එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ජනප්‍රිය පොදු ස්ථාන මෙන්ම සුවිශේෂී ස්ථාන ආසන්නව මාර්ග දෙපස දැකගත හැකි ‘වීදි ආහාර පාන’ /Street Food අලෙවිකරණ ඉතා කුඩා කඩ, පුළුල් ලෙස පැතිරී යන සමාජ ප්රපංචයකි. සංචාරක ආකර්ෂණය දිනාගත් ඈත දුර බැහැර ප්රදේශබදව ගොඩනැගුණ මෙම ව්‍යාපාර මේ වනවිට ලංකාවේ නාගරික ප්‍රදේශ වෙත ද ව්‍යාප්තවී ඇති අයුරු දැකගත හැකි වේ. ළඟාවීමට පහසු එවැනි ස්ථානයකින් ක්ෂණිකව සකසන ආහාර පාන මිලදී ගෙන පරිභෝජනය කිරිමට බොහෝ දෙනෙකු දක්වන විශේෂ කැමැත්ත, මෙම කුඩා ව්‍යාපාර වෙත ආශීර්වාදයක් වි තිබේ.
ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාව අතුරෙන් බොහෝ දෙනෙකු නිවසින් පිටත, යන එන මගතොට දී උණු උණුවේ ම ආහාර ගැනීමේ ආශාව මෙවැනි කුඩා කඩ බිහිවීමට හේතුකාරකයක් බව පැවසිය හැකි වේ. එමෙන්ම, සමාජයේ කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝ දෙනෙකු ආහාර වේලක් පහසුවෙන් ලබා ගැනීම සඳහා ද මෙවැනි ස්ථාන වෙත යොමුවීමේ විශාල නැඹුරුවක් පෙන්නුම් කෙරේ. එසේම, අඩු වියදමකින් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට විවිධ ආර්ථික ස්ථරවල පාරිභෝගිකයින් ප්‍රියකිරීම ද වීදි ආහාර පාන වෙළඳුන් ඉස්මතුවීම කෙරෙහි බලපාන තවත් හේතු කාරකයක් ලෙස හඳුනාගත හැකි වේ. හුදෙක් විනෝදය හා සංචාරය උදෙසා ගමන් බිමන් යන එන පිරිස් වීදි ආහාර සොයා පැමිණීම බොහෝ මාර්ගස්ථව වීදි ආහාර වෙළෙන්දන්ගේ / Street Food Vendors සංක්‍රාන්තිය ඉහළ යාමට උත්තේජනයක්වී පවතී යි.
නිසි ඇගයීමක් නැති ව්‍යාපාරික ප්‍රජාවක්
මෙම කරුණු පුළුල් ලෙස නිරීක්ෂණයේ දී පෙනීයන්නේ ක්ෂුද්‍ර ව්‍යවසාය අංශයේ ඉතා වැදගත් මෙහෙවරක් වීදි ආහාර වෙළඳ ප්‍රජාව විසින් ඉටුකරන බවයි. සාමාන්‍යයෙන් වීදි ආහාර ව්‍යාපාර තනි පුද්ගලයෙකුට හෝ පවුල් කුටුම්භයක හිමිකාරිත්වයට නතු වේ. මෙම වෙළෙඳ ප්‍රජාව තමන්ගේ නිෂ්පාදන උදෙසා නැවුම් අමුද්‍රව්‍ය එක්රැස්කර ගැනීමේදී කුඩා පරිමාණ ගොවිපළ හා කේවල සැපයුම්කරුවන් සමඟ සෘජුවම සම්බන්ධතා ගොඩනගා ගනී යි. ආහාර පාන පෙර සකස් කිරීම පවුලේ සාමාජිකයින් සමඟ එකතුවී ඉටුකරගනු ලැබේ. අවසාන වශයෙන් පාරිභෝගිකයා විසින් ඇණවුම් කළ විට ඔවුන් ඉදිරිපිටදී ම ඉවුම් පිහුම් කටයුතු ඉටුකර, ආහාර පාන පිළිගැන්වීම ද සිදුකරයි. මෙහිදී සිදුකරන සෑම ගනුදෙනුවකම මුදල් සංසරණය වන්නේ දේශීය ආර්ථිකය තුළ පමණි. මේ අනුව ඔවුන්ගේ ශ්‍රමදායකත්වය, සේවාදායකත්වය හා වෙළඳාමෙන් ලැබෙන ප්රතිලාභ දේශීය ආර්ථිකයට නො පෙනෙන ලෙස කාන්දුවන බව තහවුරු වේ. එසේ වුව ද අප රටේ ආර්ථිකය උදෙසා වීදි ආහාර වෙළඳ ප්‍රජාවගේ දායකත්වය නිසි ලෙස තක්සේරු කර අගයන්නේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි.
සාමාන්‍යයෙන් බහුතරයක් වීදි ආහාර පාන පරිශ්‍රයන් පරිමාණයෙන් කුඩා වේ. ස්වකීය හැකියාවන් මත අවම මූලික පහසුකම් යටතේ අවම ප්‍රාග්ධනයක් ආයෝජනය කරමින් මෙම ව්‍යවසායයන් ගොඩනැඟේ. ආර්ථික හා සමාජීය වෙනස්කම් හෝ අධ්‍යාපන සුදුසුකම් මත විධිමත් අංශයේ රැකියා ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් සමහර අයෙකු වීදි ආහාර කර්මාන්තයේ නිරතවීමට පෙළඹේ. ඒ අනුව රැකියා උත්පාදනය සඳහා සැලකිය යුතු විභවයක් ඒ තුළ පෙන්නුම් කරන බව පැහැදිලි වේ. එමෙන් ම වීදි ආහාර නිෂ්පාදන බොහෝ විට සාම්ප්‍රදායික දේශීය සංස්කෘතීන් / Traditional Local Cultures පිළිබිඹු කරන අතර ප්‍රාදේශීය විවිධත්වයකින් ද යුක්ත වේ. සාමාන්‍යයෙන් මෙවැනි වෙළඳුන්ගේ ව්‍යාපාරික කුටි තාවකාලික ඉදිකිරීම් වේ. නැතහොත් ඒ උදෙසා ට්රයිසිකල් කරත්ත, දැවමය කුටි, පැරණි හෝ අලුත්වැඩියා කළ රථවාහන උපයෝගීකර ගැනේ. ඒවායෙහි පවතින්නේ සීමිත ඉඩකඩකි. ඒ හේතුවෙන් ආසන පහසුකම් සැපයීම සමීපතම පරිසරය අවට දැකගත හැකි වේ. කුමන තත්ත්වයක් යටතේ වුව ද ඔවුන්ගේ අලෙවිකරණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ස්ථානයේ හැඩතල, සරල බව, පිරිසිදුකම හා නිර්ව්‍යාජ සංග්‍රහශීලී ස්වරූපය මත බව නම් පැහැදිලි වේ.
අවම අයෝජනයක් හා ස්වයං තෘප්තිය
බොහෝ විට අවම ආයෝජනයකින් ව්‍යාපාරය ඇරඹිමට හැකිවීම, වීදි ආහාර වෙළෙඳුන්හට වාසිදායක වටපිටාවක් නිර්මාණය කරයි. එමෙන්ම වැඩ කරන කාල වේලාවන් ස්වකීය කැමැත්ත අනුව තෝරා බේරා ගැනීමේ නිදහස ඔවුන් සතු වේ. මෙකී ව්‍යාපාර කටයුතු කෙරෙහි සීමාවන් පැවතිය ද ස්වයං රැකියාවක නිරතවීමේ තෘප්තිය එමඟින් ඔවුන් අත්පත් කරගන්නා ප්රමූඛතම ප්‍රතිලාභය යි. එමෙන්ම සාපේක්ෂ වශයෙන් වීදි ආහාර වෙළෙන්දෙකුගේ මාසික ඉපැයීම්, විධිමත් අංශයේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ අවම වැටුප ඉක්මවා යන බව අතිශෝක්තියක් නොවේ. එහෙයින් බහුතරයක් දෙනා අර්ධකාලීනව හෝ මේ උදෙසා යොමුවීමට පෙළඹේ. එසේ වුව ද අහිතකර කාලගුණ තත්ත්වයන් යටතේ දෛනිකව ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට දිගු පැය ගණනක් වැඩ කිරීමට හෝ පාරිභෝගිකයින් වෙනුවෙන් රැඳී සිටීමට මෙම වෙළෙඳ ප්‍රජාවට සිදුවනු ඇත. එහෙයින් ඕනෑම අවස්ථාවක උදාවන අවදානම තනිකර ම ස්වශක්තියෙන් විඳ දරාගැනීමට ඔවුන්හට සිදුවේ.
නිමක් නැති පීඩා හා බලපෑම්
ඇතැම් අවස්ථාවන්හි මෙම වෙළඳ ප්‍රජාවට මාර්ග සංවර්ධන, පළාත් පාලන හා ආරක්ෂක අංශ වෙතින් යොමුකරන නියෝගවලට මෙන්ම මැරවරයන්ගේ බලපෑම් වලට නතුවීමට සිදුවන අවස්ථා ද ඇත. ඒ අනුව උපයන මුදලෙන් යම් ප්‍රතිශතයක් ස්වකීය ආරක්ෂාව හා ස්ථානය රැකගැනීම වෙනුවෙන් වැයකිරිමට සිදුවීම රහසිගත අල්ලස් දීමක් නොවේ. නිල නොලත් එවැනි අපරාධකරුවන් සමඟ කටයුතු කිරීමටද වීදි වෙළඳ ප්‍රජාවට සිදුවීම අතිශය කණගාටුදායක කරුණකි. විශේෂයෙන්ම මෙම තත්ත්වයන් හමුවේ භයංකර අත්දැකීම් වලට මුහුණ පාන්නේ එම ව්‍යාපාරික කටයුතුවල නිරතවන කාන්තාවන් හා අලුත විවාහයට ඇතුළත් වූ පවුල් බවද නොරහසකි. එකී කරුණු පසෙක තැබුව ද පොදු මහජන සේවාවන් භුක්තිවිඳීමේදී හා ලබා ගැනීමට හිමිකම් පෑමේදී ඔවුන්ගේ වෘත්තිය බොහෝවිට පහත් තත්ත්වයෙහිලා සැලකීම මෙරට සමාජයේ දැකගත හැකි දුර්ගුණයක සැබෑ ස්වරූප ඉස්මතු කරයි.
කෙසේ වුව ද මෙරට වීදි ආහාර ව්‍යාපාරයන්හි / Street Food Enterprise වැදගත්කම බොහෝ විට නොසලකා හැර ඇත්තේ එය අවිධිමත් අංශයේ කොටසක් ලෙස ඇතැමුන් සලකන බැවිනි. එදා මෙදා තුර මෙරට තුළ ක්‍රියාත්මක වූ අවිධිමත් අංශ විධිමත් කිරීමේ යෝජනා ක්‍රම සාර්ථක වූවා නම් මෙවැනි කුඩා ව්‍යවසායයන් මෙයට වඩා සිත්ගන්නා සුලු ප්‍රමිතිගත තත්වයකට පත්විය යුතු නොවේද?. මෙයින් පසක් වන්නේ කුමක්ද ? ආර්ථික සංවර්ධනයේ විෂමතාව තව දුරටත් එමගින් සංකේතවත් කරන බව නොවේ ද?. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය මත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා හා කර්මාන්ත මගින් ජනනය වන රැකියා සීමාසහිත වීම හේතුවෙන් අවිධිමත් අංශයේ වැදගත්කම අකමැත්තෙන් වුවද පිළිගැනීමට අපිට සිදු වේ. මක්නිසාද යත්, බොහෝ රටවල විධිමත් අංශයට වඩා අවිධිමත් අංශය වේගයෙන් වර්ධනය වන ආකාරය දැකගත හැකි බැවිනි.
මිල ගණන් අඩුවීමේ ප්රතිලාභ සැමටම
ව්‍යාපාරික සංකල්පමත හෝටල සහ ආපනශාලා සසඳන විට, ඉවුම් පිහුම් උපකරණ සහ පිරිවැය පිළිබඳ සලකා බැලීමේ දී වීදි ආහාර සපයන කුඩා කඩ ආශ්රිත, නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය මිල ගණන් සාපේක්ෂව අඩු වේ. නිවසේ පිසින ආහාර සඳහා විකල්පයක් එමගින් අපට ඉදිරිපත් කෙරේ. එමෙන්ම පිහිටි පරිසරය, ආහාර පාන වර්ගයන්හි විවිධත්වය, අලෙවිකරණ ශිල්පීය ක්‍රම සහ හිමිකාරිත්වය අනුව, වීදි ආහාර ව්‍යවසායයන් අපගේ ආශාවන් කුළු ගැන්විමට සමත් වෙයි. වෙළඳ කරත්ත, වෙළඳ කුටි හා රථ වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිවීම පාරිභෝගිකයින් වශයෙන් අපට මහත් අස්වැසිල්ලක් උදාකරයි.
මෙවැනි වාතාවරණයක් යටතේ වීදි ආහාර මිලදී ගැනීම මධ්‍යම පාංතික කුටුම්භවලට පමණක් සීමා වී නැත. සාපේක්ෂව ඉහළ මිල ගණන් යටතේ ඇති ආහාර පරිභෝජනයට හැකියාවක් නොමැති අඩු ආදායම්ලාභී කුටුම්භ සාමාජිකයින්හට වීදි ආහාර මගින් සිය දෛනික ආහාර අවශ්‍යතා පිරිමසා ගැනීමට ලැබීම ද භාග්‍යයකි. විශේෂයෙන්ම අවම දෛනික වේතනයක් ලබන බොහෝ දෙනෙකු මෙම වීදි ආහාර මත යැපීමද පැහැදිලිවම දැකගත හැකි වේ. එමෙන්ම සමහර ප්‍රදේශයන්හි පාසල් සිසුන් දවසේ පළමු ආහාර වේල ලබා ගන්නේද, ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් උදැසන හා රාත්‍රී ආහාර වේල ලබා ගන්නේද වීදි ආහාර වෙළෙන්දන් වෙතින් බව අසන්නට දකින්නට ලැබේ.
කෙසේ වුව ද සමහර අපවිත්‍ර වීදි ආහාර පරිභෝජනය හේතුවෙන් පාරිභෝගිකයින් නොයෙකුත් රෝග වලට ගොදුරු වූ අවස්ථා විටින් විට වාර්තා වේ. එහෙත් මෙම කරුණු වීදි ආහාර සඳහා පමණක් වූ ගැටලුවක් නොවන බව සැලකිල්ලට ගත යුතුය. එසේ වුවත් වීදි ආහාර පාන අනුභව කරන පාරිභෝගිකයින්ගේ ස්වස්ථාව හා සනීපාරක්ෂාව පිළිබඳව එල්ලවන චෝදනා නොසලකා හැරිය නොහැකි ය. මක්නිසාද යත්, වීදි ආහාර සකස්කර අලෙවි කරන ස්ථානයන්හි ස්වස්ථාව එම ආහාර නිෂ්පාදනයන්හි ආරක්ෂාවට සැලකිය යුතු ලෙස බලපාන හෙයිනි.

මේ ගැන අවධානය යොමු කළ යුතුයි
විශේෂයෙන්ම ආහාර පාන නිෂ්පාදනය කිරිමට භාවිත කරන ජල සැපයුම හෝ ඒ වෙත ප්‍රවේශ වීමේදී ජලයේ ගුණාත්මකභාවය ඉතා වැදගත් වේ. ආරක්ෂිත ජල සැපයුමක් සඳහා ප්‍රවේශය ආහාර සුරක්ෂිතතාව කෙරෙහි සෘජුව ම බලපාන බව විදි ආහාර වෙළඳ ප්‍රජාව වටහාගත යුතු වේ. එමෙන්ම එම ආහාර පාන සකසන බඳුන්වල පිරිසිදුබව හා පිසීමට භාවිත කරන තෙල්වල ගුණාත්මක බව කෙරෙහි ද, විශේෂ අවධානය යොමු කළ යුතු වේ. එමෙන් ම වීදි ආහාර සැකසීමේදී කෘත්‍රිම ආහාර ආකලන / Food Additives භාවිත නො කරන්නේනම් මෙකී තත්වයන්ගෙන් බොහෝ දුරට බැහැරවීමට හැකිවනු ඇත. ඒ වෙනුවට හැකිතාක් ගම්මිරිස්, කුරුඳු, රම්පේ, කරපිංචා, කොත්තමල්ලි, සූදුරු, උළුහාල්, මාදුරු, කහ, සුදුළුනු, රතු ළූනු, වැනි ස්වාභාවික රසකාරක ද්‍රව්‍ය සංයෝග පමණක් ආහාර රස ගැන්වීමට භාවිත කිරීම වඩා යෝග්‍ය බව පෙන්වා දියහැකි වේ. ඉන් බැහැරව දුර්වල සනීපාරක්ෂාව පිළිබඳව උද්ගතවන මෙවැනි ගැටළු හා අවදානම් තත්වයන් වළකාගත හැක්කේ තමන් දන්නා හඳුනන නිෂ්පාදකයින්ගෙන් හා සැපයුම්කරුවන්ගෙන් අදාල අමුද්‍රව්‍ය දෘෂ්‍ය ලෙස තොරා ගැනීමෙන් පමණි.
වීදි ආහාරවල ආහාර දූෂණය නොවැළැක්විය හැකි බවට වැරදි උපකල්පනයක් ඇත. පෝෂණය සහ සනීපාරක්ෂාව පිළිබඳ පුහුණුව තුළින් වැඩි දියුණුකළ භාවිතයන් සමඟ ගනුදෙනුකරුවන්හට වීදි ආහාර පිළිගැන්වීමට ඔවුන් පෙළඹවීම බලධරයින්ගේ යුතුකම හා වගකීම බව සිතා කටයුතු කළ යුතුවේ. එමෙන්ම වීදි ආහාර පාන වෙළෙන්දන් සඳහා කිසියම් නියාමනයක් ස්ථාපිත කිරීමට පෙර, පළාත් පාලන ආයතන වීදි ආහාර ව්යවසායකත්යන්හි වැදගත්කම හඳුනා ගත යුතුවේ. ඒ අනුව පෝෂ්‍යදායී, සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනය කිරීමට දිරිමත් කිරීම සහ පහසුකම් ඇතිකිරීම ඔස්සේ ආරක්ෂිත ආහාර පාන සකසා අලෙවි කිරීම සඳහා නීති රීති බලාත්මක කිරීම සාධාරණ උත්සාහයක් වනු ඇත. එහෙත් එය එම ව්‍යාපාර අඩපණකරන ක්‍රියා පිළිවෙතක් නොවිය යුතුයි.
සක්‍රීය සම්බන්ධීකරණයක් නෑ
එමෙන්ම මෙරට වීදි ආහාර වෙළඳ ප්‍රජාව කිසිදු ආකාරයකින් සක්‍රීය ලෙසින් සම්බන්ධීකරණය කිරීමක් හෝ විද්‍යාමාන නොවේ. එකී ව්‍යවසායයන් දිගු කාලීනව නියාමනයකට නොගැනෙන නිසා එයට එරෙහිවන එල්ලකරන විරෝධතා පාඨ රැසකි. නාගරික මෙන්ම ප්‍රාදේශීය මංමාවත් අලංකරණයට බාධාවක්, රථවාහන ධාවනයට බාධාවක්, ප්‍රභූ ආරක්ෂාවට තර්ජනයක්, ප්‍රජා සෞඛ්‍යය රෙගුලාසි උල්ලංඝණය කරන ව්‍යාපාර ලෙස සැලකීම හා ඇතැම් ස්ථාන මත්ද්‍රව්‍ය බෙදාහරින තිප්පොලවල් බව පැවසීම, එයට නිදසුන් වෙති. ඇතැම් අවස්ථාවන්හි මෙම කරුණු සත්‍ය විය හැකි ය.
එසේ වුවත් රජයේ බලධාරීන් හා පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ එක්ව ප්‍රජා සංවිධානවලට එවැනි අහිතකර ස්වරූපයන් බැහැර කරලීමට ප්‍රාදේශීය මෙන්ම ජාතික වශයෙන් ගතහැකි මෙහෙවර ඉතා පුළුල්වේ. ඒ උදෙසා පාරිභෝගිකයින් වෙත මෙන්ම වීදි ආහාර පාන සපයන ව්‍යවසායකයින්හට උපදේශන සේවා සැපයීමට සමාජ මාධ්‍ය යොදා ගැනීමට පුළුල් අවකාශයක් පවතී යි. මාර්ගස්ථව තෝරාගත් උපදේශාත්මක පුවරු ස්ථාපිත කළ හැකි වේ. වීදි ආහාර කඩ ආශ්රිත ස්වස්ථාව හා සනීපාරක්ෂාව පිළිබඳව එම ව්‍යාපාරයන්හි නිරතවන්නන් ළඟටම ගොස් සුහඳශීලීව කරුණු ඉදිරිපත් කිරීම ඔස්සේ බොහෝ ගැටළු වැළැක්වීමට පහසුවෙන් පියවර ගැනීමට හැකියාව පවතී. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ලෙස වීදි ආහාර සැකසීම පිළිබඳව එකී ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා සක්‍රියව මැදිහත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශයන්හි වැදගත් මෙහෙවරක් බව අවධාරණය කරමු. එයට සමගාමීයව මේ උදෙසා පළාත් පාලන ආයතන හා මාර්ග සංවර්ධන අධිකාරියේද, පූජා නගර සංවර්ධන ව්‍යාපෘති හා පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සෞම්‍ය දායකත්ව ලබා දීම ද වැදගත්වනු ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගෙන දේශීය ආහාර වර්ග ප්‍රචලිත කරමින්, සෞඛ්‍යාරක්ෂිතව ගුණාත්මක ලෙස ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මගපෙන්වීම උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයට කුළුපග දායකත්වයක් ඔවුන් වෙත ලබා දීමට ක්‍රියා කිරීම කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමි. ඒ ඔස්සේ වීදි ආහාර වෙළඳ කුටි නිසි ප්‍රමිතියට ඔසවා තැබීමට ක්‍රියාකල හැකි වේ. ඉන් ඔබ්බට ගොස් මෙහිදී මෙවැනි ස්ථාන නිරීක්ෂණය කර අවශ්‍ය වැඩිදියුණු කිරීම් හෝ වෙනස්කම් සිදුකිරීමට උපදෙස් දීමත්, ඊට සමගාමීව ඒවා ශ්‍රේණිගත කිරීමකට ලක්කරමින් විධිමත් ක්‍රමවේදයක් යටතේ ඔවුන් ඇගයීමටත් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අතහිත
මෙවැනි කුඩා ව්‍යවසායයන් උදෙසා රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙතින් අතහිත ලබාදීමට කටයුතු කරන්නේනම් එය වීදි වෙළඳාම ඇරඹීමට හා ආරම්භකර පවත්වා ගෙන යන ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා මහත් රුකුලක් වනු ඇත. ඒ අනුව අවම පොළී අනුපාතයක් යටතේ ණය මුදල් සම්පාදනය කිරීම, ණය වාරික අත්පත්කර ගැනීමේදී සහන කාල සීමාවක් ලබාදීම හා සතිපතා ආපසු ගෙවීමේ නව ක්‍රමවේදයක් උදාකරදීම ඔස්සේ ඔවුන්ගේ ව්‍යායාමය සාර්ථක කිරීමට බැංකු පද්ධතියට දායකවිය හැකිය. ඒ උදෙසා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම ප්‍රජාව වෙත තාවකාලික ස්ථානීය බලපත්‍රයක් නිකුත් කිරීම හා මාර්ග අසබඬ වීදි ආහාර අලෙවිසැල් තැනිය යුතු ස්ථාන නිශ්චය කිරීම වැනි සාධනීය ප්රගතිශීලී ව්‍යායාමයක නිරතවීමට හැකියාව තිබේ.
එමෙන්ම මේ උදෙසා යම් ප්‍රතිපත්ති සහ රෙගුලාසි ස්ථාපිත කිරීමේ දී පාරිභෝගික අවශ්‍යතා හා වීදි ආහාර වෙළඳ ප්‍රජාවගේ අභිමතාර්ථ සැලකිල්ලට බඳුන් කිරීම ඉතා වැදගත් වනු ඇත. එලෙසින් ගොඩනගන ප්‍රතිපත්ති, ස්වයං රැකියාවන්හි නිරතවන හා නිරතවිමට අදහස් කරන පුද්ගලයින් දිරිමත් කිරීමට හැකිවිය යුතු වේ. අනෙක් අතට අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට සහ පෝෂණීය ගුණයෙන් ඉහළ දේශීය ආහාර පාන ජනතාව අතර ප්‍රචලිත කිරීමට එකී ප්‍රතිපත්ති ඔස්සේ සිදුවිය යුතු යි. ඒවා බලාත්මක විය යුත්තේ නව ව්‍යවසායකත්ව බිහිකිරීමට මංපෙත් විවර විවරවන ආකාරයෙනි. ඒ ඔස්සේ වීදි ආහාර පාන සපයන ප්‍රජාවගේ ජීවන තත්වය වැඩිදියුණු කරගැනීමට නව මංපෙත් විවරකර දිය හැකි වේ.
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
(සටහන: මෙම ලේඛකයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන් ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ, තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම) සහ වසර 2000 සිට 2021 දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)