FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)

FB එක හැක් කළා මදිවට සෙක්ස් කරන්න ඉල්ලා, ඉල්ලන් කෑ තරුණයා (Video)
Spread the love

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණියකගේ ෆේස්බුක් ගිණුමේ වසර දෙකක පමණ කාලයක් මිතුරෙකු ලෙස සිටි තරුණයෙක් ඇයට අවස්ථා කිහිපයකදීම ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ අතරවාරයේ එම තරුණිය සිය පෙම්වතා සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද ෆේස්බුක් වෙත එක් කර තිබිණි. එම ඡායාරූප දැක උරුණ වූ ඇයට කැමැත්තෙන් සිටි තරුණයා, ව්‍යාජ කාන්තා ෆේස්බුක් ගිණුමක් ඔස්සේ තරුණියට පණිවුඩයක් යොමු කර තිබුණේ ඇගේ නිරුවත් ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක Link එකක් සමගයි. නමුත් එම Link එක විවෘත නොකළ තරුණිය එය සිය පෙම්වතාට යවා ඇත්තේ එය පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමිනි.

පසුව ඇගේ පෙම්වතා එම Link එක විවෘත කිරීමත් සමග පෙම්වතාගේ ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීමට සැකකාර තරුණයාට අවස්ථාව උදාවී තිබේ. පසුව පෙම්වතා සිය පෙම්වතිය සමග සිදුකළ සංවාදයට පිවිස, දෙදෙනා හුවමාරු කරගත් තරුණියගේ ඡායාරූප බාගත කරගෙන ඒවා නිරුවත් ලෙස සංස්කරණය කිරීමට සැකකාර තරුණයා පියවර ගෙන තිබිණි.

පසුව සැකකරු එම නිරුවත් ඡායාරූප තරුණියට යොමු කරමින් ඇගේ නිරුවත් වීඩීයෝ දර්ශන ඉල්ලා ඇති බව වාර්තා වුණි. නිරුවත් වීඩීයෝ, සැකකරුට ලබා නොදුනහොත් සංස්කරණය කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යය වෙත මුදාහරින බවට තර්ජනය කර තිබේ.

ඒ අනුව අදාළ තරුණිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් පසුව පොලිස් උපදෙස් අනුව සැකකරු අල්ලා ගැනීම සඳහා තරුණිය මාර්ගයෙන් සැකකරුට පිළියන්දලට පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබේ.

තරුණිය මුණගැසීම සඳහා ඉකුත් සෙනසුරාදා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසියට හැකිවුණි. මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි හික්කඩුව ගෝනාපිනුවල පදිංචි තරුණයෙකි.

සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිට ඇති මොහු කිසිදු පරිගණක දැනුමක් නොමැති අයෙකි. නමුත් වෙනත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳ ඔහු හදාරා ඇත්තේ අන්තර්ජාලයෙනි.

“ඉගෙන ගත්තේ Youtube එකෙන් බලලා.”

ඔහු ජා ඇළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බව දෙමාපියන්ට පවසා අදාළ තරුණියට චොකලට් පැකට් කිහිපයක්ද රැගෙන පිළියන්දලට පැමිණ තිබිණි. ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ තරුණියන් රැසකගෙන් මොහු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවය.

ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාරදෙනු ලැබීය.

උපුටා ගැනීම: අද දෙරණ