Author: Editor

  • ‘මේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බෑ‘

    ‘මේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බෑ‘

    අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

    ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිණි. එහිදී වැඩිදුරයත් දැක්වූ අදහස්.

    “ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ සිට කිරිපිටි, ගෑස්, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙතෙක් ක්‍රියාත්මක වුණු මිල පාලනය ඉවත් කළා. මේ අතර ජනතාවට ඉදිරි අවුරුද්දේ බර පටවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලය පුරාම සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඉතාම පීඩාවට පත්කරමින් කිරිපිටි, ගෑස්, පෝලිම් නිර්මාණය කර තිබුණා. රාජපක්‍ෂ පාලනයේ බැරිකම මහ පාරේ පෙන්නුම් කළා. ජනතාවගේ වේදනාව මාධ්‍යවලින් අපි දැක්කා. හිඟකම නිර්මාණය කරලා ඊට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ ජනතාවට බර පටවන එකයි. පවතින ආර්ථික අර්බුදය නිසා විශේෂයෙන් විදේශ විනිමය හිඟයක් පවතිනවා. මේ නිසා අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වුණා. ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රුපියල් 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1,200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි.”

    ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි

    “ආණ්ඩුවේ පාලනයත් මිල පාලනයත් ගිලිහී යාමෙන් පාරිභෝගික අධිකාරිය, පාරිභොගික ඇමතිවරයා මොකද කරන්නේ? හිඟයකින් තොරව භාණ්ඩ සපයන්න කටයුතු කරන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියා තිබෙනවා. ආණ්ඩුව කරන්නේ මිල පාලනය ඉවත් කිරීමයි. මේ නිසා හිඟය හදපු අයම මිල වැඩිකරලා හිඟය අවසන් බව කියනවා. ජනතාවගේ කටින්ම කීයට හරි ගන්න බඩු දෙන්න කියලා කියයවලා ජනතාව වේදනාවට පත්කරලා. කිරිපිටි පෝලිමේ ඉන්න මිනිස්සු වැඩිමිලට හරි කමක් නැහැ භාණ්ඩ දෙන්න කියන තැනට පොළඹවා තිබෙනවා. හැම භාණ්ඩයකටම මේ වැඩේ කරනවා. ආණ්ඩුවේ පාලනය ජාවාරම්කාර වළල්ලේ කිහිප දෙනෙක් අතට අද ගිහිල්ලා තියෙනවා. සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟම ඩඞ්ලි මුදලාලි මිල තීරණය කළා. කිරිපිටි මිල තීරණය කරන්නේ ඒ ව්‍යාපාර කරන අයයි. සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙනුත් එහෙමයි. තත්වය මේක නම් රාජපක්‍ෂ ආණ්ඩුව මොකද කරන්නේ? වරායේ හිරවී තිබෙන භාණ්ඩ මුදාහරින්න විදේශ විනිමය සචිතයෙන් ඩොලර් මිලියන 50ක් නිදහස් කර දුන්නා. ව්‍යාපාරික ප්‍රජාවටත් සාමාන්‍ය ජනතාවටත් සාධාරණය ඉෂ්ට කිරීම ආණ්ඩුවේ වගකීමක්. සතොසෙන් ඇති තරම් භාණ්ඩ ගෙනත් දෙනවා, යට ඇඳුම් පවා ගෙනත් තියෙන බවට පම්පෝරි ගැහුවත් අද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ට කියන්න දෙයක් නැහැ. හේතුව අද ආණ්ඩුවේ පාලනයක් නැහැ. පීඩාවට පත්වී සිටින ජනතාවට ආණ්ඩුව පහර පිට පහර දෙමින් ඉන්නවා. තමන්ගේ මිත්‍රයින්ට සැලකිලි කළාට ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි මේක.”

    පැලැස්තර විසඳුම්වත් නැහැ…

    “ලාෆ් ගෑස් සමාගමට මහජන බැංකුවෙන් ඩොලර් මිලියන ගණන් ණය පහසුකම් ලබාදුන්නා. ඒ පහසුකමත් අරගෙන මිල වැඩි කරන්න ඉල්ලනවා. එතකොට පාරිභෝගිකයාට මොකද වෙන්නේ? මේ වන විටත් ආනයනික භාණ්ඩ ගෙන්වන්න බැරි අර්බුදයක් තිබෙනවා. මේ නිසා මිල විශාල වශයෙන් වැඩිවීී තිබෙනවා. මේ තත්වය යටතේ සාධාරණ මිලකට භාණ්ඩ සැපයීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගයෙන් අද ඉවත් වෙමින් ඉන්නවා. හදිසි නීති දාලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කරලා ගොඩක් උත්සාහ කරන බව පෙන්නුවා. හැබැයි අද කාටද සාධාරණය ඉෂ්ට වෙලා තියෙන්නේ? ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහල් තිරිඟු පිටි සම්බන්ධයෙන් අහිංසක ජනතාවට බර පැටවීමේ ක්‍රියාමාර්ග දිගටම ගනිමින් ඉන්නවා. කොරෝනා තත්වය නිසා රැකියා අහිමිවී ආදායම් අහිමි වී අසරණ වී සිටින ජනතාවට පහර ගහලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයෙන් ඉවත් වීමේ තීරණයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට පැලැස්තර විසඳුම්වත් නැති බවයි. එද වේල ගෙවාගන්න කැබිනට් මණ්ඩලය රැස්වුණත් ජනතාව පීඩාවට පත්කරන ක්‍රමවේදයක් පත්කරමින් තිබෙන බව තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත පදනම්කරගෙන අයවැය යෝජනා ගෙන එනවා. විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ප්‍රශ්න නියෝජනය වෙන්නේ නැහැ. ජනතාව සිටින පීඩාකාරී ජීවිතය සම්බන්ධයෙන් විසඳුම් ආණ්ඩුවට නැහැ. හැමදාම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ වියදම් අඩුවෙන් පෙන්නලා. ණය ගන්න සීමාව අඩුවෙන් පෙන්නලා. හැබැයි අයවැයෙන් ඇත්ත වියදම් පෙන්වනවා. ඊට පස්සෙත් පරිපූරක ඇස්තමේන්තු දාලා තවත් වියදම් වැඩිකර ගන්නවා.”

    මහ පොළොවේ සිද්ධ වෙන දේවලින් සාක්ෂි දරනවා…

    “මේ නිසා අයවැය පරතරය විශාල වශයෙන් වැඩිවී ජනතාව පීඩාවට පත්කරනවා. අද සිදුකරමින් තිබෙන්නෙත් ඒක. දැන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනතෙන් ආණ්ඩුවේ වියදම් බිලියන 2505ක් බව පෙන්වනවා. නමුත් 2021 වියදම්වලට ආසන්න වශයෙන් බිලියන 5,000ක් වියදම් වෙන බව පෙන්නුවා. දැන් ණය සීමාවත් බිලියන 3184ක් කියලා පෙන්වලා තියෙනවා. මේවා නිකං ඉලක්කං විතරයි. ඇත්ත උත්තර සොයන ක්‍රියාමාර්ග නෙවෙයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත ප්‍රශ්න නියෝජනය කරන, ඒ ප්‍රශ්නවලට උත්තර හොයන තැනක් බවට පත්වී නැහැ. දැන් මහ පොළොවේ සිද්ධ වෙන දේවලින් ඒ බව හොඳින් පෙන්නුම් කරනවා. 2021 අමාත්‍යාංශවලට වෙන්කර තිබෙන මුදල් කොරෝනා තත්වය හමුවේ ඉතිරි වෙන්න ඕනෑ. ඒ මුදල් ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න විසඳීමට යෙදවීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. සංචාරක අමාත්‍යාංශයට බිලියන 55ක් වෙන්කර තිබුණා. එයින් 84%ක් ඉතිරි වී තිබෙනවා. අධිවේගී මාර්ගවලට වෙන්කළ මුදල්වලින් 76%ක් ඉතිරි වී තිබෙනවා. මේ ඉතිරි මුදල් අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවන්න ඕනෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයට බිලියන 16ක් වෙන්කළා. නමුත් අගෝස්තු 31 වනවිට වියදම් කර තිබෙන්නේ බිලියන 05යි. පොහොර නැතිව ගොවිතැන විනාශ වුණු ජනතාවට වන්දි ගෙවන්නවත් මේ මුදල් යොදවන්නේ නැහැ. කෘෂිකර්මාන්තය කරුමයක් බවට පත්වී සිටින ගොවි ජනතාවට හුස්ම ගන්න සහනයක් දෙන්න ආණ්ඩුවට පුළුවන්. ඒ ගොල්ලෝ සාම්ප්‍රදායික ඉලක්කම්වලින් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා.”

    හමුදාවල විශේෂ දීමනාව අවුරුදු 03කින් ගෙවා නැහැ…

    “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ඇත්ත ජීවිතය පෙන්වන්නේ නැහැ. ඇත්ත ජීවිතය තියෙන්නේ මහා පාරේ පෝලිම්වල. ආණ්ඩුවේ බැරිකම නිසා ජනතාවගේ ප්‍රශ්න කැකෑරෙන මට්ටමට ඇවිත් තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමේ ගනුදෙනු. මේ නිසා හැම පැත්තෙන්ම පීඩාවට පත්වී සිටින ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්‍රාම වැටුප් අහිමි වුණු සහ විශ්‍රාම වැටුප් විෂමතාවයට පත්වුණු අයට විසඳුම් නැහැ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයටත් ඉතිරි වී තිබෙන ප්‍රතිපාදනවලින් යොදවන්නේ නැහැ. සෞඛ්‍ය සේවයේ කොවිඞ් වසංගත තත්වය පවා වැඩකළ අයට දෙන්න තියෙන ප්‍රතිපාදනත් නවතා දමා තිබෙනවා. ඔවුන්ටත් අද උද්ඝෝෂණය කරන්න සිදුවී තිබෙනවා. හමුදාවල සේවය කරන අයගේ විශේෂ දීමනාව අවුරුදු 03කින් ගෙවා නැහැ. නමුත් ඒ අය කාබනික පොහොර නිෂ්පාදනයට යොදවා තිබෙනවා. මේ හැම දෙනාම භාණ්ඩ මිල වැඩිවීමෙන් පීඩා විඳිනවා. මේ ආණ්ඩු හදපු ජනතාව මේ තත්වය තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩු පත්කරලා සහනයක් බලාපොරොත්තු වුණු ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුවට පාලනයකුත් නැහැ, ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා විතරයි. ආණ්ඩුව යන මේ ගමන නවත්වන්න මහජන බලවේග සූදානම්. ආණ්ඩුව බලයට පත්කරන්න කතිරය ගැසූ සැම ඡන්ද දායකයෙක්ගෙන්ම අපි ඉල්ලන්නේ ඇත්ත තත්වය තේරුම් ගන්නා ලෙසයි. මේ පාලනය වෙනස් කරලා මහජනතාවට වග කියන මහජන පාලනයක් නිර්මාණය කරගන්න පෙළ ගැසිය යුතුව තිබෙන බව මේ සෑම කාරණයකින්ම පැහැදිලි වී තිබෙනවා.”

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

    “මහින්ද රාජපක්‍ෂ මහත්මයා ජනාධිපතිවරණයෙන් පරාද වුණාට පස්සේ කීවේ හොරු ආරක්‍ෂා කළ නිසා පැරදුණු බවයි. හොරුන්ගේ ෆයිල් තමන් ළඟ තිබුණත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත් නිසා පැරදුණු බව කීවා. අපිට අහන්න තියෙන්නේ එක දෙයයි. එදා සිටි හොරුන්ගෙන් අද නැත්තේ කවුද කියලයි. එදාට වඩා අලුත් හොරු එකතු වී ඉන්නවා හැර අඩුවී නැහැ. රාජපක්‍ෂ පවුල ගත්තත් එහෙම තමයි. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ලෝකයේ කොහේ හිටියත් ගේනවා කියූ අය පවුලේ කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව අපි දන්නවා. එදා අනුර දිසානායක සහෝදරයා හෙළිකළ තොරතුරු පිළිගන්න අකමැති වුණු අයට දැන් සියලුම දේවල් හෙළිවී තිබෙනවා. පරීක්‍ෂණවලටට විශ්‍රාමික විනිසුරුවරුන් පත්කරන බව කියනවා. ඒ ගොල්ලොම ප්‍රශ්නය දීලා ඒ ගොල්ලොම උත්තර බලාපොරොත්තු වෙනවා. මේ ජාතියේ කොමිෂන් අපි කොච්චර දැක තිබෙනවාද? එවකට සිටි ජගත් බාලපටබැඳි අල්ලස් කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව මම පුද්ගලිකව පැමිණිල්ලක් කර තිබෙනවා. අද වෙනතුරු මගෙන් විමසීමක්වත් කර නැහැ. මේවාගෙන් ඇත්ත හෙළිදරව් වෙන්නේ නැහැ. අනික් පැත්තෙන් පැන්ඩෝරා වාර්තාවෙන් නිරූපමා රාජපක්‍ෂගේ නම හෙළිවුණාට අනෙක් රාජපක්‍ෂලා ගැන හෙළිවෙන්නේ නැහැ. මේ රාජපක්‍ෂ පාලනයෙන් පැන්ඩෝරා සම්බන්ධයෙන් හොයන්න සාධාරණ පරීක්‍ෂණයක් පවත්වයි කියලා හිතනවා නම් ඒ තරම් මිත්‍යාවක් තවත් නැහැ.”

  • පියයුරු පිළිකා: පියයුරු ගැන ඔබ සිතන දේ හරිද ?

    පියයුරු පිළිකා: පියයුරු ගැන ඔබ සිතන දේ හරිද ?

    ලුසී ගේ පියයුරේ ගැටිත්තක් තිබෙන බව දැනගත් මොහොතේ පිළිකාවක් පිළිබඳව අල්ප මාත්‍රයක සිතුවිල්ලක්වත් ඇයට පහළ නොවුණි. ගැටිත්තක සේයාවක් හෝ වේදැයි නිතිපතා පරීක්ෂා කිරීම ඇයගේ සිරිත නොවේ. මෙය අහම්බෙන් දැනගත් දෙයකි.

    “මම හිතාගෙන හිටියේ පියයුරු පරීක්ෂා කිරීම පටන් ගන්න ඕන වයස අවුරුදු 50 විතර වෙනකොට කියල.” ලුසී බීබීසීයට පැවසුවාය.

    කෙසේ නමුත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් වුවාය. ප්‍රතිඵලය සතුට දනවන්නක් නොවීය. 26 හැවිරිදි ලුසීගේ පියයුරේ පිළිකාවක් වර්ධනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් සනාථ විය. පියයුරක ගැටිත්තක් නිරීක්ෂණය වූ සැනින් එය පරීක්ෂා කරවා ගැනීමට යොමු වීම ඉතා වැදගත් ය. ලුසීට එදින නිවාඩු දිනයක් වූ බැවින් සිය වෛද්‍යවරයා හමුවීමට අප්‍රමාදව තීරණය කළාය.

    “හොඳ වෙලාවට මට එදා නිවාඩු දිනයක් වුණේ; මම හැමදාම ඒ ගැන හිතනවා. ප්‍රමාද වුනානම් මගේ කතාන්තරය මීට වඩා වෙනස් වෙන්න තිබුනා.”

    Lucy with a shaved head
    “මගේ පෙනුම වෙනස් වුනා. මගේ හම අවලස්සන වුණා. හිසකෙස් හැලුණා. ඒ විතරක් නෙවෙයි, ඇහිබැම සහ ඇහි පිහාටු පවා හැලුණා”

    වෛද්‍යවරයා විසින් පිළිකා පිළිබඳ විශේෂඥයන් වෙත ලුසී යොමුකරන ලද මොහොතේ හෝ තමන්ට පිළිකාවක් වේයැයි ඇය නොසිතුවාය.

    ලුසී විශේෂඥ පරීක්ෂාවට ලක්වෙද්දී ඇයට අමුත්තක් දැනුණි.

    “වෛද්‍යවරයා නිහඬ වුණා.” ලුසී පැවසුවාය.

    තමන්ට පිළිකාවක් වැළඳී ඇතිබව සතියකට පසුව දැනුම් දී තිබේ. එය ඉක්මනින් පැතිරී යන බව ද ඇයට දැනගන්නට ලැබුණි. නොපමාව කීමෝ ප්‍රතිකාරය (chemotherapy), විකිරණ චිකිත්සාව (radiotherapy) සහ සැත්කමක් ද සිදුකළ යුතු බව වෛද්‍යවරු පැවසුහ. ප්‍රතිකාර ආරම්භවීමෙන් අනතුරුව තම ජීවිතය වෙනස් වූ අයුරු ඇය විස්තර කළාය.

    “සමහර දවස්වල මට කිසිම දෙයක් කන්න බැරි තත්ත්වයට පත්වුණා. නිදාගන්න බැරිවුණා. මම දවසකට පැය 20ක් විතර අවදියෙන් ඉන්නවා. දිගටම ඇඳේ වැතිරිලා ඔහේ ඉන්නවා. මගේ පෙනුම වෙනස් වුනා. මගේ හම අවලස්සන වුණා. හිසකෙස් හැලුණා. ඒ විතරක් නෙවෙයි, ඇහිබැම සහ ඇහි පිහාටු පවා හැලුණා.” ලුසී පැවසුවාය.

    සැත්කමෙන් සහ විකිරණ චිකිත්සාවෙන් පසුව ලුසීට ලැබුණේ සුභ ආරංචියකි – පිළිකා සෛල සියල්ල විනාශ වී ඇති බවය.

    Lucy with a cake which says "Last day of chemo"
    පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටින සංවිධානයක් (CoppaFeel!) සමඟ ලුසී එක් වුවාය

    ලෙඩ සඟවාගෙන

    නමුත්, හෝමෝන ප්‍රතිකාරය තවදුරටත් කරගෙන යා යුතු වේ. එය සිදුවන අතරවාරයේ ඇය සමාජ සත්කාරයක ද නිරත වන්නීය. තුරුණු වියේ සිටින කාන්තාවන්ට ද පියයුරු පිළිකා වර්ධනය විය හැකි බවට සමාජය දැනුවත් කිරීම සඳහා තම අත්දැකීම බෙදාහදා ගැනීමට ඇය කටයුතු කරන්නීය. පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටින සංවිධානයක් (CoppaFeel!) සමඟ ලුසී එක් වුවාය.

    “හිතන්න එපා එය ඔබට හැදෙන එකක් නැහැ කියල. අශුභවාදී වෙන්න කියනවා නොවෙයි. නමුත් දැනුවත්ව සිටිය යුතුයි. සමහරු ලෙඩ ගැන කතා කරන්න කැමති නැහැ. සමහරු ඒවා සඟවාගෙන ඉන්නවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි ඒවා ගැන විවෘතව කතා කළ යුතුයි.”

    Fran in a garden
    “හොඳම සාක්ෂිය තමයි මම.” ෆ්රාන් පවසන්නීය

    තමන්ට මෙවැනි දෙයකට මෙතරම් ඉක්මනින් මුහුණ දෙන්නට සිදුවේයැයි 24 හැවිරිදි ෆ්රාන් ද නොසිතුවාය. ඇයගේ පියයුරක කුඩා ගැටයක් වැනි දෙයක් ඇය නිරීක්ෂණය කළාය. මුලදී වෛද්‍යවරුන් ඇය නැවත හරවා ඇරියේ එය හෝමෝන හේතුකොටගෙන ඇතිවූ කුඩා ගැටිත්තක් බව පවසමිනි. නමුත් මාස 18කට පමණ පසු තවත් රෝග ලක්ෂණයක් මතුවූ හෙයින් එය ඇයගේ කනස්සල්ලට හේතු විය. ඇය තවත් වෛද්‍ය පරීක්ෂණයකට බඳුන්වීමට තීරණය කළාය.

    පරීක්ෂණ කීපයකට ම ෆ්රාන් යොමු කරන ලදී. ඇයට පියයුරු පිළිකාවක් පමණක් නොව මොලයේ ද කුඩා ගෙඩියක් වර්ධනය වෙමින් පවතින බව වෛද්‍යවරු සොයා ගත්හ. ෆ්රාන්ගේ ජීවිතය තව දෙවසරකින් නිමා වනු ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.

    “ඒ වෙනකොට මගේ වයස අවුරුදු 25යි. මම කායික ව්‍යායාම පුහුණු කරවන්නියක්. කායික වශයෙන් මම ඉතාම ශක්තිමත්ව හටියා. ඕනෑම වයසක ඉන්න ඕනෑම නිරෝගී කෙනෙකුට පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කියල ඔප්පුවෙන හොඳම සාක්ෂිය තමයි මම.” ෆ්රාන් පවසන්නීය.

    Fran in a hospital bed
    ,”වයසට යනතුරු මේ ගැන බය වෙන්න දෙයක් නැහැ කියල තමයි මමත් හිතාගෙන හිටියේ”

    “අතිශයින් දැඩි වූ කීමෝ ප්‍රතිකාර දින චරියාවකට” මුහුණ දීමට ෆ්රාන් ට සිදු වූවාය. දැන් ඇයගේ පිළිකාව පැතිරීම හා වර්ධනය වීම මැඩපවත්වා ඇත. ඇයගේ කතාව අන්තර්ජාලය ඔස්සේ සමාජගත කරන්නට ෆ්රාන් තීරණය කළේ පියයුරු පිළිකාවට තුරුණු වියේ සිටින කාන්තාවන් ද ගොදුරු විය හැකිය යන පණිවිඩය ලෝකයට ලබා දීමටය.

    “පිළිකාවක් වැළඳුනු බව මා දැනගත් දා සිට මම ගතකළ ජීවිතය මම විවෘතව සමාජය සමඟ බෙදා ගත්තා. හැම දෙයක්ම මම සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කළා. මේක වැඩිමහලු කාන්තාවන්ට හැදෙන දෙයක් කියල මමත් හිතුවේ. වයසට යනතුරු මේ ගැන බය වෙන්න දෙයක් නැහැ කියල තමයි මමත් හිතාගෙන හිටියේ.” ෆ්රාන් පැවසුවාය.

    බීබීසී සංදේශය ඇසුරිනි – ඉහළ ඡායාරූපය සහ ශීර්ෂපාඨය සංස්කරණය කර ඇත. ප්‍රධාන සංස්කාරක

  • ‘බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක්’

    ‘බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක්’

    බූස්ටර් එන්නත ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර එය ලබාදීමේ ප්‍රමුඛතා කණ්ඩායම් සහ ලබාදෙන ස්ථාන පිළිබද ඉදිරියේදී දැනුම් දෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අද (08) ඔහු මේ බව කියා සිටියේය.

    තාක්ෂණික වශයෙන් බූස්ටර් එන්නත ලබාදීමට තීරණය ගෙන ඇති අතර, ඉදිරියේදී මෙය ලබාදෙන දිනය, ස්ථානය සහ සිදුකරන ආකාරය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් සහ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ඇතැයිද  සදහන් කළේය.

    එය නිකුත් කරන තෙක් ඉවසිල්ලෙන් පසුවන ලෙසද ව්‍යාජ පුවත් වලට රැවටෙමින් බූස්ටර් එන්නත ලබාගැනීම සදහා යම් යම් ස්ථාන වෙත නොයන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම කටයුතු සංවිධානය කර එන්නත් ලබාදෙන දින නිවේදනය කරනු ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය

  • සියලු ශ්‍රේණි සඳහා පාසල් නොවැම්බර් මුල ආරම්භ කිරීමට තීරණයක්

    සියලු ශ්‍රේණි සඳහා පාසල් නොවැම්බර් මුල ආරම්භ කිරීමට තීරණයක්

    නොවැම්බර් මස මුල වන විට සියළුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තවද උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රමිතිය කිසි සේත් වෙනස් කිරීමට කටයුතු නොකරන බවත් ඒ වෙනුවට ඒ සඳහා විෂය ආවරණයට සහ විභාගයට සූදානම් වීම සඳහා දරුවන්ට අමතර කාලයක් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාසල් දින දර්ශනයක වර්ෂයකට දින 210ක් පාසල් පැවැත් වුවද 2020 වසරේ පාසල් පැවැත්වීමට හැකි වූයේ දින 65ක් පමණක් බවත් 2021 වර්ෂයේ බස්නාහිර පළාතේ දරුවන්ට දින 05ක් පමණක් පාසල පැවැත් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    මේ වන විටත් විෂය මාලාව කොපමණ දුරට ආවරණය වූයේද යන්න සම්බන්ධයෙන් පළාත් මට්ටමින් තක්සේරුවක් සිදු කරගෙන යන බවත් කීය.

  • මාතලේ කන්න රැස්වීමත් අවුලට – දේවහූවේ අක්කර 3000ක වී වගාව කොටඋඩ

    මාතලේ කන්න රැස්වීමත් අවුලට – දේවහූවේ අක්කර 3000ක වී වගාව කොටඋඩ

    දෙවහුව ජලාශය යටතේ වගා කරන  කුඹුරු අක්කර 3000ක් මෙවර වී වගාවෙන් ඉවත් වීමට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ අද (08) දින පැවති කන්න රැස්වීමේදී මාතලේ දිසාපතිවරයාට දැනුවත් කරමින් කන්න රැස්වීම් වර්ජනය කරමින් ඉවත්ව ගියහ.

    මාතලේ   දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සේවා නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම වරුන්ගේ සහභාගිත්වයෙන් මාතලේ දිසාපති පී.කේ.ඩී. පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම දේවහුව පුංචි දඹුල්ල රජ මහා විහාරයේ දී පැවැත්විණි.

    ගොවි සංවිධාන 09ක ගොවි නියෝජිතයන් මෙන්ම නිලධාරීන් විහාරස්ථානයේ ධර්මශාලාවට පස්වරුවේ රැස්ව දේවහුව ජලාශය යටතේ ඉදිරි සැලසුම් කිරීම් ජලය නිකුත් කිරීම් ආදී කරුණු කාරණා පිළිබඳව තීන්දු තීරණ ලබා ගැනීම් ආරම්භ කෙරිණි. එහිදී ගොවි නියෝජිතයන් සියලු දෙනා රජයේ නිලධාරින් ගෙන් විමසා සිටියේ මෙවර වී වගාව සදහා රසායනික පොහොර සහ වල්නාශක කෘමිනාශක ආදී ලබා දෙන්නේ ද යන්න ය. පැමිණ සිටි රජයේ නිලධාරීන් සියලු දෙනාගේ මතය බවට පත් වූයේ රජය ගත් ප්‍රතිපත්ති තීන්දුව රාජ්‍ය නිලධාරීන් ලෙස වෙනස් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවය.

    මාතලේ දිස්ත්‍රික් ලේකම් පී. කේ.ඩී. පෙරේරා මහතාගේ තීන්දුව කුමක්දැයි ගොවීන් ප්‍රශ්න කරන්නට විය. එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ කාබනික වගාව සඳහා රජය ලබා ගෙන ඇති ප්‍රතිපත්ති තීන්දුවට පිටතින් රජයේ නිලධාරීන් හැටියට ගමන් කිරීම්ට නොහැකි බවය. එම ප්‍රකාශය කිරීම්ත් සමඟ පැමිණ සිටි ගොවි නියෝජිතයන් සියලු දෙනා කන්න රැස්වීමේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නිලධාරී  කණ්ඩායම පමණක් එම රැස්වීම් ශාලාවේ තබා ඉන් පිටතට යන්නට වූහ.

    ගොවි නියෝජිතයන් සියලු දෙනා එක හඬින් කියා සිටියේ මෙවර දේවහුව ව්‍යාපාරය යටතේ වගා කරන කුඹුරු අක්කර තුන් 3000  වී වගාකිරීමේ ඉවත්ව සිටින බවය.

    රසායනික පොහොර සහ කෘමි නාශනාශක වල් නාශක ලබා දෙන්නේ නම් තමන් පසු දින සිට ම කුඹුරු වගා කිරීම සඳහා මැදිහත් වන බව ද ඔවුහු වැඩිදුරටත් පවසමින් කෑකෝ ගසමින් එම ස්ථානයෙන් පිටව යන්නට වූ අතර රාජ්‍ය නිලධාරීන් පමණක් රැස්වීම් ශාලාවේ හිස් පුටු ගොඩක් අතර තනි ව සිටියහ.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • 18 – 19‍ වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීම 21 සිට අදාළ පාසලේදී ම

    18 – 19‍ වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීම 21 සිට අදාළ පාසලේදී ම

    අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

    අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබීය. එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කෙරේ. මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය කෙරිණ. වයස් කාණ්ඩය 20 -30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

    වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට  එන්නත ලබාදී තිබේ. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළහ.

    දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා  ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේ තීරණය විය.  එන්නත්කරණය සාර්ථක කරගැනීමට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පළ කළේය.

  • මහ කන්නය කාලකණ්නි නොකර ලෙස නාමල් රජයෙන් ඉල්ලයි

    මහ කන්නය කාලකණ්නි නොකර ලෙස නාමල් රජයෙන් ඉල්ලයි

    ඉදිරි මාස් කන්නයේ ගොවිතැන් බත් කිරීම සඳහා මේ දිනවල රට පුරා ගොවි සංවිධාන රජයේ නිලධාරීන් සමග කන්න රැස්වීම් පැවැත්වෙන බවත් එම රැස්වීම් තුළ ගොවීන් සහ රජයේ නිලධාරීන් අතර ගැටුම  රජය ඇති කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 08 දින පැවසීය.

    රටපුරා කන්න රැස්වීම් පැවැත්වෙද්දී  රජයේ නිලධාරින් සහ ගොවීන් අතර ගැටුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ල අතුපාර යාය ප්‍රදේශයේ ගොවි මහතකුගේ නිවසේ මාධ්‍ය  හමුවක් කැඳවමින් නමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.

    කන්න  රැස්වීම්ක් පවත්වනු ලබන්නේ ඉදිරි කන්නයේ සැලසුම් සකස් කිරීමට බවත්  වර්තමානයේ සිදුව ඇත්තේ වැව්වල වතුර තිබිය දී, ගොවීන් සිටියදී කුඹුරුත් තිබියදී ගොවිතැන් කිරීම සඳහා ජලයට කලින් පොහොර  ඉල්ලා  ගොවීන් කෑ ගසන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

    මෙවැනි තත්ත්වයක් ලංකා ඉතිහාසයේ කිසිම කලක සිදුවී නොමැති බවත් එය  බරපතළ තත්ත්වයක් යැයි පෙන්වා දෙන නමල් කරුණාරත්න මහතා වැඩි වැඩිදුරටත් කියා සිටියේ  කන්නය සඳහා කාබනික පෝර ලබා දීමට රජය  සූදානම් බවට ප්‍රකාශ කළත් එම  සූදානම් කෙසේ දැයි තමන් රජයෙන් ප්‍රශ්න කරන බවය.

    මේ  වන වේ වන විට රජය තේ වගාව සඳහා රසායනික පෝර ගෙන්වීමට සූදානමක් පවතින බවත් එමෙන්ම ගොවීන් නිෂ්පාදනය කොට ඇති කාබනික පොහොර මෙම කන්නයේ යොදා ගැනීමට නොහැකි බවද පෙන්වා දුන්නේය.

    “මෙවර මහ කන්නයේ කන්ඩ එපා, කාලකාලකන්නි කරන්න එපා, ගොවියා සහ  නිලධාරියා අතර  ගැටුම් තව තවදුරටත්  ඉදිරියට යන්න දෙන්න එපා. මේ අවස්ථාවේ ගොවීන්ට ද අපි අවධාරණය කරනවා ගැටුම් හදා ගත යුත්තේ රජයේ නිලධාරීන් සමග නොවෙයි කියලා. මේ ගැටුව නිකාරණය කර ගත යුත්තේ පාලකයන් සමඟයි. අද  ගොවි ජනතාවට වඩා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට තොරතුරු ලබාදෙන්නේ රජයේ නිලධාරීන්. මේ නිලධාරීන්ට පවතින ගැටළුවලට උත්තර රජය දීලා නැහැ. ඒ නිසා නිලධාරීන් අපට කියන්නේ මේකට කඩිනමින් රජයේ අවධානය යොමු කරවන්න කියලා. ඉදිරි මහ කන්නය ලංකා ඉතිහාසයේ අඩුම භූමි  ප්‍රමාණයක් වගා කරන, අඩුම අස්වැන්නක් ලැබෙන කන්නයන් බවට පත්වීමේ අවදානමක් තියෙනවා. ඒ සමග කෘෂිකර්මාන්තය ඉතිහාසයේ මහා ආහාර අර්බුදයකට යනවා ” යැයි ද නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.

    කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ‘පැන්ඩෝරා ලියවිලි‘ පිළිබඳ  ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ‘පැන්ඩෝරා ලියවිලි‘ පිළිබඳ ඔබ මේ කරුණු දැන සිටියාද ?

    ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ.

    ‘පැන්ඩෝරා ලියවිලි’ ලෙස නම් කර ඇති, අක්වෙරළ සමාගම්හි ලිපි ගොනුවල වර්තමාන සහ හිටපු නායකයින් තිස්පස් දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වේ.

    මේ අතර, හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරුපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේශන්ගේ නම් ද සඳහන් වේ.

    මුදල් විශුද්ධිකරණයේ එක් පියවරක් ලෙස ඔවුන්ඇමරිකාව, බ්‍රිතාන්‍යය, සැමෝවා, වර්ජින් දූපත්, සහ නවසීලන්තයේ ආයතන 08 ක් පිහිටුවා ඇති බව පැන්ඩොරා වර්තා අනාවරණය කරයි.

    මේ සතියේ ප්‍රකාශයට පත් කළ ලිපිවල අඩංගු කරුණු සොයා ගැනීම සඳහා රටවල් 117 ක මාධ්‍යවේදීන් 600කට වැඩි දෙනෙකු මූලාශ්‍ර 14ක් ඔස්සේ මාස ගණනාවක් පුරා විමර්ශන සිදු කර තිබිණි.

    වොෂිංටන් ඩීසී හි ‘ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය’ (ICIJ) විසින් මෙම දත්ත ලබා ගෙන ඇති අතර, ඔවුන් මෙතෙක් සිදු කළ ලොව විශාලතම විමර්ශනය වන මෙය සඳහා මාධ්‍ය සංවිධාන 140 කට වැඩි සංඛ්‍යාවක් සමඟ කටයුතු කර ඇත.

    එක්සත් රාජධානියේ පරීක්ෂණ මෙහෙයවූයේ බීබීසී පැනොරාමා කණ්ඩායම සහ ‘ගාඩියන්’ පුවත් සේවය විසිනි.

    හෙළිදරව් කර ඇත්තේ කුමක්ද?

    පැන්ඩෝරා හෙළිදරව්වට ලිපි මිලියන 6.4ක්, ඡායාරූප මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්, ඊමේල් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සහ පැතුරුම් පත් (spreadsheets) මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ.

    මෙතෙක් හෙළිදරව් කරන ලද පුවත්වලට ඇතුළත් වන්නේ:

    • යුරෝපයේ විශාලතම දූෂණ අපචාරයකට සම්බන්ධ වූ, බ්‍රිතාන්‍යයේ පාලක කන්සවේටිව් පක්ෂයේ ප්‍රධාන මූල්‍ය ආධාරකරු
    • ජෝර්දාන රජු රහසිගත සමාගම් හරහා එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ දේපල සඳහා පවුම් මිලියන 70 ක් වියදම් කිරීම
    • පවුම් මිලියන 400කට වැඩි වටිනාකමක් ඇති එක්සත් රාජධානියේ දේපල ගනුදෙනුවකට, අසර්බයිජානයේ ප්‍රමුඛ පෙලේ පවුලක ඇති සැඟවුනු මැදිහත්වීම
    • ප්‍රංශයේ විශාල නිවාස දෙකක් පවුම් මිලියන 12කට මිලදී ගැනීමට භාවිතා කළ අක්වෙරළ ආයෝජන සමාගමක් ගැන ප්‍රකාශයට පත් කිරීමට චෙක් ජනපදයේ අගමැති අසමත් වීම
    • දශක ගණනාවක් තිස්සේ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ පවුලට රහසිගතව අක්වෙරළ සමාගම් ජාලයක් හිමි වූ ආකාරය

    රටවල් 90ක දේශපාලනඥයින් 330කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ලෝකයේ සමහර බලවත් පුද්ගලයින් තම ධනය සඟවා ගැනීම සඳහා රහසිගත අක්වෙරළ සමාගම් භාවිතා කරන ආකාරය ලිපි ගොනු මඟින් හෙළිදරව් වෙමින් තිබේ.

    එක්සත් ජනපද බුද්ධිමණ්ඩලයක් වන Global Financial Integrityට (ගෝලීය මූල්‍ය අවංකබව) සම්බන්ධ ලක්ෂ්මී කුමාර් පැහැදිලි කළේ, බොහෝ විට නිර්නාමික සමාගම් භාවිතා කිරීම තුළින් මෙම පුද්ගලයින්ට “මුදල් පුනීලයකින් පෙරාගෙන, සියුම් බට ඔස්සේ රැගෙන ගොස් සැඟවීමට” හැකි වී ඇති බවය.

    How big is the Pandora Papers leak graphic

    ‘අක්වෙරළ’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    පැන්ඩෝරා ලියවිලි මඟින් දේශසීමාවලට පිටතින් පිහිටුවා ඇති සංකීර්ණ සමාගම් ජාලයන් ගැන හෙළිදරව් වන අතර, මේවායේ මුදල් සහ වත්කම්වල හිමිකාරිත්වය බොහෝ විට රහසිගතය.

    උදාහරණයක් වශයෙන්, යම් පුද්ගලයෙකුට එක්සත් රාජධානියේ දේපලක් තිබිය හැකි නමුත්, එය වෙනත් රටවල පිහිටුවා ගත් සමාගම් සමූහයක් හෝ “අක්වෙරළ” සමාගම් මඟින් හිමි කර ගත හැකිය.

    මෙම අක්වෙරළ සමාගම් පිහිටුවන රටවල් හෝ භූමි ප්‍රදේශ තිබෙන්නේ:

    • සමාගම් පිහිටුවීමේ පහසුව

    • සමාගම්වල අයිතිකරුවන් හඳුනා ගැනීමට අපහසු වන නීති තිබෙන

    • ආයතන බද්ද අවම, නැත්නම් ආයතන බද්දක් නොමැති ස්ථානවලය.

    මෙම ස්ථාන බොහෝ විට හැඳින්වෙන්නේ ‘බදු තෝතැන්නක්’ හෝ ‘රහස්‍ය බල ප්‍රදේශ’ ලෙසය. බදු තෝතැනි පිළිබඳ නිශ්චිත ලැයිස්තුවක් නොමැත. නමුත් වඩාත් ප්‍රසිද්ධ ස්ථාන අතර බ්‍රිතාන්‍යය පාලනයේ ඇති කේමන් දූපත් සහ වර්ජින් දූපත් මෙන්ම ස්විට්සර්ලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල් ද ඇතුළත්ය.

    බදු තෝතැන්නක් භාවිත කිරීම නීති විරෝධීද?

    නීතියේ ඇති ඇතැම් හිඩැස්, මුදල් සංචරණය කිරීමෙන් හෝ බදු තෝතැන්නක සමාගම් පිහිටුවීම මඟින් නීත්‍යානුකූල ලෙස බදු ගෙවීම් පැහැර හැරීමට ඉඩකඩ සලසා දෙයි. නමුත් එය බොහෝ විට සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ.

    බ්‍රිතාන්‍ය රජය පවසන්නේ බදු ගෙවීම් පැහැර හැරීම “නීතිය අකුරටම ක්‍රියාත්මක වීමක් වුවත්, එය නීතියේ හරය තුළ ක්‍රියාත්මක වීමක් නොවන” බවය.

    අපරාධමය ප්‍රහාරවලින් ආරක්ෂා වීම හෝ අස්ථාවර රජයන්ගෙන් ආරක්ෂා කරගැනීම වැනි සාධාරණ හේතු ගණනාවක් මත ද විවිධ රටවල පුද්ගලයන් සිය මුදල් හා වත්කම් පිටරට රඳවා තැබීමට ක්‍රියා කරති.

    රහසිගත අක්වෙරළ වත්කම් තිබීම නීති විරෝධී නැතත්, සංකීර්ණ රහස් සමාගම් ජාලයක් භාවිතා කරමින් මුදල් සහ වත්කම් එහෙ මෙහෙ හුවමාරු කිරීම අනීතික හෝ අපරාධයන්හි ආදායම් සැඟවීමට හොඳම ක්‍රමයයි.

    විශේෂයෙන් පැනමා ලිපි වැනි පෙර හෙළි කිරීම් වලින් පසුව බදු ගෙවීම පැහැර හැරීම හෝ වත්කම් සඟවා ගැනීම අසීරු කරන ලෙස දේශපාලනඥයින්ගෙන් නැවත නැවතත් ඉල්ලා ඇත.

    නමුත් රයිල් පැවසුවේ පැන්ඩෝරා පත්‍රිකා තුළින් පෙන්නුම් කෙරෙන්නේ “අක්වෙරළ ගනුදෙනුවල රහසිගතභාවය අවසන් කළ හැකි පුද්ගලයින් එයින් ප්‍රයෝජන ලබන හෙයින් එය අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති” බවයි.

    විදේශයන් හී මුදල් සැඟවීම කොතරම් පහසුද?

    ඔබ කළ යුතු වන්නේ ඉහළ රහස්‍යභාවයක් ඇති රටක හෝ ඉහළ මට්ටමේ රහස්‍යභාවයක් සහිත අධිකරණ බල ප්‍රදේශයක නාමික සමාගමක් පිහිටුවීමයි. මෙය නමට පමණක් පවතින සමාගමක් වන අතර කාර්ය මණ්ඩලයක් හෝ කාර්යාලයක් නොමැත.

    ඒ සඳහා මුදල් වැය වුවද, ඔබ වෙනුවෙන් නාමික සමාගම් පිහිටුවීමට සහ පවත්වාගෙන යාමට විශේෂඥ සමාගම් වලට ගෙවීම් කරනු ලැබේ. මෙම සමාගම්, අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ලිපිනය මුදලට ලබා දෙන අතර එම නිසා අවසානයේ ව්‍යාපාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිම සොයා බැලීමට නොහැකි වෙයි.

    විදේශයන් හී කොපමණ මුදලක් සඟවා තිබේද?

    නිශ්චිතව කිව නොහැක. එහෙත් ICIJ ට අනුව එය ඩොලර් ට්‍රිලියන 5.6 සිට ඩොලර් ට්‍රිලියන 32 දක්වා වූ ඇස්තමේන්තුගත පරාසයක පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ බදු ක්ෂේමස්ථාන නැතහොත් බදු නොගෙවිය යුතු ස්ථාන භාවිතා කිරීම නිසා ලොව පුරා රජයන්ට වාර්ෂිකව ඩොලර් බිලියන 600 ක් දක්වා වූ බදු අහිමි වන බවයි.

    එය සමාජයට අහිතකර බව ලක්ෂ්මී කුමාර් පැවසුවාය: “මුදල් සැඟවීමේ හැකියාව ඔබේ ජීවිතයට සෘජු ලෙස බලපායි… එය ඔබේ දරුවාට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ නිවසක් සඳහා ඇති අයිතියට බලපායි.”

    එක්සත් රාජධානිය ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

    විදේශයන්හි පිහිටි නිර්නාමික සමාගම්වලට දේපල අයිතිය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියට විවේචන එල්ල වී තිබේ.

    එක්සත් රාජධානියේ දේපල වල අවසාන අයිතිකරුවන් ප්‍රකාශයට පත් කළ යුතු බවටඑරට රජය 2018 දී කෙටුම්පත් නීතියක්ඉදිරිපත් කළේය. එහෙත් එය තවමත් මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර නැත.

    2019 පාර්ලිමේන්තු වාර්තාවක් පැවසුවේ එක්සත් රාජධානියේ නීති පද්ධතිය “අයථා අරමුදල් සැඟවීම සඳහා දේපල භාවිතා කරනා මුදල් විශුද්ධිකරුවන් වැනි අය ආකර්ෂණය කර ගන්නවා,” යනුවෙනි.

    දේපලවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්න සොයාගැනීමට පොලිසියට නොහැකි බැවින් අපරාධ පරීක්‍ෂණ වලට බොහෝ විට බාධා එල්ල වන බව එහි සඳහන් වේ.

    බ්‍රිතාන්‍ය රජය මෑතකදී දේපල හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානම් මට්ටම “මධ්‍යස්ථ” සිට “ඉහළ” දක්වා ඉහල දැමීය.

    දැඩි නීති සහ බලාත්මක කිරීම් තුළින් මුදල් විශුද්ධිකරණය මැඩපැවැත්වීමට කටයුතු කරන බවත්, පාර්ලිමේන්තු කාලය ලැබෙන විට එක්සත් රාජධානියේ දේපල හිමි අක්වෙරළ සමාගම් පිළිබඳ ලේඛනයක් හඳුන්වා දෙන බවත් එය පවසයි.

    ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

    විදේශයන්හි පිහිටි අක්වෙරල සමාගම්වලට දේපල අයිතිය ලබා දීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව වරදක් නොවන නමුත්, ශ්‍රී ලාංකිකයින් තමන්ගේ සියලුම වත්කම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළි නොකිරීම වරදකි.

    වසර 2006 දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පණතක් සම්මත කළ අතර, 2021 බදු ගෙවීම පැහැර හරින ලද වත්කම් සහ හෙළිනොකළ ආදායම් හෙළි කිරීමට අවශ්‍ය පනතක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලදී.

    බදු ගෙවීම පැහැර හරින ලද වත්කම් නීත්‍යානුකූල කිරීම සදහා රජය ලබාදී ඇති සහනය ගිය මාසයේ සිට ක්‍රියාත්මයි.

    ඒ අනුව මෙයට කලින් හෙළිනොකළ වත්කම් වල වටිනාකමින් සියයට එකක් පමණක් ගෙවීමෙන් එම වත්කම් නීත්‍යානුකූල කරගත හැකි වෙයි.

    විපක්ෂය පැවසුවේ මෙය රාජපක්ෂ පවුලේ කළු සල්ලි රට තුලට ගෙන ඒමට ගත් වෑයමක් ලෙසිනි. එහෙත් රාජපක්ෂ පවුල සහ රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී.

    බී.බී.සී සන්දේශය වාර්තාවක සම්පූර්ණ උපුටා ගැනීමකි – ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත.

  • රජයේ ගිනුම් කාරක සභාවෙන් සුපිරි හෙළිදරව් රැසක් !

    රජයේ ගිනුම් කාරක සභාවෙන් සුපිරි හෙළිදරව් රැසක් !

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ මාර්තු මස 30 වැනි දින වන විට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් බිලියන 87ක් බවත් මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් බිලියන 04 ක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව හෙළි කරයි.

    රජයේ ගිනුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා විසින් මෙම වාර්තාව අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 ප්‍රකාරව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

    මෙම වාර්තාවට කාරක සභාව විසින් සිදු කරන ලද විමර්ශන 16 ක තොරතුරු ඇතුළත් බව එය ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා කීවේය.

    රටේ පොදු ජනතාවගේ විශේෂ සාකච්ජාවට ලක් වූ මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ වර්තමාන තත්ත්වය සහ අලි මිනිස් ගැටුම වැනි කාලීන ගැටලු පිළිබඳවද මෙම වාර්තාවේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

    මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු කාර්‍යභාරයක් සිදුකරන ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය තාක්ෂණික උපකරණවල පවතින අඩුපාඩු නිසා මාර්ග අනතුරු අඩකින් පමණ අඩුකර ගැනීමට ඇති හැකියාව අහිමිවීම සම්බන්ධයෙන්ද වාර්තාවේ විශේෂ අවධානයක් යොමුව තිබේ.

    එමෙන්ම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, කොමිෂන් සභාවක් බවට පත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.

    අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස එක් එක් ප්‍රදේශ වලට ගැලපෙන ආකාරයට මිශ්‍ර යෝජනා සහිත මතය අනුගමනය කිරීමේ හැකියාවක් පවතින බවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වර්තාවේ සඳහන් වේ.

    වෛද්‍ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද ගම වටා වැට ඉදි කිරීමේ ක්‍රමය වියදම් අවම දැනට සාර්ථකත්වයක්  ලබා ඇති ක්‍රමයක් බවත්, මෙම වැට නඩත්තුව සඳහා ගම්මුන්ගේ මූල්‍ය දායකත්වය ලබා ගැනීමේ වැදගත්කමක් මෙම වාර්තාවෙන් අවධාරණය කෙරේ.

    වාර්ෂිකව රාජ්‍ය ආදායමෙන් සියයට 10කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වැය කළද, ඇතැම් පාසල් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන බවද කාරක සභා වාර්තාවෙන් නිරීක්ෂණය කර තිබේ.

    රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යාමේ දැඩි විෂමතාවක් පවතින බවත්, එම තත්ත්වය ඉවත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවත්  කාරක සභා වාර්තාවෙන් පෙන්වා දී ඇත.

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරිමේදී වැට් බදු අඩුවෙන් ගණනය කර ගෙවා තිබීමට අදාළව සිදු කළ රේගු විමර්ශනයේදී රුපියල් මිලියන 205 ක දණ්ඩනයක් පනවා එය අයකර ගෙන තිබීම සමබන්ධයෙන්ද කාරක සභාව විශේෂ අවධානයක් යොමු කර තිබේ. එහිදී අඩුවෙන් ගණනය කරන ලද වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකිරීම වෙනුවට දණ්ඩනයක් ලෙස අයකිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 125.5 ක ආදායමක් අහිමි වී තිබීම සම්බන්ධයෙන්ද කාරක සභා වාර්තාව කරුණු දක්වා තිබේ.

    2021 වසරේ මාර්තු මස 30 වැනි දින වන විට (දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ Legacy පද්ධතියට අනුව) හඳුනාගත් ආයතන වලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 18ක් බවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාරක සභා වාර්තාවේ දැක්වේ. මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් මිලියන 424 ක් පමණි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතියට අනුව එදිනට පැවැති හිඟ බඳු ප්‍රමාණය රුපියල් බිලියන 87කි. මෙම ප්‍රමාණයෙන් මුදලින් අයකර ගෙන තිබුණේ රුපියල් බිලියන 04 ක් පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.

    එමෙන්ම විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨවල උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය ප්‍රමාණාත්මකව වැඩි අගයක් ගන්නා බැවින් මෙය විසඳීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවද කාරක සභා වාර්තාවෙන් ඉදිරිපත්කර තිබීම විශේෂත්වයකි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා සභාපතිත්වය දරණ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සං‍යුතිය 22 කි.

    ඉහළ ඡායාරූපය හා ලිපියේ අන්තර්ගතය අතර සම්බන්ධයක් නැත – ප්‍රධාන සංස්කාරක

  • පැන්ඩෝරා හෙළිදරව් කළ ශ්‍රී ලාංකිකයින් ගැන ජනපති නියමයෙන් විමර්ශනයක්

    පැන්ඩෝරා හෙළිදරව් කළ ශ්‍රී ලාංකිකයින් ගැන ජනපති නියමයෙන් විමර්ශනයක්

    පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගණුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකර මසක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කරයි.

    එම පත්‍රිකාව අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ පුරවැසියන් ගැන අධික ලෙස මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව ජනමාධ්‍යයන්හි පළ වී තිබේ. මේ තොරතුරු සම්බන්ධයෙන් අද (06) දින සිට මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනපතිවරයා දැනුම් දී තිබේ.

    ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ බව ලිඛිතව ද දැනුවත් කර ඇත.

  • චීන ණය සහ ආධාර ගැන බිහිසුණු හෙළිදරව්වක්

    චීන ණය සහ ආධාර ගැන බිහිසුණු හෙළිදරව්වක්

    එක්සත් ජනපදය සහ අනෙකුත් බලවත් රටවලට වඩා චීනය අවම වශයෙන් දෙගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලොව පුරා සංවර්ධන කටයුතු සඳහා බෙදා හරින බව නවතම සාක්ෂි අනුව පෙනී යයි.

    එයින් වැඩි ප්‍රමාණයක් චීන රාජ්‍ය බැංකුවලින් ණය ලෙස අධික පොලී අනුපාතයන් යටතේ ලබා දී තිබේ.

    චීනය ලබා දෙන ණය ප්‍රමාණය පුදුම සහගත ය. මින් කෙටි කලකට පෙර චීනය විදේශ ආධාර මත යැපුණ ද දැන් ඒ සියල්ල කණපිට පෙරලී තිබේ.

    වසර 18ක කාලයක් තුළ රටවල් 165ක ඩොලර් බිලියන 843 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති 13,427 කට චීනය මුදල් ලබා දී හෝ ණය ලබා දී තිබෙන බව එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලයේ AidData පර්යේෂණාගාර දත්තවලින් හෙළි වේ.

    මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ ‘Belt and Road (බෙල්ට් ඇන්ඩ් රෝඩ්)’ එනම් එක් තීරයක් එක් මාවතක් නම් උපාය මාර්ගය හා සම්බන්ධය. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යනු 2013 දී චීන රජය රටවල් 70 කට ආසන්න ප්‍රමාණයක සහ ජාත්‍යන්තර සංවිධානවලට ආයෝඡනය කිරීම සඳහා ආරම්භ කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගික ක්‍රියාවලියකි.

    යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීන දැනුම ද, විදෙස් මුදල් විශාල ප්‍රමාණයක් යොදවා නව ගෝලීය වෙළඳ මාර්ග තැනීම සඳහා බෙල්ට් ඇන්ඩ් රෝඩ් උපාය මාර්ගීක ක්‍රියාවලිය ඔස්සේ ආයෝජනය සිදුකරයි.

    කෙසේවෙතත්, බොහෝ ව්‍යාපෘති සඳහා චීනය අධික පොලී අනුපාතයන් යටතේ ලබාදෙන මුදල්වලින් නිසැකවම විශාල ජනගහනයක් අහස තරම් උස අනපේක්ෂිත ණය ප්‍රමාණයකින් බැඳ දමා තබනු ඇති බව විවේචකයෝ පවසති.

    එය චීන බලධාරීන්ට පවා ප්‍රවෘත්තියකි.

    චීනයේ ගෝලීය ණය ලබා දීම් සහ වියදම් පිළිබඳ වසර හතරක් සොයා බැලූ AidData පර්යේෂකයන් පවසන්නේ චීන මුදල් විදේශයන්හි භාවිත කරන ආකාරය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා චීන රජයේ අමාත්‍යාංශ නිතිපතා ඔවුන් වෙත පැමිණෙන බවය.

    “චීනයේ රාජ්‍ය නිලධාරින්ගෙන් අපට නිතරම අසන්නට ලැබෙන්නේ, ‘බලන්න, ඔබ තමයි මෙම ක්‍රීඩාවේ සටින එකම කෙනා,” යැයි AidData හි විධායක අධ්‍යක්ෂ බ්‍රැඩ් පාර්ක්ස් පැහැදිලි කළේය. “ඔවුන් කියන්නේ: ‘අපට මෙම දත්ත අභ්‍යන්තරව ලබා ගැනීමට නොහැකියි’,” යන්නයි.

    චීනය සහ අසල්වැසි ලාඕසය අතර දිවෙන දුම්රිය මාර්ගය, චීනයෙන් නිළ නොවන ආකාරයෙන් ලබා දෙන ණය මුදල් සම්බන්ධයෙන් දැක්විය හැකි හොඳම උදාහරණයක් ලෙස සැලකේ.

    ගොඩබිම් තිරයකින් වටවූ නිරිතදිග චීනය සෘජුවම අග්නිදිග ආසියාව සමඟ සම්බන්ධ කිරීමෙන් ගොඩනැගූ මෙම සම්බන්ධතාව ගැන කරුණු දැනගැනීමට දශක ගණනාවක් තිස්සේ තවමත් දේශපාලනඥයෝ කැමැත්තෙන් සිටිති.

    කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතියේ වියදම අධික වනු ඇති බව ඉංජිනේරුවෝ අනතුරු ඇඟවූහ. කඳු බෑවුම් හරහා දුම්රිය ධාවනය කිරීමට නම් පාලම් සහ උමං බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ලාඕසය යනු එම කලාපයේ ඉතා දුප්පත්ම රටක් වන අතර අදාළ ව්‍යාපෘති පිරිවැයෙන් සුළු කොටසක් හෝ ඔවුනට දරා ගත නොහැක.

    The Yumo railway will link China and Laos
    ‘යූමෝ’ නම් දුම්රිය මාර්ගය චීනය සහ ලාඕසය සම්බන්ධ කරන නමුත් විශේෂඥයන් පවසන්නේ ලාඕසයට ණය ආපසු ගෙවා ගැනීම දුෂ්කර වනු ඇති බවය.

    චීන රාජ්‍ය සමාගම් සමූහයක් සහ රාජ්‍ය ණය දෙන්නන්ගේ එකමුතුවක සහයෝගය ඇතිව දැඩි අපේක්ෂාවන්ගෙන් යුතු චීන බැංකුකරුවන් පෙරට පැමිණ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීමට ක්‍රියා කළ අතර, ඩොලර් බිලියන 5.9ක් වැයවන දුම්රිය මාර්ගයේ කටයුතු දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

    කෙසේවෙතත්, මෙම මාර්ගයේ අයිතියෙන් කුඩා ප්‍රමාණයක හිමිකමක් සඳහා අරමුදල් සැපයීමට ලාඕසයට චීන බැංකුවකින්ම ඩොලර් මිලියන 480ක ණයක් ලබා ගැනීමට සිදු විය. ලාඕසය ලාභ ලබා ගන්නා කර්මාන්ත කුඩා ප්‍රමාණයෙන් එකක් වන පොටෑෂ් (පොටෑසියම් අඩංගු ඛනිජ සහ රසායනික ද්‍රව්‍ය සමූහයක්) පතල්වලින් ලැබෙන ආදායම මෙම විශාල ණය ආධාරය වෙනුවෙන් ඇපකරයක් ලෙස තබා ඇත.

    “චීනයේ Eximbank (එක්සිම්බෑන්ක්) විසින් ව්‍යාපෘතියේ අදාළ කොටස ආවරණය කරන්න ලබා දුන් මේ ණය මඟින් පෙනෙන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයට ඇති හදිසි අවශ්‍යතාවයයි,” හොංකොංහි විද්‍යා හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර මහාචාර්ය වන්ජිං කෙලී චෙන් පැහැදිලි කරන්නේය.

    මෙම මාර්ගයේ වැඩි කොටසක අයිතිය ඇත්තේ චීනයේ ප්‍රධාන දුම්රිය ව්‍යාපාර සමූහයකට වන නමුත්, ගනුදෙනුවේ අඳුරු කොන්දේසි යටතේ අවසානයේ දී ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ණය මුදලට වගකිව යුතු වන්නේ ලාඕස රජයයි.

    මෙම අසමතුලිත ගනුදෙනුව හේතුවෙන් ලාඕසය ණය ශ්‍රේණිගත කිරීම්වල ඉතා පහත තත්ත්වයකට දැමීමට ජාත්‍යන්තර ණය හිමියන් ක්‍රියා කර ඇත.

    2020 සැප්තැම්බර් මාසයේදී බංකොලොත්භාවයේ ආසන්නයට ඇද වැටී ඇති ලාඕසය චීන ණය දෙන්නන්ගෙන් සහන ලබා ගැනීම සඳහා තමන් සතු විශාල වත්කමක් එසේ විකුණා දමමින් එහි බලශක්ති ජාලයෙන් කොටසක් ඩොලර් මිලියන 600 කට චීනයට ලබා දී ඇත. මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ වීමටත් පෙර ය.

    ලාඕස් දුම්රිය මාර්ගය යනු චීන රාජ්‍ය බැංකු අරමුදල් සපයා ඇති අවදානම් ව්‍යාපෘතිවලින් එකක් පමණය. AidData පවසන්නේ බොහෝ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් වෙනුවෙන් චීනය ප්‍රධාන මූල්‍ය සපයන්නා ලෙස පෙනී සිටින බවය.

    President Xi
    චීන ජනාධිපති ෂී

    “සාමාන්‍යය වසරක දී චීනයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය බැඳීම් ඩොලර් බිලියන 85 ක් පමණ වෙනවා. එක්සත් ජනපදය ගෝලීය සංවර්ධන කටයුතු සඳහා ඕනෑම වසරක දී ආධාර ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 37 ක් පමණයි” බ්‍රැඩ් පාර්ක්ස් පැවසීය.

    සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමේ දී චීනය අනෙක් සියලුම රටවල් අභිබවා ගොස් ඇති නමුත්, ඔවුන් එම මට්ටමට පැමිණ ඇති ආකාරය “අසාමාන්‍ය” බව AidData පවසයි.

    අතීතයේදී අප්‍රිකානු රටවල් ණයට ඇද දැමීම සම්බන්ධයෙන් බටහිර රටවල් වැරදිකරුවෝ වූහ. නමුත් චීනය ණය ලබා දෙන්නේ වෙනත් ආකාරයකිනි. එක් රටකින් තවත් රටකට ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් හෝ ණය දීමක් වෙනුවට මෙහි දී සිදුවන්නේ මුදල් සියල්ලම පාහේ රාජ්‍ය බැංකුවක ණය ස්වරූපයෙන් ලබා දීමය.

    එසේ ලබා දෙන ණය මුදල් රජයේ ණය පිළිබඳ නිල ගිණුම්වල නොපෙන්වයි. චීන රාජ්‍ය බැංකු විසින් සිදු කරන ලද බොහෝ ගනුදෙනුවලදී මධ්‍යම රජයේ ආයතන නම් නොකිරීම මෙයට හේතු වේ.

    එවැනි ගනුදෙනු රජයේ ශේෂ පත්‍රවලින් ඉවත් කිරීම සහ රහස්‍යභාව රැකීමේ අරමුණින් යැයි සඳහන් වගන්ති මඟින් කරුණු වසන් කිරීමත් නිසා ගිවිසුමට එපිටින් එකඟ වී ඇති දේ නිශ්චිතවම දැන ගැනීමට ණය ලබාගන්නා රජයන්ට නොහැකි වේ.

    ඩොලර් බිලියන 385ක වාර්තා වී නොමැති ණය ප්‍රමාණයක් ඇති බව AidData සොයාගෙන තිබේ.

    රටවල් සංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දෙන ණය සඳහා බොහෝ විට අසාමාන්‍ය ඇපකර ද අවශ්‍ය වේ. චීනයෙන් ලබා දෙන ණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් විකිණීමෙන් උපයන මුදල් ලබා දෙන බවට ණය ගැණුම්කරුවන් පොරොන්දු කරගැනීම වැඩි වශයෙන් සිද්ධ වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත.

    උදාහරණයක් ලෙස, වෙනිසියුලාව සමඟ ඇති කරගත් ගනුදෙනුවකදී චීනය ඉල්ලා ඇත්තේ වෙනිසියුලානු තෙල් අලෙවි කිරීමෙන් උපයන විදේශ මුදල් චීනයෙන් පාලනය කරන බැංකු ගිණුමකට සෘජුවම තැන්පත් කරන ලෙසය. ණය ආපසු ගෙවීමක් අතපසු වුවහොත්, චීන ණයහිමියාට ගිණුමේ ඇති මුදල් වහාම ආපසු ගත හැකිය.

    “ඇත්තෙන්ම මෙයින් පෙනී යන්නේ ‘පාන් සහ බටර් උපාය මාර්ගය’ (ඔවුන්ගේ ජීවිකාවෘත්තියෙන් උපයන සියල්ලම ගෙවීමට සිදුවන බව) වැනි ක්‍රමයක් අනුගමනය කරන බවයි. එයින් අදහස් වන්නේ ඔවුන් තමන්ගෙන් ණයට ගත් තැනැත්තාට සංඥාවක් දෙනවා ‘අපි තමයි මෙතන ලොකුම ලොක්කා’ කියලා. ඔවුන්ගේ පණිවිඩය නම්, ‘මේ වටිනා දේපල ඉල්ලන්නේ අප පමණක් වන නිසා, වෙන කිසිවෙකුටත් පෙර ඔබ අපට ආපසු ගෙවන්න ඕනේ’ යන්නයි,” බ්‍රැඩ් පාර්ක්ස් පැවසීය.

    “ඒ කියන්නේ, මේ දුප්පත් රටවල ඩොලර් සහ යුරෝ ආදායම විදෙස් බලයක් මඟින් පාලනය වන පිටරට ගිණුමකට දමා අගුළු දැමිය යුතුයි යන්නයි.”

    Gotabhya Rajapakse

    “චීනය බුද්ධිමත්ද?,” චීන සංවර්ධන ණය ගිවිසුම් පරීක්ෂා කරමින් මෙම වසර මුලදී AidData අධ්‍යයනයක යෙදී සිටි ජෝර්ජ්ටවුන්හි නීතිය පිළිබඳ මහාචාර්ය ඇනා ගෙල්පර්න් අසා සිටින්නීය.

    “මම හිතන්නේ අපේ නිගමනය නම් ඔවුන් මේ ගිවිසුම්වලදී ශක්තිමත් මෙන්ම සංකීර්ණ බවයි. ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතා බෙහෙවින් ආරක්ෂා කරගෙන තිබෙනවා.”

    රටවල් ඉතා දුෂ්කර ණය ගැනුම්කරුවන් විය හැකි අතර, ණය ගෙවා ගැනීමට නොහැකි නම් ඔවුන්ගේ වරායක් වැනි භෞතික වත්කමක් චීනය වෙත ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වීම ප්‍රායෝගික නොවන බව ඇනා ගෙල්පර්න් පැවසීය.

    2017 දෙසැම්බරයේදී චීනයෙන් ලබාගත් අධික ණය ආපසු ගෙවීමට නොහැකි වූ ශ්‍රී ලංකාව, ලොව කාර්යබහුල නැව් මාර්ගයක් වන නැගෙනහිර-බටහිර නාවුක මාර්ගයේ ඇති ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් සමාගමට පවරා ගැනීමට ඉඩ දුන්නේය.චීන සමාගමට වසර 99 ක කල්බදු ක්‍රමයට ලබා දුන් මෙම ගනුදෙනුව, චීනය විදේශයන්හි සිය බලපෑම ක්‍රියාත්මක කිරීම සඳහා “ණය උගුල්” භාවිතා කිරීම ගැන ලෝකය තුළ බිය මතු කළේය.

    චීනයට ඉතා ඉක්මනින් ජාත්‍යන්තර ණය දෙන තරඟයකට මුහුණ දීමට සිදු විය හැකිය. ජුනි මාසයේදී පැවති ජී 7 රැස්වීමේදී එක්සත් ජනපදය ඇතුළු එහි පාර්ශවකරුවන් චීනයේ බලපෑමට ප්‍රතිවිරුද්ධ වියදම් සැලැස්ම අනුගමනය කරන බව නිවේදනය කළ අතර, එමඟින් මූල්‍යමය හා පාරිසරික වශයෙන් තිරසාර ගෝලීය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන බවට පොරොන්දු විය.

    කෙසේවෙතත්, මෙම සැලැස්ම ක්‍රියාත්මක වන්නේ බොහෝ ප්‍රමාද වී වන්නට පුළුවන.

    “බටහිර මුලපිරීම්වලට චීනයේ වැඩසටහන පළුදු කරන්න පුළුවන් වෙයි ද කියා මම සැක කරනවා,” බෘකින්ග්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහායක සහ චීනයේ හිටපු එක්සත් ජනපද භාණ්ඩාගාර නියෝජිත ඩේවිඩ් ඩොලර් පැවසුවේය.

    “සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් අවශ්‍යතා ප්‍රමාණයට සරිලන ලෙස ලබාදෙන්න [මෙම නව මුලපිරීම] සතුව ප්‍රමාණවත් මුදල් නැහැ. ඒ වගේම බටහිර නිල මූල්‍යකරුවන් සමඟ වැඩ කිරීමේ දී නිලධාරිවාදයට වගේම දීර්ඝ ප්‍රමාදයන්ට මුහුණ දෙන්න වෙනවා.”

    බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය ද ගැටලුවලට මුහුණ දී සිටින බව AidData පර්යේෂකයින් සොයාගෙන තිබේ. චීනයේ වෙනත් සංවර්ධන ගනුදෙනුවලට වඩා, Belt and Road ව්‍යාපෘතිවල දූෂණ, කම්කරු අර්බූද හෝ පාරිසරික ගැටලු මතු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

    පර්යේෂකයන් පවසන්නේ, බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට නම් ණය ගැනුම්කරුවන්ගේ ගැටලු විසඳීම හැර චීනයට වෙනත් විකල්පයක් නොමැති බවය.

    Text by bbc sandesaya

  • ‘විදුලි කාර්මිකයින්ගෙන් 95%කටම පිළිගත් සුදුසුකමක් නෑ‘ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

    ‘විදුලි කාර්මිකයින්ගෙන් 95%කටම පිළිගත් සුදුසුකමක් නෑ‘ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

    විදුලිකාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට සිට ඇරඹේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන මෙම වැඩසටහන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ විය.

    මේ වන විට විදුලිකාර්මිකයින් 2000ක් NVQ3 ලබාගෙන විදුලිකාර්මික බලපත්‍රය සදහා සුදුසුකම් ලබා ඇත. මෙම මස තුලදී  තවත් විදුලිකාර්මිකයින් 1500කට NVQ3 ලබාදීමේ පරීක්ෂණ පැවත්වීමට සැළසුම් කර තිබේ. වැඩසටහනේ තෙවන අදියර නොවැම්බර් මාසයේදී ආරම්භ වන අතර වසර අවසන් වීමට පෙර තවත් විදුලිකාර්මිකයින් 2500කට NVQ3 පිරිනැමේ.

    මේ පිළිබද පැහැදිලි කරන විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා

    “විදුලිකාර්මික වෘත්තීයේ නියැලෙන පිරිස 45000ක් පමණ. මේ අයගෙන් 95කටම පිළිගත් සුදුසුකමක් නැහැ. ඒ නිසා ඔවුන්ට වෘත්තියේ ඉදිරියට යන්න බැහැ. ඒ වගේම ප්‍රමිතිගත විදුලිකාර්මිකයින් නොමැති කම විදුලි ආරක්ෂාවටත් තර්ජනයක්.  ඒ වගේම විදුලිකාර්මික වෘත්තීය බලපත්‍රය ලබාගැනීමට නම් අවම වශයෙන් NVQ 3 මට්ටමවත් තිබිය යුතු ය.  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සියලුම විදුලිකාර්මිකයින්ට නොමිලේ NVQ3 පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කලේ මේ සියලු ගැටළු වලට පිළියමක් වශයෙන්. ඉදිරි වසර තුලදී පලපුරුදු සියලු විදුලිකාර්මිකයින්ට  කඩිනම් ක්‍රමය යටතේ නොමිලේ NVQ3 පිරිනැමීම අපේ ඉලක්කයයි.”

    විදුලිකාර්මිකයින්ට NVQ 3 පිරිනැමීමේ වැඩසටහන සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව(PUCSL) වෘත්තීය හා තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC)), වෘත්තීය පුහුණු අධිකාරිය(VTA)  සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) යන ආයතන සමග අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නැගුවේ මේ වසරේදී. මෙම අවබෝධතා ගිවිසුම් වලට අනුව ජාතික වෘත්තීය සුදුසුකම් විභාග හා පාඨමාලා ගාස්තු විදුලිකාර්මිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දරනු ලබයි. විදුලිකාර්මිකයින්ට සිව් දිනක් තුලදී පෙර දැනුම ඇගයීමේ ක්‍රමය Recognition of Prior Learning-RPL based Evaluation) යටතේ NVQ 3 සුදුසුකම ලබාගැනීමට හැකි වීමද මෙම වැඩසටහනේ විශේෂත්වයක්.

    විදුලිකාර්මිකයින්ට NVQ 3 ලබාගැනීමෙන් අනතුරුව විදුලිකාර්මික වෘත්තීය බලපත්‍රය ද පිරිනැමීම සදහා ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සමග එක්ව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සැලසුම් කර ඇතැයි ජනක රත්නායක මහතා අනාවරණ කළා

    “ඉදිරියේදී විදුලිකාර්මිකයින් අනිවාර්යෙන් විදුලිකාර්මික බලපත්‍ර ගත යුතු බවට රෙගුලාසි පැනවෙනවා. මේ වන විටත් විදුලිකාර්මිකයින් සදහා ශ්‍රේණි 4ක් යටතේ උසස්වීම් ලබාගත හැකි ආකාරයේ වෘත්තීය බලපත්‍ර ක්‍රමයක් හදුන්වා තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් එක්ව මේ බලපත්‍ර ක්‍රමය සකස් කලා. බලපත්‍රය ලබාගැනීමට අවම සුදුසුකම NVQ 3 මට්ටම. අපි දැන් සියලු විදුලිකාර්මිකයින්ට NVQ 3 නොමිලේ ලබාදෙනවා. ඒ නිසා සියලු විදුලිකාර්මිකයින්ට වෘත්තීය බලපත්‍රයද පහසුයෙවන් ලබාගන්න පුළුවන්. විදුලිකාර්මික වෘත්තීය බලපත්‍ර පිරිනැමීමේ කටයතු දිස්ත්‍රික් මට්ටමින් මේ මාසයේ සිට ආරම්භ කිරීමට අපි සැළසුම් කරල තිබෙනවා”.

    විදුලිකාර්මිකයින්ට NVQ 3 නොමිලේ පිරිනැමීමේ වැඩසටහන පිළිබද වැඩිදුර විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවට Facebook.com/pucsl  පිවිස ලබා ගත හැකිය. 0764271030 දුරකතන අංකයට සිය නම හා දිස්ත්‍රික්කය වට්ස්ඇප් ඔස්සේ එවීමෙන් ද විදුලිකාර්මිකයින්ට මෙම වැඩසටහන සදහා ලියාපදිංචි විය හැකිය.

  • සිසුන් 200ට අඩු පාසල් 3000ක් 21 දා ඇරඹෙයි

    සිසුන් 200ට අඩු පාසල් 3000ක් 21 දා ඇරඹෙයි

    සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.

  • ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තව දුරටත් ඉහළට

    ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තව දුරටත් ඉහළට

    ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙන අතර අද (05) දිනය වන විට රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1,768ක් පමණ වී ඇත. යි සත 65 ක් ලෙසය. එම අගය ඊයේ වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 1,754 යි සත 55ක් ලෙසය.
  • එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ GL මැතිසබේදී හෙළිකරයි

    එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ගත් තීරණ GL මැතිසබේදී හෙළිකරයි

    ලොකු කුඩා සෑම රටකටම බලපාන  වසංගත, දේශගුණ විපර්යාස, ගෝලීය ආහාර තත්වය,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසුදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාව  යනාදී කාරණා රැසක් ගැන  එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මේ මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමඟ සංවාදයකට සහභාගි විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    විදේශ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කෙරුණු සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ අප දරන ප්‍රයත්න පිළිබඳව මෙම සභාවට දැනුම් දීම සඳහා මම අද නැගී සිටිමි. අපි රජයක් වශයෙන් වර්තමාන වසංගතයට එරෙහිව සටන් කරමින් එහි ඉතා අයහපත් බලපෑම් හේතුවෙන් සිදුවන ආර්ථික හැකිලීමේ ප්‍රතිවිපාක සමඟ කටයුතු කරන අතර, පාලනය සහ ජාතික යහපැවැත්ම පිළිබඳ අපගේ ප්‍රවේශයේ තවත් පැතිකඩක් ඔබතුමාගේ අවසරය ඇතිව ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ප්‍රතිපත්තිමය වශයෙන්,  අපි අනෙකුත් ජාතික රාජ්‍යයන් සමඟ පූර්ණ ලෙස, අවංකව හා විවෘතව කටයුතු කිරීම සඳහා වන අපේ අතිගරු ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අවධාරණය කළ යුතුය. අපගේ සෞභාග්‍යයේ දැක්ම, තනිවම සාක්‍ෂාත් කර ගත නොහැක. අපි සියලු දෙනාම පොදු අනාගතයක් බෙදාහදා ගන්නා අතර, මතු පරම්පරාව වෙනුවෙන් එම දීප්තිමත් අනාගතය සුරක්‍ෂිත කර ගැනීම සහ සහතික කිරීම සඳහා අපට කළ හැකි උපරිමය කිරීම අපේ යුතුකමයි.

    මේ අනුව ගරු කථානායකතුමනි, අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සහ මිතුරන් සමඟ මෑතක දී සිදුකළ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව මම මෙම සභාවේ අවධානය යොමු කරමි. අපි ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් සහ ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ද්විපාර්ශ්වික හවුල්කාර රටවල් සමඟ සංවාදයක් පවත්වා ගෙන යන අතර, භූගෝලීය හා අනෙකුත් සීමා මායිම් හරහා ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කිරීමට ද අපි උත්සාහ දරන්නෙමු. ගරු කථානායකතුමනි, ලැබෙන සෑම අවස්ථාවක දී ම හැකි විශාලම ප්‍රජාවක් ඇමතීමට අපි උත්සාහ දරන්නෙමු. මෙය අපට එරෙහිව එල්ලවන විවේචනාත්මක අදහස්වලට එරෙහිව කටයුතු කිරීමට හෝ ඒවා වැළැක්වීම සඳහා පමණක් නොව, ගෝලීය වේදිකාවේ දී අපේ හඬ ඇසෙන්නට සැලැස්වීම පිණිස ද වේ. අපි මෙය ද්විපාර්ශ්වික හවුල්කරුවන්, සංවිධාන හා කලාපීය කණ්ඩායම් සමඟ සහ විශේෂයෙන් බහුපාර්ශ්වික සංසදවල දී සිදුකරන්නෙමු. පුද්ගලිකව සහ සාමූහික වශයෙන් අප මුහුණ දෙන අසංඛ්‍යාත අභියෝගයන්ට මුහුණ දීමේ දී, විවෘතභාවය පිළිබඳ හැඟීමක්, අන් අයගේ සංජානනය සහ සැබෑ ජීවිතයේ අත්දැකීම් අවශෝෂණය කර ගැනීමට සහ එතුළින් ඉගෙනීමට ඇති කැමැත්තක් අප තුළ ද පවතී.

    ගරු කථානායකතුමනි, අපි සාපේක්ෂ වශයෙන් කුඩා, දූපත් රාජ්‍යයක් වෙමු. කෙසේවෙතත්, අපි අභිමානවත් ඉතිහාසයක් සහ සංකීර්ණ පසුබිමක් සහිත ජාතියක් ද වෙමු. ලෝකයෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති අතරම, ලෝකය සමඟ බෙදාහදා ගැනීමට ද බොහෝ දේ අපට ඇත. අපගේ බහුවිධ විවිධත්වය යනු සමාජ අත්හදා බැලීමක් නොව, එදිනෙදා අප ජීවත් වන දෙයකි. එය වරින් වර ආතතීන් ඇති කරන නමුත්, අපි තවමත් සහෝදරත්වය සහ හොඳ හිත පිළිබඳ හැඟීමෙන් යුක්තව දිගටම දිවි ගෙවන්නෙමු. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ මා විසින් සහභාගී වන ලද, මෑතක දී ඉතාලිය, ජිනීවා සහ නිව්යෝර්ක් හි පැවති ඉහළ පෙළේ සාකච්ඡා තුනේ දී අපි මේ බව අවධාරණය කළෙමු. මෙම සිදුවීම් මඟින්, සියලු රටවල් සඳහා පොදු වැදගත්කමක් සහිත වැදගත් ගෝලීය ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා මෙන්ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපගේම අදහස් ඉදිරිපත් කිරීම සඳහා ද ශ්‍රී ලංකාවට තීරණාත්මක වේදිකා සපයා ඇත. මෙම මෑත කාලීන අන්තර්ක්‍රියා හේතුවෙන්, ජාත්‍යන්තර වශයෙන් ඉහළම තලයේ සිටින නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ අන්තර් ක්‍රියා සිදුකිරීමට අපට හැකි විය.

    වසංගත තත්ත්වය හේතුවෙන් පැවති භෞතික සම්බන්ධතාවයේ දිගුකාලීන පරතරයකින් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් “අපේ කාලයේ දී පැවති විශාලතම අර්බුද ප්‍රවාහය” ලෙස හැඳින්වූ විවිධ අංශයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කටයුතු මඟින් වැදගත් අවස්ථාවක් ලබා දුන්නේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් හි පැවති 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සිය ප්‍රකාශය කරමින්, වසංගතය සහ ඒ හේතුවෙන් ඇති වන ආර්ථික බිඳවැටීම් මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් පවතින අර්බුදවලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පූර්ණ ලෙස සම්බන්ධ වී සිටින බව ප්‍රකාශ කළේය. අපගේ මෙම කටයුතුවල අරමුණ වන්නේ, මෙම ගෝලීය අභියෝගවල අයහපත් ප්‍රතිඵලවලින් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි.

    ඒ හා සමානව ශ්‍රී ලංකාව සඳහා වැදගත් වන මෑත කාලීන දේශීය ප්‍රවණතා සහ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ තීරණාත්මක ජාතික ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අප මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මට්ටමින් ජාත්‍යන්තර ප්‍රජාව ඇමතීමට සහ කිසියම් සාවද්‍ය හෝ පක්ෂග්‍රාහී හැඟීමක් නිවැරදි කිරීම සඳහා මෙම සංචාර මඟින් අපට අවස්ථාව ලබා දුන්නේය.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා මගේ ප්‍රකාශය අවසන් කරමින්, මම මෙසේ ප්‍රකාශ කළෙමි: “අපි අපේ අභියෝග පිළිගැනීම සඳහා විවෘතව සිටින අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස, සමස්ත ගැටලු පරාසය තුළම වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු.”

    මෙම අභියෝගයන්ට මුහුණ දීමේ අවශ්‍යතාවය අපි පිළිගන්නා බවට වන ස්ථාවරයෙහි අප පිහිටා සිටින අතර, එම ප්‍රයත්නයේ දී, හිතකර විවේචන සහ යහපත් චේතනාවකින් යුතුව ගෙනඑන ජාත්‍යන්තර යෝජනා සඳහා විවෘතව ප්‍රතිචාර දැක්විය යුතුය. එසේ පවසන අතරම ගරු කථානායකතුමනි, අපට අපගේ ස්වාධීනත්වය, ජාතික ස්වෛරීභාවය හෝ ජාතියක් වශයෙන් අපගේ ආත්ම ගෞරවය අනතුරේ හෙළීමට ද අවශ්‍ය නොවේ.

    ප්‍රධාන රටවල් ගණනාවක විදේශ ඇමතිවරුන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීමට සහ පොදුරාජ්‍ය මණ්ඩලය, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාව සහ ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය වැනි ශ්‍රී ලංකාවට ඍජුව අදාළ වන සභාවන් ඇමතීම සඳහා මට අවස්ථාව ලැබුණි. අපගේ පළපුරුද්ද, සංජානනය සහ ස්ථාවරය වාර්තාගතව තැබීම සඳහා අපගේ අඛණ්ඩ හා දැඩි උත්සාහය තුළින් විවෘතභාවය, අවංකභාවය සහ ක්‍රියා කිරීමට ඇති කැමැත්ත පිළිබඳ මෙම ප්‍රවේශය පෙන්නුම් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන ආසියාවේ පැරණිතම රටක් ලෙස, දශක නවයක් තිස්සේ අඛණ්ඩව මෙම ක්‍රමය පිළිපදින ජාතියක ස්ථාවරයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්, පරමාදර්ශයන් සහ පොදුවේ බෙදාගත් සාරධර්ම කෙරෙහි වූ අපගේ කැපවීම අපි යළි තහවුරු කළෙමු.

    ගරු කථානායකතුමනි, සැබෑ හා දැනෙන ප්‍රතිලාභ අපේ ජනතාවට ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් දරනු ලබන මෙම ප්‍රයත්න අතිශයින් වැදගත් වේ. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී ප්‍රධාන අවධානය යොමු වූයේ, ලෝකයේ ලොකු කුඩා සෑම රටකටම බලපාන වසංගතය, දේශගුණික විපර්යාස, ගෝලීය ආහාර තත්ත්වය, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසිදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාවය වැනි කරුණු පිළිබඳවය. ගෝලීය ස්වභාවයේ පවතින මෙම අන්තර් සම්බන්ධිත ගැටලු සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතයට බලපාන බව ඉතා පැහැදිලිය.

    මෙම මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙම සංවාදයට සහභාගී විය යුතුය. තවත් පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ, අපට විද්‍යාඥයින්, ආර්ථික විද්‍යාඥයින්, පෞද්ගලික අංශය, තාක්‍ෂණයේ නායකයින්, තරුණයින් මෙන්ම ප්‍රාථමික ආහාර නිෂ්පාදකයින් වැනි දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉතා පුළුල් පරාසයක කොටස් කරුවන් වෙත ළඟා වීමට අවශ්‍ය වීමයි. මෙය විවිධ මට්ටම්වල සහ විවිධ ක්ෂේත්‍රවල දේශීය හා ගෝලීය ප්‍රජාවේ හරස්කඩක් නියෝජනය කරයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි, “වසංගතයේ ආර්ථික බලපෑම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. මෙය 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ලෙස අවදානමට ලක් කර තිබේ.”

    ඒ අනුව, ගරු කථානායකතුමනි, මෙය සාමූහිකව අප ඉදිරියේ පවතින විශාලතම අභියෝගයයි. ශ්‍රී ලංකාව තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයකම නායකත්වය ගෙන ඇති බවත්, පාරිසරික ක්‍රියාකාරිත්‍වය පිළිබඳ සමහර ප්‍රධාන අංශවල මූලිකත්වය ගෙන සිටින බවත් ප්‍රකාශ කිරීම හිස් හෝ නිෂ්ඵල ආත්ම වර්ණනාවක් නොවේ. ආන්තික දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් ලෙස, ඉදිරියේ දී එළඹෙන එක්සත් රාජධානියේ COP26 හි අපගේ නියැලීම මඟින් අපගේ පොදු, එකිනෙක රටවල් මත යැපෙන අනාගතය සඳහා වන අපගේ කැපවීම පිළිබඳව අවධාරණය කරනු ඇත.

    දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්, අප වෙනුවෙන් මෙන්ම, අපේ යෞවනයන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් ද අතීතයේ අඩුපාඩු ආපසු හරවා සෞඛ්‍ය සම්පන්න ග්‍රහලොවක් අලුත්වැඩියා කොට ගොඩනැගීම සඳහා අපි බැඳී සිටිනවා. මෙම ප්‍රයත්නයේ දී, අපි සෙසු ලෝකය සමඟ සහයෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී මෙන්ම බලශක්ති පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ දී ද අපේ මෙම ස්ථාවරය අපේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මේ හේතු නිසා මෙම වසරේ දී ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම කාලෝචිත හා අත්‍යවශ්‍ය වන බව එතුමා සඳහන් කළේය.

    තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්තියේ පෙරමුණගත් රට වශයෙන් අප පිළිගනු ලැබීම තුළින්, ශ්‍රී ලංකාව මෙම ගෝලීය ප්‍රයත්න සඳහා දායක වී ඇති බව එතුමා සඳහන් කළේය. 2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත් වීමේ ගෝලීය ප්‍රයත්නයට සම්බන්ධ වන බවට සහ 2030 වන විට අපේ බලශක්ති සම්පත් වලින් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම අපි ප්‍රතිඥා දී ඇත්තෙමු. තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්‍ධනය කිරීම, වනාන්තර ආවරණය වැඩි කිරීම සහ ජලය හා ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපේ දේශීය ප්‍රයත්න, පොදුවේ පිළිගැනීමට ලක්විය.

    ඉදිරි වසර කිහිපය තුළ දී මෙම අපේක්ෂාගත ඉලක්ක වෙත ළඟාවීම සඳහා, අපට තාක්‍ෂණය, මූල්‍ය සහයෝගිතාව සහ ආධාර වෙත සැලකිය යුතු ප්‍රවේශයක් තිබිය යුතු බැවින්, ජාත්‍යන්තර වශයෙන් සහ මහා මණ්ඩලයෙහි අපගේ පෙනී සිටීම අත්‍යවශ්‍ය විය. මෙම වසර අවසානයේ දී පැවැත්වෙන COP 26 හිදී අපි මෙම පණිවිඩ නැවත අවධාරණය කරන්නෙමු.

    ගරු කථානායකතුමනි, අපට ජය ගැනීමට අවශ්‍ය අනෙක් විශාල අභියෝගය වන්නේ සමාජ සමගිය හා එකමුතුභාවයයි. අභ්‍යන්තර ආරවුල්, දොම්නස සහ හිංසනයෙන් තොර සැබවින්ම ඒකාබද්ධ ජාතියක් නොපවතින අවස්ථාවක දී, අප විසින් කළ යුතු වන්නේ පවුරු බැඳීමට වඩා පාලම් තැනීමය. අපි සමාජයේ සෑම අංශයක් කරාම ළඟා වී 2019 සහ 2020 වසරවල දී පැවති මැතිවරණවල දී රජය කෙරෙහි තැබූ විශ්වාසය නැවත ලබා දිය යුතුය. සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත කළ ප්‍රකාශයේ දී, දිග්ගැස්සුනු ගැටුමකින් පසුව අත්‍යවශ්‍ය වන සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රයත්න පුනර්ජීවනය කිරීම සහ ප්‍රබෝධමත් කිරීම සඳහා වූ අපගේ මුලපිරීම් පිළිබඳව මම සඳහන් කළෙමි. අතිගරු ජනාධිපතිතුමා නිව්යෝර්ක්හි දී පැවසූ පරිදි: “කල් පවත්නා සාමය සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආයතන හරහා වැඩි වගවීමක්, ප්‍රතිස්ථාපන යුක්තියක් සහ අර්ථවත් සංහිඳියාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ.”

    අප 2009 දී අසීරුවෙන් දිනාගත් සාමය පවත්වා ගැනීම සහ ගොඩනැගීම සඳහා වූ මෙම ප්‍රයත්නයේ දී අපි සහයෝගය දක්වන ජාතික ආයතන කිහිපයක් පිළිබඳව මම සඳහන් කළෙමි. විශේෂයෙන් කථානායකතුමනි, එහි මූලික කර්තව්‍යය වශයෙන් දුක්ඛිත පවුල් ගණනාවක් සඳහා කටයුතු අවසන් කිරීමේ සහ වන්දි ලබා දීමේ අරමුණ ඇතිව, අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුව අවසන් කරමින් පවතින, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වැදගත්කම පිළිබඳව මම අවධාරණය කළෙමි. ඒ හා සමානව, වන්දි ගෙවීමේ කාර්යාලය (OR) විසින් මේ වසරේ දී පමණක් හිමිකම් ඉල්ලීම් 3,775 ක් පිළිබඳව විභාග කොට ඇත.  ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය  (ONUR) විසින් එහි කරුණු 8 කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම නැවත ප්‍රාණවත් කිරීමේ ප්‍රයත්නයට අපි සහාය දුන්නෙමු. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ වරම ක්‍රියාත්මක කිරීම සඳහා අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අඛණ්ඩව සහයෝගය ලබා දී ඇත්තෙමු. තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන බව අපි පෙන්වා දුන්නෙමු. මෙම කරුණුවලට අතිරේකව, පසුගිය වසර කිහිපය තුළ සංහිඳියාව සහ වගවීම සඳහා වූ විවිධ ප්‍රයත්න පිළිබඳව සොයා බැලීමට සහ නිගමනයකට එළඹීම හා නිර්දේශ ලබා දීම සඳහා කොමිසමකට බලය පැවරීමට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළ අතර, එමඟින් මෙම ක්‍රියාවලීන් ඉදිරියට ගෙන යාමට අපි අපේක්ෂා කරමු. අපගේ භූමියෙහි අනාගත දූ පුතුන් සඳහා දීප්තිමත්, සෞභාග්‍යමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා අවංක භාවයෙන් සහ බැරෑරුම් අරමුණින් යුතුව අපි මේ සියල්ල සිදු කරන්නෙමු.

    අපේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෑතක දී ඉතාලියේ බොලොඤ්ඤා හි දී අවසන් වූ ජී 20 අන්තර්-ආගමික සංවාදය අමතමින් සිය දේශනයේ දී, ආගම හා වෙනත් සමාජ සංස්කෘතික වෙනස්කම් මත පදනම් වූ බාධක ඉක්මවා යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. බොලොඤ්ඤා හි පැවති සර්ව ආගමික සංසදය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙම සහභාගී වීම තුළින්, දේශීය සාමය හා සමගිය ඇති කිරීම සඳහා අධ්‍යාපනයේ සහ තරුණයින්ගේ වැදගත් කාර්යභාරය තවදුරටත් මතුකර  පෙන්වීය. මෙම අන්තර්-ආගමික සංසදය, ශ්‍රී ලංකාව උදාහරණයට ගනිමින්, අපේ කලාපයේ විවිධත්වය පිළිබිඹු කිරීම සහ මෙම විවිධත්වය ජාතියක් වශයෙන් අපගේ ශක්තියේ පදනම වන බව යළි අවධාරණය කිරීම සඳහා සුදුසු අවස්ථාවක් විය. එහි දී, “මෙම වෙනස්කම් අභිබවා යමින්, සියලු විවිධ ජාතීන් ප්‍රයෝජනයට ගනිමින්, පරිණත ජාතියක් පිළිබඳ හැඟීමක් ගොඩනැගීමේ අභියෝගය සඳහා අපි ප්‍රතිචාර දක්වා ඇත්තෙමු.” යයි එතුමා සඳහන් කළේය.

    කථානායකතුමනි, ඔබ තුමා හරහා ජාතිය සහ ලෝකය වෙත ලබා දෙන අපගේ පණිවුඩය වන්නේ, අපි ඒකීය භාවය – ලාංකික හැඟීම සහ අනන්‍යතාවය – පිළිබඳ හැඟීමක් ඇති කර ගනිමින් අපේ විවිධත්වය සැමරීම සඳහා උත්සාහ දරන අතර, අපට දේශීය හා ගෝලීය අභියෝග රැසකට මුහුණ දීම සඳහා එය දුර්වලකමකට වඩා ශක්තියේ ප්‍රභවයක් වනු ඇති බවයි.

    ගරු අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා හි දී කළ දේශනයේ දී පැවසූ පරිදි:

    “සංහිඳියාව යනු අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවයකි. ගැටුම් සහ උත්සන්න වන ආතතීන් අප අවට බොහෝ සෙයින් දක්නට ලැබේ. සාමය සහ ස්ථාවරත්වය පැමිණෙන්නේ අප සමඟ දැඩි ලෙස එකඟ නොවන අය ඇතුළුව, අපේ රටවල ජීවත් වන සියලු දෙනා සමඟ පැවැත්වෙන සෞඛ්‍ය සම්පන්න සබඳතාවලිනි. නැවතත්, අපේ ආගම අපට උගන්වන්නේ වෛරය ජය ගත හැක්කේ වෛරයෙන් නොව ප්‍රේමයෙන් පමණක් බවයි. අතීතයෙන් ලබාගත් දුක් ගැනවිලි ගැන සිතමින් සිටිනවාට වඩා, අපි වර්තමානය, අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමඟ එකඟතාවයක අවශ්‍යතාවය සහ අපි අත්‍යවශ්‍ය ලෙස පවතින සහෝදරත්වයේ හා අවබෝධයේ සබඳතා ගොඩනඟන්නේ නම් අප සියලු දෙනාට ළඟාවිය හැකි  ප්‍රබෝධජනක නව මායිම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.”

    මෙම ප්‍රයත්න තුළ සිවිල් සමාජයේ කාර්යභාරය පිළිබඳව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. සිවිල් සමාජයේ නියෝජිතයින් යනු අපි ලබා ගැනීමට අපේක්ෂා කරන විසඳුම්වල අනිවාර්ය අංගයකි. කථානායකතුමනි, ඔවුන් ගැටලුව පිළිබඳ ප්‍රකාශනයක් නොව අපේ ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙන ඇතැයි සැලකෙන පියවර පිළිබඳව උනන්දුවක් මතු වී තිබේ. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. අපි ප්‍රජාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින අතර, සංහිඳියාවට සහ තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 හි ක්‍රියාවලීන්ට අනුකූලව ඔවුන්ගේ හැකියාවන් සහ නිසැක වශයෙන් පවතින ධාරිතාවන් උපයෝගී කර ගැනීමට උත්සාහ කරන්නෙමු. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අමතමින් මා කළ කතාවේ දී මම මෙය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ අතර, අපේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අප දරන ප්‍රයත්නයේ දී ඔවුන් වටිනා සහ අගය කරනු ලබන හවුල්කරුවෙකු ලෙස අපි සලකන බවට මෙම සභාවට සහතික වීමට මට අවශ්‍යය.

    කථානායකතුමනි, මෙම ඒකාබද්ධ අරමුණ සඳහා මූලික අභියෝගයක් වන්නේ අන්තවාදය සහ එයින් උපදින ත්‍රස්තවාදය යි. අපි ජනතාව නියෝජනය කරන රජයක් වශයෙන්, මානව ආරක්‍ෂාව එහි පුළුල් අර්ථයෙන් සහතික කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීප සහයෝගයෙන් යුතුව සියලු පියවර ගනිමින් සිටිමු. මෙම සන්දර්භය තුළ සාමූහික ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. පුද්ගල නිදහස සහ ස්වාධීනත්වය සහතික කිරීම ජාතික ආරක්‍ෂාව පිළිබඳ සංකල්පයට පටහැනි නොවේ. ඇත්තෙන්ම එය පුද්ගලික අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි ස්ථාවර හා ආරක්‍ෂිත ජාත්‍යන්තර හා දේශීය නියෝගයකි. සම්භාව්‍ය මිත්‍යා ප්‍රබන්ධවල සහ ජනප්‍රවාදයේ එන බොහෝ හිස් ඇති හයිඩ්‍රා මෙන්, එක් රටක හෝ කලාපයක එක් ව්‍යාපාරයක් පරාජය වූ විට අන්තවාදය සහ ත්‍රස්තවාදය වෙනත් තැනක වර්ධනය වේ. අපි මෙය බොහෝ අවස්ථාවල දී දැක ඇත්තෙමු. අන්තර් සම්බන්ධිත ලෝකයක් තුළ, එවැනි ව්‍යාපාර සහ අන්තවාදී මතවාදයන් කලින් පැවති විනිවිද යා නොහැකි ජාතික සීමාවන් අර්ථ රහිත කරයි. අපේ ප්‍රතිචාරය ද කථානායකතුමනි, ඒ හා සමානව ගතික, අනුවර්තී හා ප්‍රත්‍යාස්ථ විය යුතුය. නිව්යෝර්ක් හි සහ වෙනත් මිත්‍රශීලී රටවල අමාත්‍යවරුන් සමඟ මා සිදුකළ අදහස් හුවමාරුවේ දී, මෙම සාපරාධී ජාලයන්ට අරමුදල් සැපයීම සහ තහනම් කිරීම පිළිබඳ ගැටලු විසඳීම සඳහා සමීප සහයෝගීතාව, බුද්ධි තොරතුරු එකතු කිරීම සහ බෙදා ගැනීම සහ සාමූහික ක්‍රියාමාර්ග කෙරෙහි අපි තියුණු අවධානයක් යොමු කර ඇත්තෙමු.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළ පරිදි:

    “ත්‍රස්තවාදය යනු ගෝලීය අභියෝගයක් වන අතර, එය ජය ගැනීමට නම් විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව අවශ්‍ය වේ. පසුගිය අඩ සියවසේ දී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය පැහැර ගනු ලැබීය.

    මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා මගේ රජය කැපවී සිටී.

    එම නිසා එහි පිටුපස පවතින මූලික ගැටලු විසඳීම සඳහා අපි කටයුතු කරන්නෙමු.”

    අවසාන වශයෙන් කථානායකතුමනි, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව, ක්‍රියාශීලීව සම්බන්ධ වීම තුළින් ජාතියට යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දරන ප්‍රයත්නවල දී අපි විවේක නොගන්නා බවට ශ්‍රී ලාංකික ජනතාවට සහතික වීමට මම කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන් අප දරන දැඩි ප්‍රයත්නය පිළිබඳව මෙම ගරු සභාවේ සාමාජිකයින්ට සහ ජාතියට නිතිපතා දැනුම් දීම සඳහා ඉදිරි මාසවල දී මම උත්සාහ දරමි.

  • දෙරටේ ආණ්ඩු ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි‘ – ජනපති

    දෙරටේ ආණ්ඩු ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි‘ – ජනපති

    එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, කරුණු දීර්ඝව පැහැදිලි කරමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.

    පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් හඳුනාගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් ලබාදිය හැකි බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළඳ අසමතුලිතාව පිළිබඳව කරුණු පැහැදිලි කරදුන් ජනාධිපතිතුමා කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.

    අතුරුදහන් වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුලු යුද්ධයක අතුරු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බලකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.13 වන ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බව ද ජනාධිපතිතුමා ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.

    උතුර – නැගෙනහිර සංවර්ධනයට තම රජයන් පසුගිය කාලයේ සිට ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිතුමා යුද සමයේ දී ආරක්ෂාව වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 90%කට අධික ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති බවත් පැවසීය. අතුරුදහන්වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සිදු කෙරෙමින් පවතින අතර යුද සමයේ ඇති වූ අනෙකුත් ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිලි කර දෙනු ලැබීය.

    දෙරටේ භුගෝලීය පිහිටීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    චීනය සමග ඇති සබඳතාව ඉතා මැනවින් පැහැදිලි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ද ඉන්දීය විදේශ ලේකම්වරයා සමග කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබේ. ඒ සඳහා ඉන්දීය ආයෝජකයන්ට ද විවෘතව ආරාධනා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

    දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
    ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

    විදුලිය භාවිතයේ දී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

    කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලක්කළ ඉන්දීය විදේශ ලේකම්වරයා කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කළේය. ජනාධිපතිතුමාගේ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා දෙරට අතර ඇති අදහස් සමාන බැවින් දෙරට අතර මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකි බව පැවසීය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද  ජනාධිපතිතුමා විදේශ ලේකම්වරයා හමුවේ දැන්වීය.

    ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.