Category: සුපිරි News

  • පොලිසියට වැටෙන මානව හිමිකම් නඩු අඩු කරන්න ‘පොලිස් ඇමතිගෙන් අලුත් සැලසුමක්‘

    පොලිසියට වැටෙන මානව හිමිකම් නඩු අඩු කරන්න ‘පොලිස් ඇමතිගෙන් අලුත් සැලසුමක්‘

    මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (16) පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය.

    මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමත්‍යවරයා, ‘පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ වගේ අය පිළිබඳ සොයා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු ඉන්නවා. සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබ්බා. මේ තත්ත්වය උදාවෙලා තිබ්බේ අපේ යාන්ත්‍රණයේ තිබ්බ අඩුපාඩුකම් නිසා. අපේ අමාත්‍යංශ ලේකම්තුමයි, පොලිස්පතිතුමයි දැන් මේ පිළිබඳ විශ්ලේෂණය කරගෙන යනවා. මීට අමතරව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත එම චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

  • මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා

    මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා

    ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

    කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා ඇත. ආණ්ඩුවේ ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද, රටේ බඩු මිල රෝකට් ගත වීමට මුදල් අච්චු ගැසීම හේතුවී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල  රු. කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි.  ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා අච්චු ගසා තිබූ මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල අච්චු ගසා ඇත.

    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 කි.

    පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත දිළිඳු ජනතාව වට සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවා ඇත.

    1952 න් පසුව, ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු  කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇත.

    2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වරෛී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

  • නව මාර්ගෝපදේශ: පොදු ක්‍රියාකාරකම් තව දුරටත් ලිහිල් වෙයි

    නව මාර්ගෝපදේශ: පොදු ක්‍රියාකාරකම් තව දුරටත් ලිහිල් වෙයි

    පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

  • ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා – 2021 Global Hunger Index හෙළිකරයි

    ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා – 2021 Global Hunger Index හෙළිකරයි

    ලෝක සාගිනි දර්ශකය 2021 (2021 Global Hunger Index) පසුගිය දා නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන්නේ Welt Hunger hilfe සහ Conern Worldwide යන සංවිධාන විසින්. මෙම වාර්තාවට රටවල් 116ක දත්ත සලකා බැලෙන බව සදහන්.

    මෙම වාර්තාව අනුව ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට පත්ව සිටින අතර පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාව පසු වුණේ 64 වැනි ස්ථානයේයි.

    මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාගිනි දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වෙනවා.

    බෙරූස්, බොස්නියා සහ හර්ෂගොවේනියා, බ්‍රසීලය, චීනය, චිලි, ක්වේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, ලකුණු 5කට අඩුවෙන් ලබා ගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් ලෙස පළමු ස්ථාන අතර පත්ව තිබීම විශේෂත්වයක්.

    ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර ලකුණු 27.5ක් ලබා ගනිමින් ඉන්දියාව අවදානම් මට්ටමේ පසුවන අතර ඉන්දියාව ගිය වසරේ පැවතියේ මෙම දර්ශකයේ 94 වැනි ස්ථානයේය. ලකුණු 24.7ක් ගත් පාකිස්ථානය 92 වැනි ස්ථානයේ පසු වෙනවා.

    ලකුණු 50.8කට හිමිකම් කියමින් සෝමාලියාව 116 වැනි ස්ථානයේ පසුවන අතර යෙමනය 115 වැනි ස්ථානයේ පසු වෙනවා.

    ඔබ මෙම වාර්තාව පහත යොමුව ඔස්සේ බාගත කරගත හැකියි.

    https://www.globalhungerindex.org/pdf/en/2021.pdf

  • දේශීය කිරිපිටි මිලත් ඉහළට

    දේශීය කිරිපිටි මිලත් ඉහළට

    හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දැමීමට අදාළ දේශීය සමාගම් විසින් පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව රජයට අයත් සමාගමක් වන හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ එහි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 90කින් ඉහළ ගොස් තිබෙනවා. නව මිල ඉහළ යාම සමග හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170ක් වෙනවා.

    පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරනු ලබන පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර එහි ග්‍රෑම් 400ක පැකැට්ටුව මිල ඉහළ යාම රුපියල් 80ක්. නව මිල සංශෝධනය අනුව පැලවත්ත කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 1,165 කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කිරීමට නියමිතයි.

    ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් ලෙස සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස පසුගියදා මිල සංශෝධනය වුණා.

    මේ අතර පාරිභෝගිකයින් පවසන්නේ ඩොලර් ගැටලු හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ඉහළ දැමීම අසාධාරණයක් බවයි.

  • පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

    පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ

    දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.

    ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ආරක්ෂක අංශ වලට නියෝග කළේය.

    අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මේ බව සඳහන් කෙරිණ.

    අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත ලබාදීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. අනෙකුත් දිස්ත්‍රික්කයන්හි මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබන 21 වනදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත ලබාදීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදු කෙරේ.

    පාසල් ළමුන් එන්නත් කිරීමෙන්  පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව (Booster) ලබාදීමට සැලසුම් කර ඇත. ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලැබීමට නියමිත අතර මේ වන විට ඇණවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

    කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තවදුරටත් රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කොවිඩ් කමිටුව හමුවේ අනාවරණය කෙරිණ.

  • ළමුන් අතර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් හි තියුණු වැඩිවීමක්

    ළමුන් අතර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් හි තියුණු වැඩිවීමක්

    පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමය තුළ “ළමුන් තුළ බහු-පද්ධති දැවිල්ල ඇතිවීමේ සින්ඩ්‍රෝමය” ලෙස හඳුන්වන රෝගීන්ගේ පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වූ බව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර උපදේශක, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය.

    ළමුන් 6 දෙනෙකු මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙ හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එවැනි දරුවන් 78 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ රැකවරණ යටතේ තබා ඇති බව ද කිතුල්වත්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.

    “මේ වන විටත් ළමුන් 150 ක් පමණ බහු-පද්ධතිමය ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය (Multi-system Inflammatory Syndrome)  සමඟ රිජ්වේ ආර්යා ළමා රෝහලඨ ඇතුළත් කර තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ රැකවරණය යටතේ සිටි එවැනි දරුවන් දෙදෙනෙකු පසුගිය දින පහ තුළ මෙම රෝගයට ගොදුරු වුණා‘ යැයි ද ඔහු පැවසීය.

    ආචාර්ය කිතුල්වත්ත පැවසුවේ කොවිඩ් -19 ආසාදනය වූ දරුවන්ට කොවිඩ් සුව වී සති දෙකත් හයත් ගත වූ පසු මෙම බහු-පද්ධති ගිනි අවුලුවන සින්ඩ්‍රෝමය ආසාදනය විය හැකි බවයි.

    දරුවන්ට උණ, උදර වේදනාව, බෙල්ලේ වේදනාව, තෙහෙට්ටුව දැනීම, වමනය, පාචනය සහ ලේ ගැලීම වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම රෝහලකට ඇතුළත් කළ යුතු බව ඔහු පැවසීය.

    මෙම නව සින්ඩ්‍රෝමය රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හැකි ඉක්මනින් ළමයින්ට නිර්දේශිත එන්නතක් ලබා දීම වැදගත් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

  • කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි

    කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

    මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ දී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා පියවර ගෙන තිබිණි.

    වෘත්තිය සමිති මෙහි දී රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

    රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර  පවතින ගැටලු බලපා ඇති අකාරය ද මෙහි දී පැහැදිලි කෙරිණි.

    රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

    2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහි දී අදහස් පළ කළහ.

    මේ පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේ දී ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය. ජිවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් පිළිබඳ සොයා බලන බව සඳහන් කළේය.

  • ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ

    ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ

    රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය.

    පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක යැයි ද සඳහන් කළාය.

    රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම කරුණු ද්විත්වයම සපුරාලීමට අපොහොසත්  නිසා ඒවා කාබනික පොහොර නොව රසායනික පොහොර බවත් රසායන විද්‍යාවට අනුකූලව යූරියා ද කාබනික සංයෝගයකක් වුවද රසායනිකව නිශ්පාදනය කරන බව ද පැවසුවාය.

    එදිනෙදා ව්‍යවහාරයට අනුව කාබනික පොහොර යනු ශාඛ කොටස් වැනි කිසියම් හෝ ජීවි ද්‍රව්‍යක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර බවත් ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු කිසියම් ඛනිජ නිධියකින් ලබාගත් අකාබනික ලවණයක් බවත් මහාචාර්යවරිය පවසන්නීය.

    මෙලෙස ගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිත කරන රසායනික පොහොරක් වන බවද ඇය වැඩිදුර පැහැදිලි කරමින් කියා සිටියාය.

    කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නොමැති බැව් අනුමාන කළ හැකි වුවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව මහාචාර්යවරයෙකු බව කී මාහාචාර්ය මෙත්තිකා මහත්මිය පැවසුවේ වරායට ළගා වී ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර කාබනික පොහොර යැයි පැවසීම මුසාවක් බවයි.

    නමුත් මේ සම්බන්ධයෙන් අද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ මෙවර මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර ඇති බවයි.

    එම නිවේදනයේ මෙසේ ද සදහන් විය.

    කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බවද ඔහු අවධාරණය කරයි.

    ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු මෙ.ටොන් 30,000 ක ධාරිතාවෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වැරදි තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය. මෙනිසා මෙම පෙහොර රසායනික පොහොරක් ලෙස හැදින්වීම වැරදි අවබෝධයක් නිසා සිදු කරන ප්‍රකාශයක් බවය

  • මහ කන්නයේ වී වගාව අරඹන්න ගොවි සංවිධානවලින් දැඩි කොන්දේසි 04ක්

    මහ කන්නයේ වී වගාව අරඹන්න ගොවි සංවිධානවලින් දැඩි කොන්දේසි 04ක්

    මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය. අද (14) පෙරවරුවේ ‍මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති රැස්වීමක් අතර තුරදී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් බල මණ්ඩලයේ සාමාජීකයින් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සංදේශයක් භාර දෙන ලදී.

    එම සංදේශය සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කොන්දෙසි 04 ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය පල වී තිබේ. මේ අනුව ප්‍රාදේශීය ගොවි සංවිධාන 11,000 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය මෙවර මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන බවත්, ඒ පිළිබඳව ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කරන බවත් මෙහිදී සහතික විය.

    ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත්කර තිබූ කොන්දේසි අතර, කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීමටත්, එලෙස ලබාදෙන පොහොරවල වගකීම රජය විසින් භාරගතයුතු බවත්, මෙම පොහොර භාවිතයෙන් වගා කරන වී වගාවේ අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුව හොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීමටත් රජය එකඟ විය යුතු බවත් සඳහන් විය. මීට අමතරව දැනට වෙළඳපොලේ ඇති කෘමිනාශක, වල්නාශක අධික මිලට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීමට ගොවියාට අවස්ථාව ලබාදිය යුතු බව ද මෙම කොන්දේසිවලට ඇතුලත් වී තිබේ. මෙම කරුණු සම්පූර්ණ වන්නේ නම් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලය දිවයින පුරා ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කොට මහ කන්නයේ කාබනික වී ගොවිතැන සාර්ථක කරගැනීමට සහාය දෙන බව මෙම බලමණ්ඩලයේ සභාපති, එස්.එම්.ජී. සමරකොන් මහතා සහතික විය.

    මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ කාබනික වගාව සඳහා රජය ගත් තීන්දුව මෙරටේ ජනතාගේ සෞඛ්‍යයට, පරිසරයට ඉතා හිතකර තීන්දුවක් බවයි. මෙම තීන්දුවේ දී මම ඉන්නේ ගොවියාගේ පැත්තේ. මෙමඟින් වකුගඩු රෝගය ඇතුළු බොහෝ රෝග අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. එමෙන්ම වස විසෙන් තොර ආහාර නිෂ්පාදන බහුලවීමෙන් ජනතාවට පිරිසිදු පෝෂ්‍යදායී ආහාර ලබාගන්න පුළුවන් වෙනවා. එනිසා කුමන ආකාරයේ අපහාස, තාඩන පීඩන මැද්දේ වූවද මෙම ප්‍රතිපත්ති තීන්දුව ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

  • මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර විවෘත වෙයි

    මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර විවෘත වෙයි

    කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට යටත් ව මේ වන තෙක් මාස ගණනාවක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා වසා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

    ඒ අනුව සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍යය නීති රීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාල චක්‍රලේඛ වලට අනුගතව විවෘත වනු ඇත.

    ඒ සමග ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය , දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය , අභයගිරිය සීගිරිය , මහනුවර , පොළොන්නරුව , කතරගම , යාපහුව , රත්නපුර ,මොණරාගල , නාමල් උයන , ත්‍රිකුණාමලය , දඹදෙණිය , රිදී විහාරය ,  යාපනය , රම්බා විහාරය යන ස්ථානයන් හි පිහිටි සියලුම කෞතුකාගාර විවෘත වනු ඇත

  • කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම: ජනති ලේකම්ගෙන් නව චක්‍රලේඛයක්

    කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම: ජනති ලේකම්ගෙන් නව චක්‍රලේඛයක්

    කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

    සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරිණ.

    භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා පැවති ක්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම එම බලකායේ වගකීම විය.

    එම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන්  කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර ඇත.

    භූ සම්පත් කැණීම් කළ හැකි ස්ථාන පිළිබඳ කල් ඇතිව හඳුනාගැනීම, ඒවා සිතියම් ගත කිරීම, එම භූ සම්පත් අයත්වන ආයතන හඳුනාගැනීම හා අවශ්‍ය නිශ්කාශන සහතික ලබාගැනීම වැනි කාර්යයන් ඒකීය ආයතන ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක විය යුතු බව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය යෝජනා කර තිබේ. අදාළ වන සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ කළ යුතුය.

    කාර්ය සංග්‍රහයේ පරිච්ඡේදවල සඳහන් උපදෙස් අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙතෙක් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ. අනවශ්‍ය ලෙස සේවාලාභීන් ආයතන කිහිපයකින් නිශ්කාශන ලබාගැනීම වැළැක්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගත යුතුය. එමෙන්ම යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බව චක්‍රලේඛයෙන් අවධාරණය කරයි.

    ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇති නියමිත කාලසීමාව තුළ අදාළ නිශ්කාශන හෝ පරිසර සහතික ලබාදීමට පියවර ගත යුතු ය. ඇතැම් විට දැනට පවතින රෙගුලාසි, ගැසට් නිවේදන, චක්‍රලේඛ සංශෝධනය කිරීමට ඉඩ තිබේ.

    ඊට අවශ්‍ය අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී ඇති බැවින් එවැනි සංශෝධන ඇත්නම් ඒවා නොපමාව සම්පූර්ණ කිරීමට අදාළ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් ක්‍රියා කළ යුතුය.

    කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර අදාළ සියලුම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගාස්තු අයකිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදුකරන අතර එම මුදල් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති අනුමත අය ශීර්ෂයක් වෙත බැර කළ යුතුය. ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය මගින් නියම කර ඇති ගාස්තු හැර, මීට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ එකඟතාවයක් නොමැතිව වෙනත් ගාස්තු පැනවීම හෝ ගාස්තු සංශෝධනය  නොකළ යුතු බව චක්‍රලේඛයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    භූ සම්පත් කැණීම් කිරීමේදී පාරිසරික ගැටලු පැනනැගීමත් ඒ මත මහජන විරෝධතා මතුවීමත් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමේදී ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා පවතින බව ජනාධිපති කාර්ය සාධක බලකාය අධ්‍යයනය කර ඇත. නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් මහජන විරෝධතා කළමනාකරණය කිරීමටත් සියලුම ආයතන ඒකාබද්ධ ප්‍රයත්නයක නියැලිය යුතු අතර දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පිහිටවා ඇති අධීක්ෂණ කමිටු නොපමාව රැස්වී අවශ්‍ය තීරණ ගත යුතුය.

    අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති ක්‍රමවේද සඳහා උපරිම සහයෝගයක් සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවලින් ලබාගැනීම සඳහා අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් හා අධීක්ෂණයක් පරිසර අමාත්‍යාංශය සිදුකළ යුතු වේ. එහිදී යම් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් අවශ්‍ය සහයෝගය ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් තමා වෙත සැපයීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

  • ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට

    ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට

    වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී. ජනාධිපති වරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරනය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

    උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආන්ඩුව යටතේ පිහිටුවා තිබුන දුෂන විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරන මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.

    එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රනවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

    විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරද කරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.
    පාඨලි චම්පික රනවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරනය ඉදිරියේ අභියෝග කරන ලද අතර අද (14දා) සවස 1ට අභියාචනා අධිකරනය ඉදිරියේ පෙත්සම කැඳවනු ලබයි.

    පෙත්සම් කරු වෙනුවෙන් ජේශ්ඨ නීතීඤ ක්‍රිශ්මාල් වර්ණසුරිය මහතා පෙනි සිටියි. පාඨලී චම්පික රනවක මහතා පෙත්සම් කරු ලෙස ආයාචනය කර සිටින්නේ උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඤාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම් කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.

  • මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික පොටෑසියම් පොහොර නැව කොළඹ වරායට

    මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික පොටෑසියම් පොහොර නැව කොළඹ වරායට

    මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 30,000ක් අද (13) කොළඹ වරායෙන් ගොඩ බාන ලද බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

    ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද (13) රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාම,ලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කරන බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • විදේශ ඇමති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ප්‍රජාව අමතයි

    විදේශ ඇමති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ප්‍රජාව අමතයි

    විදේශ අමාත්‍ය මහාචාර්යජී.එල්. පීරිස් මහතා අද  (13) දින විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. අනුමත කොවිඩ්-19 ආශ්‍රිත මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙම රැස්වීමට කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහභාගී විය.

    සති කිහිපයකට පෙර විදේශ අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සාමූහිකව සමස්ත රාජ්‍යතාන්ත්‍රික බලකායම හමුවීමට ලැබුණු පළමු අවස්ථාව අමාත්‍යවරයා රැස්වීම ආරම්භයේදීම අගය කළේය. පෙර පැවති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, එතුමාගේ කැමැත්ත පරිදි එවැනි රැස්වීමක් මීට කලින් පැවැත්විය නොහැකි වූ බව අමාත්‍යවරයා පැවසීය. මෙම හමුවේ අරමුණ වූයේ මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව තානාපති ප්‍රජාව සුහදශීලීව දැනුවත් කිරීමයි.

    ඉතා සාර්ථක එන්නත් කිරීමේ ප්‍රයත්නයකින් අනතුරුව, රටේ කොවිඩ්-19 තත්ත්වය යහපත් අතට හැරී ඇති බවට වාර්තා වීම පිළිබඳව සතුටු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. දැඩි අභියෝග මධ්‍යයේ වුවද, රට ක්‍රමයෙන් විවෘත කිරීම සඳහා පහසුකම් සලසමින්, රටේ ජනගහනයෙන් 70% කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. සංචාරක කටයුතු සහ ආර්ථික කටයුතු යළි ආරම්භ කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ සහයෝගය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. මෙම කොවිඩ්-19 අර්බුදය තුළ එක්සත් ජාතීන්ගේ සියලුම නියෝජිතායතන මෙන්ම, පරිත්‍යාගශීලීන් සහ කොළඹ පිහිටි බහුපාර්ශ්වික මූල්‍ය ආයතන ද ඇතුළු රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගෙන් ලද සහයෝගය සහ සහය පිළිබඳව අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.

    ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සහ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අවස්ථාවේ දී එතුමා සමඟ නිරත වූ නිව්යෝර්ක් සංචාරයේ දී, සිදුකළ සිය මෑත කාලීන විදේශ කටයුතු පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, ලොකු කුඩා සෑම රටකින්ම සාමූහික ප්‍රවේශයක් අවශ්‍ය වන හදිසි ගැටලු විසඳීම සඳහා වූ ගෝලීය ප්‍රයත්න සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කළේය. මීළඟ ප්‍රධාන ජාත්‍යන්තර කටයුත්ත වන ග්ලාස්ගෝ හි පැවැත්වෙන COP 26 සමුළුවේ දී ජනාධිපතිතුමා සමඟ අමාත්‍යවරයා ද සහභාගී වන අතර, දේශගුණික වශයෙන් අවදානමට පත් විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සිය කැපවීම් පිළිබඳව යළි අවධාරණය කරනු ඇත.

  • පනත් දෙකකට කතානායක අත්සන

    පනත් දෙකකට කතානායක අත්සන

    පසුගිය 07 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ (13) සිය සහතිකය සටහන් කළේය.

    සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකර ඇත. මීට ප්‍රථම ඉන්දියාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් එරට නීතිමය ප්‍රතිපාදන අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්විය යුතු අතර ඔවුන් එරට සේවය නිමවා ආපසු පැමිණීමේදී සමාජ ආරක්ෂණ අරමුදලට දක්වන ලද දායක මුදල් ලබා ගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පූර්ණ වන තෙක් සිටිය යුතුව තිබිණි.

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වයස අවුරුදු 18 සම්පූර්ණ  වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවීම සිදුවේ. මීට ප්‍රථම 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන්ට බැවින් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදීය. එම තත්ත්වය මගහරවා ගැනීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත්විය.

    ඒනුව 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත සහ 2021 අංක 23 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන)  පනත අද (13) සිට බලාත්මක වේ.