Political Hot Plate: කොරෝනා සහ මහ ඡන්දේ ගැන එජාපයේ කතා මැද කතා

Political Hot Plate: කොරෝනා සහ මහ ඡන්දේ ගැන එජාපයේ කතා මැද කතා
Spread the love

සටහන – ගජබා නාගහවත්ත

කොරෝනා වසංගතය හේතුවෙන් ජන ජිවිතය අඩාලව පැවැතියද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැදවා තිබිම හේතුවෙන් දේපාලනය නම් කාර්ය බහුලව පැවතින. කොරෝනා මර්ධනයට මෙන්ම මැතිවරණයට ද මහන්සිවිමට තිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දුරකතනයට නිවනක් නොවීය.

මහමැතිවරණය කල් දැමිය යුතු බවට විපක්ෂය මෙන්ම සෞඛ්‍ය අංශ ද යෝජනා කර තිබූ අවදියක මැතිවරණය ජුනි 20 දාට නියම කිරිමට මැතිවරණ කොමිසම තීරණය කළ අතර ඒ වෙනුවෙන් පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක්ද කැදවා තිබිනි.

එම කාරනා කටයුතු එසේ සිදුවෙද්දි මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායකයාගේ නිවසට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ නිතර ආ ගියහ.

ඉකුත් බදාදා ද පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණියේ පවතින දේශපාලන තත්ත්වය පිළිබදව හා මැතිවරණ කටයුතු පිළිබදව සාකච්ඡා කිරිමටය.

“මැතිවරණ කොමිසම මහ මැතිවරණයට දින නියම කළා. මෙහෙම කොහොමද ඡන්දය තියන්නේ. තාම රෝගීන් හමුවෙනවා. ආණ්ඩුවට ඕනේ කොහොම හරි ඡන්දය තියන්න.” මුලින්ම හඩ අවදි කළේ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායකය.

“ඔව් ඡන්දය තියන්න නම් මුලින්ම කරන්න ඕනේ ලංකාවේ කොපමණ රෝගීන් පිරිසක් සමාජයේ සිටිනවාද කියලා සොයා ගන්න එකයි. ඡන්දයට යනවා නම් දිනකට ලංකාවේ ජනතාව 3000 ත් 5000 ත් අතර පිරිසක් PCR පරික්ෂාවට ලක් කරන්න ඕනේ. එහෙම නැතුව ඡන්දයකට යනවා නම් ඒක ලොකු අවධානමක්.” නායකයා විස්තර කළේය.

“සෞඛ්‍ය ඇමතිනිය කියන්නේ රෝගීන් එන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් කියලායි. එම නිසා තත්ත්වය පාලනය කර ඇති බව ඇය ප්‍රකාශ කරනවා.” අවදානම් නොවන ප්‍රදේශවල ඇදිරි නිතිය අයින් කරන්නෙත් ඒක නිසා බවයි ඇය කියන්නේ.” කේ.කේ පියදාස කියා සිටියේය.

“ඔව්… නමුත් මේ වෙන කොට නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනුත් රෝගීන් හමුවෙනවා. පිලියන්දල, බොරලැස්ගමුව ප්‍රදේශවලින් හමුවූවේ  සමාජයෙන් පැමිනි රෝගීන්. ඒ නිසා මේක හරියටම ශුද්ධයි කියලා දැන ගන්න නම් අපිට ජනතාවගෙන් බහුතරයක් පරික්ෂා කරන්න වෙනවා. එහෙම නැතිව තීරණයක් ගන්න එක හොද තත්ත්වයක් නොවෙයි.” නයකයා පැහැදිලි කළේය.

“අපිට දැන් කැම්පේන් එක කරන්නේ කොහොමද කියලා දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ. පොස්ටර් ගහන්න විදියක් නැහැ. ගෙයින් ගෙට යන්න බැහැ. පක්ෂය මැතිවරණ ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?” චම්පිකා ප්‍රේමදාස නයකයාගෙන් විමසා සිටියේය.

“සෑම පක්ෂයකටම මෙය පොදු කාරණයක්. ලොකු රැස්විම් තියන්න හම්බ වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමත් මාර්ගෝපදේශ ලබා දෙයි. අපිට මාධ්‍ය මගින් තමයි ප්‍රචාරණ කටයුතු කරන්න වෙන්නේ. ඒකට සාමාජ මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යත් උපයෝගි කරගන්න වේවි. ඇදිරි නීතිය ඉවත් කළත් ලොක්ඩවුන් වැඩපිළිවෙල දිගටම තියෙන්න ඕනේ. එතකොට හදිසියේ රෝගියෙක් හමුවුනොත් අවශ්‍ය පියවර ඒ පොලිස් බලප්‍රදේශය තුළදී ගන්න පුළුවන්. ලොක්ඩවුන් වැඩපිළිවෙල ඉවත් කලොත් කටයුතු කරන්න වෙන්නේ හදිසි නීතිය යටතේයි. එය මෙවැනි ව්‍යසනයකට යොදා ගන්න බැහැ. ඒ නිසා අපි අලුත් විදියකට හිතන අලුත් වැඩපිළිවෙලක් යටතේ ජනතාව ලගට අපේ වැඩපිළිවෙල ගෙන යන්න වෙනවා.” නායකයා දීර්ඝ ලෙස කළ විස්තරය පැමින සිටි සියල්ලෝම එක මතින් පිළිගත්හ.

“භිෂණය කාලයෙත් ඡන්ද තියන එක නැවැත්තුවේ නැහැ කියලා තමයි ආණ්ඩුව කියන්නේ.” චම්පිකා ප්‍රේමදාස යළි කිවේය.

“එදා පැවැති තත්ත්වය වෙනත්. භිෂණ කාලයේ ජනාධිපති ප්‍රේමදාස ගමක ගෙවල් 20 ක් 30 ක් තෝරගෙන අවශ්‍ය පණිවිඩය දුන්නා. රැස්විමට මිනිස්සු නාවත් ඔවුන්ට ගෙවල්වල ඉදලා රැස්විම අහන්න පුළුවන් විදියට ශබ්ද විකාශන යන්ත්‍ර දැම්මා. කොහොම හරි ගමට පණිවිඩය ගියා. එතනදි එක්සත් ජාතික පක්ෂය හා අලියා කියන නම තමයි ප්‍රචාරය කළේ. ඒ නිසා මනාප අංක වෙනුවට පක්ෂයත් අලියා ලකුණත් අපි ජනතාව අතර ගෙන ගියා. නමුත් අද තිබෙන තත්ත්වය වෙනස්. මේක වෛරසයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින්ම මේකට මැදිහත්විම ප්‍රමාණවත් නැහැ. දැනටත් ඔවුන් මේ ඡන්දය තියන්න උත්සාහ කරන්නේ විශේෂඥ උපදෙස් පිළිපදින්නේ නැතුවයි.” වජිර අබේවර්ධන පැහැදිලි කළේය.

“පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් හමුවුනා. එහිදි යම් යම් මත ගැටුම් ඇති වුනා කියලාත් ප්‍රකාශ වුනා. මොකක්ද එතන වුනේ.” කේ.කේ පියදාස විමසා සිටියේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ගෙනි.

“මම එතනදි ඇහුවා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අරගෙනද ඡන්දය තියෙන දින වකවානු ගැන තීරණයක් ගත්තේ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ ඔවුන්ගෙන් ඇහුවා නමුත් ඔවුන් නිශ්චිතව පිළිතුරක් දුන්නේ නැහැ කියලායි. කොරෝනා තත්ත්වය යහපත් නොවුනොත් නැවත මැතිවරණය කල් දමන්න පුළුවන් කියලා සභාපතිවරයා අපට කිව්වා. මහලේකම්වරයා පිළිතුරු දුන්නේය.

“සජිත් ප්‍රේමදාස ඇමතිතුමායි මැතිවරණ කොමිසමේ සභාපතිතුමායි බහින් බස් වුනා කියලාත් සමාජ මාධ්‍යවල පළ වෙලා තියෙනවා. ඒකයි මම ඇහුවේ.” කේ.කේ පියදාස ගේ පැනයට මහලේකම්වරයා සිනා සුනා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

කතාව වෙනතකට පෙරළු චම්පිකා ප්‍රේමදාස ” දැන් ජුනි 02 දායින් පසු අලුත් ව්‍යවස්ථා අර්බුදයක් එනවා නේද. දැන් මේකට මොකද කරන්නේ?” යැයි විමසා සිටියේය.

“ඔව් එතන අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 වගන්තිය හා එහි අනු වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03 ක් ඇතුළත පාර්ලමේන්තුව යළි රැස්විය යුතුයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැන් දින නියම කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු කාලයටත් පසුවයි. එම නිසා ජුනි 02 දායින් පසුව ජනාධිපතිවරයාගේ පාර්ලමේන්තුව විසුරුවිමේ නියෝගය නිෂ්ප්‍රභා වෙනවා. එවිට නැවත පැරණි පාර්ලිමේන්තුවට බලය එනවා.” නීති නිලධාරියෙකුගේ පැහැදිලි කිරිම පක්ෂ නායකයා ද හිස සලා අනුමත කළේ මද සිනහවක් ද මුවට නගාගෙනය.

“අපට පක්ෂ ඡන්ද ව්‍යාපාරය දැන්ම ඉදලාම පටන් ගන්න වේවි.” නවින් දිසානායක යළිත් අලුත් පැනයක් යොමු කළේය.

“නායකතුමා කිව්වා වගේ අලුත් ක්‍රමයකට අපි මැතිවරණය පවත්වමු. මැයි මස 04 දා වෙනකොට මනාප අංක දෙන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසම කිව්වා. ඉන් පස්සේ තමයි අපේක්ෂකයන්ට ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න වෙන්නේ. කොහොමවුනත් කොරෝනා පරික්ෂාවන් වැඩි කිරිම කාට කාටත් හොදයි” පක්ෂ මහලේකම්වරයා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය මෙතනදි සාර්ථක නැහැ. ඇමතිතුමිය එතන දේශපාලනය කරන්න යන නිසා නිලධාරින්ට වැඩ කරන්න අමාරු බව තමයි කියන්නේ. මේ තත්ත්වය මේ වෛරසය පාලනය සියළු දෙනා කරන මැදිහත්විමට හොද තත්ත්වයක් නොවෙයි. නමුත් නිලධාරින් ඒ කටයුතු සැලකිල්ලට නොගෙන වසංගතය මර්ධනය කරන්න කරන මැදිහත්විම ඉතාම අගනා දෙයක්. අපිත් ඔවුන්ට නිතර ශක්තියක් විය යුතුයි. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කී දේ සැවොම අනුමත කළේය.