගේ ප්‍රකාශනයන් තුළ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඔවුන්ගේ දැඩි කැපවීම යලි තහවුරු කළේය. .

    ඇෆ්ගනිස්ථානයේ සියලුම ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන සහ රටේ ප්‍රධාන ජනවාර්ගික-දේශපාලන බලවේග ඇතුළුව ඔවුන්ගේ සමාජයේ සියලුම කොටස්වල නියෝජනයක් ඇති විවෘත හා සැබවින්ම ඇතුළත් රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ප්‍රකාශය පුළුල්ව අවධාරණය කළේය.

    රටේ සාර්ථක ජාතික සංහිඳියා ක්‍රියාවලිය සඳහා සමාජයේ සියලුම කොටස් පරිපාලන හා දේශපාලන ව්‍යුහයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

    එය ස්වෛරීභාවය, එකමුතුකම සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අවධාරණය කරයි. සාමකාමී, සුරක්ෂිත සහ ස්ථාවර ඇෆ්ගනිස්ථානයක් සඳහා ශක්තිමත් සහය අවධාරනය කළේය.

    මෙම ප්‍රකාශය ඇෆ්ගනිස්ථානයේ ගොඩබිම් ඇතුළුව රටේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පැන නගින දුක් වේදනා පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ අතර කුන්දුස්, කන්දහාර් සහ කාබුල් හි ත්‍රස්ත ප්‍රහාර හෙළා දකී.

    ඇෆ්ගනිස්ථානය පිළිබඳ අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනා සිහිපත් කරමින් දිල්ලි කලාපීය ආරක්ෂක සංවාදයට සහභාගී වූවන් සඳහන් කළේ ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රධාන කාර්යභාරයක් ඇති බවයි. එය රට තුළ අඛණ්ඩව පැවත්ම ආරක්ෂා කළ යුතු යන්න ය.

    කාන්තාවන්, ළමුන් සහ සුළුතර ප්‍රජාවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ නොවන බවට සහතික වීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කර ඇත.

    සංවාදයට සහභාගී වූවන් ඇෆ්ගනිස්ථානයේ පිරිහෙමින් පවතින සමාජ-ආර්ථික සහ මානුෂීය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කළ අතර, ඇෆ්ගනිස්ථානයේ ජනතාවට කඩිනම් මානුෂීය ආධාර සැපයීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ.

    ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර බාධාවකින් තොරව, සෘජුව සහ සහතික විය යුතු බවත්, එම ආධාර රට තුළ වෙනස් කොට සැලකීමකින් තොරව ඇෆ්ගනිස්ථාන සමාජයේ සෑම අංශයකටම බෙදාහැරීම සිදුවිය යුතු බවත් ඔවුහු නැවත අවධාරණය කළහ.

    කොවිඩ්-19 පැතිරීම වැලැක්වීම සඳහා ඇෆ්ගනිස්ථානයට ආධාර සැපයීමට කැපවන බව ඔවුහු නැවත වරක් අවධාරණය කළහ. එසේම, ඔවුන් තම සංවාදයේ වැදගත්කම නැවත අවධාරණය කළ අතර අනාගතයේදී එකිනෙකා සමඟ කටයුතු කිරීමට එකඟ විය.

    ඇෆ්ගනිස්ථානය පිළිබඳ කලාපීය ආරක්ෂක සංවාදයට ඉන්දියාව, ඉරානය, කසකස්තානය, කිර්ගිස් ජනරජය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානයේ ජාතික ආරක්ෂක කවුන්සිලවල ජාතික ආරක්ෂක උපදේශකයින් / ලේකම්වරු සහභාගී වූහ.

  • 2022 අයවැයේ විශේෂතා සහ සම්පූර්ණ කතාව

    2022 අයවැයේ විශේෂතා සහ සම්පූර්ණ කතාව

    2022 වසරට නියමිය අයවැය ලේඛනය අද (11) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ මහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි.

    මේ අතර රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාරයට වර්ධනය වී තිබෙන බවට ද මුදල් අමාත්‍ය පැවසීය. “සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල් ගලා ආවේ නෑ. සෘජු විදේශ ආයෝජන ප්‍රමාණවත් තරම් ලැබුණේ නෑ. විදේශ විනිමය ලැබීම් සීමා වුණා. අප රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වෙලා තිබෙනවා. මුළු ආදායමට සමාන ලෙස ණය වී තිබෙනවා. මහින්ද රජපක්ෂ රජය රට භාර දෙන විට ණය ප්‍රමාණය 7487ක්. අපිට රට භාරවන විට ලැබුණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13032ක්. අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ණය පොලි ලෙස ගෙවීමට සිදුව තිබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    ශ්‍රී ලංකාව තුළ මේවන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි මුදල් අමාත්‍යවරයා පැවසීය. මේ අතර රජය මුහුණ දී ඇති වත්මන් අභියෝග කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම, වංචනික ව්‍යාපාර මෙහෙයුම ඉන් කිහිපයක් වේ.

    අයවැයෙන් වැඩිම මුදල වෙන්කර ඇත්තේ ණය ගෙවීම සඳහාය. මෙම රජය බාර ගන්නා විට රාජ්‍ය ණය රුපියල් බිලියන 13,032ක් බව ද මුදල් අමාත්‍යවරයා සදහන් කළේය. විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ යෝජනා අයවැය සැකසීමේදී සැලකිල්ලට ගත් බව ද අමාත්‍යවරයා පැවසීය

    2022 අයවැය ලේඛනයේ වැදගත් උපුටා ගැනීම් සහ සමස්ත අයවැය ලේඛනය පහත පළ වේ.

    • බැඳුම්කර සිද්ධියේ දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයථා අයුරින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරයට .
    • අනතුරුවලට ලක්වන මෝටර් රථවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා
    • නිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලු වාහන නිදහස් කරනවා. මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.
    • සිගරට් නිෂ්පාදන බද්ද වැඩිකරනවා . සිගරට්ටුවක මිල රුපියල් පහකින් වැඩි කරයි
    • එක් වරක් පමණක් අය කරන බදු රුපියල් මිලියන 2000 වඩා ආදායමක් ලබන පුද්ගලයන් හා සමාගම් මත 25% ක බද්දක්.
    • විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්
    • පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක්
    • කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක්
    • ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 700ක්
    • වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක්
    • වතු නිවාස දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්සීයක්
    • සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තම ප්‍රදේශයේ සවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5 කින් වැඩි කීරීමට යෝජනාවක්
    • මාර්ග සංවර්ධන සඳහා දැනට වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන 20000 ක්
    • රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කරයි
    • රාජ්‍ය ආයතනවල දුරකථන වියදම් 25% කින් කපා හැරීමට පියවර
    • පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර  10 ක් දක්වා දීර්ඝ කරයි
    • සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික පුනර්ජනනීය ඇතිකර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරිමට යෝජනා
    • 2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ.
    • කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
    • වගා නොකළ ඉඩම් තරුණයින්ට හා කාන්තාවන්ට වගා කිරිමට ලබා දෙයි

    [googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/11/Budget-Sinhala.pdf” ]

  • අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය එක රැයකින් වැනසෙයි !

    අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය එක රැයකින් වැනසෙයි !

    දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්‍රාම සේවා වසමේ නාවාගස්හින්න ප්‍රදේශයට  පසුගිය 10  දින රාත්‍රියේ කඩා වැදුණු වන අලි  රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් 200ක් පමණ විනාශ කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    දඹුල්ල නගරයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටා ඇති නවාගස්හීන්න  ප්‍රදේශය වැඩි වශයෙන් ගොවීන් ජිවත්වන ප්‍රදේශයක් බවත් දින ගණනාවක සිට වන අලි රංචුවක් ගම් වැදී මෙම විනාශය සිදුකරන බවත් ඔවුහු පවසති.

    නාවගස්හින්න ප්‍රදේශයට 10 රාත්‍රියේ පැමිණි වන අලින් රංචුව එම් ප්‍රදේශයේ ගොවීන් රැසකගේ පොල්  ගස් පෙරළා  ආහාරයට ගෙන තිබෙන බවත් ඇතැම් පොල් ගස් වල ඉහළ කොටසේ ගොබය ඇද ආහාරයට ගෙන ඇතැයි ගොවීහූ පෙන්වා දෙති.

    මේ විනාශය ගැන අදහස් දැක්වූ ගොවි මහතෙකු මෙසේ පැවසුවේය, ‘වන අලි රංචුව  විනාශ කළ පොල් ගස් ඉතා හොඳ  ඵලදාවක් තිබුණ ගස්. අපි අවුරුදු ගණනාවක් තිස්සේ කළ මහන්සිය එක රැයකින් ඉවරයි. මේ විනාශය අපිට දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හරියට දරුවෙක් නැති වුණා වාගේ දුකක් අපිට දැනෙන්නේ’

    ‘අපි අවුරුදු ගණනක් තිස්සේ අතින් වතුර ඇදලා තමයි මේ පොල්ගස් ලොකුකර ගත්තේ. ඒත් ඒ සේරම ඉවරයි. මේ ගස් බිම දාලා ඒකේ ගොබේ කෑල්ලක් විතරයි කාලා තියෙන්නේ. අපි බලධාරීන්ට කියන්නේ මේ වන අලි ගැටලුවට ඉක්මන් විසදුමක් දෙන්න. පැලැස්තර විසදුම් නම් එපා. ඒ වගේම මේ විනාශයට අපිට වන්දියක් ලබාදිය යුතුයි’

    ගල්කිරියාගම රණව රක්ෂිතයේ සිටින වන අලින් රංචුවක් මේ දිනවල පලාගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා හබරත්තාවල  ගම්මාන   විනාශ කරමින් මේ වන විට දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පවා ඇතුළු වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

    වහා විදුලි වැටක් ඉදිකර මෙම වන අලි හානිය අවම කර දෙන ලෙසත් එසේ නොමැති වුවහොත් රටේ පොල් ඵලදාවට බරපතළ හානියක් සිදුවන බවත් මෙම ගොවි ජනතාව පෙන්වා දෙති.

    ‘තාම සිදු වුණේ පොල්ගස් විනාශ කිරීම විතරයි. ඒත් මෙහෙම ගියොත් ජීවිත හානි පවා සිදුවිය හැකියි. ඒ නිසා ජීවිත හානියක් සිදුවීමට  පෙර  වහාම මෙම වන අලි ගම් වැදීම  පිළිබඳව  බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතුයි’ ඔවුහු වැඩි දුරටත් කියා සිටිති.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • රසායනික පොහොර යථාර්ථය

    රසායනික පොහොර යථාර්ථය

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

    යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව, බංගලාදේශය හා ඉන්දියාව වුවත් අපට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඇත. මීට ප්‍රධාන හේතුව නම් ලංකාවට ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂ හා බද්ධ වූ ප්‍රතිපත්ති මාලාවක් තිබීමය. පෙර සඳහන් කළ සියලු රටවල් වර්තමාන දියුණුව අත්පත් කරගත්තේ තමන්ගේම වූ ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියා කිරීමෙනි.

    ආණ්ඩුකරණයේ දේශපාලන පක්ෂය වෙනස් වූවද ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස් වූයේ නැත. එහෙත් අපේ රටේ තත්ත්වය වෙනස්ය. සෑම වසර පහකටම වරක් ජාතික යැයි කියන ප්‍රතිපත්ති වෙනස් වේ. එවිට ලියුම් කවරයේ සිට ලිපි ශීර්ෂ දක්වා සියල්ල වෙනස් වේ. එසේ වෙද්දී රටකට පැවැත්මක් සෙවීම කොහොමටත් දුෂ්කරය. රටක් සැබෑ දියුණුවක් ලබාගැනීමට නම් නිසැකයෙන්ම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මයට, කර්මාන්තවලට යනාදී වශයෙන් ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුය. විද්‍යාත්මක පදනමකින් ගොඩනැගිය යුතු මෙම ජාතික ප්‍රතිපත්ති වෙනස් කිරීමට දේශපාලන පක්ෂ කටයුතු නොකළ යුතුය. මන්දයත් ඒවා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් කාලානුරූපව රටේ දියුණුව සඳහා සකසා ඇති බැවිනි. එහෙත් අවාසනාවට අපේ රටේදී ජාතික යැයි කියන ප්‍රතිපත්ති ආණ්ඩු අනුව පමණක් නොව ඒ ඒ ආණ්ඩුවල ඇමැති මාරුවේදී පවා යළි වෙනස්වේ.

    යම්කිසි දේශපාලන පක්ෂයක් බලයට පත්වන්නේම රටේ තත්ත්වය දැනගෙනය. රටේ ආදායම වියදම ණය බර ආදිය ගැන ඔවුහු හොඳින් දනිති. ඒ නිසා රටක් පාලනය කිරීමට පත්වන ආණ්ඩුවකට ඒ රට පරීක්ෂණාගාරයක් හැටියට භාවිත කළ නොහැකිය. එහෙත් අවාසනාවට ලංකාවේදී බලයට පත්වන බොහෝ පිරිස් ආණ්ඩුකරණයේ බොහෝ දේ අත්හදාබැලීමට භාවිත කරන්නේ රට හා ජනතාවයි.
    මේ ආණ්ඩුව එසේ අත්හදාබැලීමට භාවිත කළේ රටේ ජීවනාලිය බඳු කෘෂිකර්මාන්තයයි.

    මෙය ඉතා භයානක ක්‍රීඩාවකි. කෘෂිකර්මාන්තය යනු ලංකාවට අදාළව ගත්කල අතිශය සංවේදී විෂයකි. ඒ ගැන තීන්දුවක් ගන්නේ නම් එය කළයුත්තේ සංයුක්තව සිතා බලා දූරදර්ශී ලෙසිනි. නොඑසේව හීනෙන් අවදි වූවන් ලෙසින් කෘෂිකර්මාන්තයට අදාළව තීන්දු ගත නොහැකිය.

    ලංකාවේ කෘෂිකර්මාන්තය යනු වසර හැත්තෑවක් පමණ දිගු කාලයක් තිස්සේ කෘත්‍රිම පොහොර මත යැපෙන කෘෂිකර්මාන්තයකි. ඊට හේතු සාධක ද ඇත. මේ මුළුලොවම රසායනික පොහොරවල නැඹුරු වූයේ හරිත විප්ලවය හෙවත් කෘෂිකාර්මික විප්ලවයත් සමගය.

    ඊට හේතුවූයේ ලොව ජනගහනය ඉතා වේගයෙන් වැඩිවෙද්දී ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වීමය. මෙය ලංකාවට ද අදාළය. මුළුමනින් කාබනික කෘෂිකර්මාන්තයකට යන්නට හැකි නම් මුළු ලොවම ඊට කැමැති වනු ඇත. එසේ නම් අප විමසිය යුත්තේ එවැන්නකට යථාර්ථයේදී ඉඩක් තිබේද කියාය.

    කාබනික පොහොර භාවිතයේදී එක්වරම පසට අයන පෝෂණය නිදහස් කරන්නේ නැත. කාබනික පොහොරෙන් ඒවා නිදහස් කරන්නේ ඉතාම මන්දගාමීවය.

    ගසකට කාබනික පොහොර යෙදූ විට ඒවා පාංශු ජලය ඔස්සේ උරාගන්නා අතර ඊට මාස තුනක් වැනි සැලකිය යුතු කාලයක් ගතවේ. එය කිසිසේත් කෙටිකාලීන බෝගවලට ගැළපෙන්නේ නැත.

    එසේ වුවහොත් අප වෙනස ආරම්භ කළයුත්තේ බීජවල සිටමය. මගේ විද්‍යාත්මක දැනීම හා අත්දැකීම අනුව නම් එසේ නොවුවහොත් සිදුවන්නේ සමස්ත කෘෂිකාර්මික පද්ධතියම බිඳවැටීමයි. අද වනවිට එම ඛේදනීය තත්ත්වයට රට ඇද දමා තිබේ. ඊට හේතුව නම් කෘෂිකර්මයෙහි භාවිත පොහොර ගැන ඉදිරිපත් කළ කුප්‍රකට තර්කයි.

    මේ අමුතු තර්ක ඉදිරිපත් කළ පිරිස කියන ආකාරයට පොහොරවලින් පසට බැර ලෝහ විශාල ප්‍රමාණයක් පැමිණ තිබේ. එනිසා පොහොර හා ඒවායේ සංයුතිය ගැන යම් දළ අදහසක් ඇතිකරගැනීම සාමාන්‍ය ජනයාට ද වටී. කෘත්‍රිම පොහොර හැටියට අප ප්‍රධාන වශයෙන්ම යොදන්නේ එන්.පී.කේ. ය. නයිට්‍රජන් සඳහා යූරියාත් පොස්පරස් සඳහා පොස්පරස් පොහොරත් පොටෑසියම් සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් හෝ ඊට අන්තර්ගත කළ වෙන යම් ලවණයකි.

    යූරියා යනු කෘත්‍රිමව පර් යේෂණාගාරයේ නිපදවන්නකි. මෙසේ කෘත්‍රිමව නිෂ්පාදනය කරන පොහොරේ කිසිදු අවස්ථාවක බැර ලෝහ අඩංගු වන්නේ නැත. බැර ලෝහ අඩංගුවීමට නම් එය ස්වාභාවික පරිසරයෙන් ගත් එකක් විය යුතුය. බැර ලෝහ යනු ස්වාභාවික පසේ තිබෙන දෙයකි. එසේ ස්වාභාවික ලෙස බැර ලෝහ නිෂ්පාදනය වන්නේ කෙසේද? පස නිර්මාණය වන්නේ පාෂාණවලිනි. නැතහොත් පාෂාණ ජීර්ණයවීමෙනි. පාෂාණ ජීර්ණය වෙද්දී නොයෙකුත් බැර ලෝහ සහ අකාබනික මූලද්‍රව්‍ය විවිධ සාන්ද්‍රණවලින් පවතී.

    පාෂාණය ජීර්ණයවීමත් සමග ඒ සංයුතීන් ද ස්වාභාවිකවම පසට ලැබේ. එය ස්වාභාවික ක්‍රියාවලියකි. ජපානය වැනි රටවල පස්වල බැර ලෝහ සාන්ද්‍රණය වැඩිය. මේ බැර ලෝහ පැමිණෙන්නේ නිතර ඇතිවන භූමිකම්පා හා ගිනි කඳු මගින් එන කැඩ්මාවලිනි. එසේ බලද්දී ජපානයේ පසෙහි බැර ලෝහ අන්තර්ගතය ලංකාවේ පසට වඩා කීප ගුණයකින් වැඩිය. එසේය කියා ජපන් වැසියන්ට අපට මෙන් වකුගඩු රෝග තිබේද? නැත. එසේනම් මේ කුප්‍රකට තර්කවලින් මෙතෙක් කර ඇත්තේ මහජනයා මුළා කිරීමය. මේ අයුරින්ම පොහොර සඳහා පොටෑසියම් ක්ලෝරයිඩ් ගන්නේ නිධිවලිනි. එය ලවණයකි. ලවණවල බැර ලෝහ අඩුය. බැර ලෝහ පැමිණිය හැකි යැයි සිතිය හැකි පොහොරක් වන්නේ පොස්පේට් පොහොරය. ලංකාවේ එප්පාවල පොස්පේට් නිධියේ බැර ලෝහ කිසියම් ප්‍රමාණයක් ඇත. එහෙත් එසේ බැර ලෝහ තිබුණේ යැයි කියා ද එම අන්තර්ගතයන්ගෙන් නිෂ්පාදනය කෙරෙන පොහොරෙන් පසට බලපෑමක් වන්නේ නැත.

    මිනිස් සිරුරක් රෝගී වීමට කොපමණ බැර ලෝහ ප්‍රමාණයක් ඇතුළත් විය යුතුදැයි මේ වනවිට විද්‍යාඥයෝ ගණනය කර ඇත්තාහ. නිදසුනකට එකවරම ආසනික් විශාල ප්‍රමාණයක් මිනිස් සිරුරට ඇතුළු කළහොත් පුද්ගලයා මිය යයි. ඉතාම සුළු සාන්ද්‍රණයකින් වසර ගණනක් තිස්සේ භාවිත කිරීමෙන් ද මිනිසකු මරණයට පත්විය හැකිය.

    නිදසුනකට බංගලාදේශයේ පසේ ආසනික් සාන්ද්‍රණය ඉතා අධිකය. ඉන්දියාවේ, පාකිස්ථානයේ, තායිලන්තයේ, වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ ඇතුළු වී වගා කරන රටවල් රැසක්ම මෙසේ පසේ ආසනික් සාන්ද්‍රණය වැඩි ස්ථානවලට නිදසුන් ලෙස දැක්විය හැකිය.

    ඊට බලපා ඇති භූවිද්‍යාත්මක හේතු ගණනාවක් ද ඇත. එවිට එම පස්වල වගා කරන වී වල නිරන්තරයෙන්ම ආසනික් සාන්ද්‍රණය අධිකය. මෙසේ ආසනික් සාන්ද්‍රණය වැඩි නිසා බංගලාදේශයේ මිනිසුන් ලක්ෂ ගණනකට පිළිකා හටගෙන ඇත. එහෙත් පිළිකා යැයි කී විට ද අප තේරුම් ගත යුතු කරුණක් තිබේ. එනම් පියයුරු පිළිකා, මොළේ පිළිකා, පෙණහලු පිළිකා, බඩවැල් පිළිකා ආදී වශයෙන් පිළිකා වර්ග ද ගණනක් ඇත.

    ආසනික් වැඩිවීමෙන් හටගන්නේ ආසාපෝසික් නමැති සමේ පිළිකාය. මෙම පිළිකාව ලංකාවේ කිසිම තැනක දකින්නට ලැබී නැත. එහෙත් බංගලාදේශයේ ලක්ෂ ගණනක් මිනිසුන්ට මෙම පිළිකාව හටගෙන ඇත. ඊට හේතුව ආසනික් සහිත ජලය පානය හා ආසනික් සහිත සහල් පරිභෝජනයයි.

    ලංකාවේ අපි කෘත්‍රිමව නිර්මාණය කරගත් ප්‍රශ්නය නිසා නම් දැන් මුහුණදීමට සිදුවන්නේ උත්ප්‍රාසජනක ඉරණමකටය. කාබනික වගාවට යනවා යැයි කියා අනුගමනය කළ පියවරවලින් සිදුවූයේ අස්වැන්න අඩුවීමය. දේශීය පරිභෝජනයටත් සහල් අඩු වූ විට යළිත් කරන්නේ විදේශවලින් සහල් ආනයනය කිරීමයි. එසේ ආනයනය කරන සහල් වගා කළේ කාබනික පොහොරවලින්ද? ඒ ආනයනික සහල් වගා කර ඇත්තේ ආසනික් සාන්ද්‍රණය අධික පසකදැයි අප දන්නවාද? මේ ආදී වශයෙන් ගත්විට අප විසින් කරනු ලැබ ඇත්තේ බලෙන් ප්‍රශ්න රැසක් නිර්මාණය කරගැනීමය.

    කුප්‍රකට උගතුන් කී පරිදි පොහොරෙන් බැර ලෝහ පැමිණියේ නම් අවුරුදු හැත්තෑවක් තිස්සේ දේශීය ගොවිතැනට යෙදූ පොහොරවලින් කොපමණ විශාල බැර ලෝහ ප්‍රමාණයක් ලක් පොළවේ තිබිය යුතුද? වෙනත් රටවල පස්වලත් කොපමණ විශාල ප්‍රමාණයක් බැර ලෝහ තිබිය යුතුද? පොහොරවලින් මේ කියන පරිදි බැර ලෝහ පාංශුගත වන බවට ඔප්පු කිරීමට ලොව කිසිම තැනක කළ විද්‍යාත්මක පරීක්ෂණයක් නැත. මේවා අමූලික බොරුය.

    මෙහි වේදනාව බොහෝදුරට අත්විඳින්නට අපට සිදුවන්නේ ලබන වසරේදීය. දැනටමත් වගාවේ නිරත ගොවීහු සිටින්නේ අතිදුෂ්කර අඩියකය. මේ ඇතැම් ගොවීහු වකුගඩු රෝගවලින් පෙළෙන්නෝය. ඔවුන්ට පානය කිරීමට පිරිසුදු ජලයවත් නැත. පීඩිතයෝය. එහෙත් දියුණු රටවල නම් ගොවීහු වනාහි සුඛෝපභෝගී රථ වාහනවලින් යනෙන දියුණු ආර්ථික ජීවිත හිමි පිරිසකි.

    ඊට හේතුව නම් ඒ රටවල ප්‍රතිපත්ති සකසන්නන් විසින් සිය ගොවියා ව්‍යවසායකයකු දක්වා වර්ධනය කරනු ලැබීමය. අවාසනාවට දේශීය ගොවියා මේ අසරණ අඩියට තල්ලු කරනු ලැබ තිබෙන්නේ ද දේශපාලකයන් විසින්මය. එක කන්නයක් වගා නොකළහොත් ඊළඟ කන්නයේදී ජීවත්වෙන්නටවත් ලංකාවේ ගොවියාට නොහැකිය. දැන් බෙල්ලෙන් අල්ලන්නට හදන්නේ ඒ ගොවියාගේය.

    රසායනික පොහොර නිසා බැර ලෝහ එන්නේ යැයි මොහොතකට සිතමු. එවිට ඔවුන් ඊට විකල්පය ලෙස යෝජනා කරන්නේ කාබනික පොහොරයි.

    කාබනික පොහොර යනු මොනවාද? දියර පොහොර, කොම්පෝස්ට්, වසුරු කාබනික පොහොර වර්ග කීපයකි. මේවායේ වස විස නැද්ද? මගේ එක් පර් යේෂණ ක්ෂේත්‍රයක් නම් කසළ කඳුවලින් සිදුවන පරිසර දූෂණයයි. මගේ පර් යේෂණවලදී දුටු දෙයක් නම් මේ කසළ කඳුවලින් ගලා යන ජලයේ බැර ලෝහ අනන්තවත් ඇති බවය.

    ලංකාවේ කසළ කඳු 260කට අධික සංඛ්‍යාවක් ඇති අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පවත්වාගෙන යන්නේ ඉන් දෙකක් පමණි. කොම්පෝස්ට් සැකසීමට මේ කසළ කඳුද භාවිත කරයි. කොම්පෝස්ට් සම්බන්ධයෙන් මා කළ පර් යේෂණවේදී දැකගැනීමට හැකිවුණේ ඒවායේ මයික්‍රොප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් අන්තර්ගත බවයි. මයික්‍රොප්ලාස්ටික්වලටත් අමතරව මේ කොම්පෝස්ට්වල බැර ලෝහ ඉතා අධික සාන්ද්‍රණවලින් පවතී. කසළ කඳුවලින් සැකසූ මේ කොම්පෝස්ට්වලින් ඇත්තටම කෙරෙන්නේ කුණු ගොඩේ පවතින බැරලෝහ ගොවිබිමට මුහු කිරීමය.

    ලංකාවේ කසළවලින් සකසන කොම්පෝස්ට්වල බැර ලෝහ තිබේ නම් චීනයෙන් ගෙනෙන කොම්පෝස්ට්වල ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. තවද මයික්‍රොප්ලාස්ටික් හා බැඳුණු ටැලේට් වැනි විෂ කාබනික සංයෝග ද මේ හරහා ගොවිබිමට පැමිණේ. (පොලිතින් හා ප්ලාස්ටික්වල නම්‍යශීලීත්වය වර්ධනය කරනු ලබන්නේ ටැලේට් විසිනි.) මේවා ගැන කවුරුවත් කතා කරන්නේ නැත. ඌරු හා කුකුල් කොටුවලින් ගන්නා වසුරු පොහොරවල කතාව ද මීට වෙනස් නැත. මේ සත්ව ගොවිපොළවලදී හෝමෝන හා ප්‍රතිජීවක යනු නිතර භාවිතයට ගන්නා දේය.

    මේ සතුන්ගේ වසුරුවල අදාළ හෝමෝන හා ප්‍රතිජීවක අධිසාන්ද්‍රණවලින් තිබේ. පරීක්ෂණ මගින් අප ඒ බව සොයාගෙන ද ඇත. මේ වසුරු පොහොර කුඹුරට එකතු කළ විට පෙර කී හෝමෝන හා ප්‍රතිජීවක ජලය මගින් වී පැළයට උරාගන්නා අතර ඒවායේ අවසාන නැවතුම මිනිස් සිරුරයි. මෙසේ ආහාරයෙන් ප්‍රතිජීවක සිරුරට පැමිණීමේ අවුල නම් රෝගයක් වැළඳුණු අවස්ථාවක ඖෂධයක් හැටියට අප ගන්නා ප්‍රතිජීවකවලින් අපට ඵලක් නොවීමයි. කාබනික කෘෂිකර්මයක් ගැන කතා කරන්නෝ මේවා ගැන සොයා තිබේද?

    මට හිතෙන හැටියට නම් රට මේ තැනට වැටීමට අප සියලුදෙනාම වගකිව යුතුය. නිදසුනකට අතීතයේදී අමාත්‍යාංශ ලේකම්වරයකු යනු පරිපාලනය පිළිබඳ කප්පිත්තෙකි. ඒ කප්පිත්තා තීන්දු ගැනීමට අදාළ ප්‍රතිපත්ති සැකසුම් සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා දැනුවත් කරයි. එහෙත් දැන් තත්ත්වය තිබෙන්නේ කනපිට පෙරළිලාය. තනතුරුවලට පැමිණෙන්නෝ එක්කෝ ඇමැතිගේ හෙංචයියෙකි. නැත්නම් පක්ෂයේ හෙංචයියෙකි. මෙයින් සිදුවන්නේ එම තනතුරේ වගකීම ඉටු නොවීමය. මේ නිසා අද වනවිට ලංකාවේ ජනප්‍රිය කර ඇති වැරැදි මත ප්‍රචාර රැවටීම් රැසකි. ඒවාට කිසිදු විද්‍යාත්මකභාවයක් නැති අතර ඇත්තේ හුදු දේශපාලනයම පමණි.

    රජරට ජලයේ ආසනික් ඇතැයි නාථ දෙවියන් කළ අනාවරණය ඊට එක් කුප්‍රකට උදාහරණයකි. පර් යේෂණ කිරීමට ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් පවතී. නාථ දෙවියන් හෝ කතරගම දෙවියන් කීවා යැයි කෙරෙන පර් යේෂණ ගැන අපි නම් දන්නේ නැත. සාමාන්‍ය ජනයා මෙවැනි විප්‍රකාරවලින් රැවටීම පසුපස ඇත්තේ ද දේශපාලනයයි. ඒ දේශපාලනයේ ඇත්තේ කොමිස්, තනතුරු, වරදාන, වරප්‍රසාද මිස ජනතා සේවයක් නම් නොවේ. ඉතින් මා සිතන්නේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යනු සාමාන්‍ය ජනයාට මේ දුර්මත ගැන ඇත්ත කීමට ප්‍රාමාණිකයන් පෙරට පැමිණිය යුතු අවස්ථාවක් බවය.

    සමාජයට දේශපාලනයට විද්‍යාවට අදාළ විෂය රැසකි. ඒවායේ ප්‍රාමාණිකයෝ වනාහි ඒ ඒ විෂයෙහි දැනුම ප්‍රතිනිෂ්පාදනය කරමින් අත්දැකීම් ලැබුවෝය. එවිට තමන්ට අදාළ නොවන විෂය ගැන තීරණාත්මක මැදිහත්වීම් කිරීම රටකට අදාළව ගත්විට ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වුව පාර කැපිය හැකිය.

    අප වෛද්‍යවරුන්ගේ කාරිය කරන්නට ගියහොත් සිදුවන්නේ මහා විනාශයකි. මේ තර්කය කෘෂිකර්මයටත් පොදුය. මේ රටේ කෘෂි විද්‍යාඥයන්, ස්වාභාවික සම්පත් පිළිබඳ විද්‍යාඥයන්, පාංශු විද්‍යාඥයන්, පරිසරය පිළිබඳ විද්‍යාඥයන් සිටින්නේ ඒ පිළිබඳ කතා කිරීමටය. පොහොරෙන් බැර ලෝහ එන බවට තර්ක කරමින් කාබනික කෘෂිකර්මයට යන්නට වැරැදි තර්ක හැදුවෝ අයත්වන්නේ ද මේ විෂය පටලවාගත් ගොඩටය. මේ තර්කයෙන් සිදුවූයේ සාමාන්‍ය ජනයා මුළා කිරීම පමණි. ඒ අර්ථයෙන් බලද්දී මෙතෙක් අපෙන් ඉටු නොවූ වගකීම ඉටු කිරීමට අපට එළඹී ඇත්තේ ද ස්වර්ණමය අවස්ථාවකි. නාථ දෙවියන්ගෙන් ආසනික් මතුවීමත් පොහොරවලින් බැර ලෝහ මතුවීමත් යන නාටකීය දේශපාලනයේ ඇත්තේ එකම පදනමකි. එහි නිරුවත් ඇත්ත ජනයා හමුවේ හෙළිදරව් කිරීම සෑම විෂය ප්‍රාමාණිකයකුගේම වගකීමකි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ

    සංවාද සටහන බිඟුන් මේනක ගමගේ – ලංකාදීප පුවත්පත ඇසුරිනි

  • දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

    දඹුල්ලට ආර්ථිකේට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වුණ සැබෑ හේතුව කුමක්ද ?

    රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා උදෑසන හතර සිට දහවල් වන තුරු ම දැඩි තදබදයක් පැවතිය ද මෙදින ආර්ථික  මධ්‍යස්ථානය යම් පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

    කන්ද  උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු බොහොමයක් ආර්ථික මධ්‍යස්ථානයට  නොලැබී  ඇති අතර පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු වර්ග ද සියයට 90කින්  පමණ පහළ වැටී ඇත.

    ආර්ථික  මධ්‍යස්ථානයට වට්ටක්කා, අමුමිරිස්, බීට් රූට් සහ කැකිරි වැනි එළවළු වර්ග වැඩි වශයෙන් ලැබී තිබිණි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ සමස්තයක් ලෙස සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් මාස වල  දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට  ලැබෙන එළවළු  ප්‍රමාණය අඩුවන බවය. එමෙන්ම ඊට හේතුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ කන්න මාරුවීමේ කාලරාමුව බව ද වසර 10ක පමණ දත්ත පරික්ෂා කිරීමේදී වුවද මෙම තත්ත්වය පහසුවෙන් දැකබලා ගැනීමට හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් මෙවර ඊට වඩා වෙනස් ආකාරයකින් වෙළෙඳපොළ හැසිරෙන බවත් සාමාන්‍යයෙන් දිනකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 30ක් 35ක් සහ ඇතැම් දිනවල එළවළු කිලෝ ලක්ෂ 50 ඉක්මවා ලැබෙන බවත් එහෙත් අද දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණේ එළවළු කිලෝ ලක්ෂයක් එකහමාරක් දෙකක් පමණ බවත් ඔහු පැවසුවේය.

    එළවළු මිල දී ගැනීම සඳහා එන ව්‍යාපාරිකයින්ගේ මෙන්ම ගොවීන්ගේ නිෂ්පාදන ද අඩු වීම පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිදුවූවක් බව ද විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

    ආර්ථික  මධ්‍යස්ථානයට තම අස්වැන්න රැගෙන විත් සිටි ගොවීන් පිරිසක් කියා සිටියේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ රටේ පවතින කෘමිනාශක හා රසායනික පොහොර හිගකම නිසා ගොවීන් බහුතරයක් එළවළු අස්වැන්න නෙළීම අතහැර දමා වගාවෙන් පවා ඉවත්ව සිටින බවය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ සභාපති  යු. බී. ඒකනායක මහතා කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු අලෙවි කිරීමේ දිවයිනේ ප්‍රමුකම  වෙළෙඳ මධ්‍යස්ථානයක් බවත් එළවළු වගාකරන ගොවීන් සමග තම  ව්‍යාපාරික ප්‍රජාව ගහට පොත්ත මෙන් බැදී සිටින බවත්ය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඒකනායක මහතා, ‘එළවළු සහ දේශීය ලොකු ලූනු වගා කිරීම් සඳහා ව්‍යාපාරිකයන් ගොවීන්ට පොහොර, කෘමිනාශක, බීජ සහ ඉන්ධන ලබා ගැනීම සඳහා කෝටි ගණනාවක් මුදල් වියදම් ලබා දෙනවා. ඒක බොහෝ කාලයක් තිස්සේ සිදුවන දෙයක්. හරියට සම්ප්‍රදායක් වගේ. නමුත් මෙවර එකම ගොවියකු හෝ තම ව්‍යාපාරිකයන්ගෙන් වගාවට අවශ්‍ය පොහොර, තෙල් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා  මුදලක් ලබාගෙන නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී එළවළු සහ වගාවන්වල විශාල අඩුවක් සිදුවන බවයි’

    මෙහිදී ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ විදේශීය බීජ වර්ග ලංකාව පුරා ගොවීන්ට අලෙවි කොට  දේශීයව නිෂ්පාදනය කරගන ගන්නා පොහොර භාවිතය කිරීම සඳහා රජය උපදෙස් ලබාදී තිබීම නිසා ගොවීන්ට බරපතළ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බවය.

    ‘ප්‍රශ්නය තියෙන්නේ මේ විදේශීය බීජවලට හරි හරියට රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධනාශක යෙදිය යුතුයි. ඒවායින් හරියට අස්වැන්නක් ගන්න පුළුවන් එහෙම කළොත් විතරයි. එහෙම නොකොට කාබනික පොහොරවලින් නිසි ඵලදාවක් ගන්න බැහැ’’

    දිවයිනේ මහ  පොළොවට සරිලන බීජ නිෂ්පාදනය කොට ලබා දුන්නේ නම් ගොවීන් වගාවට එක්වන බව පෙන්වා දෙමින්  ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙහි ආදීනව ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට මුළු රටටම දැක බලා ගැනීමට හැකිවනු ඇති බවය.

    සටහන සහ ඡායාරූප – කංචන කුමාර ආරියදාස