IMF වෙතින් ‘ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක්‘

IMF වෙතින් ‘ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක්‘
Spread the love

විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 554.8ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 780කට සමාන මුදලක් ලැබී ඇති බව  මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්ආර් ආටිගල මහතා තහවුරු කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව SDR 456,485.3ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 650ක් 2021 වසරේ එස්.ඩී.ආර්. පහසුකම් සදහා වෙන්කර ඇත. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දක්වා වෙන්කර වැඩිම එස්ඩී.ආර්. හිමිකම බවයි වාර්තා වන්නේ.

ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා (Kristalina Georgieva) මහත්මිය ඊයේ (23) සඳහන් කළාය.

‘‘මෙම වෙන් කිරීම ලෝකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන අතර, ඥානාන්විතව භාවිතා කරන්නේ නම්, මෙම පෙර නොවූ විරූ අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා කරනු ඇත. SDR ප්‍රතිපාදනය ගෝලීය ආර්ථික ක්‍රමයට අතිරේක ද්‍රවශීලතාවයක් ලබා දෙනු ඇත. ඒය රටවල විදේශ විනිමය සංචිතවලට අතිරේකව සහ මිල අධික දේශීය හෝ විදේශීය ණය මත යැපීම අඩු කරයි. SDR ප්‍රතිපාදන මඟින් ලබා දී ඇති ඉඩ ප්‍රමාණය තම ආර්ථිකයන්ට ආධාර කිරීමට සහ අර්බුදයට එරෙහි සටන වේගවත් කිරීමට රටවලට හැකිය.” ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය වැඩි දුරටත් සදහන් කළාය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ මූල්‍ය විශේෂඥයෙක් එස්.ඩී.ආර් පහසුකම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය හිමි රටවලට එයින් ප්‍රතිපාදන ලැබෙන ආකාරය මෙසේ පැහැදිලි කළේය.

‘‘එස්ඩීආර් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල නිල සංචිත අවශ්‍යතා සපුරාලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාදන ලද ජාත්‍යන්තර සංචිත වත්කම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්වලට සමානුපාතිකව SDR රටවලට බෙදා හරිනු ලබනවා. මෙහි තේරුම නම් ඇමරිකානු ඩොලර් බිලියන 275 ක් පමණ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට හිමිවන අතර එයින් අඩු ආදායම් ලබන රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් පමණ ලැබෙනු ඇති බවයි. මෙහිදී සමහර රටවලට එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 කට සමානයි. කෙසේ වෙතත් අදාළ ප්‍රතිපාදන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණවලට එකඟවිය යුතු බව ද වාර්තා වෙනවා.

එස්.ඩී.ආර් පහසුකම් යටතේ වැඩිම මුදලක් හිමිවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිම කොටස් දායකත්වයකට හිමිකම් කියන රටවලටය. ඒ අනුව එක්සත් ජනපදයට එස්.ඩී.ආර් මිලියන 79,546.2ක්, ජපානයට එස්.ඩී.ආර් මිලියන 29,540.1ක්, චීනයට එස්.ඩී.ආර්. මිලියන 29,216.5ක්, ආදි වශයෙන් ලැබෙනු ඇත.