COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවෙන් නව තීන්දු රැසක්

COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවෙන් නව තීන්දු රැසක්
Spread the love

කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද දින (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්  නියෝජනය කරයි. මෙහිදී පහත තින්දු තීරණ ගන්නා ලදි.

  1. කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල ද  කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරිම.
  2. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරිම.
  3.  දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩිකිරිම තුලින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරිම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම.
  4. දැනට පරීක්ෂණ කටයුතු සදහා එකතු වී ඇති සම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කිරීම.
  5.  PCR පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහරට යාම වැළැක්වීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරිම.
  6. මේ වන විට සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුලු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීම සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඉතාමත් කඩිනමින් මිල දී ගෙන මධ්‍යස්ථාන වෙත ලබාදීම.

එමෙන්ම PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරිම සහ ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කොවිඩ් මර්දන අරමුදල මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී දන්වන ලද අතර, කොවිඩ් තාක්ෂණ කමිටුව අද දින (10) රැස්වී තවදුරටත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගෙන ඒ පිළිබදව වාර්තාවක් ජනාධිපතිතුමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය අමාත්‍යාංශ නිලධාරීන්ට අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,  මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.