Author: Editor

  • ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා

    ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා

    ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා,

    “පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. තවත් පිරිසක් ආණ්ඩුව විසින් හේතු නොදක්වා ඉවත් කරනු ලැබුවා. අද වනවිට පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වී තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය කියන්නේ මෑත කාලීනව සහල් මෝල් වටලෑම, සතොස සුදුළුෑණු වංචාව, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම වැනි කාරණාවලදී වැඩි මැදිහත්වීමක් කළ ආයතනයක්.

    මේ ආණ්ඩුව රජයේ තනතුරුවලට පත්වීම් ලබා දෙද්දී දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කරගෙන යාමට දෙන බවත් සුදුසුකම් අනුව, විද්‍යාත්මක ක්‍රමවේද අනුව තනතුරු ලබා දෙන බව කිවුවා. නමුත් ඒ ආයතනවලට සිදුවූ දේශපාලන මැදිහත්වීම් නිසා නිලධාරීන් ගණනාවකගේ ඉල්ලා අස්වීම සිදුවුණා. සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩල සභාපති ධුරයෙන්, මහින්ද විදානපතිරණ මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙනුත්, ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, නාලක කළුවැව මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, අනිල් කොස්වත්ත මහතා ලිට්‍රො සමාගමේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධුරයෙනුත්, රේණුක පෙරේරා මහතා නිවාස අධිකාරියේ සභාපති ධුරයෙනුත් ආදී වශයෙන් නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. විශේෂඥ වෛද්‍යවරුන් කොවිඞ් කමිටුවලින් ඉල්ලා අස්වුණා. තානාපතිවරුන් ඉල්ලා අස්වුණා.

    දැන් අද දිනයේ තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපිය භාර දී තිබෙනවා. ආණ්ඩුව තමන්ට අවශ්‍ය ලෙස මේ ආයතන නටවන්න හදද්දී ඊට එරෙහි වන නිලධාරීන් තමන්ගේ හෘදය සාක්ෂියට අනුව වැඩ කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වී යනවා. මෙවැනි අස්වී යන නිලධාරීන්ගේ සිත් වේදනාව හිටපු මහ බැංකු අධිපතිතුමා වැනි කෙනෙකුගේ ප්‍රකාශවලින් අපට දැනගන්න ලැබුණා. විශේෂයෙන් තුෂාන් ගුණවර්ධන මහතාට ඉල්ලා අස්වීමට සිදු වන්නේ සතොස වංචාව හෙළිදරව් කිරීම සහ කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති මිල වැඩි කිරීමේ ගිවිසුම්වලට අදාළ ඔහුගේ විරෝධය නිසයි.

    පසුගිය කාලයේ රේගුවේ සිරවී ඇති භාණ්ඩ ආනයනය කරන ලද මිලට නිදහස් කර ගෙන සතොසට ලබා ගැනීමේ තීරණයක් ගනු ලැබුවා. ඒ අනුව රේගුවේ සුදුළුෑණු කිලෝග්‍රෑම් 54,860ක් සතොස මගින් නිදහස් කරගත්තා. ඒ කිලෝ එකක් රු. 117ක මුදලකටයි. එය වෙළඳපොළේ තොග මිල ලෙස රු. 445ක් පමණ මුදලකට අලෙවි කළ හැකිව තිබුණා. කිලොවක සිල්ලර මිල 540ක් වුණා. නමුත් මෙම සුදුළුෑණු තොගය සතොස ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ සතොස ලියාපදිංචි සුදුළුෑණු සැපයුම්කරුවෙකුටම කිලෝවක් රු. 135ක් වැනි අඩු මුදලකට වැලිසර සතොස ගබඩාවෙන් හොර රහසේ විකුණා තිබෙනවා. ඔවුන්ට එය නැවත සතොසටම විකිණීමට හැකියි. මෙම සිදුවීම පාරිභෝගික කටයුතු අධිකාරියට වාර්තා වීමෙන් පසුව අද ඉල්ලා අස්වන විධායක අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය ඇතිව කණ්ඩායමක් ගොස් මෙම වංචාව හසුකර ගත්තා. ඔවුන් පසුගිය 09වැනිදා ලබා ගත් වැලිසර ගබඩාවේ ලොග් සටහන් අනුව මේ ගනුදෙනුව රාත්‍රියේ සිදුවී ඇති ආකාරය සොයා ගත්තා.

    රේගුවෙන් ලබා ගත් උඳුවලටත් සිදු වූයේ මෙම වංචාවමයි. උඳු කිලෝග්‍රෑම් 13,975ක් සතොස විසින් ලබා ගත්තා. මේ වන විට උඳු කිලෝවක සිල්ලර මිල 1100යි. නමුත් සතොස ඒවා ලබා ගත්තේ කිලෝවක් රු. 300ටයි. ඒ සඳහා වැය වුණේ රු. 41,92,500ක මුදලක්. සතොස මෙය ලක්ෂ 1,53,72,500කට මිල කළා. එය සතොස වෙළඳසල් මගින් විකිණීමට අදහස් කළා. ඒත් ඒවා වෙන සමාගම්වලට විකුණුවේ කිලෝව රු. 425ටයි. එයින් කිලෝවකින් ලාභ තිබුණේ රු. 125යි. නමුත් එමගින් සතොසට හැම කිලෝ එකකින්ම රු. 675ක පාඩු වුණා. ඒවා විකුණා තිබුණේත් සතොස සැපයුම්කරුවන්ටමයි. මේ අහිමි වූ රු. 94,33,125ක මුදල සතොසටත් පාරිභෝගිකයාටත් නැතිවුණා. ඒ මුදල ගියේ සමාගම්වලටයි. එයින් ජනතාවට සහන දෙන්න තිබුණා. අත්‍යාවශය භාණ්ඩ සාධාරණ මිලකට හිඟයකින් තොරව දෙන බව කියමින් සිදු කර තිබෙන්නේ යාළු මිත්‍රයින් අතරේ බෙදා ගැනීමයි. මේ සියලු කූට ගනුදෙනුවලදී පෙනෙන්නේ මේ තත්වයයි. එදා සීනි ගනුදෙනුවේදීත් සිදු වූයේ මෙයයි. රටේ අර්බුදයක් නිර්මාණය වන විට ඒ මැද පිනුම් ගහන ජාවාරම්කාර වළල්ලක් හැදෙනවා. ඒ ජාවාරම්කාර වළල්ල දේශපාලකයින්, ඇමතිවරුන් සමග එකතු වී ජනතාවට ලැබිය යුතුව තිබෙන සහන අතරමැදින් කොල්ලකනවා. මෙවැනි වංචාවලට එරෙහි වන, හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන්ට එළියට බැසීමට සිදු වී තිබෙනවා. අද ආණ්ඩුව ඉන්නේ කුමන පැත්තේදැයි අප අසන්නට සිදුවනවා.

    තවත් සිදුවීමක් වන්නේ ආණ්ඩුව, පාරිභෝගික අධිකාරිය සහ සමාගම් අතර කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ ගිවිසුම්වලට යාමට උත්සාහ කරමින් සිටීමයි. මේ යෝජනාව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණි අවස්ථාවේ භාණ්ඩාගාරයේ නියෝජිතයාත් අද ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාත් විරෝධය පළ කළා. පාරිභෝගික අධිකාරියේ බලතල අනුව සමාගම් සමග තනි තනි ගිවිසුම්වලට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් පෙන්වා දී තිබුණා. මිල වැඩි කිරීම සඳහා සමාගම්වලින් යෝජනා ඉදිරිපත් වූ විට දෙපාර්ශ්වය සාකච්ඡා කර එකඟතාවන්ට එළඹී තිබුණා. කොන්දේසි පැනවීමේ බලය පාරිභෝගික අධිකාරියට තිබුණා. පාරිභෝගික අධිකාරිය සිටියේ පාරිභෝගිකයාගේ පැත්තෙනුයි.

    නමුත් අද පාරිභෝගික අධිකාරිය පෙනී සිටින්නට යන්නේ සමාගම් වෙනුවෙනුයි. වෙළඳ මාෆියාව තොග සීමා කර, භාණ්ඩ හිඟයක් නිර්මාණය කර, විදේශ විනිමය අර්බුදය පෙන්වා මිල ඉහළ දාන්න අවසර ඉල්ලනවා. අද පාරිභෝගික අධිකාරිය තමන්ට පනතෙන් තිබෙන බලතල ගිවිසුම් අත්සන් කර තමන් විසින්ම අහිමි කර ගන්න හදනවා. නිලධාරීන් විරෝධය පළ කර තිබෙන්නේ එම තත්වයටයි. මේ ගිවිසුම් ගතවීම් සඳහා තීරණය කළේ කවුද? ඇමතිවරයා සිටින්නේ පාරිභෝගියා පැත්තෙද? නැත්නම් සමාගම් පැත්තෙද? ඔහු මේවාට මැදිහත් වුණාද නැද්ද ඔහු රටට කිව යුතුයි. අද ඇමතිවරු මේ නියාමන ආයතන නටවන්න හදනවා.

    ආනයනය සීමා කළ භාණ්ඩ සියල්ල සතොස මගින් ලබා දිය හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පහුගිය දවසක කිවුවා. රෙදිත් දෙන්න පුළුවන් කිවුවා. යට ඇදුම් දෙන්න කතා කරපු අය සුදුළුෑණු බිකටත් වැඬේ දෙන්න හදනවා. ඔවුන් දන්නේ ඇත්ත ප්‍රශ්නෙ යට ගහන්න මැජික් පෙන්නන්නයි. නමුත් ඇත්ත ප්‍රශ්න අළු යට ඇති ගිනි වගේ මතු වෙනවා. අද ආණ්ඩුව විවිධ ස්වරූපයෙන් ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. අපි දකින්නේ ඒවායේ ප්‍රතිඵලයි.

    අද නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබෙනවා. ජනතාව රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන බව කීවා. නමුත් අද ආණ්ඩුව ඒවාට පයින් ගසා තිබෙනවා. ජනතාව වසංගතයකින් පීඩා විඳින මොහොතක, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යමින් ඇති අවස්ථාවක ඒවා නියාමනය කරන ආයතනවල මෙවැනි තත්වයක් නිර්මාණය වීම අතිශය ඛේදජනක තත්වයක් වනවා. ඊට ආණ්ඩුව සහ ඇමතිවරුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේවා හුදකලා සිදුවීම් ලෙස නොදැක ඊට එරෙහිව තමන්ගේ අදහස් පළ කිරීමට පෙර එන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා.”

  • සතොසේ හොරකම් එළිපිටද? රහසේද?: ශ්‍රී ලංකාවේ නම්බුකාර හොරකම්

    සතොසේ හොරකම් එළිපිටද? රහසේද?: ශ්‍රී ලංකාවේ නම්බුකාර හොරකම්

    දේශපාලන බලපෑම් හමුවේ ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව කියමින් රජයේ තනතුරු හා වගකීම්වලින් නිලධාරීන් අස්වීමේ සිදුවීම් ගණනාවක්ම පසුගිය දිනවල වාර්තා විය. පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද ඒ අයුරින් තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඉල්ලා අස්වීමට බලපෑ පරිසරය හා එහි පසුපස ඇති මාෆියාව ගැන ඔහු සමඟ කළ සංවාදයකි මේ.

    ප්‍රශ්නය:- ඔබේ මේ ඉල්ලා අස්වීමට තුඩු දුන් මූලික සිදුවීම මොකක්ද?
    පිළිතුර:- සැප්තැම්බර් 9 උදේ මට ලංකා සතොසෙන් කෝල් එකක් ආවා. එතකොට මම සභාපතිවරයාත් සමග හිටියේ. වැලිසර තොග ගබඩාවකින් සුදු ලූනු කිලෝ පනස් දාහකට වැඩි තොගයක් පන්නන වැඩක් යනවා කියල තමයි තොරතුර ලැබුණේ.  මම ඒ වෙලාවෙම අපේ ටීම් එකක් එතැනට යවලා ඒ වැඩේට අදාළ ලේඛනවල ඡායාරූප ගන්න උපදෙස් දුන්නා. මොකද තොරතුරට අනුව එතැන වෙමින් තිබුණේ කලින් දවසෙ හොර රහසේ ව්‍යාපාරිකයකුට සුදු ලූනු කන්ටේනර් දෙකක් මුදාහැරලා ඒකට අදාළ ව්‍යාජ ලේඛන සැකැසීමක්. ඒ සඳහා ගිහින් තිබුණෙත් ලංකා සතොසෙ හෙඩ් ඔෆිස් එකෙන්. මේ ලූනු තොගය තිබුණේ මහජනතාවට විකුණන්නයි. මොකද දැන් තොග විකුණන්නැතිව මහජන අවශ්‍යතාවට සිල්ලරට දෙන්න කියලා කැබිනට් තීරණයක් තිබෙනවා. මෙතන බරපතළම කාරණය වුණේ කිලෝව රුපියල් 135 ගානේ බිල්පත් කිසිවක් නිකුත් කරන්නේ නැතිව තොග වෙළෙන්දට විකුණලා රුපියල් ලක්ෂ 73ක් සල්ලි අරගෙන. එහෙම කරන්න උපදෙස් දීලා තිබෙන්නේ සතොසෙ ප්‍රධාන කාර්යාලයේ කෙනෙක්. සල්ලි අරගෙන සේප්පුවේ දාලා.

    ප්‍රශ්නය:- තොග වෙළෙන්දා ඒ ලූනු තොගයට මොකද්ද කරන්නේ?
    පිළිතුර:- ඒක තමයි බරපතළම කාරණය. මේ වෙළෙන්දත් ලංකා සතොසේ සැපයුම්කරුවෙක්. මොහු සතොසෙන් කිලෝව රුපියල් 135ට ගත්ත ලූනු නැවත සතොසට රුපියල් 450 ගානේ විකුණනවා. ඒක තමයි ගේම් එක. මීට කලින් මේ විදියටම උඳු කන්ටේනරයක් විකුණලා තියෙනවා. ඒ කියන්නේ උඳු කිලෝ විසි පන්දාහක් විතර. මීටත් කලින් සීනි, පිටි, පාන්පිටි ආදී භාණ්ඩ රැසක්ම මේ විදියට එලියට විකුණලා තියෙනවා. ඒ කියන්නේ වරායෙන් ගේන බඩු තොග මිලට විකුණනවා හොර පාරෙන්. එක පුද්ගලයකුට මෙහෙම කිලෝ පනස් දාස් ගාණක් දෙන්න තීරණය කළේ කොහොමද කියන එකම ප්‍රශ්නයක්.

    ප්‍රශ්නය:- මේ සිදුවීමට ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධ නැති බවට සිදුවීම වාර්තා වූ විගස මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් වුණා. එහෙම ක්ෂණිකවම විනිශ්චය කළේ කොහොමද?
    පිළිතුර:- ඒක මහ විහිළුවක්. එතැන කාරණා දෙකක් තියෙනවා. අංක එක මූලික විමර්ශනයක්වත් නොකර එහෙම කියන්නෙ කොහොමද? අංක දෙක මොහොතකට එහෙම හිතුවත් ඉහළ කළමනාකාරිත්වය නොදැන මෙහෙම දේවල් වෙනවා නම් ඒ ඉහළ කළමනාකාරිත්වයෙන් වැඩක් නෑනෙ.

    ප්‍රශ්නය:- මේ සිදුවීම සාමාන්‍ය මිනිසුන්ට තවත් සරලව කිව්වොත්?
    පිළිතුර:- මිනිස්සුන්ගේ සල්ලිවලින් ආහාර ද්‍රව්‍ය ආනයනය කරලා ඒවා වෙළෙන්ඳන්ට තොග ගානට විකුණලා ඒ වෙළෙන්ඳගෙන්ම නැවතත් වැඩි මිලට සතොසට මිලදීගැනීමේ කූට වැඩක්. මේ වැඩේ තේරුම මොකක්ද?

    ප්‍රශ්නය:- සිදුවීමට අදාළ අපරාධ විමර්ශනය තිබෙන්නේ කොතැනද?
    පිළිතුර:- තොරතුර ලැබුණ ගමන් මම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය හොබවන නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතනයෙන් තොරතුර දුන්නා. ඔහු මට කිව්වේ ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න කියන එක. මේක මේ මොහොතේ සිදුවන දෙයක් නිසා මට පුළුවන් දෙයක් මම කරගන්නම් එහෙනම් කියල ඊට පස්සෙ රාගම පොලිසියට කතා කළා. ඒ පොලිස් ස්ථානාධිපතිවරයා හැකි සහායක් දෙන්න පොරොන්දු වුණා. ඒත් අපි අපේ රාජකාරිය කළා.

    ප්‍රශ්නය:- සිදුවීමට අදාළ සාක්ෂි පාරිභෝගික අධිකාරිය සතුයි. විමර්ශනයක් කරනවද?
    පිළිතුර:- අපි දැන් කරන්නේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒක දැන් බාරගෙන තියෙනවනෙ. වෙළෙඳ අමාත්‍යාංශය සමහර විට ඒ අයට කියන්න ඇති.

    ප්‍රශ්නය:- මේ සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරියට බලය තිබෙනවා නේද?
    පිළිතුර:- මේක මහා පරිමාණ හොරකමක්නෙ. අපරාධ පරීක්ෂණයකින් මේකට සම්බන්ධ සියලු දෙනා අල්ලගන්න ඕනේ. අපි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එහා දෙයක් එතැන තියෙනවා.

    ප්‍රශ්නය:- කැබිනට් තීන්දුවක් ගත්තාම ඒකත් උල්ලංඝනය කෙරුණා නම් මේක කැබිනට්ටුවටත් උඩින් වෙන වැඩක්ද?
    පිළිතුර:- අනිවාර්යයෙන් මේ ගැන කැබිනට්ටුවේ අවධානයට ලක්වෙන්න ඕනෑ. මේක රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. මේක එක මනුස්සයෙක්ගෙ වැඩක් නෙවෙයිනෙ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙනම ආයතනයක්. සභාපති, අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක කියලා තනතුරුවලට පත්වීම් කරලා මේ වංචා නවත්තන්න කී දෙනෙක්ට පඩි ගෙවනවද? එතකොට මේ කිසි දෙයක් සාර්ථක වෙලා නෑනෙ.

    ප්‍රශ්නය:- මේක පෙට්ටි කඩයක වෙච්ච හොරකමක් නෙවෙයි. මේ වායේ පසුපස ඉන්නෙ කවුරු කියලද ඔබ හිතන්නේ?
    පිළිතුර:- මේක පොඩි තැනකින් වෙන දෙයක් නම් නෙවෙයි. විධිමත් පරීක්ෂණයක් කරල මේවාට සම්බන්ධ කට්ටිය හොයාගන්න ඕනෑ. ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධ නෑ කියල කියන්න ඉක්මන් නොවී සී.අයි.ඩී එක මේක කරාවි කියල මම විශ්වාස කරනවා. සිදුවීමක් වුණාම ඉහළ බලධාරීන් මම දන්නේ නෑ කියන එකත් මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. එතකොට මේවායේ වගකීම ගන්නේ කවුද? මේ මහජනතාවගේ සල්ලි. හරි නම් මේ දේවල්වලට සියලුම බලධාරීන් වගකියන්න ඕනෑ.

    ප්‍රශ්නය:- විමර්ශන ක්‍රියාවලිය ගැනත් විශ්වාසය තැබීම අපහසු නම් අල්ලස් හෝ වංචා දූෂණ කොමිසම වැනි තැන්වලට මේවාට ස්වාධීනව මැදිහත් විය හැකි නැද්ද?
    පිළිතුර:- ඔව්. ඒ අයට මේ සිදුවීමේ තවත්දුරට ගිහින් බලන්න පුළුවන්. වැඩේ තියෙන්නේ විමර්ශනය අන්තිමේදී කඩකාරයෙක් වගේ පොඩි මිනිහෙක් ඉස්සරහට දාලා අපි දන්නේ නෑ කිව්වොත් ඔක්කොම ඉවරයි. මේකට සම්බන්ධ අය තරාතිරම නොබලා අල්ලගන්න ඕනෑ.

    ප්‍රශ්නය:- දුරකතන දත්ත පරීක්ෂා කිරීම වැනි තියුණු විමර්ශනයක් කළොත් මේ හොරකමේ තෝරු මෝරු අල්ලන්න අපහසුයි කියල ඔබ හිතනවද?
    පිළිතුර:- අනිවාර්යයෙන්ම අල්ලන්න පුළුවන්. දැන් දියුණු තාක්ෂණයක් තිබෙනවා. අපරාධ විමර්ශනය ස්වාධීනව සිදුවෙන්න දුන්නොත් පුළුවන්. මට මතක නෑ වගේ දේවල් නොවුණොත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ වෙන්නේ මම දන්නේ නෑ මට මතක නෑ වගේ දේවල්. එහෙම බෑ. මිනිසුන් අතින් සමහර විට අතපසුවීම් වෙන්න වුණත් පුළුවන්. අඩු ගානේ තමන් වැරැද්දක් කරලා නැත්නම් ඉල්ලා අස්වීම වැනි පියවරකටවත් යන ශිෂ්ටසම්පන්න ක්‍රමයක් මේ රටට ඕනෑ.

    ප්‍රශ්නය:- තනතුරට පැමිණි දවසේ සිට මේ දක්වා කරපු වැඩ ගැන දැන් මොකද හිතෙන්නේ?
    පිළිතුර:- යම්කිසි වැඩ කොටසක් කළා. ඒ නිසා සතුටක් තිබෙනවා. අවුරුදු ගණන් ගොඩගැහිලා තිබුණු ලිපිගොනු පන්සීයකට අධික සංඛ්‍යාවක පැමිණිලි අවසන් කළා. විමර්ශන කඩිනම් කරන්න ක්‍රමයක් හැදුවා. අසාධාරණයට ලක් වූ පාර්ශ්වයන්ට බොහෝ සහන ලබා දුන්නා. පාරිභෝගික අධිකාරියට වෘත්තියභාවය ඇතිකරන්න අපට පුළුවන් වුණා. ඒ වුණාට ඉතින් තව වැඩ ගොඩක් කරන්න තිබෙනවා.

    ප්‍රශ්නය:- රජයේ සංස්ථා හා අධිකාරින්හි ඉහළ තනතුරුවල පුද්ගලයන් පත්කිරීමේදී මේ ආණ්ඩුව වෙනම කමිටුවකින්  සුදුස්සන් තෝරාගැනීමක් කළා. එහි ප්‍රතිඵලයක් වුණාද?
    පිළිතුර:- එහෙම තේරුවාට සුදුස්සන්ම තේරුණාද කියල දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයම ඒකට උදාහරණයක්. සුදුසුකම් නැතිව පාරිභෝගික අධිකාරිය වැනි ආයතනයක් දුවන්නම බෑ.

    ප්‍රශ්නය:- ආණ්ඩු හා පක්ෂ මාරු වුණත් ඇතැම් විෂයන්ට අදාළ දේශපාලන විධායක තනතුර සමහර තැන්වලදී දරල තිබෙන්නේ එකම පුද්ගලයෝ?
    පිළිතුර:- ඒක තමයි මම කියන්නේ අපේ දේශපාලනය හා රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරු විධිමත් වෙනසක් අවශ්‍යයි. දේශපාලකයන් සම්බන්ධ වෙලා කරන මේ වැඩවලදී වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ඊට අවභාවිත වීම. ඒ වගේ පසුබිමක් ඇතුලේ රාජ්‍ය නිලධාරීන්ට කෙළින් වැඩ කරන්න ටිකක් අමාරුයි.

    ප්‍රශ්නය:- හැබැයි දේශපාලනීකරණය වූ රාජ්‍ය ආයතන පද්ධතියට වියතුන් පත්කර වෙනසක් කිරීම මේ ආණ්ඩුව බලයට එද්දී දීපු ප්‍රධාන පොරොන්දුවක්. මේ වගේ සිදුවීම්වලදී ඒ වියතුන් බේරාගන්න වැඩපිළිවෙළක් හදල තිබුණේ නැද්ද?  
    පිළිතුර:- නෑ. එහෙම වැඩපිළිවෙළක් හදලා තිබුණේ නෑනෙ. ඒක තමයි ප්‍රශ්නය. එහෙම බලපෑම් කණ්ඩායමුත් නෑ දැන්. ඒක දැන් ඔබලාටත් පැහැදිලිවම පේනවනේ.

    ප්‍රශ්නය:- පාරිභෝගික අධිකාරිය යටතේම ලියාපදිංචි වූ පාරිභෝගික සංවිධානම සිය ගණනක් තිබෙනවා. මෙවැනි දේකදි ඔවුන්ට තීරණාත්මක බලපෑමක් කරන්න බැරිද?
    පිළිතුර:- ඔවුන්ට විතරක් ඒක කරන්න බෑ. මෙවැනි තීරණාත්මක සිදුවීමකදී රාජ්‍ය පැත්තෙන් ගන්න ප්‍රවේශය වැදගත්නෙ. ප්‍රවේශය වැරැදි වුණාම එතැනින් එහාට ඔක්කොම වැඩ වරදිනවනෙ.

    ප්‍රශ්නය:- ඒ කාරණය තව පැහැදිලි කරන්න පුළුවන්ද?
    පිළිතුර:- අපි කියන්නේ මේක විවෘත ආර්ථික ක්‍රමයක් කියලා. හැබැයි දැන් මිල පාලනයක් කරනවා. අපට ආවේණික ක්‍රමයක් හදාගත්තට කමක් නෑ. හැබැයි ආර්ථික විද්‍යාවේ මූලික ප්‍රතිපත්ති කියල දේවල් තියෙනවා. ඒ දේවල් අභ්‍යාස කරන්නේ නැතිව රටක ආර්ථිකයක් අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද? ඒ කියන්නේ අපි එක පැත්තකින් ආයෝජකයන්ට එන්න කියනවා. තව පැත්තකින් සීමා පනවනවා. තව පැත්තකින් පෞද්ගලික අංශය සතුව තිබෙන ද්‍රව්‍ය වටලනවා. මේක පටලැවිල්ලක්. මෙහෙම වෙන්නේ රටකට ආර්ථික ප්‍රතිපත්ති නැතිවුණාම. මේ රටට ආර්ථික ප්‍රතිපත්ති හදල නෑ. එන එන ඇමැතිටයි ආණ්ඩුවටයි ඕනෑ විදියට ප්‍රතිපත්ති හදලා තිබෙන්නේ. උදේ නැගිටිද්දි තිබෙන ප්‍රතිපත්තිය රෑ නින්දට යද්දි වෙනස් වෙනවා නම් ඒ රටට ගමනක් නෑ.

    ප්‍රශ්නය:- මේ නූල් බෝලේ ලිහාගන්නෙ කොහොමද?
    පිළිතුර:- නූල් බෝලේ ලිහන එක නම් ටිකක් අමාරුයි දැන්. හැබැයි අඩු ගානේ අපි සෞභාග්‍යයේ දැක්ම හරහා ජනතාවට පොරොන්දු වෙච්ච වැඩ කොටස කළා නම් රට තරමක් හෝ දුරට හැදෙනවා. ජනාධිපතිවරුන්ටයි ඇමැතිවරුන්ටයි අවශ්‍ය දේවල් නැතිව රටට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනෑ. අත්‍යවශ්‍ය භාණ්ඩවලට මිල පාලන දැම්මාම මොන ආයෝජකයද ඒ රටට එන්නේ? අපට නිසි ආර්ථික වැඩරාමුවක් ඕනෑ. අපේ ආර්ථිකය වැටෙන්න එක හේතුවක් කොවිඩ්. අනෙක බදු ප්‍රතිපත්තියේ අවුල. දැන් ලංකාවෙ ඍජු බදු ප්‍රතිශතය අඩුයි. වක්‍ර බදු වැඩියි. එතකොට භාණ්ඩවල මිල ඉහළ යනවා. මේක ලොකු ප්‍රශ්නයක්.

    ප්‍රශ්නය:- ඍජු බදු වැඩිකරන්න ආණ්ඩුව බය ද? නැත්නම් වෙළෙඳ මාෆියාවට යට ද?
    පිළිතුර:- හැම රටකම දේශපාලන හා වෙළෙඳ මාෆියාවක් තිබෙනවා. ඒ අය අතරෙ යම් මුදල් ගනුදෙනු වෙනවා ඇති. ප්‍රශ්නය ඒකමත් නෙවෙයි. එහෙම රටවල පවා යම් සංයුක්ත ආර්ථික වැඩපිළිවෙලක් තිබෙනවා. අපට එහෙම අනන්‍යතාවයක් නෑ.
    අද ලංකාවේ දේශපාලකයන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. අල්ලසක්  විදියට ගෙයක් අරගෙන මට දුන්නේ තෑග්ගක් කියනවා. හැබැයි දියුණු ලෝකේ රටවල එහෙම දේශපාලකයන්ට තෑගි ගන්න බෑනෙ.

    ප්‍රශ්නය:- සෞභාග්‍යයේ දැක්ම ගැන ඇතැම් දේශපාලකයන්ගේ පැහැදිලි කිරීම්වල තිබෙන්නේ රාජ්‍ය උපරිමයෙන් මැදිහත් වන දේශීය ආර්ථිකයක් වැනි අදහසක් ?
    පිළිතුර:- ඒක වැරැදියි. ඒකෙ තිබෙන්නේ හොඳ පොරොන්දු මිටියක්. ප්‍රශ්නය තමයි පොරොන්දු දුන්නට ඒ වැඩේ කෙරෙන්නේ නැතිකම. ඇත්තටම මුල් මාස හයේ පොඩ්ඩක් කරගෙන ආවා. ඊට පස්සේ නතර වුණා.

    ප්‍රශ්නය:- ඒ ඇයි?
    පිළිතුර:- ඊට පස්සේ ඇමැතිලාගේ දරුවෝ පෞද්ගලික ලේකම්ලා වෙලා නටන්න ගත්තා. ඇමැතිලා වටේ ඉන්න මේ වහල්ලු ටික එලියෙන් තියන්න ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගත්තා. කිසිම සම්බන්ධීකරණ ලේකම්වරයකු රජයේ නිලධාරීන්ට දුරකතන ඇමතුම් නොදිය යුතු බවට චක්‍රලේඛයක් පවා ගැහුවා. හැබැයි දැන් වෙන්නේම එපා කියපු දේවල් ටික.

    ලංකාදීප ඊ පුවත්පත ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි. ප්‍රධාන ඡායාරූපය වෙනස්කර ඇත.

  • යුගදනවි කොටස් විකිනීමෙන් ආණ්ඩුවේ අවුල්  – විිශේෂ පක්ෂ නායක රැස්වීමකුත් සූදානම්

    යුගදනවි කොටස් විකිනීමෙන් ආණ්ඩුවේ අවුල් – විිශේෂ පක්ෂ නායක රැස්වීමකුත් සූදානම්

    යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් සිය බලවත් විරෝධය පළකර ඇත.

    මේ අතර එම පක්ෂවල නායකයෝ පිරිසක් අද (21) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

    සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානයක්කාර, රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුද සහභාගි වූ බව වාර්තා වේ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කර ඇත.

    ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) දහවල් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අග්‍රමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

    පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් ට අද (21)දැනුම් දුන් බව අග්‍රමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

  • කොවිඩ් ආසාදිත මරණ අංක දෙකට බසී

    කොවිඩ් ආසාදිත මරණ අංක දෙකට බසී

    කොවිඩ්-19 ආසාදිතවූ පුද්ගලයින් 66 දෙනකු ඊයේ (20) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 

    මියගිය අයගෙන් 53 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර 11 දෙනෙක් අවුරුදු 60 ත් 30 ත් අතර වයසේ පසුවන අතර අවුරුදු 30 ට අඩු  දෙදෙනෙක් ද මියගිය අය අතර වේ.

    මියගිය අය අතරින් 30 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 36 දෙනෙක් වන අතර ඊයේ වාර්තා වූ මරණ 66ත් සමග මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ්-19 ආසාදිත මරණ  සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගොස් ඇත.

  • කොවිඩ් රෝගීන්ගේ අඩුවීම සමග වසංගත අවදානම පහවන ලකුණු

    කොවිඩ් රෝගීන්ගේ අඩුවීම සමග වසංගත අවදානම පහවන ලකුණු

    රෝගීන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවෙමින් තත්ත්වය සමනය වෙමින් පවතින පසුබිමක රෝගී උපකාරක සේවාවන් සදහා ලැබෙන දුරකතන ඇමතුම් ප්‍රමාණයද අඩුවී ඇති බවද, ඇමතුම් වල ස්වභාවය වෙනස් වී ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සදහන් කළේය.

    ඔහු මේ බව සදහන් කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එන්නත්කරණයේ වත්මන් තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම සේවා පද්ධතිය ඇරඹි දවසේ ඇමතුම් 9000කට ආසන්න ප්‍රමාණයක් ලද බවද, එමෙන්ම මුලදී ලැබුණු ඇමතුම් සියල්ලක්ම පාහේ හදිසි ඇමතුම් වන අතර මේ වන විට ලැබෙනුයේ පශ්චාත් කොවිඩ් තත්ත්වයන් පිළිබදව හෝ එන්නත්කරණය පිළිබදව ලැබෙන ඇමතුම් බවද, එලෙස ලැබෙන ඇමතුම් වලින් තත්ත්වය යම් ආකාරයකට සමනය වීමක් සිදුවී ඇති බව කිව හැකි යැයිද ඔහු සදහන් කළේය.

    කොවිඩ් රෝගීන්ට උපකාර ලබාදීම සදහා සේවාවන් ගණනාවක් එක්තැන් කරමින් 247,1904 සහ 1990 යන දුරකතන අංක එකට සම්බන්ධ කර ඇතිකරගත් ක්‍රියා පටිපාටිය යටතේ මීට
    මාසයකට පෙර රටෙහි පැවති තත්ත්වය ඉතාම වෙනස් බව කිව හැකි යැයි සදහන් කරමින් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා වැඩිදුරටත් සදහන් කළේ එම අවස්ථාවේ රෝගීන් වැඩි
    වහයෙන් වාර්තා වීම හේතුවෙන් මරණ වැඩිවීම්, ඇදන් ප්‍රමාණයෙහි ගැටලු මතුවීම් සහ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිවීම හේතුකොටගෙන සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ
    තර්ජනයකට මුහුණපෑ බවයි.

    එම අවස්ථාවේදී සාකච්ඡා වට කිහිපයක් පවත්වා අධි අවධානම් සහිත රෝගීන් ඉතා ඉක්මණින් හදුනාගෙන ජීවිත ගලවාගැනීමට ඉතා වැදගත් වන පියවරක් ලෙස ඔවුන්ව ප්‍රතිකාර වලට යොමු කිරීමට කටයුතු කළ බවද, දෙවනුව රෝහල්ගත වීමට නොහැකිව නිවෙස් තුළ සිටින රෝගීන්ට කුමක් කළ යුතුද සොයා බලමින් කුමන අවස්ථාවේ අවධානම හදුනාගත යුතුද යන්න දැනුවත් කර උපදෙස් ලබාදුන් බවද ඔහු පැවසුවේය.

    මෙම සියල්ල එකතු කරමින් මනා සම්බන්ධීකරණ සේවාව අගෝස්තු 17 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කරමින් ඇරඹූ බවද, එමගින් ක්‍රියා පටිපාටිය පැහැදිලි කළ බවද ඔහු කියා සිටියේය.

    247 මීට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් ඇරඹූ රෝගී උපකාර සේවයක් බවද, මෙමගින් ඖනෑම රෝගියෙකුට දවසේ ඖනෑම අවස්ථාවක, ඕනෑම ප්‍රධාන ජංගම දුරකතන ජාලයකින් 247 අමතා වෛද්‍යවරයෙකු සමග කෙටි කලකින් සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවද, අසාද්‍ය රෝගියෙකු නම් ඒ ඔස්සේ ඉක්මණින් 1990 සුවසැරිය ගිලන් රථ සේවයට සම්බන්ධවෙමින් රෝහල්ගත කිරීමට කටයුතු කෙරෙන බවද ඔහු සදහන් කළේය.

    1904 කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මූලිකත්වයෙන් ඇරඹි බවද, කෙටි පණිවිඩ සේවාවක් වන මෙමගින් රෝගියාට තමන්ගේ තත්ත්වය තමන් විසින්ම නිශ්චය
    කරගනිමින් ඒ බී සී වශයෙන් කාණ්ඩ කර ඇති තමා අයත් යැයි සිතන කාණ්ඩය හදුනාගනිමින් කෙටිපණිවිඩය යොමුකළ හැකි බවද, මෙමගින් ඉක්මණින් රෝහල්ගත කළ යුතු ඒ කාණ්ඩයට වැටෙන රෝගීන් සදහා පැය භාගයක් තුළ වෛද්‍යවරයෙකු ප්‍රතිචාර දක්වමින් අදාල කටයුතු සම්පාදනය කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේය.

    1990 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් ඇරඹි සුවසැරිය ගිලන් රථ සේවය මගින් දවසේ ඕනෑම වෙලාවක රෝහල්ගත කිරීමට අවශ්‍ය රෝගීන් සදහා ගිලන්රථ ගෙන්වාගැනීමේ පහසුකම
    සැලසෙන බවද ඔහු පැවසුවේය.

  • ගර්භනී කාන්තාවන්ගෙන් 90%කට කොවිඩ් මර්දන එන්නත දී අවසන්

    ගර්භනී කාන්තාවන්ගෙන් 90%කට කොවිඩ් මර්දන එන්නත දී අවසන්

    කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා  මහත්මිය ප්‍රකාශ කළාය.

    විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණයේ වත්මන් තත්ත්වය සහ ළමුන්, තරුණ තරුණියන් සහ ගර්භණී මාතාවන් එන්නත්කරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා  මහත්මිය පෙන්වාදෙන පරිදි කොරෝනා වෛරසය ආරම්භයේ සිට මේ දක්වා ගර්භනී කාන්තාවන් 5000ක ට පමණ කොරෝනා ආසාදනය වී ඇත. දැනට 200ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. 52 දෙනෙක් මරණයට පත්වී ඇත. ‍සියලුම මරණ සිදුව ඇත්තේ 2021 මැයි මාසයන් පසුවය. ශ්‍රී ලංකාවේ වසරකට මාතෘ මරණ 100ක් පමණ වාර්තවන අතර කොරෝනා රෝගයෙන් පමණක් මාතෘ මරණ 52ක් සිදුව තිබීම කණගාටුවට කරුණකැයි වෛද්‍යවරිය කීවාය. එබැවින් ගර්භනී කාන්තාවන්ට එන්නත්දීම ආරම්භ කළ බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90ක් එන්‍නත ගෙන තිබෙන බවත් පැවසූ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය එන්නත ගැනීමෙන් ගර්භනි මාතාවන්ට ඇතිවිය හැකි සංකූලතා අඩු කර මරණයට පත්වීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකිවන හෙයින් කිසිදු බියකින් තොරව එන්නත ගන්නා ලෙස ගර්භනී මාතාවන්ගෙන් මෙන්ම තරුණ මහලු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියාය.

    ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 130 ක ට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව දී තිබේ. පළමු මාත්‍රාව ගත් ජනගහනයෙන්  සියයට 50ක ට දෙවන මාත්‍රාව දී ඇත. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය දකුණු ආසියාවේ ඉතා ඉහළ ප්‍රතිශයක් හිමිකරගෙන ඇතැයි වෛද්‍යවරිය පැවසුවාය.

    රෝගී උපකාරක සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා 2021 අගෝස්තු මස 17දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආරම්භ කරන ලද දුරකථන අංක 247 සහ 1904 යන කෙටි පණිවුඩ සේවාව ඔස්සේ රෝගීන් රැසක් වෛද්‍යවරුන් සමඟ සමබන්ධවූ බවත් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා සෙසු සේවාවන් සම්බන්ධීකරණය කළ බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා  පැවසීය. මෙතෙක් ලැබී ඇති  සහ තවදුරටත්  ලැබෙන දුරකථන සහ කෙටි පණිවුඩ සලකා බැලීමේදී රෝගය යම්තාක් දුරට පාලනය වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාවට එක්වූ කොළඹ ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පශ්චාද් කොවිඩ් සමය තුළ සංකූලතා ඇති රෝගීන් රැකබලාගත යුතු ආකාරය පැහැදිලි කළාය.

    කොවිඩ් ආසාදනයවී සුවය ලැබුව ද අධි අවදානම් පසු කොවිඩ් තත්ව ලෙස සලකන කොවිඩ් නියුමෝනියාව, පෙනහැලි ධමනිවල ලේකැටි ඇතිවීම, පෙනහැලිවල ද්විතීයික බැක්ටීරියා ආසාදනය, හෘදයේ කිරීටක ධමනිවල කුඩා රුධිරනාල කැටි ගැසීම, ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීම, මෂ්තිස්ක පටකවල ආසාදන තත්ව ඇතිවීම විය හැකිය. එබැවින් රෝගියාට නියම කරන ලද ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබාදීම, දිනකට 04 වරක් තත්ත්ව සුපරික්ෂාව, දිනකට ලීටර 02ක් දියර වර්ග ලබාදීම, පෝෂණීය ආහාර ගැනීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරිය කියා සිටියාය.

    පශ්චාද් කොවිඩ් සමයේ හුස්ම ගැනීමේ අපහසුතා, නින්ද නොයාම, අධික තෙහෙට්ටුව, හෘදය වස්තුවේ ස්පන්දනය වැඩිවීම සහ සමේ ලප ඇතිවීම ආදී සංකූලතා ඇතිවුවහොත් දුරකථන අංක 247 හෝ 1904 ඔස්සේ කෙටි‍ පණිවුඩයක් මගින් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව වෛද්‍ය සමරනායක මහත්මිය කීවාය.

  • දත්ත මැකී යෑම ගැන ඇමති චන්නගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක්

    ඖෂධ නියාමන අධිකාරියේ ( NMRA) දත්ත මැකී ගොස්  ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන්  පසුව යැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21) පැවසීය.

    මැකී ගොස් ඇති එම දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම  සිද්ධියට සම්බන්ධවූ සියලුම දෙනාට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ  මතු කළ ප්‍රශ්නවලට  පිළිතුරු දෙමිනි.

    ජාතික වශයෙන් අතිෂයින් වැදගත් කරුණක් හෙයින් රාජ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න සහ ඒ වෙනුවෙන් ඔහු ලබා දුන් පිළිතුරු සම්පූර්ණයෙන් පහත පළ වේ.

    ප්‍රශ්න අංක 1

    නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගරු අධිකරණයට දැක්වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ෂණ මත පදනම් වූවත්, ඖෂධ මාෆියාව මෙරට තුළ 2015 – 2019 තුළ පෙර කිසි දිනක නොවූ විරූ පරිදි බලවත් විය. මේ වන විට ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසි සේ කටයුතු කිරීමට නොහැකි වී ඇති නිසා ඉච්ඡාභංගත්වය, අසීමිත මූල්‍ය වාසි නොලැබීම, හේතුවෙන් ඇති වූ ද්වේශය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකිය. මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන් ද යන වග අපරාධ පිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විමර්ෂණ මගින් අනාවරණය කෙරෙමින් පවති.

    විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e-NMRA දත්ත පද්ධතියට අදාළ සියලු උපදේශන සේවා සහ පිරිවිතරයන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය Information and Communication Technology Agency of Sri Lanka (ICTA) වෙතින් ලබාගෙන ඇත. මේ සඳහා ICTA සහ NMRA අතර අවබෝධතා ගිවිසුමක් 2018 ජුනි මස 25 වන දින  අත්සන් කර ඇත.

    මෙම දත්ත පද්ධතිය “සකස් කිරීම සහ සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා” NMRA විසින් 2018 වර්ෂයේ දී “Epic Lanka Technologies (Pvt) Ltd” ආයතන තෝරාගෙන ඇත. NMRA සහ EPIC ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිරිමානය කර, පවත්වාගෙන යාම සම්බන්ධයෙන් 2018.05.03 දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගතවී ඇත. එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ එවකට NMRA සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, NMRA ප්‍රධාන විධායක නිලධාරී සහ EPIC ප්‍රධාන විධායක නිලධාරී තරීන්ද්‍ර කල්පගේ මහත්වරුන්ය (annex1)

    2021 ජූලි මස 10 වන දින සිට eNMRA තොරතුරු පද්ධතියෙහි ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මගින් මෙම පද්ධතියට 2019 සැප්තැම්බර් මස සිට 2021 ජූලි මස 09 දින දක්වා ඇතුළත් කර තිබූ NMRA ආයතනය වෙත ඉදිරිපත් කළ අයදුම්පත් වලට අදාල අමතර ලේඛන (Supported Documents) වලට ප්‍රවේශ වීම අවහිර වී ඇත.

    2018 වර්ෂයේදී NMRA මගින් තෝරාගෙන තීබූ EPIC ආයතනයේ අපරික්ෂාකාරී, වගකීම් විරහිත සහ ගිවිසුම් ප්‍රකාරව Backup පද්ධතිය යාවත්කාලීනව පවත්වා නොගැනීම මත මෙම තත්වය උද්ගත වී ඇත.

    ICTA ආයතනය මගින් පවත්වාගෙන යන ක්ලවුඩ් පහසුකම තුල NMRA ආයතනයට වෙනම අවකාශයක් වෙන්කර ඇති අතර එම අවකාශය තුළ තොරතුරු පද්ධතියෙහි තාක්ෂණික මෙහෙයවීම් සම්පූර්ණයෙන්ම කළමනාකරණය කිරීම NMRA ආයතනනය වෙනුවෙන් EPIC ආයතනය විසින් සිදුකර ඇත.

    EPIC ආයතනය විසින් ගිවිසුම් ප්‍රකාරව ගබඩා කර තිබිය යුතු බැකප් දත්ත (Backups) ප්‍රයෝජනයට ගෙන යලි ප්‍රතිස්ථාපනය (Restore) කළ යුතුව තිබුනි. එහෙත් EPIC  ආයතනය මගින් ඒවැනි දත්ත Backup නඩත්තු නොකිරීම නිසා ඔවුන්ගේ ඉල්ලීම මත ICTA ආයතනය පහසුකම් සපයන ලංකා රාජ්‍ය ක්ලවුඩ් Backup ප්‍රයෝජනයට ගෙන තොරතුරු පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම කරන අවස්ථාවේ අධිකරණ නියෝගයක් මත අදාළ කටයුතු නවතා දැමීමට කටයුතු කර ඇත.

    ඒ ඒ රජයේ ආයතන වල තොරතුරු පද්ධති කළමනාරණය කරනු ලබන්නේ එම රජයේ ආයතනයනහි අදාල තාක්ෂණික අංශ හෝ  මේ සඳහා තෝරාගත් තොරතුරු පද්ධති සේවා සපයන ආයතන මගිනි. මෙම හේතුව නිසා ICTA ආයතනය මගින් ක්ලවුඩ් පහසුකම් ලබා දී ඇති ඒ ඒ රාජ්‍ය ආයතන වලට අයත් තොරතුරු පද්ධති වලට කිසිම අනතුරක් සිදුවීමට ඉඩකඩක් නොමැති බව ICTA ආයතනය ප්‍රකාශ කර ඇත.

    ප්‍රශ්න අංක 02

    පිළිතුර:  ඒ සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරමින් පවති. මෙයට අමතරව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය (School of Computing) මගින් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇත.

    පිළිතුර: CERT ආයතනය මේ වන විටත් දත්ත ප්රතිස්ථාපනය කිරීම පිලිබඳ තාක්ෂණික වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය අනාගතයේදී සභා ගත කිරීමට කටයුතු කරනු ලැබේ.

    • ‍රීන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් ඒකපාර්ශවීය ප්‍රකාශ නිකුත් කිරීම පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ වෑයමක් නොවේද?

    පිළිතුර : නැත.

    ප්‍රශ්න අංක 03

    • ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග මොනවාද?

    පිළිතුර:

    ICTA ආයතනය NMRA ආයතනයේ ඉල්ලීම පරිදි මෙම පද්ධතිය ක්රියාවට නැංවීම සඳහා තාක්ෂණික උපදෙස් සපයන්නා ලෙස කටයුතු කරන අතර  හරහා පහත සඳහන් පරිදි දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා උපදෙස් ලබාදී ඇත.

    1. පද්ධතියේ සහ එහි දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල වන සියලුම කොන්දේසි මෙම ගිවිසුමට එක් කරන ලද්දේ ICTA ආයතනයයි. මෙම ගිවිසුමට එක් කල  සියලුම කොන්දේසි සහ නිශ්චිත වගන්ති පහත 3 වන  ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ලබා දී ඇත.
    2. ප්‍රසම්පාදන අවදියේදී EPIC ආයතනය මගින් ලබාදී තිබු යෝජනාවලියේ තිබු අඩුපාඩු සහ එම ආයතනය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව එකඟ විය යුතු කරුණුවල තිබු අඩු ලුහුඩුකම් පෙන්වා දෙමින් උපදෙස් ලබා දී ඇත්තේ ICTA ආයතනයයි. මෙම පැහැදිලි කිරීම් ඉල්ලුම් කිරීම “Appendix J: Clarifications obtained during Bid Evaluation (ඇමුණුම 2 හි යොමුව 8)” ලබා දී ඇත.
    3. කාල පරිචේදයේදී (2018) NMRA ආයතනයට තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නොතිබුන අතර එලෙස පහසුකම් ස්ථාපනය කිරීමට සුදුසු ස්ථානයක් (server room) හෝ නොතිබුණි. එසේම මෙම පද්ධතිය නිර්මාණය කර සේවා සපයන්නා ගේ තොරතුරු තාක්ෂණ යටිතල  පහසුකම් (server room facility of the service provider)  මත ක්‍රියාත්මක කිරීමට ද ICTA ආයතනය එකග නොවූ අතර,  ලංකා රාජ්‍ය ක්ලවුඩයේ මෙම පද්ධතිය ක්‍රියාවට නැංවීම අනුමත කර ඇත. 
    4. යෝජනාවට අනුව NMRA ආයතනය සඳහා එහි ගිවිසුම් ගත කොන්ත්‍රාත්කරු වන EPIC ආයතනය ඉල්ලුම් කල සියලු ලංකා රාජ්‍ය ක්ලවුඩයේ පහසුකම්, “තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස” යන කොන්දේසිය යටතේ ලබා දී ඇත (Infrastructure as a Service – IaaS). මෙසේ සේවාවන් සැපයීමේදී NMRA ආයතනය ටෙනන්ට් භාරකරු (tenant owner) ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන EPIC ආයතනය NMRAහි ගිවිසුම් ප්‍රකාරව සහ අවසරය මත අදාල tenant අවකාශය කළමනාකරණය කරනු ලබයි. 
    5. ලබාදුන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ එහි ස්ථාපිත මෘදුකාංග සහ දත්ත වල වගකීම සියලු ආකාරයෙන්ම අදාල ගිවිසුම් ගත ආයතනයට ගිවිසුම් සහ කොන්දේසි ප්‍රකාරව නිශ්චිතව පවරා දී ඇත.
    6. ඉහත සඳහන්  තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට බාහිරව බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වීම නවතාලීම සඳහා ලංකා රාජ්‍ය ක්ලවුඩයේ “Firewall cluster” දෘඩාංග සහ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර සයිබර් ප්‍රහාරයන්ගෙන් වන බලපෑම කළමනාකරණය  සඳහා “Intrusion Prevention System” පද්ධතියක් ස්ථාපනය කර ඇත.
    • දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය EPIC Lanka Technology ආයතනය සමග අත්සන් කල ගිවිසුමෙහි දත්ත පද්ධතියේ Backup හා ක්ලවුඩ ගත කිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුලත් කර ඇත් ද ?

    පිලිතුර: ඔව්

    • ICTA ආයතනයේ උපදේශනය යටතේ ඇතුළත් කල කොන්දේසි ද?

    පිලිතුර: ඔව්

    නම් එම ගිවිසුම හා අදාළ වගන්ති සභා ගත කරන්නේද ?

    පිලිතුර: ඔව්, (ඇමුණුම 2)

    • නිශ්චිතවම ක්‍රියාත්මක කලේද යන්න පිලිබදව ICTA ආයතනය විසින් පසුවිපරම් සිදු කලේ ද?

    පිලිතුර: ඔව්

    • නම් Disaster Recovery පද්ධතියක් නොමැති ක්ලවුඩයකට දත්ත ක්ලවුඩකරන ලෙස හෝ අවම ආරක්ෂණ ක්‍රමවේදයක්වත් අනුගමනය නොකරන Epic Lanka Technology ආයතනයට උපදෙස් ලබා දුන්නේ කුමන පදනමින් ද ?

    පිලිතුර:

    Disaster Recovery (ආපදා ප්රතිසාධනයයනු දත්ත මධ්යස්ථානය (data center) වෙනස් භූගෝලීය ස්ථානයන් දෙකක පවත්වාගෙන යාමයිමෙහිදී මුලිකවම බලාපොරොත්තු වන්නේ යම් භූගෝලීය ස්ථානයක සිදුවන විනාශයකින් දත්ත වලට වන හානිය අවම කිරීමයිනමුත් මෙම සිද්ධිය අදාළ වන්නේ Disaster Recovery සම්බන්ධව නොවේඅදාළ සේවා සපයන්නා විසින් ගිවිසුම්ගත කරුණු වලට පටහැනිව ක්රියා කර ඇති අතර ගිවිසුම පැහැර හැර ඇත.

    මෙම සිදුවීම2018.05.03 දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගතවී ඇති EPIC ආයතනයේ අපරික්ෂාකාරී සහ නොසැලිකිලිමත් බව මත සිදු වූ සිදුවීමක් නිසාමෙසේ දත්ත backup නොකර  ඇති අවස්ථාවකදී, disaster recovery සේවාව ලබාදී තිබුනදවිනාශ වූ දත්ත ප්රතිස්ථාපනය කිරීමටවෝහාරික පරිගණක ක්රියාවලියකින්  හැර  අවකාශයක් නැත.

    ප්‍රශ්න අංක 04

    • පද්ධතීන් බිඳවැටීමකදී හෝ දත්ත මැකී යාමකදී ලංකා ආණ්ඩු ක්ලවුඩයේ හෝ ICTA ආයතනය සතුව දත්ත හෝ පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නොමැතිද?

    පිලිතුර:

    ලංකා රාජ් ක්ලවුඩය තුල backup ලබා ගැනීම සඳහා සහ එම backup ආරක්ෂිතව ප්‍රතිස්ථාපනය (Restore)  සඳහා අවශ් වන මෙවලම් ලබාදී ඇතතවද ව්යසනකාරී තත්ත්වයකදී හෝ මනුෂ් අත් වැරදීමකින් වන හානියකදීබාධාවකින් තොරව ලංකා රාජ් ක්ලවුඩය තොරතුරු ප්රතිස්ථාපනය කිරීමට පහසුකම් සපයා ඇතනමුත් මෙම අවස්ථාවේදී EPIC ආයතනයලංකා රාජ් ක්ලවුඩය ලබාදෙන backup පහසුකම් භාවිතා කර  නොමැති අතර ගිවිසුම් ප්රකාර කොන්දේසි කඩකර ඇත.  ගිවිසුම්ගත EPIC ආයතනයෙහි නිලධාරිවරයෙක් පරිගණක කේත භාවිතා කරමින් ෆයිල් සේවරය මකා දැමීම ප්රශ්නයට තුඩු දෙන කරුණකිමේ පිළිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණ ක්රියාත්මක වන අතර එම පරීක්ෂණ සඳහා ICTA ආයතනය සහය දක්වයි.

    • ඖෂධ නියාමන අධිකාරියේ  දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමේ උපදේශන ආයතනය ලෙස ක්‍රියා කරනු ලබන ICTA ආයතනය රජය, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්  සිදු වු මෙම කැළලට සෘජුවම වගකිව යුතු නොවේද?
    • ‍ය ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වු මෙම ව්‍යසනයට සාමුහික වගකීමකින් යුතුව මුහුණ දී කඩිනමින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගෙන ICTA අධ්‍යක්ෂ මණ්ඩලය සියලු වගකීම් පෞද්ගලික ආයතනයක් වෙත පවරන්නේ කවර පදනමකින්ද?

    පිළිතුර : නැත.

    ICTA ආයතනය තම වගකීම් ප්රකාරව කටයුතු කර ඇති අතර ඉහත ප්රශ්න අංක 3 යටතේ අසා ඇති ප්රශ්න සහ ඒවාට ලබාදී ඇති පිළිතුරු සහ සාක්ෂි මගින් ඒ බව සනාථ වේ.

    තවද ඉහත සඳහන් කල පරිදි, NMRA ආයතනය සඳහා එහි ගිවිසුම් ගත කොන්ත්රාත්කරු වන EPIC ආයතනය ඉල්ලුම් කල සියලු ලංකා රාජ් ක්ලවුඩ පහසුකම්, “තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස” යන කොන්දේසිය යටතේ ලබා දී ඇත (Infrastructure as a Service – IaaS). මෙසේ සේවාවන් සැපයීමේදී NMRA ආයතනය ටෙනන්ට් භාරකරු (tenant owner) ලෙස ක්රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන EPIC ආයතනය NMRAහි ගිවිසුම් ප්රකාරව සහ අවසරය මත අදාල tenant අවකාශය කළමනාකරණය කරනු ලබයි.  ලංකා රාජ් ක්ලවුඩයේ භාරකරු වන ICTA ආයතනයටඅදාල tenant අවකාශයට පිවිසීමට  හෝ කළමනාකරණය කිරීමට, IaaS ක්රමවේදය යටතේ අවසර නැත.

    තොරතුරු තාක්ෂණ ව්යසනකාරී තත්වයකදී (Catastrophic failure) හෝ මනුෂ් අත්වැරදීමක දී ICTA ආයතනය තොරතුරු කඩිනමින් ප්රතිස්ථාපනය කිරීමට බැඳී සිටී.

    මෙම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් විමර්ශනයට භාජනය වන බැවින්මේ සම්බන්ධව අධිකරණය මගින් නිකුත් කර ඇති නියෝගයන්ට යටත්වඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත eNMRA පද්ධතිය ප්රතිස්ථාපනය සඳහා ICTA ආයතනය අවශ් තාක්ෂණික සහය ලබාදෙමින් දැනටමත්   ක්රියාත්මක වී ඇත.

    ප්‍රශ්න අංක 05

    • දත්ත අතුරුදහන් වීම මඟින් බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීම මෙන්ම,එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේද අවධානමක් පවතින හෙයින් එම තත්ත්වය වලක්වාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද?

    පිළිතුර :

    මෙම දත්ත මැකී යාමේ ගැටලුව තුළ පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ,වෛද් උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන නියාමනය සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුසැල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාල ගොනු  පමණි (annex3)

     අනුව ඉහත කී සියලු කරුණු නියාමනය කොට අධිකාරිය විසින් නිකුත් කර ඇති ලියාපදිංචි සහතික සහ බලපත් හෝ වෙනත් යම් අනුමැතීන්ට අදාල දත්ත පද්ධතියට (data base) කිසිදු හානියක් සිදු වී නොමැත.

    එබැවින් පැන නැගී ඇති මෙම ගැටලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීම මෙන්ම, එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු  අවධානමක් ඇතිවිය නොහැක.

     අනුව මෙම ත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කරගත යුතු නොමැති අතර අත්යාවශ් ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වන දැනට පවතින බලපත්වල වලංගු කාලය දීර්ඝකර ඇති බව මෙහිලා සඳහන් කරමි.  එමෙන්ම ඉල්ලුම් කරන නව බලපත්  සඳහා සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සඳහා බලපත්  නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කෙරෙමින් පවතින බවද අවධාරණය කරමි.

    තවද විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සඳහා බලපත්  නිකුත් කිරීම යනාදී සියලු කටයුතු manual ක්රමවේදය ඔස්සේ සිදු කර ඇති බැවින් මෙම  පද්ධතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී ත්ත්වය එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ප්රකාශ කරනු කැමැත්තෙමි.

    ගරු විපක්ෂනායකතුමනි, ඇත්තටම දැන් ගොඩදෙනෙක් අහනව eNMRA පද්ධතියක් තිබෙද්දී ඇයි කියල කොවිඩ් 19 වසංගත තත්ත්වයට අදාළවෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මේ පද්ධතිය හරහා ගියේ නැත්තේ, ඒකට හේතුව තමයි ගරු විපක්ෂ නායක තුමනි, මේ පද්ධතිය පටන්ගත්ත දවසේ සිටම මේක අබ්භගාත පද්ධතියක්, අසංවිධානාත්මක ක්‍රමානුකූල බවක් නැති ප්‍රතිපල දායක නැති පද්ධතියක්. මම අමාත්‍ය ධුරය භාරගත්තට පස්සේ පළවෙනි සති දෙකේදිම මෙම සියලුම පාර්ශවකරුවන්, ව්‍යාපාරිකයන් ඒ වගේම ඖෂධ ආනයනයකරුවන් ෆාමසි ඔසු සැල් හිමියන්, සියලු දෙනා ඇවිත් කියු දේ තමයි මේ eNMRA පද්දධතියේ ‍ ෆේලියර් එකක්. මේකෙ වැඩ කරන්න බෑ කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ එවකට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය කැඳවලා මම කිවුවා මේක ක්‍රමාණුකූල කරන්න කියලා. මට ලිඛිතව වෛද්‍ය කමල් ජයසිංහ CEO ජාතික ඖෂධ නියාමන අධාකාරියේ 2020/09/07 ලිපියක් භාර දුන්නා මේ ඇතිවෙලා තියෙන ප්‍රමාදයන්, මේ තියෙන ක්‍රමානුකූල නැති බව වහාම නිවැරදි කරන්න කටයුතු යොදනවා කියල. ඔවුන් මට දින වකවානු සහිතව ලිපියකින් දැනුම් දුන්නා නිල වශයෙන් මේ කටයුත්ත කරනවා කියල (annex.4). හැබැයි එහෙම කිව්වට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටිය අධ්‍යක්ෂ මණ්ඩලය ඒ කටයුත්ත සිදුකරේ නෑ ගරු විපක්ෂ නායකතුමනි.

    ඒක නිසා මම නැවතත් 2020/10/20 එවකට සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වගේම සියලුම අධ්‍යක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට නැවතත් ලිපියක් යොමු කරනවා. මම කැමතියි ගරු කතානායකතුමනි, ඒක පැහැදිළි කරන්න (annex.5) මේක මම ගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ තමයි එවකට සභාපතිවරයා ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දුන්නේ. හැබැයි ඒ කිව්වත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට සමත් වුනේ නැහැ එය නිවැරදි කිරීම සඳහා. ඒක නිසා තමයි කියන දේවල් කරන්නෙ නැති නිසා, අකාර්යක්ෂම නිසා තමයි NMRA  එකේ  බෝඩ් එක අපිට ඉවත් කරන්න සිද්ද වුනේ. නව කණ්ඩායමක් පත් කරන්න සිදු වුනේ. මේ eNMRA පද්ධතියේ තියන අකාර්යක්ෂම බව නිසා තමයි කොවිඩ් 19 රෝගයට අදාළ සියලු ඩොකියුමන්ට් මේ සිස්ටම් එකට දාන්නේ නැතුව මැනුවලි ගෙනල්ල භාර දෙන්න කිව්වේ. කොටින්ම මේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක් වුනාට ඒක හරහා යනවට වැඩිය ඉක්මනට කරන්න පුළුවන් අතින් ෆයිල් ටික හාර්ඩ් කොපි එක ගෙනල්ල දුන්නට පස්සේ ඒක නිසා තමයි අතින් ගෙනල්ල භාරදෙන්න කියල ඉවර වෙලා කිව්වේ  කොවිඩ් 19 රෝගයට අදාළ දේවල්.

    එතකොට මේ මැකිල ගිය දත්ත ඇතුලේ මොනවාද තිබුනේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිළි කරලා මගේ පිළිතුර නිමා කරනවා. විශේෂයෙන්ම 2015 – 2019 කාලයේ දී ඖෂධ මිල දී ගැනීමේ දී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවාද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ෂණයක් සිදුකරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ වාගේම තමයි අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

    මේ ඒ වගේ ඖෂධ කිහිපයක් ගරු කතා නායකතුමනි, Captopril 5mg Syrup එක 2019 දි මිල දී අරගෙන තියෙන්නේ රුපියල් 55,185.00 කට අපි ආවට පස්සේ 2020 අවුරුද්දේ දී රුපියල් 395.00 කට ගරු කතානායකතුමනි, 138 වතාවක් මිල ඉහළයි Lorazepam ඉංජෙක්ෂන් එක රුපියල් 17,957.00 කට මිල දී අරගෙන තියෙන්නේ, අපි ආවට පස්සේ රුපියල් 373.00 කට මිල දි ගත්තේ ගරු කතානායකතුමනි Metaraminol ඉංජෙක්ෂන් එක රුපියල් 16,736.00 කට මිල දී ගත්තේ ඒක රුපියල් 3,875.00 කට අඩු වුනා. මේ සියලු ලැයිස්තුව මේ මිල අධික අපි විමර්ෂණය සඳහා භාර දීල තියන මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා (annex.7) ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න ප්‍රමාණයක වටිනාකමින් යුතු ඖෂධ මිල දී අරන් තියනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා, ඉල්ලීමක් කරා, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කෙරෙනවා. උදාහරණයක් කියනවා නම් Rituximab ඉංජෙක්ෂන් එක රුපියල් 55,000.00 කට අරන් තියෙන්නේ හැබැයි අපි ඒක රුපියල් 17,735.00 කට ගත්තා.

    එමගින් ඉතිරි වුන මුදල පමණක් රුපියල් මිලියන 128 ක් වෙනවා. මේ අකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමැතියි ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි මේ ඇතැම් ඖෂධ මම  කියන්නම් කොයි වගේ දෙයක් ද කරල තියෙන්නෙ කියලා උදාහරණයක් හැටියට අපි ගත්තොත් Paracetamol Suppository  එක වේදනාවක් ඇති වුනාම අර පස්සෙන් දාන කරල, මේක රුපියල් 165.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 12.00 යි. Dexamethasone 4mg ටැබ්ලට් එක රුපියල් 153.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 6.49 ට, මේ සියලු ලේඛන මම සභාගත කරන්න කැමතියි ගරු විපක්ෂ නායකතුමනි.

    මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවේ තිබිල මැකුනේ. මේව ගැන විමර්ෂණ පටන්ගත්තට පස්සේ රුපියල් බිලියන ගණනක පාඩුවක් රටට වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ෂණ පටන් ගත්තට පස්සෙ තමයි ඒ කියන ලිපි ගොනුව මේ  දත්ත ක්ලවුඩයෙන් මැකිල ගිහින් තියෙන්නේ. එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරමින් යනවා. ඒ වාගේම තමයි මේව මැකුවේ කවුද කියන කාරණය හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුනට පස්සේ අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගරු කතානායකතුමනි.

  • ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සාමයට ප්‍රධාන අභියෝගයක්

    ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සාමයට ප්‍රධාන අභියෝගයක්

    රැඩිකලීකරණයට එරෙහිව සටන් කිරීම කලාපීය ආරක්‍ෂාව සඳහා පමණක් නොව කලාපයේ තරුණ පරම්පරාවන්ගේ දීප්තිමත් අනාගතය සඳහා ද අවශ්‍ය බව අගමැති මෝදි පැවසීය.

    ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන වර්ධනයන් පෙන්නුම් කරන්නේ කලාපයේ සාමය හා ආරක්‍ෂාවට ඇති ලොකුම අභියෝගය රැඩිකල්කරණය බව අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.

    මෙම ප්‍රදේශයේ ඇති ලොකුම අභියෝග සාමය, ආරක්‍ෂාව සහ විශ්වාස හිඟය හා සම්බන්ධ බව ඉන්දීය අගමැතිවරයා වශයෙන් මම විශ්වාස කරන අතර මෙම ගැටලුවලට මූලික හේතුව රැඩිකලීකරණය වැඩි කිරීම ය. ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන වර්ධනයන් මෙම අභියෝගය වඩාත් පැහැදිලිව පෙන්නුම් කළේය.

    රැඩිකලීකරණයට එරෙහිව සටන් කිරීම කලාපීය ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය සඳහා පමණක් නොව කලාපයේ තරුණ පරම්පරාවන්ගේ දීප්තිමත් අනාගතය සඳහා ද අවශ්‍ය බව ඔහු පැවසීය.

    ඓතිහාසිකව, මධ්‍යම ආසියාවේ කලාපය මධ්‍යස්ථ හා ප්‍රගතිශීලී සංස්කෘතීන්ගේ හා වටිනාකම් වල බලකොටුවක් වූ බව අගමැතිවරයා පැවසීය. සියවස් ගණනාවක් පුරා සූෆිවාදය වැනි සම්ප්‍රදායන් මෙහි සමෘද්ධිමත් වී ඇති අතර කලාපය හා ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත.

    මෙම කලාපයේ සංස්කෘතික උරුමයන් තුළ ඔවුන්ගේ බලපෑම අපට තවමත් දැකිය හැකිය. මධ්‍යම ආසියාවේ මෙම ඓතිහාසික උරුමය මත පදනම්ව, ෂැංහයි සහයෝගිතා සංවිධානය විසින් රැඩිකලීකරණයට හා අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා පොදු සැකිල්ලක් සකස් කළ යුතු බව, ” ඉන්දීය අගමැතිවරයා පැවසීය.

    ඛනිජ සම්පත් හෝ අභ්‍යන්තර ෂැංහයි සහයෝගිතා වෙළඳාම වේවා, රැඩිකලීකරණය සහ අනාරක්‍ෂිත භාවය හේතුවෙන් මෙම කලාපයේ අතිවිශාල ආර්ථික ශක්‍යතාවන් ප්‍රයෝජනයට නොගෙන පවතින අතර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අපි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව අවධාරණය කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    ඉන්දියාවේ විශාල වෙළඳපොල හා සම්බන්ධ වීමෙන් ගොඩබිම මධ්‍යම ආසියානු රටවලට විශාල වාසියක් ලබා ගත හැකි බව ඉන්දීය අගමැතිවරයා පැවසීය.

    අවාසනාවකට මෙන්, අන්‍යෝන්‍ය විශ්වාසය නොමැතිකම හේතුවෙන් බොහෝ සම්බන්ධතා අද ඔවුන්ට විවෘත නොවේ. ඉරානයේ චබාහාර් වරාය සඳහා වන අපගේ ආයෝඡනය සහ ජාත්‍යන්තර උතුරු-දකුණු කොරිඩෝව සඳහා වූ අපගේ උත්සාහය මෙහෙයවනු ලබන්නේ මෙම යථාර්ථය නිසා යැයි අගමැතිවරයා පැවසීය.

    චීනයේ තීරය(Belt) සහ මාර්ග මූලාරම්භය පැහැදිලිව හාරා බැලීමෙන් “සම්බන්ධතාවය සඳහා වන කිසිදු පියවරක් එක් පැත්තක මාවතක් විය නොහැකි ය. අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම සඳහා සම්බන්ධීකරණ ව්‍යාපෘති උපදේශන, විනිවිදභාවයෙන් සහ සහභාගීත්වයෙන් යුක්ත විය යුතුය. මේ සම්බන්ධයෙන් ගත් කල, සියලු රටවල භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම වැදගත් වේ. ”

    කලාපයේ සම්බන්ධීකරණ ව්‍යාපෘති සඳහා සුදුසු සම්මතයන් සකස් කරන ලෙස ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටි ඔහු, “මෙම කලාපයේ සාම්ප්‍රදායික සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකි වේ. එවිට පමණක් සම්බන්ධතා ව්‍යාපෘති සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන අතර අප අතර ඇති දුරස්ථභාවය වැඩි නොවේ. . මෙම උත්සාහය සඳහා ඉන්දියාව සිය පැත්තෙන් ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම්. ” බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

    ෂැංහයි සහයෝගිතා සංවිධානයෙහ හි නව සාමාජික රටක් ලෙස ඉරානය පිළිගත් අතර සෞදි අරාබිය, ඊජිප්තුව සහ කටාර් එම කණ්ඩායමේ නව සංවාද හවුල්කරුවන් ලෙස මීට පෙර අගමැතිවරයා පිළිගත්තේය.

    indianewsnetwork

  • තරණයින්ගෙන් 60%කට කොවිඩ් එන්නත එපා වුණේ ඇයි ?

    තරණයින්ගෙන් 60%කට කොවිඩ් එන්නත එපා වුණේ ඇයි ?

    ඔවුන් දවසම ගතකරන්නේ අන්තර්ජාලයේ. එහි කොවිඩ් ගැන, එන්නත් ගැන නිතර නිතර පළ වන සාවද්‍ය හා මිත්‍යා තොරතුරු ඔවුන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින බවයි අපට පෙනී යන්නේ. මෙය අද ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබෙන කරුණක්

    COVID -19 ට එරෙහිව එන්නත් ලබා ගැනීමට වයස් 20-30 අතර වයස් කාණ්ඩ අතර උනන්දුවක් නොමැතිකම ගැන සෞඛ්‍ය බලධාරීන් දැඩි කනස්සල්ල පළ කරති.

    ‘වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩයේ සිටින බොහෝ දෙනෙක් කොවිඩ් එන්නත වඳභාවයට හේතු විය හැකි බවට බිය වන අතර සමහරු ඔප්පු නොකළ ස්වාභාවික පිළියම් වලට කැමැත්තක් දක්වනවා‘‘ එන්නත්කරණය හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසුවේය.

    ‘‘වයස අවුරුදු 20 – 30 දක්වා වන කාණ්ඩයෙන් එන්නත් ලබාගෙන ඇත්තේ ඇස්තමේන්තුගත පිරිසෙන් 40% ක් පමණ පිරිසක්. එය ඉතා දුර්වල ප්‍රතිශතයක්. තරුණයින්ගේ මෙම ආකල්පය නිසා එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා‘ ඔහු වැඩි දුරටත් පැවසුවේය.

    සංඛ්‍යාලේඛනවලට අනුව, අගෝස්තු මාසයේදී පමණක් වෛරසයට ගොදුරු වූ අයගෙන් සියයට 95 ක්ම එන්නත් ලබා නොගත් අතර, ශ්‍රී ලංකාව තරුණයින් අතර දිනකට අවම වශයෙන් මරණ 2 සිට 3 දක්වා වාර්තා වේ.

    ‘‘තරණ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් විද්‍යාත්මකව ඔප්පු නොකළ ආයුර්වේද ඖෂධ ඇතුළු පිළියම්වලට විශාල නැඹුරුවක් දක්වනවා. මේ තත්ත්වය නිසා ඔවුන් එන්නත්කරණයට යොමුවීම විශාල ලෙස අඩුවෙලා තිබෙනවා‘‘

    විදේශගත වීමට වැඩි නැඹුරුවක් ඇති තරණ ප්‍රජාවක් ජීවත් වන කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල තරුණයින් අතර පවා එන්නත්වලට එරෙහි මෙම ඍණාත්මක තත්ත්වය වාර්තාවීම විස්මයට කරුණක් බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

    ‘‘තරුණයින් අතර උනන්දුවක් නොමැතිකම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම එන්නත් මධ්‍යස්ථාන කටයුතුවලට දැඩි බාධා පැමිණ තිබෙනවා‘‘

    අනාගතයේදී විදේශගත වීමේ අපේක්ෂාවෙන් පසුවන තරුණයින් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර අනාගතයේදී බටහිර රටවලට යාමට සිදුවිය හැකි හෙයින් ඔවුහු සිනොෆාර්ම් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරති. නමුත් සිනොෆර්ම් එන්නත් ද ඵලදායී බව ඉතා හොඳ බව ඔප්පු වී ඇත.

    ‘‘තරුණයින්ට ඔවුන්ගේ මනාපයන් තිබෙනවා. ඔවුන් විදේශගතවීමේ අපේක්ෂා නිසා ෆයිසර් සහ මොඩර්නා එන්නත්ම අපේක්ෂා කරනවා‘‘

    ‘‘එන්නත් නොකළ වැඩිහිටියන් තුළ ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි රෝග ලක්‍ෂණ ඇතිවීමේ අවදානම පවතින අතර, එන්නත් නොකළ තරුණයින්ට ද සමාන අවදානමක් තිබෙනවා. ඒ වගේම අපේක්ෂිත ප්‍රතිශතය එන්නත්කර රට යථා තත්ත්වයට පත් වීමේ ඉලක්කයක් රජයට තිබෙනවා. තරුණ පිරිස් අතර තිබෙන මෙම ඍණාත්මක ආකල්පය හා පසුබෑම නිසා රට විවෘත කිරීමටත් ගැටලු ඇතිවෙනවා.

    ‘‘ මෙම වයස් කාණ්ඩයට ඉක්මනින් එන්නත් ලබා දිය යුතු ව තිබෙනවා. එසේ නොකර රට විවෘත කිරීමට නොහැකියි‘

    “ඔවුන්ට එන්නත ගැන කිසියම් බියක් තිබේ නම් වෛද්‍යවරයෙක්ගෙන් එය පැහැදිලි කරගත හැකියි. එන්නත ලබා ගැනීම වඳභාවයට හේතු වන බවට වන මිථ්‍යාවන් විශ්වාස නොකළ යුතුයි. ඒ වගේම තවත් වසර කිහිපයකින් සිදුවන විදේශගත වීමක් වෙනුවෙන් අද කැප නොකළ යුතුයි‘‘

    මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේ තරුණයින් අන්තර්ජාලය තුළ බහුල ලෙස සැරිසැරීම නිසා මිත්‍යා මතවලට සහ ප්‍රතිකාරවලට දැඩිව යොමුවන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකි බවයි.

    ‘‘ඔවුන් දවසම ගතකරන්නේ අන්තර්ජාලයේ. එහි කොවිඩ් ගැන, එන්නත් ගැන නිතර නිතර පළ වන සාවද්‍ය හා මිත්‍යා තොරතුරු ඔවුන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින බවයි අපට පෙනී යන්නේ. මෙය අද ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබෙන කරුණක්‘‘

  • ‘දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම්’ – ජනපති

    ‘දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම්’ – ජනපති

    අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ගැටලු විසඳා ගැනීමට සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්

    ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව  එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

    ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාරයන් හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවධි කළේය.

    එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබිණ. වසර 30කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.

    කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.

    මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නේය.

    එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.

    2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිළි කළේය.

    වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය.

    අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග පැවසීය.

    ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පැවසීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතියරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රි ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද  සුපරීක්ෂාකාරී විය යුතු බව සඳහන් කළේය.

  • එන්නත ලබා නොගත් 30ට වැඩි පුද්ගලයින්ට අනතුරු ඇගයීමක්

    එන්නත ලබා නොගත් 30ට වැඩි පුද්ගලයින්ට අනතුරු ඇගයීමක්

    වයස අවුරුදු 30 ට වැඩි සහ මෙතෙක් එන්නත් නොකළ පුද්ගලයින් මෙම සතිය තුළදී එන්නත් ලබා ගත යුතු බව රජය අවධාරණය කරයි.

    තරුණ හා නව යොවුන් වියේ දරුවන් සඳහා එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බැවින් වැඩි කාලයක් එම එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නොහැකි බැවින් නියමිත දින නියමයක් නිකුත් කිරීමට රජයට බල කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    “වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් විශාල පිරිසකට එන්නත් ලබා දී ඇති නමුත් විවිධ හේතුන් නිසා තවමත් එන්නත් ලබා නොගත් පුද්ගලයින් කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන් සඳහා එන්නත් මධ්‍යස්ථාන දිනපතා විවෘතව තැබීමට අපට නොහැකියි. මෙම පිරිසට එන්නත් ලබාදීය පසුගිය සතියේ දී අවසන් කිරීමට නියමිතව තිබුණා.  ඒ නිසා 30 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන මේ සතිය තුළදී අවසන් කිරීමට අවශ්‍යයි. එබැවින් මේ දක්වා එන්නත ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මෙම සතිය තුළදී එන්නත් ලබා ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා‘ යැයි රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

  • කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල අලුත්ම තත්ත්වය

    කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල අලුත්ම තත්ත්වය

    දිනපතා වාර්තා වන COVID-19 රෝගීන්ගේ තියුණු අඩුවීමක් දක්නට ලැබෙන අතර රෝහල් ගත කිරීමේ සංඛ්‍යාව ද බෙහෙවින් අඩු වී ඇති බව බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ සජීවී රූපවාහිනී වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළේය.

    සංචරණ සීමා පැනවීම හා එය සැලකිය යුතු කාලයක් දීර්ඝ කිරීම මෙම වෙනසට හේතුවූ බවයි විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේ.

    “අනාගතයේදීත් එම වේගය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි,” ඔහු පැවසීය.

    මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා එන්නත් ලබා ගැනීමේ වැදගත්කම ද වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කළේය.

    සති කිහිපයක් පුරා දෛනිකව කොවිඩ් රෝගීන් 2,500කට අධික ප්‍රමාණයත් වාර්තා වූ නමුත් එම සංඛ්‍යාව ඊයේ (18) 1,986 දක්වා අඩු විය. දින 50 කට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2000ට අඩුවෙන් වාර්තා වූයේ ඊයේ දිනයේදීය.

    ‘ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු පහළ යමින් තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් ‘ඔහු පැවසුවේය.

    මෙම සාකච්ඡාවට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මාලවිගේ මහත්මිය පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල COVID-19 ප්‍රභේදය අතර නිශ්චිත වෙනසක් නොමැති බවයි.

    “කෙසේ වෙතත්, අනාගතයේදී එන නව ප්‍රභේද කුමක් වුවත්, එන්නත් මඟින් සියලුම නව ප්‍රභේද වලින් ආරක්ෂාව සපයයි,” ඇය අවධාරණය කළාය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ සජීවී රූපවාහිනී වැඩසටහනකදී විශේෂඥයින් මෙම අදහස් පළ කළහ

  • මහේල ජයවර්ධන ගැන Indian Express කළ අන්දෝලනාත්මක හෙළිදරව්ව

    මහේල ජයවර්ධන ගැන Indian Express කළ අන්දෝලනාත්මක හෙළිදරව්ව

    සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “එයාලා මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් සැමගෙන් ඉල්ලයි.

    ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගන්නා ලෙස ඉන්දිය ක්‍රිකට් කවුන්සිලය (BCCI) කළ යෝනාව මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි Indian Express වාර්තාවක සදහන් වෙයි.

    ඉදිරි විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව වත්මන් පුහුණුකරු වන රවී ශාස්ත්‍රී නිවේදනය කර තිබේ.

    Indian Express වාර්තාවේම සඳහන් වන්නේ මහේල ජයවර්ධන විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහු (මහේල) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර අපේක්ෂාවෙන් සිටින බැවින් බවයි.

    අයිපීඑල් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් හි පුහුණුකරු ලෙස ද කටයුතු කරන්නේ ද මහේල ජයවර්ධනයි. ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ නීති වලට අනුව, පැහැදිලිවම සඳහන් වන්නේ පුද්ගලයෙකුට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියදී වෙනත් තනතුරක් දැරීමට නොහැකි බවයි, නමුත් ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට මෙවැනි සීමා කිරීමක් නැත.

    මේ අතර තමන් ඉන්දිය ජාතික ක්‍රිකට් පුහුණකරු ධුරය ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ධුරය බාර ගැනීමට සුදානමින් සිටින බවට ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත විසින් පළකල පුවත මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබේ. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “එයාලා මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් සැමගෙන් ඉල්ලයි.

  • තලේබාන් ජයග්‍රහණය සමග කාශ්මීරයේ බෙදුම්වාදය ශක්තිමත් වේද ?

    තලේබාන් ජයග්‍රහණය සමග කාශ්මීරයේ බෙදුම්වාදය ශක්තිමත් වේද ?

    පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදී සංවිධාන වන ජෙයිෂ් සහ ලෂ්කාර් ඔවුන්ගේ කඳවුරු ඇෆ්ගනිස්ථානයට ගෙන ගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

    ජම්මු සහ කාශ්මීරය අර්බුදය ආරක්ෂක විශේෂඥයින් කැපී පෙනෙන ගැටලුවක් ලෙස මතු වී ඇත. ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන දේශපාලන වර්ධනයන් මෙයට පාදක වී ඇත.

    කලාපීය සාමය සඳහා ස්ථාවර ඇෆ්ගනිස්ථානයක් ඉතා වැදගත් බව ඉන්දියාව විසින් ගෝලීය සංවාද වලදී සැම විටම අවධාරණය කළේය. වර්තමානයේදී, තලෙයිබාන් අන්තවාදීන් රියදුරු අසුනේ සිටින අතර, පාකිස්තානයේ බුද්ධි අංශ අයි එස් අයි නොවරදවාම සහයෝගය ලබා දෙන හෙයින් ඉන්දියාවේ ආරක්‍ෂාව පිළිබඳ ගැටළුව විවිධාකාරයෙන් ඉහළ ගොස් තිබේ.

    ප්‍රබලම අභියෝගය නම්: ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නැවත නැඟිටීම ජම්මු සහ කාශ්මීරයේ කෙරෙහි කෙසේ බලපානු ලබයි ද ?

    එක්සත් ජනපදය සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) විසින් සිදු කරන ලද මිලිටරි පසුබෑමෙන් පසුව, ඇෆ්ගනිස්ථාන භූමි සහ බලකොටුව වන කාබුල් අත්පත් කර ගැනීමෙන් තලේබාන් සංවිධානය සියලු දෙනා පුදුමයට පත් කළේය. තලේබාන් සංවිධානය අයිඑස්අයි සහ කලාපීය ත්‍රස්ත සංවිධාන සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ජම්මු සහ කාශ්මීරයෙ හි ආරක්‍ෂක තත්ත්වය කෙරෙහි මෙය බලපෑම් කළ හැකි බවට ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

    ඇෆ්ගනිස්ථානය පාලනය කිරීමෙන් ඉක්බිතිව එහි මානසිකත්වයේ පැහැදිලි දර්ශකයක් ලෙස තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් සැප්තැම්බර් 2 දා බීබීසීයට මෙසේ පැවසීය: “මුස්ලිම්වරුන් වශයෙන්, කාශ්මීරයේ, ඉන්දියාවේ හෝ වෙනත් ඕනෑම රටක මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් හඩ නැඟීමට අපටත් අයිතියක් ඇත.”

    තලේබාන් සංවිධානයේ ප්‍රකාශයට පෙර අල්කයිඩා කණ්ඩායම කාබුල්හි ජයග්‍රහණය සඳහා තලේබාන් කණ්ඩායමට සිය සුබපැතුම් පිරිනැමීය. අනෙකුත් ත්‍රස්ත කණ්ඩායම සමාජ මාධ්‍ය තුල කාශ්මීරය, සෝමාලියාව, යේමනය සහ අනෙකුත් “ඉස්ලාමීය ඉඩම්” “නිදහස් කරන ලෙස” ඉල්ලා සිටියහ.

    ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්), ලෂ්කර්-ඊ-තායිබා සහ ජෙයිෂ්-ඊ-මොහොමඩ් ඇතුළු සියළුම ත්‍රස්තවාදීන් සිරගෙයින් නිදහස් කිරීම තලේබාන් සංවිධානය භාර ගැනීමෙන් පසු කළ පළමු දෙය බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පසුගිය සතියේ පැහැදිලිව ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්ථානය කෙරෙහි ඉන්දියාවේ වහාම අවධානය යොමු විය යුත්තේ ඇෆ්ගන් භූමිය ඉන්දියාවට එරෙහි ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා භාවිතා නොකිරීම සහතික කිරීම සඳහා බවයි.

    ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉන්දියාවට ගලා එන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සැලකිලිමත් වූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් දිල්ලියේ පැවති උත්සවයකදී පැවසීය.

    සියලු රැඩිකල්, ත්‍රස්ත කණ්ඩායම් සමඟ පාකිස්තානයේ සමීප සබඳතා.

    ඇෆ්ගන් ජාතිකයන් “වහල්භාවයේ විලංගු බිඳ දැමූ බව” පවසමින් තලිබාන් සංවිධානය සමඟ පාකිස්තානයේ මිත්‍රත්වය, මීට පෙර විවෘත රහසක් විය. පකිස්ථානයේ පාලක පාකිස්තාන තෙහෙරික් ඊ ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ නායක නීලම් ඉර්ෂාඩ් ෂෙයික් උපුටා දක්වමින් කියා සිටියේ කාශ්මීරය ඉන්දියාවෙන් නිදහස් කර ගැනීමට තලේබාන් සංවිධානය උදව් කරන බවයි.

    තලේබාන් ජයග්‍රහණය “අසාමාන්‍ය හා ඓෙතිහාසික” ලෙස හැඳින්වූ තවත් පකිස්ථානු පිටුබලය ලබන හිස්බුල් මුජාහිදීන්ගේ නායක සයිඩ් සලාහුදීන් වොයිස් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව පරාජය කිරීමේදී කාශ්මීරයේ “ශුද්ධ රණශූරයින්ට” ඔවුන් උදව් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. සලාහුදීන් පකිස්ථානයේ වාඩිලාගෙන සිටින ස්ථානය අසාඩ් ජම්මු කාශ්මීරයේ පිහිටා ඇත. මූල්‍යමය වශයෙන් අඩපණ වී ඇති පාකිස්තානයට ඉන්දියාව සමඟ සාම්ප්‍රදායික යුද්ධයක් කිරීම ඉතා මිල අධික විකල්පයකි.ඉන්දියාවේ මිලිටරි බලය ද ඉහල මට්ටමක පවති. එබැවින් පකිස්ථානයේ චින්තන ක්‍රමය අනුව ඉන්දියාවට එරෙහිව ඇති එකම විසඳුම නම් ත්‍රස්ත කණ්ඩායම් සමූහයක් හරහා සිදු කෙරෙන ප්‍රතියුක්ත(ප්‍රොක්සි) යුද්ධයකි.

    කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය තම පාකිස්තානය ඔවුන්ගේ වෙනම උපායමාර්ගික අවශ්‍යතා සඳහා භාවිතා කරන ආකාරය, අසමත් වූ රාජ්‍යයට බලයේ රුකුලක් වී ඇත. දහසක් බාධා කිරීම් මගින් ඉන්දියාවට රුධිරය වහනය කිරීමෙන් පාකිස්තානය කලාපය තුළ ‘බලවත්’ ඒකකයක් ලෙස තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වේ.

    ඇෆ්ගනිස්ථානය නව ත්‍රස්ත කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇත්ද?

    තලේබාන්, අල් කයිඩා, හකානි ජාලය සහ ජෙයිෂ්, ලෂ්කාර් සහ අයිඑස්-කොරාසන් වැනි කලාපීය ත්‍රස්ත කණ්ඩායම් සංකීර්ණ, ගතික සබඳතාවක් ගොඩනඟාගෙන ඇත. ඇෆ්ගනිස්ථාන භූමිය ඔවුන්ගේ නව රජදහන බවට පත්වන බව පෙනේ. ඇෆ්ගනිස්ථානයේ හිටපු ආරක්‍ෂක නිලධාරියෙකු වූ අලි මොහොමඩ් අලිගේ වචන වලින් සඳහන් කළහොත්, “ඇෆ්ගනිස්ථානය දැන් ත්‍රස්තවාදීන්ගේ, රැඩිකල්වාදීන්ගේ සහ අන්තවාදීන්ගේ ලාස් වේගාස් වී ඇත. තලේබාන් ජයග්‍රහණය සමරමින් ලොව පුරා සිටින අන්තවාදීන් ජය ගී ගායනා කරති.මෙය අනෙකුත් අන්තවාදීන් ඇෆ්ගනිස්ථානයට පැමිණීමට මාවත සකසයි.

    ඇෆ්ගනිස්ථානයේ නව වැඩ බලන අභ්‍යන්තර කටයුතු ඇමති සිරාජුදීන් හකානි, කාබුල්හි පිහිටි අපේ තානාපති කාර්යාලය ඇතුළු ඉන්දියානු වත්කම් වලට විශාල ප්‍රහාර ගණනාවකට වගකිව යුතු පුද්ගලයෙකි හේ හකානි ජාලය පවත්වාගෙන යයි. පාකිස්තානය කේන්ද්‍ර කරගත් තලේබාන් සංවිධානය සහ හකානි ජාලය ත්‍රස්ත කණ්ඩායමක් වශයෙන් එකක් බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරන්නේ විශේෂඥයින්ගේ වාර්තා උපුටා දක්වමිනි. සිරාජුදීන් හකානි 2015 සිට තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය එමීර්වරයා ලෙස කටයුතු කරයි.අනෙක් අතට හකානි අල් කයිඩා සංවිධානයට සමීපව, ක්‍රියාකාරීව හා මතවාදීව සමීපව සිටින බව නිව්යෝර්ක් වාර්තාව පවසයි.

    “තලේබාන්, හකානි ජාලය සහ අල් කයිඩා තුන්දෙනෙකුගෙන් ආධිපත්‍යය පතුරවමින් ක්‍රියාත්මක වේ,” නිව් යෝර්ක්හි සිටින ත්‍රස්ත විරෝධී විශ්ලේෂක කොලින් පී ක්ලාක් උපුටා දක්වමින් පැවසුවේ මෙම ආයතන තුන වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති අතර ඇත්ත වශයෙන්ම පසුගිය දශකය තුළ සමීපව වර්ධනය වී ඇති බවයි.

    මෑත වාර්තා වලට අනුව පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදී සංවිධාන වන ජෙයිෂ් සහ ලෂ්කාර් ‘මිත්‍රශීලී’ තලේබාන් තන්ත්‍රය සමඟ කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ කඳවුරු ඇෆ්ගනිස්ථානයට ගෙන ගියහ.

    “පකිස්ථානයේ අයි එස් අයි සේවය තලේබාන් සංවිධානයට ත්‍රස්තයින්ගෙන් සමහරකට ජම්මු සහ කාශ්මීරයට හරවා ත්‍රස්ත මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිය හැකිය” යනුවෙන් ජම්මු සහ කාශ්මීරයේ හිටපු පොලිස් අධ්යක්ෂ ජනරාල් (ඩීජීපී) එස්පී වේඩ් මෑතකදී ඉන්දියා ටුඩේ පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

    ජාත්‍යන්තර අවධානයට ලක්වීම වැළැක්වීම සඳහා පාකිස්තානය දැන් අසාද් කාශ්මීරයේ තිබෙන ජෙයිෂ් සහ ලෂ්කාර්ගේ ත්‍රස්ත පුහුණු කඳවුරු ඇෆ්ගනිස්ථානයට මාරු කරනු ඇත. ඉන්දියා විරෝධී ත්‍රස්ත කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂිත ස්ථාන ලබා ගනු ඇත, ”හිටපු පොලිස් ප්‍රධානියා පැවසීය.යුද්ධයෙන් විනාශ වූ රටෙන් තවත් 9/11 ප්‍රහාරයක් සැලසුම් කළ හැකි බව ඔහු අනතුරු ඇඟවීය.

    “අපි ඉතා ප්‍රවේශම් විය යුතුයි. චීනය, පාකිස්තානය සහ තලේබාන් සංවිධානය සමඟ අපට කටයුතු කිරීමට සිදු විය හැකියි,” වේඩ් සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.

    තලේබාන් ‘ආණ්ඩුව පිහිටුවීම’ ගැන පකිස්ථාන මුද්‍රාව

    1999 දී අයිසී -814 ගුවන් යානය පැහැර ගැනීම මෙහෙයවූ තලේබාන් සංවිධානයේ පළමු නායකයා සහ නිර්මාතෘ මුල්ලා ඔමාර්ගේ පුත් මුල්ලා මොහොමඩ් යාකූබ් දැන් තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක ඇමතිවරයාය. අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් නිදහස් කරන ලෙස 1999 දී ඉන්දියාවට බලපෑම් කිරීම සඳහා කුමන්ත්‍රණය සැලසුම් කරන ලදි-ජෙයිෂ් නායක මවුලානා මසූඩ් අසාර්, නෂ්‍ය වූ ත්‍රස්ත සංවිධානයේ නායක අල් උමාර් මුජාහිදීන්, මුෂ්තාක් අහමඩ් සර්ගර් සහ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අල්-කයිඩා නායක අහමඩ් සාර් සෙයික්. මෙම පැහැර ගැනීමේ මෙහෙයුමට අයිඑස්අයි සහාය දුන්නේය.

    එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන් විසින් පිළිවෙලින් ත්‍රස්තවාදීන් ලෙස ලැයිස්තු ගත කර ඇති යාකූබ් සහ සිරාජුදීන් හකානි සහ මුල්ලා හසන් අකුන්ඩ් වැනි අය පත් කිරීම හකානි ජාලයේ බලපෑම හා මුද්‍රාව පෙන්නුම් කරයි.හකානි ජාලය එහි කුරිරු ප්‍රහාර සහ වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය එකට එකතු කිරීම සහ රොකට් සෑදීම වැනි තාක්‍ෂණ කුසලතාවන් සඳහා ප්‍රසිද්ධය.තලේබාන් පාලනය තුළ දිගටම බලය භුක්ති විඳින්නේ නම්, පකිස්ථානයට එය ඉන්දියාවට එරෙහිව වාසිදායක ලෙස භාවිතා කළ හැකිය.

    පකිස්ථානය දකුණු ඇෆ්ගනිස්ථානයේ කාශ්මීර නිම්නය අසල ගුවන් තොටුපල විවෘත කරයි

    ඉන්දියා ටුඩේ වාර්තාවකට අනුව, පාකිස්තානය ඇෆ්ගනිස්ථානය අසල බලුකිස්ථානයේ සිය ගුවන් තොටුපල සක්‍රීය කර තිබේ.පාකිස්තාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාව අවට ගුවන් ක්රියාකාරකම් වල සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇති අතර පකිස්ථානු නියෝජිතයින් සෘජුවම මිනිසුන් හා ද්‍රව්‍ය යෙදවීම සඳහා සම්බන්ධ වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

    රාවල්කොට් සහ කොට්ලි හි පිහිටි තවත් ගුවන් හමුදා කඳවුරු ගණනාවක් (පාකිස්තානය අසාත් ජම්මු කාශ්මීර ප්‍රදේශ) ද ගුවන් ආරක්ෂක වත්කම් එහි යොදවා සිටින පාකිස්තාන ආයතන විසින් සක්‍රීය කර ඇත. පාකිස්තාන ක්‍රියාකාරකම් රේඩාර් සහ අනෙකුත් පද්ධති හරහා ඉන්දීය ආයතන විසින් නිරන්තරව නිරීක්ෂණය කරමින් සිටී.

    තලේබාන් මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා ඇෆ්ගනිස්ථානයේ ෂම්සි එයාර්ෆීල්ඩ් නැවත සක්‍රිය කර ඇති බව වාර්තා වන බව ඉන්දියානු බුද්ධි අංශ පවසයි. එහි නැගෙනහිර පෙරමුණ පකිස්ථානු ගුවන් හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලමින් සිටී.

    චීන සාධකය

    තලේබාන් සංවිධානයේ නැවත නැඟිටීමේදී චීනයේ රහසිගත කාර්යභාරය ද අධ්‍යයනය කළ යුතු ය. එහි පැහැදිලි භූ-දේශපාලන ක්‍රීඩාව නම් එහි අභිලාෂය වන්නේ ඇෆ්ගනිස්ථානය ගිල ගනිමින් හින්දු කුෂ් කලාපය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කිරීමයි.

    නව තාවකාලික රජය ඇෆ්ගනිස්ථානයේ ස්ථාපිත කිරීම “ඇණවුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර” ලෙස නිල වශයෙන් හඳුන්වනයි. බීජිං පාලනය විසින් ආහාර සැපයුම් සහ කොරෝනා වයිරස් එන්නත් ඇතුළු ඇෆ්ගනිස්ථානය සඳහා යුවාන් මිලියන 200 ක (ඩොලර් මිලියන 31,) වටිනාකමින් යුත් ආධාර ලබාදීමට පොරොන්දු වී තිබේ.

    බදාදා පැවති රැස්වීමේදී ආධාර පියවර ගැන නිවේදනය කරමින් චීන විදේශ ඇමති වැන්ග් යි ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන්ගෙන් ඉල්ලා සිටියේය – පකිස්ථානය, ඉරානය, තජිකිස්තානය, උස්බෙකිස්ථානය සහ තුර්ක්මෙනිස්තානය – ඇෆ්ගනිස්ථානයට උදව් කිරීමට සහයෝගයෙන් කටයුතු කරන ලෙසය.

    අනෙක් අතට තලේබාන් බලධාරීන් චීනය ඇෆ්ගනිස්ථානයේ වැදගත්ම සහායකයා ලෙස විස්තර කර ඇති අතර යුද්ධයෙන් විනාශ වූ රට නැවත ගොඩනැගීම සඳහා චීන ආයෝඡනය සහ සහයෝගය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.

    බදාදා පැවති උත්සවයකදී වෙනස් වෙමින් යන ගෝලීය භූදේශපාලනික දේශපාලන තත්වය ගැන සඳහන් කරමින් ජෙනරාල් රාවට් මෙසේ පැවසීය: “අපි දකින්නේ සිනික් හා ඉස්ලාමීය ශිෂ්ඨාචාර අතර යම් ආකාරයක හවුල් පාලනයක්.චීනය දැන් ඉරානය සමඟ මිත්‍රකම් ඇති කර ගන්නා ආකාරය දැක ගත හැකි අතර ඔවුන් තුර්කිය දෙසට ගමන් කරමින් සිටින අතර ඉදිරි වසරවලදී ඔවුන් ඇෆ්ගනිස්ථානයට යන බව දැක ගත හැකිය. එය බටහිර ශිෂ්ඨාචාරය සමඟ ශිෂ්ඨාචාර ගැටුමකට තුඩු දෙනු ඇත? ” ලෝකය “කැලඹීමක” පවතින බව ඔහු පැවසීය.

    පකිස්ථානය චීනයේ “ප්‍රොක්සියක්” වන අතර ජම්මු සහ කාශ්මීරයේ ඉන්දියාවට එරෙහිව සිය “ප්‍රොක්සි යුද්ධය” අඛණ්ඩව ගෙන යන බව ජෙනරාල් රාවට් පෙන්වා දුන්නේ පන්ජාබ් සහ රටේ සමහර ප්‍රදේශ වල ද දැන් ගැටලු ඇති කිරීමට උත්සාහ කරන බව ද පවසමින් ය.

    කාශ්මීරයේ ත්‍රස්ත පා සලකුණු

    කාශ්මීරයේ යළිත් විදේශීය ත්‍රස්තවාදීන් හිස ඔසවමින් සිටින බව වාර්තාවල දැක්වේ. ද හින්දු පුවත්පතේ වාර්තාවකට අනුව උතුරු කාශ්මීරයේ පාකිස්තානය පාලනය කරන ප්‍රදේශවලට මායිම්ව විදේශිය ත්‍රස්තවාදීන් 40-50 ක් අතර ප්‍රමාණයක් සහ දේශීය ත්‍රස්තවාදීන් 11 ක් ක්‍රියාකාරීව සිටිති.දශකයකට පසු විදේශීය ත්‍රස්තවාදීන් දේශීය ත්‍රස්තවාදීන්ට වඩා වැඩි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ත්‍රස්ත ක්‍රියාකාරකම් දකුණේ සිට උතුරු කාශ්මීරයට මාරු වී ඇති බවක් පෙනෙන්නට තිබීම ද විශේෂත්වයකි.

    ජම්මු හා කාශ්මීර ප්‍රදේශයෙන් හි විශාල වර්ජනයක් සිදු කිරීමේ අරමුණින් අයිඑස්අයි විසින් ඉස්ලාමීය රාජ්‍ය ඛෝරාසන් පළාතේ (අයිඑස්කේපී) සාමාජිකයින් පාකිස්තානය පාලනය කරන ජම්මු කාශ්මීරයට තල්ලු කරමින් සිටින බවට අයිඑන්එස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

    ISKP නිර්මාණය කරන ලද්දේ වසර හයකට පෙර කලබලයට පත් පකිස්ථානු තලේබාන් සංවිධානය විසිනි.

    අයිඑස්කේපී ත්‍රස්තවාදීන් මේ වන විටත් පාලන රේඛාව ඔස්සේ විවිධ භීෂණ මධ්‍යස්ථාන වල ස්ථාන ගත කර ඇති බව වාර්තා වේ.ජම්මු සහ කාශ්මීරයට මායිම්ව පිහිටි ප්‍රදේශවල ත්‍රස්තවාදීන් තැබීමේ මධ්‍යස්ථාන තුළ අයිඑස්කේපී ත්‍රස්තයින් සිටින බවට තවත් දර්ශකයක් වන පෂ්තුන් භාෂාව කතා කරන ත්‍රස්තවාදීන් පොජේකේ කඳවුරුවල සිටින බව ඉන්ටෙල් යෙදවුම් මඟින් පෙන්නුම් කෙරේ.

    ISKP තලේබාන්, අල් කයිඩා සහ ඇෆ්ගනිස්ථානයේ හකානි ජාලයේ කටුක ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන අතර, පකිස්ථානය යනු මේ සියළුම රැඩිකල් කණ්ඩායම් වලට සහයෝගය දක්වන පොදු දර්‍ශකයයි.

    ලෝක ප්‍රජාව සැලකිලිමත් බව

    තලේබාන් සංවිධානය සමඟ පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායම් ජාත්‍යන්තර නායකත්වය සමඟ සබඳතා පැවැත්වීම පිළිබඳව ඉන්දියාව සිය කනස්සල්ල පළ කර තිබේ.සීඅයිඒ ප්‍රධානී විලියම් බර්න්ස්, එක්සත් රාජධානියේ රහස් ඔත්තු සේවාවේ (එම්අයි 6) ප්‍රධානී රිචඩ් මුවර් සහ රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් ඇතුළු පසුගිය දින කිහිපය තුළදී ඔවුන් මෙහි වෙනම සංචාරයක නිරත වූහ.

    තලේබාන් සංවිධානය පොරොන්දු පිළිපැදීමෙහි අවශ්‍යතාවය වැනි කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු නිලධාරීන් සහ රටවල් තුනේ ජාතික ආරක්ෂක ඒජන්සිය එකම මතයක සිටීම කැපී පෙනේ.ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් සිටීම සහ ත්‍රස්තවාදයෙන් මධ්‍යම ආසියාවට සහ ඉන්දියාවට තර්ජනයකි.ඉස්ලාමීය රැඩිකලීකරණය සහ අන්තවාදය, ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත ආයුධ ගලා ඒම සහ ඇෆ්ගන් දේශසීමා හරහා ජාවාරම් කිරීම සහ යුද්ධයෙන් විනාශ වූ රට අබිං නිෂ්පාදනය සහ ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අවස්ථා ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු ය.

    රුසියානු තානාපති කාර්යාලයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් සමඟ අදහස් දැක්වූ රුසියානු තානාපති නිකොලායි කුඩාෂෙව් පැවසුවේ ඇෆ්ගනිස්ථානයෙන් පැන නගින ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා රුසියාව ඉන්දියාව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කරන බවයි.ඕනෑම සිවිල් ගැටුමක් ඇවිලීම ත්‍රස්තවාදය කලාපය පුරා ව්‍යාප්ත වීමට හේතු වන බව ඔහු පැවසීය.

    මෑතකදී එක්සත් ජනපද කොංග්‍රස් සභික මයිකල් වෝල්ට්ස් පැවසුවේ නැවත නැඟිටින තලේබාන් සංවිධානය යනු ජම්මු සහ කාශ්මීරයෙහි ත්‍රස්තවාදය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම බවයි.

    ඉන්දියා ටුඩේ රූපවාහිනිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මයිකල් වෝල්ට්ස් පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ බලයේ සිටින තලේබාන් සංවිධානය සමඟ “අල් කයිඩා 3.0 පවතිනු ඇති බවයි. තලේබාන්-ලෂ්කර්-ඊ-තායිබා සබඳතා හේතුවෙන් කාශ්මීරයේ දැඩි ත්‍රස්ත ගැටලු ඇති වනු ඇත.

    පාකිස්ථානය,හකානි, එල්ටීඊ සහ තලේබාන් යන ත්‍රස්ත කණ්ඩායම් වලට සහයෝගය දීම සම්බන්ධව පකිස්ථානය වග කිව යුතු යැයි, ”ඔහු පැවසීය.

    ජම්මු සහ කාශ්මීරය දිගු කාලීන සාමය සහ සංවර්ධන මුලපිරීම් වල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බලා සිටීම ආරම්භ කර ඇත.ඕනෑම බාධාවකදී එය ආරක්ෂාකාරීව තබා ගැනීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් වේ.

    ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයේදී ඉන්දියාවේ ස්ථාවරය නැවත අවධාරණය කරමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපති ඉන්ද්රා මනි පාණ්ඩේ මෙසේ පැවසීය.”ඇෆ්ගනිස්ථානයේ පවතින වාතාවරණය අසල්වැසියන්ට අභියෝගයක් නොවන බවත්, වෙනත් කිසිදු රටකට තර්ජනය කිරීම සඳහා ලෂ්කර්-ඊ-තායිබා සහ ජෙයිෂ්-ඊ-මොහොමඩ් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථාන භූමි ප්‍රදේශය භාවිතා නොකරන බවත් අපි බලාපොරොත්තු වෙමු.”

    ඇෆ්ගනිස්ථානය සමඟ ඉන්දියාවේ “සහශ්‍රක” මිත්‍රත්වය රඳා පවතින්නේ අන්තර් පුද්ගල සබඳතාවල ශක්තිමත් කුළුණු මත බවත් එය සැමවිටම සාමකාමී, සමෘද්ධිමත් හා ප්‍රගතිශීලී ඇෆ්ගනිස්ථානයක් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු පැවසීය.

    indianewsnetwork

  • නායක හිමිනමක් ව්‍යාපාරිකයින් හා එක්ව විහාර නින්දගම් වනාන්තරයක් වනසා දමයි

    නායක හිමිනමක් ව්‍යාපාරිකයින් හා එක්ව විහාර නින්දගම් වනාන්තරයක් වනසා දමයි

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාම නිලධාරී වසමේ පාලුකඩවල වැව් ඉහත්තාවේ කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ මහ පරිමාණ වනාන්තර විනාශයක් සිදු වේ.

    බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පාලුකඩවල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තරය හා අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් මේ ආකාරයෙන් එළිපෙහෙලි කිරීම සිදු කෙරෙමින් පවතී. නාකොලගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස සැලකෙන මෙම වනාන්තර ඉඩම් එම විහාරස්ථානයේ විහාරාධිපති වලත්වැව රාහුල හිමියන් දේශපාලඥයින්ගේ රැකවරණය භාවිතා කරමින් නීති විරෝධී ව ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පවරා දී තිබේ.

    මේ වන විට අක්කර 50 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළිපෙහෙලි කර ඇති අතර තවදුරටත් අක්කර 700 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කිරීමට ව්‍යාපාරිකයන්ට මේ වන විටත් පවරා දී තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොරව මෙම නින්දගම් වනාන්තර නීති විරෝධී ව ව්‍යාපාරිකයන්ට පවරා ඇති අතර පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් එම වනාන්තර එළි කිරීම සිදු කරමින් පවතී.

    ලංකාවේ වැඩි ම අලි – මිනිස් ගැටුමක් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස සැලකෙන වයඹ කලාපය තුළ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප්‍රදේශ මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන් විසින් වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම තව තවත් වර්ධනය වීම සිදු වනු ඇත.

    වැව් හා ගොවි බිම් පෝෂණය කරන නාකොලගනේ වනාන්තර පද්ධතිය අහිමි කිරීම

    කුඩා හා මහ වැව් 25 කට වඩා වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් වැව් පද්ධතියකින් හා ජල පෝෂක වනාන්තර වලින් සැදුම්ලත් මේ සමස්ත ප්‍රදේශය අක්කර 5000 ක් පුරා පැතිර තිබෙන අලි – ඇතුන්ගේ පෝෂක භූමියක් පමණක් නොව ප්‍රධාන අලි මංකඩකි. මේ භූමිය තුළ අක්කර 2700 ක් පමණ වන නාකොලගනේ රජ මහා විහාරයට අයත් නින්දගම් ඉඩම් පිහිටා ඇති අතර ඒ තුළ වැව්, වනාන්තර ප්‍රදේශ හා ජනාවාස පිහිටා තිබේ. මීට අමතර ව මෙම සමස්ත ප්‍රදේශයේ ම හේන් වගා බිම්, කුඹුරු ඉඩම්, වැව් පද්ධති, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ බිම් හා ගංගාශ්‍රිත වනාන්තර වැනි විවිධ පරිසර පද්ධති බොහොමයක් දැක ගත හැකි ය.

    මෙම නින්දගම් ඉඩම හා සම්බන්ධ වනාන්තර ප්‍රදේශ කිහිපයක් වෙයි. දකුණු මායිම ආශ්‍රිත ව කතාකරනකන්ද හා මීගස්පිටිය – මඩදෙනිගම වනාන්තරය පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ අත්තනපොල රජයේ කැලය පිහිටා තිබේ. මේ සියලු වනාන්තර වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත වේ.

    නාකොලගනේ නින්දගම් ඉඩම් තුළ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ මහ වැව් හා කුඩා වැව් විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර වැඩි ප්‍රමාණයක් කුඩා වැව් වේ. කුඩා වැව් වැසි ජලයෙන් පමණක් පෝෂණය වේ. මානක්කුලමයාගම වැව, හුණුගල්ලෑව වැව, අතරගල්ල වැව, ගුරුගොඩ වැව, ඒරියාව වැව, පල්ලේරියාව වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කරගස්සන වැව, ඌරපොලයාගම වැව, ඇතිනිමලේ වැව, මීගස් වැව, කදුබොඩයාගම වැව, කඩවල වැව, කිවුලේගම වැව, නැකතිකොන් වැව, කුඩා මීගස්පිටිය වැව, කැලේගම වැව, කොතලවැටිය වැව, මහ මීගස්පිටිය වැව, දඹෑ වැව, අන්දර වැව, කිරිබත් පෑලැස්ස වැව හා ගනේපතාන වැව ඒ අතර වේ.

    අතරගල්ල වැව හා ඒරියාව වැව ජලජ පක්ෂීන් බහුල ව ජීවත් වන ප්‍රදේශයකි. අලින් බහුල ව වාර්තා වන්නේ පල්ලේරියාව වැව, ඉකිරියවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව යන වැව් ආශ්‍රිත ව ය. හුණුගල්ලෑව වැව, මානක්කුලමයාගම වැව, ගුරුගොඩ වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කදුබොඩයාගම වැව, ඇතිනිමලේ වැව හා මීගස් වැව යන වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමේ පවතින අතර ඒවා නිසි පරිදි සැකසීමෙන් අලි – ඇතුන්ගේ පෝෂක බිම් ප්‍රදේශ සුරක්ෂිත කිරීමේ හැකියාව ඇත.

    නින්දගම් ඉඩමට පිටතින් පිහිටන වැව් කිහිපයක් වේ. ඒ අතුරින් පාලුකඩවල වැව ප්‍රධාන වැවකි. මේ වැවේ, වැව් පිටිය හා උපරිම ජල රැඳවුම් කලාපය නින්දගම් ඉඩම තුළට ද ව්‍යාප්ත ව තිබේ. මීට අමතර ව වැවේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ මෙම නින්දගම් ඉඩමේ වනාන්තර පද්ධතියයි. මේ වනාන්තර ප්‍රදේශය වටා මහගල්ගමුව වැව, බඩල්ගම වැව, අඹකොල වැව ආදී සුවිශේෂී වැව් කිහිපයක් ම ව්‍යාප්තව පවතී. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි හෙක්ටයාර 5496 ක් පමණ වන කුඹුරු ඉඩම් වලින් වැඩි කොටසකට වාරි ජලය සපයන්නේ මෙම වැව් පද්ධතියෙනි. මෙම වනාන්තර විනාශයත් සමඟ වැව් පද්ධතියේ ජල පෝෂක බිම් අහිමි වී රදවා ගත හැකි ජල ප්‍රමාණය සීමා වීමෙන් කුඹුරු ගොවිතැන බිඳ වැටීමට ලක් වනු ඇත.

    වැව් පද්ධතියට අමතර ව මේ නින්දගම් ඉඩම තුළ පුරාවිද්‍යාත්මකව වැදගත් වන ස්ථාන කිහිපයක් පිහිටා තිබේ. ඉන් ප්‍රධාන වන්නේ නාකොලගනේ රජමහ විහාරය හා සම්බන්ධ ගල්ලෙන් විහාරය සහ කටාරන් සහිත ගල්ලෙන් ය. මීට අමතර ව ගුරුගොඩ පුරාවිද්‍යා රක්ෂිත භූමිය පිහිටා ඇති අතර එම ස්ථානයේ නටබුන් වූ වෙහෙරක් හා විහාර සංකීර්ණයක් පිහිටා තිබේ. එම ස්ථානයේ මේ වන විට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කටයුතු සිදු කරනු ලැබේ. මීට අමතර ව හුණුගල්ලෑව වැවේ, වැව් බැම්මේ පුරාවිද්‍යාත්මක ව වැදගත්වන පැරණි මායිම් ගල් කණුවක් හමු වී තිබේ.

    වන විනාශයෙන් ගම්මානවල ජනතාව අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් කිරීම

    නින්දගම් ඉඩම තුළ ගම්මාන හතරක් පිහිටා තිබේ. පවුල් 76 ක් පමණ ජීවත් වන ඇතිනිමලේ ගම, පවුල් 7 ක් පමණ ජීවත් වන හිරිගොල්ලාගම, පවුල් 23 ක් පමණ ජීවත් වන ආඩිගම හා පවුල් 98 ක් පමණ ජීවත් වන ඒරියාව ගම ඒ අතර වෙයි. අලි – ඇතුන්ගේ වාසස්ථාන වන මෙම වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කිරීමත් සමඟ ම මෙම ගම්මානවල හා ඒ අවට ගම්මානවල ජනතාව අලි – මිනිස් ගැටුමේ දරුණු ගොදුරක් බවට පත් වනු ඇත.

    මෙම නින්දගම් ඉඩම් පසුගිය කාලසීමාව තුළ අක්‍රමවත් ලෙස පරිහරණය කිරීම හේතුවෙන් නිසි ලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් ව තිබේ. ඒ හේතුවෙන් ම මේ ආශ්‍රිත ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතී. නින්දගම් ඉඩම් ලෙස පවතින ජල පෝෂක වනාන්තර බිම්වල මහ පරිමාණ වාණිජ වගා බිම් ඇති කිරීම, ගල්කොරි පවත්වා ගෙන යාම, පස් කැපීම සඳහා යොදා ගැනීම, හේන් වගාවන් සඳහා අක්‍රමවත් ලෙස එළිපෙහෙළි කිරීම, අක්‍රමවත් ලෙස ජනාවාස පිහිටු වීම හා අක්‍රමවත්ව විදුලි වැටවල් ස්ථාපිත කිරීම යන හානි කර ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අලි – මිනිස් ගැටුම වර්ධනය වීම, භූමිය අස්ථාවර වීම හා භූමියේ ඵලදායීතාවය අඩු වීම, භූගත ජල මට්ටම අඩු වීම වැනි හේතූන් නිසා සමාජීය ප්‍රශ්න බොහොමයක් උද්ගත ව තිබේ.

    මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ ප්‍රදේශය තුළ නිසි ඉඩම් භාවිත ක්‍රමවේදයක් සකස් කළ යුතු ව ඇත. අක්‍රමවත්ව සිදු කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීම මෙන්ම හානි කර මානව ක්‍රියාකාරකම් නතර කිරීමට පියවර ගැනීම හා වනාන්තර පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීම මෙන්ම අවට ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත වනාන්තර හා නින්දගමට අයත් වනාන්තර පද්ධති සම්බන්ධ කිරීම සිදු කළ යුතු ව ඇත. මීට අමතර ව වැව් පද්ධති සකස් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ජල පෝෂක වනාත්තර බිම් ප්‍රදේශ සුරක්ෂිත කිරීම තුළින් මේ ප්‍රදේශයේ ජල සුරක්ෂිතතාවය ඇති කළ යුතු ව තිබේ. එමගින් ප්‍රජාවගේ කෘෂි හා පානීය ජල සුරක්ෂිතතාව ඇති වන අතර අලි – මිනිස් ගැටුම පාලනයට ද ඒ තත්ත්වය ඉවහල් වෙනු ඇත.

    හුදෙකලා වනාන්තර කුට්ටි ඒකාබද්ධ කිරීමෙන් අවහිර වී ඇති අලින්ගේ සංක්‍රමණික ගමන් මාර්ග සම්බන්ධ කළ හැකි අතර දහවල් කාලයේ දී ජනාවාස ආශ්‍රිත වනාන්තර කුට්ටිවල අලි රැඳී සිටිමින් රාත්‍රී කාලයේ දී ග්‍රාමීය ප්‍රදේශවලට හා වගා බිම්වලට පැමිණ සිදු කරන හානි අවම කර ගැනීමට ද ඒ තත්ත්වය ඉවහල් වේ.  මෙමගින් අලි – මිනිස් ගැටුම පාලනය කළ හැකි වන අතර අලින්ට අවශ්‍ය පානීය ජල ප්‍රභවයන් නිසි පරිදි ලබා දීමෙන් ග්‍රාමීය ප්‍රදේශවලට පිවිසීම බොහෝ දුරට අඩු කළ හැකි ය.

    නාකොලගනේ අලි – ඇතුන්ගේ ප්රධාන වාසස්ථානය

    සමස්තයක් ලෙස නාකොලගනේ වනාන්තරය පුරා ම අලි – ඇතුන් සැරිසරන බවට සාධක පවතී. නමුත් අලි – ඇතුන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රදේශ කීපයක් වේ. ඒ අතුරින් වැඩි ම අලි ගහන ඝනත්වයක් වාර්තා වන්නේ පාලුකඩවල වැවේ, වැව් පිටියේ ය. මේ වැව් පිටිය නින්දගම් ඉඩමට ඇතුළත් වේ. පාලුකඩවල වැවට පැමිණෙන අලි දහවල් කාලයේ රැඳී සිටින්නේ නින්දගම් ඉඩම තුළ පිහිටන වනාන්තර ප්‍රදේශවල ය.

    පල්ලේරීයාව වැව තවත් වැඩි ම අලි ගහනයක් වාර්තාවන ප්‍රදේශයකි. මේ වැව ආශ්‍රිත ව නින්දගම් ඉඩමට පිටතින් රජයේ කැලයක් වන ‘කතාකරන කන්ද’ පිහිටා තිබේ. එම ප්‍රදේශයේ සිට මේ වැව ආශ්‍රිත ප්‍රදේශයට අලි පැමිණේ. මීට අමතර ව ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව ආශ්‍රිත ප්‍රදේශවල වැඩි අලි ගහනයක් වාර්තා වේ. නින්දගම් ඉඩම තුළ පිහිටන අනෙක් වනාන්තර ප්‍රදේශ අලි – ඇතුන් දහවල් කාලයේ රැඳී සිටීමට භාවිතා කරන බව අධ්‍යයන මඟින් තහවුරු වී තිබේ.

    නින්දගම් ඉඩම තුළට අලි සංක්‍රමණය වන මාර්ග කීපයක් ඇති අතර සංක්‍රමණය වන අලි නින්දගම් ඉඩම පුරා විසිරීම සිදු වන මාර්ග කිහිපයක් ද වේ. නින්දගම් ඉඩමට අලි සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග 6කි. විල්පත්තුව, රාජාංගනය, ගිරිබාව, ගල්ලෑව හරහා හුණුගල්ලෑව ප්‍රදේශයට අලින් සංක්‍රමණය වේ. එතැන් සිට පාලුකඩවල වැවට අලි ගමන් කරයි. කහල්ල – පල්ලකැලේ සිටින අලි මඩගල්ල, හාතිගමුව හරහා මී ඔය ආශ්‍රිත ප්‍රදේශයට පැමිණ මොරගස්වැව, ඉහලගම, උඩකොටුව හරහා අඹකොල වැවට පැමිණ එතනින් මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මහව සිටින අලි මහකඩුවාව, රජ්ජලේගම, මැඬියාව හරහා අඹකොල වැවට පැමිණ එතැන් සිට නින්දගම් ඉඩමට පැමිණේ. මේ මාර්ගය ඔස්සේ පැමිණෙන්නේ අඩු අලි – ඇතුන් ප්‍රමාණයකි. ඉගිනිමිටිය ජලාශයේ සිට තේක්ක වන වගාවට පැමිණෙන අලි එතැන් සිට පාලුකඩවල වැවට පැමිණ ඉන් පසූව නින්දගම් ඉඩම පුරා ව්‍යාප්ත වේ. කහල්ල – පල්ලේකැලේ හා සියඹලන්ගමුව වැවේ සිටින අලින් ගල්ගිරිය කන්ද පාමුල ඔස්සේ රැස්වෙහෙර කන්දට පැමිණ එතැනින් අත්තනපොල රජයේ කැලය හරහා මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මෙය ඉතාම පැරණි අලි සංක්‍රමණික මාර්ගයක් ලෙස සැලකේ. මීට අමතරව දේවගිරිපුර සිට කරගස්සන වැව හරහා හුණුගල්ලෑව ප්‍රදේශයට හා පාලුකඩවල වැවට අලි සංක්‍රමණය වේ.

    මෙසේ නින්දගම් ඉඩමට සංක්‍රමණය වන අලි ආකාර කිහිපයකින් වනාන්තර ප්‍රදේශය පුරා ව්‍යාප්ත වේ. අත්තනපොල රජයේ කැලය හරහා නින්දගම් ඉඩමට පැමිණෙන අලි එතැන් සිට හුණුගල්ලෑව හරහා පාලුකඩවල වැවට පැමිණේ. පාලුකඩවල වැවේ සිටින අලි අතරගල්ල වැව, පල්ලේරියාව වැව, ඒරියාව වැව හරහා ඉකිරිවත්තේගම වැව දක්වා නින්දගම් ඉඩමේ බටහිර, නිරිතදිග හා දකුණු ප්‍රදේශවල ව්‍යාප්ත වේ. මෙම අලි – ඇතුන්ගේ ගමන් මාර්ග සියල්ල ම මෙම වනාන්තර එළි කිරීමෙන් හා එම බිම් වල වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමෙන් එම සතුන්ට අහිමි වනු ඇත.

    නාකොලගනේ වනාන්තරයේ ජෛව විවිධත්වය

    2014 වසරේ මාර්තු මාසයේ අවස්ථා දෙකක දී ලියුම්කරු විසින් මෙම වනාන්තරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව කෙටි අධ්‍යයනයක් සිදු කරන ලදී. ඒ අනුව මෙම නින්දගම් ඉඩම තුළ විවිධ පරිසර පද්ධති ගණනාවක් පිහිටන බව අනාවරණය විය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, වියළි තෘණ භූමි හා ගංඟාශ්‍රිත වනාන්තර ප්‍රමුඛ ව දැක ගත හැකි ය. මීට අමතර ව වැව් හා වැව් පිටි ආශ්‍රිත ව පිටාර තැනි බිම් දැක ගත හැකි වේ. මෙම කෙටි අධ්‍යයනයේ දී පක්ෂි, උරග, ක්ෂීරපායී හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ 4ට අයත් විශේෂ 118 ක් වාර්තා කිරීමට හැකි වීම විශේෂත්වයකි. ඒ අතර ලංකාවට ආවේණික විශේෂ 5ක් වාර්තා කිරීමට හැකි විය. 2012 රතු දත්ත ලේඛනයට අනුව ආසන්න තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් හා තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් අධ්‍යයන ප්‍රදේශයෙන් වාර්තා විය.

    අධ්‍යයනයේ දී පක්ෂි විශේෂ 75ක් වාර්තා වූ අතර ඉන් විශේෂ 4ක් ලංකාවට ආවේණික වේ. මෙම පක්ෂීන් තෙත් බිම් ආශ්‍රිත හා වනාන්තර වාසී විශේෂ ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. බොහෝ පක්ෂි විශේෂවල කැදලි තනන ප්‍රදේශයක් ලෙස ද මේ වනාන්තර ප්‍රදේශ භාවිතා වේ. අධ්‍යයන කාල සීමාව තුළ දී වාර්තා වූ සමනළ විශේෂ ගණන 25 කි. එක් ආවේණික විශේෂයක් ඇතුළත් ක්ෂීරපායී විශේෂ 12ක් මෙම ප්‍රදේශයෙන් වාර්තා විය. අධ්‍යයනයේ දී වාර්තා වූ උරග විශේෂ ගණන 6කි.

    මෙවන් විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වන ප්‍රදේශයක් තුළ පිහිටි, වැඩි ම අලි – ඇතුන් ප්‍රමාණයක් ජීවත් වන පාලුකඩවල වැව ඉහත්තාවේ සුවිශේෂී ජල පෝෂක ප්‍රදේශය තුළ මේ වන විට ව්‍යාපාරිකයන් විසින් වනාන්තර සියල්ල විනාශ කර වාණිජ වගා ව්‍යාපෘති කියාත්මක කර ඇති අතර අඛණ්ඩ ව වනාන්තර විනාශ කරමින් වගා බිම් ව්‍යාප්ත කරනු ලැබේ.

    පාරිසරික පනත් හා පුරා විද්යා පනත උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කිරීම

    මෙම සියලු වනාන්තර විනාශයන් සිදු කරමින් පවතින්නේ පාරිසරික අණ පනත් කිහිපයක් උල්ලංඝනය කරමිනි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය.

    මීට අමතරව මෙම පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින 859/14 අංක දරන ගැසට් නිවේදනයට අනුව, පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම කළ යුතු ය.

    ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී හෝ ජාතික පාරිසරික නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ඒ අනුව මෙම හානි කර හා නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහි ව කටයුතු කිරීමේ බලය ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරියට ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය බොහෝ පාරිසරික විනාශයන් හමුවේ මුණිවත රැකීම හෝ සාධාරණීකරනය කිරීමට කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන ආකාරයට ම මෙම අවස්ථාවේ දී ද කටයුතු කිරීමෙන් සිදු වන්නේ වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ හේතුවෙන් ඉදිරියේ දී ද මෙරට වැව් පද්ධතිය හා ගොවි ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වනු ඇත.

    කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක අයත් වන වයඹ පලාත තුළ ක්‍රියාත්මක වන විශේෂ පාරිසරික නීතියක් වන 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 දින අංක 1020/21 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 20කට වැඩි භූමි ප්‍රදේශයක් එළි කිරීමට ප්‍රථම හෝ පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. එවන් කිසිදු අනුමැතියකින් තොර ව මෙම වන විනාශයන් සිදු කරද්දී මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වයඹ පලාත් පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන වලත්වැව රාහුල හිමිගේ දේශපාලන බලයට යට වී සිටිති.

    පාරිසරික අණ පනත්වලට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු. පුරා විද්‍යාත්මකව වැදගත් වන ස්ථාන බොහොමයක් පිහිටි මෙම ප්‍රදේශයේ ඒ පිළිබඳ ව කිසිදු අනුමැතියකින් තොර ව මෙම සියලු වන විනාශයන් සිදු කරමින් පවතී. නමුත් ඊට එරෙහි ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත.

    එපමණක් නොව මෙවන් මහ පරිමාණ වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශ පමණක් නොව අදාළ සියළු රාජ්‍ය ආයතන වල අනුමැතිය ද ලබා ගත යුතු ය. එවන් කිසිදු අනුමැතියකින් තොරව පාලුකඩවල වැව් ඉහත්තාවේ ජල පෝෂක වනාන්තර හා අලි – ඇතුන්ගේ වාසස්ථාන විනාශ කරමින් පවතී. මේ නිසා අදාළ රාජ්‍ය අංශ මේ සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක විය යුතු ව ඇත.

    ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීම

    මෙම වනාන්තර විනාශය ජාතික පාරිසරික පනත, වයඹ පලාත් පරිසර ප්‍රඥප්තිය හා පුරාවස්තු ආඥාපනත යන අණ පනත් උල්ලංඝනය කරමින් සිදු කරන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ද අහිමි කරමිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් ඒ අනුව කිසිදු වගකිවයුතු රාජ්‍ය ආයතනයක් මේ වන විනාශය වැළැක්වීමට එම නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ ම 14(1)(උ) ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය ද මෙම වන විනාශය හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට අහිමි කර ඇත. පාලුකඩවල වැවේ ඉහත්තාව, ජල පෝෂක වනාන්තර හා අලි – ඇතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම නිසා රොන්මඩ වැවට එක් වී වැව ගොඩවීමට ලක් වීම හා ජල පෝෂක අහිමි වීම නිසා වැවේ ජලධාරීතාව අඩු වීම සෘජුව ම කෘෂිකර්මාන්තය කෙරෙහි බලපෑම් ඇති වේ. මේ නිසා වැව යටතේ කෘෂිකර්මාන්තයේ නිරත ජනතාවට තම ජීවන වෘත්තිය අහිමි වේ. මෙම වන විනාශය නිසා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් වගා බිම්වලට පැමිණ විනාශ කිරීමෙන් ගොවි ජනතාවට ජීවන වෘත්තීන් අහිමි වේ. මේ අනුව මෙම වනාන්තර විනාශයෙන් නාකොලගනේ අවට ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් අහිමි වී තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පලාත් පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ අණ පනත් උල්ලංඝනය කරමින් වලත්වැව රාහුල හිමියන් විසින් නාකොලගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් ව්‍යාපාරිකයන්ට පැවරීම හා නීති විරෝධීව වනාන්තර එළි කර පරිසරය විනාශ කිරීමට එරෙහිව මෙතෙක් නීති ක්‍රියාත්මක කර නොමැත. මේ නිසා අද වන විට අලි – ඇතුන්ගේ වාසස්ථාන හා වැව්වල ජල පෝෂක වනාන්තර අහිමි වෙමින් තිබේ. මේ අනුව මෙම මහා වන විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමෙන් මෙම ආයතනවල රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත.

    අලි මිනිස් ගැටුම උග් වීම

    ලංකාවේ අලි – මිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතුරින් ප්‍රධාන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඊට හේතුව වනාන්තර ප්‍රතිශතය අඩු වීම හා ඉතිරී වී ඇති අලි ඇතුන්ගේ වාසස්ථාන කුට්ටිකරණය වී පැවතීම ය. මේ නිසා අලි – ඇතුන් ගම් වැදීම හා වගා බිම්වලට පිවිසීමෙන් උග්‍ර අලි – මිනිස් ගැටුමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වේ.

    2011 වසරේ දී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලි – ඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පලාතේ අලි – ඇතුන් 1189 ක් පමණ ජීවත් වන බව සොයා ගෙන තිබේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලි – ඇතුන් ප්‍රමාණයෙන් 20% කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි.

    2018 වසරේ දී අවසන් වරට සිදු කෙරුණු ඉඩම් භාවිතය පිළිබඳ ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේකනවලට අනුව පෙනී යන්නේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම වනාන්තර ප්‍රතිශතයක් ඉතිරි වී ඇති බව ය. හෙක්ටයාර 481600 ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වාභාවික වනාන්තර ලෙස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ හා තෘණ භූමි ව්‍යාප්තව ඇත්තේ හෙක්ටයාර 66228 ක පමණ ප්‍රමාණයකි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 14% ක් පමණ වේ. වනාන්තර මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම අලි – මිනිස් ගැටුම උග්‍ර වීමට සහ වැව් හා ජල මූලාශ්‍රවල ජල පෝෂක ප්‍රදේශ ප්‍රමාණය අඩු වීමෙන් පානීය හා වාරි ජල අර්බුධ ඇති වීමට ද හේතු සාධක වේ.

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි ම අලි – මිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ගල්ගමුව හා ඇහැටුවැව යි. නාකොලගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස පවතින වනාන්තර විනාශය සිදු කෙරෙන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර ප්‍රදේශ වාර්තා වන්නේ මුළු භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 17500 ක් වන අතර එහි වනාන්තර ආවරණය දක්නට ලැබෙන්නේ හෙක්ටයාර 4760 ක භූමි ප්‍රමාණයක පමණි. ඒ අතුරෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලැබී ඇත්තේ 40% ක පමණ වනාන්තර ප්‍රමාණයකට පමණි. ඉතිරි බොහෝ වනාන්තර දැඩි නීතිමය රැකවරණයක් නොමැති ව පවතී. මේ අතුරින් නින්දගම් ඉඩම් ලෙස සැලකියයුතු වනාන්තර ප්‍රමාණයක් පැවතීම නිසා ඒවා නිරන්තරයෙන් එළිපෙහෙලි කිරීම්වලට ලක් වේ. මෙම වනාන්තර එළි කිරීම්වලට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය අලි – මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම තුළින් අලි හා මිනිසුන් ඝාතනයට ලක් වන ප්‍රමාණය වැඩි වීම හා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන්ගෙන් වගා බිම් විනාශයට ලක් කරන ප්‍රමාණය දිනෙන් දින ම වර්ධනය වීමයි. මීට අමතර ව ජල පෝෂක වනාන්තර බිම් වැව් ඇතුළු ජල මූලාශ්‍රවලට අහිමි වීම නිසා ජල අර්බුධ උග්‍ර මට්ටමකට පරිවර්තනය වේ. මේ සියල්ලේ ම ප්‍රතිඵලය වන්නේ ගොවි ජනතාව අවතැන් වී දැඩි අසීරුතාවයට පත් වීමයි.

    නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කළ යුතු 

    මේ තත්ත්වයන් සඳහා පිළියමක් ලෙස නාකොලගනේ වනාන්තර හා වැව් පද්ධතිය රක්ෂිත ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දිය යුතු ය. ඒ තුළින් මෙම සියලූ ම වන විනාශයන් පාලනයට ක්‍රියාමාර්ග ගත හැකි ය. 2006 සැප්තැම්බර් මස 20 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණ හා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට අනුව අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මෙම ප්‍රදේශය නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත. වැව් පද්ධතිය ඇතුළු ව මෙම සමස්ත වනාන්තර ප්‍රදේශයේ ජෛව විද්‍යාත්මක වටිනාකම, පුරා විද්‍යාත්මක වටිනාකම, ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වටිනාකම සැලකිල්ලට ගෙන 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු ය. මෙලෙස ප්‍රකාශයට පත් කිරීමේ දී නින්දගම් ඉඩම් පැවතීම ගැටළුවක් නොවන අතර එම ඉඩම් රජයට පවරා ගැනීමකින් තොරව වනඅලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නෛතික හැකියාව ඇත.

    මේ අයුරින් මෙම සමස්ත ප්‍රදේශය ආරක්ෂා නොකළහොත් ඉතා ම කෙටි කලක දී මෙම ප්‍රදේශයේ වනාන්තර පද්ධති හායනයට ලක් කිරීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් ඇති විය හැකි අතර ම මෙම ප්‍රදේශයේ වැව් පද්ධතිය මත පදනම් වූ කෘෂි කර්මාන්තය ද කෙටි කලකින් ම විනාශයට ලක් වනු ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය

  • විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ගැන අලුත්ම නිවේදනයක්

    විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ගැන අලුත්ම නිවේදනයක්

    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා  කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

    සභාපතිවරයා මෙම තොරතුරු සඳහන් කළේ විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) ප්‍රකාශයක් කරමිනි.

    සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහාචාර්යවරයා  වැඩිදුරටත් පැවසීය. සෑම විශ්වවිද්‍යාලයකම  අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්හි වයස අවුරුදු 30 ට වැඩි කාර්ය මණ්ඩල සඳහා එන්නත් දෙකම දී අවසන්ය. සියලුම විශ්වවිද්‍යාලයන්හි වයස අවුරුදු 30 ට අඩු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් එන්නත්කරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන්නතම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සමග සම්බන්ධීකරණයෙන් කඩිනම් පියවර ගන්නා මෙන් සියලු විශ්වවිද්‍යාල වෙත දැනුම් දී ඇති බව මහාචාර්යවරයා කීය.

    එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 30 ට වැඩි හා අඩු දෙපිරිසටම එන්නත් දෙකම දී අවසන් කර තිබේ. ඉදිරි වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට  ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කටයුතු  මේ දිනවල සිදුවෙමින් පවතී. මේ සඳහා  කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම අත්‍යවශ්‍ය බැවින් විශේෂ අවසරයක් මත මෙසේ කඩිනමින් එන්නත්කරණය සිදු කළ බව මහාචාර්යවරයා සඳහන් කළේය.

    විශ්වවිද්‍යාලවල වයස අවුරුදු 30 ට අඩු කාර්ය මණ්ඩල සහ ශිෂ්‍යයින් සඳහා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධ සුපරීක්ෂණ ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කරයි. මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රගතියද සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය අංශ, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා සෙසු අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල විවෘත කිරීමට අපේක්ෂිත බවයි.

    විශ්වවිද්‍යාල දැනට වසා තිබුණද අදාළ සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයන් කිසිදු බාධාවකින් තොරව නව සන්නිවේදන තාක්ෂණික ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අවධාරණය කළේය.