Category: සුපිරි News

  • ‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

    ‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

    හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

    මියයන විට 65 වැනි වියේ පසු වූ මංගල සමරවීර මහතා මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් සැලකෙනවා. 1994 මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත්‍රික්කය අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සමරවීර මහතා චන්ද්‍රිකා බණ්ඩාර නායක රජයේ, නාගරික සංවර්ධ, ජනමාධ්‍ය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක් හෙබවූවා.

    2005දී මහින් ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ මංගල සමරවීර මහතා පසුව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තා.

    2015 දී එක්සත් ජාතික පක්ෂය නායකත්වය දුන් මැතිවරණ ක්‍රියාවලිය තුළ කැපී පෙනෙන භූමිකාවක් ඉටුකළ මංගල සමරවීර මහතා යහපාලන ආණ්ඩු සමයේ විදේශ සහ මුදල් අමාත්‍යධුර හොබවනු ලැබුවා.

    එක්සත් ජාතික පක්ෂය බෙදී යාම සමග සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දුන් සමග ජන බලවේගයට එක් වූ මංගල සමරවීර මහතා 2019 මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් නමුත් පසුව එයින් ඉල්ලා අස්වී තාවකාලිකව දේශපාලනයෙන් සමුගත්තා.

    මංගල සමරවීර මහතා දේශපාලනයේ සුවිශේෂ චරිතයක් වන්නේ ඒ මහතා සතු සංවිධාන ශක්තිය සහ සන්නිවේදන භූමිකාව නිසයි. ජනමාධ්‍ය සමග සමීපව කටයුතු කළ සමරවීර මහතා ‘දේශපාලනයේ මහත්මයෙකු වශයෙන් සැලකෙනවා.

  • ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

    ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

    පසුගිය වසරේ සිදු වූ රිය අනතුරකින් ඩුබායි හි සිටින ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩුබායි අධිකරණය විසින් ඩිරාම් මිලියනයක හෙවත් ලංකා මුදලින් රුපියල් මිලියන 54ක පමණ වන්දි මුදලක් පිරිනමන ලදී.

    අනතුර හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින 45 හැවිරිදි තරංග දිල්රුක්ෂි පැවසුවේ වසරක කාලයක් පැවති නඩු විභාගයකින් පසු ශ්‍රී ලංකා රුපියල් මිලියන 54 ක් පමණ වන වන්දි මුදලක් තමාට ගෙවන ලෙස නියෝග කරමන් අධිකරණ තීන්දුව ලැබුණු බවයි.

    අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවයි. “මම පාර හරහා ගමන් කරමින් සිටියදී ඉන්දියානු ජාතිකයෙකු පැදවූ කාරයක මා අනතුරට ලක් කළා. රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000 ක දඩයක් නියම කළා‘‘

    වෑන් රථයේ රියදුරුට එරෙහිව නඩු පැවරීමට ඇයට උදව් කළේ  YAB Legal Group නීති නියෝජිත සලාම් පපිනිස්සේරි ය. ඔහු පැවසුවේ, “අනතුරේදී දිල්රුක්ෂි බරපතල තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වුණා. ඇය දැන් රෝද පුටුවකට සීමා වී සිටිනවා. අන් අයගේ සහයෝගය නොමැතිව ඇයට කිසිවක් කළ නොහැකියි. ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇයට රැකියාවකට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි වුණා. අනතුරු නඩුව සඳහා වන්දි ලබා ගැනීම සඳහා ඇය මා වෙත පැමිණියා. තත්වයේ බරපතලකම තේරුම් ගැනීමෙන් පසු මම ඇයගේ තත්වයට උදව් කිරීමට තීරණය කළා ”

    දිල්රුක්ෂි පැමිණෙන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී පවුලකිනි. ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වේ. “ඇයට හැම විටම සහයට කෙනෙක් අවශ්‍යයි. ඇයට වෛද්‍ය ආධාර අවශ්‍යයි. ඇගේ මනස එතරම් පැහැදිලි නැහැ. සිතුවිලි වල පැහැදිලි බවක් නැහැ. එවැනි තත්වයන් යටතේ ඇයට ජීවිත කාලය පුරාම සහයෝගය අවශ්‍ය වනු ඇති,”පපිනිස්සේරි පැවසීය.

    පපිනිස්සේරිගේ උපදෙස් පරිදි දිල්රුක්ෂි ඩුබායි උසාවියේ සිවිල් නඩුවක් ගොනු කළාය. “රථවාහන අනතුරු වන්දි නඩුව රක්‍ෂණ සමාගමට සහ අනතුර සිදු කළ රියදුරුට එරෙහිව ය. නීතීඥ යූනුස් මොහොමඩ් අල් බ්ලූෂි, අධිනීතිඥ මොහොමඩ් ඉබ්රාහිම් අල් සුවෙයිදි සහ අධිනීතිඥ රුකියා අල් හෂිමි යන අය වෛද්‍ය වාර්තාව, අධිකරණ වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් අදාළ ලියකියවිලි ඇතුළු ප්‍රබල සාක්ෂි සහිතව උසාවියේ නඩුව ගොනු කළහ.

    ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද ලිපි ලේඛන තහවුරු කර ගත් අතර අවසානයේ දිල්රුක්ෂිට පක්ෂව තීන්දුව ලබා දීමට පෙර දෙපාර්ශවයේම තර්ක විතර්ක ඇසූ බව පපිනිස්සේරි පැවසීය. දිල්රුක්ෂිගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනය බැගින් ප්‍රදානය කරන ලදී.

    1995 වර්ෂය සඳහා වූ රථවාහන හා හදිසි නීතිය පිළිබඳ 26 වන වගන්තිය අනුව වින්දිතයාට වන්දි ගෙවිය යුතු බවත් නීතිඥ ගාස්තු රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු බවත් පපිනිස්සේරි පැවසීය.

    දිල්රුක්ෂි දැන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම යුවළට වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙක් සිටිති.

    ඩේලි මිරර් වෙබ් අඩවියේ වාර්තාවක් ඇසුරිනි

  • ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ‘චීන එන්නත් වල ඵලදායීතාවය ගැන‘ 100%ත සහතිකයක්

    ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ‘චීන එන්නත් වල ඵලදායීතාවය ගැන‘ 100%ත සහතිකයක්

    කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව චීන එන්නත් සම්පූර්ණයෙන්ම ඵලදායි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

    චීන වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ බව තහවුරු කර ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    ලංකාව ද ඇතුළු රටවල් රැසක ව්‍යාප්තව පවතින ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන ඇති අතර එය සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇත. එය දැන් රෝහල් ගත කිරීම් සහ මරණ වැඩි සංඛ්‍යාවකට මඟ පාදන ලෝකයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සදහන් කරයි.

    දකුණු චීනයේ ගුවාංෂෝ හි පුපුරා යාමෙන් පසු චීනයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, අක්‍රිය කරන ලද චීනයේ නිෂ්පාදිත එන්නත් දෙක රෝග ලක්‍ෂණ වැළැක්වීමේදී සියයට 59.0 ක් ද මධ්‍යස්ථ රෝග ලක්‍ෂණ වලින් සියයට 70.2 ක් ද දරුණු රෝග ලක්‍ෂණ වැළැක්වීමේ දී 100%ක්ද ඵලදායී බව සොයාගෙන ඇත.

    මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල 2021 අගෝස්තු 14 දින ‘‘Emerging Microbes & Infections ‘ සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

    COVID19 ට එරෙහිව මාත්‍රා දෙකකින් යුත් එන්නත ලබා දීමේ එන්නත් ඵලදායීතාවය වයස අවුරුදු 40-59 අතර සහභාගිවන්නන් අතර 72.5% ක් වූ අතර, COVID-19 සහ මධ්‍යස්ථ රෝග වලට එරෙහිව පිරිමින්ට වඩා කාන්තාවන් තුළ එය ඉහළ ය.

    තනි මාත්‍රා එන්නත ප්‍රමාණවත් ලෙස ආරක්‍ෂිත නොවන අතර, අක්‍රිය කරන ලද එන්නතෙහි මාත්‍රා දෙකක මාත්‍රා ක්‍රමය සැබෑ ලෝක සැකසුම් වලදී ඩෙල්ටා ප්‍රභේද ආසාදනයට එරෙහිව ක්‍රියාත්මක වූ අතර ඇස්තමේන්තු ගත කාර්යතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවම සීමාව වන 50% ඉක්මවන බව සඟරාව පවසයි.

  • ‘ඩෙල්ටාවලට එරෙහිව‘ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා 95%ක් සාර්ථක බව තහවුරු වෙයි

    ‘ඩෙල්ටාවලට එරෙහිව‘ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා 95%ක් සාර්ථක බව තහවුරු වෙයි

    මෙරට හඳුනාගෙන ඇති ‘ඩෙල්ටා’ ප්‍රභේද පාලනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත 95% ක්ම සාර්ථක වූ බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා පැවසීය.

    මාස 4ක් පුරාවට සිදු කළ සායනික පරීක්‍ෂණයකින් පසුව මෙය තහවුරු වූ බව ද ඔහු පැවසීය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා, ‘‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු හා දෙවන මාත්‍රාවන් මෙම ප්‍රතිශක්තිකරණය වැඩි කරන අතර කොවිඩ් ආසාදනය පාලනය කරන බව අපි මාස හතරක් පුරා සිදුකළ සායනික පරීක්ෂණවලින් තහවුරු කර ගත්තා. එන්නත ලබා දී මාස දෙකකට පසු ශරීරයේ ප්‍රතිදේහ වර්‍ධනය වෙමින් පවතින බව පරීක්‍ෂණවලින් හෙළිවුණා. එම නිසා COVISHIELD එන්නත මෙරට ජනතාවට ලබා දීම ඉතාමත් සුදුසු යි.

    ‘‘මෙම පරීක්ෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව, කොළඹ ජාතික රෝහලේ සහ දකුණු දකුණු ශික්ෂණ රෝහලේ විශේෂඥයින් සහ තවත් කිහිප දෙනෙක් සහභාගී වුණා. කෙසේ වෙතත්, චීන නිෂ්පාදිත සිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්- V එන්නත, ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින නිසා ඒ ගැන කිසිවක් කීමට අපට හැකියාවක් නැහැ.

    “ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත හිඟයක් හේතුවෙන් ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවාක්ස් වැඩසටහන යටතේ ජපානය විසින් එන්නත් මාත්‍රාවන් මිලියන 1.47 ක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා “යැයි ද ජාතික පර්යේෂණ සභාවේ සභාපතිවරයා පැවසීය.

  • ජංගම වෙළෙදාම: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හා කොළඹ දිසා ලේකම්ගෙන් නිවේදන

    ජංගම වෙළෙදාම: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හා කොළඹ දිසා ලේකම්ගෙන් නිවේදන

    නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන සමයේ ජංගම වෙළෙදාම් කටයුතු කිරීමට අවශ්‍ය බලපත්‍ර පොලිසිය මගින් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

    ‘‘වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධාන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන දිනවල වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇති බවයි අපි සිතන්නේ‘‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මේ අතර නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන සමයේ ජංගම වෙළෙදාම සදහා අවසර ලබා දෙන්නේ කොවිඩ්-19 මර්ධන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම්  ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ‘‘කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස් වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථාව පවතින්නේ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන් සදහා පමණයි. පසුගිය අවස්ථාවන්ට වඩා මෙවර දැඩි සුපරීක්ෂණයක් යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමට අපි බලාපොරොතත්තු වෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියත් සමග අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදු කිරීමට ද අපි පියවර ගෙන තිබෙනවා.එමෙන්ම ජංගම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ග්‍රාම නිලධාරීවරයාට හෝ පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දීමේ හැකියාව ද ජනතාවට තිබෙනවා‘ යැයි පැවසීය.

  • කොවිඩ් වසංගතය හා එන්නත්කරණය: ගංවතුරෙන් කැඩෙන ගෙදර වහලේ කාන්දු හැදීම

    කොවිඩ් වසංගතය හා එන්නත්කරණය: ගංවතුරෙන් කැඩෙන ගෙදර වහලේ කාන්දු හැදීම

    අගෝස්තු 13 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවතුණු කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ දී අධි අවදානම් කාණ්ඩ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ගැන මදකට හෝ සතුටු විය හැකිය.

    එය විධිමත් ලෙස පහළ වූ ශ්‍රේෂ්ඨ අදහසක් ලෙස දැක්වූවත් රජයේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන සලකා බැලූවිට අවබෝධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස දැකිය නොහැකිය. එය උඩුගම් ඉවුරේ ඇති සියලු දේපොළ විනාශ කරමින් එන සැඩ ගංවතුරක් ගැන දැනුම් ඇති මහදැනමුත්තා, ගඟ අද්දර ඇති තමන්ගේ නිවසේ වැස්සෙන් තෙමෙන ස්ථාන පිළිසකර කිරීම වැනි ක්‍රියාවකි.

    මෙහිදී එම අවදානම් කාණ්ඩයේ ඇති පුද්ගලයන් හට PCR පරීක්ෂණ කිරීමට ප්‍රමුඛතාවයක් දෙන මෙන් සලකන ලද්දේ එන්නත්කරණය නොකරන ලද එම අහිංසකයන්ගෙන් මරණ මංචකයට යොමු විය යුතු අය කලින් හඳුනාගැනීමටද ? ප්‍රමුඛතාවය දිය යුත්තේ ඔවුන් ආරක්ෂා කර ගැනීමට මිස ඔවුන් කොරෝනා ගිනි ජාලාවේ ගිනිගෙන දැවෙන්නේ දැයි සොයා බැලීමට නොවේ. එය එන්නත් කරණය තුළිනුත් ඔවුන් සුවිශේෂී ලෙස වෙන්කොට සුරක්ෂණය කිරීමෙනුත් කළ හැක. අවදානම් සියලු දෙනාට PCR කිරීමට සිදු වනුයේ මෝඩකම නිසා වැඩ වරද්දා ගත් විටකදීය.

    නිසි එන්නත් කළමනාකරණය කළ යුතුව තිබුණේ සැඩපහර පටන් ගැනීමට පෙරය. අද දින එන්නත්කරණය සම්පූර්ණ කළද, රජයේ නොසැලකිල්ල නිසා අසරණ වූ එම අහිංසක ජනතාව පූර්ණ ලෙස ප්‍රතිශක්තිකරණය වනුයේ තව මසක් පමණ ගතවීමෙන් පසුවය. තමා වෙත එන සැඩපහරේ දරුණු බව අවබෝධ කරගෙන නොමැති වීම ඉතාම කණගාටුවට කරුණකි. විවිධ රටවල කොරෝනා වසංගතය හැසුරුණු ආකාරය සලකා බැලීමේදී ඉතා වැදගත් හේතු ගණනාවක් අවබෝධ කරගත හැක.

    ඉතා සීග්‍ර ලෙස කොරෝනා රැල්ල නැග එන විට එය කටයුතු කරන්නේ බුර බුරා නැගෙන ගිනි ජාලාවක් ලෙසිනි. මෙහිදී විද්‍යාත්මක ලෙස සලකා බලන එක සාධකයක් වනුයේ R අගය නම් නියාමකයයි. R අගය යන්නෙන් අදහස් වන්නේ ආසාදිත පුද්ගලයෙකු මගින් ආසාදන කරන ලද පුද්ගලයන් ගණන වෙයි. ගිනි පුලිඟු ලෙස ඇති මූලික අවස්ථාවේදී මෙම R අගය එකක් හෝ ඊට ආසන්න අගයක් ලෙස දක්වා ඇත. එනම් එක් පුද්ගලයෙකු එක් අයෙකු හෝ දෙදෙනෙකු ආසාදනය කරනු ලබයි.

    නමුත් අද ශ්‍රී ලංකාවේ ඇති ඉතා සීඝ්‍ර ලෙස නැග එන වසංගත තත්වයකදී මෙම R අගය පහක් හෝ හයක් දක්වා ඉහළ නගිනු බොහෝ රටවල් අත්දැක ඇත. එම අවස්ථාව වන විට සීඝ්‍රගාමී වර්ධන වේගයක් ලබා ගන්නා වසංගතය ගිනි ජාලාව අවට ඇති සියලු දේ දවා හළු කරමින් වේගයෙන් පැතිර යයි. ඉන්දියාවේ හා බ්‍රසීලයේ වැනි රටවල වසංගත වර්ධන චක්‍රය විමසූ කලදී දින දෙකක් ඇතුළත ආසාදිත ජනගහනය දෙගුණ වන අවස්ථා දැක ගැනීමට හැකිවිය.

    එවැනි දරුණු ගිනි ජාලාවකට හසුව වියළි පිදුරුසේ දැවී විනාශ විය හැකි අධි අවදානම් ජනගහනය ආරක්ෂා කළ හැක්කේ සම්පූර්ණ ලෙස එන්නත් කරණය කිරීම මගින් පමණකි. එනමුදු ඉහත සඳහන් සීඝ්‍රගාමී වර්ධන වේගය හමුවේ එම පුද්ගලයන් එන්නත් කරන කිරීමට රජය හට මසක පමණ කාලයක් තුළ හැකිවේයැයි යන්න ඉතාම සැක සහගත කරුණකි.

    සීඝ්‍රයෙන් නැගඑන වසංගත රකුසා ඊට පෙර එම ජනගහනය බිල්ලට ගනු ඇත. එහිදී කළ යුත්තේ නැගඑන වසංගතය යම් පමණකට හෝ මන්දගාමී කළ හැකි තාර්කික පියවරක් ගැනීම පමණි. එම පියවර ලෙස රජය සංචාරන සීමා තර කිරීම, බුරබුරා ගිනිගෙන දැවෙන නිවසක කොටු වූවන්ට කාමර අතර ගමන් කිරීම තහනම් කිරීමක් වැනි වූ ක්‍රියාවලියකි. වසංගතයේ මෙම පරිණාමික අවස්ථාවේ දී සිදු කළ යුත්තේ ගිනිගෙන දැවෙන ජනගහනය සම්පූර්ණයෙන් සුරක්ෂණ කිරීමේ ක්‍රියාවලියකි.

    මෙවැනි තත්වයකට මුහුණ දුන් ඉන්දියාවට, ඇමරිකාවේ ප්‍රධාන වසංගත වෛද්‍ය නිලධාරී Fauci මහතා විසින් ලබා දුන් අවවාදය වනුයේ රට සම්පූර්ණයෙන් සති 6කට වැඩි කාලයක් සම්පූර්ණයෙන් වසා දැමීම සිදු කරන ලෙසය. මෙම උපක්‍රමය චීනය, ඉතාලිය වැනි රටවල ද සීඝ්‍ර ප්‍රවර්ධන වසංගත සමයේ දී යොදවනු අප සැවොම දැක්කෙමු.

    මෙමගින් අක්‍රමික එන්නත් කළමනාකරණය මගින් සිදුවූ මෝඩකම නිසා ඇති වන අයහපත් ප්‍රතිඵලය අවම කර ගැනීමට අවශ්‍ය වටිනා කාලය ලබා ගත හැකි වේ. මෙහිදී නැගෙන ගිනි ජාලාව මන්දගාමි කිරීමට අඩු වශයෙන් සති 6ක පමණ කාලයක් වත් මුළු ජනගහනයම හුදකලා කළ යුතු බව මීට කලින් නොයෙක් රටවල අත්දැකීමෙන් ලද දැනුමකි. එය නොයෙක් අවස්ථාවලදී ආචාර්ය මලික් පීරිස් වැනි විශේෂඥයන් විසින් ද පෙන්වා දී ඇත.

    අධි අවදානම් පුද්ගලයන්ගෙන් සියයට අසූවක් පමණ ප්‍රතිශක්තිකරණය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රසිද්ධියේ පිළිගන්නා ලදී. එය එසේ සිදුවී ඇත්තේ කුමන හේතු කාරණා නිසා දැයි බලධාරීන් විසින් නියම පරීක්ෂණයක් සිදුකරන ලද්දේ ද? නැත! එසේ නම් මොවුන් එම හේතු සහ නිසි පියවර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුව ඇත. ඉතා පැහැදිලි කාරණයක් වනුයේ මාධ්‍ය ප්‍රසිද්ධිය ලබා ගැනීමට සංඛ්‍යා පෙන්වීම හැර අධි අවදානම් පුද්ගලයන් හට ඇති ප්‍රමුඛතාව පිළිබඳ නිසි ප්‍රචාරක වැඩපිළිවෙළක් රජය කිසි දිනකත් පවත්වාගෙන නොයාම බව පැහැදිලිය.

    ඉදිරියට හෝ වැදගත් වන තවත් වැදගත් කරුණක් මෙහිදී මතු කිරීමට කැමැත්තෙමු. එය නම් ප්‍රතිශක්තිකරණය නොකරන ලද රෝගීන් හඹාගොස් ප්‍රතිශක්තිකරණය කිරීමට සිදුකරන මිලිටරි ප්‍රයත්නයයි. එය ඉවුරේ සිට බිලී පිත්තකින් මාලු බෑම වෙනුවට බිලි පිත්ත රැගෙන ගැඹුරු මුහුදේ කිමිදෙමින් මාළු ලුහුබැඳ යෑම වැනි මහදැන මෝඩ ක්‍රියාවලියකි.

    මිලිටරිකරණයේ හයිය පෙන්වීමට යාමේදී තමන් වෙත ඇති ඉතා ශක්තිමත් සාධක අමතක වීම මහදැනමුත්තන්ගේ ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේ සිටින සියළුම බෝනොවන දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන රෝගීන් රජයේ හෝ පෞද්ගලික රෝහලක සායනයක් වෙත ලියා පදිංචි වූ අයවේ. එම පුද්ගලයන් තමා තමාගේ සායනික ඉතිහාසය ඉතා හොඳින් සටහන් වී ඇති වෛද්‍ය සේවාවන්ගේ අධීක්ෂණය යටතේ එන්නත්කරණය සිදු කළේ නම් මෙම ක්‍රියාව සතියකින් වුවද දීප ව්‍යාප්ත කළ හැකිය.

    බොහෝ අධි අවදානම් පුද්ගලයන් එන්නත් ලබා නොගත් හේතුව වන්නේ ඔවුන් වෙත රජය විසින් නිසි ප්‍රමුඛතා දැනුම ලබා නොදීමත්, මිත්‍යාවන් නිසා එන්නතේ අහිතකර බලපෑම් ගැන ඇති අවිශ්වාසය නිසාත්ය. තමා ප්‍රතිකාර ලබාගන්නා ස්ථාන වෙත ඔවුන් යොමු කළේ නම් ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගීමත්, ඔවුන් කළමනාකරණයත්, ඔවුන් නිසි ලෙස අධීක්ෂණය කිරීමත් ඉතා කාර්යක්ෂමව කළ හැකිව තිබිණි. මිලිටරියේ කීර්තිය සඳහා ඇති ඉතා අධික ආශාව සපුරා ගැනීමට කාර්යක්ෂම සැපයුම් සේවාවන් සඳහා ඉහත ස්ථාන වෙත එන්නත් යොමු කිරීමට ඔවුන් යොදවා ගත්තේ නම් මෙය වඩාත් කාර්යක්ෂම ලෙස කළ හැකිව තිබිණි.

    සමස්තය ගැන හේතුඵල ලෙස සලකමින් කුසලතාවයෙන් කටයුතු නොකිරීම ඕලාරික ලක්ෂණයකි. එවැන්නන්ගේ ලක්ෂණය වනුයේ නොවැදගත් කාරණයක් ගැන උත්කර්ෂයෙන් කතා කිරීමෙන් සමස්තය ව්‍යාකූල කිරීමයි. අප්‍රමාදව කටයුතු නොකිරීමයි.

    සෞඛ්‍ය විශ්ලේෂකයකු විසිනි

  • නිදන්ගත රෝගීන්ට දැනුම්දීමක් සමග දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්

    නිදන්ගත රෝගීන්ට දැනුම්දීමක් සමග දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්

    ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා නිදන්ගත ස්නායු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට පියවර ගතයුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ප්‍රකාශ කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ‘‘ නිදන්ගත ස්නායු රෝගීවලින් පෙළෙන සමහර අය, උදාහරණයක් ලෙස ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා. මේ කියන රෝගීන් දන්නවා තමන්ගේ රෝගී තත්ත්වය. මෙවන් වූ රෝගී තත්ත්ව තියෙන කෙනෙක් සමහරවිට හිතේ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන් මේ එන්නත ලබාගැනීම සුදුසුද මේ එනන්තෙන් හානියක් සිදුවෙනවාද කියන එක ගැන. එනන්ත මගින් ස්නායුගත සංකූලතා ඉතාම නොසැලකිය හැකි මට්ටමක පවතින්නේ. ඉතාම කලාතුරකින් තමයි එහෙම තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නනේ. ඒ නිසා නිර්දේශයක් විදිහට ඔබ නිදන්ගත ස්නායු රෝගයකින් පෙළෙනවා නම් ඔබ ළඟම තියෙන තැනට ගිහින් කුමක් හෝ එනන්තක් ලබාගැනීම තමයි දැනට තිබෙන ගැලවුම”

    මේ අතර දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමේ හැකියාව වෙනත් පුද්ගලයින්ට සාපේක්ෂව 14 ගුණයකින් වැඩි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

    දුම්පානයට ඇබ්බැහි වූවන් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වුවද නිසි ආරක්ෂාවක් නොලැබෙන බව අද (21) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා පැවසුවේය.

    රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ දුම් පානය කරන පුද්ගලයින් අසල රැඳීසිටින සෙසු පුද්ගලයින්ට ද එම ප්‍රතිඵල අත්විය හැකි බවත් එවැනි පුද්ගලයින්ට කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ විට අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

  • කොවිඩ් ආසාදිත මරණ 195ක් සමග නව ආසාදිතයින් 3839ක්

    කොවිඩ් ආසාදිත මරණ 195ක් සමග නව ආසාදිතයින් 3839ක්

    අද (20) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව පුද්ගලයින් 195 දෙනෙකු ඊයේ (19) මරණයට පත්ව තිබේ. ඒ අනුව කාන්තාවන් 97 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත. ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 6,985 දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර අද (20) දිනයේ මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 3,839 දෙනෙකු හමු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.ො

    මේ වනවිට ආසාදිතයින් 47,661 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 377,004කි.

  • ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ප්‍රථම වරට ලංකාවෙන්

    ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ප්‍රථම වරට ලංකාවෙන්

    ලංකාව ඇතුළු මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ “විකෘතිතා” තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා හෙළි කළේය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවු බව ආචාර්ය ජීවන්දර මහතා සඳහන් කරයි.

    නව සොයා ගැනීම පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් පැවසුවේ මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කළ බවත් ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට හඳුනාගත් බවයි

    “ශ්‍රී ලංකාව තුළ එම විකෘතිතා තුනම සහිත රෝගීන් හඳුනාගෙන තිබෙනවා. කොළඹ නගරය තුළ මේ විකෘතිතා තුනම ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවැනි තත්ත්වයක් ලොව හමුවී ඇත්තේ පළමුවරටයි. A 701S නම් ජාන විකෘතිය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණයි. A 222V කියන විකෘතිය ලොව විවිධ රටවලින් හමුවෙනවා. එහි පැතිරීම බෝවීමේ හැකියාව වේගවත්. A 1078S නම් විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණයි‘‘

  • කොවිඩ් මරණ අනුපාතයෙන් දකුණු ආසියාවේ 01 ලංකාව

    කොවිඩ් මරණ අනුපාතයෙන් දකුණු ආසියාවේ 01 ලංකාව

    සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය 9ක් බවට පත්වීමත් සමග සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය ඇසුරින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ.

    එම අනුපාතයට අනුව බංග්ලාදේශය දෙවන ස්ථානයේද, නේපාලය තෙවන ස්ථානයේ ද ඉන්දියාව සිවුන ස්ථානයේ ද පසුවෙයි.

    පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ පස්වන හා හයවන ස්ථානවල පසුවන අතර මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා නොවීම විශේෂත්වයකි. 08 වන ස්ථානයේ පසුවන අතර කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා භූතානයේ කොවිව් ආසාදිත මරණ වාර්තා වී ඇත්තේ මරණ 3ක් පමණි.

  • ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් නව අනාවරණයක්

    ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් නව අනාවරණයක්

    ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 5-6ක් අතර කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    සිය ටිවිටර් ගිණුමෙහි සටහනක් දක්වමින් ජීවන්දර මහතා තවදුරටත් පවසා සිටියේ, ඩෙල්ටා ආසාදනය වීමත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් අතර පරතරය දින 02 ක් පමණ වන අතර ඩෙල්ටා මතු විමට පෙර අනෙකුත් වෛරසයන්හි රෝග ලක්ෂණ මතුවීමට අවම කාලය ලෙස දිනක් ලෙස සටහන් වූ බවයි.

    මේ අනුව ඩෙල්ටා ප්‍රභේදයෙන් 74% ක් ආසාදනය වී ඇත්තේ පූර්ව ප්‍රභේද වලට වඩා වැඩි අනුපාතයක් ඇති පූර්ව රෝග ලක්‍ෂණ අවධියේදී බව ඔහු සදහන් කරයි.

    කෙසේ වෙතත් එන්නත්කරණය තුළින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බව පවසමින් එහිදී ඔහු වැඩිදුර සඳහන් කර සිටියේ, එන්නත්කරණයට ලක්වූවන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවීම එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට වඩා 65% කින් පමණ අඩු බව අනාවරණය වී ඇති බවයි

  • අද රාත්‍රී 10.00 සිට 30 දා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

    අද රාත්‍රී 10.00 සිට 30 දා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

    • නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි
      සියලුදෙනාට එන්නත
    • නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස්
    • අත්‍යාවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව

    අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි.

    වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් මෙම තීරණයට එළැඹි අතර, සැප්තැම්බර් 01 දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කිරීමට  ජනාධිපති උපදෙස් දුන්නේය.

    ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදා දිනට පෙර වාර්තා කළ යුතුය. එසේම 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කිරීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම ද සලසා තිබේ. මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය කෙරිණ.

    කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති මේ බව පැවසීය.

    නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම් සහ ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ඖෂධ අළෙවි සැල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හා ගුවන් තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපති පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය. මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස  ජනාධිපති දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ

  • Untitled post 38398

    සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා අවදානම හේතුවෙන් තවත් නගර 21 ක කඩ සාප්පු වසා දැමීමට එම නගරවල වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර තිබෙනවා.

    සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු නතර කරනු ලැබුව ද වසා දමන නගරවල ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරනවා.

    අද දින මෙසේ වසා දමන ලද නගර වන්නේ, වරකාපොළ, වාරියපොල, දූනගහ, කුලියාපිටිය, කඹුරුපිටිය, ඌරුබොක්ක, පාදුක්ක, ඇහැළියගොඩ,  මැදගම, හංහමුණුව, කිලිනොච්චිය, තිස්සමහාරාමය, වීරවිල, පන්නේගමුව, යෝධකණ්ඩිය, දෙල්ගොඩ, හික්කඩුව, හබරාදූව, බඩල්කුඹුර, ගාල්ල උඩුගම, හසලක යන නගරයි.

    මේ සමග දිවයින පුරා ස්වේච්ඡාවෙන් වසා දමන ලද නගර සංඛ්‍යාව 79ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

  • කොවිඩ්වලට 186ක් දිවිදෙයි

    කොවිඩ්වලට 186ක් දිවිදෙයි

    යේ (18) කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් 186 දෙනකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    මියගිය පුද්ගලයින්ගෙන් 147 දෙනකු වයස අවුරදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වසය අවුරුදු 30-59 අතර පුද්ගලයින් වේ. වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 04 දෙනකු ද ඊයේ මියගොස් තිබෙනවා.

    මියගිය පුද්ගලයින්ගෙන් 111 දෙනකු පිරිමින් වන අතර 75 දෙනකු කාන්තාවන් වේ.

  • වෛද්‍යවරුන් 209කට කොරෝනා – GMOA

    වෛද්‍යවරුන් 209කට කොරෝනා – GMOA

    මේ වන විට දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇති අතර කොරෝනා වයිරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකු සහ හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද සිටින බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

    ‘‘මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක් වෛද්‍යවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන්ට කොරෝනා රෝගය වැළැදීම ඉතාමත් වේගයෙන් සිදු වෙනවා. වෛද්‍යවරුන් ලෙඩවීමෙන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුයි. මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් සේවාවලින් ඉවත් විම තුළ විශාල අර්බුදයක් මතුව තිබෙනවා‘

    ෙගාල්ල කරාපිටිය රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එසේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා‘ යැයි ද ඔහු සදහන් කළේය.

    මේ අතර අද (19) දිනමිණ පුවත්පත මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් වාර්තා කර තිබුණේ කොළඹ ජාතික රෝහලේ පමණක් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා 250කට අධික පිරිසක් කොවිඩ් අසාදනයට ලක්ව ඇති බවයි. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ අගෝස්තු මස ආරම්භයේදී තිබුණු තත්වයට වඩා වේගයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද වෛරස් ආසාදනයට ගොදුරුවී ඇති බවය. රට පුරා රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් 1000ක් පමණ මේ වන විට ආසාදනයට ලක්වී ඇති බව ද අදාළ ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබිණි.

    සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. ඩී. මැදවත්ත උපුටා ගනිමින් එම ප්‍රවෘත්තිය පළකර තිබුණි.

  • රට වසා දැමීම – මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ජනපතිගෙන් ලිඛිතව කළ ඉල්ලීම

    රට වසා දැමීම – මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ජනපතිගෙන් ලිඛිතව කළ ඉල්ලීම

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියකට රට වහන්නැයි මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ  වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත.

    මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ

    ඉහත ඡායාරූපය හා ලිපියේ අන්තර්ගතය අතර සම්බන්ධයක් නැත. – ප්‍රධාන සංස්කාරක