Category: සුපිරි News

  • ආර්ථිකය යළි නගා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්

    ආර්ථිකය යළි නගා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්

    ආර්ථිකය යළි නගා සිටුවීමට රජයට සහාය වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 වසංගතය ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව මත ඉදිරි කාලයේ දී දැඩි බලපෑමක් ඇති කළ හැකි ය. මෙම වාතාවරණය තුළ, ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්‍රයත්නයන්ට සහාය දීමක් වශයෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි 83 වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය විසින් 2020 ජූනි 16 දින පැවැති රැස්වීමේ දී තීරණය කරන ලදී.

    ඒ අනුව, 2020 මාර්තු මස 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1.00ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇති අතර, එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4.00ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇත. මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙනු ඇත. 

    මීට අමතර ව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමාන ව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත  සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක්  හඳුන්වා දෙනු ඇත.

    මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ඉදිරි කාලයේ දී නිකුත් කරනු ඇත.

  • ජනපති උපදෙස් පරිදි ආර්ථික පුනරුදයට මහ බැංකුවෙන්  කඩිනම් නව ක්‍රියාමාර්ග

    ජනපති උපදෙස් පරිදි ආර්ථික පුනරුදයට මහ බැංකුවෙන් කඩිනම් නව ක්‍රියාමාර්ග

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන්ට ඊයේ (16) කළ අවවාදයෙන් පසු මහ බැංකුව වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් ඊයේම හඳුන්වා දුන්නේය.

    කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක එනම් කෝටි 15,000ක ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීම ඉන් එකකි.

    මේ මුදල බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසින් ව්‍යාපාර අතර බෙදා හරිනු ලැබේ. අය කෙරෙන පොලිය  4% කි.  ණය සම්පාදනය සඳහා වාණිජ බැංකුවලට අවශ්‍ය මුදල් 1% ක සහන පොලී අනුපාතයකට මහ බැංකුවෙන් සැපයේ.

    පසුගිය වකවානුව තුළ විවිධ ව්‍යාපාර විසින් රජයට සපයන ලද නිෂ්පාදන සහ සේවා සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබේ. ඒවා ඇපයට තබාගෙන බිඳ වැටුණු ව්‍යාපාරවලට ප්‍රතිමූල්‍ය පහසුකම් සලසන්නැයි ජනාධිපතිවරයා ඊයේ රැස්වීමේදී මහ බැංකුවට උපදෙස් දුන්නේය.

    ඒ අනුව වාණිජ බැංකුවලට ඇපකර පොරොන්දු මත සහන පොලියක් යටතේ අරමුදල් සම්පාදනයට ඊයේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණ. ඒ හැර ඉදිකිරීම් ව්‍යාපාර සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබේ. ඉදිකිරීම් සමාගම්වලට ලැබිය යුතු මුදලට සමානව රජය නිකුත් කරන ඇපකර මත සහන පොලියට ණය සැපයීම එහි අරමුණයි.

    ආර්ථික පුනරුදය පිණිස මහබැංකුව ඊයේ එළැඹි තීරණ අනුව වාණිජ බැංකුවල රුපියල් තැන්පතු සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ජූනි 16 දින සිට ක්‍රියාත්මක පරිදි 2% ක දක්වා අඩු කෙරිණ. එහි ප්‍රතිඵල ලෙස රුපියල් බිලියන 115ක එනම් කෝටි 11,500ක අතිරේක ද්‍රවශීලතාවක් හෙවත් වහා ගනුදෙනු කළහැකි මුදල් ප්‍රමාණයක් මූල්‍ය වෙළෙඳපොළට මුදා හැරේ. සංචිත අනුපාත පහත හෙළීම වාණිජ බැංකුවල ණය සම්පාදන පිරිවැය අඩු කිරීමට මුල්වන බැවින් ආර්ථිකයේ ණය ප්‍රවාහය ප්‍රසාරණය වෙයි.  ණය පිරිවැය අඩුවීමේ ප්‍රතිලාභය ව්‍යාපාර සහ කුටුම්බ වෙත හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මූල්‍ය සමාගම් බිඳ වැටීම සහ ලීසිං ආයතනවල අයථා ක්‍රියාකාරීත්වය හමුවේ අකර්මන්‍යව සිටීම ගැන ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඊයේ රැස්වීමේදී මහබැංකු ප්‍රධානීන්ට අවවාද කළේය. ඊට ප්‍රතිචාර ලෙස මහබැංකු අධිපති විසින් මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමික සහ නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් ස්ථාපනය කරනු ලැබීය.  ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා කමිටු ප්‍රධානියා ලෙස පත්වී සිටී. මහබැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.ජී. සිරිකුමාර සහ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබඳ අධීක්ෂණ අධ්‍යක්ෂ ජේ.පී. ගම්ලත් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

    පොදුවේ සියලු මූල්‍ය සමාගම්වල සහ විශේෂයෙන් මහබැංකුව සමග ලියාපදිංචි වී නැති ලීසිං සමාගම්වල ක්‍රියාකාරීත්වය කමිටුවේ විමර්ශනයට ලක් වෙයි. කමිටු වාර්තාව දින 14ක් ඇතුළත භාරදිය යුතු බව නියම කර ඇත.

    කොවිඩ් වසංගතය පාලනය කිරීමට පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග නිෂ්පාදන ආර්ථිකය යථාවත් වෙමින් තිබෙන බව මහබැංකුව කියා සිටී.  ආහාර සහ පාන වර්ග, රෙදි පිළී සහ ඇගළුම් නිෂ්පාදන අංශයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. අප්‍රේල් මාසයේ දී 3.5ක් වූ නිෂ්පාදන උප දර්ශකය මැයි මාසයේ දී 51.1 දක්වා වැඩි වී තිබිණ.

  • අගෝස්තු පළවෙනිදායින් පසු ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පි.සී.ආර් පරීක්ෂණ තුනක්

    අගෝස්තු පළවෙනිදායින් පසු ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පි.සී.ආර් පරීක්ෂණ තුනක්

    අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

    කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ව අද (17) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ජාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

    ” කටුනායක ගුවන්තොටුපළ අගෝස්තු 01 වෙනිදා සිට සංචාරකයන් සඳහා විවෘත කිරීමට මේ වනවිට සියල්ල සූදානම්. කිසියම් සංචාරකයෙකු දිවයිනට පැමිණීමට පෙර ඔවුන්ගේ රට තුලදී පී.සී.ආර්.පරීක්ෂාවට ලක්වී වාර්තාව රැගෙන ආ යුතුය. එහෙම ඔවුන්ගේ රටේදී පී.සී.ආර්.පරීක්ෂාවකට ලක්වුවත් අදාල සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණී වහාම ගුවන්තොටුපලේ දී අපි පී.සී.ආර්.පරීක්ෂාවක් කරනවා. වාර්තාව එනතුරු ගුවන්තොටුපළ අසල රඳවාගෙන ඉඳලා වාර්තාව ආවට පස්සේ ඔවුන්ට සංචාරය සඳහා මුදා හරින්නේ. හැබැයි ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හදුනාගත් හෝටල් වලට හෝ නවාතැන්පළ වලට පමණයි. සංචාරය අතරතුර ඔවුන්ට මෙරට රැදී සිටින ස්ථානයේදී තවත් පී.සී.ආර්.පරීක්ෂණ දෙකකට ලක්වන්නට ඔවුන්ට සිදුවෙනවා මේ සංචාරකයන් නිරන්තර සෞඛ්‍ය අංශ අධීක්ෂණයකට ලක්වෙනවා.

    අපි තමයි මුලින්ම අගෝස්තු 01 ගුවන්තොටුපල විවෘත කරනවා කියලා. නමුත් අනිත් රටවල් ඔවුන්ගේ ගුවන්තොටුපළ ජූලි 15 සිට විවෘත කරන්න කටයුතු කර තිබෙනවා. අපේ ගුවන්තොටුපල අගොස්තු 03 වෙනිදා විවෘත කරන්නට සිදුවන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ කාලය තුල රටට ගෙන්වා ගැනීමට සිදුවූ නිසයි. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් දැඩි ස්ථාවරයක ඉන්නවා මේ දිනවල දිවයිනට පැමිණිමට අපේක්ෂාවෙන් ඉන්න විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳව. ඒකයි අපි අගෝස්තු 01 වෙනිදාට විවෘත කරන්න තීරණය කළේ.

    දේශීය සංචාරකයන් සඳහා ද හෝටල් හා අවන්හල් මේ වනවිට විවෘත වෙමින් තිබෙනවා. අපි මෙතන දී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව. ඒ නිසා අපි මේ සියල්ල කරන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුවයි. මොකද නැවත මේ රටේ කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීමට ඉඩදිය නොහැකියි. මේ මොන දේ කරන්නත් අපිට රටේ පවතින තත්ත්වය වැදගත් වෙනවා. නැවත කොරෝනා රැල්ලක් ඇතිවුනොත් නැවතත් මේ සියල්ල වෙනස්විය හැකියි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රානාන්දු මහත්මිය-

    ගුවන්තොටුපල විවෘත කරපුවාම ලංකාවට එන්න ඔන්ලයින් වීසා ලබාගැනීම අනිවාර්යයි. ඔන්ලයින් වීසා ගන්නාවිට අපි ඔවුන් මෙරට රැඳී සිටින කාලය ඉන්න අපේක්ෂා කරන ස්ථාන වගේ සියලු තොරතුරු ගන්නවා. ඒ අනුව මේ සංචාරකයන් දිවයිනට පැමිණීමේ සිට ආපසු යාම දක්වා අපි දැඩි අධීක්ෂණයකට ලක්කරනවා.

    සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා –

    දැනට ලෝකයේ රටවල් 115 ක ගුවන්තොටුපල වහලා තියෙන්නේ. රටවල් 57ක් ගුවන්තොටුපල විවෘත කරලා. අප්‍රිකාව වගේ රටවල් තමයි හුඟක් විවෘත කරලා තියෙන්නේ. නමුත් සීයට සීයක් මෙහෙයුම් සිදුවන්නේ නෑ. සෞඛ්‍ය නීතිරීති අනුවයි ඒ වගේ කටයුතු වෙන්නේ. ගුවන්තොටුපල අපි සම්පූර්ණයෙන් වැහුවේ නෑ. එනඒවා විතරයි නතර කලේ. යන ඒවා සිදුවුනා. ඉන්දියාව වගේ රටවල් සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපල වසා දැම්මා. කොහේහරි රටක හිරවෙලා ඉන්න ඒ රට වල අයත් ගෙන්න ගත්තේ නෑ. ඒත් අපි අපේ රටේ අයෙකු කොහේහරි හිරවෙලා හිටියනම් ඒ අයවත් ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කර තිබෙනවා. අදවන විට 10,000ක් විතර  ඇවිත් තියෙනවා.

    ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා –

    ගුවන්තොටුපලට පැමිණෙන සියලු ගුවන්යානා විෂබීජානුහරණයට ලක්කෙරෙනවා. හැම ගුවන්ගමනකින්ම පසු ගුවන්තොටුපලත් විෂබීජහරණයකට ලක්කෙරෙනවා. සංචාරකයන් නැවත ශ්‍රි ලංකාවට පැමිණිමට පටන්ගත්තාම අපිට කටුනායක ගුවන්තොටුපල පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. ඒ නිසා අපි මත්තල ගුවන් මෙහෙයුම්  ආරම්භ කරන්න අපේක්ෂා කරනවා.

    ගුවන්තොටුපලින් මේ වෛරසය දිවයිනට පැමිණිම වළකවාගත නොගතහොත් එය බරපතල ගැටලුවක්. මේ නිසා කොවිඩ් 19 රෝගියෙකුත් නැවත මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අපි සම්පූර්ණයෙන්ම වසාදමලයි තියෙන්නේ.

    සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් එම්.හෙට්ටිආරච්චි මහතා ද එහිදී කතා කලේය.

  • ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත්  ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි. 

    ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළු ව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතර ව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත. 

    අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොර ව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩ ව සුපරීක්ෂණය කරනු ඇති අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්‍රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇත.

  • රෙදි ගැළවුණේ ජනපතිගේද ? මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගේද ? ඇත්ත කතාව මෙන්න !

    රෙදි ගැළවුණේ ජනපතිගේද ? මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගේද ? ඇත්ත කතාව මෙන්න !

    මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි.  හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි.  ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට  රජයට උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි, දකුණු පළාත් හිටපු  ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් විමසයි.

    මහ බැංකුවේ තීරණ ගන්නේ කවුද?

    මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් දීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට නොව ‘මුදල් මණ්ඩලය‘ (Monitory Board) ට යි.  එය මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය. 

    උපුටා ගැනීම //ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය. // උපුටා ගැනීම අවසන්.

    ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ පුටුවල වාඩිවී  සිට මහ බැංකුවේ නිලධාරීන් සිදු කරන්නේ, මුදල් මණ්ඩලය විසින් ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක කිරීම යි.  1949 අංක 58 දරණ මුදල් නීති පනත නැත්තම්, ලංකාවේ නීතියට අනුව නම් විය යුත්තේ ද එයයි.

    නීතිය හා ප්‍රායෝගිකව ධනාත්මක ප්‍රතිඑලයක් ලබා ගැනීමට නම්, ජනාධිපතිවරයා ‘මුදල් මණ්ඩලයේ‘ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීම වඩා යහපත් විය හැකිව තිබුණි.   මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් ලබාදීමේ නෛතික බලය ඇත්තේ ඔවුන්ට බැවිනි.  උපදේශකයා  (මුදල් මණ්ඩලය) ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කළ පසුව, තවදුරටත් රජයට (හෝ රාජ්‍ය නායකයාට) උපදෙස් දීමට හැකියාවක් පැවතිය නොහැකිය.    

    මුදල් මණ්ඩලයේ පුරවන්නේ නැති පුරප්පාඩු

    සමාන්‍ය තත්තවය යටතේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් 5 දෙනෙකි.  නමුත්, දැන් ඉන්නේ තිදෙනෙකි. ඒ, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල (නිල බලයෙන්)  හා පත් කළ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යි.  පසුගිය දා, ඉල්ලා අස්වූ නිහාල් ෆොන්සේකා සහ දුෂ්නි ප්‍රනාන්දු වෙනුවෙන් නව සාමාජිකයින් පත් කර නැත.   එම පත්වීම් සිදු කල යුත්තේ මුදල් අමාත්‍යවරයා (මහින්ද රාජපක්ෂ) විසින්  ජනාධිපතිපතිතුමා වෙත නිර්දේශකරන නම්, ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ලබා දෙන පත්වීම් ලිපියකිනි. 

    දැන්, මේ අවුලට වරද, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් හා එස්.ආර්.ආටිගල නම් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට මේ  මොහොතේම පවතී.  රජයට ඉතා හිතවත් සංජීව ජයවර්ධනට වුව ද, ඉවත් කිරීම දුෂ්කර නැත.

    සැබවින්ම, අප ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ අන්තර්ගතය දන්නේ නැත. නමුත්, ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වූ කරනු අනුව නම්, ‘‘මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා වගකිව යුතු මුදල් මණ්ඩලය‘‘  පසෙක තබා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට චෝදනා කිරීම යහපත් නැතැ යි‘‘ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    රජිත් කීර්ති තෙන්නකෝන් – දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර

  • කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීමට සමගාමීව මත්තලත් ගුවන් මෙහෙයුම් අරඹයි

    කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීමට සමගාමීව මත්තලත් ගුවන් මෙහෙයුම් අරඹයි

    අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

    අගෝස්තු 01 වෙනිදා සිට කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට අවශ්‍ය අතිනවීන සමේ උෂ්ණත්ව හදුනා ගැනීමේ කැමරා උපකරණ, නවීන සන්නිවේදන පද්ධති, අධෝරක්ත උෂ්ණත්වමාන, විශේෂිත මුහුණු ආවරණ, පි.පි.සී ආවරණ හා අත් වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    උත්සවය අද (16) කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පැවැත්විණ. රුපියල් මිලියන 45 ක් වටිනා මෙම උපකරණ තොගය කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ප්‍රදානය කළේ සංක්‍රමණිකයන් සදහා වන ජාත්‍යන්තර සංවිධානයයි. ජපානය හා ඕස්ට්‍රේලියානු රජයන් මෙම ප්‍රදානයන් අදාළ සංවිධානයට ලබා දී තිබිණි.

    උපකරණ තොගය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතු ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ විදේශගත ශ්‍රමිකයින් මවුබිමට ගෙන්වා ගැනීමේ කටයුතු ද කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් උපදෙස් දී ඇති බවයි. ඒ නිසා අගෝස්තු 01 වෙනිදාට පෙර විදේශගත ව සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කළේය.

    කටුනායක ගුවන් තොටුපළට සමගාමි ව සංචාරකයන් සදහා මත්තල ගුවන් තොටුපළ ද විවෘත කරන බව පැවසු ඇමතිවරයා ගුවන් සමාගම් සමග දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි කීවේය. මත්තල ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් යානා අදාළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා බද්දෙන් නිදහස් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ කැබ්නට් පත්‍රිකාවට පසුගිය පෙබරවාරි මාසයේ දී අනුමැතිය හිමි විය. ඒ අනුව මත්තල ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට ගුවන් සමාගම් කීපයක් ම දැනටමත් එකගත්වය පළ කර ඇතැයි ද ඇමතිවරයා කිවේය.

    දිවයිනට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු පි.සී.ආර් පරීක්ෂණයකට ගුවන් තොටුපළේදී ම ලක් කරන බවත්, එය අනිවාර්ය බවත් පැවසු ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ට දිවයිනේ සංචාරය කිරීමට හැකියාව ලැබෙන්නේ ගුවන් තොටුපළේ සිදු කරනු ලබන පි.සි.ආර් පරීක්ෂාවෙන් පසුව බව ද කීවේය. සෞඛ්‍ය අංශ උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.

    මීට අමතරව නීත්‍යානුකූල නොවන මාර්ග වලින් පුද්ගලයින් රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ද රජය පියවර ගෙන තිබේ. විශේෂයෙන් ම මුහුදු මාර්ගයෙන් මෙරටට නීතිවිරෝධි සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීමට වෙනම මෙහෙයුමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව පැවසු ප්‍රසන්න රණතුංග මහතා මේ සියල්ල සිදු කරන්නේ මෙරටට කොවිඩ් 19 රෝගය ඇතුළුවීම වැළැක්වීම සදහා බව කීවේය.

    මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සංක්‍රමණිකයන් සදහා ජාත්‍යන්තර සංවිධානයේ සංක්‍රමණික හා  පාලන ප්‍රධානී ශාන්ත කුලසේකර යන මහත්වරු සහභාගී වුහ.

  • ජනපති ගෝඨා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ‘රෙදි ගලවා’ නිරුවත් කරයි !

    ජනපති ගෝඨා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ‘රෙදි ගලවා’ නිරුවත් කරයි !

    “රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා  රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව මට දැනුම් දෙන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ප්‍රධානීන්ට කියා සිටී.

    ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැත. එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන්නැයි ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දෙයි.

    ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ අවවාදාත්මක ප්‍රකාශය කළේය.

    ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහබැංකු  ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙරට මහබැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා  කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක් මූල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට ජනාධිපතිතුමා කළ යෝජනාව මහබැංකුව පැහැර හැර තිබේ. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බව ජනාධිපතිවරයා කීය.

    මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවති. ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය. ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා එය ඉටුකිරීමට  බැඳී සිටින බව අවධාරණය කළේය. සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළහ. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී තිබේ. එය ඉටුකරනු වෙනුවට මහබැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිවරයා කීය. ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එය අදම කළයුතු බවද ජනපති අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු සහ මහබැංකු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්න – ඇමති ප්‍රසන්න

    මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්න – ඇමති ප්‍රසන්න

    මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි.

    රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසු ඇමතිවරයා ඔහු නැවත පාර්ලිමේන්තුවට පත් කීරීමේ පාපයට පොළොන්නරු ජනතාව මෙවර හවුල් නොවනු ඇතැයි ද කීවේය.

    බිංගිරිය, රන්තැටියාව, රන්තරු උත්සව ශාලාවේ ඊයේ (15) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කීවේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම දැනුවත් කරමු – යළිත් අපි නැගිටිමු රැස්වීම් මාලවේ බිංගිරිය ආසනයේ රැස්වීම වූයේ මෙයයි.

    රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

     “මම මහින්ද මහත්තයා වෙනුවෙන් එළියට බැස්සේ. එදා මගේ නිළ නිවාස නැති වුණා. මහඇමතිකම නැති කරන්න හැදුවා. පවුලේ සහෝදරවරු මාව අතෑරියා. මාව, නෝනාව හිරේ දාන්න හැදුවා. මේ හැමදේකටම මම අහු වුණා. ඒත් මම මහින්ද මහතත්යාව අතහැරියේ නෑ.

    මෛත්‍රී – රනිල් කියන්නේ එළ හරකයි – මී හරකයි වගේ. රට දෙපැත්තට ඇද්දා. රටේ දේශපාලන ස්ථාවරය නැති කළා. ආයෝජකයෝ රටට ආවේ නෑ. ආව ආයෝජකයන්ගෙන් මුන් කප්පම් ඉල්ලුවා. මහ බැංකුව මහ දවාලේ එළිපිට හොරකම් කළා. සමලිංගික පණත් පාර්ලිමේන්තුවට ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බෞද්ධ ආගමට විරුද්ධ අණපණත් ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ අන්තවාදීන්ගේ උවමනාවටය. පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු දැනුම් දීලා තියෙ නකොටත් ඒක වළක්වාගන්න රනිල් – මෛත්‍රී ආණ්ඩුවට බැරි වුණා. රනිල් – මෛත්‍රී වගේ ම ඒ ආණ්ඩුවේ හිටපු සියලු දෙනා මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතුයි. යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන කමිටුවක් පත් කළේ චෝදනා එල්ල වූ සිය ගජමිතුරන්ට සුදුහුණු ගෑමටයි. කමිටුවේ හිටියා ලපකුමාරගේ ගෝලයෙක්. බෝම්බකරුවෝ දෙන්නෙක්ගේ තාත්තා ජෙ.වි.පි ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක්.

    බැරිවෙලා හරි මේ කොරෝනා එන වෙලාවේ රනිල් – මෛත්‍රී ජෝඩුව බලයේ හිටියානම් මේ රටට අබ සරණයි. එහෙම මෛත්‍රී රටේ කොරෝනා රෝගීන් ගැන දැන ගන්නේ පත්තරෙන්. රනිල් කොමිසමක් ඉල්ලයි. කොමිසම හොයන්නේ කොරෝනා ගැන නෙමෙයි. කොරෝනා වල මුල අකුර සී ද කේ ද කියලයි. ඇමෙරිකාවේ ලක්ෂ ගාණක් මැරුණෘ. අපේ එහෙම මැරණේ නෑනේ කියයි. රටේ වාසනාවට තමයි කොරෝනා එනකොට රනිල් – මෛත්‍රී ඩබල නොහිටියේ.

    පක්ෂයක් හැදුවොත් අපිව පාරේ ඇවිද්දවනවා කිව්ව මෛත්‍රී අද අපේ පක්ෂයට ඡන්දය ඉල්ලමින් පොළොන්නරුවේ පාරක් පාරක් ගාණේ යනවාලු. මම පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලනවා මෛත්‍රීට ඡන්දය දෙන්න එපා කියලා. මෛත්‍රී රටත් කෑවා. පක්ෂයත් කෑවා. එතුමාගේ පස්සෙන් ගිය ශ්‍රීලනිපයේ මිනිස්සුන්ට අද මොකද වෙලා තියෙන්නේ. යන එනමං නැතිවෙලා. රටම නැති කරලා පක්ෂයත් නැති කළා.

    ඒ වගේම තමයි සජිත් ගැන කථා කරලා වැඩක් නෑ. සජිත් කියන්නේ මන්ද බුද්ධිකයෙක්. බැරිවෙලාවත් සජිත් රටේ නායකයා වුණානම් ඒත් අබ සරණම තමයි. සජිත්ගේ තාත්තා 88 – 89 කාලයේ මිනී මැරුවා තමයි. අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සජිත්ලා මොනවද කළේ.?

    2015 ජනාධිපතිවරණයේ දී  58 ලක්ෂයක් ගත්තා. නමුත් 2015 මහ මැතිවරණයේ දී අපිට හම්බවුණේ ලක්ෂ 48 යි. සාමාන්‍යයෙන් රටේ හැසිරීම ඒකයි. හැමදාම දිනන පැත්ත උඩ යනවා. පරදින පැත්ත පහළට යනවා. මේ පාර වෙන්නේ ඒකයි. 69 ලක්ෂයක් ගත්ත අපි උඩට යනවා. යූ.එන්.පි එක යට යනවා. මේ පාර යූ.එන්. පි එක දෙකඩ වෙලා කුජීත වෙලා ගිහින්. තවත් ඡන්ද අඩු වෙනවා. පුතාණෝගේ ජනාධිපති සිහිනය කුඩු පට්ටම් වුණා. මේ වෙනකොට අගමැති සිහිනයත් කුඩු පට්ටම් වෙලා ඉවරයි. මේ පාර මැතිවරණයේ පක්ෂ නායක හීනයත් කුඩු පට්ටම් වෙනවා.

    හැබැයි මේ මැතිවරණයේ දී අපි හුගක් ප්‍රවේශම් වෙන්න ඕනෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය ඔන්න මෛත්‍රීගේ ෆොටෝ අතෑරලා මහින්ද මහත්තයාගේ ෆොටෝ ගහගෙන එනවා. අපි මේ මැතිවරණයේ දී මහින්ද අත නොහැර යන අයට ඡන්දය දෙන්න ඕනෑ. මොකද නැතිනම් පාර්ලිමේන්තුවේ දී මුදලට තනතුරු වලට විකිණෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙවර මහ මැතිවරණයේ දී රට ගැන හිතා ඔබේ මනාපය පළ කරන්න.”

  • රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සැලසුම් සකස් කර අවසන් – ඇමති ප්‍රසන්න

    රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සැලසුම් සකස් කර අවසන් – ඇමති ප්‍රසන්න

    රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග විදේශ ආයෝජකයන් රැුසක් මෙරටට ආයෝජනයට වැඩි කැමැත්තක් දුැක් වූ බවත් රජයේ මුල් මාස කීපය තුළ ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු සිදු කෙරුණු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. එහෙත් කොවිඞ් 19 වසංගතයත් සමග එම කටයුතු සම්පූර්ණයෙන් ම නතරවිය. මේ වන විට එම ආයෝජකයන් නැවත දිවයිනට ගෙන්වා ගැන්ිම සදහා සාකච්ඡුා ආරම්භ කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

    ඉදිරියේ දී විදේශ ආයේාජකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර ප‍්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කිරීමට අපේක්ෂිතය. එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේය.

    ආයේජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප වල කර්මාන්ශාලා 282 ක් පිහිටා තිබේ. 143,688 දෙනෙකු ඒවායේ සේවය කළහ. කොරෝනා වසංගතය හේතුවෙන් කර්මාන්තශාලා තාවකාලිකව වසා දැමුණි. එහෙත් තත්ත්වය පාලනය වීමත් සමග දිවයින පුරා පිහිටි කර්මාන්තශාලා වලින් 99% ක් ම සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි ඇමති ප‍්‍රසන්න රණුතංග මහතා සදහන් කරයි. සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් මෙම කටයුතු සිදු කෙරේ.

    කොව්ඞ් 19 වසංගතය රට තුළ පැතිරයාමත් සමග මෙරට අපනයන ක්ෂේත‍්‍රයට ද බරපතළ බලපෑම් එල්ල විය. අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ මේ වසරේ මුල් මාස 04 තුළ ඇගලූම් අපනයන කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1248 ක් උපයාගෙන ඇති බවයි.

  • බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු පෙරමුණ ගත  යුතු බව ජනපති අවධාරණය කරයි

    බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව ජනපති අවධාරණය කරයි

    බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා කියා සිටී.

    ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

    තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකු වලට කියා නැති ජනපතිවරයා සඳහන් කළේය. එහෙත් ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මූල්‍යමය සහය දීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    අද පවතින තත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නැත. ඉන් මිදිය හැක්කේ කෙසේද යන්න පැරණි රටාවෙන් බැහැරව සිතිය යුතුය. වැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට පසුබට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කළේය.

    2015ට පෙර 7% ත්  8% ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2% ටත් වඩා පහත වැටිණ. කොවිඩ් වසංගතයත් සමග බිඳවැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් කඩාවැටී ඇත. මේ සියලු කරුණු වටහාගනිමින් රටේ ආර්ථික පුනරුදය සඳහා වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහායවීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බව ජනපතිවරයා අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ යන මහත්වරු, අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ලීසිං වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මකදැයි රජය විමසිල්ලෙන්

    ලීසිං වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මකදැයි රජය විමසිල්ලෙන්

    කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

    අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙසේද සදහන් කරයි.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ ජන ජීවිතයට සීමා පැනවීමට සිදු විය. ඉන් පීඩාවට පත් කණ්ඩායම්වලට රජය සහන සමූහයක් ප්‍රදානය කළේය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කළ PS/CSA/16/2020      චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් ත්‍රිවීල් රථ හිමියන් විසින් ගෙවිය යුතු ලීසිං ණය වාරික අය කර ගැනීම මාස හයකට (06) අත්හිටවනු ලැබීය.

    ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මාර්තු 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත යොමු කරන ලද PS/CSA/18/2020 චක්‍රලේඛයේ 09 වැනි වගන්තියෙහි ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, ස්වයං රැකියා සඳහා යොදාගන්නා මෝටර් රථ ආදී ස්වයං රැකියාවල නිරත පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන සලසා ඇති බව සඳහන් කෙරිණි.

    මෙබඳු සහනයක් ප්‍රදානය කර තිබියදීත් ඇතැම් ලීසිං  සමාගම් සහ මූල්‍ය ආයතන ණය වාරික ගෙවීමට අසමත්වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (12) පොලීසියට නියෝග කළේය.

    ණය වාරික නොගෙවන බවට ලීසිං සමාගම්වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් හය මසක සහන කාලය අවසන්වන තුරු භාර නොගන්නැයි ද එතුමා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දුන්නේය.

    එසේම වාහන අත්පත් කර ගැනීමෙන් පසු පැමිණිලි කිරීම ද නීති විරෝධි බැවින් එවැනි පැමිණිලි භාර නොගත යුතු බවට ජනාධිපතිතුමා පොලීසියට නියෝග කර ඇත.

  • ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

    ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

    හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බවත් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

  • කොරෝනා නිසා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නවතී

    කොරෝනා නිසා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය නවතී

    වර්තමානය වන විට ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කොට තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කළින් සැලසුම් කර තිබූ පරිදි පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ.

    ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ තෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරග සංචාරය පත්වන්නේය.

    එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් මෙම තරග සංචාරයට ඇතුළත් වූ නමුත් වත්මන් කොරෝනා වෛරස් තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී තිබෙන බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

    “ඉදිරි තරග සැලසුම මෙන්ම සෙසු සාමාජිකයන් වෙනුවෙන් කැපැවී සිටියත්, ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම පිළිබඳව කිසියම් තීරණයක් ගැනීමට පෙර ඉන්දීය රජයේ සහ සෞඛ්‍ය නියාමන බලධාරීන්ගේ උපදෙස් ලැබෙන තෙක් සිටීමට සිදුවෙනවා”යි සිය තරගාවලිය අවලංගු කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන් වී තිබේ.

    මෙම තරගාවලිය අවලංගු කිරීම පෙර ප්‍රථම එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට තිබූ එක්දින සහ විස්සයි-20 තරගාවලිය අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

  • ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙනු එපා – ජනපතිගෙන් පොලීසියට නියෝග

    ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙනු එපා – ජනපතිගෙන් පොලීසියට නියෝග

    ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කරයි.

    ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබේ. අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිතුමා වැඩබලන පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

    කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවනු ලැබීය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වෙයි.

    එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද ජනපතිවරයා පොලීසියට දැනුම් දී තිබේ. 

  • පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

    පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ

    සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි.

    මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

    වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු  ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

    මෙවර කවර හෝ සිද්ධස්ථානයක පෙරහරට සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබේ. යාපනයේ නල්ලූර්, ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහරට පැමිණෙන පිරිසටද මෙවර අවසර නැත.

    සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කළේය. විවිධ ප්‍රදේශවලින් පෙරහරට සහභාගීවන  කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කෙරිණ. දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්  කළයුතුය. දළදා පෙරහරේ කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන දින 10ම සජීවිව රූපවාහිනියෙන් විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි  සඳහන් කෙරිණි.

    ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්වරු සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ  දළදා මාළිගාවේ දියවඩන නිලමේ සහ දේවාලවල ප්‍රධාන බස්නායක නිලමේවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

  • ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

    ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

    ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන බව එම අමාත්‍යාංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2020 ජුනි 10 වැනි දින ‘අද දෙරණ’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළ බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන්  ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අපනයන සඳහා අහිමි වූ වෙළඳපල, යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සහ නැවත අත්පත් කර ගනිමින් නව අවස්ථා සක්‍රීය කර ශ්‍රී ලාංකික අපනයන කෙරෙහි ඇති කර ඇති බලපෑම අවම කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රජයේ අනෙකුත් ප්‍රධාන ආර්ථික නියෝජිතායතන සහ පෞද්ගලික අංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව පුළුල් ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන ඇත.  2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතර, සංශෝධිත ප‍්‍රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2020 ජුනි 10 වැනි දින ‘අද දෙරණ’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළේය.

    කොවිඩ්-19 වසංගත  ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ සිට, එයින් ඇතිවන අහිතකර බලපෑම් මැඩපවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට පහසුකම් සැලසීම පිණිස, මෙම අමාත්‍යාංශයේ ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලය වැනි නියෝජිතායතන සමඟ සහයෝගයෙන් යුතුව වැදගත් උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව අතිරේක ලේකම්වරයා පැවසීය.

    ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

    විකාශනය වෙමින් පවතින ගෝලීය කොවිඩ්-19 තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ  නව නිෂ්පාදනයන්ට අදාළ වූ  වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන කටයුතු වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ (මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් ද, ආරක්ෂිත ගවුම්  සදහා නව වෙළඳපොළ 17 ක් ද, රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද , අත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේ වන විට අපනයනයන් ක්‍රියාත්මක වේ). මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්, අභියෝගාත්මක තත්වයන් යටතේ සහ ශ්‍රී ලංකා තේ මෙට්‍රික් ටොන් 344 ක් තුර්කියට ද  මෙට්‍රික් ටොන් 220 ක්  ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර, ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කර ඇත.

    ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) ඉල්ලීම පරිදි, මෙම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව පුද්ගලික ආරක්ෂක උපකරණ නිෂ්පාදනය සඳහා  අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන සාර්ථකව සම්බන්ධීකරණය කර ඇති අතර, එමඟින් බොහෝ රටවලින් පැමිණෙන ඉහළ යන ඉල්ලුමට සරිලන සේ අදාළ නිෂ්පාදන වෙළදපොළට සැපයීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී ඇත. මෙහිදී  නිශ්චිතව අමුද්‍රව්‍ය සැපයිය හැකි සැපයුම්කරුවන් 53 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇත.

    පශ්චාත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේදී, මෙම අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නව වෙළඳපොළවල් අත්පත් කර ගැනීමට සහ පවත්නා වෙළඳපොළවල ඉල්ලුම ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

    වර්තමානයේ සමස්ත ලෝකයේම පවතින අවහිරතා, අභියෝග සහ අවස්ථාවන් සැලකිල්ලට ගනිමින්, පොල්, සැකසූ ආහාර, මුහුදු ආහාර, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් හා විදුලි උපකරණ, සැපයුම් සේවා, මුද්‍රණ කටයුතු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ, ආයුර්වේද සහ ශාකසාර, ශරීර සුවතා නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ ඉංජිනේරු කටයුතු, ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගත් පුළුල් ක්‍රියාමාර්ග මේ අනුව සැලසුම් කෙරෙමින් පවතී. මෙහි ඉදිරි පියවරක් ලෙස, ආයුර්වේද හා ශාකසාර, පිඟන් සහ පෝසිලේන්, බෝට්ටු සහ නැව් තැනීම, ඉලෙක්ට්‍රොනික් හා විදුලි අංශ ඇතුළුව, ඉහළ යමින් පවතින ඉල්ලුමට අනුව සකස් කරගත් ප්‍රමුඛතා අනුව එකකට පසු එකක් ලෙස සිදුකෙරෙන වෙබ්නාර් සහ වීඩියෝ රැස්වීම් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සැලසුම් කොට ඇත.

    මෙම කර්තව්‍යයේ දී, විදේශ සබදතා අමාත්‍යාංශය විදේශ දූත මණ්ඩල සහ පෞද්ගලික අංශය සමග ද, මෙම අවස්ථාවේදී ජාත්‍යන්තරව භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යන ගුවන් සමාගම් කිහිපයෙන් එකක් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ද ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි.

    හැකි සෑම අවස්ථාවකදීම නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම තුළින් ද  මෙම ගුවන් ගමන්වල ශක්‍යතාව වැඩිදියුණු  කර ඇති අතර, එමඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙකම සියලු පාර්ශ්වයන්ට වඩාත් ලාභදායී ලෙස හැසිරවීමට අවස්ථාව උදා වී ඇත.